Showing posts with label ආදරණීය ගීත. Show all posts
Showing posts with label ආදරණීය ගීත. Show all posts

Monday, August 1, 2022

අකාලික සඳ එළියක සිහිලස

මීට හරියටම මාස හතරයි දින දෙකකට පෙර මගේ සමීපතම මිතුරියක් මිය යනව. ඒ පිළිකා රෝගයකින් පීඩා විඳල. ඇය වයස අවුරුදු තිහක පමණ තරුණියක්. විනාහකයි. පුංචි දරුවො දෙදෙනෙකුගෙ මවක්. එයා අසනීප වෙලා හිටිය කාලයෙ මාත් එක්ක කිව්ව දෙයක් තමයි; “හාමුදුරුවනේ! මම නැති වුනාම මගෙ බබාල දෙන්නයි මහත්තයයි කොහොම ජීවත් වෙයිද කියල මට හිතාගන්න බැහැ” කියල. සහ මට එයාව දැනුන තේරුණ තරමින් එයාගෙ ලෙඩේට වඩා එයා මේ ප්‍රශ්නය නිසා පීඩා වින්ද. එයා නිතරම ඒ දේවල් ගැන කල්පනා කළා. ඔබට තේරෙනව ඇති ජීවිතේ පටන් ගත්ත මුල් අවධියෙම ඒ ජීවිතයෙන් සමුදෙන්න සිද්ධ වෙන එක කොච්චර වේදනාවක්ද කියල.

ඉතින් මගේ මිතුරිය ඒ දේවල් ගැන හිතමින් ඉන්නැද්දි රෝගය දරුණු වීමෙන් මිය යනව. ඒක අපි කාටවත් දරා ගන්න පුළුවන් ලේසි පහසු වේදනාවක් නම් නෙමෙයි. මම ඇත්තෙන්ම ජීවිතේ අහිමි වීම් සහ එහි වේදනාව කියන දෙය හොඳටම ඉගෙන ගත්තෙ මගේ මිතුරියගෙ අභාවය නිසා වෙන්න ඇති කියල මම හිතනව. මට දැනෙන ඒ වේදනාව සැමියෙක් විදියට මගේ මිතුරියගේ සැමියාට මොන තරම් දැනෙනව ඇතිද?

මම දන්න මගේ මිතුරිය නිරෝගීව ඉන්න කාලයෙ බබාල දෙන්නගේ සහ සැමියාගේ වැඩකටයුතු සියල්ලක්ම හොඳින් කරගෙන හිටිය කෙනෙක්. මම හිතන්නෙ සැමියා ගොඩක් නිදහස් වුනා එයාගේ ඒ ආදරණීය මැදිහත් වීම් නිසා. කෑම බීම සැකසීම, ඇඳුම පැළඳුම, පමණක් නෙමෙයි ඊට වඩා වැඩි යමක් ඇයගේ ආදරණීය මැදිහත් වීම් අතරෙ සිදුවෙන මොහොතක නිදහස් ජීවිතයක් වින්ද එයාගෙ සැමියාට මොන තරම් වේදනාත්මක මතක ගොඩක් ඉතිරි වෙනවද ඇය සමීපව ගතින් නැතිව වුනත් ජීවිතය ආලෝකමත් කරගන්න.

කෙසේ වෙතත් මම මිතුරෙක් විදියට සමීප වුන හැම වෙලාවකම ඒ සැමියාගේ වේදනාව මට පේනව. මිතුරිය ජීවත් වෙලා හිටි කාලෙට වඩා මිතුරියගේ සැමියාගේ ජීවිතය අපහසු බව මට දැනුන. මම ඒ දේ ගැන කල්පනා කරපු වෙලාවක මගෙ අතින් කවියක් ලියවෙනව.


ශතක සියයක සහස්‍රක භද්‍ර කල්පයෙක
මීන නයනිය සාදු සම්මත ප්‍රේමිය
හීන දහසක සයනයේ මා සතපන
පිරිත් ස්වරයකි මතක අනු; සදාකාලික

සිනහ රැල්ලය, රවා බැලුමය, රිඇක්ෂන් දහසක
නුඹේ නොනිදන ආදරේ පිටිපසින් සිට එඹී බැලුමය
තාරකා ඝණඳුරේ තනිකරනු මැන හිතවතිය මේ සැම
නිද්‍රාවේම තබා මා අකාලික සඳ එළිය නිවී යනු මැන

මහපොළව යට සීතලේ ගුලි වෙලා
ඔයා ඇස් ඇරන් ඇති
මතක මංපෙත් දිගේ තවම
දිගුම දිගු කල්පනාවක ඇති
Strong Tea එහෙම
ගෙනත් දෙන්නට හිතෙනවා ඇති
කමක් නෑ ඔබ ඉන්න

සරතැසින හඳ මැඳුර පිරී යන වෙලාවක සැඳෑවක
මධු බඳුන් පුරවා මේස මත තබන්නට පැමිණෙන්න
දැන් ඉතින් එහෙම බෑ මම දනිමි සුර කෙල්ල
සීතලේ ගුලිවෙලා නිදියන්න - මම පතමි සුව නින්ද

මහන්සිත් ඇති යැයි සිතා
මා කරා එන්නට සිතෙනවා ඇති
එන්න බැරි වුනත් මං දන්නවා
Strong Tea එකක් වෙලා හරි
ඔයා මගෙ දිහා බලාගෙන ඉන්නවා…!


-ගුරුගොඩ සිරිවිමල-

ඉතින් ඊට පස්සෙ?
ඊටත් පස්සෙ මට හිතෙනව මේක ගීතයක් බවට පත් කරොත් හොඳයි කියල. සමහරවිට ඒක මම මගේ මිතුරිය වෙනුවෙන් දෙන හොඳ තෑග්ගක්, මතකයක් වේවි කියල මට හිතුන. ඒ විදියට තමයි මම මේක ගීතයක් ලෙස නවීකරණය කරල තරිඳු දම්සර මගේ මිත්‍රයාට යවන්නෙ. ඒ මේ විදියට.

