Showing posts with label බුදු දහම. Show all posts
Showing posts with label බුදු දහම. Show all posts

Monday, May 4, 2026

සාමයේ පා ගමන



පසුගිය දිනවල ලංකාවෙ ගියපු සාම පා ගමන ගැන යමක් සිතීම අපට ඉතාම වැදගත් කියල මට හිතෙනව. අපේ මිතුරන් බොහෝ දෙනෙක් මේ ගැන කතා කරල තිබුන. සමාජ සංවිධානයන් පිළිබඳව කතාබහ කිරීම කිසිසේත්ම නොවැදගත් යමක් නෙමේ. ලංකාවෙ කෙරුන සාම පා ගමන කියන්නෙ නරඹන්නට හොඳ වැඩක්. නමුත් පලදායී යමක්  ඒකෙන් සිදු වුනා ද කියන එක ප්‍රශ්න කරන එක ඉතාම වැදගත්. මේ සාම පා ගමන නම් කරල තිබුනෙත් “ඒහි පස්සිකෝ” කියලනෙ.

මේ වගේ දෙයකින් පලදායී දෙයක් සන්නිවේදනය වෙන සම්බාවිතාවය අල්පයි. දිගුකාලීන බලපෑමක් ඇත්තමෙ නැති තරම් කියලයි මට හිතෙන්නෙ. ඇමරිකාවෙ සාම පා ගමනත් එහෙම එකක්. මීඩියා වලට සති ගණන් ප්‍රදර්ශන කරන්න, සද්දාවන්ත බෞද්ධයන්ට සාදුකාර දෙන්න  මේ වගේ වැඩසටහන් හොඳයි. මේ කියන්නෙ Walk for peace සතපහක වටිනාකමක් නෑ කියල නෙමෙයි.

පඤ්ඤාකර හිමියන් ඇතුළු පිරිසගේ ක්‍රියාකාරී මැදිහත් වීම, එහි අරමුණු ගොඩක් වටිනව. අපට අවශ්‍යය වෙන්නෙ අපි ප්‍රාර්ථනා කරන්නෙ සාමෙන් ඉන්න පුලුවන් ලෝකයක්. අහරෙ ගහනව කියද්දි ලෝකෙම හෙල්ලෙන, ඒවයෙන් බියෙන් ගැහි ගැහි ඉන්න ලෝකයට පඤ්ඤාකර හිමියන් අතුළු පිරිසගේ “Walk for peace” චිකිත්සාත්මක මෙහෙවරක්.

ලෝකෙ මේ වගේ සංකේතීය කතා දැන් ටිකෙන් ටික මගහැරෙමින් යන කාලයක්. වැඩවර්ජන, උද්ඝෝෂණ, පා ගමන් කියන දේවල් ලෝකෙ දැන් අසමත් වෙමින් යන කාලයක්. ඒ මුකුත් නිසා නෙමෙයි දෙයක් සන්නිවේදනය කරන්න ඊට වඩා හොඳ මාධ්‍යයන් දැන් ලෝකෙ අත්හදා බලමින් ඉන්නව.

විශේෂයෙන්ම අධ්‍යාත්මික දැනුම් සන්නිවේදනයෙදි ඒක ගොඩක් මෘදු ප්‍රායෝගික ක්‍රම හරහා සිදු කරන දෙයක් බවට පත්වෙලා අවසන්. ලෝකය පුරා ආගම දහම මුල් කරගත් සාම සන්නිවේදනය දැන් සිදු වෙන්නෙ ජනප්‍රිය මට්ටමින් නෙමෙයි.

ආගමික හෝ අධ්‍යාත්මික පැත්තෙන් “සාමය” ගැන හොඳම සන්නිවේදනය කරමින් හිටියෙ දලයි ලාමා. උන්වහන්සේට පුලුවන් වුනා නිශ්චිත කාලයක මේ වැඩේ නියම විදියට සන්නිවේදනය කරන්න සහ නිශ්චිත කාලයකදි වැඩේ ටිකෙන් ටික අතහැරල දාන්න. ඒ අතහැරල දාන එකත් සන්නිවේදනයේම කොටසක්. උන්වහන්සේට ඒක උපායමාර්ගිකව සහ සැලසුම් සහගතව කරන්නත්, ඒකෙ ප්‍රතිඵලය ලෝකයට දායාද කරන්නත් හැකියාව ලැබුන.

ලෝකෙ අදටත් සාමය ගැන සංවාදයෙදි දලයි ලාමා අමතක කරන්න බැරි තරම් කෙනෙක් වෙන්නෙ ඒක උන්වහන්සේ නිවැරදිව සන්නිවේදනය කරපු නිසා. විශේෂයෙන් උන්වහන්සේ සාමයේ වින්දිතයෙක් වීම නිසා ක්‍රියාත්මක කරන්න පහසු වුනා. උන්වහන්සේගේ තරුණ අවධිය කියන්නෙ මේ පිළිබඳ දැවැන්තව සංවාද කරපු කාලයක්. ජනප්‍රිය තලයෙ වගේම ශාස්ත්‍රීය තලයෙත් උන්වහන්සේ කරපු සංවාදය ඒ සාකච්චා සහ පොත් පත් කියවීම තුළින් අවබෝධ කරගන්න පුලුවන්.

උන්වහන්සෙ මේ සන්නිවේදනය කරේ දැනුම නිර්මාණය කරමින් සහ දැනුම සන්නිවේදනය කිරීමෙන්. ඇත්තෙන්ම සාමය කියල කියන්නෙ දැනුම සහ ආකල්ප නිවැරදිව හඳුනාගැනීමෙන් සහ භාවිතයෙන් යතාර්ථයක් කරන්න පුලුවන් දෙයක් මිසක් කකුල් කෙඩෙත්තුව හැදෙනකල් පයින් ඇවිදල ලඟා කරගන්න පුලුවන් මල් යහනාවක් නෙමෙයි.

මෑත ඉතිහාසයෙ සාමය කියන විෂය තුළ සාමය සඳහා වූ ආගමික (අධ්‍යාත්මික) මැදිහත් වීම කියන කොටස නිර්මාණය කරන්න බෞද්ධ මැදිහත්වීම කරන්නෙ දලයි ලාමා. “බුදු දහම” තුළ සාමය කියල දෙයක් ගැන සංවාදයක් එන්නෙ නැහැ. ඒක බෞද්ධ සංස්කෘතිය තුළ අපේ උගතුන්, අධ්‍යාත්මවේදීන් බුදු දහම ආශ්‍රයෙන් නිර්මාණය කරපු දෙයක්.

ථෙරවාදය මුල් කරගෙන ගිය මේ පා ගමන ථෙරවාදයට බලාත්මක කරන එකක්ද කියන එක පවා ගැටලුවක්. ඇත්තෙන්ම ථෙරවාදයට සාමය කියන මාතෘකාව හරයාත්මකව කතා කරන්න තරම් හැකියාවක් නැහැ කියන එකයි මගේ අදහස. මේකෙන් කියන්නෙ ථෙරවාදය වැඩක් නැහැ කියන එක නෙමෙයි. ථෙරවාද කියන මොඩ්ල් එක සාමය සමග ගනුදෙනු කරන්නෙ මොනවගේ විදියටද කියන එක ගැන නිශ්චිත කතිකාවක් ඇති වෙලා නැහැ. ඇත්තෙන්ම ථෙරවාදයට තියෙන්නෙ ශාස්ත්‍රීය පසුබිම මුල් කරගත් වැඩ කොටසක්. එතනදි ථෙරවාදය සාර්ථකයි.

ඒ වගේම මේ Walk for peace හිමිවරුන් සාමය හෝ සාමය සඳහා වූ ආගමික සංවාදය කියන එක ගැන ගැඹුරු කියවීමක් සහිතව වැඩ කරන පිරිසක් නොවන බව පැහැදිලියි. ඒ බව කරන කතාබහ වලින් පැහැදිලි වෙනව. ගෙදර රණ්ඩු නොවී ඉන්න කියනවට වඩා සාමයේ කතාව සංකීර්ණ එකක්. අපේ පඤ්ඤාකර හිමියන් ඇතුළු පිරිස එතරම් අද්දැකීම් සහිතව මේ වැඩේ කරන බව පේන්න නැහැ.

සාමය කියන විෂය ඇතුළෙ මේ වෙද්දි නූතන ගැටලු ගොඩක් කතාවෙනව. යුද්ධය හා සාමය, ජාතිය හා සාමය, ආගම හා සාමයට වඩා දැන් සාමය කියන විෂය වැඩ කරන්නෙ විශ්වීය ආකාරයකට. ඒක ඇතුළෙ යුද්ධ, ආගම්, ජාති වගේම ලිංගික අනන්‍යතා, පාරිසරික හා භූගෝලීය තත්වයන්, තාක්ෂණය මේ හැම දෙයක්ම සංවාදයට ගැනෙන තැනක් තමයි සාමය කියන විෂය. මගේ ප්‍රශ්නය ඒ සංවාදය මේ Walk for Peace කණ්ඩායම බරපතල ලෙස තේරුම් අරගෙන තියෙනවද කියන එක?

සාමය සඳහා වූ ආගමික (අධ්‍යාත්මික) මැදිහත් වීම කියන්නෙ ඔය විෂයෙ එක පැතිකඩක්. ඒක පා ගමනකින් කෙළවර වෙන දෙයක් නෙමෙයි.

මිනිස්සුන්ගෙ කෙලවරක් නැති ගැටලු අතර හොල්මනක් වගේ සැරිසරන ආශාව පිළිබඳ දැනමුතුකම පා ගමනකින් සන්නිවේදනය කරන්න අපහසුයි කියන එකයි මගේ අදහස.

මිනිස් ආකල්ප නිසා ඇතිවන සමාජ ගැටුම්, කුටුම්භ ගැටුම් ආදී සකල ඝට්ටනයන් සඳහා වන බුදු දහමේ ප්‍රතිකාරය තියෙන්නෙ සමථය හා විදසුන තුළ. සිත සහ සිතිවිලි කළමනාකරණ කරමින් ලෝභ, දෝශ, මෝහ මඟහැරීමට ගන්න ප්‍රයත්නය තුළ තමයි පුද්ගලයා තුළ සාමය සංහිදියාව උදා කරන්න පුලුවන් වෙන්නෙ.

සාම පා ගමන් වගේ දෙයකින් “සාමයත් එක්ක ගැටුමක්” මිනිස්සු අතර හදාගන්න පුලුවන්. දැන් වෙලා තියෙන්නෙ එහෙම දෙයක්. කතෝලික පල්ලියට වැඩල ගිලන්පස වැළඳීම, ඉස්ලාම් ඉස්කෝලයකින් ගෞරව ලබන එක පරන විහිළුවක්. ඒක දශක ගණනාවක් තිස්සෙ වැඩ කරල නැති බවට හොඳම උදාහරණය ලංකාව ඇතුළු බෞද්ධ රටවල් ටික.

ඒ වගේ දෙයකට ආගමික මැදිහත් වීමක් අවශ්‍යය නෑ. මනුශ්‍යත්වය පමණක් ප්‍රමාණවත් කියල තේරුම් ගත්තම ප්‍රමාණවත්. එකට ඉන්න බැරිවෙලා තියෙන්නෙ ආගමික ප්‍රශ්නයක් නිසා නෙමෙයි. මනුශ්‍යත්වය ගැන ප්‍රශ්නයක් තියෙන නිසයි. ඒ  බව තේරුම් කරන්න තමයි බුදු දහම පාවිච්චි කරන්න අවශ්‍යය.

සැදැහැවත් දනන්ගේ ඇස් තෙත් කරන, රෝමාන්තිකකරණය වුන විවිධ උපක්‍රම මේ වැඩේදි භාවිත වුනා. මුදල් කවර ප්‍රතික්ෂේප වෙද්දි පඤ්ඤාකර හිමියන් රෙදිකඩ එකතු කරල මහපු සිවුරක් පොරවගෙන, බලු රාළ කෙනෙකුත් දක්කන් එද්දි, පාවහන් නැතිව ගිනි අව්වෙ ගමන් කරද්දි, භික්ෂුවක් හිටගෙන නිදාගද්දි, තමන්ට මීට පෙර එක්ස්පීරියන් කරන්න නොලැබුන දෙයක් ගැන මිනිස්සුන්ට ආසාවක් ඇති වෙනව. හැබැයි මේ දේවල් සාමය කියන මාතෘකාවෙදි මොනතරම් වලංගුද කියන එක ගැන අපි ප්‍රශ්න කරන්න ඕන.

ඒ වගේම ලංකාවේ සාමය පිළිබඳ ගැටලුව මෙතනදි අමතක කරන්නම බැහැ. ඇත්තටම ලංකාවෙ සාමය කියන්නෙ ගෙදර ඉන්න අයගෙ ප්‍රශ්නයක් කියලයි මම තේරුම් ගන්නෙ. පඤ්ඤාකර හිමියන්ගෙ සාම පා ගමනෙදිත් ඒක ඔප්පු වුනා. ලංකාවෙ එක් භික්ෂු කණඩායමක් මේව ජාත්‍යන්තර කුමන්ත්‍රණ බව කියන්න මාධ්‍ය හමු තිබ්බ. තව පිරිසක් ආණ්ඩුවට බැන්න. තව පිරිසක් සිරස වැනි නාලිකාවන්ට බැන්න. පොලිස්සිය සහ මාධ්‍ය කරුවන් අතර බහින්බස් වීම් සිදු වුනා. තියෙන මිනිස්සු පෙන්වන්න උත්සාහ කරා. භෞතික දේවල් වගේම තමන්ගේ ශ්‍රද්ධාව, සිල්වත්කම පෙන්වන්නත් මිනිස්සු උත්සාහ ගත්ත.

