පසුගිය දිනවල ලංකාවෙ ගියපු සාම පා ගමන ගැන යමක් සිතීම අපට ඉතාම වැදගත් කියල මට හිතෙනව. අපේ මිතුරන් බොහෝ දෙනෙක් මේ ගැන කතා කරල තිබුන. සමාජ සංවිධානයන් පිළිබඳව කතාබහ කිරීම කිසිසේත්ම නොවැදගත් යමක් නෙමේ. ලංකාවෙ කෙරුන සාම පා ගමන කියන්නෙ නරඹන්නට හොඳ වැඩක්. නමුත් පලදායී යමක් ඒකෙන් සිදු වුනා ද කියන එක ප්‍රශ්න කරන එක ඉතාම වැදගත්. මේ සාම පා ගමන නම් කරල තිබුනෙත් “ඒහි පස්සිකෝ” කියලනෙ.
මේ වගේ දෙයකින් පලදායී දෙයක් සන්නිවේදනය වෙන සම්බාවිතාවය අල්පයි. දිගුකාලීන බලපෑමක් ඇත්තමෙ නැති තරම් කියලයි මට හිතෙන්නෙ. ඇමරිකාවෙ සාම පා ගමනත් එහෙම එකක්. මීඩියා වලට සති ගණන් ප්‍රදර්ශන කරන්න, සද්දාවන්ත බෞද්ධයන්ට සාදුකාර දෙන්න මේ වගේ වැඩසටහන් හොඳයි. මේ කියන්නෙ Walk for peace සතපහක වටිනාකමක් නෑ කියල නෙමෙයි.
පඤ්ඤාකර හිමියන් ඇතුළු පිරිසගේ ක්‍රියාකාරී මැදිහත් වීම, එහි අරමුණු ගොඩක් වටිනව. අපට අවශ්‍යය වෙන්නෙ අපි ප්‍රාර්ථනා කරන්නෙ සාමෙන් ඉන්න පුලුවන් ලෝකයක්. අහරෙ ගහනව කියද්දි ලෝකෙම හෙල්ලෙන, ඒවයෙන් බියෙන් ගැහි ගැහි ඉන්න ලෝකයට පඤ්ඤාකර හිමියන් අතුළු පිරිසගේ “Walk for peace” චිකිත්සාත්මක මෙහෙවරක්.
ලෝකෙ මේ වගේ සංකේතීය කතා දැන් ටිකෙන් ටික මගහැරෙමින් යන කාලයක්. වැඩවර්ජන, උද්ඝෝෂණ, පා ගමන් කියන දේවල් ලෝකෙ දැන් අසමත් වෙමින් යන කාලයක්. ඒ මුකුත් නිසා නෙමෙයි දෙයක් සන්නිවේදනය කරන්න ඊට වඩා හොඳ මාධ්‍යයන් දැන් ලෝකෙ අත්හදා බලමින් ඉන්නව.
විශේෂයෙන්ම අධ්‍යාත්මික දැනුම් සන්නිවේදනයෙදි ඒක ගොඩක් මෘදු ප්‍රායෝගික ක්‍රම හරහා සිදු කරන දෙයක් බවට පත්වෙලා අවසන්. ලෝකය පුරා ආගම දහම මුල් කරගත් සාම සන්නිවේදනය දැන් සිදු වෙන්නෙ ජනප්‍රිය මට්ටමින් නෙමෙයි.
ආගමික හෝ අධ්‍යාත්මික පැත්තෙන් “සාමය” ගැන හොඳම සන්නිවේදනය කරමින් හිටියෙ දලයි ලාමා. උන්වහන්සේට පුලුවන් වුනා නිශ්චිත කාලයක මේ වැඩේ නියම විදියට සන්නිවේදනය කරන්න සහ නිශ්චිත කාලයකදි වැඩේ ටිකෙන් ටික අතහැරල දාන්න. ඒ අතහැරල දාන එකත් සන්නිවේදනයේම කොටසක්. උන්වහන්සේට ඒක උපායමාර්ගිකව සහ සැලසුම් සහගතව කරන්නත්, ඒකෙ ප්‍රතිඵලය ලෝකයට දායාද කරන්නත් හැකියාව ලැබුන.