ශතක සියයක සහස්‍රක බද්‍ර කල්පෙක
මීන නයනිය සාදු සම්මත ප්‍රේමිය
හීන දහසක සයනයේ මා සතපන
රාත්‍රිය නුඹ මතක අනු; අවුලන

සිනහ රැල්ලය, රවා බැලුමය, රිඇක්ෂන් දහසක
නුඹේ නොනිදන ආදරේ පිටුපසින් සිට බැළුමය
තාරකා ඝණඳුරේ තනිකරනු මැන හිතවතිය මේ හැම
නිද්‍රාවේම තබා මා සඳ එළිය නිදියනු මැන
අකාලික සඳ එළිය

සරතැසින හඳ මැඳුර පිරී යන වෙලාවක සැඳෑවක
මධු බඳුන් පුරවා මේස මත තබන්නට පැමිණෙන්න
දැන් ඉතින් එහෙම බෑ මම දනිමි මුවැත්තිය
සීතලේ ගුලිවෙලා නිදියන්න - මම පතමි සුව නින්ද
අකාලික සඳ එළිය

තනු නිර්මාණය : තරිඳු දම්සර
පද රචනය : ගුරුගොඩ සිරිවිමල
ගායනය : ආකාශ් සචින්තන

කෙසේවෙතත් අපේ ජීවිත වල සමහර හිස්තැන් තියෙනව. ඒව අපට පුරවගන්න අමාරුයි. කෙනෙක් සමඟ සතුට-දුක වේදනාව එක්ක නිවාගත්ත ජීවිත වෙහෙස හිටිවනම නවතින එක අමාරු හැඟීමක්. ඒව වචන කරගන්න පවා අපි අපොහොසත්. ඒවට ප්‍රතිචාර දක්වද්දි ජීවිත විඩාවට වැඩියමක් අපට ඉතිරි වෙන්නෙ නැහැ. ජීවිතය පමණක් නෙමෙයි. ඕනම දෙයක යථාර්තය මේකනම් මේ යථාර්තයට මුහුණ දීමට වඩා දෙයක් අපට කරන්න බැහැ.

නමුත් අහිමි වී යාමක රසවත්ම දේ තමයි තව තවත් ඒ අය අපට ලං වෙලා කියන එක. අපට අමාරුම තැන්වලදි ඒ අයගෙ හෙවනැල්ලක් අපේ පසුපසින් නිතරම පවතිනව. හරියට වැඩ අධික වෙලාවක අපි කහට කෝප්පයකින්, කෝපි කෝප්පයකින් විඩාව නිවාගන්නව වගේ වැඩක් ඒක.
මට හිතෙන්නෙම මගේ මිතුරිය ඒ අය එක්ක තාමත් ජීවත් වෙනව කියල. සංඛේතීය නික්මනකින් පසුවත් සුන්බුන් නටඹුන්, ඉතිහාසය කෙනෙකුගේ ජීවිතය අලුත් කරනව. ඉතිහාසය පාඩම් උගන්වමින් අපව ජීවත් කරවනව.

නැවත සංඛේතියව අපට එහෙම කෙනෙක් නැති වුනත් එයා හැමතැනකම හැම දෙයක්ම වෙලා අපි එක්ක ඇති!
ඉතින් මිතුරිය!
සීතලේ ගුලිවෙලා නිදියන්න - මම පතමි සුව නින්ද

-ගුරුගොඩ සිරිවිමල-

ගීතය අහන්න
https://www.youtube.com/watch?v=49caTCZI_bA




 

Saturday, December 26, 2020

තාත්තලා ගැන දුවලගේ කතාව : චන්ද්‍රමණ්ඩලේ ‍: අභිෂේකා විමලවීර

සුනිල් එදිරිසිංහ මහත්තය "චන්ද්‍රමණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ" ගීතය ගායනා කරන්නෙ මීට අවුරුදු ගානකට කලින්.

මාල බැඳන් සුදු යකඩෙන් රෝස මල වනේ

මාල ගිරවු ගේ දොරකඩ සින්දු කිවු වෙලේ

හීනෙනුත් හිතුනෙ නෑ මට මොකද කාරණේ

පාර මතක නම් තාමත් ගේ ළඟයි දුවේ

කියල; දුවෙකු කෙරෙහි මහා ආදරයක් හිතේ කැටි කරගෙන ලියන්නෙ රත්න ශ්‍රී විජේසිංහ මහත්තය. අදටත් හොල්ලන්න බැරි, මෙහෙමයි කියල ගලවල අයින් කරල තියන්න බැරි මහා වචන පදාසයක් එකට කැටි කරල සිංදු ලියල තියෙන රචකයින් අතරින් කිසිම වෙලාවක අයින් කරල දාන්න බැරි මහා ගේය කරුවා රත්න ශ්‍රී විජේසිංහ.

එහෙම ලියන රත්න ශ්‍රී මහත්මයාම මෑතකදි එම ගීතයටම පිළිතුරු ගීතයක් ලිව්ව. ඒක ගැයුවෙ අලුත් පරපුරේ ප්‍රවීණ ගායිකාවක්. අභිෂේකා විමලවීර. අභිෂේකා විමලවීර කියන විදියට මේ ගීතය ඇයගේ මියගිය පියා වෙනුවෙන් පියාගේ ජන්ම දිනය දවසේ කරපු ගීතයක්. හැබැයි මේක පෞද්ගලික නැහැ. මේ පද අතර කැටි වෙන්නෙ තාත්තා කෙනෙක් ගැන දුවකගේ හිතේ කැටිවෙලා තියෙන ආදරේ. අභිෂේකා විමලවීර මේ ගීතය එළියට දාපු වෙලාවේ ඉදන් මම කීපදවසක් ඇහුව ගීතයක්.

මම සංකේතීය වශයෙන් තාත්ත කෙනෙක්ගෙ ආදරයක් මෙහෙමයි කියල ලැබුවද කියල මතකවත් නැති දරුවෙක්. හැබැයි තාත්තලා කියන මහා වස්තුව අපට කොයි වෙලාවෙද අමතක කරන්න පුළුවන් වෙන්නෙ? තාත්තලාගේ ආදරේ සහ තාත්තලා වෙනුවෙන් දරුවන්ගේ හිතේ ඉපදිලා ; මියැදෙනකල්ම අවදි වෙලා තියෙන ආදරේ කවදද නැති වෙන්නෙ. ඒක ආත්මීයයි.

මේ ගීතයේ කියවෙන තාත්ත මියැදුන තාත්ත කෙනෙක්. හැමදාම තාත්තට තමන්ගෙ දුව(දරුව) පුංචි හාවෙක්/ හාවියක්. ඒ කියන්නෙ. අහිංසක, කිසිවක්ම නොදන්න කෙනෙක්. හැබැයි මේ පිළිතුරු ගීතයේ ආදරණීය "පණ්ඩිත දුවක්" ගැන කියවෙනව.

ඒ දුව තාත්තට කියනව:

"චන්ද්‍රමණ්ඩලේ සැතපුන සාවියක් නොවේ" කියල. ඒ දරුවො දරුවො ගැන හිතාගෙන ඉන්න විදිය. ඒක හරිම ගැලපෙන අයුරින් රත්න ශ්‍රී මහත්තය යොදල තියෙනව. ඉතින් මේ දුව සාවියක් නොවුනට මොකද මේ තාත්තගේ වියෝව ගැන ලොකු කණගාටුවක් තියෙනව. කණගාටුවකටත් වඩා ඒක ශෝකයක්. දරාගන්න බැරි රිදුමක්.



