Showing posts with label පොඩිසාදුගේ ලියමන. Show all posts
Showing posts with label පොඩිසාදුගේ ලියමන. Show all posts

Monday, May 4, 2026

සාමයේ පා ගමන



පසුගිය දිනවල ලංකාවෙ ගියපු සාම පා ගමන ගැන යමක් සිතීම අපට ඉතාම වැදගත් කියල මට හිතෙනව. අපේ මිතුරන් බොහෝ දෙනෙක් මේ ගැන කතා කරල තිබුන. සමාජ සංවිධානයන් පිළිබඳව කතාබහ කිරීම කිසිසේත්ම නොවැදගත් යමක් නෙමේ. ලංකාවෙ කෙරුන සාම පා ගමන කියන්නෙ නරඹන්නට හොඳ වැඩක්. නමුත් පලදායී යමක්  ඒකෙන් සිදු වුනා ද කියන එක ප්‍රශ්න කරන එක ඉතාම වැදගත්. මේ සාම පා ගමන නම් කරල තිබුනෙත් “ඒහි පස්සිකෝ” කියලනෙ.

මේ වගේ දෙයකින් පලදායී දෙයක් සන්නිවේදනය වෙන සම්බාවිතාවය අල්පයි. දිගුකාලීන බලපෑමක් ඇත්තමෙ නැති තරම් කියලයි මට හිතෙන්නෙ. ඇමරිකාවෙ සාම පා ගමනත් එහෙම එකක්. මීඩියා වලට සති ගණන් ප්‍රදර්ශන කරන්න, සද්දාවන්ත බෞද්ධයන්ට සාදුකාර දෙන්න  මේ වගේ වැඩසටහන් හොඳයි. මේ කියන්නෙ Walk for peace සතපහක වටිනාකමක් නෑ කියල නෙමෙයි.

පඤ්ඤාකර හිමියන් ඇතුළු පිරිසගේ ක්‍රියාකාරී මැදිහත් වීම, එහි අරමුණු ගොඩක් වටිනව. අපට අවශ්‍යය වෙන්නෙ අපි ප්‍රාර්ථනා කරන්නෙ සාමෙන් ඉන්න පුලුවන් ලෝකයක්. අහරෙ ගහනව කියද්දි ලෝකෙම හෙල්ලෙන, ඒවයෙන් බියෙන් ගැහි ගැහි ඉන්න ලෝකයට පඤ්ඤාකර හිමියන් අතුළු පිරිසගේ “Walk for peace” චිකිත්සාත්මක මෙහෙවරක්.

ලෝකෙ මේ වගේ සංකේතීය කතා දැන් ටිකෙන් ටික මගහැරෙමින් යන කාලයක්. වැඩවර්ජන, උද්ඝෝෂණ, පා ගමන් කියන දේවල් ලෝකෙ දැන් අසමත් වෙමින් යන කාලයක්. ඒ මුකුත් නිසා නෙමෙයි දෙයක් සන්නිවේදනය කරන්න ඊට වඩා හොඳ මාධ්‍යයන් දැන් ලෝකෙ අත්හදා බලමින් ඉන්නව.

විශේෂයෙන්ම අධ්‍යාත්මික දැනුම් සන්නිවේදනයෙදි ඒක ගොඩක් මෘදු ප්‍රායෝගික ක්‍රම හරහා සිදු කරන දෙයක් බවට පත්වෙලා අවසන්. ලෝකය පුරා ආගම දහම මුල් කරගත් සාම සන්නිවේදනය දැන් සිදු වෙන්නෙ ජනප්‍රිය මට්ටමින් නෙමෙයි.

ආගමික හෝ අධ්‍යාත්මික පැත්තෙන් “සාමය” ගැන හොඳම සන්නිවේදනය කරමින් හිටියෙ දලයි ලාමා. උන්වහන්සේට පුලුවන් වුනා නිශ්චිත කාලයක මේ වැඩේ නියම විදියට සන්නිවේදනය කරන්න සහ නිශ්චිත කාලයකදි වැඩේ ටිකෙන් ටික අතහැරල දාන්න. ඒ අතහැරල දාන එකත් සන්නිවේදනයේම කොටසක්. උන්වහන්සේට ඒක උපායමාර්ගිකව සහ සැලසුම් සහගතව කරන්නත්, ඒකෙ ප්‍රතිඵලය ලෝකයට දායාද කරන්නත් හැකියාව ලැබුන.

ලෝකෙ අදටත් සාමය ගැන සංවාදයෙදි දලයි ලාමා අමතක කරන්න බැරි තරම් කෙනෙක් වෙන්නෙ ඒක උන්වහන්සේ නිවැරදිව සන්නිවේදනය කරපු නිසා. විශේෂයෙන් උන්වහන්සේ සාමයේ වින්දිතයෙක් වීම නිසා ක්‍රියාත්මක කරන්න පහසු වුනා. උන්වහන්සේගේ තරුණ අවධිය කියන්නෙ මේ පිළිබඳ දැවැන්තව සංවාද කරපු කාලයක්. ජනප්‍රිය තලයෙ වගේම ශාස්ත්‍රීය තලයෙත් උන්වහන්සේ කරපු සංවාදය ඒ සාකච්චා සහ පොත් පත් කියවීම තුළින් අවබෝධ කරගන්න පුලුවන්.

උන්වහන්සෙ මේ සන්නිවේදනය කරේ දැනුම නිර්මාණය කරමින් සහ දැනුම සන්නිවේදනය කිරීමෙන්. ඇත්තෙන්ම සාමය කියල කියන්නෙ දැනුම සහ ආකල්ප නිවැරදිව හඳුනාගැනීමෙන් සහ භාවිතයෙන් යතාර්ථයක් කරන්න පුලුවන් දෙයක් මිසක් කකුල් කෙඩෙත්තුව හැදෙනකල් පයින් ඇවිදල ලඟා කරගන්න පුලුවන් මල් යහනාවක් නෙමෙයි.

මෑත ඉතිහාසයෙ සාමය කියන විෂය තුළ සාමය සඳහා වූ ආගමික (අධ්‍යාත්මික) මැදිහත් වීම කියන කොටස නිර්මාණය කරන්න බෞද්ධ මැදිහත්වීම කරන්නෙ දලයි ලාමා. “බුදු දහම” තුළ සාමය කියල දෙයක් ගැන සංවාදයක් එන්නෙ නැහැ. ඒක බෞද්ධ සංස්කෘතිය තුළ අපේ උගතුන්, අධ්‍යාත්මවේදීන් බුදු දහම ආශ්‍රයෙන් නිර්මාණය කරපු දෙයක්.

ථෙරවාදය මුල් කරගෙන ගිය මේ පා ගමන ථෙරවාදයට බලාත්මක කරන එකක්ද කියන එක පවා ගැටලුවක්. ඇත්තෙන්ම ථෙරවාදයට සාමය කියන මාතෘකාව හරයාත්මකව කතා කරන්න තරම් හැකියාවක් නැහැ කියන එකයි මගේ අදහස. මේකෙන් කියන්නෙ ථෙරවාදය වැඩක් නැහැ කියන එක නෙමෙයි. ථෙරවාද කියන මොඩ්ල් එක සාමය සමග ගනුදෙනු කරන්නෙ මොනවගේ විදියටද කියන එක ගැන නිශ්චිත කතිකාවක් ඇති වෙලා නැහැ. ඇත්තෙන්ම ථෙරවාදයට තියෙන්නෙ ශාස්ත්‍රීය පසුබිම මුල් කරගත් වැඩ කොටසක්. එතනදි ථෙරවාදය සාර්ථකයි.

ඒ වගේම මේ Walk for peace හිමිවරුන් සාමය හෝ සාමය සඳහා වූ ආගමික සංවාදය කියන එක ගැන ගැඹුරු කියවීමක් සහිතව වැඩ කරන පිරිසක් නොවන බව පැහැදිලියි. ඒ බව කරන කතාබහ වලින් පැහැදිලි වෙනව. ගෙදර රණ්ඩු නොවී ඉන්න කියනවට වඩා සාමයේ කතාව සංකීර්ණ එකක්. අපේ පඤ්ඤාකර හිමියන් ඇතුළු පිරිස එතරම් අද්දැකීම් සහිතව මේ වැඩේ කරන බව පේන්න නැහැ.

සාමය කියන විෂය ඇතුළෙ මේ වෙද්දි නූතන ගැටලු ගොඩක් කතාවෙනව. යුද්ධය හා සාමය, ජාතිය හා සාමය, ආගම හා සාමයට වඩා දැන් සාමය කියන විෂය වැඩ කරන්නෙ විශ්වීය ආකාරයකට. ඒක ඇතුළෙ යුද්ධ, ආගම්, ජාති වගේම ලිංගික අනන්‍යතා, පාරිසරික හා භූගෝලීය තත්වයන්, තාක්ෂණය මේ හැම දෙයක්ම සංවාදයට ගැනෙන තැනක් තමයි සාමය කියන විෂය. මගේ ප්‍රශ්නය ඒ සංවාදය මේ Walk for Peace කණ්ඩායම බරපතල ලෙස තේරුම් අරගෙන තියෙනවද කියන එක?

සාමය සඳහා වූ ආගමික (අධ්‍යාත්මික) මැදිහත් වීම කියන්නෙ ඔය විෂයෙ එක පැතිකඩක්. ඒක පා ගමනකින් කෙළවර වෙන දෙයක් නෙමෙයි.

මිනිස්සුන්ගෙ කෙලවරක් නැති ගැටලු අතර හොල්මනක් වගේ සැරිසරන ආශාව පිළිබඳ දැනමුතුකම පා ගමනකින් සන්නිවේදනය කරන්න අපහසුයි කියන එකයි මගේ අදහස.

මිනිස් ආකල්ප නිසා ඇතිවන සමාජ ගැටුම්, කුටුම්භ ගැටුම් ආදී සකල ඝට්ටනයන් සඳහා වන බුදු දහමේ ප්‍රතිකාරය තියෙන්නෙ සමථය හා විදසුන තුළ. සිත සහ සිතිවිලි කළමනාකරණ කරමින් ලෝභ, දෝශ, මෝහ මඟහැරීමට ගන්න ප්‍රයත්නය තුළ තමයි පුද්ගලයා තුළ සාමය සංහිදියාව උදා කරන්න පුලුවන් වෙන්නෙ.

සාම පා ගමන් වගේ දෙයකින් “සාමයත් එක්ක ගැටුමක්” මිනිස්සු අතර හදාගන්න පුලුවන්. දැන් වෙලා තියෙන්නෙ එහෙම දෙයක්. කතෝලික පල්ලියට වැඩල ගිලන්පස වැළඳීම, ඉස්ලාම් ඉස්කෝලයකින් ගෞරව ලබන එක පරන විහිළුවක්. ඒක දශක ගණනාවක් තිස්සෙ වැඩ කරල නැති බවට හොඳම උදාහරණය ලංකාව ඇතුළු බෞද්ධ රටවල් ටික.

ඒ වගේ දෙයකට ආගමික මැදිහත් වීමක් අවශ්‍යය නෑ. මනුශ්‍යත්වය පමණක් ප්‍රමාණවත් කියල තේරුම් ගත්තම ප්‍රමාණවත්. එකට ඉන්න බැරිවෙලා තියෙන්නෙ ආගමික ප්‍රශ්නයක් නිසා නෙමෙයි. මනුශ්‍යත්වය ගැන ප්‍රශ්නයක් තියෙන නිසයි. ඒ  බව තේරුම් කරන්න තමයි බුදු දහම පාවිච්චි කරන්න අවශ්‍යය.