ලෝකෙ අදටත් සාමය ගැන සංවාදයෙදි දලයි ලාමා අමතක කරන්න බැරි තරම් කෙනෙක් වෙන්නෙ ඒක උන්වහන්සේ නිවැරදිව සන්නිවේදනය කරපු නිසා. විශේෂයෙන් උන්වහන්සේ සාමයේ වින්දිතයෙක් වීම නිසා ක්‍රියාත්මක කරන්න පහසු වුනා. උන්වහන්සේගේ තරුණ අවධිය කියන්නෙ මේ පිළිබඳ දැවැන්තව සංවාද කරපු කාලයක්. ජනප්‍රිය තලයෙ වගේම ශාස්ත්‍රීය තලයෙත් උන්වහන්සේ කරපු සංවාදය ඒ සාකච්චා සහ පොත් පත් කියවීම තුළින් අවබෝධ කරගන්න පුලුවන්.
උන්වහන්සෙ මේ සන්නිවේදනය කරේ දැනුම නිර්මාණය කරමින් සහ දැනුම සන්නිවේදනය කිරීමෙන්. ඇත්තෙන්ම සාමය කියල කියන්නෙ දැනුම සහ ආකල්ප නිවැරදිව හඳුනාගැනීමෙන් සහ භාවිතයෙන් යතාර්ථයක් කරන්න පුලුවන් දෙයක් මිසක් කකුල් කෙඩෙත්තුව හැදෙනකල් පයින් ඇවිදල ලඟා කරගන්න පුලුවන් මල් යහනාවක් නෙමෙයි.
මෑත ඉතිහාසයෙ සාමය කියන විෂය තුළ සාමය සඳහා වූ ආගමික (අධ්‍යාත්මික) මැදිහත් වීම කියන කොටස නිර්මාණය කරන්න බෞද්ධ මැදිහත්වීම කරන්නෙ දලයි ලාමා. “බුදු දහම” තුළ සාමය කියල දෙයක් ගැන සංවාදයක් එන්නෙ නැහැ. ඒක බෞද්ධ සංස්කෘතිය තුළ අපේ උගතුන්, අධ්‍යාත්මවේදීන් බුදු දහම ආශ්‍රයෙන් නිර්මාණය කරපු දෙයක්.
ථෙරවාදය මුල් කරගෙන ගිය මේ පා ගමන ථෙරවාදයට බලාත්මක කරන එකක්ද කියන එක පවා ගැටලුවක්. ඇත්තෙන්ම ථෙරවාදයට සාමය කියන මාතෘකාව හරයාත්මකව කතා කරන්න තරම් හැකියාවක් නැහැ කියන එකයි මගේ අදහස. මේකෙන් කියන්නෙ ථෙරවාදය වැඩක් නැහැ කියන එක නෙමෙයි. ථෙරවාද කියන මොඩ්ල් එක සාමය සමග ගනුදෙනු කරන්නෙ මොනවගේ විදියටද කියන එක ගැන නිශ්චිත කතිකාවක් ඇති වෙලා නැහැ. ඇත්තෙන්ම ථෙරවාදයට තියෙන්නෙ ශාස්ත්‍රීය පසුබිම මුල් කරගත් වැඩ කොටසක්. එතනදි ථෙරවාදය සාර්ථකයි.
ඒ වගේම මේ Walk for peace හිමිවරුන් සාමය හෝ සාමය සඳහා වූ ආගමික සංවාදය කියන එක ගැන ගැඹුරු කියවීමක් සහිතව වැඩ කරන පිරිසක් නොවන බව පැහැදිලියි. ඒ බව කරන කතාබහ වලින් පැහැදිලි වෙනව. ගෙදර රණ්ඩු නොවී ඉන්න කියනවට වඩා සාමයේ කතාව සංකීර්ණ එකක්. අපේ පඤ්ඤාකර හිමියන් ඇතුළු පිරිස එතරම් අද්දැකීම් සහිතව මේ වැඩේ කරන බව පේන්න නැහැ.