"මීදුමෙන් තෙමී නැහැවුණු චන්ද්‍ර යහනතේ

පාළු නැතිද නිදා ඉන්න විට පියාණනේ"

දුවෙක් කවමදාවත් තාත්තලව තනි කරන්නෑ. දුවල තාත්තලට හරි ආදරෙයි. කවමදාවත් මිස් නොකර තාත්තල පස්සෙ දුවලත් දුවලෑ පස්සෙ තාත්ලත් දුවනව. ඒක අපි අත්දකින සත්‍යයක්. ඉතින් දුවට හිතෙනව ඇත් තාත්තට පාළුයි කියල. කවුරුත් නොදන්න දුර ඈතක තාත්ත තනි වෙලා පාළුවෙන් ඇති කියල අර තාත්ත හිතන ආකාරයේ "සාවියට" හිතෙනව. අනිත් පැත්තෙන් දුව දුව ගැනම හිතාගෙන ඉන්න "සාවියක් තරම් අහිංසක නොවන- ලෝකය අත්දැකපු" දුවටත් හිතෙනව. මොන දේවල් දැනගෙන, මොනතරම් දේවල් ඉගෙනගෙන, මොනතරම් දේවල් ඉස්සරහ ජයග්‍රහණය සහ පරාජයන් අත්වින්දත් මොන දුවටද මොන පුතාටද පුළුවන් තමන්ට තමන්ටම කියල ආදරය කරපු "උත්තම පුරුෂයාට" සමුදෙන්න.

පියාඹන්න දෙමින් අපට පියාපත් ඔබේ

ගියාද ඔබෙ නවාතැනට අහස් ගං තෙරේ

කියාදෙන්න කියාදෙන්න මට පියාණනේ

ඔබට මදිද ඉඩ නැතුවද පුංචි ගේ අපේ

සාම්ප්‍රදායික තාත්තා අපිට නොකරන, නොකරපු දෙයක් නෑ. පියාපත් වලින් සංකේතවත් වෙන්නෙ තාත්තා කෙනෙක් දරුවෙකුට දෙන "ජීවිත පන්නරය". තාත්තල අපිට ඒ ජීවිත පන්නරය දීල යන්න යනව. ඉගිලිලා පියාඹලා ඈතට ඈතට යනව. ඒ වගේ පන්නරයක් ලබාගෙන වුනත් දරුවෙක් තාත්තාගේ හැරයාමකදී නොහඩා ඉන්නෙ නෑ. එහෙම සමා පුරුෂයෙක්ගේ නික්මයාමකදී නොහඬා ඉන්න පුළුවන් කාටද?

"කියාදෙන්න කියාදෙන්න මට පියාණනේ

ඔබට මදිද ඉඩ නැතුවද පුංචි ගේ අපේ"

"කියාදෙන්න කියාදෙන්න මට පියාණනේ

මේ තරම්ම නපුරු හීනයක්ද ජීවිතේ"

කියල. දුව කෑගහල අහන හඬක් මට මේ පද තුළින් සජීවී වෙලා පේන්නෙ ඇයි කියල මට හිතාගන්න බැහැ. සමහරවිට අභිෂේකාගේ නිරායාස හඬ පෞරුෂය නිසා එහෙම ඇහෙනව ඇති.

ඔබේ සුවඳ රැදුණු ගෙදර පාළු කාමරේ

ලියූ ගීත කවි විතරද මට ඉතිරි උනේ

ජීවිතේ ඇතුළෙන් දරුවො දෙමාපියො වෙනුවෙන් ස්තූතිවන්ත වෙනව. අන්තිමට තාත්තල අම්මල ඒ කිසි දෙයක් බලාපොරොත්තු නොවන නිසා ඒ දෙයවත් රැගෙන යන්නෙ නැහැ. දරුවන්ට අවසානයේ ඒ මතක කවි ගීත වෙලා ඉතිරි වෙනව. අම්මල තාත්තල අපිට කරපු, කියපු දේවල් හරියට මිහිරි කවි ගීත වගේ. ඒ දේවල් දරුවන්ට හැමදාමත් ඉතිරියි.

 අභිෂේකා විමලවීරටත් අනිත් හැම දුවෙකුටමත් තාත්ත කියපු කරපු දේවල් හැමදාටමත් ශේෂයි!


මේක හැම දරුවෙක්ම අහන්න ඕන ගීතයක්.

-ගුරුගොඩ සිරිවිමල-


Saturday, August 29, 2020

කවිකීර්ති ගීත කීර්තිය | ගුරුගොඩ සිරිවිමල

ආරාධනා ඒකනායක අක්ක කවිකීර්ති හිමියන් ගැන සටහනක් ලියල තිබුන දැක්ක නිසා මම කාලයක් තිස්සෙ කවිකීර්ති හාමුදුරුවෝ ගැන ලියන්න ඕන කියල හිතාගෙන හිටිය දේවල් අද ලියන්න ඕන කියල හිතුන. මට එහෙම හොයාගෙන ලියන ආසාව ආවෙ ලහිරු කිතලගම අයියා "කළු සමනලයා" තීරු ලිපිය ලියන කාලෙ; එයාගෙ ලිපියක් කියවීමෙන් පස්සෙ.

කූඹියෝ ටෙලිනාට්‍යේ විදියට කියනවනම් "චාමර කියන්නෙ අහිංසකයෙක්; එයාව හැදුවෙ කවිකීර්ති හාමුදුරුවෝ" චාමර වීරසිංහ  කියන්නෙ අද වෙද්දි ලංකාවේ ජන හදවත් ආදරයෙන්ම ලං කරගත්ත ගායකයා. මෙතනදි ආරාධනා ඒකනායක අක්කවත් මතක් කළ යුතුම වෙන්නෙ; චාමරට ලියපු බොහෝ සිංදු සංඛ්‍යාවක් ඇය අතින්ද ලියවුනු නිසා. ඒ වගේම චාමරගෙ සිංදු සෙට් එක මල් සහ ගල් කියන දෙකෙන්ම පිරිච්ච සිංදු සෙට් එකක්. චාමර ගැන මගෙ හිතේ තියෙන අදහස් වචන කරන්න කැමති නැහැ සහ ඒක කියාගන්නත් බැහැ.

චාමරට සිංදු ලිව් අය අතරෙ දැවන්තම චරිතය වුනේ  2011 දී විතර රිය අනතුරක් හේතුවෙන් අපවත් වුන අපේ කවිකීර්ති හාමුදුරුවෝ. උන්වහන්සේ ගැන වැඩිපුර ප්‍රවීණයෝ කතා කළේ නැත්තෙ සමහරවිට පෙම් ගීත ලියපු හාමුදුරුවෝ කෙනෙක් වීම, B.A,M.A,Phd වගේ ඒව තියා නිකං සාමවිනිසුරු වගේ කෑල්ලක්වත් ඉස්සරහින් තිබුන නැති නිසා වෙන්න ඇති. මේකෙදි මම ප්‍රසිද්ධ ගීත ලියපු බෞද්ධ භික්ෂූන් වහන්සේ කෙනෙක් ගැන නම ලියන්නෑ. සැරයක් මට මතකයි උන්වහන්සේ පවා එක් වෙලාවකදී නම නොකියා යම් අවමානයක් කවිකීර්ති හාමුදුරුවෝ සම්බන්ධයෙන් කරා. ඒ මතවාද අදහස් වලට මම එකග නැති වුනත් ගරු කරනව. ඒත් මම ඒ ගැන ලිව්වෙ කවිකීර්ති හාමුදුරුවන්ගේ ගීත රචනා ගැන නම තියෙන අය කතා කරේ නැහැ කියන එක ඒත්තු ගන්වන්නයි.

