Showing posts with label තීරුලිපි. Show all posts
Showing posts with label තීරුලිපි. Show all posts

Tuesday, December 31, 2019

දෙදහස් දහනවයට සමුදීම

|Mawbima |Young -යං - සංස්කරණය- Ayantha Yunesh Fernando |අසපුව -Gurugoda siriwimala

 ❝මිනිස්සුන්ට කතා කරන්න ඉගෙන ගන්න. හැමෝටම ආදරේ කරන්න. අනිත් අයගෙ නිදහසට ඉඩ දෙන්න.❞ 

මේ ජීවිතේ හරි ම කෙටියි. කාලය යනවා තේරෙන්නේවත් නෑ. අවුරුද්දක් ඇතුළෙ අපිට කරන්න තියෙන වැඩ අවුරුද්දේ දින ප්‍රමාණයටත් වඩා වැඩියි. ඉතින් අපි ඒ නිසා බලාපොරොත්තු සහගතව සහ වීර්යවන්තව ඒ මොහොතට මුහුණ දෙන්න ඕනේ.

මේ අවුරුද්ද ඇතුළෙදී ඔබට තේරෙන්න ඇති අපි පක්ෂ විදියට බෙදිලා ඉන්න එකේ තේරුමක් නැති බව. ළඟ ම ඉන්න මිතුරා තරහ කරගෙන, ඔහුට කේලම් කියලා, කොටවලා, රණ්ඩු කරලා වැඩක් නැති බව ඔබට තේරෙන්න ඇති. ආගමික වශයෙන් බෙදිලා හිටියට ආගමික ශික්ෂණය අල්පයක් හෝ ප්‍රගුණ නොවන බව ඔබට දැනෙන්න ඇති. ජාතීන් විදියට බෙදිලා හිටියට ගොඩනැඟෙන සාමයක් හෝ එක්සත් බවක් නැති වග ඔබට තේරෙන්න ඇති. ඉතින් 2019 වසරේ දී මේ ටික තේරුම් ගත්තේ නැත්නම් මම ඔබෙන් ඉල්ලා සිටිනවා ⁣විස්සයි විස්සට තවත් පියවරක් තබන්න එපා කියලා. ඔතන ම නතර වෙලා නැවත හිතන්න. 

මේ සීමා ඉරි අලුත් ම දේවල්. ඒ වගේ ම පරණ ම දේවල්. මේ කිසිම දෙයක් තුළින් නෙමෙයි අපිට සහනය, සතුට, සොම්නස ලැබෙන්නේ. අපි අපේ ස්ටයිල් එක ඇතුළෙ කොයි තරම් දුරට සාර්ථක වෙනව ද කියන තැනයි තෘප්තිය ගොඩනැඟෙන්නේ. අන්න ඒ නිසා අපි අපේ වෙන්න උත්සාහ නොකරනවා නම් මේ ගොඩනඟන්න හදන කිසිදු දෙයක් සාර්ථක ව්‍යායාමයන් බවට පත් වෙන්නේ නැහැ.

මම ඔබෙන් ඉල්ලා සිටිනවා කොයියම් ම වේලවකදිවත් මගේ රට, මගේ ආගම, මගේ ජාතිය යනුවෙන්  හිතන්න එපා කියලා . අපේ රටේ, අපේ ආගම, අපේ ජාතිය කියන තැන ඉදන් හිතන්න. අපේ රට අපිට වටිනවා වගේ ම, අපේ ආගම අපිට වටිනවා වගේ ම, අපේ ජාතිය අපිට වටිනවා වගේ ම අනිත් අයටත් එයාලගේ රට, එයාලගේ ආගම, එයාලගේ ජාතිය වටින බව හිතන්න. කොයි තරම් අමාරුකම් ආවත් ජාතිවාදී නොවන්න, ආගම්වාදී නොවන්න උත්සාහ කරන්න. තමන් තමන්ගේ දේට වැඩි නැමියාවක් දක්වන එක නරක නෑ. හැබැයි හොඳමත් නෑ කියලා තේරුම් ගන්න.

මම ඔබෙන් ඉල්ලා සිටිනවා මොන තරම් අගහිඟකම්වලින් පිරිලා, මිරිකිලා හිටියත් අනුන් වෙනුවෙන් යමක් කරන්න අමතක කරන්න එපා කියලා. අනුන් වෙනුවෙන් ජීවත් වෙන්න මිල මුදල් අවැසි නොවන වග ඔබට ඉතා ඉක්මණින් තේරේවි. අනිත් අයගේ මූණට හිනාවක් දෙන්න, අනිත් අය එක්ක හිනාවෙන්න, කතා කරන්න. ඒ අයගේ හිත නොරිද්දා එයාලගේ වරද පෙන්වා දීම වටිනවා කියල හිතට ගන්න. 

මම ඔබෙන් ඉල්ලා සිටිනවා මොන වැඩේ තිබුණත් අවුරුද්දට පොත් තිහ, හතළිහක්වත් කියවගන්න උත්සාහ කරන්න කියලා. ලෝකේ තියෙන ලස්සන ම සංගීතයන්, ලෝකේ තියෙන ලස්සන ම ලස්සන දේවල් පුළුවන් තරම් විඳින්න උත්සාහ කරන්න. මේ ජීවිතේ කිසියම් ම වූ අවස්ථාවකදී අපි අන්ත අසරණ වෙනවා. කරකියාගන්න දෙයක් නොමැති තරමට ම පීඩාවට පත්වෙනවා. ඒ දුරස්ථ හෝ ළඟ ම හේතු නිසා විය හැකියි. ඒ ඔබට එන හැම කරදරයකදීම ඔබ කියවපු පොත්වලින්, අසපු සංගීතයෙන්, විවිධ තැන් සංචාරය කීරිමෙන් ලබපු වින්දනය  නැවත නැවතත් මතක් කරගන්න. එතකොට සැනසිල්ල ලැබෙයි. හැමවෙලේ ම ධනාත්මකව හිතන්න. ධනාත්මක හිතන තරමට ම අපිට අපේ සහ මේ ලෝකයේ අඩුපාඩු අපිට පේන්න පටන් ගනියි. 
මට ගිය අවුරුද්දේ අග ලැබුණ ලොකු ම සහ ආදරණීය ම අවවාදයක් තියෙනවා. මම හිතුවා එය ඔබ එක්ක බෙදාගන්න.

❝මිනිස්සුන්ට කතා කරන්න ඉගෙන ගන්න. හැමෝටම ආදරේ කරන්න. අනිත් අයගේ නිදහසට ඉඩ දෙන්න.❞ 

මේක දේව වාක්‍යක් වගේ හරියට. නැහැදිච්ච මනුස්සයෙක් ශික්ෂණයට ලක්වෙන්නේ ඉබේට ම. කොයි තරම් වෙහෙස මහන්සිය තිබුණත් ඔබ තුළ තියෙන ආදරය පිරිහීමකට ලක්වෙන්න ඉඩ දෙන්න එපා. ජීවිතේ ළඟින් ම හිටිය අය අමතක කරන්නවත්, දාල ගිය අයට වෛර කරන්නවත් එපා. ඒ කිසි දේකින් අපේ මානසික සැනසිල්ල අපිට ලැබෙන්නේ නැහැ.

දරාගන්න අමාරු ම නික්ම යාමකට මේ අවුරුද්දේදී මට මුහුණ දෙන්න සිද්ධ වුණා. හැබැයි ඒ නික්ම යාමෙන් ඇති වුණ දුක මට අමතක කරන්න ධර්මය, ආගම, ආදරය, යාළුවෝ, කලාව, සාහිත්‍ය, ඇසුරු කරන දේශපාලනය, පුදුමාන්තර විදියට වැදගත් වුණා. ඒ නිසා ම මම විශ්වාස කරනවා මේ අවුරුද්දේ අග වෙද්දී ලෝකේ වටින ම තෑග්ග ලැබුණේ මට කියලා.
හැකි තරම් ආදරණීය වෙන්න; හැකි තරම් ලෙන්ගතු වෙන්න. තමන්ගේ අරමුණුවලට වැඩ කරන්න පසුබට වෙන්න එපා. 

ජීවිතේ මිස් කරගන්න එපා! ඒ ඉතාමත් කෙටි දෙයක්.