සැදැහැවත් දනන්ගේ ඇස් තෙත් කරන, රෝමාන්තිකකරණය වුන විවිධ උපක්‍රම මේ වැඩේදි භාවිත වුනා. මුදල් කවර ප්‍රතික්ෂේප වෙද්දි පඤ්ඤාකර හිමියන් රෙදිකඩ එකතු කරල මහපු සිවුරක් පොරවගෙන, බලු රාළ කෙනෙකුත් දක්කන් එද්දි, පාවහන් නැතිව ගිනි අව්වෙ ගමන් කරද්දි, භික්ෂුවක් හිටගෙන නිදාගද්දි, තමන්ට මීට පෙර එක්ස්පීරියන් කරන්න නොලැබුන දෙයක් ගැන මිනිස්සුන්ට ආසාවක් ඇති වෙනව. හැබැයි මේ දේවල් සාමය කියන මාතෘකාවෙදි මොනතරම් වලංගුද කියන එක ගැන අපි ප්‍රශ්න කරන්න ඕන.

ඒ වගේම ලංකාවේ සාමය පිළිබඳ ගැටලුව මෙතනදි අමතක කරන්නම බැහැ. ඇත්තටම ලංකාවෙ සාමය කියන්නෙ ගෙදර ඉන්න අයගෙ ප්‍රශ්නයක් කියලයි මම තේරුම් ගන්නෙ. පඤ්ඤාකර හිමියන්ගෙ සාම පා ගමනෙදිත් ඒක ඔප්පු වුනා. ලංකාවෙ එක් භික්ෂු කණඩායමක් මේව ජාත්‍යන්තර කුමන්ත්‍රණ බව කියන්න මාධ්‍ය හමු තිබ්බ. තව පිරිසක් ආණ්ඩුවට බැන්න. තව පිරිසක් සිරස වැනි නාලිකාවන්ට බැන්න. පොලිස්සිය සහ මාධ්‍ය කරුවන් අතර බහින්බස් වීම් සිදු වුනා. තියෙන මිනිස්සු පෙන්වන්න උත්සාහ කරා. භෞතික දේවල් වගේම තමන්ගේ ශ්‍රද්ධාව, සිල්වත්කම පෙන්වන්නත් මිනිස්සු උත්සාහ ගත්ත.

පඤ්ඤාකර හිමියන් සෙනඟ වට වුනාම කෑ ගහන්න එපා කිව්ව, කලබලය, කෑකෝව “සතිය” ට බාධායි කිව්ව, ඔයාල කෑ ගැහුවොත් මම යන්ඩ යනව කිව්ව, බලු රාළ කෙනෙක් සමඟ යන සාම පා ගමනක ඔයට වඩා බලාපොරොත්තුවක් සපල කරගන්න බැහැ. ලංකාවේ පොදු මිනිසාගේ විඥ්ඥානය වැඩ කරන විදිය ගැන දශමයකවත් අවබෝධයක් නැතිව ඔය පොදු වැඩවලට අතගහන එකම තේරුමක් නැති වැඩක්.

ලංකාවෙ මීට අවුරුදු ගණනාවකට කලින් සාම පා ගමන් තිබුන. ඒව ජාත්‍යන්තරයෙ ලොකු ආධාර ලබන ව්‍යාපෘති නොවුනත් ලංකාවෙ සාමයේ මොඩලය ඒක කියලයි මම හිතන්නෙ. සිරිපා කරුණාව, අනුරාපුර, කතරගම වන්දනාව ආදිය ඉස්සර සිදුවුනේ පා ගමන් ස්වරූපයෙන්. මේ සංස්කෘතික වටිනාකම් කෙලෙසගෙන තමයි අපි “Walk for peace” දැකල ඇස් නිලංකාර කරගන්නෙ.

ලංකාවෙ සාමය කියන්නෙ දශක ගණනාවක් තිස්සෙ ගෙදර ඇතුළෙ විසඳගන්න බලන ප්‍රශ්නයක් ගානයි. ඒ සංවාදය ලෝක මට්ටමේ සාම කතාවක් නෙමෙයි. අපි සිංහල අවුරුදු කන්නෙත් එකමුතුකම වගේ දේවල් රෝමාන්තික කරණයට ලක් කරගෙනනෙ. ඉතින් ලංකාවට සාම පා ගමන් වගේ දේවල් වලින් සාම සන්නිවේදනයක් සිදුවෙන්නෙ නැහැ.

මම මේ කියන්නෙ බෝ පැලයක් අරගෙන යන්න ආවනම්, ඒක අරගෙන ගියානම් හරි කියල නෙමේ. පා ගමනෙ වැදගත්කමක් තියෙනව. නමුත් ඒක සාමය සඳහා වූ ආගමික මැදිහත් වීම නෙමේ. ඒක වෙන එකක්.

-ගුරුගොඩ සිරිවිමල-


Friday, December 2, 2022

නරසීහ ගාථා කියන්නෙ මහ පුදුම හැඟීමක්.

නරසීහ ගාථා කියන්නෙ යශෝදරාව විසින්; රාහුල පුතාට තමන්ගෙ තාත්තව බලන්න ඕන කියද්දි. හැබැයි මට හිතෙන විදියට නරසීහ ගාථාවලදි යශෝදරාව පෙන්වන්නෙ රාහුල කුමාරයගෙ තාත්තව නෙමෙයි. යශෝදරාගෙ ස්වාමියාව. ඇයට තමන්ගේ ස්වාමියා ගැන කෑ ගහල කියන්න තරම් මහා හැඟීමක් ඇය තුළ තිබුන ඇති.

ගැහැණියකගේ හිතේ තමන්ගෙ ස්වාමියා රූප කාය ගැන තියෙන හැඟීම! ඒක සමහරවිට පැරණි භාරතයේ පුරුෂ මූලික සමාජය තුළ දෙවැනි වූ කාන්තාවක් තමන්ගෙ ස්වාමියා ගැන හිතන විදිය වෙන්නත් පුලුවන්. සමහරවිට රාජකීය කුටුම්භයක් තුළ හෝ අද පවා මධ්‍යම පාන්තික නාගරික ගැහැණියකට තමන්ගෙ ස්වාමියා ගැන තියෙන ආදරණීය හැඟීම වෙන්න පුලුවන්. සමහරවිට රාජකීය පුරුෂයෙක් ගැන පුරාතන භාරතය තුළ තිබුන ආකල්පය වෙන්න පුලුවන්. ඓතිහාසික මිනිසකුගේ මහා අඛ්‍යානයක් අපි මොන විදියට පරිකල්පනය කරත් ඒක අසම්පූර්ණයි. ඒ අසම්පූර්ණ බවේ හෙවනැල්ල තියාගෙනම මේ නරසීහ ගාථා ගැන මට එහෙම හිතෙනව. ඔව්! ඒක තමන් ප්‍රාණසමව ආදරේ කරන ස්වාමියා ගැන තිබුන අප්‍රමාන හැඟීමක්. මේ වචන, යෙඳුම් මාරම ලස්සනයි. මේ සියල්ල එකතු වෙලා එන හැඟීම! ඒක කියල නිමක් කරන්න බැහැ.

මගේ ස්වාමියා, චක්‍ර, චාමර සහ ඡත්‍ර ලකුණු සහිත යුතු රන්වන් පා, මනහර දික් විලුඹ, දිගු, තුඟු නාසය, එදිනම උපන් වසු පැටවකුගේ වගේ ඇස්, දේදුන්න වගේ දෙබැම, යන සියල්ල එක් වුන පුන්සඳක් වගේ මුහුණක් තියෙන කෙනෙක්.

මගේ ස්වාමියා, මනාව වටකුරු පිරුණු සුමට ගෙල, සිංහයෙකුගෙ වගේ හනුව, රන්පටත් වගේ සුපහන් නළල, නළල මැද පිහිටි ඕෂධී තාරකාවක් වගේ ඌර්ණ රෝමය, අඳුන් වැනි තද කළු හිස කෙස්, උඩු සහ යටි ඇන්දෙ සමව පිහිටි දත් හතලිහ, රත්හිරියල් වගේ රත් පැහැති දිව, රන්වන්, සියුමැලි, පියකරු හමේ පැහැය තියෙන, ඉතා සිනිඳු, ඉතා ගැඹුරු, ඉතා මිහිරි හඬක් තියෙන කෙනෙක්.
මගේ ස්වාමියා, ඉහළම කුලය වුන ශාක්‍යය කුලයෙ ඉපඳුන, මත් වුන අතෙක්ගෙ ගමන වගේ ගමනක් තියෙන, තරු සිය දාස් ගණනක් පිරිවරාගෙන අහසේ තියෙන හඳ වගේ මිනිස්සු ගොඩක් පිරිවරාගත්ත කෙනෙක්.
තමන්ගේ ආදරණීය ස්වාමියාගේ සිරුර පමණක් වර්ණනා කරල යශෝදරාව නිකම්ම ඉන්නෙ නැහැ. ඇය තමන්ගෙ ස්වාමියාගේ මානසික ගුණාංගත් එකින් එක කියනව. මගේ ස්වාමියා, දෙව්මිනිස් හැමෝටම ප්‍රිය උපදවන කෙනෙක්, සීලයෙන්, සමාධියෙන් පිරිච්ච හිතක් තියෙන කෙනෙක්,  ලෝකෙටම යහපත සලස්වන්න ආපු කෙනෙක්.
මේ තියෙන්නෙ යශෝදරාව තමන්ගෙ ස්වාමියාව වර්ණනා කරන විදිය. අපේ ගැහැණුත් ආස කරන්නෙ ශාරුඛ්, සල්මාන්, වගේ කෙනෙක්ට. සමහරවිට තමන්ට ඉන්න කැහැටු ගැහැන හෝ ආදරණීය ස්වාමියාගේ පෞරුෂය ගැන මේ වගේ හැඟීමක් තියෙන්නෙ. එදා රාහුලවත් මාළිගාවෙ තියාගෙන තනිවම හිටිය යශේදරාට තමන්ගෙ ස්වාමියා ගැන හිතුන විදිය සාහිත්‍ය විසින් දකින්නෙ එහෙම.

මේ ශරීර හැඬ එකින් එක ගැන වෙන වෙනම හිතද්දි, මේ ගුණාංග ගැන වෙන වෙනම අරන් හිතද්දි මේ සාහිත්‍යමය වර්ණනාව කොච්චර ලස්සනද කියල හිතෙනව. එදා යශෝදරාට මේ වගේ හැඟීමක් තියෙනව කියල තව කවුරුහරි හිතන එක මොන තරම් ලොකු පරිකල්පනයක්ද? මේකෙ චමත්කාරජනක බව නරසීහ ගාථා ඇහෙද්දි දැනෙනව. ඔබට පාලි වචන තේරුම් ගන්න අපහසු වුනත් ඒ ලස්සනට යොදල තියෙන භාෂාත්මක යෙදුම් මොන තරම් පරිපූර්ණද කියල අහල බලන්න. මේ භාෂාත්මක යෙදුම් තුළ මොන තරම් අර්ථ ප්‍රකාශ කරනවද? මේ වචන වල තියෙන සාහිත්‍යමය රස දවසකින් කතා කරල ඉවර කරන්න බැරි තරම්. නරසීහ ගාථා කියන්නෙ මහ පුදුම හැඟීමක්.

-ගුරුගොඩ සිරිවිමල-


Friday, August 19, 2022

තමා හඳුනාගැනීමෙන් තොරව සතුටක්-සැපතක් නැහැ.

මට මන්ත්‍ර ගුරුකම් පිළිබඳව දැඩි විශ්වාසයක් නැහැ. නමුත් ඒ ශාස්ත්‍රය ගැන මම අවිශ්වාස කරන්නෙත් නැහැ. ඇත්තෙන්ම මම ඔය වැඩේ දන්නෙ නැහැ. ඒකට මගෙ හිත යොමු වෙන්නෙත් නැත්තෙ ලංකාවෙ ඒ සඳහා හැදුන දැනුම් මට්ටමක් නිර්මාණය වෙලා නැතිකම. ගුප්ත විද්‍යාව කියල දෙයක් අල්ලපු රට වුන ඉන්දියාවේ තිබුනත් මම දන්න තරමින් එහෙම එකක් ලංකාවෙ නැහැ. හැබැයි ගුප්ත විද්‍යා විශාරදල පඳුරකට ගැහුවොත් සීයක් දෙසීයක් වීසි වෙනව.

