Monday, May 4, 2026

සාමයේ පා ගමන



පසුගිය දිනවල ලංකාවෙ ගියපු සාම පා ගමන ගැන යමක් සිතීම අපට ඉතාම වැදගත් කියල මට හිතෙනව. අපේ මිතුරන් බොහෝ දෙනෙක් මේ ගැන කතා කරල තිබුන. සමාජ සංවිධානයන් පිළිබඳව කතාබහ කිරීම කිසිසේත්ම නොවැදගත් යමක් නෙමේ. ලංකාවෙ කෙරුන සාම පා ගමන කියන්නෙ නරඹන්නට හොඳ වැඩක්. නමුත් පලදායී යමක්  ඒකෙන් සිදු වුනා ද කියන එක ප්‍රශ්න කරන එක ඉතාම වැදගත්. මේ සාම පා ගමන නම් කරල තිබුනෙත් “ඒහි පස්සිකෝ” කියලනෙ.

මේ වගේ දෙයකින් පලදායී දෙයක් සන්නිවේදනය වෙන සම්බාවිතාවය අල්පයි. දිගුකාලීන බලපෑමක් ඇත්තමෙ නැති තරම් කියලයි මට හිතෙන්නෙ. ඇමරිකාවෙ සාම පා ගමනත් එහෙම එකක්. මීඩියා වලට සති ගණන් ප්‍රදර්ශන කරන්න, සද්දාවන්ත බෞද්ධයන්ට සාදුකාර දෙන්න  මේ වගේ වැඩසටහන් හොඳයි. මේ කියන්නෙ Walk for peace සතපහක වටිනාකමක් නෑ කියල නෙමෙයි.

පඤ්ඤාකර හිමියන් ඇතුළු පිරිසගේ ක්‍රියාකාරී මැදිහත් වීම, එහි අරමුණු ගොඩක් වටිනව. අපට අවශ්‍යය වෙන්නෙ අපි ප්‍රාර්ථනා කරන්නෙ සාමෙන් ඉන්න පුලුවන් ලෝකයක්. අහරෙ ගහනව කියද්දි ලෝකෙම හෙල්ලෙන, ඒවයෙන් බියෙන් ගැහි ගැහි ඉන්න ලෝකයට පඤ්ඤාකර හිමියන් අතුළු පිරිසගේ “Walk for peace” චිකිත්සාත්මක මෙහෙවරක්.

ලෝකෙ මේ වගේ සංකේතීය කතා දැන් ටිකෙන් ටික මගහැරෙමින් යන කාලයක්. වැඩවර්ජන, උද්ඝෝෂණ, පා ගමන් කියන දේවල් ලෝකෙ දැන් අසමත් වෙමින් යන කාලයක්. ඒ මුකුත් නිසා නෙමෙයි දෙයක් සන්නිවේදනය කරන්න ඊට වඩා හොඳ මාධ්‍යයන් දැන් ලෝකෙ අත්හදා බලමින් ඉන්නව.

විශේෂයෙන්ම අධ්‍යාත්මික දැනුම් සන්නිවේදනයෙදි ඒක ගොඩක් මෘදු ප්‍රායෝගික ක්‍රම හරහා සිදු කරන දෙයක් බවට පත්වෙලා අවසන්. ලෝකය පුරා ආගම දහම මුල් කරගත් සාම සන්නිවේදනය දැන් සිදු වෙන්නෙ ජනප්‍රිය මට්ටමින් නෙමෙයි.

ආගමික හෝ අධ්‍යාත්මික පැත්තෙන් “සාමය” ගැන හොඳම සන්නිවේදනය කරමින් හිටියෙ දලයි ලාමා. උන්වහන්සේට පුලුවන් වුනා නිශ්චිත කාලයක මේ වැඩේ නියම විදියට සන්නිවේදනය කරන්න සහ නිශ්චිත කාලයකදි වැඩේ ටිකෙන් ටික අතහැරල දාන්න. ඒ අතහැරල දාන එකත් සන්නිවේදනයේම කොටසක්. උන්වහන්සේට ඒක උපායමාර්ගිකව සහ සැලසුම් සහගතව කරන්නත්, ඒකෙ ප්‍රතිඵලය ලෝකයට දායාද කරන්නත් හැකියාව ලැබුන.

ලෝකෙ අදටත් සාමය ගැන සංවාදයෙදි දලයි ලාමා අමතක කරන්න බැරි තරම් කෙනෙක් වෙන්නෙ ඒක උන්වහන්සේ නිවැරදිව සන්නිවේදනය කරපු නිසා. විශේෂයෙන් උන්වහන්සේ සාමයේ වින්දිතයෙක් වීම නිසා ක්‍රියාත්මක කරන්න පහසු වුනා. උන්වහන්සේගේ තරුණ අවධිය කියන්නෙ මේ පිළිබඳ දැවැන්තව සංවාද කරපු කාලයක්. ජනප්‍රිය තලයෙ වගේම ශාස්ත්‍රීය තලයෙත් උන්වහන්සේ කරපු සංවාදය ඒ සාකච්චා සහ පොත් පත් කියවීම තුළින් අවබෝධ කරගන්න පුලුවන්.