පඤ්ඤාකර හිමියන් සෙනඟ වට වුනාම කෑ ගහන්න එපා කිව්ව, කලබලය, කෑකෝව “සතිය” ට බාධායි කිව්ව, ඔයාල කෑ ගැහුවොත් මම යන්ඩ යනව කිව්ව, බලු රාළ කෙනෙක් සමඟ යන සාම පා ගමනක ඔයට වඩා බලාපොරොත්තුවක් සපල කරගන්න බැහැ. ලංකාවේ පොදු මිනිසාගේ විඥ්ඥානය වැඩ කරන විදිය ගැන දශමයකවත් අවබෝධයක් නැතිව ඔය පොදු වැඩවලට අතගහන එකම තේරුමක් නැති වැඩක්.

ලංකාවෙ මීට අවුරුදු ගණනාවකට කලින් සාම පා ගමන් තිබුන. ඒව ජාත්‍යන්තරයෙ ලොකු ආධාර ලබන ව්‍යාපෘති නොවුනත් ලංකාවෙ සාමයේ මොඩලය ඒක කියලයි මම හිතන්නෙ. සිරිපා කරුණාව, අනුරාපුර, කතරගම වන්දනාව ආදිය ඉස්සර සිදුවුනේ පා ගමන් ස්වරූපයෙන්. මේ සංස්කෘතික වටිනාකම් කෙලෙසගෙන තමයි අපි “Walk for peace” දැකල ඇස් නිලංකාර කරගන්නෙ.

ලංකාවෙ සාමය කියන්නෙ දශක ගණනාවක් තිස්සෙ ගෙදර ඇතුළෙ විසඳගන්න බලන ප්‍රශ්නයක් ගානයි. ඒ සංවාදය ලෝක මට්ටමේ සාම කතාවක් නෙමෙයි. අපි සිංහල අවුරුදු කන්නෙත් එකමුතුකම වගේ දේවල් රෝමාන්තික කරණයට ලක් කරගෙනනෙ. ඉතින් ලංකාවට සාම පා ගමන් වගේ දේවල් වලින් සාම සන්නිවේදනයක් සිදුවෙන්නෙ නැහැ.

මම මේ කියන්නෙ බෝ පැලයක් අරගෙන යන්න ආවනම්, ඒක අරගෙන ගියානම් හරි කියල නෙමේ. පා ගමනෙ වැදගත්කමක් තියෙනව. නමුත් ඒක සාමය සඳහා වූ ආගමික මැදිහත් වීම නෙමේ. ඒක වෙන එකක්.

-ගුරුගොඩ සිරිවිමල-


Tuesday, July 29, 2025

දූවිල්ලේ රැඳුණ පියසටහන් | FootPrints in the Dust

පොතක්නම් එය කියවිය හැකි විය යුතුය, කියවීමෙන් ආනන්දයත්, ප්‍රඥාවත් ගෙන ආ යුතුය, පරිස්සම් කොට තබාගෙන විඩෙන් විඩ ද කියවන්නට සිත යා යුතුය. එවැනි පොතක් මා හට කියවන්නට ලැබුනේ මෑතක දී ය.

 

ඕස්ට්‍රේලියානු ජාතික ශ්‍රාවස්තියේ ධම්මික හිමියන් විසින් “FootPrints in the Dust: The life of the Buddha from the most ancient sources” නමින් රචනා කරන ලද ඉංග්‍රීසි කෘතියේ සිංහල පරිවර්තනය කුඩගම්මන සීලරතන (භන්තේ සීල) හිමියන් “දූවිල්ලේ රැඳුණ පියසටහන්: ඉපැරණි පාළි මූලාශ්‍රය ඇසුරින් බුදුන් වහන්සේගේ ජීවිත කථාව” නමින් මෑතකදි එළිදක්වන ලදි.

කියවන්නට රුචිය ඇති වන පරිද්දෙන්, පොත් ඉතා හොඳින් තෝරා බේරා ගනිමින් ද, අලංකාර භාෂාවකින් ද පරිවර්තන කාර්යයන් සිදු කරන සීල හිමියන්ගේ පරිවර්තන කෘතියක් මග හැර යාම රසවතුන්ට උචිත නොවේ. තවද, එය මොළයට පාඩුවකි. එබැවින්, බුද්ධාලම්භන ප්‍රීතියෙන්, බුද්ධි කලම්බන රුචියෙන් දෑතින් දෝතින් ගෙන මෙම කෘතිය කියවීමටත්, රසවින්දනයටත් පටන් ගතිමි.

 

කෘතියේ රචකයා වන එස්. ධම්මික හිමියන් යනු, කාලයක් පුරාවට බෞද්ධ පර්යේෂණ සිදු කරමින් බුදුදහම ගවේෂණය කරන, ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල විද්වතුන් ඇසුරු නිසුරු කරන විද්වතෙකි. භාවනාවට රුචි කරන භික්ෂුවකි. කෘති ගණනාවක් රචනා කරන ලද ගත් කතුවරයෙකි.

එස්. ධම්මික හිමියන්ගේ දූවිල්ලේ රැඳුණ පියසටහන් සඳහා පදනම් වන්නේ, ගෞතම බුදුන්වහන්සේගේ ජීවන තොරතුරුය. බුදුන් වහන්සේගේ ජීවන තොරතුරු ඇතුළත් කෘති බොහෝමයක් රචනා වී තිබුන ද, ශාස්ත්‍රීය වශයෙන් රචනා වූ කෘති අල්පය. බොහෝ කෘති උන්වහන්සේගේ ජීවන තොරතුරු, භාවාතිශය කතාන්දර මුල් කරගනිමින් ගොඩනගන ලද ඉන්ද්‍රජාලික ශාස්තෘවරයකු බවට අප ඉදිරියෙහි ඔසවා තබයි. නමුත්, මූල් කෘති පදනම් කරගනිමින් නව බුද්ධ චරිතයක් ගොඩනැංවීමට ශාස්ත්‍රීය වෙහෙසක නිරතවන එස්. ධම්මික හිමියන් තම පර්යේෂණයට පාදක කරගන්නා ප්‍රාථමික මූලාශ්‍රය වන්නේ, ථෙරවාද ත්‍රිපිටකයයි. උන්වහන්සේ ස්වකීය චින්තනය ද දායක කරගනියි. කතුවරයා කියන පරිද්දෙන්, මෙම කෘතිය 35 වසරක් පුරාවට දරන ලද වෙහෙසකි. බුදුදහමට සැබැවින්ම දුර වූ, බුද්ධ චරිතයෙහි ආලෝකයක් කුඩා කළ පටන් නොලැබූ රචකයෙක් වන උන් වහන්සේ බුද්ධ චරිතය දෙස දුර සිට බලන්නෙකු ලෙස මට සිතෙයි. පර්යේෂණ වස්තුව පර්යේෂකයාට පුද්ගලිකව සමීප වන තරමට පර්යේෂණ වස්තුව සමග බැඳීමක් හටගනියි. එය පර්යේෂණයේ උසස් ප්‍රතිඵල සඳහා බාධා සිදු කරයි. නමුත් පර්යේෂණ වස්තුව දුර වූ විට පර්යේෂකයාගේ ස්වාධීනත්වයට බාධා නො කරයි. ස්වකීය සොයාගැනීම් නො බියව ඉදිරිපත් කළ හැකි වන්නේ, එවිටයි. එස්. ධම්මික හිමියන්ගේ මෙම පර්යේෂණ කෘතියෙහි වැදගත්කම වන්නේ, බෞද්ධ ආභාසය උපතින් ම රැගෙන නො ඒමයි. එනිසාම බුද්ධ චරිතය යනු උන් වහන්සේට නැවුම් දෙයකි. මෙම පර්යේෂණ කෘතියේ අරමුණ වී ඇත්තේ, බුදුන් වහන්සේ යනු කවරෙකු ද? උන්වහන්සේ කෙබඳු අයෙකු වන්නට ඇද්ද? යන්න සෙවීමයි. පරිච්ඡේද දා හතරකින් (14) සමන්විත මෙම කෘතියෙහි පළමු පරිච්ඡේදයෙන් බුද්ධ චරිතය ලිවීම සඳහා අගනා ප්‍රවේශයක් ලබා ගනියි. මේ දක්වා ලියවී ඇති බුද්ධ චරිත කෘති තුළ ඇතුළත් කරුණු සමාලෝචනය කරන කතුවරයා, ලලිත විස්තරය, සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය, අශ්වඝෝෂයන්ගේ බුද්ධ චරිත මහා කාව්‍යය, හින්දු ආගමික ග්‍රන්ථයක් වන, මත්ස්‍ය පුරාණය වැනි ජනප්‍රිය කෘති තුළ බුද්ධ චරිතය ගොඩ නගා ඇති අයුරු මෙන් ම, ශාස්ත්‍රීය පර්යේෂණ නමින් රචනා වූ බුද්ධ චරිතය පිළිබඳ කෘති, ලේඛන වැනි බොහෝමයකගේ ඇතුළත් තොරතුරු තාර්කිකව විවේචනයට ලක් කරයි. පූර්ව පර්යේෂණ සමාලෝචනය තුළින් උන්වහන්සේ පෙන්වා දීමට යත්න දරන්නේ, එතෙක් රචනා වූ කෘති වල ඇතුළත් බොලඳ වූත් නිසරු වූ අර්ථ විරහිත පල් හෑලි පිළිබඳවය. එයින්, උන්වහන්සේ ස්වකීය පර්යේෂණ කෘතිය පදනම් වන්නේ, නිවැරදි වූත් තාර්කික මූලාශ්‍රය මත බව පෙන්වා දෙයි. බුදුන් වහන්සේ ජීවත්ව සිටි අවධිය, එම ප්‍රදේශයන් හි භූගෝලීය ලක්ෂණ, සමාජ සංවිධානය, සමාජ තත්වය වැනි කරුණු කෙරෙහි ද අවධානය ලබා දී ඇති අයුරු දක්නට ලැබේ. “… මධ්‍ය ප්‍රදේශයේ බොහෝ ජනාවාස කුඩා ඒවා වූ අතර, ගංගාවන් සමීපයේ ගොඩ නැගී තිබිණ. පසු ව, ඒවා ක්‍රමයෙන් විශාල වීමත්, ප්‍රදේශය අභ්‍යන්තරය දෙසට ව්‍යාප්ත වීමත් ඇරඹිණි. කලෙක දඩයක්කරුවන් සහ ගෝත්‍රිකයන් පමණක් කරක් ගැසූ පෙදෙසක, කෘෂිකාර්මිකයන් පදිංචිව කුඹුරු සකසන්නට විය.(02. පරි,38 පි.) “මූල ග්‍රන්ථයන්හි දැක්වෙන නගර වර්ණනයන්ට අනුව, අතරින් පතර ඉහළට නැගුණ කුළුණු සහ අවැසි තැන්වල ඉදි කළ ගේට්ටු සහිත ආරක්ෂක තාප්ප හෝ බිත්ති, ඒ වටා ඉදිවුණ දිය අගල් නගරවල තිබේ.‍”‍් 02. පරි, 39 පි.) මෙහි අන්තර්ගත කරුණු දෙස බලන විට, මෙවැනි පර්යේෂණයක් අයෙකුට උඩින් අත පත ගා කළ නොහැකි දෙයක් බව අනාවරණය වෙයි. සූත්‍ර පිටකයේ ඇතැම් තැන් සූක්ෂමව පිරික්සා, තාර්කික ඥානය ද, නිර්මාණශීලීත්වය ද කැටි කොට තිබිය යුතුය. බුදුන් වහන්සේ පිළිබඳව තොරතුරු දැක්වීමේ දී කෘතියේ බොහෝ තැන්වල කතුවරයා අලුත් අදහස් පෙන්වා දීමේදී අනුගමනය කරන ක්‍රමයක් වන්නේ, ඒ පිළිබඳව මීට පෙර ජනවහර තුළ හෝ කෘති තුළ දැක්වෙන කරුණු ගෙනහැර දක්වා එහි සත්‍යාසත්‍යය බව පෙන්වා දීමයි. ““බුදුන් වහන්සේ උපතින්ම හින්දු වරයෙකි, ජීවත් වූයේත්, පිරිනිවන් පෑවේත්, හින්දුවරයෙකු ලෙසිනි”” යයි කියමනක් තිබේ….” (03 පරි, 83 පි.) බුදුන් වහන්සේ ගේ මා පිය, ඥාති තොරතුරු පිළිබඳ අනර්ඝ තොරතුරු මෙම කෘතිය තුළ ඇතුළත් ව ඇත. මව පිළිබඳ අදහස් දැක්වීමේ දී මෙතෙක් අසා ඇති කරුණු වලට වඩා වෙනස් ශාස්ත්‍රීය අදහස් ඉදිරිපත් කිරීමට කතුවරයා දක්ෂව ඇත. එහිදී, මහාමායා සහ ප්‍රජාපතී ගෝතමිය සමාන බිරින්දෑවරුන් ද, නැතහොත් ගෝතමිය යනු මායාවගේ මරණයෙන් පසු විවාහය ද යන්න පිළිබඳවත්, මායා යන නමෙහි අර්ථය පිළිබඳවත් විවරණය කරන අතර, සුද්ධෝධන රජු පිළිබඳව ද අදහස් දක්වයි. නෑ සියන් පිළිබඳව අදහස් දැක්වීමේ දී, එකළ, සමාජ දේශපාලන විවරණ ද දක්වන්නට උත්සාහ කර තිබෙන්නා සේ ම, බුදුන් වහන්සේ තුළ ශාක්‍යයන් කෙරෙහි තුබූ ඇල්ම කෙතෙක්ද යන්න ද දක්වා තිබේ. සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය පිළිබඳව ගොඩනැගී ඇති නිර්මාණාත්මක කථාන්දර ප්‍රතික්ෂේප කරන උන්වහන්සේ, අච්ඡරියබ්බූත සූත්‍රය වැනි සූත්‍රයන්හි අන්තර්ගත කරුණු මුලුමනින්ම ප්‍රතික්ෂේප නොකරයි. එය ද පර්යේෂකයෙකු ලෙස උන්වහන්සේගේ මනා හික්මීමේ ගුණය පැහැදිල කරන අවස්ථාවකි. මායාවන් සිටගෙන සිටමින් ම කුමරා බිහිකළ අයුරු පිළිබඳව කරුණු දක්වමින් උන්වහන්සේ පෙන්වා දෙන්නේ, “…පවුල් සෞඛ්‍ය සේවිකාවන් සඳහා වූ රාජකීය විද්‍යාලය පවසන පරිදි, පවුල් සෞඛ්‍ය සේවිකාවන් සහ අනෙකුත් සහායක පිරිස් නිසි පරිදි පුහුණු කර ඇත්නම්, සිටගෙන සිටියදී ම දරු ප්‍රසූතියක් සිදු කිරීම සුරක්ෂිත බව…”(03, පරි, 89 පි.) යනුවෙනි. තවද, සිදුහත් කුමාරෝත්පත්ති කතාවෙහි හා කිතුණු උත්පත්තියෙ හි ඇති සමානතාවන් ද පෙන්වාදීමට උත්සාහ කර තිබේ. අප කලක් සිට අසා හෝ කියවා ඇති බුද්ධ චරිතයට හාත්පසින් ම වෙනස් වූ මෙම බුද්ධ චරිතය අතිමානුෂීය කරණයට ලක් වූ බුදුන් වහන්සේගේ චරිතය නැවත මහ පොලොවට කැඳවාගෙන ඒමක් යැයි සිතිය හැකි කරුණු රැසක් ඇතුළත්ව තිබේ. මෙලෙස ඇතුළත් කර ඇති සියලු කරුණු සූත්‍ර පිටකය ඇසුරින්ම මූලාශ්‍රය දක්වා තිබීමෙන් එහි ශාස්ත්‍රීයත්වය හා නිවැරදි බව තහවුරු වෙයි. අප හඳුනාගන්නා පරිදි, බුද්ධ චරිතය ඇසුරින් ගොඩ නැගී ඇති නූතන ගැටලු දෙකකි. එකක්, බුදුන් වහන්සේ සත්‍යයවශයෙන්ම කෙබඳු අයෙක්ද යන්න හඳුනාගැනීමට නොහැකි වීමයි. අනෙක, බුදුන්වහන්සේ ලක්දිව හෝ වෙනත් රටවල උපත ලැබී යැයි ගොඩ නගන අදහසයි. මෙම නූතන ගැටලු දෙක සඳහාම දූවිල්ලේ රැදුණ පියසටහන් තුළින් පිළිතුරු ලැබේ යැයි සිතිය හැකිය. අතිමානුශීයකරනය වූ ඉන්ද්‍රජාලීකයෙකු වෙනුවට සැබැවින් බුද්ධ චරිතය කෙබදු ද යන්න මෙයින් තහවුරු කෙරෙයි. බුදුන් වහන්සේ යනු සැබැවින්ම මානුෂීය ගුණයන් පිරී ගිය පුද්ගලයෙකි. උන්වහන්සේගේ මෙහෙවර කුමක්ද? නායකයෙකු ලෙස ගැටලු විසඳන ලද්දේ කෙසේද? උන්වහන්සේගේ ශාසනික අර්බුද හමුවෙහි, රජසිටුවරු හමුවෙහි ක්‍රියා කලේ කෙසේද? යනාදිය තේරුම් ගැනීමට මෙම කෘතිය වැදගත් වනු ඇත. -ගුරුගොඩ සිරිවිමල-