මම මගේ වෙලාව කීප දෙනෙකු ලවා බලවගෙන තියෙනව. ඒ බලාගෙන තියෙන්නෙ මගේ විනෝදය වෙනුවෙන් මිසක් අනාගත සුභසිද්ධිය වෙනුවෙන් නෙමේ. හැබැයි ඒ දෙන්නම කිව්ව මගෙ තොරතුරු සත්‍යයි. ඒ වගේම ඒ බලවගත්ත දෙන්නම ජ්‍යෝතිශය ශාස්ත්‍රයක් විදියට ඉතා ඉහළින් ප්‍රගුණ කරපු දෙන්නෙක්. මම මගේ හිතවතුන් බොහෝ දෙනෙකුගෙ වෙලාවල් බලවල දීලත් තියෙනව. මම බොහෝවිට හෙටත් මගෙ ලයිෆ්ටයිල් එකක් විදියට මගේ මිතුරු ජ්‍යෝතීර්වේදියෙකුගෙ සහාය ලබා ගනිමින් මගෙ වෙලාව ටිකක් බලව ගනියි.

මම යම් මට්ටමකින් දිගු කාලීන සෙම් රෝගයකින් පෙළෙන කෙනෙක්. එක්තරා කාලයක අපේ පවුලෙ අය පුදුම විදිහට මේක සනීප කරන්න වෙහෙස වුනා. ඒ වගේ වෙලාවක මම කුඩා කාලෙ අපේ මාම කෙනෙක් වෙන කෙනෙක් අපේ තව වැඩිමල් හාමුදුරුවො කෙනෙක් එක්ක ඇතුළු ගමක මන්ත්‍ර බලයෙන් බෙත් කියන ගුරුන්නාන්සෙ කෙනෙක් ලගට ගියා. ඇත්තෙන්ම ඒ ගුරුන්නාන්සෙ සම්මත අර්ථයෙන් ගුණයහපත් මනුස්සයෙක්. (අපිට දානෙත් සකස් කරල දුන්න.)

ඉතින් එතුම බොහෝ මන්ත්‍ර ගායනා කරල යම් ආරූඪයක් ලබා ගන්නව. ඒ ආරූඪයත් එක්කම එයාගෙ හඬ ගැහැණියකගේ හඬක් බවට පත්වෙනව. ඊට පස්සෙ අමු තිත්ත කුණුහරුපෙන් ඉන්න ඔක්කොමලට බනිනව. (අම්මෝ එහෙමත් බැනුම්) ඒ ගුරුන්නාන්සේ කියන විදියට සහ අනුගාමිකයො කියන විදියට එතුමට ආරූඪ වෙන්නෙ කාලි මෑණියො. ඒ නිසා තමයි කුණුහරුප එහෙම කියල වැඩ ආරම්භ කරන්නෙ.

කෙසේ වෙතත් අපි එතෙන්ට යද්දි පිලී ජාති කාල ගියාද කියල මතකයක් නැහැ. නමුත් එතන පිලී ජාති තහනම්. හැබැයි කුණුහරුප කියනව. ගියපු ගමන් අපි එතෙන්ට ආව හේතුව කොලයක ලියල එතන තියෙන භාජනයකට? දාන්න ඕන. ඒ දාල ඉතින් පෝලිමේ බලාගෙන ඉන්න ඕන. අපටනම් සුදු පිරුවට සහිත ආසන දෙකක් ලෑස්ති කරල දුන්න. නමුත් අනෙක් හැමෝම එයාලගෙ වෙලාව එනකල් බලන් ඉන්න ඕන.

ඒ බලන් ඉද්දි ඒ අය ගොඩේම තවත් කෙනෙක්ගෙ ප්‍රශ්නය ගුරුන්නාන්සෙ කොලේ නොබලම කියනව. (උදා: සෙම් රෝගයට බේත් අහන්න ආපු දහ දෙනෙක් මෙතන ඉන්නව. එව්න් ටික වෙනම පෝලිම් වෙයව්) එහෙම පෝලිම් වුනාම එතනින් එක්කෙනෙක්ව ගෙන්නල අම්බානක කුණුහරුපෙනුත් බනින ගමන් ලෙඩේ ස්වභාවය අරව මේව කියල. එයාගෙ තියෙන කැත පුරුදු වගේ දේවලුත් අර සෙනග ගොඩේම කියල දානව.

ඉතින් මට හිතාගන්නම බැරිවුන කොටස තමා අර කොලේ බලන්නැතිව ලෙඩේ ගැන කියන එක. හැබැයි මට එදා නොතේරුණාට අද ඒක නැවත කල්පනා කරල බලද්දි හිතෙන්නෙම මේ ගුරුන්නාන්සෙ ආරූඪයට ලොකු වෙලාවක් ගන්නෙ අර කොල ටික එහෙම බලල පේ වෙලා එන්න වෙන්නැති කියල.

කොහොම වුනත් ඒ ආරූඪය හාමුදුරුවො දෙන්නට විශේෂ සැලකිලි දැක්කුව.(කාලි මෑණියො වුනත්) එයා මාව ගෙන්නල ප්‍රශ්න අහල බේත් තොගයක් කිව්වත් මම ඒව කරාද කියලවත් මතක නැහැ. හැබැයි ඒක වෙනම අද්දැකීමක්.

දෙවනුව යම් අතීත බලයක් තියෙනවාය හැගෙන මෑණි කෙනෙක් මගේ හිතවත් නෝන කෙනෙක්ගෙ මාර්ගයෙන් දැනගන්න ලැබුන. ඒ මෑණියො අදාල කෙනාගෙ කේන්දරය දුන්න ගමන් අදාල කෙනාගෙ අතීතය වර්ථමානය අනාගතය සියල්ලම කියනව. ඒ විදියටම මමත් මට අවශ්‍ය කෙනාගෙ තොරතුරු දුරකථනය හරහා දැනුම් දුන්න ගමන් එහෙම්ම කියවගෙන ගියා. ඒ සියල්ලම සහතිකම සහතික ඇත්ත. අදාල කෙනාගෙ චරිතය, හැසිරීම, ලෙඩ රෝග, වගේම මරණය ගැන පවා කිව්ව. මට හිතාගන්න බැහැ ඒ මෑණියො ඒ දේ කිව්වෙ කොහොමද කියල.

ඒ වගේම පිරිත් කියද්දි ආවේශයට පත්වෙන උපාසක-උපාසිකා සහ පැවිදි අද්දැකීම් කිහිපයක් මට තියෙනව. බොහෝ අය රතන සූත්‍රය, ආටානාටිය සූත්‍ර කියද්දි ආවේශ වෙන හේතුව මට හිතාගන්න බැහැ. පිරිතක ආරම්භක බෙර පද වැයෙද්දි ආවේශ වෙලා සද්දෙන් හූ කියන අය පවා ඉන්නව.

ඒ අයගේ මානසික ව්‍යාකූල බව නිසා ඇතිවෙන විවිධ තත්වයන් බොහෝවිට මානසිකමය ප්‍රතිකාරයකින්ම සමනය කල හැකිබව මම හිතනව. විශේෂයෙන්ම එකිනෙකා අතර යහපත් සන්නිවේදනයන් එකිනෙකාගේ සතුටට, සොම්නසට හේතු වෙනව. (රිද්මයානුකූල සාමයික ස්වරයෙන් පිරිත් සජ්ඣායනය, කාරුණිකව හිස අතගෑම ආදී කරන ඕනෑම දෙයක් කාරුණික සිතකින්)

මම පුද්ගලයෙක් විදියට විශේෂ වශයෙන් ඔය දේවල් ප්‍රසිද්ධියට පත් නොකරන්නෙ මට ලැබිල තියෙන ජීවිතය තුළ අනාගතය පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කිරීම වැඩියෙන් දුක් වීමට හේතුවක් නිසාත් වර්ථමානය තුළ මේ ලැබිල තියෙන සැනසිලි දායක ජීවිතයට යම් විදියකින් හෝ හොද-නරක බලපෑමක් වුනොත් මට මගේ මේ මොහොත මිස් වේවි කියල හිතෙන නිසා.

මම මිත්‍යාව ලෙස විශ්වාස කරන්නෙ අපට ලැබිල තියෙන දැනුම, අවබෝධය, ජීවිතය ඇතුළු ඕනෑම දෙයක් අනවශ්‍ය පරිදි කඩේ යැවීම. ආගමික අභිචාර විධි, පෙරදිග-අපරදිග ආදී ඕනෑම දැනුමක් මේ කාලයේ අවභාවිත වෙනව. ඒ විදියට අවභාවිත නොවෙන දෙයක් මම මිත්‍යාව ලෙස නම් කරන්නෙ නැහැ.

විද්‍යාව ලෙස මම හදුනාගන්නෙ අපට ලැබිල තියෙන දැනුම, අවබෝධය, ජීවිතය වීමංසනයෙන්, විචාරයෙන් යුතුව අවස්ථානුකූලව භාවිත කිරීම. එහෙම දේවල් මේ රටේ වෙන්නෙ නැහැ.

අපි ඉන්ද්‍රිය තුළින් දකින බටහිර දැනුමෙන් සියල්ල විසඳගන්න යනවනම් ඒක සමහර විට මිත්‍යාවක් වෙන්න පුලුවන්. දැන් ඇත්තෙන්ම මම දැනගෙන තියෙන දේවල් ඇතුලෙ විද්‍යාව මිත්‍යාවක් වෙලා ඉවරයි. නමුත් හෙටත් මගෙ කකුළෙ අමාරුවට බේත් ගන්න ඩොක්ටර් කෙනෙක් චැනල් කරනව. මම විද්‍යාව විශ්වාස කරනව. තාක්ෂණය නොදැනුමක් ඇතුළෙ විශ්වාස කරනව. මේ හැමදේම මගෙ කෙටි කාලීන එදිනෙදා අවශ්‍යතාවලට විසඳුම් ලබා දෙනව.

ඒ වගේම අතින්ද්‍රිය ප්‍රත්‍යක්ෂය තුළින් දැනගන්න දේවල් මේ ලෝකෙ තියෙනවනම් ඒ දේවල් අවභාවිත වෙනවනම් (පුද්ගල ආකර්ශණය, මුදල, දේශපාලනික ආදී බලය උදෙසා) ඒක මිත්‍යාවක් වෙන්නෙ එතනින්. ඒ අර්ථයෙන් ගත්තම කේන්දර බැලිල්ල, ආරූඪය, පේන කීම, සාස්තර අනාවැකි කීම ආදි සියල්ල මිත්‍යාවක් දක්වා වර්ධනය වෙලා තියෙනව.

කොරෝනා කාලයේ රටටම පිරිත් කියමින් ආශිර්වාද පැතීම, පිරිත් පැන් ඉසීම, වැනි යෝජනා තුළින් විද්‍යාත්මක නොවන පදනමකින් ක්‍රියා කරන්න උත්සාහ කිරීම. කාලි මෑණියන්ගේ ධම්මික පැණිය, නාථ දේව ආශිර්වාදය, ගංගා වලට පැන් කල හැලීම වැනි දේවල් පවා අපේ රටේ අපහසුම අවස්ථාවලදී යෝජනා වුනා. ඒ දේවල් ගැන සොයා බැලීමකින් තොරව ක්‍රියාත්මක කරන්න තීන්දු තීරණ ගතයුතු දේශපාලකයන් උත්සාහවන්ත වුනා. ඒ හැමදේම මිත්‍යාවේ පදනම්. ඒ කිසිවක් විද්‍යාත්මක පදනම් නෙමෙයි.