උන්වහන්සෙ මේ සන්නිවේදනය කරේ දැනුම නිර්මාණය කරමින් සහ දැනුම සන්නිවේදනය කිරීමෙන්. ඇත්තෙන්ම සාමය කියල කියන්නෙ දැනුම සහ ආකල්ප නිවැරදිව හඳුනාගැනීමෙන් සහ භාවිතයෙන් යතාර්ථයක් කරන්න පුලුවන් දෙයක් මිසක් කකුල් කෙඩෙත්තුව හැදෙනකල් පයින් ඇවිදල ලඟා කරගන්න පුලුවන් මල් යහනාවක් නෙමෙයි.

මෑත ඉතිහාසයෙ සාමය කියන විෂය තුළ සාමය සඳහා වූ ආගමික (අධ්‍යාත්මික) මැදිහත් වීම කියන කොටස නිර්මාණය කරන්න බෞද්ධ මැදිහත්වීම කරන්නෙ දලයි ලාමා. “බුදු දහම” තුළ සාමය කියල දෙයක් ගැන සංවාදයක් එන්නෙ නැහැ. ඒක බෞද්ධ සංස්කෘතිය තුළ අපේ උගතුන්, අධ්‍යාත්මවේදීන් බුදු දහම ආශ්‍රයෙන් නිර්මාණය කරපු දෙයක්.

ථෙරවාදය මුල් කරගෙන ගිය මේ පා ගමන ථෙරවාදයට බලාත්මක කරන එකක්ද කියන එක පවා ගැටලුවක්. ඇත්තෙන්ම ථෙරවාදයට සාමය කියන මාතෘකාව හරයාත්මකව කතා කරන්න තරම් හැකියාවක් නැහැ කියන එකයි මගේ අදහස. මේකෙන් කියන්නෙ ථෙරවාදය වැඩක් නැහැ කියන එක නෙමෙයි. ථෙරවාද කියන මොඩ්ල් එක සාමය සමග ගනුදෙනු කරන්නෙ මොනවගේ විදියටද කියන එක ගැන නිශ්චිත කතිකාවක් ඇති වෙලා නැහැ. ඇත්තෙන්ම ථෙරවාදයට තියෙන්නෙ ශාස්ත්‍රීය පසුබිම මුල් කරගත් වැඩ කොටසක්. එතනදි ථෙරවාදය සාර්ථකයි.

ඒ වගේම මේ Walk for peace හිමිවරුන් සාමය හෝ සාමය සඳහා වූ ආගමික සංවාදය කියන එක ගැන ගැඹුරු කියවීමක් සහිතව වැඩ කරන පිරිසක් නොවන බව පැහැදිලියි. ඒ බව කරන කතාබහ වලින් පැහැදිලි වෙනව. ගෙදර රණ්ඩු නොවී ඉන්න කියනවට වඩා සාමයේ කතාව සංකීර්ණ එකක්. අපේ පඤ්ඤාකර හිමියන් ඇතුළු පිරිස එතරම් අද්දැකීම් සහිතව මේ වැඩේ කරන බව පේන්න නැහැ.

සාමය කියන විෂය ඇතුළෙ මේ වෙද්දි නූතන ගැටලු ගොඩක් කතාවෙනව. යුද්ධය හා සාමය, ජාතිය හා සාමය, ආගම හා සාමයට වඩා දැන් සාමය කියන විෂය වැඩ කරන්නෙ විශ්වීය ආකාරයකට. ඒක ඇතුළෙ යුද්ධ, ආගම්, ජාති වගේම ලිංගික අනන්‍යතා, පාරිසරික හා භූගෝලීය තත්වයන්, තාක්ෂණය මේ හැම දෙයක්ම සංවාදයට ගැනෙන තැනක් තමයි සාමය කියන විෂය. මගේ ප්‍රශ්නය ඒ සංවාදය මේ Walk for Peace කණ්ඩායම බරපතල ලෙස තේරුම් අරගෙන තියෙනවද කියන එක?

සාමය සඳහා වූ ආගමික (අධ්‍යාත්මික) මැදිහත් වීම කියන්නෙ ඔය විෂයෙ එක පැතිකඩක්. ඒක පා ගමනකින් කෙළවර වෙන දෙයක් නෙමෙයි.

මිනිස්සුන්ගෙ කෙලවරක් නැති ගැටලු අතර හොල්මනක් වගේ සැරිසරන ආශාව පිළිබඳ දැනමුතුකම පා ගමනකින් සන්නිවේදනය කරන්න අපහසුයි කියන එකයි මගේ අදහස.

මිනිස් ආකල්ප නිසා ඇතිවන සමාජ ගැටුම්, කුටුම්භ ගැටුම් ආදී සකල ඝට්ටනයන් සඳහා වන බුදු දහමේ ප්‍රතිකාරය තියෙන්නෙ සමථය හා විදසුන තුළ. සිත සහ සිතිවිලි කළමනාකරණ කරමින් ලෝභ, දෝශ, මෝහ මඟහැරීමට ගන්න ප්‍රයත්නය තුළ තමයි පුද්ගලයා තුළ සාමය සංහිදියාව උදා කරන්න පුලුවන් වෙන්නෙ.

සාම පා ගමන් වගේ දෙයකින් “සාමයත් එක්ක ගැටුමක්” මිනිස්සු අතර හදාගන්න පුලුවන්. දැන් වෙලා තියෙන්නෙ එහෙම දෙයක්. කතෝලික පල්ලියට වැඩල ගිලන්පස වැළඳීම, ඉස්ලාම් ඉස්කෝලයකින් ගෞරව ලබන එක පරන විහිළුවක්. ඒක දශක ගණනාවක් තිස්සෙ වැඩ කරල නැති බවට හොඳම උදාහරණය ලංකාව ඇතුළු බෞද්ධ රටවල් ටික.