|ගුරුගොඩ සිරිවිමල



Full article - https://mawbima.lk/backend/uploads/e_paper/Young-31-12-2019.pdf

Thursday, September 19, 2019

වාරණය හා සත්‍යය

රැස පුවත්පතෙහි පළ වූවකි. |2019. 09. 17
ශක්තික සත්කුමාර ලියූ “අර්ධ“ කෙටි කතාව සමාජයේ මහත් ආන්දෝලනයකට ලක් විය. එහි නිර්මාණාත්මක රසයන් විවේචනය නොකරමින් දෘශ්ඨි වාදයවත් නොගනිමින් යම් සිවුරු දරාගත් කණ්ඩායමක්(ඔවුන් භික්ෂූන් යැයි පැවසීම වරදකි.) ශක්තිකට එරෙහිව අධිකරණයේ කරුණු ඉදිරිපත් කරමින් මේ මහපෙළොවේ නිර්මාණාත්මකව පැලවිය යුතු දෘෂ්ඨිවාදයක් සහමුළින්ම මුළිණුපුටා දැමීය. ඒ නිර්මාණය මා කියවාගත් පරිදි වත්මන් භික්ෂු පරපුරේ අර්බුධය ගැන යම් ඉගියක් දෙන නිර්මාණයකි. එකී දෘශ්ඨිය මේ මහපොළොවේ පැළවුවා නම් හෙට බිහිවෙන තරුණ භික්ෂූන් ඛේන්දාන්තයකට නොයා ඉන් මිදීමට අවැසි අවකාශය සාදනය වෙනවා යැයි මම විශ්වාස කරමි.
කෙ‍‍සේවුවද පාඨක සිවුරු දරන්නන් කණ්ඩායම මෙකී දෘශ්ඨිය නැමැති සර්පයාගේ නැට්ටෙන් අල්ලාගන්නට විය. ඉන් නිර්මාණයටත් සකළ නිර්මාණකරුවර්න්ටත් සෘජු අසාධාරණයක් විය. එය නැවත කෙසේ නිවැරදි කළ හැකිද යන්න පිළිබදව මට අදහසක් නැත. මන්ද යත් තවදුරටත් පාඨක සමාජයක් ලෙස පාඨකයා ඉල්ලා සිටින්නේ කාකි නිළ ඇදුමෙන් වසා ගත් නෛතික විචාරයක් ම වන නිසාය.
එකී විචාරය ඔවුන්ටම තබා ගන්න යැයි කියමින් ශක්තික නැමැති ලේඛකයා, සැමියා, පියා යන සකල වගකීම් නියෝජනය කරන මේ මහපොළොවේ මිනිසත් කම් පැළකරන්නට උත්සුක වන්නා පිළිබදව යමක් ලියමි.
ඔහු ලියූ කෙටි කතාව ඉතා නීරස එකකි. එය ඔහු විසින් ලියන ලද කෙටිකතා කලිං කියවූ මා වැන්නෙකුට ශක්තික නම් නිර්මාණකාරයාගේ අවසාන සමය දැයි සිතෙන තරමටම අදහස් පහළ විය. අනවශ්‍ය ලෙස රැඩිකල් වීමට ගොස් පොට වරද්දාගත් ලේඛකයෙකු ලෙස මට ඔහුව දැනේ.
මෙහිදී සාකච්ඡාවට බදුන් කෙරෙන්නේ නිර්මාණයේ ඇති හොද නරක නොවන නිසා ඒ පිළිබදව කතා නොකරමි. මේ ලියන්නේ ශක්තික නම් නිර්මාණකාරයාට සිදු වූ අසාධාරණය පිලිබදවය.
මෙතුවක් කල් සාහිත්‍ය නිර්මාණයන්හි විචාරයන් සිදු කළේ ඒ සදහා වෙන් වූ පාඨකයා සහ සාහිත්‍ය උගතුන්ය. එකී සමාජයට පොලිස්, ලෝයර්, හාමුදුරුවරු, පූජකවරු, විවිධ විශයප්‍රාප්ත මහාචාර්ය වරුන්ගේ සිට සමාජයේ සෑම ක්ෂේත්‍රයකම අය උනන්දු විය. එය හිදෙක් සාහිත්‍ය තුළින් පුද්ගල කෝන්තර පිරිමසා ගැනීමට එල්ල කරන ලද අවියක් නොවීය.
පසුකාලීනව (මට මතක දශකයක සීමාව) මෙරට මුල් බැසගත් සෑම ආගමක අන්තවාදී ලක්ෂණත්, සෑම ජාතියකම ජාතිවාදී ස්වභාවයත් ආගමික, සාමාජික, සංස්කෘතික, ආදී සමාජ ක්ෂේත්‍රයන්ගේ ගෙළවට දක්වාම ගිලී තිබෙන බව නොරහසකි. එහි දිගුවක් ලෙස එය සාහිත්‍ය කරා ද පැමිණීම වලක්වාලීමට නොහැකි විය. එයට හේතුවන්නේ මේ අදුරු ආගම්වාදයටත් ජාතිවාදයටත් උඩගෙඩි දෙන පාලකපංතිය විසින් සාහිත්‍ය වන්දිබට්ට සේවයේ යොදවාගැනීමයි. එහි ප්‍රතිපලයක් ලෙස සාහිත්‍ය කරුවා උඩකී සෑම ආකාරයකම අන්තවාදයට නැඹුරු වූ අතර සැබෑ සාහිත්‍ය විකල්ප ධාරාව නමින් එළි බසින්නට විය. එහිදී විකල්ප සාහිත්‍ය කරුවා මිනිස්කම සහ ආදරය ඉල්ලූ අතර එයට ප්‍රතිවිරුද්ධව ආණ්ඩුවටත් ආගම්වාදයටත් ජාතිවාදයටත් කඩේ යන නිර්මාණ සෑම කල්හිම සැබෑසාහිත්‍ය නමින් පෙනී සිටියහ. ඒ අනුව විකල්ප මත දාරීන් නිරාගමික, දේශද්‍රෝහීණ් ලෙස හංවඩු ගැසුනු අතර ජාතිමාමක දේශප්‍රේමීන් ලෙස ආගම්වාදී ලෙය ට ලෙයඉල්ලා සිටින ඇසට ඇසක් ඉල්ලා සිටින වුන් හැදින්වින. පාඨක සමාජයද බෙදී වෙන් වී සිය සාහිත්‍ය වින්දනය කරගෙන ගියහ.
‍මේ තත්වයේ බීත ස්වභාවය වැඩීමට පටන්ගත් අතර එහි ප්‍රතිපලය වූයේ සාහිත්‍ය කරුවාගේ සැබෑ මෙවෙර කරමින් සිටි නිර්මාණකරුවන් කුදලාගෙන ගොස් සිරගත කිරීමය. එකී තත්වයට පත්වෙමින් ශක්තික සත්කුමාර ද පසුගිය දිනෙක නීතිමය ප්‍රශ්නයකට මැදි වී සිරබත් කන්නට ද සිදු විය. එය ඉතා කේදජනක සිදු විමකි. මෙකී අර්ධ නම් කෙටිකතාව යම් අයෙකුට විවේචනය කළ යුතුව තිබුනේ සාහිත්‍ය විචාරයක් ලෙසින්ය. ඒ වෙනුවට පොලිස්සියෙන් හෝ ආගමික වහන්තරා තුළ සිරගත වෙමින් සිටින අන්ධ භක්තික මන්ධ බුද්ධිකයන්ගේ හොද හෝ නරක කීම කෙටි කතාවකට අවශ්‍ය වන්නේම නැත. තම සීමාව ඉක්මවා යමින් බුදුන් වහන්සේට අපහාස වෙනවා යැයි බුදුන් වහන්සේට හොදම අපහාස කලේ සංඝරත්නය යැයි කියා ගන්නා ප්‍රශ්නයක් ඇති කළ චීවර දාරීන්මය. ඔවුන් සිය ශාස්තෘෘන් වදාල දර්මය උල්ලංඝණය කරමින් සාහිත්‍යත්, ආගමත්, දර්ශනත් එකට පටලවාගනිමින් දැනටමත් අච්චරුවක් වී සැදැහැවත් බෞද්ධයාට ද බෞද්ධකම එපා කරවන්නට විය.
මෙහිදී සාහිත්‍ය හුදෙක්ම සාහිත්‍යක් ලෙසින් දැකිය යුතු වීම සිදුවිය යුතුව තිබුනත් එය අවියක් කරගනිමින් මං පොර මානසිකත්වයෙන් බුදුන් වහන්සේට අපහාස වනවා යැයි නඩු දැමීම යුත්ති යුක්තද යන්න පිළිබදව සාකච්ඡා කළ යුතුය. බුදුන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අතරින් “කොපුව තුල සැගවුන පුරුශ නිමිත්ත“ යන්න ශක්තිකගේ කෙටි කතාව තුල ප්‍රශ්න කර ඇත. එය ලේඛකයාගේ භාෂණයේ අයිතියකි. මෙහිදී පළමු වැන්න නම් බුදු දහම යනු කිසිලෙසකින්වත් ප්‍රශ්න කිරීම නොකරන්න යැයි කියූ දහමක් නොවේ යන්නයි. ඒ අනුව ශක්තිකට දහම් පොත පතේ පැනෙන යම් දෙයක් වෙත්නම් ප්‍රශ්න කිරීමේ අයිතිය ඇත. එසේම එය බුද්ධකාලීන සංඝයා විසින්ද සිදු කරන ලද බවට තොරතුරු ලැබේ. දෙවැන්න නම් එවැනි පුරුශ ලක්ෂණ බුදුන්ට ඇත්තෙන්ම තිබුනාද යන්නයි. එය සාහිත්‍යාත්මකව බුදුන් වහන්සේගේ දහම බමුණු සමාජය තුළත් පසුකාලීනව හින්දූන්ට මුහුණ දීම පිණිසත් රැගෙන ආ එකල සාහිත්‍යෙය් පැනෙන්නකි. එය සැබෑ බුදු දහම ලෙස ගැනීම සැබෑ බෞද්ධයෙකුට කළ නොහැකි දෙයකි. භික්ෂුවකටනම් තරම් නොවේමය.
සාහිත්‍යෙය් ඇති එවැනි මිත්‍යා කතාන්දර යථාර්ථවාදීව ප්‍රශ්න කිරීමට ලේඛණයේ යෙදෙන්නකුට අයිතියක් ඇත. එහි දී එය සාහිත්‍යය ප්‍රබන්ධයක් ලෙස පාඨකයා ගෙන මෙහි යථාවාදය විමර්ශනය කරනවා විනා බුදුන්ට අපහාස වී යැයි ආදී ගොන් කතා කීම පාඨකකාර්ය නොවන සේම උගත් පොලිස් මහත්වරුන්ද දත යුතු කරුණකි. සාහිත්‍ය විචාළ යුත්තේ හිර කූඩුවල හෝ පොලිස් ස්ථාන වල නොවේ. ඉන් පිටත වූ ශිෂ්ට පරිසරයේ ය. එහිදි රසඥතාවයකින් යුත් පාඨකයන් පමණක් විචාරය සිදු කළ විට හොදටෝම සෑහේ.
එසේම මෙහිදී වැදගත් වන කරුණක් වන්නේ,
මින් බෞද්ධ හිදී ජනයාගේ හැගීම් වලට හානියක් සිදු වීද යන්නයි. එය කිසිසේත්ම සිදු වී නොමැත යන්නට බෞද්ධ පාඨකයෙක් ලෙස මම ද පෙනී සිටිමි. මගේ හැගීම් වලටනම් අර්ධ නිර්මාණය තුළින් හානියක් නොවීය. තවද ශක්තික විසින් කරන ලද මේ කෙටි කතාව හැර අනෙකුත් කවි සේම කෙටි කතා තුලින්ද කිසියම් පාර්ශවයකට හානියක් නොවූ බව කිව යුතුය. මාගේ පෞද්ගලික විශ්වාසයනම් පවත්නා දැඩි අන්තවාදී මත ස්වරූපයන් නිසා මෙවැනි තත්වයක් නඩු දැමූ චීවරදාරීන් තුල ද තිබෙන්නට ඇත. එය හොදින් පැහැදිලි වන්නේ නඩු දැමීම සදහා ඉවහල් කරගන්නා පනත් කෙටුම්පතය. ඒ පිළිබදව මට වැඩි කියැවීමක් නොමැති නමුත් බරපතල චෝදනාවකට වරදකාරයකු කිරීම සදහා ගෙන්වන පනතකින් කෙටි කතාවක් වැනි කිසිදු ආකාරයක හිංසනයක් නොවන සාහිත්‍යානන්දය ඇති කරවන දෙයකට නඩු පැවරීම ඉතාමත් වැරදිය

අනෙක නම් මෙය සන්නිවේදයනය කර ඇති මාධ්‍යයි එය මුද්‍රිත නොවන මුහුණ පොතවැනි සමාජ මාධ්‍යක සංසරණය කරවූවකි. පසුව එයද නිර්මාණ කරුවා විසින් ම ඉවත් කරගන්නා ලද්දකි. එය නැවත නැවතත් ප්‍රසිද්ධ වූවානම් වූයේ ප්‍රතිපක්ෂිකයා විසින්ම සමාජ මාධ්‍යයට එය නැවත මුදා හැරීම තුලිනි.
මෙවැනි කාරණා තුළින් නිගමන කිහිපයකට එලැබීමට මට හැකියාව ඇත.
01. ශක්තිකට වැටුනු සාහිත්‍යය වාරණය හුදු ආගම්වාදී ස්වරූපයකි.
02. පිරිනිවන් පෑ බුදුන්වහන්සේට හා ශක්තික වැනි චූල මිනිසෙකුට බුදුන්වහන්සේ වැන්නෙකුට අපහාස නොකල හැකි බව.
03. ප්‍රතිපාර්ශවය විසින්ම ඔවුන් ගෙනෙන තර්ක අමු අමුවේම බිද හෙළා ඇති බව‍
|ගුරුගොඩ සිරිවිමල