මේ දෙකම අපේ රටේ දේශපාලනික, සමාජ, සංස්කෘතික වශයෙන් ඝාතනය වෙලා ඉවරයි. ආගමික ඇදහිලි ආදිය විශේෂයි. දෙයකට වැඩි පමණින් නැඹුරු වෙලා ඒක මතම ජීවත් වෙන ඕනම කෙනෙක් මිත්‍යාවක් පිටුපස හඹායන්නෙක්. එයාට සමහරවිට එයා හොයන දේවල් ලැබෙන්නත් පුලුවන්. නොලැබෙන්නත් පුලුවන්. නමුත් ඒ දෙකම බැහැර කෙරුවට පස්සෙ අපිට ඉතිරි වෙන පුද්ගල සබඳතා සහිත රංචු සමාජය ගිලිහිලා යනව. ඒ නිසා මම හිතනව රංචු ලැදියාව සහිත මානව පරපුරක් විදියට අපි වාද සහිතව හෝ මේ හැමදේම එක්ක ජීවත් විය යුතුයි.

මම හිතන්නෙ අදෘශ්‍යමාන, ගුප්ත විද්‍යාවන් අපේ රටේ ශාස්ත්‍රයක් විදියට ගොඩ නැගිය යුතුයි. විවේචන, විචාර සම්ප්‍රදායන් අලුතින් නිර්මාණය විය යුතුයි. කිසිවක සත්‍ය-අසත්‍යය කෙසේවෙතත් මිනිස්සුන්ගේ දෛනික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා යමක් ඒ දේවල් තුළ තියෙනවද කියල විමසල බැලිය යුතුයි. ඒ කිසිවකට අපි සූදානම් නැත්තං මිත්‍යා ලබ්දිකයො විදියට මැරිල යන්න පුලුවන්.

ඒ වීමංසනය, විචාරට නැත්තං අර සෙව්වන්දිලා වගේ මානසික අසනීප සඳහා ප්‍රතිකාර ලබාගත යුතු අයගෙන් තමන්ගෙ මානසික අසනීපයන්ට ප්‍රතිකාර ගන්න වෙයි. ඒ වගේම තව තව බොහෝ දේවල් දැනටමත් අපේ රට ඇතුළෙ වෙලා තියෙනව. ජ්‍යෝතිර් වේදින් කියන පට්ටපල් චෞරයන් කියන අපේක්ෂකයන්ට ඡන්ද දීල මිත්‍යාවන් පසුපස හඹාගියපු පසුගාමී පාලකයො රටේ ජනාධිපතිවරු විදියට පත් කරගත්ත අපට මේ දැනුම් ගැන අවබෝධයක් නැතිව කරගත්ත දේවල් හොඳටම ඇති.

දේවල් තුළ නොඇලී නොගැටී යහපත් සිහියෙන් යුතුව සිටීමෙන් අපට ලබාගත හැකි වාසි බොහෝමයි. ඒ හැමදෙයක්ම අනාගත වාක්‍යයකට වඩා ශක්තිමත්. තමා කෙරෙහි විශ්වාස තබා, තමා හඳුනාගැනීමෙන් තොරව සතුටක්-සැපතක් නැහැ.

-ගුරුගොඩ සිරිවිමල-

 



Thursday, August 11, 2022

උසස්ම දේ තමා ගැන සෙවීමයි

අර පොඩි හාමුදුරුවො කෙනෙක්ව සහ තරුණියක්ව අල්ලගෙන තරුණයො ටිකක් සද්දෙ දාන වීඩියෝ එකේ ඇත්ත සිද්ධිය ඒ පොඩි හාමුදුරුවන්ගෙ නංගිලු අර තරුණිය. ඒ දෙන්න අසනීපව ඉන්න අම්මව බලන්න යන ගමන්ලු ඉඳල තියෙන්නෙ. මේ කතාව ඇත්තද බොරුද කියන්න මමනම් දන්නෙ නැහැ. ඒ වුනත් ඕව ඔප්පු කරල කරන්න හදන එක මට තේරෙන්නෙ නැහැ. ඒ වගේම ඒක ඇත්තක්නම් අර දඩාර පිරිමින්ට දැන් සනීප ඇති. ඒ අතින් ඒ සිද්ධිය ඔප්පු කරන එකත් හොඳයි.

ඒ නිව්ස් එක ගැන දැන් අදහස් දක්වන අය කියන්නෙ “නංගිනම් නංගි කියල ඒ වෙලාවෙ කියන්න එපැයිලු” මාර කතා තමා. දඩාර පිරිමි ටිකක් දෙන්නෙක්ව වටකරගෙන ප්‍රශ්නයක් දාද්දි කියන්න තියෙන ටිකත් උගුරෙ හිරවෙන අවස්ථා එමටයි. මට එහෙම වෙලා නැතත් මම ඒ වගේ දේවල් දැකල තියෙනව. අනික් අතට තමන් කවුද කියල එක එක්කෙනාට ඔප්පු කරන්න ඒ අය කවුද? පොලිස්සියෙන්නම් ඒකත් කමක් නැහැ.

කෙසේවෙතත් මම බොහෝවිට ගැහැණු පිරිමි තරුණ තරුණියන්ව වැඩියෙන් ඇසුරු කරන කෙනෙක් විදියට මට ඒ සම්බන්ද අද්දැකීම් බොහොමයි. මම තරුණියන් සමග කැෆේ වල ආහාර අරගෙන තියෙනව. එකට ඉඳගෙන කතා බහ කරල තියෙනව. කොෆී එකක් බොනගමන්, කතා කරන ගමන්, පොතක පතක වැඩක් කරන ගමන් මේ හැමවිදියකටම කැෆේ වලදි පාක් වලදි, පංසල් පල්ලි වලදි, ගෙවල් වලදි මේ ඕනම තැනකදි.  දියතෙ, තුම්මුල්ලෙ තැන් තැන්වල අපි පොත් පත් ගැන, ධර්මය ගැන, ආගිය තොරතුරු, සුවදුක් ගැන ඇති වෙන්න කතා කරල තියෙනව. සමහර විට එකම ටැක්සියෙ යන අවස්ථා වැහි වෙලාවට එකම කුඩේ යට යන අවස්ථාත් තියෙනව. (පිරිමි අය එක්කත් එහෙමයි.) ලංකාවේ ගොඩක් අයටනම් තරුණියක් සමඟ සිටීම පේන්නෙ නිකං ලිංගික දර්ශනයක් වගේ. ඒව ඉතින් මානසික ලෙඩ. ඒවට වග කියන්න මට බැහැ.

මම ජීවත් වෙන සමාජය මම විතරක් ඉන්න සමාජයක් නෙමෙයි. මගෙ අම්ම තාත්ත, සහෝදර සහෝදරියො යාළු මිත්‍රයො, නෑයො වේයො, අස්ල්වැසියො, ගැහැණු මිනිස්සු, දායක දායිකාවො, ශිෂ්‍ය, ශිෂ්‍යාවො, හොරු තක්කඩි, බොරි කියන නොකියන, රවටන, හිනාවෙනඅඬන,  දන්න, නොදන්න මේ හැම කෙනෙක්ගෙන්ම පිරිච්ච සමාජයක මම ජීවත් වෙන්නෙ.  මම ග්‍රාමවාසී භික්ෂුවක්. ආරණ්‍යවාසීව ඉන්න කෙනෙක් නෙමෙයි. එතකොට මට විවිධ අවස්ථාවල විවිධ විදියට ඉන්න සිද්ධ වෙනව. ඒ හැමෝවම මම ඇසුරු කරනව. ඒ කිසිම වෙලාවක මට ආටෝපයකට වඩා මිනිස්සු එක්ක හදවතින්ම සමීපව කටයුතු කරන්න වෙනව.

මේ ඕනම වෙලාවක මාව කවුරු හරි අරවගේ සැර විදියට කවුරු හරි ප්‍රශ්න කරන්න ආවොත් මම සමහර විට එයාලට මෙහෙම කියයි. “ඔයාගෙ ධර්මයයි මගේ ධර්මයයි දෙකක්. මගේ ධර්මය දැනගන්න ඕනනම් කනබොන ගමන් කතා කරමු. ඇවිත් වාඩි වෙන්න. නැත්තං අපි මේ වැඩේ ඉවරවෙලා යනකල් ඔයාලට ඔය විදියට කෑ ගගහ වීඩියෝ කර කර ඉන්න පුලුවන්” කියල. ඒ අය මේ දෙකෙන් කෝකට එකඟ වුනත් මමත් මගේ ළඟ ඉන්න අනෙකාවත් මම ආරක්ෂා කරනව වගේම අපි එකිනෙකාට වගකියනව.

හාමුදුරුවරුන්ගෙ ධර්ම-විනය ගැන හොයන ඕන කෙනෙක් මට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ අය මුලින්ම රටක පුරවැසියො වෙන්න ඕන. අනෙකාත් පුරවැසියෙක් විදියට දකින්න ඕන. කාගෙන්වත් කෑව බීව පලියට එයාව හසුරුවන්න කිසි කෙනෙකුට අයිතියක් නැහැ. ඒක භික්ෂුවටත් ගිහියාටත් එහෙමයි.  මිනිස්සුන්ගේ අයිතීන් විතරක් නෙමේ අලින්ගෙ අයිතීන් ගැන පවා කතා කරන මගෙ fb යාළුවො ගොඩක් අයත් මේ ප්‍රශ්නයෙදි අර හාමුදුරුවන්ට එහෙම කරන්න පුලුවන්ද? බිම් ගෙවල් අස්සෙ ඉන්න පුලුවන්ද වගේ කතා අහල තිබුන. පදුරු අස්සෙ රිංගන්න පුලුවන්ද කියල අහල තිබුන. තව කෙනෙක් කියල තිබුන භික්ෂුත්වය ජොබ් එකක්ය, දායකය පඩි ගෙවනවය ඒ නිසා ඒ ඒ විදියට ඉන්න ඕනය කියල. ඒක මොන මනෝවිද්‍යාවටද, මොන ධර්මයටද සාධාරණ කියල මම දන්නෙ නැහැ.  මිනිස් සබදතා පඳුරු මට්ටමට දාල කතා කරන අශිෂ්ට මිනිස්සු එක්ක සංවාද කරන්න තියෙන අපුල බව නිසා මම නිහඬ වුනා. කෙසේවෙතත් මට නැවත නැවතත් කියන්න තියෙන්නෙ හාමුදුරුවරුන්ට නෙමේ කාට වුනත් පොදු සදාචාර මට්ටම දැන හදුනගෙන කටයුතු කරන්න බාධාවක් නැහැ. මිනිස් හැඟීම් ගැන බුදු දහමේ නීති පනවන්නෙ නැහැ. නීති පැනවීම රාජ්‍යය විසින් කරන වැඩක්. ඒක රකින්න පොලිස්සි තියෙනව. ඒවට අවනත වෙන්න කියල බුදු හාමුදුරුවො පවා දේශනා කරනව. සිවුර කියන්නෙත්, ඇඳුම් පැළදුම් කියන්නෙත්, තනතුරු කියන්නෙත් තමන්ට දාගන්න බැරියර් නෙමෙයි.

බුදු හාමුදුරුවො දෙයක් දේශණා කලානම් ඒ දේශනා කලේ භික්ෂු-භික්ෂුණී, උපාසක-උපාසිකා (සාසනය) කියන හැමෝටම. භික්ෂු-භික්ෂුණී විනය පමණක් ගිහියන්ට අදාල වෙන්නෙ නැහැ. ඒකෙන් කියවෙන්නෙ නැහැ භික්ෂුවගේ විනය හොයන පොලිස්සිය ගිහියා කියල. නමුත් බුද්ධ කාලයේ පටන් මේ දක්වාම එකිනෙකාගේ වැරදි සොයමින් වැඩ කරපු ඉතිහාසයක් ත්‍රිපිටකයෙත් දකින්න ලැබෙනව. ඒව මටනම් සාමාන්‍යය දේවල්. ඒවගෙදි කම්පා නොවී වැඩ කරන එක තමා මගේ ක්‍රමය. බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවො තමන්ගෙ අවසාන ගුවන් විදුලි සාකච්ඡාවෙදි? පූරකයා අහන ප්‍රශ්නයකට උත්තර දෙමින් මෙහෙම කියනව. “ගිහියා පැවිද්දා වැරද්දක් කරන තුරු බලාගෙන ඉන්නව. පැවිද්දි ගිහියා වැරැද්දක් කරනතුරු බලාගෙන ඉන්නව. මේකෙන් දෙගොල්ලොම දෙකඩ වෙනව.) දැන් ලංකාවටම රටක් විදියට බලපාල තියෙන ප්‍රශ්නය තමයි එකිනෙකා අතර මිත්‍රශීලී බව දුරස් වීම. ඉතා පළල ඉතා දිගු ඉරි වලින් හැම තැනකම සීමා පනවා ගැනීම. එහෙම මිනිස්සු වෙන්න බැහැ.  එහෙම සතුට ලැබෙන්නෙත් නැහැ.