ඒ වගේ දෙයකට ආගමික මැදිහත් වීමක් අවශ්‍යය නෑ. මනුශ්‍යත්වය පමණක් ප්‍රමාණවත් කියල තේරුම් ගත්තම ප්‍රමාණවත්. එකට ඉන්න බැරිවෙලා තියෙන්නෙ ආගමික ප්‍රශ්නයක් නිසා නෙමෙයි. මනුශ්‍යත්වය ගැන ප්‍රශ්නයක් තියෙන නිසයි. ඒ  බව තේරුම් කරන්න තමයි බුදු දහම පාවිච්චි කරන්න අවශ්‍යය.

සැදැහැවත් දනන්ගේ ඇස් තෙත් කරන, රෝමාන්තිකකරණය වුන විවිධ උපක්‍රම මේ වැඩේදි භාවිත වුනා. මුදල් කවර ප්‍රතික්ෂේප වෙද්දි පඤ්ඤාකර හිමියන් රෙදිකඩ එකතු කරල මහපු සිවුරක් පොරවගෙන, බලු රාළ කෙනෙකුත් දක්කන් එද්දි, පාවහන් නැතිව ගිනි අව්වෙ ගමන් කරද්දි, භික්ෂුවක් හිටගෙන නිදාගද්දි, තමන්ට මීට පෙර එක්ස්පීරියන් කරන්න නොලැබුන දෙයක් ගැන මිනිස්සුන්ට ආසාවක් ඇති වෙනව. හැබැයි මේ දේවල් සාමය කියන මාතෘකාවෙදි මොනතරම් වලංගුද කියන එක ගැන අපි ප්‍රශ්න කරන්න ඕන.

ඒ වගේම ලංකාවේ සාමය පිළිබඳ ගැටලුව මෙතනදි අමතක කරන්නම බැහැ. ඇත්තටම ලංකාවෙ සාමය කියන්නෙ ගෙදර ඉන්න අයගෙ ප්‍රශ්නයක් කියලයි මම තේරුම් ගන්නෙ. පඤ්ඤාකර හිමියන්ගෙ සාම පා ගමනෙදිත් ඒක ඔප්පු වුනා. ලංකාවෙ එක් භික්ෂු කණඩායමක් මේව ජාත්‍යන්තර කුමන්ත්‍රණ බව කියන්න මාධ්‍ය හමු තිබ්බ. තව පිරිසක් ආණ්ඩුවට බැන්න. තව පිරිසක් සිරස වැනි නාලිකාවන්ට බැන්න. පොලිස්සිය සහ මාධ්‍ය කරුවන් අතර බහින්බස් වීම් සිදු වුනා. තියෙන මිනිස්සු පෙන්වන්න උත්සාහ කරා. භෞතික දේවල් වගේම තමන්ගේ ශ්‍රද්ධාව, සිල්වත්කම පෙන්වන්නත් මිනිස්සු උත්සාහ ගත්ත.

පඤ්ඤාකර හිමියන් සෙනඟ වට වුනාම කෑ ගහන්න එපා කිව්ව, කලබලය, කෑකෝව “සතිය” ට බාධායි කිව්ව, ඔයාල කෑ ගැහුවොත් මම යන්ඩ යනව කිව්ව, බලු රාළ කෙනෙක් සමඟ යන සාම පා ගමනක ඔයට වඩා බලාපොරොත්තුවක් සපල කරගන්න බැහැ. ලංකාවේ පොදු මිනිසාගේ විඥ්ඥානය වැඩ කරන විදිය ගැන දශමයකවත් අවබෝධයක් නැතිව ඔය පොදු වැඩවලට අතගහන එකම තේරුමක් නැති වැඩක්.

ලංකාවෙ මීට අවුරුදු ගණනාවකට කලින් සාම පා ගමන් තිබුන. ඒව ජාත්‍යන්තරයෙ ලොකු ආධාර ලබන ව්‍යාපෘති නොවුනත් ලංකාවෙ සාමයේ මොඩලය ඒක කියලයි මම හිතන්නෙ. සිරිපා කරුණාව, අනුරාපුර, කතරගම වන්දනාව ආදිය ඉස්සර සිදුවුනේ පා ගමන් ස්වරූපයෙන්. මේ සංස්කෘතික වටිනාකම් කෙලෙසගෙන තමයි අපි “Walk for peace” දැකල ඇස් නිලංකාර කරගන්නෙ.

ලංකාවෙ සාමය කියන්නෙ දශක ගණනාවක් තිස්සෙ ගෙදර ඇතුළෙ විසඳගන්න බලන ප්‍රශ්නයක් ගානයි. ඒ සංවාදය ලෝක මට්ටමේ සාම කතාවක් නෙමෙයි. අපි සිංහල අවුරුදු කන්නෙත් එකමුතුකම වගේ දේවල් රෝමාන්තික කරණයට ලක් කරගෙනනෙ. ඉතින් ලංකාවට සාම පා ගමන් වගේ දේවල් වලින් සාම සන්නිවේදනයක් සිදුවෙන්නෙ නැහැ.

මම මේ කියන්නෙ බෝ පැලයක් අරගෙන යන්න ආවනම්, ඒක අරගෙන ගියානම් හරි කියල නෙමේ. පා ගමනෙ වැදගත්කමක් තියෙනව. නමුත් ඒක සාමය සඳහා වූ ආගමික මැදිහත් වීම නෙමේ. ඒක වෙන එකක්.