කවිකීර්ති හාමුදුරුවෝ වැඩහිටියේ දකුණෙ පංසලක. ඉතාමත් දුශ්කරව, අහිංසකව වැඩහිටිය හාමුදුරුවෝ නමක්. (වාහනයක් එහෙම තිබුන කියලත් අහල තියෙනව. නමුත් ඒක දුශ්කර නොවෙනවා කියන්න හේතුවක් නෙමෙයි.) මම අහල තියෙන ප්‍රබන්ධයට අනුව චාමර කියන්නෙ හාමුදුරුවන්ගේ පංසලට අල්ලපු වැටේ ඉදපු කොල්ලෙක්. "චාමර තාප්පෙන් පැනල පංසලට එනව" කියන එක තමයි ප්‍රබන්ධය. ඒක සත්‍යද නැද්ද කියන එක මම හොයන්න ගියෙ නෑ. මොකද ඒක ලස්සන නිසා. ඒ කෙසේවෙතත්;

කවිකීර්ති හාමුදුරුවන්ගේ මල් සිංදු ගණයෙහි ලා සැලකෙන මහා විශාල ගීත සමුදාය අපි තාම අහනව. ඒන මාරයි සහ එහෙම අදහස් කොහොම ලියනවද කියල හිතාගන්න බෑ.

  • දකුණේ පින් ඇති
  • කිරි වෙහෙරට යන පාරේ
  • උඩවැඩියා මලක් වෙලා
  • බුදු පදවි පතාගෙන
  • නුඹේ අතින් මල් මහලා
  • අමාවකට අතවනනා
  • වැදූ අම්මා නොවුන මුත් මා
  • මදුනාගල අහසේ
  • බුදුන් දැක නිවන් දකින්න
  • මඩ සෝදාගත් කළ
  • ගමට වැඩ ඇති
  • ලය ගින්දරින් ගිනිගන්නා
  • ගුරු ගෙදරට හැමදා එන
  • තණමල්විල මල් පිපුණත්
  • දෙවෙනි බුදුන් කියලා ඔබෙ දෙපා වදින්න

කියන චාමර ගයපු සිංදු ලැයිස්තුවේම අයිතිකාරයා කවිකීර්ති හාමුදුරුවෝ. උන්වහන්සේ චාමර වෙනුවෙන් වෙන්නත් ඇති බොහෝ ගීත ප්‍රමාණයක් රචනා කරලත් ඇත්තේ කියල මම විශ්වාස කරනව.

ගමට වැඩ ඇති ගමේ ඉදිවුන පුංචි අවාසේ

අපේ හිමිවරු විදිනවා දුක් කටුක කටු වාගේ

සේඉලමේ මහා තුසිත දෙව්ලොව සදිසි මහා වෙහෙරේ

වැඩ හිදී අපේ මහා හිමිවරු ලබා සුව සහනේ

කියල ගමේ පංසලේ අවුල කොළඹ කේන්ද්‍රීය නගරබඳ විහාරස්ථානයේ පැවැත්ම සහ රටේ දේශපාලන සමාජ ප්‍රශ්නය ගැන සංවේදීව ලියන කවි කීර්ති හාමුදුරුවෝ එක් වෙලාවකදි රට, ජාතිය, ආගම මූලික කරගත්ත මුළු මහත් සාම්ප්‍රදායික දේශපාලන දේහයටම දරුණු කනේ පහරක් එල්ල කරනෙ මෙන්න මේ විදියට;

දිලිසෙන්නට පට සිවුරක්

ගමන් වලට නිල රථයක්

ලේ තැවරුන මැතිඳු අතේ

ධවල පිරිත් නූලක් මං හනික බඳින්නං

කරන කියන හැමදේටම එහෙයි කියඥ්ඥං

මේ චාමරගේ "සඳහම් සිසිල" කැසට් පටයේ මුළුමහත් ගීත ගොන්නෙහිම පද රචකයා වෙමින් උන්වහන්සේ එහි ලියන ලද සෑම බොදු සම්මත ගීතයකම එකල සමාජ දේශපාලනික කතිකාවතට සාමාන්‍ය ජනයා නම්මවා ගැනීමේ හැකියාව නොතිබුනා යැයි කාටවත් කිව නොහැකිය.

උන්වහන්සේ එහි දී ලියන "දෙස බස රැස" ගීතයේ

දහම් පාසලට ඉඩ නැති මහා වෙහෙරේ

ටියුෂන් හඩ පිලිරැව්දේ බණ මඩුවේ යනුවෙන්ද

එහි දෙවන පෙළෙහි දී ;

නිල් කහ කොළ කිහිපයටකට මිට මෙලවී

ටියුෂන් හඬ උඩ එනවා බණ යට වී

ගුත්තිලයින් මුනිවත රකිනා විටදී

මූසිලයන්ටයි ලැබුනේ රජ පදවී

යනුවෙන් ද මේ කුණු වූ දේශපාලන ධනවාදී ප්‍රවණතාව අබියස ගමේ පංසලට සිදු වූ නස්පැත්තිය පිළිබඳව තේරෙන භාෂාවෙන් ලියා දක්වයි.

ඉන් නොනවතින කවිකීර්ති හිමියන් එම "සදහම් සිසිල" කැසට් පටයේදී ම මෙරට තිස්වසරක් පුරාවට තිබූ අශික්ෂිත යුධමය වාතාවරණය පිළිබඳව සාමයික අයුරකින් දක්වන්නේ මෙලෙසිනි.

තල් පැදුරක් එලා ගන්න දකුණේ ගෙදරක

පන් පැදුරක් එලා ගන්න උතුරේ ගෙදරක

තල් පැදුරයි පන් පදුරයි යා වෙන දවසක

නුඹෙ සුසුමයි මගෙ සුසුමයි පාවෙයි ඈතක

එසේම උන්වහන්සේ වත්මන් සමාජයේ ද අවුලක්ව පවතින ගොවියාගේ ප්‍රශ්නය පිළිබඳව සංවේදී වෙමින්

අනාගතය ගෙට එනවා දරුවො බලන්න

හෙට්ටු නොකර මුදලාලී කමත මනින්න

උදුරාගත් ඒ රජකම සිටුවරුන් කරන්න

ගොවි රජාට නිවන් සුවය ලියා එවන්න

යනුවෙන් ලියන අතර එහි දැක්වෙන භාෂා භාවිතයේ සරළත්වය සහ නිර්මාණාත්මක බව "බුද්ධ භෝගයට හොඳ නෑ කඳුළු වැටෙන්න", "ගොවි රජාට නිවන් සුවය ලියා එවන්න" වැනි පදතුළින් මනාව පැහැදිලි වේ.