Tuesday, April 30, 2019

ආදරය සහ මනුෂ්‍යත්වය

ලිව යුතු දෑ බොහෝය. නමුදු ලියා පලක් නොමැත. රටම ගිනි ගෙන ඇති අවස්ථාවක දේශපාලකයා සුපුරුදු රංගනයේ යෙදෙමින් ජනතාව මුළා කරමින් සිටිති. ආගමික, ජාතික සමගිය නැවතත් පළුදු වීමට නියමිතය. පැතූ මනුෂ්‍යත්වය සිහිනයක් බවට පෙරලෙමින් මුග්ධ ජඩ දේශපාලනයේ වියරුව සදාතනික වී ඇති මොහොතකි මේ. පණිවුඩ ලන හැම කෙනෙක්ම "පොඩි සාදු හොදින් නේද?" විමසති. සිදු වී ඇති දෑ නිසා මට පෞද්ගලික හානියක් නොවුනද හොඳින් යැයි පැවසීමට තරම් හැකි ආධ්‍යාත්මයක් නැත. මියැදී ඇත්තේ මගේම අය ය. මිනිසුන්ය. 
ඇමතිවරයෙකු පවසන පරිදි 21 වන ඉරිදා පාස්කු ප්‍රහාරයට රජයට කරන්නට දෙයක් නැත. රජ කාලයේ පටන් මේ මොහොත දක්වා ජනතාව රජයකින් බලාපොරොත්තු වන එකම දෙය මහජනතාවගේ ආරක්ෂාවත් රට ස්වයංපෝෂිත කිරීමත්ය. ආගමික වේවා, ජාතික වේවා එල්ල වී ඇත්තේ ත්‍රස්ත ප්‍රහාරයකි. ඉස්ලාම් අන්තවාදීන් නිසා අගාධයට ගිය රටවල් පෙනී පෙනී තිබියදීත් මෙරට රජය මේ ලියන මොහොත වන විටත් මහජනයාට විහිළු සපයමින් මූසල විනෝදයක් ලබමින් සිටී. ජාතිකත්වය, ආගමිකත්වය නව මුහුණුවරකින් ප්‍රශ්නාර්ථයක් වී ඇත. ජාතික වීරයන්ය, අරයා මුලින් මේ දේ කීවාය, අරක අපි කිව්ව විදිහට වුනේ නැත. යනුවෙන් මොර දෙන, බෝලය පාස් කර ගන්නා ජනතාවක් බිහිවෙමින් සිටී. 
   කෙසේවෙතත් මේ මියැදුනේ මිනිසුන්ය. කිසිත් වරදක් නොකල, කිසිත් නොදන්නා අහිංසකයන්ය. පල්ලියට ගොස් තම ආගමික විශ්වාසය තහවුරු කරගන්නා අටියෙන් යාඥා කොට කෑමක් බීමක් කා විනෝද වීමට මග බලා සිටි මිනිසුන්ගේ සියළු බලාපොරොත්තු සුන් කරමින් රටේ ආරක්ෂාව පිළිබඳවත් රජය පිළිබඳවත් නිරුවත පෙනුන මොහොතකි මේ. 
රත්න ශ්‍රී විජේසිංහයන් "යුද්ධයකදී පත්තුවෙන පළවෙනි වෙඩි උණ්ඩය කොයි පැත්තකින් පත්තු වුනත්, ඒක ඉලක්කයට වැදුනත් නැතත්, ඒ පළවෙනි වෙඩි උණ්ඩයෙන් මිය යන දෙන්නෙක් ඉන්නව. ඒ  තමයි ආදරය සහ මනුෂ්‍යත්වය" යනුවෙන් පවසා ඇත. මෙය වසර ගණනාවකින් නැවත සිදුවීම මනුෂ්‍යත්වයට වූ විශාල කැලලක් බව කිව යුතුය. අද සාම්ප්‍රදායික ඉස්ලාම් ජනයා දෙස සැකයෙන් බලන සිංහල මිනිසුන් බිහිවී ඇත. සාම්ප්‍රදායික ඉස්ලාම් ජාතිකයා ද සිංහල ජාතිකයාද ඉතා අවිහිංසකය. සමඟි සම්පන්නය. නමුත් මනුෂ්‍යත්වයේ මූලික ගුණයක් වන අවිහිංසක බව, සමගිය මේ වන විට දුරස් වෙමින් පවතී. මේ සියල්ලක්ම දේශපාලකයා විසින් තම පැවැත්ම වෙනුවෙන් ඇති කරන ලද දෑ මිස අන් ⁣යමක් නොවේ. සිය රජයේ බංකොළොත්බව පිළිගැනීමට අකමැති ජනාධිපති වරයා මේ සම්බන්ධයෙන් කර ඇති එකම වැඩේ නම් මේ සිදුවීම නිසා වසා දැමූ මොරගහකන්ද ජලාශය නැවත නැරඹීම සඳහා ක්‍රියා කිරීම පමණය. දැන් මහජනතාවට තිබෙන්නේ මොරගහකන්ද ජලාශයේ පැන සියදිවි නසා ගැනීමට පමණකි. 
එක් අතකට මේ සිදුවීම් පිටුපස ආගමික වියරුව පමණක්ම ඇතැයි කීමට අපට නොහැකිය. තිස් දෙවසරක යුද්ධය පවා විහිළුවක් කරගනිමින් දේශපාලනය කල පාලකයන් මේ පිටුපසින් සිට තමන්ගේ මජර දේශපාලනය සිදු කරමින් සිටින බව ඉවෙන් මෙන් වැටහෙමින් ඇත. ප්‍රජාතන්ත්‍රවාදය කියා අප හූ හඬ තැළු වල් බූරු නිදහසේ ප්‍රතිඵලය දැන් භුක්ති විදින්නට සිදු වී ඇත. ආගමික වේවා ජාතික වේවා මේ ඇති වී ඇත්තේ යුද්ධයක් බව අප අමතක නොකල යුතුය. මේ යුද්ධයේ දී මිය යන සෑම මිනිසෙක්ම මේ මජර දේශපාලනික අන්තවාදයේ බිල්ලක් බව අප තේරුම් ගත යුතුය. 
හැම අතකින්ම භෞතික සහ අභ්‍යන්තර පරෙස්සම තමා විසින්ම සිදු කරගත යුතුව ඇත. 
මේ සිදුවීම් වාසනාවන්ත අයුරින් අවසන් වේවායි පතමු!

|ගුරුගොඩ සිරිවිමල 

Wednesday, April 17, 2019

සිංහල හිංදු නව අවුරුද්ද සහ ජාතිකවාදයේ ශෝකාන්තය

ශ්‍රී ලාංකාවේ මිනිසුන් නව අවුරුදු ද්වයක් ඉතා ඉහළින් සමරණු ලබති. 2019 වසරට අදාලව ගත්විට එය ජනාවාරි පළමුදා ලෙසද අප්‍රේල් 14 දා ලෙසද සමරණු ලැබෙති. මින් සිංහලයාගේ නියම අවුරුද්ද ලෙස සැමරිය යුත්තේ කිනම් දිනය ද යන්න සමහරෙකු දනී. සමහරෙකු නොදනී. සමහරෙකු දින දෙකේම අවුරුද්ද සමරති. සමහරුන්ට හැමදාම අවුරුදුය. කෙසේවෙතත් සිංහලයාගේ නියම අවුරුද්ද යනු අප්‍රේල් හෙවත් බක් මස 14 වන දා බව අප අමතක නොකල යුතු කරුණකි. එය සිංහල රටේ අවුරුද්දය ආගම කුමක් වුව ද, ජාතිය කුමක් වුව ද ශ්‍රී ලංකාවේ අවුරුද්ද සැමරිය යුත්තේ බක් මස 14 වන දින බව පොඩි සාදුගේ අදහසයි. එක් කොඩියක් යට එක්සත් වීම යනු එයයි. ජනවාරි පළමුදා යනු අප වෙත ඉංග්‍රීසීන්ගෙන් ලැබුනු ක්‍රමයක් මිස අනෙකක් නොවේ. නමුදු අප රටේ ජනප්‍රිය වන අවුරුද්ද යනු ජනවාරි පළමුවන දා වීම කණගාටුවට කරුණකි. 
රටක අනන්‍යතාව යනු අවුරුද්ද වැනි සාම්ප්‍රදායික සංස්කෘතික ලක්ෂණයි. සමගිසම්පන්න රටක් වෙනුවෙන් දින 365 ක් වෙහෙස වන බව දනිමු. නමුදු එය මෙතුවක් සාර්ථක නොවීමට ප්‍රධාන හේතුවක් වන්නෙ අවුරුදු වැනි සාම්ප්‍රධායික ලක්ෂණ වලින් තොර වී පැවැත්ම ඇති කරගැනීමට උත්සුක වීමයි. ගමේ රටේ නගරයේ කොහේත් මේ සංස්කෘතික අනන්‍යතාවය පිළිඹිබු වන විට සැවොම එකා වන්ව ක්‍රියා කරන්නට සමත් වෙති‍. 
සිංහල හිංදු අවුරුද්ද යනු වැදගත් සංස්කෘතික ලක්ෂණ රාශියකින් ඔප ගැන්වෙන්නකි. මාටින් වික්‍රමසිංහයන් සිය ගම්පෙරළිය නව කතාවේ ගමට ආවේනික සිංහල අවුරුද්ද ගැන අපට යම් හෝඩුවාවක් ලබා දෙයි. නව නූතන වාදී සමාජයක පාරම්පරික ගති සිරිත් ඇදහීම ඉතා ලඝු කොට සළකන කාරණයකි. නමුත් තවමත් නූතනවාදී නොවන අපට වඩා නූතනවාදී රටවල් ද සිය සංස්කෘතික ලක්ෂණ ආරක්ෂා කරගැනීමට යත්න දරන්නේ සම්ප්‍රදායන් කඩා බිද දැමීමට පෙර අප සම්ප්‍රදාය උගත යුතු බව දැන සිටින නිසා විය හැකිය. සම්ප්‍රදාය යනු ආගමක් වැනිව වැලදගත යුත්තක් නොවේ. එහි පවතින සාදනීය ලක්ෂණයන් පවත්වාගෙන යාම රටක ජනතාවට ලැබෙන වරප්‍රසාදයක් බව අප පිළිගත යුතුව ඇත. ඉන් ඔබ්බට සිතීමට යාම තම පෞද්ගලික කාරණයකි. සිංහල නව අවුරුදු මිත්‍යාව ලෙස නම් කළ හැකි නැකත් ක්‍රමය වැනි දෑ තුලින් අපට ලැබෙන සුව සහනයක් නැති වුවද ඒ වටා සංස්කෘතිකව එකමුතු වීමට සිංහලයා එකග විය යුතුමය. එය එසේ නොවීම ජාතිකවාදයේ ශෝකාන්තයය.
මෙහිදී අප ජාතිකවාදයේ ශෝකාන්තය කුමක්ද යන්න තව දුරටත් විග්‍රහ කර ගැනීමට අවශ්‍යය. සිංහල ජාතිකවාදය යනු දේශප්‍රේමයයි. ඒ තුල ජාතිවාදයේ ලක්ෂණ පිළිඹිබු නොවේ. සිංහල දෙමළ මුස්ලිම් ආදී කොටගත් වාර්ගික බෙදීම සහ වෙනත් වෙනත් අයුරින් ඒ ඒ ජාතීන්ට සැළකීම ජාතිවාදයයි. නමුත් සිංහල ජාතිකවාදය හෙවත් දේශප්‍රේමය යනු සැවොම එකාවන්ව රට තුළ අනන්‍යතාවන් රැක ගනිමින් නව ලොව ජය ගැනීමට යත්න දැරීමයි. සිංහල දෙමළ මුස්ලිම් ආදී කොටගත් විවිධ ජාතීන් සියළු දෙනා එක්ව ජනවාරිය සිය නව වසරේ උදාව ලෙස සැමරීම එකී ජාතික වාදයේ ශොකාන්තය බව අප පිළිගත යුතුව ඇත. මෙකී ශෝකාන්තය තවත් ලෙසකින් සුනිල් එදිරිසිංහයන් ගයන "රා රා රා බොම්බියේ " ගීතයේ අන්තර්ගත වේ. 
සිංහල අවුරුද්දේ තාර්කික අවසානය කෙමෙන් කෙමෙන් ලං වීම යනු විශේෂයෙන්ම යුරෝපීය සංස්කෘතියේ අනවශ්‍ය දේ කෙරෙහි අප නතු වීමයි. කිනම් සංස්කෘතියක හෝ යහපත් දේ ලබා ගෙන අප සංස්කෘතිය ගොඩ නංවා ගැනීම යහපත් වූවද එන එන හැම රබන් පදයක්ම ඉහ මුදුනින් බාර ගැනීම යහපත් දෙයක් නොවේ. සිංහල පාරම්පරික වෙද කම අද වන විට ලංකාවේ අහුමුලු වල පමණක් සිදුවෙන රහසිගත දෙයකි. නමුත් පාරම්පරික සිංහල වෙදකම තුලින් ද සුවය ලබා ගත හැකි බව අප දනිමු. බටහිර වෛද්‍ය විද්‍යාවද එසේමය එයින්ද රෝග සුව වේ. නමුත් එතැන ලංකාවක් නැත. එනම් අපගේ අනන්‍ය ලක්ෂණ අප තුළින් මේ වන විට වියැකෙමින් පවතින බවය. සිංහල සංස්කෘතිය කියවා ගත යුතු අලුත්ම කෝණය දැන් අප සොයා යා යුතු වන්නේ එබැවිනි. මෙය නැති බංග වී මියැදීමට දෙනු වඩා මෙහි ඇති වටිනාකම් නව ආරකින් මිනිසාට සම්පත් ලෙස පරිභොජනයට ඉඩ දිය යුතුය. එය ශ්‍රී ලාංකීය මිනිසාගේ අයිතිය තිබෙන තැන බව අප වටහාගත යුතුව ඇත. 
අප වටහාගෙන ඇති කැව්ම් කොකිස් අවුරුද්දට වඩා යමක් මේ අවුරුද්ද තුළ ඇති බව වටහාගෙන අලුත් ඇදුම් ගනිමින් කෙරෙන ශොපින් අවුරුද්දට වඩා සංස්කෘතික සම්ප්‍රදායේ ගත යුතු දෑ ගැනීම ඉතාමත් වටී. 
සමාජ සාරගුණ ධර්ම පැවැත්මේ වටිනාකම, ආගමික සුහදත්වය, සමාජ සංහිදියාවට අමාත්‍යාංශ තුළින් වෙනම විය පැහැදම් කොට කෙරෙන ව්‍යාප්පෘතීන් අපට දැන් දැන් අහන්නට දකින්නට සිදුවේ. සිංහල අවුරුද්දේ වටිනාකම ගැබ් වන්නේ එවන් දේශපාලනික සමාජීය ගැටළු නිරාකරණයට සිංහල අවුරුද්ද අර්ථවත්ව සැමරීමේ උත්තරයක් ලෙසය.
සැමට සුබ නව වසරක් ප්‍රාර්ථනා කරමි.