සාමය කියන විෂය ඇතුළෙ මේ වෙද්දි නූතන ගැටලු ගොඩක් කතාවෙනව. යුද්ධය හා සාමය, ජාතිය හා සාමය, ආගම හා සාමයට වඩා දැන් සාමය කියන විෂය වැඩ කරන්නෙ විශ්වීය ආකාරයකට. ඒක ඇතුළෙ යුද්ධ, ආගම්, ජාති වගේම ලිංගික අනන්‍යතා, පාරිසරික හා භූගෝලීය තත්වයන්, තාක්ෂණය මේ හැම දෙයක්ම සංවාදයට ගැනෙන තැනක් තමයි සාමය කියන විෂය. මගේ ප්‍රශ්නය ඒ සංවාදය මේ Walk for Peace කණ්ඩායම බරපතල ලෙස තේරුම් අරගෙන තියෙනවද කියන එක?
සාමය සඳහා වූ ආගමික (අධ්‍යාත්මික) මැදිහත් වීම කියන්නෙ ඔය විෂයෙ එක පැතිකඩක්. ඒක පා ගමනකින් කෙළවර වෙන දෙයක් නෙමෙයි.
මිනිස්සුන්ගෙ කෙලවරක් නැති ගැටලු අතර හොල්මනක් වගේ සැරිසරන ආශාව පිළිබඳ දැනමුතුකම පා ගමනකින් සන්නිවේදනය කරන්න අපහසුයි කියන එකයි මගේ අදහස.
මිනිස් ආකල්ප නිසා ඇතිවන සමාජ ගැටුම්, කුටුම්භ ගැටුම් ආදී සකල ඝට්ටනයන් සඳහා වන බුදු දහමේ ප්‍රතිකාරය තියෙන්නෙ සමථය හා විදසුන තුළ. සිත සහ සිතිවිලි කළමනාකරණ කරමින් ලෝභ, දෝශ, මෝහ මඟහැරීමට ගන්න ප්‍රයත්නය තුළ තමයි පුද්ගලයා තුළ සාමය සංහිදියාව උදා කරන්න පුලුවන් වෙන්නෙ.
සාම පා ගමන් වගේ දෙයකින් “සාමයත් එක්ක ගැටුමක්” මිනිස්සු අතර හදාගන්න පුලුවන්. දැන් වෙලා තියෙන්නෙ එහෙම දෙයක්. කතෝලික පල්ලියට වැඩල ගිලන්පස වැළඳීම, ඉස්ලාම් ඉස්කෝලයකින් ගෞරව ලබන එක පරන විහිළුවක්. ඒක දශක ගණනාවක් තිස්සෙ වැඩ කරල නැති බවට හොඳම උදාහරණය ලංකාව ඇතුළු බෞද්ධ රටවල් ටික.
ඒ වගේ දෙයකට ආගමික මැදිහත් වීමක් අවශ්‍යය නෑ. මනුශ්‍යත්වය පමණක් ප්‍රමාණවත් කියල තේරුම් ගත්තම ප්‍රමාණවත්. එකට ඉන්න බැරිවෙලා තියෙන්නෙ ආගමික ප්‍රශ්නයක් නිසා නෙමෙයි. මනුශ්‍යත්වය ගැන ප්‍රශ්නයක් තියෙන නිසයි. ඒ බව තේරුම් කරන්න තමයි බුදු දහම පාවිච්චි කරන්න අවශ්‍යය.
සැදැහැවත් දනන්ගේ ඇස් තෙත් කරන, රෝමාන්තිකකරණය වුන විවිධ උපක්‍රම මේ වැඩේදි භාවිත වුනා. මුදල් කවර ප්‍රතික්ෂේප වෙද්දි පඤ්ඤාකර හිමියන් රෙදිකඩ එකතු කරල මහපු සිවුරක් පොරවගෙන, බලු රාළ කෙනෙකුත් දක්කන් එද්දි, පාවහන් නැතිව ගිනි අව්වෙ ගමන් කරද්දි, භික්ෂුවක් හිටගෙන නිදාගද්දි, තමන්ට මීට පෙර එක්ස්පීරියන් කරන්න නොලැබුන දෙයක් ගැන මිනිස්සුන්ට ආසාවක් ඇති වෙනව. හැබැයි මේ දේවල් සාමය කියන මාතෘකාවෙදි මොනතරම් වලංගුද කියන එක ගැන අපි ප්‍රශ්න කරන්න ඕන.