ශාක්‍ය කුමාරවරු කීප දෙනෙක් නැතිවුන තරුණියක් ගැන හොය හොය කැලේ ඇවිදිද්දි බුදු හාමුදුරුවන්ව මුණ ගැහෙනව. ඒ වෙලාවෙ බුදු හාමුදුරුවො ඒ වෙලාවෙ කියන්නෙ “උසස්ම දේ තමා ගැන සෙවීමයි” කියල. බෞද්ධකම රැකගන්න තඩි පිරිමින්ට බැහැ. ඒක ප්‍රතිපත්තිය දෙයක්.

වඩාත් හොඳ පුරවැසියෙක් කියන්නෙ තමන්වත් අනෙකාවත් රකින්නෙක්, තමන්ගෙත් අනෙකාගෙත් අයිතීන්ට ගරු කරන්නෙක්. ඒ ප්‍රතිපත්තියම තමයි කෙනෙක්ව බෞද්ධයෙක් බවට පත් කරන්නෙත්. තමන් යහපත් කෙනෙක් වෙන්න. අනික් අයව නිවන් යවන්න දරණ නිශ්ඵල උත්සාහය අත්හරින්න.


-ගුරුගොඩ සිරිවිමල-



Monday, August 1, 2022

අකාලික සඳ එළියක සිහිලස

මීට හරියටම මාස හතරයි දින දෙකකට පෙර මගේ සමීපතම මිතුරියක් මිය යනව. ඒ පිළිකා රෝගයකින් පීඩා විඳල. ඇය වයස අවුරුදු තිහක පමණ තරුණියක්. විනාහකයි. පුංචි දරුවො දෙදෙනෙකුගෙ මවක්. එයා අසනීප වෙලා හිටිය කාලයෙ මාත් එක්ක කිව්ව දෙයක් තමයි; “හාමුදුරුවනේ! මම නැති වුනාම මගෙ බබාල දෙන්නයි මහත්තයයි කොහොම ජීවත් වෙයිද කියල මට හිතාගන්න බැහැ” කියල. සහ මට එයාව දැනුන තේරුණ තරමින් එයාගෙ ලෙඩේට වඩා එයා මේ ප්‍රශ්නය නිසා පීඩා වින්ද. එයා නිතරම ඒ දේවල් ගැන කල්පනා කළා. ඔබට තේරෙනව ඇති ජීවිතේ පටන් ගත්ත මුල් අවධියෙම ඒ ජීවිතයෙන් සමුදෙන්න සිද්ධ වෙන එක කොච්චර වේදනාවක්ද කියල.

ඉතින් මගේ මිතුරිය ඒ දේවල් ගැන හිතමින් ඉන්නැද්දි රෝගය දරුණු වීමෙන් මිය යනව. ඒක අපි කාටවත් දරා ගන්න පුළුවන් ලේසි පහසු වේදනාවක් නම් නෙමෙයි. මම ඇත්තෙන්ම ජීවිතේ අහිමි වීම් සහ එහි වේදනාව කියන දෙය හොඳටම ඉගෙන ගත්තෙ මගේ මිතුරියගෙ අභාවය නිසා වෙන්න ඇති කියල මම හිතනව. මට දැනෙන ඒ වේදනාව සැමියෙක් විදියට මගේ මිතුරියගේ සැමියාට මොන තරම් දැනෙනව ඇතිද?

මම දන්න මගේ මිතුරිය නිරෝගීව ඉන්න කාලයෙ බබාල දෙන්නගේ සහ සැමියාගේ වැඩකටයුතු සියල්ලක්ම හොඳින් කරගෙන හිටිය කෙනෙක්. මම හිතන්නෙ සැමියා ගොඩක් නිදහස් වුනා එයාගේ ඒ ආදරණීය මැදිහත් වීම් නිසා. කෑම බීම සැකසීම, ඇඳුම පැළඳුම, පමණක් නෙමෙයි ඊට වඩා වැඩි යමක් ඇයගේ ආදරණීය මැදිහත් වීම් අතරෙ සිදුවෙන මොහොතක නිදහස් ජීවිතයක් වින්ද එයාගෙ සැමියාට මොන තරම් වේදනාත්මක මතක ගොඩක් ඉතිරි වෙනවද ඇය සමීපව ගතින් නැතිව වුනත් ජීවිතය ආලෝකමත් කරගන්න.

කෙසේ වෙතත් මම මිතුරෙක් විදියට සමීප වුන හැම වෙලාවකම ඒ සැමියාගේ වේදනාව මට පේනව. මිතුරිය ජීවත් වෙලා හිටි කාලෙට වඩා මිතුරියගේ සැමියාගේ ජීවිතය අපහසු බව මට දැනුන. මම ඒ දේ ගැන කල්පනා කරපු වෙලාවක මගෙ අතින් කවියක් ලියවෙනව.


ශතක සියයක සහස්‍රක භද්‍ර කල්පයෙක
මීන නයනිය සාදු සම්මත ප්‍රේමිය
හීන දහසක සයනයේ මා සතපන
පිරිත් ස්වරයකි මතක අනු; සදාකාලික

සිනහ රැල්ලය, රවා බැලුමය, රිඇක්ෂන් දහසක
නුඹේ නොනිදන ආදරේ පිටිපසින් සිට එඹී බැලුමය
තාරකා ඝණඳුරේ තනිකරනු මැන හිතවතිය මේ සැම
නිද්‍රාවේම තබා මා අකාලික සඳ එළිය නිවී යනු මැන

මහපොළව යට සීතලේ ගුලි වෙලා
ඔයා ඇස් ඇරන් ඇති
මතක මංපෙත් දිගේ තවම
දිගුම දිගු කල්පනාවක ඇති
Strong Tea එහෙම
ගෙනත් දෙන්නට හිතෙනවා ඇති
කමක් නෑ ඔබ ඉන්න

සරතැසින හඳ මැඳුර පිරී යන වෙලාවක සැඳෑවක
මධු බඳුන් පුරවා මේස මත තබන්නට පැමිණෙන්න
දැන් ඉතින් එහෙම බෑ මම දනිමි සුර කෙල්ල
සීතලේ ගුලිවෙලා නිදියන්න - මම පතමි සුව නින්ද

මහන්සිත් ඇති යැයි සිතා
මා කරා එන්නට සිතෙනවා ඇති
එන්න බැරි වුනත් මං දන්නවා
Strong Tea එකක් වෙලා හරි
ඔයා මගෙ දිහා බලාගෙන ඉන්නවා…!


-ගුරුගොඩ සිරිවිමල-

ඉතින් ඊට පස්සෙ?
ඊටත් පස්සෙ මට හිතෙනව මේක ගීතයක් බවට පත් කරොත් හොඳයි කියල. සමහරවිට ඒක මම මගේ මිතුරිය වෙනුවෙන් දෙන හොඳ තෑග්ගක්, මතකයක් වේවි කියල මට හිතුන. ඒ විදියට තමයි මම මේක ගීතයක් ලෙස නවීකරණය කරල තරිඳු දම්සර මගේ මිත්‍රයාට යවන්නෙ. ඒ මේ විදියට.

ශතක සියයක සහස්‍රක බද්‍ර කල්පෙක
මීන නයනිය සාදු සම්මත ප්‍රේමිය
හීන දහසක සයනයේ මා සතපන
රාත්‍රිය නුඹ මතක අනු; අවුලන

සිනහ රැල්ලය, රවා බැලුමය, රිඇක්ෂන් දහසක
නුඹේ නොනිදන ආදරේ පිටුපසින් සිට බැළුමය
තාරකා ඝණඳුරේ තනිකරනු මැන හිතවතිය මේ හැම
නිද්‍රාවේම තබා මා සඳ එළිය නිදියනු මැන
අකාලික සඳ එළිය

සරතැසින හඳ මැඳුර පිරී යන වෙලාවක සැඳෑවක
මධු බඳුන් පුරවා මේස මත තබන්නට පැමිණෙන්න
දැන් ඉතින් එහෙම බෑ මම දනිමි මුවැත්තිය
සීතලේ ගුලිවෙලා නිදියන්න - මම පතමි සුව නින්ද
අකාලික සඳ එළිය

තනු නිර්මාණය : තරිඳු දම්සර
පද රචනය : ගුරුගොඩ සිරිවිමල
ගායනය : ආකාශ් සචින්තන

කෙසේවෙතත් අපේ ජීවිත වල සමහර හිස්තැන් තියෙනව. ඒව අපට පුරවගන්න අමාරුයි. කෙනෙක් සමඟ සතුට-දුක වේදනාව එක්ක නිවාගත්ත ජීවිත වෙහෙස හිටිවනම නවතින එක අමාරු හැඟීමක්. ඒව වචන කරගන්න පවා අපි අපොහොසත්. ඒවට ප්‍රතිචාර දක්වද්දි ජීවිත විඩාවට වැඩියමක් අපට ඉතිරි වෙන්නෙ නැහැ. ජීවිතය පමණක් නෙමෙයි. ඕනම දෙයක යථාර්තය මේකනම් මේ යථාර්තයට මුහුණ දීමට වඩා දෙයක් අපට කරන්න බැහැ.

නමුත් අහිමි වී යාමක රසවත්ම දේ තමයි තව තවත් ඒ අය අපට ලං වෙලා කියන එක. අපට අමාරුම තැන්වලදි ඒ අයගෙ හෙවනැල්ලක් අපේ පසුපසින් නිතරම පවතිනව. හරියට වැඩ අධික වෙලාවක අපි කහට කෝප්පයකින්, කෝපි කෝප්පයකින් විඩාව නිවාගන්නව වගේ වැඩක් ඒක.
මට හිතෙන්නෙම මගේ මිතුරිය ඒ අය එක්ක තාමත් ජීවත් වෙනව කියල. සංඛේතීය නික්මනකින් පසුවත් සුන්බුන් නටඹුන්, ඉතිහාසය කෙනෙකුගේ ජීවිතය අලුත් කරනව. ඉතිහාසය පාඩම් උගන්වමින් අපව ජීවත් කරවනව.

