Tuesday, December 31, 2019

දෙදහස් දහනවයට සමුදීම

|Mawbima |Young -යං - සංස්කරණය- Ayantha Yunesh Fernando |අසපුව -Gurugoda siriwimala

 ❝මිනිස්සුන්ට කතා කරන්න ඉගෙන ගන්න. හැමෝටම ආදරේ කරන්න. අනිත් අයගෙ නිදහසට ඉඩ දෙන්න.❞ 

මේ ජීවිතේ හරි ම කෙටියි. කාලය යනවා තේරෙන්නේවත් නෑ. අවුරුද්දක් ඇතුළෙ අපිට කරන්න තියෙන වැඩ අවුරුද්දේ දින ප්‍රමාණයටත් වඩා වැඩියි. ඉතින් අපි ඒ නිසා බලාපොරොත්තු සහගතව සහ වීර්යවන්තව ඒ මොහොතට මුහුණ දෙන්න ඕනේ.

මේ අවුරුද්ද ඇතුළෙදී ඔබට තේරෙන්න ඇති අපි පක්ෂ විදියට බෙදිලා ඉන්න එකේ තේරුමක් නැති බව. ළඟ ම ඉන්න මිතුරා තරහ කරගෙන, ඔහුට කේලම් කියලා, කොටවලා, රණ්ඩු කරලා වැඩක් නැති බව ඔබට තේරෙන්න ඇති. ආගමික වශයෙන් බෙදිලා හිටියට ආගමික ශික්ෂණය අල්පයක් හෝ ප්‍රගුණ නොවන බව ඔබට දැනෙන්න ඇති. ජාතීන් විදියට බෙදිලා හිටියට ගොඩනැඟෙන සාමයක් හෝ එක්සත් බවක් නැති වග ඔබට තේරෙන්න ඇති. ඉතින් 2019 වසරේ දී මේ ටික තේරුම් ගත්තේ නැත්නම් මම ඔබෙන් ඉල්ලා සිටිනවා ⁣විස්සයි විස්සට තවත් පියවරක් තබන්න එපා කියලා. ඔතන ම නතර වෙලා නැවත හිතන්න. 

මේ සීමා ඉරි අලුත් ම දේවල්. ඒ වගේ ම පරණ ම දේවල්. මේ කිසිම දෙයක් තුළින් නෙමෙයි අපිට සහනය, සතුට, සොම්නස ලැබෙන්නේ. අපි අපේ ස්ටයිල් එක ඇතුළෙ කොයි තරම් දුරට සාර්ථක වෙනව ද කියන තැනයි තෘප්තිය ගොඩනැඟෙන්නේ. අන්න ඒ නිසා අපි අපේ වෙන්න උත්සාහ නොකරනවා නම් මේ ගොඩනඟන්න හදන කිසිදු දෙයක් සාර්ථක ව්‍යායාමයන් බවට පත් වෙන්නේ නැහැ.

මම ඔබෙන් ඉල්ලා සිටිනවා කොයියම් ම වේලවකදිවත් මගේ රට, මගේ ආගම, මගේ ජාතිය යනුවෙන්  හිතන්න එපා කියලා . අපේ රටේ, අපේ ආගම, අපේ ජාතිය කියන තැන ඉදන් හිතන්න. අපේ රට අපිට වටිනවා වගේ ම, අපේ ආගම අපිට වටිනවා වගේ ම, අපේ ජාතිය අපිට වටිනවා වගේ ම අනිත් අයටත් එයාලගේ රට, එයාලගේ ආගම, එයාලගේ ජාතිය වටින බව හිතන්න. කොයි තරම් අමාරුකම් ආවත් ජාතිවාදී නොවන්න, ආගම්වාදී නොවන්න උත්සාහ කරන්න. තමන් තමන්ගේ දේට වැඩි නැමියාවක් දක්වන එක නරක නෑ. හැබැයි හොඳමත් නෑ කියලා තේරුම් ගන්න.

මම ඔබෙන් ඉල්ලා සිටිනවා මොන තරම් අගහිඟකම්වලින් පිරිලා, මිරිකිලා හිටියත් අනුන් වෙනුවෙන් යමක් කරන්න අමතක කරන්න එපා කියලා. අනුන් වෙනුවෙන් ජීවත් වෙන්න මිල මුදල් අවැසි නොවන වග ඔබට ඉතා ඉක්මණින් තේරේවි. අනිත් අයගේ මූණට හිනාවක් දෙන්න, අනිත් අය එක්ක හිනාවෙන්න, කතා කරන්න. ඒ අයගේ හිත නොරිද්දා එයාලගේ වරද පෙන්වා දීම වටිනවා කියල හිතට ගන්න. 