මෙහි සුවිශේෂී බව වන්නේ " මඩ සෝදාගත් කළ ගොවියා රජකමටත් සුදුසුය" යන වචන පෙළ ඔහේ කියවමින් සාහිත්‍ය නිර්මාණ තුළ නැති දේවල් පෙන්වීමට උත්සාහ කරන අමුතු වාක්‍යයක් ලෙස යොදාගන්නා නිර්මාණාත්මක අවභාවිත අතරතුරදී මෙවනි දේශපාලනික සමාජ ඛේදවාචකයක් පිළිබඳව සාකච්ඡා කිරීමට යොදාගැනීමයි.

එසේම,

අටපිරිකර නැව් නැම්මේ බලා සිටිනවා

පිරුවානා පොත දූවිලි මහල් තනනවා

ත්‍රිපිටකයට කාවන් රැළි රටා මවනවා

දහම් දීපයේ දම් හඬ නිදා වැටෙනවා


සුභාශිතය අමා වතුර සුසුම් හෙලනවා

වැවයි දාගැබයි පන්සල ගමෙන් කැඩෙනවා

හන්දි ගානේ සතරවරම් දෙවියො හිදනවා

දහම් දීපයේ දම් හඬ ගිලා බසිනවා

වැනි පද රචනා තුළින් උන්වහන්සේගේ දේශ හිතෛෂී විකල්ප මතවාදය මනාව සන්නිවේදනය කිරීමට උන්වහන්සේට හැකියාවක් ලැබිනි. උන්වහන්සේ පමණක්ම පදරචනා කළ චාමර වීරසිංහගේ මෙම "සදහම් සිසිල" කැසට් පටයේ සුවිශේෂී බව වන්නේ සෑම ප්‍රවීණ විශාරද පන්නයේ ගායකයෙක්ම කරන ලද "බොදුබැති ගීත" කැසට් පට තුළ බුදු ගුණ පමණක්ම පාදක කරමින් ගීත නිර්මාණ දැක්වීමත් මෙහි ඒ සඳහා එකම එක ගීයක් පමණත් වැය කිරීමත්ය. අනෙක්වා සියල්ලක්ම පාහේ රට තුළ ආගමික, දේශපාලනික, සමාජ ප්‍රශ්නය පිළිබඳව  කරන ලද වටිනා ගේය රචනාවන්ය. ඒ් මේ ගීතාවලියයි.

බුදුන් දැක නිවන් දකින්න

ගමට වැඩ ඇති

අමා මහ නිවන් වඩින්න පෙර

මහ සෑයේ කොත් කැරැල්ල

  • ඔබේ පා යුග දණ නමන්නට
  • අසූ හාර දහසක් බුදු බණ
  • මෙත් මුදිතා කරුණා
  • වන්දනීය සිතුල් පව්ව
  • අටපිරිකර නැවු නැම්මේ
  • දිලිසෙන්නට පට සිවුරක්
  • තල් පැදුරක් එළාගන්න
  • දෙස බස රැස විකිණී යන
  • වාරියපොළ සුමඟුල් වැනි
  • මඩ සෝදා ගත් කල

ව්‍යංග්‍යර්ථ වැනි දෑ යොදා නොගනිමින් සාමාන්‍ය ජනතාවට තේරුම් ගත හැකි අයුරින් මේවා ඉදිරිපත් කර තිබීමද කවිකීර්ති හිමියන්ගේ සෑම පදරචනාවකම දක්නට ඇති ලක්ෂණයක් වේ.

සදහම් සිසිල කැසට් පටයේ ඇතුළත් ගීත මෙතැනින් අසන්න

මෙවැනි දේශපාලන සමාජ සංකතනයක් ඇති කළ යතිවර ගේය සලකුණක් මම සුවිශේෂී වශයෙන් වෙනත් ගීත ලියන භික්ෂූන් වහන්සේ නමකගෙන් දැක නොමැත.

උන්වහන්සේගේ ගීතමය දායකත්වය එය පමණක්ම නොවන අතර චාමර වීරසිංහගේ අප අද අසන  ප්‍රේමාන්විත ගීත රාශියකම සදාතනික උරුමකරුවා වන්නේ කවිකීර්ති හිමියන්ය.

ඉතා සරළ, බොළඳ ප්‍රේම ගීත අපූරුවට රචනා කර ඇති උන්වහන්සේ සමහර තැනකදී

මදුනාගල අහසේ දග කරනා තරු ගනින්නත්, උණුදිය පොකුණ ලගදි හැන්දෑවක මුණ ගැහෙන්නත් ඇරයුම් කරන උන්වහන්සේ දහවල දූවිල්ලෙන් රතු වුණ දෙනුවන් නිවන්නත්, ආදරයේ සෙනේ දියෙන් මැලවුණු හදවත තෙමන්නත් "මැණිකේ"ට ඇරයුම් කරයි.

තවත් තැනක දී කිරිවෙහෙරට යන පාරේ මල් විකුණන සීදේවී ලා ගැනද ලියන්නට අමතක නොකරන උන්වහන්සේ තවත් ගීතයකින්;

ඔබේ අතින් මල් මහලා කුරුළු ජෝඩුවක්

මතකද ඔබ මට දුන්නා කොට්ටෙට උරයක්

අපේ මතක අමතක කර හිත තියා බරක්

කොහොමද ඔබ ඉගිළ ගියේ නොපෙනෙන ඈතක්

යනුවෙන් රචනා කරමින් ප්‍රේමයේ සාතිශය බොළඳ තැන් සංස්පර්ශ කරන ලද අතර; ඒවාට ඇති පදන් නූතන විදග්ද විචාරකයන්ගේ අම්බානකට අසාගත්හ.

තව තව තැන්වලදී "සුදු නෝනා" නිසා හොදටෝම රිදවාගත් අයුරු ගැනත් ලියන්නට මැලි නොවෙයි. ඒ මෙලෙසින්ය.

ළය ගින්දරින් ගිනි ගන්නා රෑ යාමේ

කිම මා සොයා මගෙ උඳුවප් සඳ නාවේ

හොඳටම රිදී නෙතු දොරඟුළු බිඳුනාවේ

ජාතිත් ආදරෙයි නුඹටම සුදු නෝනේ

ජාතිත් ආදරෙයි නුඹටම සුදු නෝනේ

එසේම,

ගුරුගෙදරට හැමදා එන මවුපියන් පිළිබඳවත්, තණමල්විල මල් ගැනත්, අමාවකට අත වනනා පිච්ච මලීලා ගැනත් උන්වහන්සේ ලියයි.

මා මුලින්ම කියූ ආකාරයට චාමර වීරසිංහ යන අපගේ හදවතේ ගායකයා නිර්මාණය කරන්නේ අන් කවරකුත් නොව කවිකීර්ති හිමියන්ය. ඒ බව චාමර වීරසිංහ යන සැබෑ මනුස්ස ගායකයා බොහෝ තැන්වල කෘතඥපූර්වකව සිහිකරන අයුරු අප දැක තිබේ.