 

Saturday, August 27, 2022

සයන පූජා,රන්තැඹිලි, රන්දෝතළු, ලක්ෂ ගණනේ මල් පූජා

මම අවුරුදු ගණනාවකින් කිසිඳු වන්දනා චාරිකාවක් ගිහිල්ල නැහැ. ගමන් යන්න තියෙන අකමැත්ත ඒකට හේතුව. ඉස්සර අපි පිරිවෙනෙන් හෝ පංසලෙන් වන්දනා චාරිකා යනව. ඒ ඉතින් යද්දි අනිවාර්යෙන්ම යන්නෙ අනුරාධපුර තමයි. අපි ඉස්සර අනුරාධපුර යද්දි පොඩිකමට කිසි දෙයක් නොතේරුණාට ඒ ගමං ගැන නැවත කල්පනා කරද්දි හිතෙන දෙයක් තමයි අනුරාධපුරය කියන්නෙ මනුස්සයෙක්ව එකපාරින්ම නිවිච්ච මනුස්සයෙක් බවට පත් කරන්න පුලුවන් තැනක්ය කියන එක.

රුවන්මැලි සෑය(මහාසෑය), මහා බෝධිය කියන්නෙ මිනිස්සු දහ දාහක් මැද්දෙ වුනත් මනුස්සයෙක්ව නිවන්න පුලුවන් තැන්. අවසාන වතාවට වගේ මම රුවන්මැලි සෑයට ගියෙ සිවුරු පූජාවකට. එතන හරි කළඹලයි. මිනිස්සු සිවුරු අතේ තියාගෙන හරි කළඹලෙන් හාමුදුරුවරු පස්සෙන් ඉස්සරහින් යනව. ඒ අයව දැක්ක ගමන් තේරෙන්නෙ එයාලගෙ හිතෙන් සන්සුන් බව ගිලිහිලා කියල.

උදෑසන, දහවල දිස්වෙන හිස් අහස, සැලෙන ගහකොළ වැල, හිටි ගමන් එහෙ මෙහෙ දුවන මුවන්, මොණරුන් ඇතුලු සත්ව වර්ග, විවිධ සුවඳැති හඳුන්කූරු දුම් මික්ස් වෙලා එන කෝවිල් සුවඳ, තැනින් තැන මී කිරි, අයිස්ක්රීම්, බොබයි මොටයි විකුණන මිනිස්සු, වාහන වල ඩිකි ඇරගෙන කෑම කන මිනිස්සු, නැවත රාත්රියට හඳ විතරක් තනි වුන කළුවර අහස, පූජාස්ථානයට මඳක් දුරින් වැවකට ඉතා ආසන්නයෙන් සිංදුවක් කියල විනෝද වෙන මිනිස්සු, තැන තැන දිස්වෙන අතීත පුරාවස්තු කියන්නෙ අපේ හිත් විශාල දුරකට එක්ක යන ඒ වගේම එක තැනක නවත්වන සුන්දර දේවල්. ඒ හැමදෙයක්ම ශ්රද්ධාව නාමයෙන් අද වෙද්දි නැති වෙලා.

ඉස්සර නෙළුම් මල් දෙකක්, දුම් වලින් නැහැවුන හඳුන් කූරක්, කිරි පූජාවක්, උපරිම වුනොත් අටපිරිකරක් අතින් අරගෙන යන මිනිස්සු ගොඩකගෙ දකින පැහැදිලි බව අද එතනට යන එක මනුස්සයෙකුගෙ හිතේ නැති බව ඒ ඒ තැන්වල වීඩියෝ දකිද්දි මට පැහැදිලි වෙනව. එකිනෙකා පරයා මම මෙච්චරක් පූජා කරනව වගේ තරඟකාරී වටපිටාවක් එතනදි දකින්න ලැබෙනව. මිනිස්සු තමන්ට ආස විදියට පූජා සිද්ධ කරන එක එයාලගෙ වැඩක්. හැබැයි ඒවයෙන් තේරුමක් තියෙනවද කියල ඒ අය කල්පනා කළ යුතුයි.

මිනිස්සු වන්දනා කරන්න ඕන තමන්ගෙ හිත නිදහස් කරගන්න. හිතේ කාන්සිය නිවා ගන්න. ඇත්තෙන්ම ඒක ට්රිප් එකක් විය යුතුයි. කොහොම වුනත් අපේ රටේ චාරිකා වෙනුවෙන් බිහිවුන සම්ප්රදායක් නැහැනෙ. තනි පවුලක් වුනත් ගෙදරින් එලියට නිවාඩුවක් යන්නෙ මුළු ගෙදරම අලුත් විදියකින් ට්රිප් එකට එකතු කරගෙන.

කෙනෙක් කරන දේවල් තව කෙනෙක්ගෙ විනිශ්චයට ලක්වෙන එක යම් ආකාරයක ඕපදූප සෙවීමක් වුනත් මම හිතන්නෙ මිනිස්සු තමන්ගෙ හිත කඩා බිඳවගන්න සංචාර නොකල යුතුයි කියල. එකිනෙකා යෙදෙන තරඟයක තරඟ කරුවෙක් වෙමින් සෑයක් වටා රොක් වෙමින් විවිධ පුද පූජා කිරීමෙන් මිනිස් සන්තානයේ සනීපම දේවල් මඟ හරවගන්න එක කොච්චර අවුලක්ද. සයන පූජා,රන්තැඹිලි, රන්දෝතළු, ලක්ෂ ගණනේ මල් පූජා මේ හැමදේම එක්ක මිනිස්සු තරඟකාරී වෙලා. මේ හැමදේම දිහා බලාගෙන චෛත්යයටයි බෝධියටයි හිනාත් යනව ඇති.

-ගුරුගොඩ සිරිවිමල-




Friday, August 19, 2022

තමා හඳුනාගැනීමෙන් තොරව සතුටක්-සැපතක් නැහැ.

මට මන්ත්ර ගුරුකම් පිළිබඳව දැඩි විශ්වාසයක් නැහැ. නමුත් ඒ ශාස්ත්රය ගැන මම අවිශ්වාස කරන්නෙත් නැහැ. ඇත්තෙන්ම මම ඔය වැඩේ දන්නෙ නැහැ. ඒකට මගෙ හිත යොමු වෙන්නෙත් නැත්තෙ ලංකාවෙ ඒ සඳහා හැදුන දැනුම් මට්ටමක් නිර්මාණය වෙලා නැතිකම. ගුප්ත විද්යාව කියල දෙයක් අල්ලපු රට වුන ඉන්දියාවේ තිබුනත් මම දන්න තරමින් එහෙම එකක් ලංකාවෙ නැහැ. හැබැයි ගුප්ත විද්යා විශාරදල පඳුරකට ගැහුවොත් සීයක් දෙසීයක් වීසි වෙනව.

මම මගේ වෙලාව කීප දෙනෙකු ලවා බලවගෙන තියෙනව. ඒ බලාගෙන තියෙන්නෙ මගේ විනෝදය වෙනුවෙන් මිසක් අනාගත සුභසිද්ධිය වෙනුවෙන් නෙමේ. හැබැයි ඒ දෙන්නම කිව්ව මගෙ තොරතුරු සත්යයි. ඒ වගේම ඒ බලවගත්ත දෙන්නම ජ්යෝතිශය ශාස්ත්රයක් විදියට ඉතා ඉහළින් ප්රගුණ කරපු දෙන්නෙක්. මම මගේ හිතවතුන් බොහෝ දෙනෙකුගෙ වෙලාවල් බලවල දීලත් තියෙනව. මම බොහෝවිට හෙටත් මගෙ ලයිෆ්ටයිල් එකක් විදියට මගේ මිතුරු ජ්යෝතීර්වේදියෙකුගෙ සහාය ලබා ගනිමින් මගෙ වෙලාව ටිකක් බලව ගනියි.