ගුරුගොඩ සිරිවිමල 

Tuesday, April 9, 2019

අරපිරිමැස්ම

ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨතම යැයි සදහන් කරන්න පුළුවන් දර්ශන අතරින් බෞද්ධ දර්ශනය කියන්නෙ අංක එකේ තියෙන දර්ශනයක්. ඒක ඒ තරම් ශ්‍රේෂ්ඨ වෙන්නෙ ඇයි? ඇත්තෙන්ම බුදුන් වහන්සේ දේශනා කරපු දේවල් ගැන නිදහසේ කල්පනා කරද්දි ඒක අපිට වැටහෙනව ඔ්නම කෙනෙක්ට. ඒ දර්ශනය හරි ප්‍රායෝගිකයි. ව්‍යාකූල නැහැ. අපි බෞද්ධ දර්ශනය කියල බෙරිහන් දෙන ඒක මාරයි කියල ටීවී ගානෙ පොත් ගානෙ කොච්චරනම් කියන රටක් ද? ඉන්දියාවෙන් එදා මෙදාතුර අපිට ලැබිච්ච වටිනාම දේත් ඒක. ඒත් ලංකාව කියන්නෙ සෑම අංශයක්ම අන්ත දූෂිත වෙච්ච පරාජිත රටක්. 
මේ දවස් වල විදුලිය පිළිබදව, ජලය පිළිබදව ලොකුවට කතා කරනව. ඒත් විදුලිය ජලය අපි තරම් නහත්ති කරන ජාතියක් ගැන මට අහන්න, දකින්න හෝ කියවන්න ලැබිල නැහැ. දැනුවත්ව ලෝකයේ ජලය විදුලිය පිළිබදව ඒ රටේ රජය වගේම මහජනතාවත් විශේෂ ප්‍රතිපත්ති අනුගමනය කරනව. ඒ අයට ඒ වෙනුවෙන් ඇප කැප වෙලා වැඩ කරන්න ඔ්න්නෑ. ඒකට හේතුව ඒ අය සාම්ප්‍රදායිකව රැකගෙන එන ප්‍රතිපත්ති තියාගෙන ඉන්නව. හැබැයි අපේ රටේ වටේටම මහ මුහුද, ඒත් වතුර බිංදුව නැතිව ජීවිත වලිං වන්දි ගෙවන මිනිස්සු කොයිතරම්නම් ලංකාවෙ ඉන්නවද. ඒ මදිවට වතුර, විදුලිය, පරිසරය රකින්න වෙනම සංවිධාන පවා පිහිටුවාගෙන ඉන්න රටක් මේක. ගහ කොළින් ඇළ දොළින් කිසිම අඩුවක් නැති රටක ඒව රකින්න මිනිස්සුන්ගෙ රස්සාවට අමතරව මිනිස්සුන්ට ඇප කැප වෙලා වැඩ කරන්න වෙලා. මේක සාමූහික පරිහානයේ ලක්ෂණයක්.
බුදු දහම ගැන මුලිම්ම කියල අර වගේ ටිකක් මට කියන්න වුනේ ලංකාව කියන්නෙ බෞද්ධ රටක්ය කියල අපි තවමත් විශ්වාස කරන ජාතියක් නිසා. අපිට අපෙන් ඈත් වෙලා යන සම්පත් ටික නිවැරදිව ආරක්ෂා කරන්න බෞද්ධ සමාජ දර්ශනයෙන් කොයිතරම්නම් උපදෙස් දීල තියෙනවද. මට මේ ටික මතක් වුනේ විශේෂ හේතුවක් නිසා. ඇත්තෙන්ම මේ ලියමනේ මාතෘකාව අරපරිස්සම. බුදු හාමුදුරුවො අරපරිස්සම අගය කරල තියෙනව. "මේ ළගදි අපේ පංසලට මුස්ලිම් මිනිස්සු දෙන්නෙක් ආව නවාතැන් ගන්න. ඒ අය බිස්නස් කරනව. ඉතා තරුණ පෙනුමක් තියෙන කොල්ලො දෙන්නෙක් කිව්වොත් හරියටම හරි. රෑ නමයට වගේ මගෙ කාමරය ඉස්සරහට ඇවිත් නාන්න යන මේ දෙන්නගෙන් එක ලමයෙක් සබන් කෑල්ලක් ඉල්ලුව. මම අලුත්ම සබන් කෑල්ලක් දුන්න. මෙයා මේක අරන් නාන්න ගියා. නාල ඉවර වෙලා මේ දෙන්න යන්න ගියා. මාත් රෑ නාන තැනට ගියෙ නිදියන්න කලිං ඇගපත ටිකක් තෙමා ගන්න. මෙන්න නාන තැන අලුත්ම සබන් කැටයක්. ඒ මම අර තරුණයට දුන්න සබන් කෑල්ල. මම මගෙ සබන් පෙට්ටිය බැළුවම ඒකෙ තිබුනෙ සබන් පොත්තක් ඉවර වෙන්න ඉතා ලං වුන සබන් කෑල්ලක්. තමන්ට නිකං ලැබුන දේ පරිස්සම් කරගන්න දන්නැති මිනිස්සු කියන හැගීම මට ඇති වුනා." මේක මං ලිව්වෙ අපි අර පරිස්සම ගැන හොදට දන්න නිසා. තියන දේ ආරක්ෂා කරගන්න අපි දන්නව.
බුදු හාමුදුරුවො මේ අර පරිස්සම ගැන ලස්සනට අපිට කියල දීල තියෙනව. "උදේනි රජුගෙ අන්තඃපුර කාන්තාවන්ට බණ දේශනා කරන්නෙ ආනන්ද හාමුදුරුවො. දවසක් උන්වහන්සේගෙන් බණ අහල පැහැදුන අන්තඃපුර කාන්තාවො ආනන්ද හාමුදුරුවන්ට කසී සළු 500ක් පූජා කරනව. මේක දැනගත්ත උදේනි රජතුමා ආනන්ද හාමුදුරුවන්ගෙන් මේ ගැන විමසනව. ස්වාමීනී ඔබ වහන්සේට සළු 500ක් අන්තඃපුර කාන්තාවො පූජා කරාද? එහෙම පිළිගන්වන අතිරේක ලාභ ලබන්න බුදුන්වහන්සේ අනුදැන වදාරල තියෙනවද? ආනන්ද හාමුදුරුවො දෙන උත්තරේ සරළයි. ඔව්. මම පිළිගත්ත. පිළි අරගෙන දුර්වල සිවුරු තිබුන භික්ෂූන්ට බෙදල දුන්න. ඒ ගැන පැහැදුන රජතුමා ආයෙ අහනව දුර්වල වුන සිවුරු වලට මොකද කරන්නෙ කියල." ඒ්කට ආනන්ද හාමුදුරුවො දෙන උත්තරේ අපේ ජීවිතේ අර පරිස්සම ගැන අපිට ලස්සන පාඩමක් කියල දෙනව. ඒ මේ සදහන
" මහරජ, පරණ සගල නැවත කටු කොහොල් ගෙත්තම් කොට රදා පොරෝනා සිවුරු කෙරෙති, පරණ පොරෝණා සිවුරු නොතොර තැන් කපා තර තැන් ගෙන අදනා සිවුරු කර ගනියි, ඒ පරණ අදනා සිවුරු පස තුරුණු කොට ඇද ඇතිරිළි කර ගනියි, ඒ පරණ ඇද ඇතිරිළි බුමුතුරුණු කර ගනියි. ඒ පරණ බුමුතුරුණු පා පිස්නා කර ගනියි, ඒ පරණ පාපිස්නා සිහින් කොට කපා සුණු විසුණු කොට මැටියෙහි ලා අනා සගසතු ගෙවල බිත්ති කර්මාන්තයට යොදාගනියි"
මේක අපිට හරි වටින පාඩමක් කළමණාකරණය, අර පරිස්සම කියන්නෙ අපිට නුහුරු දෙයක් නෙමෙයි. නමුත් ඒක නැවත සිහි කැදවාගෙන වැඩ කරොත් රටේ මේ තරම් සම්පත් විනාසයක් වෙන්නෑ. පශ්චත්තාපයට පත් වෙන්න වෙන්නෑ.
මතක තියාගන්න අරපරිස්සම කියන්නෙ ලෝභ කම නෙමෙයි.



|ගුරුගොඩ සිරිවිමල

Tuesday, April 2, 2019

කුලාභිවන්දනා


මෛත්‍රීපාල ජනාධිපතිවරයා නිකං ඉන්නේ නැත. ඵලක් ඇති දෙයක් කෙසේවෙතත් මොකාක් හරි කිරීම එතුමාගේ සිරිතය. කොහොමින් කොහොම හරි ජනාධිපතිවරයාට මේ සැරේ ත්‍රිපිටකය අතට හසු වී ඇත. මෙවර ජනාධිපතිවරයා නතර වූයේ ත්‍රිපිටකය ලෝක උරුමයක් කරමිනි. එයින් මෙත්පල් නිරිදුන් ‌‌ෙඑතිහාසික පොරක් වූ බව බොහෝ දෙනාගේ අදහසය. ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමෙන් ත්‍රිපිටකයට හෝ බුද්ධ සාසනයට හොද කලක් යනවා යැයි සිතීම මෝඩ කමක් බව එදිනම ඔප්පු විය.



ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීම සදහා රජයෙන් සතියක් නම් කර තිබින. සියළු රාජ්‍ය ආයතන ඉදිරිපිට බෞද්ධ කොඩිය දැක්විය යුතුය, පළාතේ සංඝයා පිංඩපාතයේ වැඩිය යුතුය, පළාතේ විවිධ රාජ්‍ය ආයතන සහ වෙහෙර විහාරස්ථාන වලින් විවිධ බෞද්ධාගමික කටයුතුත් ත්‍රිපිටකය පිළිබදව ජනතාව දැනුවත් කිරීම සිදු විය. මේ සෑම ක්‍රියාකාරකමක් ම මෙකල බෞද්ධ සමාජයේ තාර්කික අවසානය සිද්ධ වී තිබූ බව කිව යුතුමය. 

රාජ්‍ය ආයතන වල නිලධාරීන් පංසල් කරාවිත් බෞද්ධ කොඩි සෙවීම තුළින් පැහැදිලි වූයේ තව දුරටත් ලංකාව බෞද්ධ රටක් නොවන බවකි. මෙ බෞද්ධ රටක් නම් අඩුම තරමේ පෝයකට, බෞද්ධ උත්සවයකට එල්ලීම සදහා බෞද්ධ කොඩියක්වත් තිබිය යුතු බව පොඩි සාදුගේ අදහසයි. දානය නොමැතිව කුසගින්නේ පෙළුණද කිසි දිනක පිංඩපාතයේ නොවඩින අපේ කාලයේ මහා සංඝයා උත්සවාකාරයෙන් ද මහාපාර හරස් කරමින් ද පිංඩපාතයේ වැඩියහ. පිංඩපාතයේ වැඩමවීම අවුලක් වරදක් නොවුනද පංසලටම විත් දන් පැන් පූජා කොට අවසන වැද නමස්කාර කොට සමහර විට පිරිකරද පුදා යන රටක පිංඩපාතයේ වැඩම කිරීම කෙතරම් සාධනීය කරුණක් ද යන්න පොඩි සාදුටනම් අපහැදිලිය. මේ වැඩසටහන හා සමගාමීව ඵලක් ඇති දෙයකට සිදු වූයේ ත්‍රිපිටකය පිළිබදව ජනතාව දැනුවත් කිරීම පමණමය. ඉන් එහා වැදගත් යමක් යැයි අඩුම තරමේ ත්‍රිපිටකය නොමැති පංසලකට මිළ අධික වූ ත්‍රිපිටක, අටුවා පොත් කට්ටලයක් හෝ ලැබුනාදැයි ආරංචි මාර්ගයක් නැත. බෞද්ධ රාජ්‍ය යැයි කියාගන්නා ලංකාවේ රාජ්‍ය අසමත් බාවය මොනවට පැහැදිලි වූ අවස්ථාවක් ලෙස ත්‍රිපිටකාභිවන්දනා යන තේමාවෙන් පැවති සතිය නම් කළ හැකිය. 