-ගුරුගොඩ සිරිවිමල-


Tuesday, July 29, 2025

දූවිල්ලේ රැඳුණ පියසටහන් | FootPrints in the Dust

පොතක්නම් එය කියවිය හැකි විය යුතුය, කියවීමෙන් ආනන්දයත්, ප්‍රඥාවත් ගෙන ආ යුතුය, පරිස්සම් කොට තබාගෙන විඩෙන් විඩ ද කියවන්නට සිත යා යුතුය. එවැනි පොතක් මා හට කියවන්නට ලැබුනේ මෑතක දී ය.

 

ඕස්ට්‍රේලියානු ජාතික ශ්‍රාවස්තියේ ධම්මික හිමියන් විසින් “FootPrints in the Dust: The life of the Buddha from the most ancient sources” නමින් රචනා කරන ලද ඉංග්‍රීසි කෘතියේ සිංහල පරිවර්තනය කුඩගම්මන සීලරතන (භන්තේ සීල) හිමියන් “දූවිල්ලේ රැඳුණ පියසටහන්: ඉපැරණි පාළි මූලාශ්‍රය ඇසුරින් බුදුන් වහන්සේගේ ජීවිත කථාව” නමින් මෑතකදි එළිදක්වන ලදි.

කියවන්නට රුචිය ඇති වන පරිද්දෙන්, පොත් ඉතා හොඳින් තෝරා බේරා ගනිමින් ද, අලංකාර භාෂාවකින් ද පරිවර්තන කාර්යයන් සිදු කරන සීල හිමියන්ගේ පරිවර්තන කෘතියක් මග හැර යාම රසවතුන්ට උචිත නොවේ. තවද, එය මොළයට පාඩුවකි. එබැවින්, බුද්ධාලම්භන ප්‍රීතියෙන්, බුද්ධි කලම්බන රුචියෙන් දෑතින් දෝතින් ගෙන මෙම කෘතිය කියවීමටත්, රසවින්දනයටත් පටන් ගතිමි.

 

කෘතියේ රචකයා වන එස්. ධම්මික හිමියන් යනු, කාලයක් පුරාවට බෞද්ධ පර්යේෂණ සිදු කරමින් බුදුදහම ගවේෂණය කරන, ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල විද්වතුන් ඇසුරු නිසුරු කරන විද්වතෙකි. භාවනාවට රුචි කරන භික්ෂුවකි. කෘති ගණනාවක් රචනා කරන ලද ගත් කතුවරයෙකි.