මම යම් මට්ටමකින් දිගු කාලීන සෙම් රෝගයකින් පෙළෙන කෙනෙක්. එක්තරා කාලයක අපේ පවුලෙ අය පුදුම විදිහට මේක සනීප කරන්න වෙහෙස වුනා. ඒ වගේ වෙලාවක මම කුඩා කාලෙ අපේ මාම කෙනෙක් වෙන කෙනෙක් අපේ තව වැඩිමල් හාමුදුරුවො කෙනෙක් එක්ක ඇතුළු ගමක මන්ත්ර බලයෙන් බෙත් කියන ගුරුන්නාන්සෙ කෙනෙක් ලගට ගියා. ඇත්තෙන්ම ඒ ගුරුන්නාන්සෙ සම්මත අර්ථයෙන් ගුණයහපත් මනුස්සයෙක්. (අපිට දානෙත් සකස් කරල දුන්න.)

ඉතින් එතුම බොහෝ මන්ත්ර ගායනා කරල යම් ආරූඪයක් ලබා ගන්නව. ඒ ආරූඪයත් එක්කම එයාගෙ හඬ ගැහැණියකගේ හඬක් බවට පත්වෙනව. ඊට පස්සෙ අමු තිත්ත කුණුහරුපෙන් ඉන්න ඔක්කොමලට බනිනව. (අම්මෝ එහෙමත් බැනුම්) ඒ ගුරුන්නාන්සේ කියන විදියට සහ අනුගාමිකයො කියන විදියට එතුමට ආරූඪ වෙන්නෙ කාලි මෑණියො. ඒ නිසා තමයි කුණුහරුප එහෙම කියල වැඩ ආරම්භ කරන්නෙ.

කෙසේ වෙතත් අපි එතෙන්ට යද්දි පිලී ජාති කාල ගියාද කියල මතකයක් නැහැ. නමුත් එතන පිලී ජාති තහනම්. හැබැයි කුණුහරුප කියනව. ගියපු ගමන් අපි එතෙන්ට ආව හේතුව කොලයක ලියල එතන තියෙන භාජනයකට? දාන්න ඕන. ඒ දාල ඉතින් පෝලිමේ බලාගෙන ඉන්න ඕන. අපටනම් සුදු පිරුවට සහිත ආසන දෙකක් ලෑස්ති කරල දුන්න. නමුත් අනෙක් හැමෝම එයාලගෙ වෙලාව එනකල් බලන් ඉන්න ඕන.

ඒ බලන් ඉද්දි ඒ අය ගොඩේම තවත් කෙනෙක්ගෙ ප්රශ්නය ගුරුන්නාන්සෙ කොලේ නොබලම කියනව. (උදා: සෙම් රෝගයට බේත් අහන්න ආපු දහ දෙනෙක් මෙතන ඉන්නව. එව්න් ටික වෙනම පෝලිම් වෙයව්) එහෙම පෝලිම් වුනාම එතනින් එක්කෙනෙක්ව ගෙන්නල අම්බානක කුණුහරුපෙනුත් බනින ගමන් ලෙඩේ ස්වභාවය අරව මේව කියල. එයාගෙ තියෙන කැත පුරුදු වගේ දේවලුත් අර සෙනග ගොඩේම කියල දානව.

ඉතින් මට හිතාගන්නම බැරිවුන කොටස තමා අර කොලේ බලන්නැතිව ලෙඩේ ගැන කියන එක. හැබැයි මට එදා නොතේරුණාට අද ඒක නැවත කල්පනා කරල බලද්දි හිතෙන්නෙම මේ ගුරුන්නාන්සෙ ආරූඪයට ලොකු වෙලාවක් ගන්නෙ අර කොල ටික එහෙම බලල පේ වෙලා එන්න වෙන්නැති කියල.

කොහොම වුනත් ඒ ආරූඪය හාමුදුරුවො දෙන්නට විශේෂ සැලකිලි දැක්කුව.(කාලි මෑණියො වුනත්) එයා මාව ගෙන්නල ප්රශ්න අහල බේත් තොගයක් කිව්වත් මම ඒව කරාද කියලවත් මතක නැහැ. හැබැයි ඒක වෙනම අද්දැකීමක්.

දෙවනුව යම් අතීත බලයක් තියෙනවාය හැගෙන මෑණි කෙනෙක් මගේ හිතවත් නෝන කෙනෙක්ගෙ මාර්ගයෙන් දැනගන්න ලැබුන. ඒ මෑණියො අදාල කෙනාගෙ කේන්දරය දුන්න ගමන් අදාල කෙනාගෙ අතීතය වර්ථමානය අනාගතය සියල්ලම කියනව. ඒ විදියටම මමත් මට අවශ්ය කෙනාගෙ තොරතුරු දුරකථනය හරහා දැනුම් දුන්න ගමන් එහෙම්ම කියවගෙන ගියා. ඒ සියල්ලම සහතිකම සහතික ඇත්ත. අදාල කෙනාගෙ චරිතය, හැසිරීම, ලෙඩ රෝග, වගේම මරණය ගැන පවා කිව්ව. මට හිතාගන්න බැහැ ඒ මෑණියො ඒ දේ කිව්වෙ කොහොමද කියල.

ඒ වගේම පිරිත් කියද්දි ආවේශයට පත්වෙන උපාසක-උපාසිකා සහ පැවිදි අද්දැකීම් කිහිපයක් මට තියෙනව. බොහෝ අය රතන සූත්රය, ආටානාටිය සූත්ර කියද්දි ආවේශ වෙන හේතුව මට හිතාගන්න බැහැ. පිරිතක ආරම්භක බෙර පද වැයෙද්දි ආවේශ වෙලා සද්දෙන් හූ කියන අය පවා ඉන්නව.

ඒ අයගේ මානසික ව්යාකූල බව නිසා ඇතිවෙන විවිධ තත්වයන් බොහෝවිට මානසිකමය ප්රතිකාරයකින්ම සමනය කල හැකිබව මම හිතනව. විශේෂයෙන්ම එකිනෙකා අතර යහපත් සන්නිවේදනයන් එකිනෙකාගේ සතුටට, සොම්නසට හේතු වෙනව. (රිද්මයානුකූල සාමයික ස්වරයෙන් පිරිත් සජ්ඣායනය, කාරුණිකව හිස අතගෑම ආදී කරන ඕනෑම දෙයක් කාරුණික සිතකින්)

මම පුද්ගලයෙක් විදියට විශේෂ වශයෙන් ඔය දේවල් ප්රසිද්ධියට පත් නොකරන්නෙ මට ලැබිල තියෙන ජීවිතය තුළ අනාගතය පිළිබඳව ප්රත්යවේක්ෂා කිරීම වැඩියෙන් දුක් වීමට හේතුවක් නිසාත් වර්ථමානය තුළ මේ ලැබිල තියෙන සැනසිලි දායක ජීවිතයට යම් විදියකින් හෝ හොද-නරක බලපෑමක් වුනොත් මට මගේ මේ මොහොත මිස් වේවි කියල හිතෙන නිසා.

මම මිත්යාව ලෙස විශ්වාස කරන්නෙ අපට ලැබිල තියෙන දැනුම, අවබෝධය, ජීවිතය ඇතුළු ඕනෑම දෙයක් අනවශ්ය පරිදි කඩේ යැවීම. ආගමික අභිචාර විධි, පෙරදිග-අපරදිග ආදී ඕනෑම දැනුමක් මේ කාලයේ අවභාවිත වෙනව. ඒ විදියට අවභාවිත නොවෙන දෙයක් මම මිත්යාව ලෙස නම් කරන්නෙ නැහැ.

විද්යාව ලෙස මම හදුනාගන්නෙ අපට ලැබිල තියෙන දැනුම, අවබෝධය, ජීවිතය වීමංසනයෙන්, විචාරයෙන් යුතුව අවස්ථානුකූලව භාවිත කිරීම. එහෙම දේවල් මේ රටේ වෙන්නෙ නැහැ.

අපි ඉන්ද්රිය තුළින් දකින බටහිර දැනුමෙන් සියල්ල විසඳගන්න යනවනම් ඒක සමහර විට මිත්යාවක් වෙන්න පුලුවන්. දැන් ඇත්තෙන්ම මම දැනගෙන තියෙන දේවල් ඇතුලෙ විද්යාව මිත්යාවක් වෙලා ඉවරයි. නමුත් හෙටත් මගෙ කකුළෙ අමාරුවට බේත් ගන්න ඩොක්ටර් කෙනෙක් චැනල් කරනව. මම විද්යාව විශ්වාස කරනව. තාක්ෂණය නොදැනුමක් ඇතුළෙ විශ්වාස කරනව. මේ හැමදේම මගෙ කෙටි කාලීන එදිනෙදා අවශ්යතාවලට විසඳුම් ලබා දෙනව.

ඒ වගේම අතින්ද්රිය ප්රත්යක්ෂය තුළින් දැනගන්න දේවල් මේ ලෝකෙ තියෙනවනම් ඒ දේවල් අවභාවිත වෙනවනම් (පුද්ගල ආකර්ශණය, මුදල, දේශපාලනික ආදී බලය උදෙසා) ඒක මිත්යාවක් වෙන්නෙ එතනින්. ඒ අර්ථයෙන් ගත්තම කේන්දර බැලිල්ල, ආරූඪය, පේන කීම, සාස්තර අනාවැකි කීම ආදි සියල්ල මිත්යාවක් දක්වා වර්ධනය වෙලා තියෙනව.

කොරෝනා කාලයේ රටටම පිරිත් කියමින් ආශිර්වාද පැතීම, පිරිත් පැන් ඉසීම, වැනි යෝජනා තුළින් විද්යාත්මක නොවන පදනමකින් ක්රියා කරන්න උත්සාහ කිරීම. කාලි මෑණියන්ගේ ධම්මික පැණිය, නාථ දේව ආශිර්වාදය, ගංගා වලට පැන් කල හැලීම වැනි දේවල් පවා අපේ රටේ අපහසුම අවස්ථාවලදී යෝජනා වුනා. ඒ දේවල් ගැන සොයා බැලීමකින් තොරව ක්රියාත්මක කරන්න තීන්දු තීරණ ගතයුතු දේශපාලකයන් උත්සාහවන්ත වුනා. ඒ හැමදේම මිත්යාවේ පදනම්. ඒ කිසිවක් විද්යාත්මක පදනම් නෙමෙයි.

මේ දෙකම අපේ රටේ දේශපාලනික, සමාජ, සංස්කෘතික වශයෙන් ඝාතනය වෙලා ඉවරයි. ආගමික ඇදහිලි ආදිය විශේෂයි. දෙයකට වැඩි පමණින් නැඹුරු වෙලා ඒක මතම ජීවත් වෙන ඕනම කෙනෙක් මිත්යාවක් පිටුපස හඹායන්නෙක්. එයාට සමහරවිට එයා හොයන දේවල් ලැබෙන්නත් පුලුවන්. නොලැබෙන්නත් පුලුවන්. නමුත් ඒ දෙකම බැහැර කෙරුවට පස්සෙ අපිට ඉතිරි වෙන පුද්ගල සබඳතා සහිත රංචු සමාජය ගිලිහිලා යනව. ඒ නිසා මම හිතනව රංචු ලැදියාව සහිත මානව පරපුරක් විදියට අපි වාද සහිතව හෝ මේ හැමදේම එක්ක ජීවත් විය යුතුයි.

මම හිතන්නෙ අදෘශ්යමාන, ගුප්ත විද්යාවන් අපේ රටේ ශාස්ත්රයක් විදියට ගොඩ නැගිය යුතුයි. විවේචන, විචාර සම්ප්රදායන් අලුතින් නිර්මාණය විය යුතුයි. කිසිවක සත්ය-අසත්යය කෙසේවෙතත් මිනිස්සුන්ගේ දෛනික අවශ්යතා සපුරා ගැනීම සඳහා යමක් ඒ දේවල් තුළ තියෙනවද කියල විමසල බැලිය යුතුයි. ඒ කිසිවකට අපි සූදානම් නැත්තං මිත්යා ලබ්දිකයො විදියට මැරිල යන්න පුලුවන්.

ඒ වීමංසනය, විචාරට නැත්තං අර සෙව්වන්දිලා වගේ මානසික අසනීප සඳහා ප්රතිකාර ලබාගත යුතු අයගෙන් තමන්ගෙ මානසික අසනීපයන්ට ප්රතිකාර ගන්න වෙයි. ඒ වගේම තව තව බොහෝ දේවල් දැනටමත් අපේ රට ඇතුළෙ වෙලා තියෙනව. ජ්යෝතිර් වේදින් කියන පට්ටපල් චෞරයන් කියන අපේක්ෂකයන්ට ඡන්ද දීල මිත්යාවන් පසුපස හඹාගියපු පසුගාමී පාලකයො රටේ ජනාධිපතිවරු විදියට පත් කරගත්ත අපට මේ දැනුම් ගැන අවබෝධයක් නැතිව කරගත්ත දේවල් හොඳටම ඇති.

දේවල් තුළ නොඇලී නොගැටී යහපත් සිහියෙන් යුතුව සිටීමෙන් අපට ලබාගත හැකි වාසි බොහෝමයි. ඒ හැමදෙයක්ම අනාගත වාක්යයකට වඩා ශක්තිමත්. තමා කෙරෙහි විශ්වාස තබා, තමා හඳුනාගැනීමෙන් තොරව සතුටක්-සැපතක් නැහැ.

