Showing posts with label පුවත්පත්. Show all posts
Showing posts with label පුවත්පත්. Show all posts

Tuesday, July 29, 2025

දූවිල්ලේ රැඳුණ පියසටහන් | FootPrints in the Dust

පොතක්නම් එය කියවිය හැකි විය යුතුය, කියවීමෙන් ආනන්දයත්, ප්‍රඥාවත් ගෙන ආ යුතුය, පරිස්සම් කොට තබාගෙන විඩෙන් විඩ ද කියවන්නට සිත යා යුතුය. එවැනි පොතක් මා හට කියවන්නට ලැබුනේ මෑතක දී ය.

 

ඕස්ට්‍රේලියානු ජාතික ශ්‍රාවස්තියේ ධම්මික හිමියන් විසින් “FootPrints in the Dust: The life of the Buddha from the most ancient sources” නමින් රචනා කරන ලද ඉංග්‍රීසි කෘතියේ සිංහල පරිවර්තනය කුඩගම්මන සීලරතන (භන්තේ සීල) හිමියන් “දූවිල්ලේ රැඳුණ පියසටහන්: ඉපැරණි පාළි මූලාශ්‍රය ඇසුරින් බුදුන් වහන්සේගේ ජීවිත කථාව” නමින් මෑතකදි එළිදක්වන ලදි.

කියවන්නට රුචිය ඇති වන පරිද්දෙන්, පොත් ඉතා හොඳින් තෝරා බේරා ගනිමින් ද, අලංකාර භාෂාවකින් ද පරිවර්තන කාර්යයන් සිදු කරන සීල හිමියන්ගේ පරිවර්තන කෘතියක් මග හැර යාම රසවතුන්ට උචිත නොවේ. තවද, එය මොළයට පාඩුවකි. එබැවින්, බුද්ධාලම්භන ප්‍රීතියෙන්, බුද්ධි කලම්බන රුචියෙන් දෑතින් දෝතින් ගෙන මෙම කෘතිය කියවීමටත්, රසවින්දනයටත් පටන් ගතිමි.

 

කෘතියේ රචකයා වන එස්. ධම්මික හිමියන් යනු, කාලයක් පුරාවට බෞද්ධ පර්යේෂණ සිදු කරමින් බුදුදහම ගවේෂණය කරන, ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල විද්වතුන් ඇසුරු නිසුරු කරන විද්වතෙකි. භාවනාවට රුචි කරන භික්ෂුවකි. කෘති ගණනාවක් රචනා කරන ලද ගත් කතුවරයෙකි.