එස්. ධම්මික හිමියන්ගේ දූවිල්ලේ රැඳුණ පියසටහන් සඳහා පදනම් වන්නේ, ගෞතම බුදුන්වහන්සේගේ ජීවන තොරතුරුය. බුදුන් වහන්සේගේ ජීවන තොරතුරු ඇතුළත් කෘති බොහෝමයක් රචනා වී තිබුන ද, ශාස්ත්‍රීය වශයෙන් රචනා වූ කෘති අල්පය. බොහෝ කෘති උන්වහන්සේගේ ජීවන තොරතුරු, භාවාතිශය කතාන්දර මුල් කරගනිමින් ගොඩනගන ලද ඉන්ද්‍රජාලික ශාස්තෘවරයකු බවට අප ඉදිරියෙහි ඔසවා තබයි. නමුත්, මූල් කෘති පදනම් කරගනිමින් නව බුද්ධ චරිතයක් ගොඩනැංවීමට ශාස්ත්‍රීය වෙහෙසක නිරතවන එස්. ධම්මික හිමියන් තම පර්යේෂණයට පාදක කරගන්නා ප්‍රාථමික මූලාශ්‍රය වන්නේ, ථෙරවාද ත්‍රිපිටකයයි. උන්වහන්සේ ස්වකීය චින්තනය ද දායක කරගනියි. කතුවරයා කියන පරිද්දෙන්, මෙම කෘතිය 35 වසරක් පුරාවට දරන ලද වෙහෙසකි. බුදුදහමට සැබැවින්ම දුර වූ, බුද්ධ චරිතයෙහි ආලෝකයක් කුඩා කළ පටන් නොලැබූ රචකයෙක් වන උන් වහන්සේ බුද්ධ චරිතය දෙස දුර සිට බලන්නෙකු ලෙස මට සිතෙයි. පර්යේෂණ වස්තුව පර්යේෂකයාට පුද්ගලිකව සමීප වන තරමට පර්යේෂණ වස්තුව සමග බැඳීමක් හටගනියි. එය පර්යේෂණයේ උසස් ප්‍රතිඵල සඳහා බාධා සිදු කරයි. නමුත් පර්යේෂණ වස්තුව දුර වූ විට පර්යේෂකයාගේ ස්වාධීනත්වයට බාධා නො කරයි. ස්වකීය සොයාගැනීම් නො බියව ඉදිරිපත් කළ හැකි වන්නේ, එවිටයි. එස්. ධම්මික හිමියන්ගේ මෙම පර්යේෂණ කෘතියෙහි වැදගත්කම වන්නේ, බෞද්ධ ආභාසය උපතින් ම රැගෙන නො ඒමයි. එනිසාම බුද්ධ චරිතය යනු උන් වහන්සේට නැවුම් දෙයකි. මෙම පර්යේෂණ කෘතියේ අරමුණ වී ඇත්තේ, බුදුන් වහන්සේ යනු කවරෙකු ද? උන්වහන්සේ කෙබඳු අයෙකු වන්නට ඇද්ද? යන්න සෙවීමයි. පරිච්ඡේද දා හතරකින් (14) සමන්විත මෙම කෘතියෙහි පළමු පරිච්ඡේදයෙන් බුද්ධ චරිතය ලිවීම සඳහා අගනා ප්‍රවේශයක් ලබා ගනියි. මේ දක්වා ලියවී ඇති බුද්ධ චරිත කෘති තුළ ඇතුළත් කරුණු සමාලෝචනය කරන කතුවරයා, ලලිත විස්තරය, සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය, අශ්වඝෝෂයන්ගේ බුද්ධ චරිත මහා කාව්‍යය, හින්දු ආගමික ග්‍රන්ථයක් වන, මත්ස්‍ය පුරාණය වැනි ජනප්‍රිය කෘති තුළ බුද්ධ චරිතය ගොඩ නගා ඇති අයුරු මෙන් ම, ශාස්ත්‍රීය පර්යේෂණ නමින් රචනා වූ බුද්ධ චරිතය පිළිබඳ කෘති, ලේඛන වැනි බොහෝමයකගේ ඇතුළත් තොරතුරු තාර්කිකව විවේචනයට ලක් කරයි. පූර්ව පර්යේෂණ සමාලෝචනය තුළින් උන්වහන්සේ පෙන්වා දීමට යත්න දරන්නේ, එතෙක් රචනා වූ කෘති වල ඇතුළත් බොලඳ වූත් නිසරු වූ අර්ථ විරහිත පල් හෑලි පිළිබඳවය. එයින්, උන්වහන්සේ ස්වකීය පර්යේෂණ කෘතිය පදනම් වන්නේ, නිවැරදි වූත් තාර්කික මූලාශ්‍රය මත බව පෙන්වා දෙයි. බුදුන් වහන්සේ ජීවත්ව සිටි අවධිය, එම ප්‍රදේශයන් හි භූගෝලීය ලක්ෂණ, සමාජ සංවිධානය, සමාජ තත්වය වැනි කරුණු කෙරෙහි ද අවධානය ලබා දී ඇති අයුරු දක්නට ලැබේ. “… මධ්‍ය ප්‍රදේශයේ බොහෝ ජනාවාස කුඩා ඒවා වූ අතර, ගංගාවන් සමීපයේ ගොඩ නැගී තිබිණ. පසු ව, ඒවා ක්‍රමයෙන් විශාල වීමත්, ප්‍රදේශය අභ්‍යන්තරය දෙසට ව්‍යාප්ත වීමත් ඇරඹිණි. කලෙක දඩයක්කරුවන් සහ ගෝත්‍රිකයන් පමණක් කරක් ගැසූ පෙදෙසක, කෘෂිකාර්මිකයන් පදිංචිව කුඹුරු සකසන්නට විය.(02. පරි,38 පි.) “මූල ග්‍රන්ථයන්හි දැක්වෙන නගර වර්ණනයන්ට අනුව, අතරින් පතර ඉහළට නැගුණ කුළුණු සහ අවැසි තැන්වල ඉදි කළ ගේට්ටු සහිත ආරක්ෂක තාප්ප හෝ බිත්ති, ඒ වටා ඉදිවුණ දිය අගල් නගරවල තිබේ.