-ගුරුගොඩ සිරිවිමල-

 



Thursday, August 11, 2022

උසස්ම දේ තමා ගැන සෙවීමයි

අර පොඩි හාමුදුරුවො කෙනෙක්ව සහ තරුණියක්ව අල්ලගෙන තරුණයො ටිකක් සද්දෙ දාන වීඩියෝ එකේ ඇත්ත සිද්ධිය ඒ පොඩි හාමුදුරුවන්ගෙ නංගිලු අර තරුණිය. ඒ දෙන්න අසනීපව ඉන්න අම්මව බලන්න යන ගමන්ලු ඉඳල තියෙන්නෙ. මේ කතාව ඇත්තද බොරුද කියන්න මමනම් දන්නෙ නැහැ. ඒ වුනත් ඕව ඔප්පු කරල කරන්න හදන එක මට තේරෙන්නෙ නැහැ. ඒ වගේම ඒක ඇත්තක්නම් අර දඩාර පිරිමින්ට දැන් සනීප ඇති. ඒ අතින් ඒ සිද්ධිය ඔප්පු කරන එකත් හොඳයි.

ඒ නිව්ස් එක ගැන දැන් අදහස් දක්වන අය කියන්නෙ “නංගිනම් නංගි කියල ඒ වෙලාවෙ කියන්න එපැයිලු” මාර කතා තමා. දඩාර පිරිමි ටිකක් දෙන්නෙක්ව වටකරගෙන ප්‍රශ්නයක් දාද්දි කියන්න තියෙන ටිකත් උගුරෙ හිරවෙන අවස්ථා එමටයි. මට එහෙම වෙලා නැතත් මම ඒ වගේ දේවල් දැකල තියෙනව. අනික් අතට තමන් කවුද කියල එක එක්කෙනාට ඔප්පු කරන්න ඒ අය කවුද? පොලිස්සියෙන්නම් ඒකත් කමක් නැහැ.

කෙසේවෙතත් මම බොහෝවිට ගැහැණු පිරිමි තරුණ තරුණියන්ව වැඩියෙන් ඇසුරු කරන කෙනෙක් විදියට මට ඒ සම්බන්ද අද්දැකීම් බොහොමයි. මම තරුණියන් සමග කැෆේ වල ආහාර අරගෙන තියෙනව. එකට ඉඳගෙන කතා බහ කරල තියෙනව. කොෆී එකක් බොනගමන්, කතා කරන ගමන්, පොතක පතක වැඩක් කරන ගමන් මේ හැමවිදියකටම කැෆේ වලදි පාක් වලදි, පංසල් පල්ලි වලදි, ගෙවල් වලදි මේ ඕනම තැනකදි.  දියතෙ, තුම්මුල්ලෙ තැන් තැන්වල අපි පොත් පත් ගැන, ධර්මය ගැන, ආගිය තොරතුරු, සුවදුක් ගැන ඇති වෙන්න කතා කරල තියෙනව. සමහර විට එකම ටැක්සියෙ යන අවස්ථා වැහි වෙලාවට එකම කුඩේ යට යන අවස්ථාත් තියෙනව. (පිරිමි අය එක්කත් එහෙමයි.) ලංකාවේ ගොඩක් අයටනම් තරුණියක් සමඟ සිටීම පේන්නෙ නිකං ලිංගික දර්ශනයක් වගේ. ඒව ඉතින් මානසික ලෙඩ. ඒවට වග කියන්න මට බැහැ.

මම ජීවත් වෙන සමාජය මම විතරක් ඉන්න සමාජයක් නෙමෙයි. මගෙ අම්ම තාත්ත, සහෝදර සහෝදරියො යාළු මිත්‍රයො, නෑයො වේයො, අස්ල්වැසියො, ගැහැණු මිනිස්සු, දායක දායිකාවො, ශිෂ්‍ය, ශිෂ්‍යාවො, හොරු තක්කඩි, බොරි කියන නොකියන, රවටන, හිනාවෙනඅඬන,  දන්න, නොදන්න මේ හැම කෙනෙක්ගෙන්ම පිරිච්ච සමාජයක මම ජීවත් වෙන්නෙ.  මම ග්‍රාමවාසී භික්ෂුවක්. ආරණ්‍යවාසීව ඉන්න කෙනෙක් නෙමෙයි. එතකොට මට විවිධ අවස්ථාවල විවිධ විදියට ඉන්න සිද්ධ වෙනව. ඒ හැමෝවම මම ඇසුරු කරනව. ඒ කිසිම වෙලාවක මට ආටෝපයකට වඩා මිනිස්සු එක්ක හදවතින්ම සමීපව කටයුතු කරන්න වෙනව.

මේ ඕනම වෙලාවක මාව කවුරු හරි අරවගේ සැර විදියට කවුරු හරි ප්‍රශ්න කරන්න ආවොත් මම සමහර විට එයාලට මෙහෙම කියයි. “ඔයාගෙ ධර්මයයි මගේ ධර්මයයි දෙකක්. මගේ ධර්මය දැනගන්න ඕනනම් කනබොන ගමන් කතා කරමු. ඇවිත් වාඩි වෙන්න. නැත්තං අපි මේ වැඩේ ඉවරවෙලා යනකල් ඔයාලට ඔය විදියට කෑ ගගහ වීඩියෝ කර කර ඉන්න පුලුවන්” කියල. ඒ අය මේ දෙකෙන් කෝකට එකඟ වුනත් මමත් මගේ ළඟ ඉන්න අනෙකාවත් මම ආරක්ෂා කරනව වගේම අපි එකිනෙකාට වගකියනව.

හාමුදුරුවරුන්ගෙ ධර්ම-විනය ගැන හොයන ඕන කෙනෙක් මට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ අය මුලින්ම රටක පුරවැසියො වෙන්න ඕන. අනෙකාත් පුරවැසියෙක් විදියට දකින්න ඕන. කාගෙන්වත් කෑව බීව පලියට එයාව හසුරුවන්න කිසි කෙනෙකුට අයිතියක් නැහැ. ඒක භික්ෂුවටත් ගිහියාටත් එහෙමයි.  මිනිස්සුන්ගේ අයිතීන් විතරක් නෙමේ අලින්ගෙ අයිතීන් ගැන පවා කතා කරන මගෙ fb යාළුවො ගොඩක් අයත් මේ ප්‍රශ්නයෙදි අර හාමුදුරුවන්ට එහෙම කරන්න පුලුවන්ද? බිම් ගෙවල් අස්සෙ ඉන්න පුලුවන්ද වගේ කතා අහල තිබුන. පදුරු අස්සෙ රිංගන්න පුලුවන්ද කියල අහල තිබුන. තව කෙනෙක් කියල තිබුන භික්ෂුත්වය ජොබ් එකක්ය, දායකය පඩි ගෙවනවය ඒ නිසා ඒ ඒ විදියට ඉන්න ඕනය කියල. ඒක මොන මනෝවිද්‍යාවටද, මොන ධර්මයටද සාධාරණ කියල මම දන්නෙ නැහැ.  මිනිස් සබදතා පඳුරු මට්ටමට දාල කතා කරන අශිෂ්ට මිනිස්සු එක්ක සංවාද කරන්න තියෙන අපුල බව නිසා මම නිහඬ වුනා. කෙසේවෙතත් මට නැවත නැවතත් කියන්න තියෙන්නෙ හාමුදුරුවරුන්ට නෙමේ කාට වුනත් පොදු සදාචාර මට්ටම දැන හදුනගෙන කටයුතු කරන්න බාධාවක් නැහැ. මිනිස් හැඟීම් ගැන බුදු දහමේ නීති පනවන්නෙ නැහැ. නීති පැනවීම රාජ්‍යය විසින් කරන වැඩක්. ඒක රකින්න පොලිස්සි තියෙනව. ඒවට අවනත වෙන්න කියල බුදු හාමුදුරුවො පවා දේශනා කරනව. සිවුර කියන්නෙත්, ඇඳුම් පැළදුම් කියන්නෙත්, තනතුරු කියන්නෙත් තමන්ට දාගන්න බැරියර් නෙමෙයි.

බුදු හාමුදුරුවො දෙයක් දේශණා කලානම් ඒ දේශනා කලේ භික්ෂු-භික්ෂුණී, උපාසක-උපාසිකා (සාසනය) කියන හැමෝටම. භික්ෂු-භික්ෂුණී විනය පමණක් ගිහියන්ට අදාල වෙන්නෙ නැහැ. ඒකෙන් කියවෙන්නෙ නැහැ භික්ෂුවගේ විනය හොයන පොලිස්සිය ගිහියා කියල. නමුත් බුද්ධ කාලයේ පටන් මේ දක්වාම එකිනෙකාගේ වැරදි සොයමින් වැඩ කරපු ඉතිහාසයක් ත්‍රිපිටකයෙත් දකින්න ලැබෙනව. ඒව මටනම් සාමාන්‍යය දේවල්. ඒවගෙදි කම්පා නොවී වැඩ කරන එක තමා මගේ ක්‍රමය. බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවො තමන්ගෙ අවසාන ගුවන් විදුලි සාකච්ඡාවෙදි? පූරකයා අහන ප්‍රශ්නයකට උත්තර දෙමින් මෙහෙම කියනව. “ගිහියා පැවිද්දා වැරද්දක් කරන තුරු බලාගෙන ඉන්නව. පැවිද්දි ගිහියා වැරැද්දක් කරනතුරු බලාගෙන ඉන්නව. මේකෙන් දෙගොල්ලොම දෙකඩ වෙනව.) දැන් ලංකාවටම රටක් විදියට බලපාල තියෙන ප්‍රශ්නය තමයි එකිනෙකා අතර මිත්‍රශීලී බව දුරස් වීම. ඉතා පළල ඉතා දිගු ඉරි වලින් හැම තැනකම සීමා පනවා ගැනීම. එහෙම මිනිස්සු වෙන්න බැහැ.  එහෙම සතුට ලැබෙන්නෙත් නැහැ.

ශාක්‍ය කුමාරවරු කීප දෙනෙක් නැතිවුන තරුණියක් ගැන හොය හොය කැලේ ඇවිදිද්දි බුදු හාමුදුරුවන්ව මුණ ගැහෙනව. ඒ වෙලාවෙ බුදු හාමුදුරුවො ඒ වෙලාවෙ කියන්නෙ “උසස්ම දේ තමා ගැන සෙවීමයි” කියල. බෞද්ධකම රැකගන්න තඩි පිරිමින්ට බැහැ. ඒක ප්‍රතිපත්තිය දෙයක්.

වඩාත් හොඳ පුරවැසියෙක් කියන්නෙ තමන්වත් අනෙකාවත් රකින්නෙක්, තමන්ගෙත් අනෙකාගෙත් අයිතීන්ට ගරු කරන්නෙක්. ඒ ප්‍රතිපත්තියම තමයි කෙනෙක්ව බෞද්ධයෙක් බවට පත් කරන්නෙත්. තමන් යහපත් කෙනෙක් වෙන්න. අනික් අයව නිවන් යවන්න දරණ නිශ්ඵල උත්සාහය අත්හරින්න.


-ගුරුගොඩ සිරිවිමල-



Friday, June 3, 2022

ආවේගය‌ට සිහියෙන්....

මේක මට නිකමට හිතුනෙ ඇමතිවරයෙකුගෙ පුතෙක් සහ ඒ පුතාගෙ බිරිඳ මුහුණ දුන්න ප්‍රශ්නයක් ගැන ටිකක් කල්පනා කරද්දි. නිකමට හිතන්න! තාත්තල අම්මල වැඩිහිටියො මොනා කිව්වත් කළත් සාමාන්‍යයෙන් පවුලක තරුණ දරුවෙක්ට එයාලගෙ මට්ටම තියන් ජීවත් වෙන්න හැකියාව තියෙන්න ඕන.

තමන්ගෙ ආවේගයට කරන පහරදීම් වැනි ක්‍රියාවකින්, වාචසිකව කරන දරුණු බැණවැදීමකින් අනතුරුව තමන්ගෙ ආවේගය පහවුන වෙලාවක තමන්ට ඒ සිදුවීම් ගැන මොනවගේ කම්පාවක් දැනෙන්න පුලුවන්ද? තමන් නොහිතපු මොහොතක නොපතපු අද්දැකීමකට මුහුණ දෙද්දි ඒකට කිසිම සූදානමකින් තොරව අපි ආවේගය පිට කරන්න පුලුවන්. නමුත් ආවේගයෙන් පසු මොහොතේ අපිට දැනෙන ලැජ්ජාවෙන් කවමදාවත් වැළකෙන්න බැහැ.

කය වචනය පරිස්සම් කරගන්න එක ලේසි පහසු දෙයක් නෙමේ. සමහර O/L වයසෙ තරුණ දරුවන්ගෙ ආවේගශීලී හැසිරීම් අපි කොයි තරම්වත් වීඩියෝ වලින් දැකල තියෙනව. එයාල ගහනව, ගහන්න ගිහිල්ල ගුටි කනව, ගැහැණු ළමයින්ගෙන් ගුටි කනව, ඒවයෙදි විවිධ වචන වලින් ඇණුම්පද කියනව. ඒ වගේම ගැහැණු ළමයින්ගෙ ගෲප් චැට් ලීක් වෙනව, ගෲප් කෝල් ලීක් වෙනව.