ඒ වගේම ලංකාවේ සාමය පිළිබඳ ගැටලුව මෙතනදි අමතක කරන්නම බැහැ. ඇත්තටම ලංකාවෙ සාමය කියන්නෙ ගෙදර ඉන්න අයගෙ ප්‍රශ්නයක් කියලයි මම තේරුම් ගන්නෙ. පඤ්ඤාකර හිමියන්ගෙ සාම පා ගමනෙදිත් ඒක ඔප්පු වුනා. ලංකාවෙ එක් භික්ෂු කණඩායමක් මේව ජාත්‍යන්තර කුමන්ත්‍රණ බව කියන්න මාධ්‍ය හමු තිබ්බ. තව පිරිසක් ආණ්ඩුවට බැන්න. තව පිරිසක් සිරස වැනි නාලිකාවන්ට බැන්න. පොලිස්සිය සහ මාධ්‍ය කරුවන් අතර බහින්බස් වීම් සිදු වුනා. තියෙන මිනිස්සු පෙන්වන්න උත්සාහ කරා. භෞතික දේවල් වගේම තමන්ගේ ශ්‍රද්ධාව, සිල්වත්කම පෙන්වන්නත් මිනිස්සු උත්සාහ ගත්ත.
පඤ්ඤාකර හිමියන් සෙනඟ වට වුනාම කෑ ගහන්න එපා කිව්ව, කලබලය, කෑකෝව “සතිය” ට බාධායි කිව්ව, ඔයාල කෑ ගැහුවොත් මම යන්ඩ යනව කිව්ව, බලු රාළ කෙනෙක් සමඟ යන සාම පා ගමනක ඔයට වඩා බලාපොරොත්තුවක් සපල කරගන්න බැහැ. ලංකාවේ පොදු මිනිසාගේ විඥ්ඥානය වැඩ කරන විදිය ගැන දශමයකවත් අවබෝධයක් නැතිව ඔය පොදු වැඩවලට අතගහන එකම තේරුමක් නැති වැඩක්.
ලංකාවෙ මීට අවුරුදු ගණනාවකට කලින් සාම පා ගමන් තිබුන. ඒව ජාත්‍යන්තරයෙ ලොකු ආධාර ලබන ව්‍යාපෘති නොවුනත් ලංකාවෙ සාමයේ මොඩලය ඒක කියලයි මම හිතන්නෙ. සිරිපා කරුණාව, අනුරාපුර, කතරගම වන්දනාව ආදිය ඉස්සර සිදුවුනේ පා ගමන් ස්වරූපයෙන්. මේ සංස්කෘතික වටිනාකම් කෙලෙසගෙන තමයි අපි “Walk for peace” දැකල ඇස් නිලංකාර කරගන්නෙ.
ලංකාවෙ සාමය කියන්නෙ දශක ගණනාවක් තිස්සෙ ගෙදර ඇතුළෙ විසඳගන්න බලන ප්‍රශ්නයක් ගානයි. ඒ සංවාදය ලෝක මට්ටමේ සාම කතාවක් නෙමෙයි. අපි සිංහල අවුරුදු කන්නෙත් එකමුතුකම වගේ දේවල් රෝමාන්තික කරණයට ලක් කරගෙනනෙ. ඉතින් ලංකාවට සාම පා ගමන් වගේ දේවල් වලින් සාම සන්නිවේදනයක් සිදුවෙන්නෙ නැහැ.
මම මේ කියන්නෙ බෝ පැලයක් අරගෙන යන්න ආවනම්, ඒක අරගෙන ගියානම් හරි කියල නෙමේ. පා ගමනෙ වැදගත්කමක් තියෙනව. නමුත් ඒක සාමය සඳහා වූ ආගමික මැදිහත් වීම නෙමේ. ඒක වෙන එකක්.
-ගුරුගොඩ සිරිවිමල-