කෙසේවෙතත් ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමේ අවසාන දින වැඩසටහන පැවතියේ දළදා මැදුරු පරිශ්‍රයේ ය. එය ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් පැවති ශෝභමාන මහෝත්සවයකි. ජනාධිපති තුමන් ඇතුළු බොහෝ මැති ඇමතියන් සහභාගී වීම නිසා එය රාජ්‍ය උත්සවයක් විය. මෙහි මා දුටු වැදගත්ම කරුණ වන්නේ තුන් නිකායේම මහා සංඝයා එකම ස්ථානයකට රැස් කරවා ගන්නට හැකි වීමයි. සෙසු සංඝයා කෙසේවෙතත් මහානායක හිමිවරුන් එක තැනකට ගෙන්වා ගැනීම අපහසු කරුණකි. බුද්ධ දේශනාවේ විනය, සංඝ සාමාග්‍රිය පිළිබදව සදහන් වුවද ලංකාවේ තියෙන්නේ අමුතු බුද්ධ සාසනයක් නිසා ද ඒ සමගිය ලංකාවේ භික්ෂූන් අතර නැත.
ත්‍රිපිටකාභිවන්දනා වැඩසටහන සිදුවූ මොහොතේ ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ට අසුන් පැනවීමේ සිදුවීම පිළිබදව සමාජ මාධ්‍යන් හි විවිධ කතා පැතිරිණ. එය බැහැර කළ නොහැකි කාරණයකි. එය කුලවාදය සහ නිකාය වාදය පිළබදව නැවතත් නැවතත් ඇතිවූ කතිකාවක් බව ඉතා පැහැදිලිය. එම උත්සවයට සහභාගී වූ මහානායක හිමිවරුන්ගෙන් සියම් මහා නිකායේ මල්වතු අස්ගිරි පාර්ශවයන් හි මහානායක දෙනම උදෙසා උසසුන් පනවා තිබූ අතර රාමාඤ්ඤ නිකායේ සහා අමරපුර නිකායේ මහානායක දෙනමට සෙසු භික්ෂූන්ට පැනවූ ආසනම පනවා තිබිණි. එය ලංකාවේ කුලවාදය පැවතින ස්ථානය පිළිබදව අපට තොරතුරු ලබා දෙන මොහොතක් විය. මහාසංඝයා සේම ගිහියන් පවා හොදින් දන්නා කාරණයක් වන්නේ සියම් මහානිකාය යනු කුලවාදයේ තිප්පොලක් බවය. එවන් ස්ථානයකින් සිදුවන අඩුපාඩුවක් නිසැකවම කුලවාදය හෝ නිකායවාදය ලෙස අපට හදුන්වාදිය හැකිය. 
බුදුන් වහන්සේ යනු සම්මත කුලක්‍රමයට පහර ගසමින් කුලවාදය අලු දූවිල්ලක් කළ ශාස්තෘවරයා ය. උන්වහන්සේ චන්ඩාල සෝපාකටත් කැත් කුලයේ රාහුලටත් එකසේ සැළකූ උතුමන් වහන්සේය. එවන් සාමයික දර්ශනයක් පැවති බුදුන් වහන්සේගේ සව්වන් වන මල්වතු අස්ගිරි පාර්ශවයේ හිමිවරුන්ට එය අදාල නොවීම පුදුම සහගත කරුණක් නොවේ. මන්ද යත් ඔවුන් සම්ප්‍රදාය වාදීන් බව බොහෝ අය මේ සිදු වීමේදී කියා තිබිණි. කුලමානයෙන් හිස උදුම්මාගත් මාතර ආච්චිලා අප දැක තිබුනද එවන් වුන් භික්ෂු සමාජයෙන් දක්නට ලැබීම බුදුන්ට කරන අපහාසයක් බව අප දත යුතුය. 
උසස් කුල, උසස් නිකාය සම්ප්‍රදායයක් මිස උසස් බුදු දහමක් ලංකාවේ නොමැති වීම සාතිශය සංවේගය දනවන කරුණකි. මෙකල ඉතා ප්‍රාථමික ලාබාල සමාජයෙන් පවා මේ වන විට කුලය ප්‍රහීණ වන අස්ථානයක පවතින මොහොතක කුලවාදය නැවත සමාජගත කොට හත්පොලේ ගා ගත් මහානායක හිමිවරුන් යනු සමාජය තුළින් මේ සිදුවීමට පෙර ප්‍රතික්ෂේප කර ඇති අයවලුන්ය. 
රාජකීය පැවැත්මක් තවදුරටත් ප්‍රාර්ථනා කරමින් සසුනේ අවසාන බලාපොරොත්තුවද නැති කරන මල්වතු අස්ගිරි පාර්ශවයේ ලිංමැඩි මහානායක හිමිවරුන් දත යුතු කරුණක් වන්නේ මේ 21 වන සියවස බවයි. වල්පොල රාහුල, යක්කඩුවේ ප්‍රඥාරාම වැනි හිමිවරුන් ඇති කළ බුද්ධිමය කතිකාවත නැවත වතාවක් මේ රට තුළ ස්ථාපනය කරන්නට හැකි පසුබිමක් ත්‍රිපිටක වාද විවාද මැද්දේ ඇති වන්නට තිබින. නමුත් එ් ආරම්භයේ දීම බුද්ධ වචනය ප්‍රායෝගිකව කා විනාස කළ මේ ස්වාමීන් වහන්සේලා තුලින් හෝ රජයෙන් රැකෙන බුද්ධාගමක් හෝ සසුනක් නැති බව අප දැනගත යුතුය.





ගුරුගොඩ සිරිවිමල  

Tuesday, March 26, 2019

අහෝ රියැලිටි ‌නොදිටි ‌මොක්පුර

ලංකාවේ රියැලිටි වැඩසටහන් දැන් දැන් බහුලය, බහුල වීම අවුලක් නැත. ලෝකයේ බොහෝ රටවල රියැලිටි වැඩසටහන් දක්නට ඇත. ඒවද බහුරු කෝලම්ය. පොඩි සාදුගේ කුඩා මොළයටනම් ඒව කිසිවක් නොවැටහෙන්නේය. ලංකාවේ චැනල් වලිං වඩාත් ගුණාදායක දේවල් ඉල්ලා සිටීම නොමනාය. ඔවුනට අවැසි ලෙස මිනිසුන් ඉල්ලන දේ දීම දක්වා සංවර්ධනය වී ඇති නාලිකා පාරිභෝගිකවාදයට හසු වී දැන් නන්නත්තාර වී හමාරය. කොටිම්ම කියතොත් ලංකාවේ නාලිකා මිනිසුන්ගේ රුධිර නාලිකා හරහා ගොස් මොළය කා දැමීමේ වගකීම දේශපාලකයන් කෙරෙහි නොමිලයේ කරදෙමින් සිටි. කොටස් දාහ ඉක්මවූ ටෙලි සිත්තම් පෙන්වමින් මෙගා නාට්‍ය වියරුව ද දැන් දැන් එතරම් හොඳ මට්ටමකනම් නැත. 60 ඉක්මවූ වැඩිහිටියන්ට වෙනම ගී ගැයීමේ තරගය, පුංචි පුංචි දරුවන්ට නැටුම් ගැයුම් වැයුම් තරගය, යොවුන්, තරුණ සියල්ලන්ටම තරු තරගය, නළු නිලියනට ද වෙනම තරගය. මොලයක් ඇතිව ඒවා නරඹන රසිකයෝ වෙත්නම් ඔවුන් රෑපවාහිනිය ඉදිරිපිට සිනාසී මියැදෙනවා නො අනුමානය. දැන් ඇත්තේ සිහින තරු, සුපිරි තරු, ආදී සිහිනය. මේ සිහින වලින් නැගී සිටින බොහෝ කොල්ලන් කෙල්ලන් දැන් තමන්ගේ වැඩ පසෙකින් දමා ඒවා පසු පස දුවති. ගොස් පැරදුන කළ FB මත හඬති, පරාජය වූ නාලිකාවේ නමට අපහාස කරති, දිනූ තරඟ කරුවන්ට අපහාස කරති. "ඒකට සිංදු කියන්න බෑ, අපෝ වූ මොකාද? " ආදී කතා කියති. දිනුවෝ නාලිකාවට හොදයි කියති. පැරදුන අක්කලා අයියලා, නංගිලා මල්ලිලා වෙනුවෙන් සෝ සුසුම් හෙළති. ඒවා හොඳ වැඩය. මේ කතාව ඒ ගැන නොවේය. සිහිනයන් පසු පස හඹා යාමේ වරදක් දක්නට බැරිය. නමුත් ප්‍රශ්නය වෙනෙකකි. තරඟකරුවන් සේම රසික ප්‍රජාවටද ගුණවත්, හරවත් දෑ ලබා දීම සමස්ථ නාලිකාවන්ගේ වගකීමය. එය අමතක කර දමමින් හැසිරෙන මුග්ධ නරි නිශ්පාදක මහත්වරු රසිකයන් පිනවීම සඳහා නානා විධ විප්‍රකාරයන් කරති. කුඩා දරුවන් වෙනුවෙන් පවත්වන රියැලිටි වැඩසටහන් නැරඹුකළ ඇතිවන චිත්ත වික්ෂිත භාවය කෙසේනම් නොලියා සිටින්නද? මව් තුරුලේ සෙනෙහස විදිය යුතු තරමේ දැරිවියන් සිය නිරුවත සභාවට පෙන්වමින් හිරි ඔතප් බිඳගන්නා අයුරු අප දිටිමි, දරුවන් නොගැයිය යුතු තරමේ ගී අරුත්වත් නොදැන, අකුරු වරදමින් ගයන අයුරු අප දිටිමි. යහපත් සන්නිවේදනය සංවර්ධනය කිරීමෙහි ලා  කැප වෙනවාය කියන නාලිකා වලින් අමුම අමු මී හරක් නාලිකාකරණය මේ දැන් සිදු වී අවසන්ය. මුල්ලමාවිය සංවර්ධනය කරලීම සඳහා පෙර පාසල් සහ විධිමත් අධ්‍යාපනය ලබා දිය යුතු වයස්වල දරුවන් රියැලිටි වැඩසටහන් වලට මුහුණ දෙන විට සිය අධ්‍යාපන කටයුතු නිසි අයුරින් සිදු කරගන්නවාද යන්න සැකයට කාරණයකි.

 කුඩා දරුවන් හිංසනයට ලක් වූ විට ඒවා ගැන කතා කරන්නට ලමා සංරක්ෂණ අධිකාරියේ මැදිහත් වීම සිදු විය යුතු වුවද තවමත් එකී රියැලිටි වැඩ සටහන් උදෙසා වාරණ හෝ නීති රීති මාලාවක් දක්නට නොලැබීම නැවත නැවතත් රජයේ අක්‍රියතාවය මොනවට පැහැදිලි කරමින් සිටී. නාලිකා කරුවන් සිය මූල්‍යමය ශක්තිමත් බව තාවර කරගැනීම උදෙසා සිංහල කලාවේ කොඳු නාරටි බිඳිමින් දක්ෂ ගායකයන්, නිවේදකයන් තුට්ටුවට මායිම් නොකරමින් සිය නාලිකාවේ සුප්‍රසිද්ධ බව අැති කරගැනීම සඳහා විවිධ කුලප්පු කිරීම් ඇති කරමින් සිටී. ගීත ක්ෂේත්‍රයේ වැජඹුන ඉතා හොඳ මට්ටමේ ගී ගණිකාමට්ටමට යොදමින් ගීතයේ තනු විකෘති කොට, මුල් නිර්මාණ කරුවන්ට හානි කරන අයුරු කලාවේ හෘදයාංගම බව අකාමකා දමන්නකි. අන්‍ය ගායක, ගායිකාවන්ගේ ගී ගයා ඔවුනගේ බුද්ධිමය දේපළ උල්ලංඝණය කරමින් මේ සිදු කරන ක්‍රියාදාමයේ තුච්ඡතම අවස්ථාවනම් ඒවා කොහොම හෝ ගයා ගොඩයන තරගකරුවන් තවදුරටත් එකී ගී අවසරයක් ඇතිව හෝ නැතිව ගායනා කර මුදල් හම්බ කිරීමය. එහි ද හිනාමයන කාරනය වන්නේ අනෙකක් නොවේ තරගකරුවන් තමන්ගේ ගීයක් ගයන විට තමන්ගේ සැබෑ නිරුවත සමාජයට පෙනීමය. කෙතරම් පිළිවෙලට හොඳට ගායනා කර ජයග්‍රහණය ලබාගත්තද ඔවුන් තමන්ගේ ගීයක් ගයන විට අපහසුතාවයට ලක්වන අයුරු අප කොතෙකුත් දැක ඇත. ලංකාවේ රියැලිටි තරග වලින් මේ වන විට දස දහස් ගනනං තේරීපත් වී ආව ද ඉන් සිය දෙනෙක්වත් යහපත් අයුරින් ක්ෂේත්‍රයේ සිටිනවාද යන්න සැකයට කරුණකි. සමාජයේ ව්‍යසනය කලාව තුළින් ද පැන නැගීමනම් ඉතා දුක්ඛදායක කරුණකි.අවැසි නීති රෙගුලාසි ලබා දී මේවා මුදල් සහ තෑගි මත යැපෙන්නට නොදී විධිමත් ස්ථානයකට ගතහොත් කලා ක්ෂේත්‍රයේ විශාල වෙනසක් කල හැකි තරුණ පරපුරක් අපට උපයාගත හැකි වනු නියතය. නමුත් ඒවා එසේ නොවී නොවිය යුතු දෑ සිදු කරන රියැලිටි වැඩසටහන් වල හෙටනිද්දා තරුණියන් හෙළුවෙන් හෝ බිකිනියක් හැඳ ගී ගැයුවහොත් අප පුදුම නොවිය යුතු බව අවධාරණය කර සිටිමි. 


|ගුරුගොඩ සිරිවිමල


Tuesday, March 19, 2019

සිහළ දෙමළ මුස්ලිම් කල්‍යාණ මිතුරනේ!