‍”‍් 02. පරි, 39 පි.) මෙහි අන්තර්ගත කරුණු දෙස බලන විට, මෙවැනි පර්යේෂණයක් අයෙකුට උඩින් අත පත ගා කළ නොහැකි දෙයක් බව අනාවරණය වෙයි. සූත්‍ර පිටකයේ ඇතැම් තැන් සූක්ෂමව පිරික්සා, තාර්කික ඥානය ද, නිර්මාණශීලීත්වය ද කැටි කොට තිබිය යුතුය. බුදුන් වහන්සේ පිළිබඳව තොරතුරු දැක්වීමේ දී කෘතියේ බොහෝ තැන්වල කතුවරයා අලුත් අදහස් පෙන්වා දීමේදී අනුගමනය කරන ක්‍රමයක් වන්නේ, ඒ පිළිබඳව මීට පෙර ජනවහර තුළ හෝ කෘති තුළ දැක්වෙන කරුණු ගෙනහැර දක්වා එහි සත්‍යාසත්‍යය බව පෙන්වා දීමයි. ““බුදුන් වහන්සේ උපතින්ම හින්දු වරයෙකි, ජීවත් වූයේත්, පිරිනිවන් පෑවේත්, හින්දුවරයෙකු ලෙසිනි”” යයි කියමනක් තිබේ….” (03 පරි, 83 පි.) බුදුන් වහන්සේ ගේ මා පිය, ඥාති තොරතුරු පිළිබඳ අනර්ඝ තොරතුරු මෙම කෘතිය තුළ ඇතුළත් ව ඇත. මව පිළිබඳ අදහස් දැක්වීමේ දී මෙතෙක් අසා ඇති කරුණු වලට වඩා වෙනස් ශාස්ත්‍රීය අදහස් ඉදිරිපත් කිරීමට කතුවරයා දක්ෂව ඇත. එහිදී, මහාමායා සහ ප්‍රජාපතී ගෝතමිය සමාන බිරින්දෑවරුන් ද, නැතහොත් ගෝතමිය යනු මායාවගේ මරණයෙන් පසු විවාහය ද යන්න පිළිබඳවත්, මායා යන නමෙහි අර්ථය පිළිබඳවත් විවරණය කරන අතර, සුද්ධෝධන රජු පිළිබඳව ද අදහස් දක්වයි. නෑ සියන් පිළිබඳව අදහස් දැක්වීමේ දී, එකළ, සමාජ දේශපාලන විවරණ ද දක්වන්නට උත්සාහ කර තිබෙන්නා සේ ම, බුදුන් වහන්සේ තුළ ශාක්‍යයන් කෙරෙහි තුබූ ඇල්ම කෙතෙක්ද යන්න ද දක්වා තිබේ. සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය පිළිබඳව ගොඩනැගී ඇති නිර්මාණාත්මක කථාන්දර ප්‍රතික්ෂේප කරන උන්වහන්සේ, අච්ඡරියබ්බූත සූත්‍රය වැනි සූත්‍රයන්හි අන්තර්ගත කරුණු මුලුමනින්ම ප්‍රතික්ෂේප නොකරයි. එය ද පර්යේෂකයෙකු ලෙස උන්වහන්සේගේ මනා හික්මීමේ ගුණය පැහැදිල කරන අවස්ථාවකි. මායාවන් සිටගෙන සිටමින් ම කුමරා බිහිකළ අයුරු පිළිබඳව කරුණු දක්වමින් උන්වහන්සේ පෙන්වා දෙන්නේ, “…පවුල් සෞඛ්‍ය සේවිකාවන් සඳහා වූ රාජකීය විද්‍යාලය පවසන පරිදි, පවුල් සෞඛ්‍ය සේවිකාවන් සහ අනෙකුත් සහායක පිරිස් නිසි පරිදි පුහුණු කර ඇත්නම්, සිටගෙන සිටියදී ම දරු ප්‍රසූතියක් සිදු කිරීම සුරක්ෂිත බව…”(03, පරි, 89 පි.) යනුවෙනි. තවද, සිදුහත් කුමාරෝත්පත්ති කතාවෙහි හා කිතුණු උත්පත්තියෙ හි ඇති සමානතාවන් ද පෙන්වාදීමට උත්සාහ කර තිබේ. අප කලක් සිට අසා හෝ කියවා ඇති බුද්ධ චරිතයට හාත්පසින් ම වෙනස් වූ මෙම බුද්ධ චරිතය අතිමානුෂීය කරණයට ලක් වූ බුදුන් වහන්සේගේ චරිතය නැවත මහ පොලොවට කැඳවාගෙන ඒමක් යැයි සිතිය හැකි කරුණු රැසක් ඇතුළත්ව තිබේ. මෙලෙස ඇතුළත් කර ඇති සියලු කරුණු සූත්‍ර පිටකය ඇසුරින්ම මූලාශ්‍රය දක්වා තිබීමෙන් එහි ශාස්ත්‍රීයත්වය හා නිවැරදි බව තහවුරු වෙයි. අප හඳුනාගන්නා පරිදි, බුද්ධ චරිතය ඇසුරින් ගොඩ නැගී ඇති නූතන ගැටලු දෙකකි. එකක්, බුදුන් වහන්සේ සත්‍යයවශයෙන්ම කෙබඳු අයෙක්ද යන්න හඳුනාගැනීමට නොහැකි වීමයි. අනෙක, බුදුන්වහන්සේ ලක්දිව හෝ වෙනත් රටවල උපත ලැබී යැයි ගොඩ නගන අදහසයි. මෙම නූතන ගැටලු දෙක සඳහාම දූවිල්ලේ රැදුණ පියසටහන් තුළින් පිළිතුරු ලැබේ යැයි සිතිය හැකිය. අතිමානුශීයකරනය වූ ඉන්ද්‍රජාලීකයෙකු වෙනුවට සැබැවින් බුද්ධ චරිතය කෙබදු ද යන්න මෙයින් තහවුරු කෙරෙයි. බුදුන් වහන්සේ යනු සැබැවින්ම මානුෂීය ගුණයන් පිරී ගිය පුද්ගලයෙකි. උන්වහන්සේගේ මෙහෙවර කුමක්ද? නායකයෙකු ලෙස ගැටලු විසඳන ලද්දේ කෙසේද? උන්වහන්සේගේ ශාසනික අර්බුද හමුවෙහි, රජසිටුවරු හමුවෙහි ක්‍රියා කලේ කෙසේද? යනාදිය තේරුම් ගැනීමට මෙම කෘතිය වැදගත් වනු ඇත. -ගුරුගොඩ සිරිවිමල-