මේ අයුරින් බරසාර, වීසි කළ නොහැකි, දේශපාලනික, සාමාජීය හරයක් සහිත ගීත ගොන්නක් ද තවත් පැත්තකින් විදග්ද සමාජයෙන් අම්බානෙට බැනුම් ඇසිය හැකි "මල් සිංදු" කැටගරියට එකහෙළාම දැමිය හැකි බොළඳ ප්‍රේම ගීත රාශියක් ද උන්වහන්සේ ලිව්වේය. ලියා කිත් යසස්, සම්මාන අබිමන් නොලබාම මේ මිහිමතින් නික්ම ගියේය

උන්වහන්සේට අපගේ හදවතේ සම්මානය අප ලබාදෙන වග හදවතින්ම ලියා තැබිය යුතුමය.

ඔබේ පා යුග දණ නමන්නට

ඔබේ සෙවනේ රැඳී ඉන්නට

අපි ලැබූ පින් අපිට අද හිමි නෑ

අනේ අපි අද අසරණයි

අපේ හාමුදුරුවනේ

-ගුරුගොඩ සිරිවිමල-

කිසිවෙකුත් නොගැටෙන ලෙස ඉතා රහස්‍ය ලෙස ග්‍රාමවාසීව වැඩසිටි උන්වහන්සේ 2011 වසරේදී අපවත් වී වදාලහ. ඒ රිය අනතුරක් හේතුවෙනි. වැඩි පිරිසක් සහභාගී නොවූ බව කියන එම ආදාහනය ඉතා සුළු පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු වූ බව සැළ විය. වඩාත් අවිහිංසක ජීවන ප්‍රතිපදාවක අවසාන ගමනට සාදු කාර පැවැත්වීම් අවැසි නැති අතර ජීවිතයේ මනුෂ්‍ය අර්ථය වටහාගත් මිනිසෙකුට අවසාන වශයෙන් අවැසි වන්නේ ද මිනිසුන්ගේ හඬාවැටීම් නොමැති අවසාන ගමනක්මය.
NOTE ; මෙම ඡායාරූප මා හට ලබා දුන්නේ ආරාධනා ඒකනායක විසිනි.

Proof:

ආරාධනා ඒකනායක විසින් සිය ෆේස්බුක් පිටුවේ ලියන ලද්දේ මෙයයි.

https://nowshowing.lk/news/532-2017-04-28-05-14-47

සමහර ගී පද මතකයෙන් ලියූ අතර ඒවයේ අඩුපාඩු තිබිය හැකිය.


Wednesday, August 26, 2020

හමාර බණවර හැඟීම

මීට වසර දෙකක් හෝ එකහමාරකට පමණ පෙර ඉතා සංවේදී කවි පෙළක් පුවත් පතක පළ වී තිබූ අයුරු Facebook තුළින් දැකගන්නට ලැබිනි. එසේම එය මාගේ හිතවතියක් අතින් ලියැවී තිබුනු අයුරු දැක ඇය වෙත සුබ පැතුවා මට අද වාගේ මතකය.

එහි විශේෂ දේශපාලනික හෝ සමාජ දෘෂ්ටියක් තැවරී නොතිබුන අතර ඉතා සංවේදී රූපක ගොන්නකින් පිරී තිබුනා මට මතකය. මෙය කුමන ආරක කවි පද මාලාවක්ද යන්න මට තවමත් සිතාගත නොහැකි වූ විට මම ඒ කවි පෙළ පසෙක තබා අමතක කර දැමූ අවස්ථාවක් ද නොතිබුනා ම නොවේ. කෙසේවෙතත් "කවියක් මෙසේ විය යුතුය" යැයි කාව්‍ය පාඨමාලා පවත්වන Facebook යුගය මට මෑතක සිට තිත්ත වී ඇති වටපිටාවක කවියක් වෙනුවෙන් වැඩි කාලයක් මම වැය නොකරන නිසාම මග හැරිනි.

ඉරේෂා හේමමාලි නම් කිවිදිය මේ අතර දී "හමාර බණවර" නමින් කවි පොතක් එළි දක්වන බවත් එහි ජනගත කිරීම නුවර දී පැවැත්වෙන බවත් ආරංචි වූ වහාම අප ද එහි ගිය අයුරු මට මතකය. එනම්; "හමාර බණවර" කවිය ද ඇතුළත් කරමින් එම කවියේ සාරාර්ථය කැටි කරමින් ඉරේෂා හේමමාලි කිවිදිය කවි පොතක්ම ලියූ අතර එය එකල කවි කියවන්නන් අතර ඉතා ඉක්මනින් හුවමාරු වූ අයුරු මට මතකය. එදින මෙම කවිය රවී රොයිස්ටර් නම් තුරුණු ගායකයා විසින් මෙම කවිය ගීයක් කළ අයුරු ද මතකය. ඉනික්බිතිව මාස කිහිපයකට පසුව මෙය සංවිධිත අයුරින් ගීතයක් ලෙස සමාජගත වූවාත් මතකයේ ඇති අතරම එම ගීතය කෙටි කාලයක් තුළ නොසෑහෙන පරිදි ජනප්‍රියත්වයට පත් වූ බවත් එය මේ වන විට අසා නැති කිසිවකු සොයා ගැනීමට ද නොහැකිය.

කෙසේවෙතත් මේ කවි පද මාලාව ගැන මම සංවේදී වන්නේ ජනප්‍රිය වන කාලය අතරතුර දී නොවන අතර ඉරේෂා ගේ කවිපොත සංයමයෙන් කියවන කාලය අතරතුර දීය. එසේම ඒ කවිපොතේ කතාබහට ලක්කළ හැකි මට්ටමේ කවි බොහෝමයක් තිබූ බව ද කිව යුතුය. මෙලෙස මා වෙත අවදානයට ලක් වූ කවි අතර ඉරේෂා ලේ "හමාර බණවර" කවිය සුවිශේෂී තැනක් ගනී. ඒ කවියයි මේ;

පුරුදු පාරෙම අදත් යනවා

ඒත් වෙන ගමනක් පුතේ

හුඟක් අය මගේ පස්සේ එනවා

තනිව ආ ගිය මගේ

කවමදාවත් මගේ බර

උඹේ කරේ තිබ්බේ නෑ පුතේ

හුඟක් බරනම් බිමින් තියපන්

රිදෙනවා ඇති අත උඹේ

 