එස්. ධම්මික හිමියන්ගේ දූවිල්ලේ රැඳුණ පියසටහන් සඳහා පදනම් වන්නේ, ගෞතම බුදුන්වහන්සේගේ ජීවන තොරතුරුය. බුදුන් වහන්සේගේ ජීවන තොරතුරු ඇතුළත් කෘති බොහෝමයක් රචනා වී තිබුන ද, ශාස්ත්‍රීය වශයෙන් රචනා වූ කෘති අල්පය. බොහෝ කෘති උන්වහන්සේගේ ජීවන තොරතුරු, භාවාතිශය කතාන්දර මුල් කරගනිමින් ගොඩනගන ලද ඉන්ද්‍රජාලික ශාස්තෘවරයකු බවට අප ඉදිරියෙහි ඔසවා තබයි. නමුත්, මූල් කෘති පදනම් කරගනිමින් නව බුද්ධ චරිතයක් ගොඩනැංවීමට ශාස්ත්‍රීය වෙහෙසක නිරතවන එස්. ධම්මික හිමියන් තම පර්යේෂණයට පාදක කරගන්නා ප්‍රාථමික මූලාශ්‍රය වන්නේ, ථෙරවාද ත්‍රිපිටකයයි. උන්වහන්සේ ස්වකීය චින්තනය ද දායක කරගනියි. කතුවරයා කියන පරිද්දෙන්, මෙම කෘතිය 35 වසරක් පුරාවට දරන ලද වෙහෙසකි. බුදුදහමට සැබැවින්ම දුර වූ, බුද්ධ චරිතයෙහි ආලෝකයක් කුඩා කළ පටන් නොලැබූ රචකයෙක් වන උන් වහන්සේ බුද්ධ චරිතය දෙස දුර සිට බලන්නෙකු ලෙස මට සිතෙයි. පර්යේෂණ වස්තුව පර්යේෂකයාට පුද්ගලිකව සමීප වන තරමට පර්යේෂණ වස්තුව සමග බැඳීමක් හටගනියි. එය පර්යේෂණයේ උසස් ප්‍රතිඵල සඳහා බාධා සිදු කරයි. නමුත් පර්යේෂණ වස්තුව දුර වූ විට පර්යේෂකයාගේ ස්වාධීනත්වයට බාධා නො කරයි. ස්වකීය සොයාගැනීම් නො බියව ඉදිරිපත් කළ හැකි වන්නේ, එවිටයි. එස්. ධම්මික හිමියන්ගේ මෙම පර්යේෂණ කෘතියෙහි වැදගත්කම වන්නේ, බෞද්ධ ආභාසය උපතින් ම රැගෙන නො ඒමයි. එනිසාම බුද්ධ චරිතය යනු උන් වහන්සේට නැවුම් දෙයකි. මෙම පර්යේෂණ කෘතියේ අරමුණ වී ඇත්තේ, බුදුන් වහන්සේ යනු කවරෙකු ද? උන්වහන්සේ කෙබඳු අයෙකු වන්නට ඇද්ද? යන්න සෙවීමයි. පරිච්ඡේද දා හතරකින් (14) සමන්විත මෙම කෘතියෙහි පළමු පරිච්ඡේදයෙන් බුද්ධ චරිතය ලිවීම සඳහා අගනා ප්‍රවේශයක් ලබා ගනියි. මේ දක්වා ලියවී ඇති බුද්ධ චරිත කෘති තුළ ඇතුළත් කරුණු සමාලෝචනය කරන කතුවරයා, ලලිත විස්තරය, සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය, අශ්වඝෝෂයන්ගේ බුද්ධ චරිත මහා කාව්‍යය, හින්දු ආගමික ග්‍රන්ථයක් වන, මත්ස්‍ය පුරාණය වැනි ජනප්‍රිය කෘති තුළ බුද්ධ චරිතය ගොඩ නගා ඇති අයුරු මෙන් ම, ශාස්ත්‍රීය පර්යේෂණ නමින් රචනා වූ බුද්ධ චරිතය පිළිබඳ කෘති, ලේඛන වැනි බොහෝමයකගේ ඇතුළත් තොරතුරු තාර්කිකව විවේචනයට ලක් කරයි. පූර්ව පර්යේෂණ සමාලෝචනය තුළින් උන්වහන්සේ පෙන්වා දීමට යත්න දරන්නේ, එතෙක් රචනා වූ කෘති වල ඇතුළත් බොලඳ වූත් නිසරු වූ අර්ථ විරහිත පල් හෑලි පිළිබඳවය. එයින්, උන්වහන්සේ ස්වකීය පර්යේෂණ කෘතිය පදනම් වන්නේ, නිවැරදි වූත් තාර්කික මූලාශ්‍රය මත බව පෙන්වා දෙයි. බුදුන් වහන්සේ ජීවත්ව සිටි අවධිය, එම ප්‍රදේශයන් හි භූගෝලීය ලක්ෂණ, සමාජ සංවිධානය, සමාජ තත්වය වැනි කරුණු කෙරෙහි ද අවධානය ලබා දී ඇති අයුරු දක්නට ලැබේ. “… මධ්‍ය ප්‍රදේශයේ බොහෝ ජනාවාස කුඩා ඒවා වූ අතර, ගංගාවන් සමීපයේ ගොඩ නැගී තිබිණ. පසු ව, ඒවා ක්‍රමයෙන් විශාල වීමත්, ප්‍රදේශය අභ්‍යන්තරය දෙසට ව්‍යාප්ත වීමත් ඇරඹිණි. කලෙක දඩයක්කරුවන් සහ ගෝත්‍රිකයන් පමණක් කරක් ගැසූ පෙදෙසක, කෘෂිකාර්මිකයන් පදිංචිව කුඹුරු සකසන්නට විය.(02. පරි,38 පි.) “මූල ග්‍රන්ථයන්හි දැක්වෙන නගර වර්ණනයන්ට අනුව, අතරින් පතර ඉහළට නැගුණ කුළුණු සහ අවැසි තැන්වල ඉදි කළ ගේට්ටු සහිත ආරක්ෂක තාප්ප හෝ බිත්ති, ඒ වටා ඉදිවුණ දිය අගල් නගරවල තිබේ.