 

Sunday, September 1, 2024

සපත්නීරෝෂයක්

මේ දිනවල ITN එකේ ටෙලිකාස්ට් වෙන ටේක් කෙයාර් ටෙලි නාට්‍යයේ අලුත් තේමා ගීතයක් රිලීස් වෙලා තිබුන. ටේක් කෙයා නාට්‍යයේ තියෙන වෙනස් බව නිසා සහ ටෙලි නාට්‍යමය ගුණය නිසා මම ඒක නොවරදවාම බලනව. ටෙලි නාට්‍යයට ගැලපෙන ලස්සන තේමා ගීතයක් නිසා ඒ ගැන ලියන්න හිතුන.

“සපත්නීරෝෂයක්” මේ ගීතය ලියල තියෙන්නෙ අභිෂේකා විමලවීර. ගායනය ඇය සහ නන්දා මාලනිය. ඇත්තටම මොකද්ද මේ සපත්නීරෝෂය? සපත්නීරෝෂය කියන්නෙ බෞද්ධ සාහිත්‍යය තුළ කීප තැනකම අහන්න ලැබෙන වචනයක්. ඒ වගේම මනෝවිද්‍යාව තුළත් මේ වචනයට ලොකු තැනක් ලැබෙනව.

සපත්නීරෝෂය කියන වච්‍යාර්ථය ගැන කතා කරද්දි පාලියෙහි එන “සපත්නී” කියන වචනය කතා නොකරම බැහැ. “සපත්නී” යන්නෙන් අර්ථවත් වෙන්නෙ “සැමියාගේ අනිත් බිරිඳ” ඒ වගේම සපත්නී රෝෂය කියන්නේ  “සැමියාගේ අනික් බිරිඳ පිළිබඳව පළමු හෝ අනෙක් බිරිඳට ඇතිවන ඊර්ෂ්‍යාව/ ක්‍රෝධය/ වෛරය” මේ ගැන අපේ හිතවත් විද්වතෙකු සමඟ කතා කරපු වෙලේ මේකට ඉංග්‍රීසි භාෂාවේ “Sexual jealousy - ලිංගික ඊර්ෂ්‍යාව” යන පදය ගැලපෙන බව. සපත්නීරෝෂය යන්නට ලිංගික ඊර්ෂ්‍යාව යන්න ඉතා සමීප වෙන බව හිතන්න පුලුවන්. නමුත් ලිංගික ඊර්ෂ්‍යාව පුරුෂයන් හා සමලිංගික පිරිමි, ගැහැණු තුළ පවා තිබෙන දෙයක්. ඒ වගේම සාමාන්‍යය ගැහැණු පිරිමින් තුළ නිරතුරුවම දකින්න ලැබෙන දෙයක්.

පතිනිය කියන සංකල්පය ආගමික හා සමාජීය අර්ථයෙන් ලිංගික ඉතිහාසය පුරාම භාවිත වෙලා තියෙන්නෙ පිරිසිදු වූත් පවිත්‍ර වූත් සංකල්පයක් විදියට. විවාහය හෝ ප්‍රේමය තුළ එය දෙදෙනෙකු අතර පමණක් පවත්වාගෙන යා යුතුයි. නමුත් ඉතිහාසය සිට අද දක්වා රජවරු, සිටුවරු, සාමාන්‍ය මිනිසුන් පවා මෙම සංකල්පය බිඳ දානව. සමාන පතිනියන් සමඟ බැඳුණු ආදර කතා, ශෝක කතා, උපමා කතා, උපදේශ කතා හැම සාහිත්‍යයකම ප්‍රබන්ධමය වශයෙන් ගොඩනැගිල තිබෙන්නෙ ඒ නිසයි. කෙසේවෙතත්, මේ සපත්නීරෝෂය කියන්නෙ සෙක්ෂුඅල් ජෙලසි එකකට වඩා තරමක් භයානක, සංසාරෙ පුරාම අරගෙන යන්න පුලුවන් තරමෙ වෛරයක්.

බෞද්ධ සාහිත්‍යයේ සිංහල ජාතක කතා තුළ මෙම සපත්නීරෝෂය පිළිබඳව කියවෙන ප්‍රසිද්ධ කතාවක් තමයි ඡද්දන්ත ජාතකය. ඡද්දන්ත ජාතකයෙදි  චූල සුභද්‍රා සහ මහා සුභද්‍රා කියන ඡද්දන්ත ඇතාගේ බිරින්දෑවරු අතර චූල සුභද්‍රාට හට ගන්න තරහව සහ ඊර්ෂ්‍යාව සපත්නී රෝෂයට හොඳ උදාහරණයක්. 

ඡද්දන්ත ඇතා කියන්නෙ ඇතුන් අටදහසක් පමණ කණ්ඩායමක නායකයෙක්. මේ ඇතාට බිරින්දෑවරු දෙදෙනෙක් ඉන්නව. මහා සුභද්‍රා සහ මහා සුභද්‍රා තමයි මේ බිරින්දෑවරු දෙදෙනා. මේ තිදෙනාම හොඳින්, ආදරයෙන් ජීවත් වෙනව. එක දවසක ඡද්දන්ත ඇතා මේ බිරින්දෑවරු දෙදෙනාම එක්ක ස්නානය සඳහා විලකට යනව. ඒ විල ලග විශාල සල් ගහක් තිබුන. ඡද්දන්ත ඇතාට හිතුන සෞන්දර්යාත්මක විදියට තමන්ගෙ හිතේ මේ ඇතින්නියන් දෙදෙනාට තියෙන ආදරය පෙන්වන්න. එහෙම හිතාගෙන සල්ගහේ මල් බරවෙලා තිබුන අත්තක් තමන්ගෙ හොඬ වැලෙන් තල්ලු කරල මේ දෙන්නගෙ ඇගට වැටෙන්න සලස්වනව. හැබැයි මේ වෙලාවෙදි තමන්ගෙ ලග හිටිය චූල සුභද්‍රාගේ ඇගට වැටෙන්නෙ සල් ගහේ වේලිලා තිබුන කොළ දඬු දිමි ගොටු ආදිය.