කන්ද පාමුල සොහොන හුරු නෑ

දන්නවා මං මගේ පුතේ

මගේ තනියට තවත් අය ඇති

අඳුරගන්නම් හෙට උදේ

සොබා දහමට අවනතයි මං

ඉතින් යන්නම් ගොම්මනේ

යන ගමන් මේ බේත් තුන්ඩුව

අරන් පලයන් අම්මගේ

"හමාර බණවර" යනු හුදෙක්ම බෞද්ධ සංස්කෘතියට ඉතාමත් හුරුපුරුදු වචනයකි. එය සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශණා අතර ජනප්‍රිය වන්නේ අවසන් යුගය හෙවත් "ආටානාටිය සූත්‍ර" දේශනාව දේශනා කරන වේලාව ඇගවීමට ය. මෙය මෙම මාතෘකාව තුළින් කවියට අමුතු ගුප්ත ආකාර හැඟීමක් කිවිදිය විසින් දැන හෝ නොදැන එක් කොට අති අයුරු අපූරුය. මන්ද යත් මෙම කවිය තුළින් කියන්නට උත්සහ කෙරන්නේ "පියෙකුගේ ගුණ මහිමය සහ පියෙකුගේ අවසාන මොහොත" පිළිබඳව නිසාය. එනිසාම මෙම මාතෘකාවම කවියට ඇතුළත් වීමේ දීම අමුතු හැඟීමක් එකතු කර තිබීම කවියේ විශේෂත්වයක් වෙයි.

කිවිදිය විසින් මේ කියන්නට යත්න දරන්නේ පියෙකුගේ ඇති මහඟු ගුණ සමුදාය පිළිබඳවය. පිය ගුණ සහිත කවි පද මාලා කොතෙකුත් අසා, කියවා ඇති මට ඒ කවි සියල්ල අබිබවා ඉදිරියෙන්ම තිබෙන කවියක් ලෙස මෙය පෙන්වා දිය හැකිය. මන්ද යත් බොහෝ ඒ බොහෝ කවි තුළ අන්තර්ගත වන්නේ "පියා මහපොළොවට දා බිඳු වැඟිරී අයුරුත්, දර පැළු අයුරුත්, පොල් කැඩූ, ගල් කැඩූ අයුරුත්" වන නිසාවෙනි. පියාගේ ගුණ කීම සඳහා මෙම කිවිදිය යොදා ගන්නේ අමුතුම අද්දැකීමකි. එසේම "අපූර්ව" අද්දැකීමකි. ඇය කවිය තුළට අනුභූතිය කරගන්නේ පියකු මිය ගොස් අවසන් කටයුතු හමාර කොට දේහය පිටිය වෙත රැගෙන යන සාම්ප්‍රදායික චාරිත්‍ර විධිය යි. එය ඉතාමත් අපූර්ව යැයි මා සඳහන් කරන්නේ එබඳු අද්දැකීම්ක් පාදක කොටගත් වෙනත් කවියක් මීට පෙර හෝ පසු කියවා නැති බැවිනි. Oneandonly මේ කවිය ඉරේෂාමය කවියකි. එබඳු වන්නැන්ඩ් ඔන්ලි කවි බොහෝමයක් ඉරේෂා සතුව තිබෙන බවද මෙහිලා  සඳහන් කරමි.

පුරුදු පාරෙම අදත් යනවා

ඒත් වෙන ගමනක් පුතේ

හුඟක් අය මගේ පස්සේ එනවා

තනිව ආ ගිය මගේ

කවමදාවත් මගේ බර

උඹේ කරේ තිබ්බේ නෑ පුතේ

හුඟක් බරනම් බිමින් තියපන්

රිදෙනවා ඇති අත උඹේ

ආදී වශයෙන් ඇරඹෙන මෙම කවිය තුළ දැක්වෙන අර්ථය මා තේරුම් ගන්නා අයුරු මෙසේ;

පුතාගේ කර උඩ යන තාත්තා විසින් කියන අමුතු ආකාරයේ කතාවකි මේ. මේ මළගිය තාත්තා කතා කරවන ඉන්ද්‍රජාලික සාහිත්‍යයට ද(magical literature) මා ඉතාමත් කැමතිය. සාහිත්‍ය භාවිතාවේ දී මෙය ඉතා අඩුවෙන් ලංකාව තුළ භාවිත වන්නට එක් හේතුවක් වනු ඇත්තේ නූතන සාහිත්‍ය බොහෝ විට යථාර්ථවාදය මූලික කරගනිමින් සිදුකෙරෙන නිසා විය යුතුය. (මෙය වෙනම මාතෘකාවකි.) මෙය ඉරේෂා කිවිදිය විසින් දැනුවත් ව හෝ නොදැනුවත්ව යම් යථාර්ථයක් කීමට භාවිත කරන අයුරු ප්‍රශංසනීය ය.

ගමේ හෝ නගරයේ සාම්ප්‍රදායික තාත්තා යන චරිතය හුදෙක්ම පවුල කේන්ද්‍රීයව මහා බර අදින්නෙකි. ඔහු උදයේම රැකියාවට ගොස් නැවත නිවසට පැමිණෙයි. ඔවුන් ගෙය සඳහා ලඟා වීමට ඇති පහසුම පාර කාලයක් තිස්සේ පුරුදු කර ගනී. ඒ සාම්ප්‍රදායික රැකියාවට යන එන ගමන වනාහී එපාම වූ නොනවතින සංසාරය බඳු ගමනකි. එබැවින් ඔවුන් පුරුදු පාරේ හැමදාම යන්නත් එන්නත් පුරුදු වෙති. මේ තාත්තා ද පුරුදු පාරේම රැකියාවට හෝ වෙනත් ගමන් බිමන් සඳහා යන එන තාත්තෙකි. නමුත් අද දින තමා යන්නේ වෙනත් ගමනක් ය. ඒ "අවසන් ගමනය" ඉරේෂාගේම භාෂාවෙන් කියතොත් මේ තාත්තා යන ගමන වනාහී "හමාර ගමනය" යළි නොඑන ගමනය. තාත්තා නැවත මේ පාරෙන් එන්නේ නැත. ඒ හැඟීම තාත්තෙකුට ආදරය කරන පුතෙකුට කෙසේ දැනෙනවා ඇද්ද? තාත්තා ඉන් නොනැවතී මෙසේ කියයි.

"හුඟක් අය මගේ පස්සේ එනවා

තනිව ආ ගිය මගේ"

මේ කියන්නේ මරණය අවස්ථාවට පමණක් අප පසු පස්සෙහි එන දරු මුණුපුරන් ඇතුළු කොටගත් ඥාතී සනුහරය පිළිබඳවය. මුළු ජීවිත කාලය තුළම තනිව අනෙකාගේ විශේෂ උදව් නොමැතිව ගමන් කරන්නට සිදු වන ජීවිතය තුළ අවසාන අවස්ථාවට පමණක් සුදට සුදේ හැඳ පැළැඳ හඬමින් එන පිරිසකගෙන් මිය යන්නාට ගත හැකි ඵලයක් තිබේද? මුළු ජීවිත කාලයම අපගේ දරුවන් මුණුපුරන් බිරින්ඳෑ, ඥාතිවරු අප වෙනුවෙන් කාලය මිඩංඟු කළ යුතු ද? කිසිත් දොසක් නොනගමින් නමුත් යථාව අපූර්වයෙන් ඇය මේ තුළ දක්වයි. අප අප පසු පස්සෙන් අපව පසසමින් එන මිනිසුන් තනා කුමටද? ඉන් ලැබෙන ජීවිත පරමාර්ථයක් තිබේද? වැනි අදහසක් එහි ගැබ්ව තිබෙනවා යැයි මට සිතේ. කෙසේවෙතත් මේ තාත්තා මේ යථාව අවබෝධ කරගනිමින් සිටි තාත්තෙකු විය හැකිය.