සමහර විට තරුණ වයස්වල විවාහක ගැහැණුන් පිරිමින් වාහනයක ඩ්‍රයිව් කරන් යද්දි මොනාහරි සිද්ධ වෙන දෙයකට අනවශ්‍ය ලෙස කුණුහරුප කියමින් හැසිරෙනව. එහෙම නැත්තං පවුල් ප්‍රශ්නයකදි හැසිරෙන විදිය. ඒව පසුව වීඩියෝ විදියට මුලු සමාජයකටම බලන්න අවස්ථාව ලැබෙනව.

සමහර විට තරුණ ගැහැණු පිරිමි පෙම්වතුන් ආදරයේදි හැසිරෙන විදිය, ඉක්මන් තීරණ ගන්න විදිය අපි ටික්ටොක්වලදි සහ මේ වගේ තැන්වලදි නිතරම දකින්න ලැබෙනව. සමහරවිට එයාල එකිනෙකාට දැඩිව අපහාස කරමින් හෝ අනවශ්‍ය සොයාබැලීම් හෝ දේවල් ඉල්ලල එකිනෙකා ආයාචනා කරනව අපි දැකල තියෙනව.

සමහරවිට තරුණ භික්ෂූන් විවිධ අවස්ථාවලදී කරන ආවේගශීලී මැදිහත්වීම් අපි කොයිතරම්වත් දකිනව. සමහර විට ආගමික ප්‍රශ්නයකදි, ජාතික ප්‍රශ්නයකදි එහෙම නැත්තං තමන්ගෙ ප්‍රශ්නයකදි ඒවත් අපිට පසුව වීඩියෝ විදියට දකින්න අවස්ථාව ලැබෙනව.

මේ සියල්ලම නොසිතූ විදියට ඒ සියලු දෙනාට සිද්ධ වුන දේවල්. ඒ අවස්ථා වලදි සිදුවෙලා තියෙන දේ ගැන හිතිල තමන්ට ලැජ්ජාවක් දැනෙනනවනම්. ආයෙ තමන්ගෙ යාළුවෙකුට, වැඩිහිටියෙකුට, පොදුවේ ගත්තම සමාජයට මුහුණ දීගන්න බැරිකමක් දැනෙනවනම් ඒ ක්‍රියාවන් ගැන ඇත්තෙන්ම ඒ අය අපහසුතාවයට පත්වෙලා ඉන්න අය. නමුත් තමන්ට ඒ දේ සිද්ධ වෙලා ඉවරයි. ඒ අයට දරුණු ලැජ්ජාවක් දැනෙනව. (මම කියන්නෙ ඒ අය තරුණ අයනම්. ඒ අය මේ වගේ දේවල් වලට නිතර මැදිහත් නොවන ජීවිතේ සාමාන්‍ය විදියට ගෙවන අයනම්. මේ ලැජ්ජාව සාමාන්‍යයෙන් නිතර වැරදි කරන සමාජයක ඉන්න කෙනෙක්ට දැඩිව දැනෙන්නෙ නැහැ. නිකමට හිතන්න පොලිටිෂන් කෙනෙක්ට වැරදි කරන්න ලැජ්ජාවක් දැනෙන්නෙ නැහැනෙ.)

අපේ ආවේග කියන දේවල් පාලනය කරගන්න ; ඒ කියන්නෙ අපේ හිතට එන හැම අයහපත් දෙයක්ම පාලනය කරගන්න අපට විශේෂ හැකියාවක් තියෙන්න ඕන. එහෙම නැත්තං අපට සිද්ධ වෙනව සමාජයක් ඉදිරියේ අපහසුතාවයට ලක්වෙන්න සහ තමන් විසින්ම තමන්ව ප්‍රතික්ෂේප කරන තත්වයට පත්වෙන්න. ඇත්තෙන්ම ආවේගය කියන්නෙ අපේ ස්වභාවය නෙමේ. එතන ඉන්නෙ ස්වභාවික මනුස්සයෙක් නෙමෙයි.

නිවැරදි වචන, නිවැරදි ක්‍රියා කියන්නෙ ඇත්තෙන්ම නිසි පරිදි, නිසි කලට, නිසි අවස්ථාවන්හි පාවිච්චි කළයුතු දෙයක්. අපිට සිද්ධ වෙනව සමහර වෙලාවලදි විධිමත් හා අවිධිමත් ලෙස කටයුතු කරන්න. මේ අවස්ථා දෙකේදිම අපට පුලුවන්නම් නිවැරදිව අපේ වචන හසුරුවන්න. නිවැරදිව අපේ කය හසුරුවන්න. ඒ ගැන අපටත් සිදුවීමේ අනෙක් අන්තයටත් අනිවාර්යෙන්ම සතුටු වීමේ හැකියාවක් තියෙනව.

ඉතින් මෙතනදි අපට වඩාත් අවශ්‍ය වෙන්නෙ විශේෂයෙන්ම දේවල් ගැන “සිහියෙන්” කටයුතු කරන එක. දෙයක් ගැන සිහියෙන් කටයුතු කරද්දි අපට කිසි ලෙසකින්වත් අපේ ජීවිත ගැටළුකාරී තැන්වලට තල්ලු වෙන්නෙ නැහැ. කොටිම්ම කිව්වොත් මැරෙන්න තරම් ලැජ්ජාවෙන්න සිද්ධවෙන පශ්චත්තාපයට පත් වෙන්න සිද්ධ වෙන්නෙ නැහැ.

 

-ගුරුගොඩ සිරිවිමල-

Wednesday, May 25, 2022

ඒ අය මේ වගේ බණ කියන්නෙ ඇයි?

බොරු කීමේ විපාකයක් තමයි කියනව; ඔහු නිසා උපදින්නේ ගෑණු ලමයි පමණයි. පිරිමි දරුවො නැත. ඔහු නිසා උපදින්නෙ ඔහුට දාව ගෑණු දරුවො උපදිනව. පුතාල උපදින්නෑ. යම් නිවසක දුවෙක් ඉපදුනොත් ඒ තාත්ත, ඒ අම්ම මුසාවක් කියපු කර්මයක් මුල් වෙලා තමයි ඒ දුව උපදින්නෙ……..” -වැලිමඩ සද්ධාසීල හිමි-

මේ දවස්වල සුපුරුදු පරිදි වැලිමඩ සද්ධාසීල හිමිගෙ වීඩියෝ එකක් වෛරල් වෙනව. දැනට මට තියෙන එකම සතුට ඒ හිමිගෙ නම කියද්දි අපිව ෆේස්බුක් දහම් පාසලෙන් බ්ලොක් නොවෙන එක විතරයි. කෙසේවෙතත් මම වැලිමඩ හිමිගෙ බණ ගැන 2020 විතර පෝස්ට් එකක් දැම්ම “බණ කියන තුච්ඡ අය” කියන ශීර්ෂයෙන්. ඒකෙ ලින්ක් එක මම මේක අන්තිමට දාන්නම්. අපිත් හෝද හෝද මඩේ දානව වගේ එයා කියන්න කියන්න අපි ලියනව. අපි ලියන්න ලියන්න එයා කියෝනව.

නමුත් මම ඒ බණ ගැන අටුවා ලියන්නෙ නැතිව “මේ අය මෙහෙම බණ කියන්නෙ ඇයි?” කියල ලියන්නම්. කොහොම නමුත් මේ ගැහැණු - පිරිමි උපත ගැන බුදුන් වහන්සේගේ ස්ථාවරය සහ සද්ධාසීල හිමියන්ගේ ස්ථාවරය කියන්නෙ දෙකක්. කෝසළ සංයුත්තයේ ධීතු සූත්රයේ බුදුන්වහන්සේ පෙන්වා දෙනව;

ඉත්ථි පි හි එකච්චියා සෙය්යා පොස ජනාධිප,මෙධාවිනී සීලවතී සස්සුදෙවා පතිබ්බතා

රජතුමනි, ඇතැම් ස්ත්රිය ද ශ්රේෂ්ඨ ය. (එහෙයින්) පොෂණය කරුණු මැන. නුවණැති සිල්වත් නැදිමයිලන් දෙවි කොට වෙසෙන පතිවත රක්නා (යම් ස්ත්රියක් වේ ද,)

තස්සා යො ජායති පොසො සූරො හොති දිසම්පති,

තාදිසා සුභගියා පුත්තො රජ්ජම්පි අනුසාසතීති

දිශාවන්ට අධිපති රජතුමනි, ඇයට යම් පුතෙක් උපදී ද, (හෙ තෙමේ) දක්ෂයෙක් වෙයි. එබඳු යහපත් තැනැත්තියගේ පුත්ර තෙමේ රාජ්යානුශාසනා ද කෙරෙයි.”

මේක බුදු හාමුදුරුවො දේශනා කරන්නෙ කොසොල් රජතුමාට. එතනදි සිද්ධ වෙන්නෙ කොසොල් රජතුමා තමන්ට දුවෙක් ලැබුනය කියල හිත කළකිරීමෙන් ඉද්දි. මේ දේශනාවට අනුව පැහැදිලි වෙන කාරණා කීපයක් මම කෙටියෙන් ලියන්නම්.

ස්ත්රිය ද ශ්රේෂ්ඨයි.(පුරුෂයා හා සමානවම)

දරුවා ස්ත්රියක් වුනත් පුරුෂයෙක් වුනත් ඒ අයව පෝෂණය නොකලොත්, නුවණැති ඥාතී වැඩිහිටි ආශ්රයක් නැත්තං හබක් තමයි.

ඒ වගේම තමයි;

ස්ත්රිය මුල් කරගත් ප්රජනනය වැදගත් බව සහ දරුවන් වැඳිය හැකි ගුණය තියෙන්නෙ ස්ත්රියට කියලත් බුදු හාමුදුරුවො පැහැදිලි කරනව.

ඒ වගේම තමයි සද්ධාසීල හිමියන් මේ බණ කියන්නෙ කුමක් හෝ පොතක් පෙරළමින්; එය බලාගෙන. මම දන්නෙ නැහැ ඒ පොත මොකද්ද කියල. (ගැහැණු දරුවන්ගේ උපත අයහපත් කර්ම විපාකයක පළ දීමක් ලෙස බුදුන් වහන්සේ කියල තියෙන තැනක් තියෙනවනම් කාරුණිකව පෙන්වා දෙන්න.සමහරවිට මට මග හැරිලද දන්නෙ නැහැ.)

සමහරවිට දුවෙක් පමණක් නෙමේ පුතෙක් වුනත් අපේ කරුමෙට වගේ ඉපදෙන්න පුළුවන්. අපේ වාසනාවට උපදින්නත් පුළුවන් කියල බොහෝ අය කල්පනා කරනව. නමුත් මම හිතන්නෙ තව කෙනෙක්ගෙ උපතකින් තව කෙනෙක්ගෙ වාසනාව හෝ අවාසනාව තීරණය වෙන්නෙ නැහැ කියල. ඒ වගේම මම කර්මය කියන එක මේ වගේ තැනකට ලඝු කරන්න කැමති නැහැ සහ අපි කරන මොන කර්මයට අනුවද ඒ විපාකය ලැබෙන්නෙ කියල අපිට නිශ්චිතවම කියන්න බැහැ. කර්මය කියන්නෙ නිතරම අවිනිශ්චිත සහ අචින්ත්ය දෙයක්. ඒ වගේම තමයි සරළ කාරණයක් තමයි අපේ ජනසම්මතවල පිරිමි හෝ ගැහැණු දරුවෙක්ට අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් ආසාවෙන් ඉන්නවනම් කරන වත් පිළිවෙත් ටිකක් තියෙනව. අම්ම කෙනෙක් දරුව කුසේ ඉද්දි කන බොන දේවල් කරන කියන දේවල් අහන බලන දේවල් පාට වර්ග වගේ දේවල් නමුත් මේ කිසිම බාහිර සාධකයකිනුත් දරුවෙක්ගෙ ලිංගික බව තීරණය වෙන්නෙ නැහැ. වෛද්ය විද්යාත්මක දරුවෙක්ගෙ ලිංගික බව තීරණය වෙන්නෙ අහඹුවක් ලෙස. ඒක අපට කලින් තීරණය කරන්න බැහැ. සද්ධාසීල හිමිට අනුව කවුරුහරි ගැහැණු දරුවෙක්ට ආසනම් එයා බොරු කිව්වනම් හරි. පරම්පරාව ඉදිරියට අරන් යන්න පිරිමි දරුවෙක්ට ආසාවෙන් ඉන්න කෙනෙක්ට පුළුවන් ඇත්ත කියල පිරිමි දරුවෙක් හදාගන්න. ඒ බණ ගැන මගේ ඩොලරය මෙච්චරයි.

මේ අය මේ වගේ බණ කියන්නෙ ඇයි?” කියන ප්රශ්නය තමයි අපිට වැදගත්ම ප්රශ්නය. අපි එතන ඉදන් ටිකක් මේ සාකච්ඡාව ඉදිරියට අරගෙන යමු. “මේ වගේ බණ” කියල හදුන්වන්නෙ මොකද්ද? “මේ අය කියන්නෙ” කවුද?