මම ඔබෙන් ඉල්ලා සිටිනවා මොන වැඩේ තිබුණත් අවුරුද්දට පොත් තිහ, හතළිහක්වත් කියවගන්න උත්සාහ කරන්න කියලා. ලෝකේ තියෙන ලස්සන ම සංගීතයන්, ලෝකේ තියෙන ලස්සන ම ලස්සන දේවල් පුළුවන් තරම් විඳින්න උත්සාහ කරන්න. මේ ජීවිතේ කිසියම් ම වූ අවස්ථාවකදී අපි අන්ත අසරණ වෙනවා. කරකියාගන්න දෙයක් නොමැති තරමට ම පීඩාවට පත්වෙනවා. ඒ දුරස්ථ හෝ ළඟ ම හේතු නිසා විය හැකියි. ඒ ඔබට එන හැම කරදරයකදීම ඔබ කියවපු පොත්වලින්, අසපු සංගීතයෙන්, විවිධ තැන් සංචාරය කීරිමෙන් ලබපු වින්දනය  නැවත නැවතත් මතක් කරගන්න. එතකොට සැනසිල්ල ලැබෙයි. හැමවෙලේ ම ධනාත්මකව හිතන්න. ධනාත්මක හිතන තරමට ම අපිට අපේ සහ මේ ලෝකයේ අඩුපාඩු අපිට පේන්න පටන් ගනියි. 
මට ගිය අවුරුද්දේ අග ලැබුණ ලොකු ම සහ ආදරණීය ම අවවාදයක් තියෙනවා. මම හිතුවා එය ඔබ එක්ක බෙදාගන්න.

❝මිනිස්සුන්ට කතා කරන්න ඉගෙන ගන්න. හැමෝටම ආදරේ කරන්න. අනිත් අයගේ නිදහසට ඉඩ දෙන්න.❞ 

මේක දේව වාක්‍යක් වගේ හරියට. නැහැදිච්ච මනුස්සයෙක් ශික්ෂණයට ලක්වෙන්නේ ඉබේට ම. කොයි තරම් වෙහෙස මහන්සිය තිබුණත් ඔබ තුළ තියෙන ආදරය පිරිහීමකට ලක්වෙන්න ඉඩ දෙන්න එපා. ජීවිතේ ළඟින් ම හිටිය අය අමතක කරන්නවත්, දාල ගිය අයට වෛර කරන්නවත් එපා. ඒ කිසි දේකින් අපේ මානසික සැනසිල්ල අපිට ලැබෙන්නේ නැහැ.

දරාගන්න අමාරු ම නික්ම යාමකට මේ අවුරුද්දේදී මට මුහුණ දෙන්න සිද්ධ වුණා. හැබැයි ඒ නික්ම යාමෙන් ඇති වුණ දුක මට අමතක කරන්න ධර්මය, ආගම, ආදරය, යාළුවෝ, කලාව, සාහිත්‍ය, ඇසුරු කරන දේශපාලනය, පුදුමාන්තර විදියට වැදගත් වුණා. ඒ නිසා ම මම විශ්වාස කරනවා මේ අවුරුද්දේ අග වෙද්දී ලෝකේ වටින ම තෑග්ග ලැබුණේ මට කියලා.
හැකි තරම් ආදරණීය වෙන්න; හැකි තරම් ලෙන්ගතු වෙන්න. තමන්ගේ අරමුණුවලට වැඩ කරන්න පසුබට වෙන්න එපා. 

ජීවිතේ මිස් කරගන්න එපා! ඒ ඉතාමත් කෙටි දෙයක්.

|ගුරුගොඩ සිරිවිමල



Full article - https://mawbima.lk/backend/uploads/e_paper/Young-31-12-2019.pdf

1 comment:

  1. මේ ලියල තියෙන දේවල්, තේරුම් ගන්න තරමෙ බුද්දිමත් මිනිස්සු ලංකාවෙ නැති එකනෙ වෙලාතියෙන්නෙ.ඒකනෙ මේ රට මෙච්චර ආපස්සට ගිහින් තියෙන්නෙ.

    ReplyDelete