දෙමළ මිනිස්සු හරි ලෙන්ගතුයි. ඒක සිංහලයා අතින් කොයිතරම් දුරට රැකෙනවද කියන එක එහෙම කියවන්න දෙයක් නෙමේ. සිංහල මිනිස්සුත් හරි ලෙන්ගතුයි. ඒත් අන්‍ය වූ සංස්කෘතියකින් අපිට ලැබෙන ලෙන්ගතුකම් අපිට විශේෂයි. 

    මෑතකදි මම අදුනන අක්ක කෙනෙක් පංසලට ආව හම්බෙන්න කොළඹ ඉඳන්. ඒ ආවෙ ඒ අක්ක වැඩ කරන තැන වාහනයක. එයාගෙ රියදුරා එක්ක. ඒ රියදුරා දෙමළ. මම ඉතිං කෑම කන්න දීල එහෙම වෙනත් වැඩ කරමින් හිටියෙ. අර දෙමළ මනුස්සය කාල පිගාන හෝදන්න යන වෙලාවෙත් එයාගෙ පපුවට අත තියල ස්තූතියි කියනව. කෑම රසයි කියනව. (මම දන්නව එදා කෑම රස නැහැ) ඒ කරල මාව දකින දකින සැරේ එයා පපුවට අත තියල මං ඉස්සරහ නැමෙනව. 
ඒ වැඩේ ඉවර වුනාට පස්සෙ මම ත්‍රීවිල් එකකත් එයාල එයාල ආපු වාහනෙත් එළියට ගියා. ඒ ගිහිං මම එයාලගෙ වැඩේ කරල දීල වෙන වැඩකට යද්දිනුත් ඒ දෙමළ මනුස්සය වාහනෙන් බැහැල මං ගාවට එන්න හදනව. මං ආයෙ එනව කියල අතින් සංඥාවක් දුන්න. ඉතිං ඒ වෙලාවෙත් මේ මනුස්සය පපුවට අත තියල ඔළුව නමනව ඩ්‍රයිවින් සීට් එකේ ඉදන්ම. ආයෙ මම එතන්ට එද්දි මේ මනුස්සය වාහනෙන් බැහැල මං එනකල් බලං ඉන්නව. මං යන්න යද්දි මේ මනුස්සය මොකද කරන්නෙ කියල බැළුව. ඒ මනුස්සය මං ගාවට ඇවිත් පපුවට අත තියල ඔළුව නැමුව. කෑම ටික රහයි කියනව. හිතවත්ව හිනාවෙනව. 
     ඒ වගේ දේවල් වෙද්දි මට හිතෙනව ලංකාවෙ තියෙන්නෙ දේශපාලනමය අවුලක් සහ ආකල්පමය අවුලක් විතරයි කියල. නන්දා මාලනී ගයන සුනිල් ආරියරත්නයන් රචනා කරන එක ගීයක තැනක තියෙනව මෙහෙම,
සිහළ, ද්‍රවිඩ, මුස්ලිම් කල්‍යාණ මිතුරනේ 
බොදුනු කිතුණු හින්දු ඉස්ළාම් සොයුරනේ 
එකම රටක ඉපිද ගැටෙමු මියෙමු යුධ වැදී
සතුරු කැළක සදළුතලෙහි ඉදිති මධු බිබී
මේ වචන ටික සදාකාලික ප්‍රශ්නයක විසඳුමක්. මේක අපිට තේරුම් කරල දෙන්න මැදිහත් වෙන්න ශාස්තෘවරු වගේ අය පහළ වෙනව. කාලෙන් කාලෙට, දීපෙන් දීපෙට. ඒත් ඒ අයත් අර සතුරු කැළ එක්ක අන්තිමේට සඳළුතලේ අතරමං වෙන එක විතරයි වෙන්නෙ. අන්න ඒ නිසයි අපිට අපේ ආකල්පමය වෙනසක් අවශ්‍යයි කියල කියන්නෙ. මේ සිස්ටම් එක එක්කෝ අර සතුරාට විසඳල දෙන්න පුළුවන්. ඒත් එයාල මේ වැඩේට එච්චර කැමති නැහැ. මොකද එයාලගෙ බඩට තට්ටු වෙන වැඩක් ඒක. එහෙම නැත්තං කවුරුත් කරල දෙනකල් බලං ඉන්නැතිව උඩ කියපු හතුරට එරෙහිව අපක්ෂපාතීව කැරැල්ලක් දියත් කරන්න වෙනවාමයි. 
       ඒත් අවාසනාවට එහෙම මැදිහත් වෙන්න නායකත්වය දිය යුතු අය අර හතුරන්ට වඩා ම්ලේච්ඡයි. සිංහල දෙමළ, මුස්ලිම් භේදයකින් තොරව සිරීපාදෙ නගින අයට ඒ අවස්ථාව තවදුරටත් නැති වෙන්න යන මොහොතක්, (සිරීපාදෙ බෝඩ් එක ගලවන්න යන එක ගැඹුරින් කියවාගන්න) නවසීලන්තෙ වුන සමූහ ඝාතනය අනේ හොඳයි කියන මාධ්‍යවේදීන් ඉන්න රටක් මේක. වර්ගවාදී, ආගම්වාදී ම්ලේච්ඡයන්ගෙ ගොඳුර වචන තරම් සරළ නැහැ. ඒවයෙ ප්‍රතිවිපාක අපි නැවත නැවතත් භුක්ති විඳිමින් ඉන්නව. ඒත් මේ රටේ සැබෑ මිනිස්සු ටික මේ වගේ පැතුමක ඉන්නෙ. 
ලේ නොගලන බිමක හුස්ම ගන්ට ඉඩ දියවු
අපට කැමැති කෝවිලකට යන්ට ඉඩ දියවු
දරු පැටවුන් සමග සිනාසෙන්ට ඉඩ දියවු
අපට නිදහසේ දොඩන්ට ඉන්ට ඉඩ දියවු
    වර්ගවාදීන්, ආගම්වාදීන් තමන්ගෙ ගොඳුරු බිමක් කරගත්ත මේ බිම්කඩ ලේ විලක් වෙන්න අවශ්‍ය පිඹුරුපත් දැන හෝ නොදැන ඔවුන් සකස් කරමින් ඉන්නව. ඒක අපි තේරුම්ගන්නකල් මේ ප්‍රශ්නය මේ රටේත් ලෝකයේත් පවතිනව!



|ගුරුගොඩ සිරිවිමල




Tuesday, February 5, 2019

මේ ඉවර වෙන්නෙ අපේ නිදහස් දවස්


අපිට තියෙන්නෙ කරලිය පිනවන්න. දින 365ක් තිස්සෙ ස්ක්‍රිප්ට් එකක් ඇතුලෙ වැඩ කරන කට්ටියක් නෙමේද අපි? උදේ පාන්දර නැගිට්ට වෙලාවෙ ඉදන් අපි ආගමික අදෝනා ටික අහනව. ඉස්සර අහනව. දැන් ඇහෙනව/අස්සනව. ඉට පස්සෙ උදේ තේ එක බීල, වොශ් දාගෙන, තව තව තියෙන අරව මේව කරගෙන, කෑම ටික කාල බීල රස්සාව කරා නමෝ විත්තියෙන් එළියට බහින අපි. රස්සාව ඉවර වෙලා හැමදාම වගේ එකම විදියට ගෙදර එන, කන බොන, නිවුස් බලන, රෑට කන, කාල නිදන, එහෙම ජීවිතයක් අපිට උරුම. මේකට අපි නමකුත් දාගන්නව. ඒකට කියන්නෙ ජීවත් වෙනව කියල. මොන ජීවිතද අප්ප. හැමදේකින්ම අපි නිදහස් නෑ. මහින්දගෙ පුතා යෝෂිත කාවද මැරි කලේ? එයා සිංහලද? පංසල්ද? පල්ලිද? කෝවිල්ද? එයා සුදුද? එයාගෙ සුදු ද? වපරෙද? පොට්ටද? රගර් ගැහුවද? වෙඩිම ගත්තෙ කොහෙද? වෙඩිමට දුන්නෙ මොනාද? බෙලිමල්ද? රණවරාද? ඇයි මෙයා මෙහෙම දුන්නෙ? අරයගෙ වෙඩින් එකේනම් මෙහෙමයි දුන්නෙ. අපේ ඔළුගෙඩි පිරිල තියෙන්නෙ ඔය ප්‍රශ්න වලිං. සමහර වෙලාවට තමන් වැහිල ඉන්න කෝටියක් ප්‍රශ්න වලිං මිදෙන්න නම් අනුන්ගෙ ප්‍රශ්න ටිකක් ඔළුවෙ දාගෙන බයිට් එකක් විදිහට පාවිච්චි කරන්නම වෙනව. නැත්තං බුදු අම්මෝ අපේ ප්‍රශ්න ටිකට විසඳුම් හොයන්න එපැයි අප්ප. ඔය ප්‍රශ්න ටික හිතන එක පැත්තකිං දාල නිකමට හිතන්න. සුද්ද ලංකාව දාල ගියාද? එහෙම නැත්තං අපි සුද්දන්ව පැන්නුවද? අපි සුද්දන්ව පැන්නුවනම් මං කියන්නෙ අපි වැරදියි. සුද්ද ලංකාවෙන් ගියපු දවසෙ ඉදන් මේ රට මොන වගේ තැනකද තියෙන්නෙ? සුද්ද අපිට ඉතිරි කරල ගියෙ මොනවද? සුද්ද ගියාට/ එලෙව්වට පස්සෙ ලංකාවෙ අපි ස්වාධීනව ලබපු ජයග්‍රහණ මොනාද? ඒ වසර 71 ඇතුලෙදි අපේ පාලකයො මොන වගේ විදියටද හැසිරුනේ? අපි මේ වෙද්දි ජාතිවාදය, ආගම්වාදය, ජයග්‍රහණය කරල තියෙනව. තමන්ගෙ පට්ටියෙන් මිදෙන්න බැරි කාඩ ම මී හරකව අපි අපේ රැලේ නායකය කරගෙන තියෙනව, එයාල හැසිරෙන විදියට අපිත් හැසිරිලා තියෙනව. ඒව ලේසි පාසු ජයග්‍රහණ නම් නෙමේ. ඒත් අපි තාම පාලනය වෙන්නෙ සුද්ද දීල ගිය නීති ටික ඇතුලෙ. ස්වාධීන නීතියක් නෑ. අපිට එහෙම එකක් හදාගන්න උවමනාවක් නෑ. සුද්ද දීල ගිය, තේ, පොල්, රබර්, ටිකෙන් යාන්තම් දවස ගැටගහගන්න රටක් අපි. දැන් ඒවගෙත් එක එක ප්‍රශ්න. ඒ ඒ කම්හල් වල විවිධ ගැටළු. මේ දවස්වල තේ වතු කම්කරුවන්ට තමන්ගෙ දවසෙ පඩිය 1000ක් කරන්න කියල තමන්ගෙ හාම්පුතාලට එරෙහිව නැගිටින්න සිද්ධ වෙලා. සුද්ද දීල ගිය ඒදඬු පාලම් ටිකෙන් තාමත් රට අරං යන්න හිතන නායකයො ඉන්න රටක්. සුද්ද දීල ගිය අධ්‍යාපන ක්‍රමයම තවමත් වෙනස් නොකර යහමින් පවත්වාගෙන යන රටක්. සියල්ල සුද්දගෙන් පවත්වාගෙන ගිහිල්ල හැම පෙබරවාරි 04 වෙනිදාවකම අපි නිදහස් වෙලා අදට මෙච්චරයි කියල ලෝකයාට හිනාවෙන්න කාරණා සපයල දෙන ලැජ්ජාවක් නැති ජාතිය අපි. සුද්දගෙන් මිදිච්ච බොහෝ රටවල් විශේෂයෙන්ම අසල්වැසි ඉන්දියාව අපිට වඩා ගොඩක් ඉහළින් ඉන්නව. අපි රටක් විදිහට ලෝකය ජය ගන්න අවශ්‍ය අධ්‍යාපනය, ක්‍රීඩාව, සෞඛ්‍යය, වගේ මූලික කාරණා වලදි දර්ශකයන් වල පහළම මට්ටමේ ජීවත් ඉන්න රටක්. අවුරුදු 71 තිස්සෙ අපි පොල් ටිකක්වත් ගාල නෑ. පොල් ටිකක් ගෑවනම් මේ රට පොල් කටු ටිකකින් හරි පිරෙනව. නව දැනුම, නව ආකල්ප, වලිං සංවර්ධනය නොවී තියෙන 2500ට එහා ගිය දැනුමෙන් සහ සුද්ද වසර 71 ට කලිං දීල ගිය දේවල් වලිං තවමත් නඩත්තු වෙන්න හදනව. මතක තියාගන්න. මීට වසර 2500ට එහා තිබුන දේ නරක නෑ. ඒක ඒ ඒ අවධි වල රටේ සංවර්ධනයට හේතු වුන ක්‍රමවේදයක්. ඒකෙන් අපි අදත් යැපෙන්න හදනවානම් ඒක විහිළුවක්, සුද්ද අවුරුදු 71 ට කලිං දීල ගිය දෙයින් නඩත්තුවෙන්න හිතන එක අලුතින් හිතන වැඩ පිළිවෙලක් නෙමේ. තාක්ෂණය මේ රටට කොයි තරම් විදිහට දෙන්න හැදුවත් ඒක අහලකටවත් ගන්න අපි බයයි. හෝමාගම තාක්ෂණික නගර ව්‍යාපෘතියෙ යට තියෙන ඇත්ත යථාර්ථය ඒක. කම්පියුටර්, මොබයිල් ෆෝන්ස්, නවීන උපකරණ භාවිතයෙනුත් අපි කරන්නෙ අපේ ගෝත්‍රික බව වඩාත් තීව්‍ර කරගන්න ක්‍රමයක් ගැන හිතන එක. ඒකයි අපි තවමත් ෆෝන් එක අරනුත් ආගම, ජාතිය ගැන හිත හිතා මරා ගන්න හදන්නෙ. ඒ ගෝත්‍රිකමය තත්වයෙන් අපිට නිදහස් වෙන්න පුළුවන් ක්‍රමයක් හදල නෑ. දවස් ගාණක් ගෙදරින් කාල එළියට යන දවසකත් ගමේ කඩෙන්, නෙළුම් කොලෙන්, පොල් අතු පැලෙන් බත් ඩිංගක් කන්න හිතන අපි, පීසා හට් එකට ගිහිනුත් පොළොස් රසැති පීසා එකක් කන්න තරම් ව්‍යාජ වෙන අපි. උපතේ සිට කසාඳය දක්වාම බටහිර පන්නයට ඇඳගෙන ඉදල විවාහ උත්සවයට විතරක් නිළමෙ කිට් එක අදින අපි. එහෙම ඇදගෙන ගිහිං සුද්දගෙ ක්‍රමේට හනිමුන් යන, එතන ගිහිල්ල ලේ පැල්ලම හොයන. අමුතු ජාතිය අපි. නිකමට හිතල බලන්න. අපි දින 364 දවසක් නිකං ඉදල එකම එක දවසක් නිදහස ගැන කතා කරනව. ඒත් නිදහස ලබාගන්න විදිය නෙමෙයි. අතීතයෙ අපි කරපු කියපු දේවල් ගැන. එදා වීරත්වය අද කෲරත්වය ලෙස සලකමින් අන් හැම ජාතියක්ම බිංදුවට දාල අන් හැම ආගමක්ම බිංදුවට දාල කතා කරන්න අපි හිතන්නෙ ඇයි? අපි සුද්දට එරෙහිව කරපු සටන ගැන හිතල ඒකෙන් රැකෙන්න හදනව මිසක්ක අපිට අලුතින් හැදෙන්න උවමනාවක් නැතිකම. මේචචර දේවල් ලියල ලියල අවසානෙ මගේ නිගමනය මෙච්චරයි. හිතවතුනි, අපි එක්කෝ පරණ විදිහට ජීවත් වෙමු! නැත්තං අලුත් වෙමු! මේ දෙබිඩි පිළිවෙතින් අපිට වෙන සෙතක් නෑ.