‍”‍් 02. පරි, 39 පි.) මෙහි අන්තර්ගත කරුණු දෙස බලන විට, මෙවැනි පර්යේෂණයක් අයෙකුට උඩින් අත පත ගා කළ නොහැකි දෙයක් බව අනාවරණය වෙයි. සූත්‍ර පිටකයේ ඇතැම් තැන් සූක්ෂමව පිරික්සා, තාර්කික ඥානය ද, නිර්මාණශීලීත්වය ද කැටි කොට තිබිය යුතුය. බුදුන් වහන්සේ පිළිබඳව තොරතුරු දැක්වීමේ දී කෘතියේ බොහෝ තැන්වල කතුවරයා අලුත් අදහස් පෙන්වා දීමේදී අනුගමනය කරන ක්‍රමයක් වන්නේ, ඒ පිළිබඳව මීට පෙර ජනවහර තුළ හෝ කෘති තුළ දැක්වෙන කරුණු ගෙනහැර දක්වා එහි සත්‍යාසත්‍යය බව පෙන්වා දීමයි. ““බුදුන් වහන්සේ උපතින්ම හින්දු වරයෙකි, ජීවත් වූයේත්, පිරිනිවන් පෑවේත්, හින්දුවරයෙකු ලෙසිනි”” යයි කියමනක් තිබේ….” (03 පරි, 83 පි.) බුදුන් වහන්සේ ගේ මා පිය, ඥාති තොරතුරු පිළිබඳ අනර්ඝ තොරතුරු මෙම කෘතිය තුළ ඇතුළත් ව ඇත. මව පිළිබඳ අදහස් දැක්වීමේ දී මෙතෙක් අසා ඇති කරුණු වලට වඩා වෙනස් ශාස්ත්‍රීය අදහස් ඉදිරිපත් කිරීමට කතුවරයා දක්ෂව ඇත. එහිදී, මහාමායා සහ ප්‍රජාපතී ගෝතමිය සමාන බිරින්දෑවරුන් ද, නැතහොත් ගෝතමිය යනු මායාවගේ මරණයෙන් පසු විවාහය ද යන්න පිළිබඳවත්, මායා යන නමෙහි අර්ථය පිළිබඳවත් විවරණය කරන අතර, සුද්ධෝධන රජු පිළිබඳව ද අදහස් දක්වයි. නෑ සියන් පිළිබඳව අදහස් දැක්වීමේ දී, එකළ, සමාජ දේශපාලන විවරණ ද දක්වන්නට උත්සාහ කර තිබෙන්නා සේ ම, බුදුන් වහන්සේ තුළ ශාක්‍යයන් කෙරෙහි තුබූ ඇල්ම කෙතෙක්ද යන්න ද දක්වා තිබේ. සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය පිළිබඳව ගොඩනැගී ඇති නිර්මාණාත්මක කථාන්දර ප්‍රතික්ෂේප කරන උන්වහන්සේ, අච්ඡරියබ්බූත සූත්‍රය වැනි සූත්‍රයන්හි අන්තර්ගත කරුණු මුලුමනින්ම ප්‍රතික්ෂේප නොකරයි. එය ද පර්යේෂකයෙකු ලෙස උන්වහන්සේගේ මනා හික්මීමේ ගුණය පැහැදිල කරන අවස්ථාවකි. මායාවන් සිටගෙන සිටමින් ම කුමරා බිහිකළ අයුරු පිළිබඳව කරුණු දක්වමින් උන්වහන්සේ පෙන්වා දෙන්නේ, “…පවුල් සෞඛ්‍ය සේවිකාවන් සඳහා වූ රාජකීය විද්‍යාලය පවසන පරිදි, පවුල් සෞඛ්‍ය සේවිකාවන් සහ අනෙකුත් සහායක පිරිස් නිසි පරිදි පුහුණු කර ඇත්නම්, සිටගෙන සිටියදී ම දරු ප්‍රසූතියක් සිදු කිරීම සුරක්ෂිත බව…”(03, පරි, 89 පි.) යනුවෙනි. තවද, සිදුහත් කුමාරෝත්පත්ති කතාවෙහි හා කිතුණු උත්පත්තියෙ හි ඇති සමානතාවන් ද පෙන්වාදීමට උත්සාහ කර තිබේ. අප කලක් සිට අසා හෝ කියවා ඇති බුද්ධ චරිතයට හාත්පසින් ම වෙනස් වූ මෙම බුද්ධ චරිතය අතිමානුෂීය කරණයට ලක් වූ බුදුන් වහන්සේගේ චරිතය නැවත මහ පොලොවට කැඳවාගෙන ඒමක් යැයි සිතිය හැකි කරුණු රැසක් ඇතුළත්ව තිබේ. මෙලෙස ඇතුළත් කර ඇති සියලු කරුණු සූත්‍ර පිටකය ඇසුරින්ම මූලාශ්‍රය දක්වා තිබීමෙන් එහි ශාස්ත්‍රීයත්වය හා නිවැරදි බව තහවුරු වෙයි. අප හඳුනාගන්නා පරිදි, බුද්ධ චරිතය ඇසුරින් ගොඩ නැගී ඇති නූතන ගැටලු දෙකකි. එකක්, බුදුන් වහන්සේ සත්‍යයවශයෙන්ම කෙබඳු අයෙක්ද යන්න හඳුනාගැනීමට නොහැකි වීමයි. අනෙක, බුදුන්වහන්සේ ලක්දිව හෝ වෙනත් රටවල උපත ලැබී යැයි ගොඩ නගන අදහසයි. මෙම නූතන ගැටලු දෙක සඳහාම දූවිල්ලේ රැදුණ පියසටහන් තුළින් පිළිතුරු ලැබේ යැයි සිතිය හැකිය. අතිමානුශීයකරනය වූ ඉන්ද්‍රජාලීකයෙකු වෙනුවට සැබැවින් බුද්ධ චරිතය කෙබදු ද යන්න මෙයින් තහවුරු කෙරෙයි. බුදුන් වහන්සේ යනු සැබැවින්ම මානුෂීය ගුණයන් පිරී ගිය පුද්ගලයෙකි. උන්වහන්සේගේ මෙහෙවර කුමක්ද? නායකයෙකු ලෙස ගැටලු විසඳන ලද්දේ කෙසේද? උන්වහන්සේගේ ශාසනික අර්බුද හමුවෙහි, රජසිටුවරු හමුවෙහි ක්‍රියා කලේ කෙසේද? යනාදිය තේරුම් ගැනීමට මෙම කෘතිය වැදගත් වනු ඇත. -ගුරුගොඩ සිරිවිමල-