මේ සිදුවීම ගැන සිහියෙන් ඉන්න චූල සුභද්‍රාට හිතෙනව ඡද්දන්ත ඇතා වැඩියෙන්ම ආදරය කරන්නෙ මහෙ සුභද්‍රාට කියල. එතනින් හටගන්න ඊර්ෂ්‍යාවෙන් සෑම දිනකම සිද්ධ වෙන ඇතාගෙ ආදර සංග්‍රහ හැමදෙයක් තුළම චූල සුභද්‍රාට අඩුපාඩුවක් පේන්න ගන්නව. මේ නිසා දිනෙන් දින වැඩිවෙන චූල සුභද්‍රාගෙ ඊර්ෂ්‍යාව වෛරයක් බවට පෙරලෙනව. සුභද්‍රාගේ මේ වෛරයේ තරම කොච්චරද කියනවනම් ඇය මැරණය ප්‍රාර්ථනා කරේම මරණින් මතුව මිනිස් භවයක ඉපදිලා මේ ඇතාගෙන් පලිගන්න හිතාගෙන. ඒ ප්‍රාර්ථනාව තමයි යම් දවසක මිනිස් භවයක් ලබල, ඒ භවයෙදිම බරණැස් රජතුමාගේ බිරිඳ වෙලා දොළදුකක් ඇතිවෙලා ඒ දොළදුක තුළින් ඇයගේ වෛරය සංසිදුවා ගැනීම. ඇය ඒ පැතුම ඒ ලෙසින්ම ඉශ්ඨ කරගන්න සමත් වුනා.

මේ කතාවෙදි සපත්නීරෝෂයෙන් යුතු ස්ත්‍රියක් ක්‍රියා කරන්නෙ කොහොමද කියන කාරණය ජාතක කතාකරුවා පැහැදිලිව කියා දෙනව. සපත්නී රෝෂයක් හිතේ හටගත්තම ඒ ස්ත්‍රියට තමන්ගේ ස්වාමියා කරන යහපත් දෙය පවා වැරැද්දක් විදියට දකිනවා. ඇය ඇයට තියෙන ආර්ථික මට්ටම, සමාජ බලය අනුව ඒ හැමදේම පාවිච්චි කරන්නෙ ස්වාමියා නසන්න.

ඒ වගේම සපත්නීරෝෂය ගැන කතා පුවත් සූත්‍ර පිටකයේ පේතවත්ථුවේ පඤ්චපුත්‍රඛාදක, සත්තපුත්‍රඛාදක වත්ථුවලත් සඳහන් වෙනව. 

මේ ගීතය තේමා ගීතය බවට පත්වෙන්නෙ ටේක් කෙයාර් කියන ටෙලි නාට්‍යයෙ. ඒ නාට්‍යයේ කතාවට අනුව සැමියාට නිත්‍යානුකූල බිරිඳක් සහ අමතරව රැකියා ස්ථානයේ පහළ සේවිකාවක් සමඟත් ඇසුරක් පවතිනව. මේ සැමියා සහ නිත්‍යානුකූල බිරිඳ අතර දැඩි ආදරයක් තිබුනත් දෙදෙනාම දරුවන් නොමැතිකම නිසා හිත්තැවුලෙන් පසුවෙන දෙදෙනෙක්. දරුඵල ලබන්න විවිධ උපක්‍රම භාවිත කරන දෙදෙනෙක්. මල් පහන් පූජා කරල, දෙවියන්ට කියල, දෙවියන්ගෙන් ඉල්ලල ලිංගිකව එක්වන දෙදෙනෙක්. ඒකාකාරී ලිංගික ජීවිතයක් ගත කරන දෙදෙනෙක්. නමුත් සැමියා සියල්ලටම අමතරව රැකියා ස්ථානයේ තමන්ගෙ පෙම්වතිය එක්ක ආදරය විදිනව. විශේෂයෙන්ම ලිංගික තෘප්තියක් ලබනව. මේ හේතුවෙන් පෙම්වතියට දරුවෙක් ලැබෙන්න යනව. මේ සියල්ලම අතර මැද මේ සම්බන්ධය නිත්‍යානුකූල බිරිඳට දැනගන්න ලැබෙනව.

බිරිඳගේ හිත පෑරෙනව. රිදෙන්න ගන්නව. නමුත් ඇය එය දරාගන්නව. දරාගෙන ඉදිරි ප්‍රශ්නවලට මුහුණ දෙන්න තීරණය කරනව. සැමියාගේ ගැබ්බර පෙම්වතිය ආදරෙන් රැකබලාගෙන ඒ ලැබෙන දරුවව තමන් වෙතට ගන්න උත්සාහ කරනව. මේ සිදුවීම සාමාන්‍ය නොවන කතාවක්. සාමාන්‍යයෙන් ගැහැණියකට මේ වැනි දෙයක් සිදු වූ විට හැසිරෙන විදියට හාත්පසින්ම වෙනස් විදියකට තමයි මේ කතාවේ බිරිඳ හැසිරෙන්නෙ.
මේ කතාවට තේමා ගීතයක් විදියට ලියවෙන “සපත්නීරෝෂයක්” ගීතයෙහි පද වැලේ පළමු පද පේළියෙදිම අභිෂේකා ලියන්නෙ; “සපත්නීරෝෂයක් නෑ මගෙ ලොවේ” කියල. ඒ ලස්සන පද පෙළ ඇතුළෙ ගැඹුරක් ගැබ් වෙලා තියෙනව. ඇය මේ සමස්ත සිදුවීමටම පළමු පද පේළියෙන්ම ගන්න ආරම්භය මට හිතෙන්නෙ සමස්ත කතාවටම ආරම්භයක් කියල.
 
-ගුරුගොඩ සිරිවිමල-