මේ වගේ බණ” කියල කියන්නෙ ඔය ගොඩක් වෙලාවට සමාජ ජාලාවෙ වෛරල් වෙලා කුජීත වෙලා යන බණ ක්ලිප්ස්; “පිරිමියට කියල තේ හදාගෙන බිව්වොත් අපායෙ යනව, රුවන් වැලි සෑය වටේ ගැහැණු පිරිමි ලමයි එකට අත් අල්ලගෙන යන්න එපා, ගැහැණු පිරිමින්ගෙ ඇඟ දකින්න හොඳ නෑ, කාන්තාව අඳින්න ඕන මෙහෙමයි, යන්න ඕන මෙහෙමයි. විසාකාව මෙහෙමයි.” ආදි බණ

මේ අය” කියන්නෙ කවුද? මේ අය කියන්නෙ දැනට ලංකාවෙ ප්රසිද්ධියෙ බන කියන හිමිවරු, බණ කියන ටියුෂන් සර්ල, ඒව අහල ෆේස්බුක් කමෙන්ට් කරන සාධුවරු සහ වරියන්.

මේ හැම බණකම සාරාංශයක් ගත්තොත් බොහෝවිට තියෙන්නෙ ස්ත්රී හැදියාව සම්බන්ධයෙන්. ස්ත්රීන් ඉන්න ඕන මොන විදියටද කියල තව පිරිමියෙක් හෝ ගැහැණියක් ඕඩියන්ස් එකට කියල දෙනව. මේක දේශපාලනික වශයෙන් විඥානගත වෙන්නෙ බටහිර සහ පෙරදිග පුරුෂාධිපත්ය කියන තැනට. සමාජ විද්යාත්මකව ගත්තොත් ස්ත්රී-පුරුෂ සමාජභාවය කියන තැනට. එතනින් මිදිය නොහැකි ලාංකික පිරිසක් තමයි අපිටත් ඉන්නෙ. එයාලම තමයි මහණ වෙලා බණ කියන්නෙත්, ටියුෂන් කරන්නෙත්, ඩොක්ටර්ස්ල, ගුරුවරු වෙලා ඉන්නෙත්. ඒ අයගෙ උපතින්ම එන්නතක් වගේ එන්නත් වෙලා තියෙනව මේ මානසිකත්වය. ඉතින් ඒ අයට කිසි ලෙසකින්වත් බණක් කියද්දිවත් විෂයක් උගන්වද්දිවත්, බේත් දෙද්දිවත්, රාජකාරිය කරද්දිවත් අඩුම තරමෙ උද්ඝෝෂණයකදිවත් තමන්ගෙ අර පටු මානසිකත්වය හංගගෙන ඉන්න බැරිවෙනව. ඒ අය නිතරම කියන කරන දේවල් වගේ දෛනික නොවන දේවල්වලදි පවා තමන්ගෙ අර පුරුෂ මූලික චින්තනය ලෝකයට දෙන්න බලනව. ඒක තමාවත් නොදැන සිද්ධ වෙන දෙයක්.

කොහොම වුනත් මගේ විශ්වාසය මේ පුරුෂයාට ලකුණ දෙමින්, පුරුෂ උපත හොඳයි වගේ කතා කියමින් හැසිරෙන අපට එන ඓතිහාසික වසංගතයක් තියෙනව. ඒ වසංගතය බටහිර දැනුමෙන් ගත්තත් පෙරදිග දැනුමෙන් ගත්තත් එකයි කොහෙත් තියෙනව.

ඉන්දීය ආගම්වල තිබුන මූලිකම දෙයක් තමයි කාන්තාව ගෙය මුල්ලට කර තැබීමේ ආශාව. මුල සිටම ඒ තත්ත්වය තිබුන. ඔය “බමුණු මත” කියල අපි කතාවෙන් කියන්නෙ ඒ ඉන්දීය ආගම්වල සමස්ථය. ඒ අයගේ උවමනාවන් තුළ පුරුෂයා පමණක් අවසාන සැපයකට ලක්වීම ගැන කතා කෙරුවත් ස්ත්රියට ඒ සැපත ලගා වීම ගැන කතාවත් කරන්නෙ නැහැ. ඒ වගේ ම තමා කුළ ප්රශ්න, ජාති ප්රශ්න නිදහස, හිතන පතන එක පවා. ඒ සියල්ලක්ම සීමා සහිතව පිරිසකගේ පමණක් තනි ලෞකික ලෝකෝත්තර සැපයක් හොයන ඒකාධිකාරයක්. බුදුදහම පහළ වුන කාලයෙත් ඉන්දියාවෙ ඔය තත්ත්වයම තමයි. බුදු හාමුදුරුවො පහළ වෙන්නෙ ඒ තත්ත්වය යටතේ. ඒ තත්වයට එරෙහි වෙද්දි බුදු හාමුදුරුවන්ගෙ පියා වුන සුද්ධෝධන රජතුමා පවා බුදු හාමුදුරුවො එක්ක වාද කරගත්ත. පිණ්ඩපාතෙ යන්න එපා කිව්ව. බිම්බිසාර රජ්ජුරුවො කිව්ව”ඇවිත් රාජ්ය බාරගන්න” කියල. මොකද මේ තත්ත්වය නැවැත්තුවෙ නැත්තං අර ඒකාධිකාරය විනාස වෙලා යනව. නමුත් බුදුහාමුදුරුවො ඒ සියල්ල වළක්වල ස්ත්රියට, කුළයට, ජාතියට, උපතට ජීව විද්යාත්මක සාධක පෙන්වමින් තමන්ගෙ මූලික වැඩේ කරගෙන ගියා.

නමුත් ඒ තත්වයෙන් ඒ සමාජය මිදුණෙ නැහැ. කොටිම්ම කිව්වොත් බුදුහාමුදුරුවන්ගෙ හොදම යාළුව වුන කොසොල් රජ්ජුරුවො පවා තමන්ගෙ බිරිඳට දුවක් හම්බෙද්දි කළකිරුණ. හේතුව අර පටු අදහස්. ඒ වගේම බුදු හාමුදුරුවන්ටත් මේ තත්වය සමහර වෙලාවට භාවිත කරන්න වුනා. ඒ කාලෙ තිබුන සමාජ ක්රමයට සමහර තැන්වලදි බුදුහාමුදුරුවො අනුමත වුනා. ඒ නිසා තමයි ස්ත්රී-පුරුෂ සමාජභාවයට අනුව කාන්තා යුතුකම් වගකීම් ගැන සිඟාලෝවාද සූත්රයෙදි බුදු හාමුදුරුවො සාකච්ඡාවට ලක් කරන්නෙ. නමුත් ඒව සමාජය දෙකඩ කරන්න හෝ නිදහස සීමා කරන්න හේතුවක් වුනේ නැහැ.

බුද්ධ පරිනිර්වාණයෙන් පස්සෙ සාසනය තුළ ආව අසීමාන්තික ගැටුම් වලින් පේනව ඒ භික්ෂු සමාජය පවා කොච්චර තුවාළ සහිතව හිටියද කියල. අර බුදුන් වහන්සේ පිරිනිවන්පාල තුන්මාසයක් යද්දිම ප්රථම සංගායනාවෙදි ආනන්ද හාමුදුරුවන්ට ස්ත්රිය සම්බන්ධ කරල චෝදනා දෙකක්ම එල්ල වුනා. මේ ආනන්ද හාමුදුරුවො නිදහස් වුනේත් අර පුරුෂ මූලික ආකල්පයේ ඉදන්මයි. එතනින් නොනැවතී මේක විකාශය වුනේ ඒ තුවාල සහිත ආකල්ප වලින්. එතනින් බුදු දහමට යම් යම් ස්ත්රිය පහත් කරන ආකල්ප ඇවිත් තියෙන්න පුලුවන් කමක් අනිවාර්යෙන්ම තියෙනව. රහත්බව තුළ වුනත් අර සංස්කෘතික ලක්ෂණ තුළින් නොමිදීමේ හැකියාව ඉතා හොඳින් පේන්න තියෙනව. ඒ වගේම ඒ සමාජයට මේ සියල්ලක්ම යහපත් දේවල් ලෙස පෙනුන බවක් ඒ ඉතිහාසය කියවද්දි පේන්න තියෙන දෙයක්.

ඒ වගේම ඒ සංකල්ප ඓතිහාසිකව සංවර්ධනය වෙලා ලංකාවට එනව. හිංදු බමුණු ආකල්ප විවේචනයකින් තොරව අපේ මිනිස්සු තමන්ගෙ හිසමත තියාගන්නව. ඒ ආකල්ප විවේචනය වූ අවස්ථා මේ සාසනය තුළම තිබුනත් ඊට වඩා පැවැත්ම, ඒකාධිකාරය පවත්වාගෙන යාමේ උවමනාව නිසාම ඒව ඒ විදියටම පැවතුනා. ස්ත්රිය පිළිබඳව සුරක්ෂිත අදහසක් ලෙස සමහර දේවල් පැවතුනත් ඒව අද වෙද්දි එයාලව යටපත් කරන වාක්ය බවට පත්වෙලා තියෙනව.

මේ බොහෝ බණ කියන අය මේ විදියෙ කතා කියන්නෙ අර ඓතිහාසිකව එන පුරුද්දෙන්. ඒ අයට බුදුන්වහන්සේ පෙන්වා දුන්න නූතනත්වය, ප්රජාතන්ත්රය, නිදහස, අයිතිවාසිකම් ගැන අදහසක් නැතුව නෙමේ. නමුත් ඒව මිනිස්සුන්ට කියන්න ඉදිරිපත් වෙන්නෙ නැහැ. ඒකට එක හේතුවක් මේ දේශණා අහන මිනිස්සු. නිවන ගැන, පැවැත්ම ගැන, නැවැත්ම ගැන, උපත ගැන, මරණය ගැන, ලෙඩවීම ගැන, ලිංගිකත්වය ගැන මේ හැමදේකටම ඔය කියන ඓතිහාසික භාවය ආරූඪ වෙලා තියෙනව. බොහෝවිට අපේ මිනිස්සු තුළ නිවන ගැන තියෙන ආකල්පය මේකට හොඳම උදාහරණයක්. නමුත් මේ ඓතිහාසික බවෙන් මිදිල ඉදිරියට යමින් බණ කියන මිනිස්සුන්ගෙ වටිනාකම දන්න දේශකයොත් නැතුවාම නෙමෙයි.

 

-ගුරුගොඩ සිරිවිමල-




 

Monday, December 6, 2021

ජාතිවාදය සහ ඉන් මිදීමේ මග.

(පුණ්ණෝවාද සූත්රය ඇසුරෙන් ලියැවෙන ඉතා කෙටි සටහනකි.)

මම මේ ලියන ටික පාකිස්තානයෙ සිදුවුන සිද්ධියට සෘජු සම්බන්ධයක් නැහැ. සිද්ධි එක්ක පටලවගන්නැතිව කියවන්න. මම මේක වෙලාවක් ලැබුන ගමන් ලියන්න හිත හිත හිටිය එකක් සහ පාකිස්තානයේ සිද්ධිය එක්ක ලිව්වොත් වටිනව කියල හිතුන අදහසක්.

ජාතිවාදයෙ ඉතිහාසයට විශාල දුර අතීතයක් තියෙනව. ඇත්තෙන්ම ජාතිවාදය කියන්නෙ ගෝත්රික අදහසක් කියල හිතුවොත් ඒකෙ ආරම්භය ගෝත්රික යුගයට යනව. නමුත් නූතන යුගයෙත් බොහෝවිට ගෝත්රික යුගයෙන් වෙන්වුන භෞතික වටිනාකම් ටිකක් විතරයි තියෙන්නෙ කියලත් මතක තියාගන්න. අති නූතනයි කියල මෙතැන් පටන් අනාගත ලෝකයෙත් මේ තත්වයම තියේවි. මොකද කිව්වොත් ගෝත්රික යුගයෙ ආකල්පවලින් සමහර සමාජ පද්ධතීන් දශමයක්වත් ඉදිරියට ඇවිල්ල නැහැ. විශේෂයෙන්ම බරපතලව ආගමිකකරණය වුනු සමාජ. ඒ සමාජවල දෘශ්ටිවාද සැකසිලා තියෙන්නෙ ආගම එක්ක. නව්යකරණය නොවුනු ආගමික මතවාද වලින් පල්වුන සමාජයක ගෝත්රික ලක්ෂණ පවතින්න පුලුවන්. ඇත්තෙන්ම තමන්ගේ ජාතියට, වර්ගයාට, අපේකමට, ගෝත්රයේ, රැහේ එකාට, ආදරය කරන එක පෘතජ්ජන ස්වභාවයක්. ඒක මානසිකව අපට ඇවිත් තියෙන දෙයක්. මේ තත්ත්වයම තමයි මිනිස්සු තමාගේ දෙය, වර්ගය, සමාජය, ගෝත්රය හෝ ඔ්නෑම දෙයක් වෙනුවෙන් තවත් වර්ගයක් කායිකව මානසිකව, වාචසිකව හිංසාවට සහ පීඩාවට පත්කරන්න කාලයක් යද්දි පෙළැඹෙන්නෙ. මම අර උඩදි කිව්ව අතිනූතන යුගය හෙවත් මේ මොහොතේ සිට ඉදිරි අනාගතයෙදි මේ කිව්ව තත්වය ටිකක් වෙනස් වෙන්න පුලුවන්. මම හිතල තියෙන විදියට අතිනූතනත්වය මම කියන පුද්ගල චරිතයක් ගොඩනැංවීම විතරයි සිද්ධ වෙන්නෙ. එතකොට බොහෝවිට ඔය අපි, රැහේ, ගෝත්රයේ , කුලේ, ඉස්කෝලෙ, ගමේ, රටේ කෑලි වලින් ගහමරා ගැනීම් සිද්ධ නොවේවි.