"කවමදාවත් මගේ බර

උඹේ කරේ තිබ්බේ නෑ පුතේ

හුඟක් බරනම් බිමින් තියපන්

රිදෙනවා ඇති අත උඹේ"

යනුවෙන් ඇය මේ පද පේළිය තුළම උදෘත කරන්නේ පියෙකුගේ පරමාදර්ශී කිසිත් බලාපොරොත්තු නොවන ජීවිතයේ එක් ප්‍රධාන පැතිකඩක් පිළිබඳව ය. තාත්තලා කිසිම විටෙක තම දරුවන්ට යුතුකම් වගකීම් ඉටු කොට ඒ කළ කී මෙහෙය වෙනුවෙන් වන්දි ඉල්ලා හඬා වැටෙන්නන් නොවේ. තාත්තලා ජීවිතේ බර කිසිම දිනෙක පුතුන්ගේ කර මත පටවන්නේ නැත. මෙම කවි පෙළේ දී අවසාන මොහොතේ පවා තාත්තා පුතා ගැන සිතන අයුරු ඉතා සංවේදීය. "හුඟක් බරනම් බිමින් තියපං" යනුවෙන් තාත්තා ඉල්ලා සිටින අයුරු ඉතාමත් සජීවීය.

කිවිදිය මුල් කවි පෙළින් පියාගේ ගුණ සමුදාය පිළිබඳවත් ඉන් නොනැවතී සමාජයේ එක් පැතිකඩක් පිළිබඳවත් විවරණය කරන අතර දෙවනුව යොමු වන්නේ ටිකාක් දාර්ශනික මානයකටය. බුදු දහමේ අනිත්‍ය සංකල්පයේ පැතිකඩක් ඇය කියන්නට උත්සාහ කරනවා වැනි හැඟීමක් මට මින් පෙනේ. නමුත් ඇය එහි අවසාන පද පෙළ තුළ "ස්වාමි පුරුෂයාගේ චරිතය පිළිබඳව ද අදහසක් දක්වයි.

කන්ද පාමුල සොහොන හුරු නෑ

දන්නවා මං මගේ පුතේ

මගේ තනියට තවත් අය ඇති

අඳුරගන්නම් හෙට උදේ

සොබා දහමට අවනතයි මං

ඉතින් යන්නම් ගොම්මනේ

යන ගමන් මේ බේත් තුන්ඩුව

අරන් පලයන් අම්මගේ

මුළු ජීවිතය පුරාම වෙනස් වීම් කප්පරක්, මරණ සියදහස් ගණනක්; දෑසින් දකිමින්, දෙකනින් අසමින් ජීවත් වන අයෙකුට සොහොන හුරු නොවීම. එනම් "හැමෝම මේ මරණයට පුරුදු විය යුතු බව" පෘතජ්ජන මිනිසාගේ ස්වභාවයකි. ඔවුන් මරණය මිටින් රැගෙන උපත ලැබූවත් එය අවබෝධ කර නොගනිමින් ජීවත් වෙති. පෘතජ්ජන මිනිසාට "කන්ද පාමුල සොහොන හුරු නැත" එයට ඔවුන් අකමැතිය. නමුත් මේ ස්වභාව ධර්මයට අවනත විය යුතුය යන්න ඔවුන් තුළ ඇත. මරණයට එරෙහිව යනවා වෙනුවට මරණයට හුරු වීමත් අමුතුම අදහසකි. ඒ අමුතු අදහසට ලෝකයා ජීවයේ ආරම්භයේ දී පටන් නතු වී ඇතැයි මට හැඟේ. සමාජය තුළ මරණයට පවා බොහෝ සාටෝප එක්වන්නේ එනිසා විය යුතුය. මේ තාත්තා මේ මරණය ගැන, අනිත්‍ය ස්වභාවය ගැන යම් කිසි අදහසක් ඇත්තෙකි. ඔහු තැනකදී;

"මගේ තනියට තවත් අය ඇති 

අඳුරගන්නම් හෙට උදේ" යනුවෙන් කියන්නේ එනිසාය. එනම් " මම විතරක් නෙමේ තවත් අය මැරෙනවා, තව අය මෙතැනට එන්නත් තියෙනව" මට ඒ අය එක්ක ජීවත් වෙන්න වෙයි." වැනි හැඟීමක් ඒ වචන තුළ විද්‍යමාන වේ. එසේ කියමින් අවසන් මොහොතේ ද "මට තනි නෑ" යනුවෙන් පුතාව සනසන තාත්තාව නැවතත් මේ කවිය තුළ පෙනේ.

මේ කවිය තුළ කිවිදිය පවුල් කුටුම්භය තුළ "ස්වාමි පුරුෂයා යන ගැටගැහුණු චරිතය ද පෙන්වා දෙන්නේ මෙලෙසය.

"යන ගමන් මේ බේත් තුන්ඩුව

අරන් පලයන් අම්මගේ"

"මට අද ඉදන් මේ පවුලෙ බර අදින්න වෙන්නෙ නෑ. උඹ අම්මව බලාගන්න ඕන. එයත් දැන් මම වගේම අඹලන්."

මෙසේ බලන විට මෙම කවිය තුළ "පවුල් කුටුම්භය තුළ "තාත්තා, පුතා, බිරිඳ, මව, පවුල" යන සියළු සංකල්ප අඩු වැඩියෙන් පෙන්වා දීමට උත්සාහ කරයි. එය එතරම් ලේසි පාසු වැඩක් නොවුනද කිවිදිය මනා සංයමයකින් මේ කරුණ සාර්ථක මායිමක් කරා ගෙන ආ බව පෙනෙන්නට තිබේ.

පසුව මෙය ගීතයක් වූ විට මෙම හැඟීම දෙගුණ තෙගුණ වන්නේ රවී රොයිසටර් නැමැති දක්ෂ තරුණයාගේ සංවේදී මිනිස් සුවඳ ඇතිරූ සංගීතය සහ හඬ නිසාය. මෙම ගීතයේ සංගීත භාවිතය ඔබ තනිව අසා රසවිඳින්න. එහි දැක්වෙන පාළු, අඳුරු, සංවේදී හැඩය මෙම පදමාලාවේ අදහසට වඩාත් ගැලපෙන අයුරින් නිමා කොට ඇති අයුරු ප්‍රශංසනීය ය. මේ ගීතය ඔබ ඇසිය යුතුමය.



LISTEN to the SONG

|ගුරුගොඩ සිරිවිමල