නැවත සංඛේතියව අපට එහෙම කෙනෙක් නැති වුනත් එයා හැමතැනකම හැම දෙයක්ම වෙලා අපි එක්ක ඇති!
ඉතින් මිතුරිය!
සීතලේ ගුලිවෙලා නිදියන්න - මම පතමි සුව නින්ද

-ගුරුගොඩ සිරිවිමල-

ගීතය අහන්න
https://www.youtube.com/watch?v=49caTCZI_bA




 

Monday, July 25, 2022

බුද්ධ පූජාව සහ අනෙකා ඉවසීම

පසුගිය දිනවල අයෙක් සිද්ධ කරපු බුද්ධ පූජාවක් පිළිබඳව ෆේස්බුක් එකේ විවිධ තාලෙ සංවාද ඇති වෙලා තිබුන. කොයි දේටත් සාදු කියන උදවිය පුරුද්දක් විදියට ඒක දැකල සාදු කාර දීල තිබුන වගේම කොයි දේටත් හිනාවෙන උදවිය ඒකටත් හිනාවෙලා තිබුන. පිරිසක් මේ ගැන ශාස්ත‍්‍රීය සහ අධ්‍යාත්මික සංවාද ගොඩනගලත් තිබුන. මේ හැමදෙයක්ම අපේ සමාජයේ තිබෙන විවිධ ප්‍රවනතා. ඒ වගේ සමාජ ප්‍රවනතා එන්නෙ වෙන මුකුත් නිසා නෙමෙයි. නානත්ත කායා නානත්ත සංඥා නිසා. සමහර දේවල් තියෙනව. ඒව ගැන අපි වැඩි දුර සංවාද කළ යුතු නැහැ. රටක් අගාධයකට යනවනම් අපි ඒ රටේ පාලකයන්ව සහ මහජනතාව ප්‍රශ්ක කළ යුතුමයි. ආගමක් සමාජයට හිංසාව පතුරුවනවනම් හෝ අනවශ්‍ය මිත්‍යාවන් සමාජගත කරනවනම් එහෙම නැත්තං සමාජයේ සංවර්ධනයට බාධා කරනවනම් ඒ ආගමේ නායකයන්ව සහ අනුගාමිකයන්ව අපි ප්‍රශ්න කළ යුතුමයි. නමුත් සමහර මිනිස්සු තමන්ගෙ සතුට සහ සුවපත් බාවය පිණිස කරන විවිධ අවිහිංසාව මුල් කරගත් අභිචාර විධි අපි හාස්‍යයට ලක් කළ යුතු නැහැ. ඒක ඒ මිනිස්සු පුරුදු වුන විධිය. ඒ මිනිස්සු තමන්ගේ ජීවිතය හැඩගස්වාගෙන තිබෙන විධිය. ගෙදරක තියන බුද්ධ පූජාවත් එහෙම දෙයක්. ඒක සාපේක්ෂව විවිධ මිනිස්සු විවිධ සමාජවල ඉදගෙන කරන බෞද්ධ පිළිවෙතක්. ආමිසය සහ ප්‍රතිපත්තිය කියල පූජා දෙවර්ගයක් බුදු සමයෙහි දේශිත බවත් මේ ලිපියෙ දි මුලින්ම මතක තබා ගත යුතු කරුණක්.

පුද පූජා ගැන කතා කරද්දි ඒකෙ ඉතිහාසය බුදු සමයට ගොඩක් එපිටින් තියෙන කාරණයක් බව කිව යුතුයි. බමුණු දහම පැවති එවකට සමාජයේ පුද පූජා ඉහවහ ගියපු අවස්ථා අපිට වේද ග්‍රන්ථ තුළින් පැහැදිලි වෙනව. ඒ කාලෙ තමන්ගේ ආත්මය සුවපත් කරගැනීම උදෙසා සතුන් මරල ගින්නට පූජා කරල දෙවි වරුන්ට යාඥා කරපු බව සඳහන් වෙනව. බුදු දහම පහළ වෙන්නෙ මේ සියලු ක්‍රියා නිශ්ඵල බව පෙන්වා දීමටයි. තමන්ගේ අධ්‍යාත්මික සුවතාවය නොපෙනෙන දෙවි කෙනෙකුට පුද පූජා පැවැත්වීමෙන් ලබා ගත නොහැකි බවත් තමා තුළින්ම තමා අවබෝධ කරගැනීම මිස තමා සුවපත් කරගැනීමට අනියම් මාර්ගයක් නොමැති බව බුදුන් වහන්සේ පෙන්වා දුන්න. මට මුලින්ම බුද්ධ පූජාව ගැන විචාරාත්මකව දැක්වෙන අදහසක් කියවන්න ලැබුනෙ වල්පොල රාහුල හාමුදුරුවන්ගෙ සත්‍යෝදය කියන පොතෙන්. උන්වහන්සේගේ අදහසේ තිබුනෙ පිළිමයකට පූජා පැවැත්වීමෙන් ඵලක් නැති බව. ඇත්තනෙ! පිළිමයක් අපි තියන කෑම එකක් කන්නෙ නැහැනෙ. මේ බුද්ධ පූජාව සම්බන්ධයෙන් උන්වහන්සේ දක්වන අදහස තමයි මම අදටත් දැක්ක ඒ පිළිබඳව කරල තියෙන වැදගත්ම අදහස. මොකද පළමු දේ තමයි ඒ විචාරය තුළ  ඕනම කෙනෙක්ට තේරුම් ගත හැකි අයුරින් කරුණ පැහැදිලි කරනව වගේම තමයි ඒක  ඕනම කෙනෙකුට හිත රිද්දෙනැති විවේචනයක්. ඒ වගේම ඒ අදහස අරුත්බරයි.

මම හිතන ආකාරයටත් බුද්ධ පූජාව කියන එක අනර්ථකාරී දෙයක් නෙමෙයි. නියම බුද්ධ පූජාව වන්නේ බුදුන් වහන්සේ දේශනා කළ අයුරින් ක්‍රියා කිරීම. බුදුන් වහන්සේ අපට කිව්ව දේ ඒ අයුරින් පිළිගැනීමත් එය ක්‍රියායට නැංවීමත් සැබෑ බෞද්ධයාගේ යුතුකමක් වෙනව. ඒකම තමයි නියම බුද්ධ පූජාව. නමුත් අපි බුද්ධ පූජාව සිද්ධ කරනව කියල ආහාර මඳක් හෝ වැඩි ප්‍රමාණයක් බුද්ධ ප්‍රතිමාවක් ඉදිරිපිට තබා එයින් පමණක් තමා බෞද්ධයකු යැයි සිතීම විචාරශීලී බෞද්ධයකුට ගැලපෙන දෙයක් නෙමෙයි.

එහෙමනම් මේ අපි මෙච්චරකල් තියපු බුද්ධ පූජාව තේරුමක් නැද්ද? චෛත්‍යය වටා ගොඩ ගහපු පළතුරු, කිරි ආහාර, ඒ දේවල් වලින් ඵලක් නැද්ද? ඇත්තෙන්ම මෙහෙමයි අපි කරන ක්‍රියාවන් වලට ආපසු ලැබෙන ප්‍රතිපලයක් තියෙනව. ඒක දිව්‍යමය දෙයක් නෙමෙයි. අපි බත් කෑවොත් තමයි අපේ බඩ පිරෙන්නෙ. අපි  ඕනාවට වඩා බත් කනවනම් ඒක වමාරන්න වෙනව. හුස්ම ගන්න අමාරු වෙනව. සමහර විට දීර්ඝ කාලීනව කරනවනම් අසනීප වෙලා මරණයට වුනත් පත් වෙන්න පුලුවන් වග මතක තියාගන්න. බුදු දහමේ තියෙන සුවිශේෂී සංකල්පයක් තමයි පූජාච පූජනීයානං - පිදිය යුත්තන් පිදීම. කියන දෙය. අපි පිදිය යුතු සුවිශේෂී චරිත තියෙනව. බෞද්ධයෙකුට බුදුන් වහන්සේ සුවිශේෂී චරිතයක්. මම ඒක කියන්නෙ හිතළුවක් විදියට නෙමෙයි. අපි අනුගමනය කරන දැනුමෙහි නිෂ්පාදකයා තමයි බුදුන් වහන්සේ කියන්නෙ. බුදු දහමට බැසගත්ත කෙනෙක්ට බුදු දහම පෙන්වා දුන්න කෙනාව සැකනම්, එහෙම නැත්තං බුද්ධත්වය අවිශ්වාසනම් එයාට බැරි වෙනව බුදු දහමේ මාර්ගය තුළ ගමන් කරන්න. අපි ඒ දැනුම ගැන අවබෝධයක් ලබා ගන්නනම් ඒක කියපු කෙනා ගැන විශ්වාසයක් තියෙන්න  ඕන. ඒ විශ්වාස කරන කෙනාට අපි ගරු කළ යුතුයි. ඔහු කියපු දේ අපේ ජීවිත තුළින් ප්‍රයෝගික විය යුතුයි. එහි මූලික අවස්ථාවකට තමයි බුද්ධ පූජාව අත්‍යවශ්‍ය වෙන්නෙ. සාමාන්‍ය ආගමිකයෙක් බුද්ධ පූජාව තියන්නෙ මේ යථාර්ථය තේරුම් ගැනීම සඳහාම ද කියන්න අපි දන්නෙ නැහැ. 

නමුත් ඇත්තම කතාව අපිට අපි විශ්වාස කරන්න යන දැනුම් පද්ධතිය පිළිගන්න නම් ඒ දැනුමැත්තා කෙබඳු අයෙක්ද කියන අදහස තියෙන්නම  ඕන. ඒකට බුදු දහමේ භාවිත වචනය ශ්‍රද්ධාව. සමහරු මේ ශ්‍රද්ධාව තුළින් අන්ධ ආගමිකයෙක් වෙනව.මේ සම්බන්ධ බුදු දහමේ භාවිතයට කියන්නෙ අමූලික ශ්‍රද්ධාව කියල. ඔහු හිතනව බුදු දහමේ දේශිත සතුට ලබා ගැනීම සඳහා පුද පූජාවන් වලින් පමණක් හැකියි කියල. ඔහු මල් පහන් ආහාර ඉන් නොනැවතී රන් රිදී ආභරණ මිල මුදල්  ආදී නොයෙක් දේවල් පිළිම වලට සින්න කරල තෙහෙට්ටුවට පත් වෙනව. නමුත් ආකාරවතී ශ්‍රද්ධාව; එහෙමත් නැතිනම් විචාර ශීලී විශ්වාසයක් තියෙන මනුස්සයෙක් අරහෙම හැසිරනේනෙ නැහැ. එයා දේවල් විචාරවත්ව සිතා බලන්නෙක්. ඔහු නිතරම ආත්ම විශ්වාසය මුල් කරගත් වීර්ය ඇති කරගැනීම සඳහාත් ප්‍රීතිය ඇති කරගැනීම උදෙසාත් මේ ආමිස පූජාවන් හි නිරත වෙනව. මේක තවත් සරළව කියනවනම් පිළිමයක් ඉදිරිපිට පූජාවන් මහ ගොඩක් කරල එයා එයාගෙ සතුයෙහි අග්‍රඵලය ලබා ගන්න උත්සාහ කරන්නෙ නැහැ. නිවනට හෝ මතු භවයකට එතනින් පාර කැපෙන බව ඔහු විශ්වාස කරන්නෙ නැහැ. නමුත් අමූලික ශ්‍රද්ධාව තියෙන කෙනා එහෙම හිතන කෙනෙක්.

දැන් ගොඩක් දුරට අපට දකින්න ලැබෙන්නෙ මේ අමූලික ශ්‍රද්ධාවෙන් කෙරෙන පුද පූජා පමණයි. දහස් සංඛ්‍යාතව එකතු වෙලා කරන ආහාර නාස්තිය, කාලය කා දැමීම, ගත සිත වෙහෙසට පත් කරගැනීම දැන් එන්න එන්නම වැඩි වෙලා. සමහර විට ඒ අය මේව කරන්නෙ බුදු හාමුදුරුවො කිව්වය කියල. සැනසීමට එකම මාර්ගය මේක කියල හිතල. ගොඩක් වෙලාවට පූජ්‍ය පක්ෂයත්, අනුගාමික උදවියත් මේ වෙනුවෙන් හරි හරියට වෙහෙසෙනව. මේව ඇත්තෙන්ම තමන්ගෙ අධ්‍යාත්මික හා ලෞකික දියුණුවකට කොයි තරම් සුදුසු ද කියල හිතන්න බෞද්ධ උදවිය පෙළඹෙන්න  ඕන.