කෙසේවෙතත් ජාතිවාදය කියන ගෝත්රික ආකල්පය තුළින් ඒ කාලේ ගෝත්රිකයා රැකුණ, ආරක්ෂා වුනා. එයාලගෙ දේවල් රැකගන්න තිබුන අරගලය එක්ක එයාලගෙ තිබුන දැනුම එක්ක ජාතිවාදය ඒ කාලෙ ඒ අය භාවිත කලා. මේ මම කියන අදහස බොහෝවිට ජාතිකවාදයත් වෙන්න පුලුවන්. නමුත් අද වෙද්දි සමාජයෙ නැගෙන ජාතිකවාදීයි කියන අදහස ජාතිවාදයේම දිගුවක් කියලයි මම හිතන්නෙ. අද වෙද්දි ජාතිවාදය මුල් කරගත්ත දරුණු සමාජ භේදයක් ඇති වෙලා තියෙනව. බොහෝවිට හැමරටකම වගේ බලය වෙනුවෙන් ජාතිවාදය දේශපාලනික වශයෙන් භාවිත වෙනව. ලංකාව විතරක් නෙමෙයි බොහෝ නොදියුණු රාජ්යවල දේශපාලන බලය පවතින්නෙම ජාතිවාදය මතම පදනම් වෙලා. ඒක අපට කියවාගන්න බැරිතරම් දිගුදුරට විහිදිලා. එය අපට පේන්නෙ දැන් පරම සත්යය වගේ. ඒ නිසාම ජාතිවාදයෙන් ගැලවීමක් නෑ. ඒ කියන්නෙ අපි හැමවිටම ගෝත්රිකයි.

බුදුන් වහන්සේ වැඩහිටිය කාලයේත් ජාතිවාදී පැන නැගීම් තිබුන. පුණ්ණ සූත්රය (පුණ්ණෝවාද සූත්රය) කියන මජ්ජිම නිකායික සූත්රය කියවද්දි අපට ජාතිවාදයෙන් මිඳීම සඳහෙ වැදගත් වෙතැයි සිතිය හැකි කරුණු කිහිපයක් ඇතුළත් වෙනව. පුණ්ණ සූත්රයට අනුව පුණ්ණ කියන හාමුදුරුවො සුනාපරන්ත කියන ප්රදේශයෙන් වෙළඳාමට එන ගැල් නායකයෙක්. මේ ගැල් නායකය යම් සිද්ධියක් නිසා බුදුන් වහන්සේ ලඟ බණ අහල පැවිදි බවට පත් වෙනව. ඒ පැවිදි වෙලා පුණ්ණ හාමුදුරුවො බුදුන්වහන්සේගෙන් කමටහන් අරගෙන භාවනා කරන්න නැවත තමන්ගේ උපන් භූමිය වුන සුනාපරන්තයට වඩින්න තීරණය කරනව. ඒ වෙලාවෙදි බුදුන් වහන්සේ පුණ්ණ හාමුදුරුවන්ගෙන් කිසියම් ප්රශ්න ටිකක් අහනව. ඒ ටික සරළව මෙහෙමයි.

පුණ්ණ ඔබ උපන් මව් රට වූ සුනාපරන්ත ජනපදයේ වෙසෙන මිනිස්සු බොහෝ සැඩ පරුෂ වෙති. ඔබ පැවිදිව එහි ගොස් මහණදම් පුරන විට ඔවුන් ඔබට ආක්රෝෂ පරිභව කරතොත් කුමක් කරවුද“යි විචාල සේක.

ස්වාමීනි, මේ සුණාපරන්ත ජනපදවාසීහු මට සැඩපරොස් බසින් බැණ දොඩති. එහෙත් අතින් බැට නොදෙති. ඒ කරුණින් මේ මිනිස්සු මනාවෙතැයි ද මොපශවයෙන් (ඉවසීමෙන්) යුක්ත වෙමැ“ යි තෙරණුවෝ පිළිතුරු දුන්හ.

හොඳයි පුණ්ණ ඔවුන් ඔබට අතින් ගුටි බැට දුනහොත් කුමක් කරවු ද?“

ස්වාමීනි මේ සුණාපරන්තවාසී මනුෂ්යයෝ හොඳයි බොහෝ හොඳයි ඔවුන් මට අතින් ගසතත් ගල් මුල් දමා නොගසත්. ඒ කරුණින් ඔවුහු මනා වෙතැයි සිතා ඉවසමි“ යි කීය.

හොඳයි පුණ්ණ ඔවුන් ඔබට ගල් මුල් වලින් පහර දෙතොත් කුමක් කරවුද ?“

ස්වාමීනි ඔවුන් මට ගල් මුල් වලින් ගැසුවද ඔවුහු මට දඬු මුගුරින් නොගසත්. ඒ කරුණින් සුනාපරන්ත ජනපද වැසියෝ භද්ර වෙතියි, සුහද වෙතියි ඉවසම් ය. පිළිතුරු දුන්නේ ය.

ඉදින් පුණ්ණ ඒ මිනිසුන් දඬු මුගුරින් පහර දෙතොත් ?“

භාග්යවතුන් වහන්ස, මොවුන් මට දඬු මුගුරින් ගසතත් අවියෙන් නොගසන හෙයින් ඔවුන් හොඳයි සිත සිතා ඉවසමි“යි කීය.

ඉතා මැනවි පුණ්ණය, ඉදින් අවියෙන් පහර දුනහොත් කුමක් සිතවු ද? “

එවිටත් සැබැවින් මේ සුනාපරන්තයේ මිනිසුන් මාගේ දිවි තොර නොකරන බැවින් මනා වෙතැයි සිතා ක්ෂාන්තිවාදී වෙමැයි“ කීය.

හොඳයි පුණ්ණ ඉදින් ඒ මිනිස්සු ඔබට තියුණු මුවහත් ඇති අවියෙන් ගසා කොටත් නම්, ඔබගේ දිවි තොරකරත් නම් කරවුද? “

ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ වෙතින් බණ දහම් අසා උගත්, නිවන් සුව පසක් කොට ගැණුමට දිවා රෑ දෙකෙහි වැර වඩන, තමන්ගේ කයටත්, ජීවිතයටත් පිළිකුල් කරන, බොහෝ ශ්රාවකයෝ ද, මනදොළ සපුරා ගැනුමට උපාය මාර්ග සොයන බොහෝ බුදු සව්වෝ ද ඇත. සතරමග, සතරපල, නිවන් යන නව ලෝකෝත්තර ධර්මය ලබා ගැනුමට සිය කයත්, දිවියත් කැපකොට වැරවඩන මට මේ සුණාපරන්ත ජනපද වාසී මනුෂ්යයන් ගේ අවිපහර මා දිවි ගලවති. සියදිවි තොරකොට ගැනුමට තියුණු අවි සෙවීමේ ගැහැටක් දැන් මට නැතැයි සිතා ක්ෂාන්තියම උපසමය ම දරමැ“යි කීය. “

මේ සුනාපරන්තය කියන්නෙ අද මැදපෙරදිග ප්රදේශය කියල අදහසක් තියෙනව. ඒක තහවුරු කරගෙනත් තියෙනව. මේ මැදපෙරදිග වාසීන් එකළ සමාජයේ තව පිටතින් පැමිණෙන නාදුනන අයෙකුට සංග්රහ කරන විදිය හරි වෙනස්. ඒ අයගේ ජාතිවාදී ලබ්ධිය, ස්වරූපය ඉතාමත් වැඩියි. ඒ අය තමන්ගෙම සමාජයේ උපත ලබල ජීවත් වුන පුණ්ණට වුනත් වෙනස් ස්වරූපයකින් එද්දි බාරනොගන්නාසුළු ස්වභාවයක් තිබුන. මම හිතන විදියට එකල සමාජය දේවල් තේරුම් ගත්ත විදිය වෙන්න පුලුවන්. කොහොම වුනත් සුනාපරන්තයට නැවත යන පුණ්ණ හාමුදුරුවො ඒ සමාජයට කිසිම ලෙසකින් අනුගත වෙන්න උත්සාහ කරන්නෙ නැහැ.

පාකිස්තානයේ සිදුවීම එක්ක අපේ බොහෝ දෙනා නගපු කාරණයක් තමයි “වවුලගෙ ගෙදර ගියානම් එල්ලිලා ඉන්න දැනගන්න ඕන” කියන කාරණාව. නමුත් ඒක පැහැදිලිවම අපි සමාජය තේරුම් ගන්න අපේ පාට කණ්ණාඩිය කියලයි මම හිතන්නෙ. මෙතනදි එකක් තමයි අපි හිතනව පාකිස්තානුවන් කියන්නෙ “වවුලන් වැනි පිරිසක් (තිරිසන් සතුන්)” කියල. අනික් කාරණය තමයි අපේ ශ්රී ලාංකික සමාජය වලංගු කරගත්ත ඔය උපමාව අද ලෝකය එක්ක පිළිගත හැකි තත්ත්වයක් නොවීම.

පුණ්ණ හාමුදුරුවො තමන්ගෙ ගමනට තියෙන මානසික සූදානම පැහැදිලිවම බුදු හාමුදුරුවන් ඉදිරියෙ ප්රකාශ කරනව. එතන සාරාංශය ගත්තොත් අපට හිතන්න පුලුවන් වැදගත්ම දෙය තමන් තමන්ගෙ අනෙකාව බාරගන්නා විදිය. ඒක ඉතාම නම්යශීලීව පුණ්ණ හාමුදුරුවො බාරගන්නව. හැබැයි ඒ බාරගැනීම කියන්නෙ සුනාපරන්තයන්ට යටත් වී සිටීම නෙමෙයි. උන්වහන්සේ සුනාපරන්තයට වැඩමවීමෙන් පසු එහෙ සුහද ශීලීව කටයුතු කරන බව අටුවා කතා පුවතින් විස්තර වෙනව.

ඇත්තෙන්ම ජාතිවාදය, ආගම්වාදය වගේ එකම කුලකයක දාල සාකච්ඡා කරන්න පුලුවන් සමාජ ගැටළුවලට විසදුම එකිනෙකා අතර සමාජ සංස්කෘතික අවබෝධය ඇති කරගැනීම. “සච්චෙන දන්තො දමසා උපෙතො - වෙදන්තගූ වුසිත බ්රහ්ම චරියො” කියන විදියට සත්යයෙන් දමනය වුන, සංවරයෙන් යුක්ත වුන, දතයුතු දෙයෙහි අන්තයට පැමිණි, අයෙකුට මේ සමාජ ගැටළුව නිරාකරණය කරගැනීම පහසු දෙයක්.

බුදුන්වහන්සේ සුනාපරන්ත පුණ්ණ හාමුදුරුවන්ට අවසානයේ පසසමින් දේශණා කරන වාක්යයක් තියෙනව. “පුණ්ණ, මැනවි, මැනවි, පුණ්ණ, මේ ඉන්ද්රියදමනයෙන් හා සංහිඳීමෙන් යුක්ත වූ තෙපි සුනාපරන්ත දනව්වෙහි වසන්නට හැකිවවු. පුණ්ණ, තෙපි දැන් එයට කල් දනිවු යි.”

මේ වාක්යයෙ කියැවෙන ඉන්ද්රියදමනය, සංහිඳීම කියන වචන දෙක තමයි ජාතිවාදයෙන් මිඳීමේ ප්රධාන මාර්ගය. මේ ඉන්ද්රිය දමනයත් සංහිඳීමත් අපේ රටවල තියෙන අධ්යාපන ක්රමයෙන් මිනිස්සුන්ට ලැබෙනවද කියන එක ප්රශ්නයක්. විශේෂයෙන්ම රටේ ලෝකෙ අධ්යාපනය, සාහිත්යය, සංගීත ආදී කලාවන්, ඒ වගේම දර්ශනය වගේ විෂය පද්ධතීන් බිහිවෙන්නෙ රටක ඇතිවිය හැකි සමාජ ගැටළු විසඳන්න. ඒ සඳහා මේ කුඩා කුඩා නොදියුණු රටවල දේශපාලනය මඟින් දොරටු විවර නොවීම සහ ලෝකයට විවෘත නොවී තිබීම බරපතල ගැටළුවක්.

පුණ්ණෝවාද සූත්රයෙදි පුණ්ණ හාමුදුරුවො විවෘත වෙන්නෙ සුනාපරන්තයන්ට නෙමෙයි. මුළු ලෝකයටම. ඒ කිව්වෙ මනුස්ස කියන එකම කුලකයට.

 - ගුරුගොඩ සිරිවිමල -