 |ගුරුගොඩ සිරිවිමල

Tuesday, January 22, 2019

නිධන් වස්තු

සමීප විහාරයක චෛත්‍යයක් සාදා එහි නිදහන් වස්තු සහ ධාතු තැන්පත් කිරීමත් හුදී ජන වන්දනාව උදෙසා අවස්ථාව ලබාදීමත් පසුගිය දාක සිදු වින. එය අතිශයින් රමණීය අවස්ථාවෙකි. සැදැහැයෙන් බොහෝ මිනිසුන් එක්ව මිළ මුදල් සේම ශ්‍රමය ද කාලය ද කැප කරමින් ගොඩනගා ගත් වෙහෙර සුද ට සුදේ බැබලෙමින් විහාරස්ථානයම ආලෝකවත් වන අයුරු බලා හිඳින තරම් සතුටක් සැදැහැතියෙකුට වාවා ගනු නොහැකිය. එක උපාසිකාවක් අප පිරිත් කියමින් සිටි තැනින් තම මිණිපිරියගේ දෑතේ එල්ලෙමින් කඳුළු වඟුරමින් යනවා මා දිටිමි. ඒ සතුටු කඳුළු ය. 
         කෙසේවෙතත් මේ වැඩ කටයුතු අස්සේ මගේ සිත ඇඳී යන්නේ නිධහන් වස්තු කෙරෙහිය. නිධහන් වස්තු විවිධ ය. අයෙකු මිය ගිය පසු භශ්මාවශේෂ ගෙන සොහොන් තනති. මිය ගිය තැනැත්තා පිදිය යුත්තකුනම් එය සොහොනක් නොවී චෛත්‍යයක් වනු ඇත. සමහරුන් භශ්මාවශේෂ ගෙන ජලයේ පා කර යවයි. කෙසේ වෙතත් ඒ සියල්ල නිධහන් වස්තුය. තැන්පත් වන්නේ හදවතේ ගැඹුරු තැනෙකය. ඒ මතක ලෙසය. මතකයන් අමතක කිරීම හෙවත් අතීතය වල දැමීම සජීවී මිනිසකුට කළ නොහැකි දෙයකි.
     ධම්මික බණ්ඩාරයන් ලියන හන්තානට පායන සඳ ගීතයේ කොටසක " මා ගැන මතකය ගුලි කර මහවැලියට දමන්න " යනුවෙන් ලියයි. නමුත් එය භෂ්මාවශේෂ ගඟ දියෙහි පා කරනවා වැනි සරළ දෙයක්නම් නොවේ. මිය ගිය, ජීවත් වන සියල්ලම අතීත කාලයට පිරිනැමෙන්නේ ඒවා මතකයන් ලෙස හදුන්වමිනි. බොහෝවිට චෛත්‍යයට නිධහන් වස්තු තැන්පත් කර හඬ හඬා ගිය උපාසකම්මාගේ කඳුළුවල කවර හෝ මතකයක් නිධන්ගත වී තියෙන්නට ඇත.
මතකය හෙවත් අතීතය යනු නිධහන් වස්තුය. ඒවා තැන්පත් වන්නේ සිත නැමැති කරඬුවේය. කරඬුව තුළ තැන්පත් වන සියළු මතක අපව සිනහවටත් කඳුළටත් යොමු කරවයි. අවාසානාව නම් මිනිස් සිත තුළ තැන්පත් ව ඇති බොහෝ මතක කඳුළු මතකයන් වීම ය. බොහෝ අය නිධහන් තැන්පත් කරන්නේ අනාගතය ගැන සිතමිනි. සමහරුන් නැවත ගොඩ නොගනිමියි යන අටියෙනි. අනාගතය ගැන සිතා නිධහන් කරණ වස්තූන් හෙවත් මතක ගැන බොහෝ අය සිහින ගොඩ නගති. නැවත ගොඩ නොගනිමියි යන අටියෙන් වස්තූන් හෙවත් මතක තැන්පත් කල අය වළ දැමූ/ තැන්පත් කරන ලද මතක ගැන සිතා හූල්ලති. සුසුම් හෙළති.

බුදුන්වහන්සේ දේශනා කරන්නේ,
අතීතං නානු සෝචාමී
නප්පජප්පන්ති නාගතං
පච්චුපන්නේන යා පෙන්ති
තේන වන්ණො පසීදති යනුවෙනි.

අතීතය දෙස බලා ශෝක නොකළ යුතුය
නොපැමිණි අනාගතය සිතමින් නොතැවිය යුතුය.
වඩාත් යහපත් වන්නේ වර්ථමානයේ ජීවත් වීමය.


|ගුරුගොඩ සිරිවිමල


Tuesday, January 8, 2019

සුබ නව වසර

|Mawbima|Young -යං|පොඩි සාදුගේ ලියමන - Podisaduge liyamana | Gurugoda siriwimala|සංස්කාරක - thiwanka wishwanath jaysekara | 2019.01.08 | සුබ නව වසර


2019 වසර ආරම්භ විනි. සුබ පැතුම්, සිනහවන් සමඟින් නව වසර ආරම්භ වෙත්ම සිතට මහත් සතුටක් මෙන්ද මෙම වසරේද මා වැනිම සාමාන්‍ය හුදී ජනයා වෙත සේවය කිරීමේ නොනිත් කල්පනාව හද තුළ සන්තර්පණය කරගන්නේ බලෙන් නොව සිතින්මය. ඉතිං, ඔබ වෙනුවෙන් අරමුණක් වෙනුවෙන් මෙම වසරේද ලියන්නට සිතමි. ගෙවුනු 2018 වසර බලාපොරොත්තු වූ යම් යම් කාරණාවන් කරා ඉතා ඉක්මනින් ලියමැනීමේ හැකියාව ලැබුනත් ජන සමාජය වෙනුවෙන් පැතූ යම් යම් අරමුණු සඵල කර ගැනීමට නොහැකි වින. එය කණගාටුවට කරුණකි. සමහරවිට එය ජන සංහතියේම කණගාටුවට කරුණක්ය. ගෙවුනු වසරේ ජනවාරි පළමු දා විවිධ සුබ පැතුම් පණිවිඩ සහ නව බලාපොරොත්තු පිරුණු සිනහවන් සහිත මුහුණු දක්නට ලැබුන ද ඒ මුහුණු වසර අඟ දෙසැම්බර් වන විට මිලාන වී අැඳ වැටීම ඛේදවාචකයක් බව සිහි කැඳවමි. වඩාත් මුග්ධ වූත් ජනතා චින්තනය ඉල්ලා සිටින, ලේ, රීරි මාංශ, අපට ලබා දිය නොහැකිය. අපට ගල් ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව ඇත. ඒ ගසන ගල මලක් කර ගැනීමට මිනිසුන් උත්සුක විය යුතු බව මගේ සුබ නව වසරේ පණිවුඩයයි. කුණු රස වෑහුණු කතා සල්ලාප මෙම වසර මුලදී ම අපට අසන්නට ඉඩ හසර ලැබී ඇත. සුනඛයෙකුට ගිණි තබා තම මුග්ධ ආශාවන් සංතර්පණය කරගත් මිනිසුන් ගැන අපට අසන්නට ලැබී ඇත. ඒ මෙම වසරේ පළමු මානුෂීය චින්තනය බිඳ වැටීම බව මගේ වැටහීමයි. අපි බෞද්ධ, මේක බෞද්ධ රටක් යැයි කියා ගන්නා මිනිසුන් ලංකාවට බුදු සසුන ලැබීමේ ආරම්භයේ දීම මිහිඳු හිමියන් ලබා දුන් ප්‍රජාතන්ත්‍රවාදයේ පණිවුඩය නව වසර මුල දීම කෙලෙසා ඇත. සියළු සත්වයන්ට ජීවත් වීමට ඇති අයිතිය මර්ධනය කර ඇත. ඉතිං වසර අඟ දී මහා ජනසංහාරයක් සිදු වූවත් ඒ ගැන පුදුමයක් නැත. නමුත් මේ තත්වය වළක්වා ගැනීමට අප උත්සුක වෙමු. තවද, සතිය සහ සමාධිය හෙවත් සිහියත් නිරවුල් මනසත් මේ වසරේ අප සටන් පාඨය කරගත යුතුව ඇත. නොඑසේනම් මේ වස⁣රද ලංකාවේ ආර්ථිකමය පරිහානිය ගිය වසරටත් වඩා වැඩි වනු ඇත. රාජ්‍ය සේවකයාත්, පෞද්ගලික සේවකයාත් දෙගොල්ලන්ම අප රට වැසියන් බව සිතට ගනිමින් රට වෙනුවෙන් ඉලක්ක ගත වැඩපිළිවෙලක් තම තමන් පෞද්ගලිකව ක්‍රියාත්මක කල යුතු අතර සමාජ දේහයේ යහපැවැත්ම වෙනුවෙන් කැපවීම පොදු අරමුණක් විය යුතු බව පොඩි සාදු මතක් කර සිටී. රටට පිළිලයක් වූ දේශපාලනය නව මාවතකට ගෙන යාමේ වගකීම මේ සියළු වැඩ පිළිවෙලෙහි මුඛ්‍ය අරමුණ වන්නේනම් 2020 වසරේ නව බලාපොරොත්තු පිරි සුවදායක සැප දායක මිනිසුන් ලෙස ලංකාවේ ජීවත් වන්නට අපට හැකි වනු ඇත. අප වැටී ඇති මහා ප්‍රපාතයෙන් එළියට එන්නට මේ වසරේ සිතා ගනිමු! ඒ වෙනුවෙන් වැඩ කරමු!! සැමට සුබ නව වසරක් වේවායි පතමි!!! 