පුද පූජා ගැන කතා කරද්දි සංස්කෘතික වශයෙන් ඒ ගැන සිතා නොබලනවනම් ඒකත් ලොකු අසාධාරණයක්. මෙතන තමයි ඉතාම වැදගත් සාධකය. ආගම් කිහිපයක්ම අදහන රටක ජීවත් වෙන මිනිස්සුන්ට ආගමිකව කාන්දු වෙලා තියෙන සංස්කෘතිය තුළින් වෙන් කරන්න බැහැ. බුද්ධ පූජාව  කියන්නෙ සිංහල බෞද්ධ සංස්කෘතියේ බෞද්ධකමේ එක සංකේතයක්. එහි දී මිනිස්සු තමන්ගේ බෞද්ධ බව ප්‍රදර්ශනය කිරීමේ සංකේතයක් විදියට පුද පූජා පැවැත්වීම යොදා ගන්නව. සමහර විට මේ සංස්කෘතික බවම තමයි ආගම වෙන්නෙත්. ඒ නිසා ආගම සංස්කෘතිය වෙන් කරල හදුනාගන්නත් බොහෝවිට අපහසුයි. දහමට වඩා ආගම ඉතාම වෙනස්. ආගමක් තුළ කාලීන දේශපාලනික සහ සමාජ තත්වයන් නිරන්තරව පවතිනව. දහම තුළ පවතින්නෙ අකාලික වූ නිර්මල තත්වයක් (විශ්වාසයට අදාලව) නමුත් ආගම තුළ මේක විවිධයි. 

කෙසේවෙතත් නිරන්තව ආගමික සංස්කෘතිය තුළ නිවසක බුදු පිළිමයක් තබා පුද පූජා කිරීම, ගමේ විහාරස්ථානය තුළ පුද පූජා සිදු වීම, ආදිය බහුලව දකින්න තියෙන දෙයක්. මෙතනදි අපි තේරුම් ගන්න  ඕන දෙයක් තමයි සෑම ආගමකම මේ පුද පූජා විධි තියෙන බව. මේ ආගමික අභිචාර විධි මිනිස් මනසට ඉතා යහපත් බලපෑම් වගේම අයහපත් බලපෑමුත් කරන්න පුලුවන්. සහ ඒ බව විවිධ ශාස්ත‍්‍රීය පර්යේෂණ තුළිනුත් තහවුරු වෙනව. විශේෂයෙන්ම සමාජ විද්‍යා තුළ. බුද්ධාගම තුළ පවතින මේ බුද්ධ පූජාව හෝ පුද පූජා පැවැත්වීමත් එහමෙයි. ඒක මිනිස්සු චාරිත්‍ර වශයෙනුත් එදිනෙදා දිවියේ තාවකාලික සතුටක් ලබා ගැනීමේ අදහසිනුත් සිද්ධ කරනව. විශේෂයෙන්ම මේක පොදු බෞද්ධ සමාජයෙත් ඒ සමාජයේම නාගරික බෞද්ධයන් හා ගැමි බෞද්ධයන් විවිධ තාලයෙන් සිද්ධ කරනව. 

මේකෙ එක් අවධියක් නිවස තුළ බුදු පිළිමයට පුද පූජා පැවැත්වීම. ඉන් පසු අවධි වලදි ක්‍රමයෙන් මේක නිවසින් පිටතට එනව. එතනින් මංසන්ධි වල පවතින බුදු පිළිම වහන්සේට පවා දහවල බුද්ධ පූජා පැවැත්වීම ආදිය සිද්ධ වෙනව. දැන් වෙද්දි අපේ බොහෝ තරුණ තරුණියන් මෙය හුදු චාරිත‍්‍රවාදී බවින් මිදිල ඉතා කැපවීමෙන් අලංකාරව සහ විචිත‍්‍රවත්ව බුද්ධ පූජාව සිද්ධ කරනව. මෙය යම් පමණකින් පුරුද්දටම නෙමෙයි ඉතා කැපවීමෙන් කරන දෙයක්. ඒ තුළින් තරුණ තරුණියන් යම් මානසික ප්‍රීතියක් ලබන බව මට විශ්වාසයි. පුරුද්දට කරන දෙයක් තුළින් මිනිස්සුන්ගේ උවමනාව ගිලිහිලා ගියත් කැපවීමෙන් සහ අවබෝධයකින් කරන පුද පූජා තුළින් තමන්ගෙ එදිනෙදා සතුට ලබා ගත හැකියි. සමහර විට ඒක නවකතාවක් කියවල කෙනෙක් ලබන එදිනෙදා සතුට වගෙයි. මේ වගේ කැපවීමෙන් පුද පූජා කරන අයගෙ ශදවත තුළ ලතෙත් බව, කරුණාව, දයාව පවතිනව. ඒ අය සමහර විට යාචකාදීන්ට සංග්‍රහ කිරීමත්, අන් අයට ගරු කිරීමත්, ආහාරයෙහි අගය, වස්තුවල අගය, පවතින සමාජ දේශපාලනික වටපිටාව ඉතා හොදින් දන්න බව මම අනුමාන කරනව. ඉතින් මේ විවිධ තාලයේ පුද පූජා තුළ පුරුද්දට කරන දේවල් හා අවබෝධයෙන් කරන දේවල් නිරතුරුවම තියෙනව. පුරුද්දට කරන දේවල් වලින් මිනිස්සු හති වැටෙනව. අවබෝධයෙන් කරන මිනිස්සු සතුටට පත් වෙනව. ප්‍රමුදිත වෙනව. ඔවුන්ට බුදු දහමේ පෙන්වන මාර්ගය තුළ ගමන් කිරීම පහසු වෙනව. ඒ නිසා බෞද්ධ හෝ අබෞද්ධ  ඕනෑම අයෙක් පුරුද්දට දේවල් කරන එක නවත්වල අවබෝධයට මුල් තැන දිය යුතු වෙනව. 

ඉතින් පුද පූජාවලට එදා ඉදන්ම විවේචන කරන උදවියත්, උපහාසයට ගන්න උදවියත් අමතක කරන දෙයක් තමා මිනිස්සුන්ගෙ විවිධත්වය. ඒ අයගෙ මානසික මට්ටම. ඒ වගේම තමා එහෙම හිනාවෙන කෙනෙකුට බැරි වෙනව අන්තර් ආගමික සමගිය ඇති වුන සමාජයක් දකින්න. බෞද්ධයෙක් ඉස්ලාම් හෝ හින්දු ආගම් වල පවතින ආගමික පුද පූජා හෑල්ලුවට ලක්කරනවනම් ඔබ හිතන්න ඒ අයගේ ඒ විශ්වාසයට සිනහවට ලක් කිරීමෙන් ඇතිවෙන තත්වය ගැන. එතනින් එකිනෙකාගෙ හිත් තුවාල වෙනව. ඒ වගේම හින්දු හෝ ඉස්ලාම් ආගමිකයෙක් බෞද්ධාගමිකයෙකුගෙ පුද පූජා ක්‍රම හෑල්ලුවට ලක් කරනවනම්? එහෙමත් නැත්නම් ආගම් නො අදහන්නෙක් මේ සියලු ආගමිකයන්ගේ පුද පූජා ක්‍රම හෑල්ලුවට ලක්කරනවනම්? ඒ සමාජය තුවාල සහිතව ජීවත් වන සමාජයක් බවට පත්වෙනව. නමුත් මේ කිසිවකු ඉතා කාරුණිකව එකිනෙකාගේ විචාරාත්මක බව ප්‍රශ්න කරනවනම් සංවාද කරනවනම් එහිදී කිසිවකු තුවාල සහිත ඇත්තන් බවට පත්වෙන්නෙ නැහැ. 

වැදගත්ම දේ තමයි අපි එකිනෙකාට ගරු කිරීම. එකිනෙකාගේ විවිධත්වය පිළිගැනීම. එකිනෙකාගේ කැමැත්ත තමා කැමති දෙය නොවන බව වටහාගැනීම. ඔබ මේ දෙය ගැන නිකමට හිතන්න, ඔබ ඔබේ සතුට වෙනුවෙන්  ගමනක් යද්දි තමාට සහ අනුන්ට හිරිහැරයක් නොවන අයුරින් අ`දින ඇ`දුම තව කෙනෙක්ගෙ විවේචනයට ලක්වෙනව. ඔබ කන බොන දෙය විවේචනයට ලක්වෙනව. ඔබ අහන, බලන දේවල්, කියන, කියවන දේවල් විවේචනයට ලක් වෙනව. ඔබ ඒකට කැමතිද? ඔබ අදින්න  ඕන දෙය, ඔබ අහන්න, බලන්න  ඕන දෙය, කරන්න, කියන්න, කියවන්න,  ඕන දෙය තව කෙනෙක් තීරණය කරන්න එනවට කැමතිද? 


-ගුරුගොඩ සිරිවිමල-

(මෙය ඉරිදා මව්බිම පුවත්පතේ “සංසාර” අතිරේකයේ පලවූ ලිපියක් බව කරුණාවෙන් සලකන්න.)



Saturday, July 16, 2022

පුරවැසියෙක් වෙන්න| පාවා නොදෙන්න.

මම පුරවැසියෙක් විදියට අරගලයට කීප වතාවක්ම ඉතා කැමැත්තෙන් සහභාගී වුනා. හැබැයි මම ඒකෙ සිද්ධ වුන ඔය සංස්කෘතික අරව මේවටනම් සම්බන්ධ වුනේ නැහැ. මම සම්බන්ධ වුනේම නිතරම උදය-දවල් වරුවල. මට අරගලය කියන්නෙ මම ජීවත් වෙලා තියෙන දශක දෙක හමාරෙ මුහුණ දෙන්න වුන හොඳම ජනතා නැගිටීම. ඒක මම තරුණයෙක් විදියට ඒ අද්දැකීම මට මහළු ජීවිතයක් තිබුනොත් මට විශාල පාඩමක් වේවි හැම දේකදිම. ඒ අද්දැකීම මුල් අවදියේ පටන් අපේ රටේ සියළු තරුණයන් අද්දකින්න අවශ්‍යය දෙයක්. දැන් ඉන්න වැඩිහිටි අයට “57,77,88” වගේ කතා කරන්න ඇසින් දුටු මාතෘකා තිබුනට ඒක අපිට නැහැ.


අරගලය තුළ “අරගලය” කියන වචනයේ කෝෂාර්ථයට වැඩි යමක් සහ ඉතා අඩු යමක් එහි නිතරම තිබුන. ඇත්තෙන්ම ලංකාවෙ සංස්කෘතික රටාවන්, සමාජය සංවිධානය වී තිබෙන ආගමික දේශපාලනික මුහුණුවර, වගේ දේවල් නිසා “අපේ මිනිස්සු අරගල කරන්න දන්නෙ නැහැ‍” කියන එක මා තුළ මේ මොහොතෙත් තිබෙන විශ්වාසයක්. 


මම අරගලයට සම්බන්ධ වුනේ පුරවැසියෙක් වගේම දේශපාලන සහ සමාජ විවේචනයක් තිබෙන කෙනෙක් විදියටත් සහ අරගලය පවා විවේචනය කරන්නෙක් විදියට. මම ඒ ගැන කිසිම විවේචනයක් එළිපිට නොකළ හේතුව රට වෙනුවෙන් යම් බලාපොරොත්තුවක් දැල්විය හැකි ආලෝකයක් ඒ තුළ තවමත් තිබෙන නිසා සහ අරගල කරුවන්ගෙන් අම්බානක බැනුම් අහගන්න බැරි නිසා. (සහ බයියෙක් වෙන්න බැරි නිසා නමුත් ඒකට චින්තන ධර්මදාස බෙල්ල දීල තියෙනව.) මම ඒ විවේචනය අදත් මෙතැන ලියන්නෙ නැහැ. ඒව එහෙමම තිබුනාවේ. මම මේ ලියන්නෙ පොදු යමක් ගැන. 


මම අරගලයට සම්බන්ධ වුන හැම වෙලාවකදිම මුහුණ දුන්න ලස්සනම අද්දැකීම් ගොඩක් තිබුන. 


මම අරගලයට මුලින්ම සම්බන්ධ වුනේ ජර්මන් ඉදන් ආපු මගේ මිතුරු හිමිනමක් එක්ක. එදා තදත් නැති මදත් නැති වැස්ස. එදා අපි ටෙන්ට් එකක ගැහැණු පිරිමි භේදයකින් තොරව හැමෝම වැස්සෙන් ආරක්ෂා වුන විදිය හරිම ලස්සන අද්දැකීමක්. හැම වෙලාවෙම සමාජ සබදතා වලදි පුංචි හරි ඉරක් ගහගන්න මිනිස්සු, පූජකවරු ගෑණු පිරිමි ඉන්න රටක වැස්සෙන් නොතෙමී ඉන්න කිටි කිටියෙ හැමෝම එකම ටෙන්ට් එකක. ඒක පුදුම දෙයක් නෙමෙයි. හැබැයි ඒක ලංකාවෙ සමාජයට අලුත්. එතනදි දින ගණනක් හිටපු අය අපට එයාලගෙ බෑග් වල තිබුන බිස්කට්ස්, කොකිස් වගේ දේවල් අතින් අත යවල බෙදා ගත්ත. අපි ඒව කෑව. ගෞරවයෙන් වැඳ වැටිල දෙන ලොකූ බත් පිගානකට වඩා හිතවත්කමෙන් දෙන පුංචිම දෙයින් බඩට වඩා ආත්ම ගානකට හිත පිරෙනව. ඒක ලස්සන පාඩමක්. 


දෙවන අද්දැකීම මට උතුරෙ ජීවත් වෙන දමිළ මනුස්සයෙක් හමුවීම. ඔහු උදේම මාව දැක්කම අත වනාගෙන ආව. ඇත්තෙන්ම එයා දන්නෙ නැහැ මම හාමුදුරුවො කෙනෙක් කියල. එයා කැඩිච්ච සිංහලෙන් මාත් එක්ක කතා කරද්දි මමත් කැඩිච්ච දෙමළ ටිකක් හරි දැනගෙන තිබ්බනම් මරු කියල හිතුන. ඉතින් එයා මාත් එක්ක ආගිය දේවල් කතා කරා. එයාලට නැති වුන දේවල් ඉතිරි වෙලා තියෙන දේවල් සහ විවිධ සිනාමුසු දේවල්. එතන විශේෂ දේ තමයි අපි පක්ෂ හෝ පුද්ගල දේශපාලනයක් කතා නොකිරීම. ඒක මාරයි. කොහොම වුනාද කියලවත් මට හිතාගන්න බැහැ. කෙසේ වෙතත් ඒ හමුව මම නැවත බලාපොරොත්තු වුනත් මට නැවත හමුවුනේ නැහැ. අපි දෙන්න සැලියුට් එකක් දාගෙන යන්න ගියා. දැක්ක තැන වැඳ වැටෙන ආගමික ජීවිතයට හුරුවුන අයෙකුට මම කවමදාවත් වරදක් කියන්නෙ නැහැ. හැබැයි දෙදෙනෙක් අතර හමුවකදි එකිනෙකාගෙ හිතවත්කම්, ගෞරවය ආත්ම ගානකට පවත්වාගත හැකි කිසියම්ම ශරීරබාෂාවක් අපිට ඉතාම වැදගත්.


මම පුස්තකාලයෙදි පොත් කියෙව්වට වඩා ඒව කියවන අය සහ එතන පොත් දිහා වැඩි වෙලාවක් බලාගෙන හිටියෙ. පොත් පෙට්ටි ගනන් බාරදීල යන උදවිය, පොතක් කියවල ඉවර කරගන්න බැරිවෙලා ආයෙ කියවල ගෙනත් දෙන්නම් කියල අරන් යන උදවිය, ඒ අයට නැවත එන්න බැරිනම් ඒ පොත ලගම තියෙන පුස්තකාලයට බාරදෙන්න කියන පුස්තකාල ක්‍රියාකාරීන් නිතර ගැවසෙන එතන අමුතු හැඬයක ලස්සනක් තිබුන. එතන පොත් කියවන පුංචි දරුවො වැඩිහිටියො ගැන මට අධිතක්සේරුවක් නැහැ. හැබැයි ගෙදරකදි හෙම්බත් වෙවී පුරුද්දට කන බොන, අඳින පළඳින, හැඩ වෙන රස්සාවට යන ඉස්කෝලෙ යන අය පොතක් පතක් කියවන එක සංස්කෘතික පුරුද්දක් කරගන්නවනම් කොයි තරම් වටිනවද? සිංදුවක් අහන එක ෆිල්ම් එකක් බලන එක. සමහරු චිත්‍රාගාරෙ චිත්‍ර බලනව. මහ පුදුම නිහැඬියාවක්. ඒක මම ජීවිතේ සම්බන්ධ වුන පොත් එළිදැක්වීමකවක් බුක්ෆෙයාර් වලදිවත් නොදැකපු එකක්. එකිනෙකා අතර නිශ්බ්ධතාවය, අනෙකාට බැල්මකින්වත් කරදරයක් නොකරන විදිය ඒ දේවල් අරගලයක් තුළ පවා පැවතීම මොන තරම් මිනිස් වටිනාකමක්ද?


අපේ ඩොක්ටර්ස්ලා කඳවුරු බැඳගෙන අව්වෙ වේලි වේලි අරගලයෙ ‍ලෙඩ තියෙන අයට බේත් දෙනව. ආරක්ෂක අංශ විසින් තුවාල කරපු අයට බේත් දානව. මගේ හිතවත්ම ඩොක්ටර් කෙනෙකුත් උදේ හවා මැරීගෙන ගෙවල් දොරවල් දරුවො සැමිය දාල ඇවිත් ෆේස්බුක් වලත් බැනුම් අහගෙන හරි හරියට වැඩ. හවස මොනා වෙයිද කියල හිත හිත දෙගිඩියොවෙන් හැමදාම හැම මොහොතකට අලුත් සිද්ධියකට මුහුණ දෙන්න බලාගෙන ඒ අය ඒ මොහොතේ වැඩ කරනව. සමහරු එතනට අවශ්‍ය බේත් මොනවද කියල අහගෙන යන ගමන්ම තව පිරිසක් බෙහෙත් පෙට්ටි ගනනින් ගෙනත් බාරදීල යනව. අරගලේත් නැති සමහර යාචකාදී උදවිය එතනින් ඇවිත් අවුරුදු ගනන් වයස තුවාලවලට, ලෙඩ වගට බේත් කරගෙන යනව. ඒක හරියට දන්සලක් වගේ වැඩක්. මාස්ක් එක පවා ඉල්ලගෙන යන්න ඒ අය බේත් කරන තැනට එනව. කොර ගගහ එන, ලේ පෙරාගෙන එන, තව කෙනෙක් විසින් වාරු කරගෙන එන නානාවිධ අසනීප එතන. ඒ වෛද්‍යවරු කියන්නෙ අපි දශක ගානක් තිස්සෙ බදු ගෙවල හදාගත්ත මැණික් කැට. වෙනත් තැනකදි සාමාන්‍ය දිනයකදි යාචකයෙක්ට බත් කටක් දුන්නත් පොටෝ ගහන මධ්‍යම පාන්තිකයො ඉන්න රටේ ඔබ මේ එකතු වීම ගැන දරන අදහස මොකද්ද කියල මම දැනගන්න කැමතියි. 


අරගල බිමේ කවමදාවත් කෑම බීම වරදින්නෙ නැහැ. දවල් 12-1 වෙද්දි සල්ලිකාර උදවිය ලස්සන පෙට්ටිවලින් ගෙනත් දෙන කෑම(පොෂ් කෑම) ලොකූ සල්ලිකාර උදවිය පන්හාරසීයකට උයවල කේටරින් හරහා එවන කෑම ලොරි සමහර වතුර බෝතල්, කවුරුහරි දුප්පත්ම කෙනෙක් ගෙනත් දෙන බත් පාර්සලය, බනිස් ගෙඩිය පවා එතන තියෙනව. ඒක කන්න මම හිතන්නෙ කොළඹ කොටුවෙ, මහරගම, ඉන්න යාචකයොත් ටයිම් එකට එනව. ඒ අයව කිසි කෙනෙක් කවමදාවත් අරගල බිමේ ඉන්න අය ගහල පන්නන්නෙ නැහැ. එයාල සමහර විට නොකා නොබී අර අයට කෑම දෙනව. එයාලගෙ පෝලිම ප්‍රසිද්ධ දන්සැලක පෝලිමක් වගේ. 


ඉස්කොලෙකින්, යුනිවර්සිටි එකකින්, සමාජ සංවිධානයකින් නොකෙරෙන සමාජ දැනුවත් කිරීම්; විශේෂයෙන්ම නීතිය, දේශපාලනය, පරිසරය, අයිතීන්, තරුණයා, සමාජය ආදී විවිධ දේවල් ගැන තරුණ ළමයි කරපු  විසිහතර පැය සේවා අරගල බිමේ ලස්සන වැඩි කරපු සාක්ෂරතාව වැඩි කරපු දේවල්. ඒව කිසිම දවසක අපේ බිමේ කිසිම කොන්දේසියකින් තොරව බෙදාහදාගත්ත දේවල්. ඒ වටිනාකම් ගැන අරගල නිමවුන සොඳුරු රටක අපිට ආයෙ ඕන වෙයි. 


කවමදාවත් අව්වෙ පිච්චෙන්නෙ නැති ලස්සන හයි ක්ලාස් ගෑණු ලමයි, කැෂුවල් අඳින සල්ලිකාර තරුණ ළමයි, බේතකට මිස එලියට නොබසින විශේෂ අවශ්‍යතා තියෙන මිනිස්සු, කප්පරක් රාජකාරී තියාගෙන තප්පරේකට හරි ගොඩවෙලා යන නිළධාරීන්, වෛද්‍යවරු, විධායක නිලධාරීන් බස් අරන් පිටිසරින් ඇවිත් කොඩි වන වන බෝඩ් වන වන අව්වෙ කරවුන මිනිස්සු, ඔබ හිතනවද මේ රට නැවත එකතු වෙයි කියල? 


මෙකී නොකී දේවල් මම එකපාරටම පිළිවෙළට ගොනු කරේ ඇයි කියල කවුරුහරි හිතන්න පුලුවන්. අපේ වැඩිහිටියො අරගල කරේ ගල් මුල් අතින් අරගෙන, තුවත්කු බයිනෙත්තු පත්තුකරගෙන ලේ වගුරගෙන වෛරයෙන්, ක්‍රෝධයෙන්. වැඩිහිටියන්ගෙ 70-80, ආඩම්බරකාර පම්පෝරි අහද්දි “මොන ජීවිතද අප්ප” කියල ඇත්තෙන්ම මට හිතිල තියෙනව. ඒත් මේක මිනිස් සුවඳ, කඳුළු, ආදරය තිබුන අලුත්ම අරගලයක්.  ඇත්තෙන්ම අද වෙද්දි ඒ සුවඳවත් අරගලය පටු අරමුණුවලට යටවෙමින් පවතින බව අරගලයේ උදේ හවා හිටිය අයගෙන්ම දැන් දැන් අහන්න ලැබෙනව. 


මේ අලුත් ආකාරයේ ලස්සන සංස්කෘතික වටිනාකම් තිබුන අරගලය සල්ලිවලට හරි, දේශපාලන මෝඩකම් වලට හරි, ආගමික මෝඩකම් වලට හරි අරගලයේ මුල පටන් මේ දක්වා පාවා දෙමින් හිටපු නිවට මිනිස්සු ටිකක් හිටිය. ඒ මහා පාවාදීම කරපු අය දැන් දැන් එළිපිට ලස්සනට පේන්න අරන් තියෙනව.


ඉතින් මහා පාවාදෙන්නනි!


ඔබ පාවාදුන්නේ මේ තරම් ලස්සන, සංස්කෘතික අරගලයක්. මේක නිසා පසුතැවෙන්නවත් උඹලට වෙලාවක් නැති වෙන බව ඒකාන්තයි. 


-ගුරුගොඩ සිරිවිමල-