 |ගුරුගොඩ සිරිවිමල 



Thursday, December 27, 2018

අනුන් වෙනුවෙන් ජීවත් වෙන්න

සංස්කරණය - Thiwanka Wishwanath Jayasekara
අනුන් වෙනුවෙන් ජීවත් වෙන්න
ජීවිතේ හැම තැනකම අපට තියෙන්නෙ පාඩම් ඉගෙන ගන්න. මොහොතින් මොහොත වෙනස් වීම් ඈත් වීම් එක්ක අපඅට ජීවිතේ කියන්නෙ ඉස්කෝලයක්. ඒක ඇතුළෙ අපට මහා පාඩම් ඉගෙන ගන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ පාඩම් ඉගෙන ගන්නැතිව අපට අනාගතය පාස් කරගන්න අපහසුයි. 

අපි ඉපදුණ දවසෙ ඉඳන් නිකමට මතක් කරලා බැලුවොත් අපි ලබාගෙන තියෙන්නෙ අද්දැකීම්. පුද්ගලයො, වස්තු හැමදේම වෙනස් වෙමින් පවතිනවා මේ මොහොතෙදිත්. මේ ගෙවෙන මොහොත අතීතයට එක්වෙද්දි ඒක පාඩමක් වෙන්නෙ ඒ නිසයි. ඒ වෙනස්වීම අපේ අනාගතයට අපූර්වත්වයක් එක් කරාවි. නිසැකවම. 

මේ ජීවිතේට හම්බෙලා තියෙන කිසිම මිනිහෙක් අපේ ජීවිතයට වෙනස්කමක් කරල නෑ කියලා සහතික වෙන්න බෑ. හොඳ හෝ නරක විපර්යාසයක් මඟින් අපේ ජීවිතයට ඒ අය යම් බලපෑමක් කරලා තියෙනවා. ඒක හොඳ හෝ නරක වෙන්නෙ අපේ සිතුම් පැතුම් අනුව. එතන තමයි වැදගත්ම කාරණය ⁣තියෙන්නෙ. අපි හිතං ඉන්නවා නම් අපේ ජීවිතයට එන අය අපට ඕන දේ කරන්න ඕන කියලා ඒක වැරැදි ආකල්පයක්. කවදාවත් වෙන්නැති වැඩක්. එයාලා දැනුවත්ව හෝ නොදැනුවත්ව එයාලා එයාලට ඕන දේම මිසක් අපට ඕන දේ කරන්නෑ. ඒ නිසා ඒ අතීතයේ ගිය අය දිහා වැරැදි විදිහට බලනවනම් ඒක වැරැදියි. 
දැනෙන හැම වේදනාවක්ම අපට මිදීම සඳහා පාඩමක් කියලා දෙනවා. ඒ වේදනාව දැනුණ කාල සීමාවෙ ලබාගත්ත මහා රිදුම් කන්දරාව. ඒ රිදුම් අපිට මිඳෙන්න පාර කපලා දෙනවා. ඒ නිසා අපි⁣මිදෙන්න උත්සාහයක් දරනවා. 
අපට මේ ජීවිතේ කියන ඉස්කෝලෙන් විශ්ව විද්යාලෙකට ඇතුළත් වෙන්න අවස්ථා තුනක් ලැබෙනවා. ඒ තමයි, තමා වෙනුවෙන් ජීවත් වීම, අනුන් වෙනුවෙන් ජීවත් වීම, සම සමව තමාත් අනෙකාත් වෙනුවෙන් ජීවත් වීම. 
මේ අවස්ථා තුනෙන් එකක් පිළිබඳව අවබෝධයෙන් අවබෝධ කරගෙන තෝරාගැනීමක් කරලා ජීවත් වෙන්න පුළුවන්. මෙතනදි අපි තෝරගන්න ඔප්ශන් එක මොකක් වුණත් අපට අනුන් වෙනුවෙන් ජීවත් වෙන්න වෙනවාමයි. අනුන් වෙනුවෙන් කඳුළු සැලීම්, සිත් රිදවා ගැනීම්, වෙහෙස⁣වීම්, සතුටු⁣වීම් හැමදේම කරන්න වෙනවා. ජීවත් වීම සඳහා ආත්මාර්ථය තෝරගත්තත් ඒක එහෙම්මමයි.



හැබැයි, 
අමතක කරන්න එපා අනුන් වෙනුවෙන් ජීවත් වීම සතුටට කාරණාවක් බව... 
❝ Day by day I realize 
Everything u miss about you 
Was never there in the first place 
- the person I fell in love with was a mirage -❞

ගුරුගොඩ සිරිවිමල

Tuesday, December 4, 2018

සිනහවෙන් හෝ කතා වෙන් බෑ මනින්නට මිනිසා

න වණ්ණ රූපෙන නරෝ සුජානෝ

න විස්සසේ ඉස්සරදස්සනේන
සුසඤ්ඤතානං හි වියඤ්ජනේන
අසඤ්ඤතා ලෝකමි මං චරන්ති”
-කෝසල සංයුත්තය -

පැහැයෙන් සටහනින් – මිනිසා නො දතැ හැක්කෙ යැ
මඳ දැක්මෙකින් පමණක් – නො විස්වස්නෙ යැ නො විමසැ
මොනවට දැමුණුවන් – ලකුණෙන් පිටත පෙනෙනා
නොදැමුණුවෝ ද හැසිරෙත් – බෙහෙවින් මෙ සත්ලෙව්හි

- බෞධ ළමයා -
විවිධාකාර මිනිස් වාසයන්ගෙන් ගහන ලෝකය කියන්නෙ අපූර්ව නවාතැන්පලක්. ඒ නවාතැන්පල ඇතුලෙ අපිට ජීවත් වෙන්න අවස්ථාව හිමිවෙලා තියෙනව. මේ අවස්ථාව අපි නිවැරදිව භාවිතයට ගන්නවද කියන එක ප්‍රශ්නාර්ථයක්. 
විනයක් නැති රටක අපි මිනිස්සු මනින්නෙ හරි අමුතු විදියට. හිනාවුනාම ඒ මනුස්සය හොඳ කෙනෙක් විදියට අපි විසින් මැන ගන්නව. ඒ හදුනාගැනීම් වැරදියි කියල බුදුන්වහන්සේ දේශනා කරනව. ඒ විතරක් නෙමෙයි. මිනිහෙක් හදුනාගන්න ක්‍රම හතරකුත් උන්වහන්සේ පෙන්වා දෙනව. මේ ක්‍රමයට මිනිස්සු හදුනගන්න විදිය අමාරුයි. හැබැයි හරි වැදගත්. 
සංවාසෙන ඛො, මහාරාජ, සීලං වෙදිතබ්‌බං
සංවොහාරෙන ඛො, මහාරාජ, සොචෙය්‍යං වෙදිතබ්‌බං.
ආපදාසු ඛො, මහාරාජ, ථාමො වෙදිතබ්‌බො.
සාකච්‌ඡාය ඛො, මහාරාජ, පඤ්‌ඤා වෙදිතබ්‌බා
සීලය
ව්‍යවහාරය
ශක්තිමත් බව
ප්‍රඥාව
කියන මේ හතරෙන් ඕනම මිනිහෙක්ගෙ යහපත්/අයහපත් බව මනින්න පුළුවන්. ඒක ලේසි පහසු දෙයක්නම් නෙමෙයි. 
ඕනම කෙනෙක්ගෙ සීලය මනින්න තියෙන ක්‍රමයක් තමයි එකට වාසය කිරීම. ව්‍යවහාරය මනින්න තියෙන හොඳම ක්‍රමය කතාබහ කිරීම. ශක්තිමත් බව මනින්න තියෙන එකම ක්‍රමය ඔහුට පැමිණෙන විපත් කෙරෙහි මුහුණ දෙන ආකාරය දෙස බලා හිදීම. ප්‍රඥාව මැනීමටනම් ඔහු සමඟ සාකච්ඡා කළ යුතු වෙනව. 
ඒත් අපි මනුස්සයෙකු හදුන ගන්නෙ මෙහෙමද? 
අපි මිනිස්සු හදුනගන්න සාමාන්‍ය ක්‍රම වේදය ඇඳුම. සූට් එක යට කරපු, පොලිෂ් කරපු සපත්තු දාන, ටයි එක පලදින ඕනම කෙනෙක්ට මහත්තය කියනව විතරක් නෙමේ එයා හොඳ කෙනෙක් කියන්නත් අපි පෙළඹෙනව. ඒ වගේම කොණ්ඩය අවුල් කරගත්ත රැවුල් වවාගත්ත චේන් පොටක් දාගත්ත කෙනෙක්ට අපි කියන්නෙ නසරානියෙක් කියල. නමුත් ඇත්තටම සූට් එක යට කරල අදින කෙනා පල් හොරෙක් වෙන්නත් බැරි නෑ. ජාතික අැඳුම ඇඳගත්ත පාර්ලිමේන්තුවෙ ඉන්න හුගක් ඇමතිවරු හොරු කියන එක අද ප්‍රසිද්ධ රහසක්. 
ලංකාවෙ මිනිස්සු මිනිස්සු හඳුනාගන්නා ක්‍රමේවේදයේ තරම අපිට පැහැදිලි වෙන තමයි පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුවෙ බහුතරය නූගත්, අසික්ෂිත, හරිහමන් චරිතයක් නැති මිනිස්සු. හැබැයි එයාල ඔක්කොම සුදු අඳිනව. 
සත්තජටිල සූත්‍රයෙ තියෙන විශේෂ ගාථාවක් මට මතක් වෙනව.

පතිරූපකො මත්‌තිකාකුණ්‌ඩලොව,
ලොහඩ්‌ඪමාසොව සුවණ්‌ණඡන්‌නො
චරන්‌ති ලොකෙ පරිවාරඡන්‌නා
අන්‌තො අසුද්‌ධා බහි සොභමානා
සමහර මැටි භාජන තියෙනව. ඒව රත්‍රං වලිං ආලේප කරපුවම හරි ලස්සනයි. ඇත්ත තනි රත්‍රං වගේ. ඒත් ඇත්තටම තියෙන්නෙ මැටි ගොඩක්. අන්න ඒ මැටි ගොඩ වගේ මිනිස්සු බොහෝවිට හරි ජෙන්ට්ල්මන් ල වෙන්න හදනව. රන් රිදී පලදනව. ඇදුමෙන් බහුශ්‍රැත වෙන්න හදනව. ඇත්ත යථාර්ථය එයාල එහෙම නෑ.

රැවටෙන්න එපා!


|ගුරුගොඩ සිරිවිමල