 

Monday, July 25, 2022

බුද්ධ පූජාව සහ අනෙකා ඉවසීම

පසුගිය දිනවල අයෙක් සිද්ධ කරපු බුද්ධ පූජාවක් පිළිබඳව ෆේස්බුක් එකේ විවිධ තාලෙ සංවාද ඇති වෙලා තිබුන. කොයි දේටත් සාදු කියන උදවිය පුරුද්දක් විදියට ඒක දැකල සාදු කාර දීල තිබුන වගේම කොයි දේටත් හිනාවෙන උදවිය ඒකටත් හිනාවෙලා තිබුන. පිරිසක් මේ ගැන ශාස්ත‍්‍රීය සහ අධ්‍යාත්මික සංවාද ගොඩනගලත් තිබුන. මේ හැමදෙයක්ම අපේ සමාජයේ තිබෙන විවිධ ප්‍රවනතා. ඒ වගේ සමාජ ප්‍රවනතා එන්නෙ වෙන මුකුත් නිසා නෙමෙයි. නානත්ත කායා නානත්ත සංඥා නිසා. සමහර දේවල් තියෙනව. ඒව ගැන අපි වැඩි දුර සංවාද කළ යුතු නැහැ. රටක් අගාධයකට යනවනම් අපි ඒ රටේ පාලකයන්ව සහ මහජනතාව ප්‍රශ්ක කළ යුතුමයි. ආගමක් සමාජයට හිංසාව පතුරුවනවනම් හෝ අනවශ්‍ය මිත්‍යාවන් සමාජගත කරනවනම් එහෙම නැත්තං සමාජයේ සංවර්ධනයට බාධා කරනවනම් ඒ ආගමේ නායකයන්ව සහ අනුගාමිකයන්ව අපි ප්‍රශ්න කළ යුතුමයි. නමුත් සමහර මිනිස්සු තමන්ගෙ සතුට සහ සුවපත් බාවය පිණිස කරන විවිධ අවිහිංසාව මුල් කරගත් අභිචාර විධි අපි හාස්‍යයට ලක් කළ යුතු නැහැ. ඒක ඒ මිනිස්සු පුරුදු වුන විධිය. ඒ මිනිස්සු තමන්ගේ ජීවිතය හැඩගස්වාගෙන තිබෙන විධිය. ගෙදරක තියන බුද්ධ පූජාවත් එහෙම දෙයක්. ඒක සාපේක්ෂව විවිධ මිනිස්සු විවිධ සමාජවල ඉදගෙන කරන බෞද්ධ පිළිවෙතක්. ආමිසය සහ ප්‍රතිපත්තිය කියල පූජා දෙවර්ගයක් බුදු සමයෙහි දේශිත බවත් මේ ලිපියෙ දි මුලින්ම මතක තබා ගත යුතු කරුණක්.

පුද පූජා ගැන කතා කරද්දි ඒකෙ ඉතිහාසය බුදු සමයට ගොඩක් එපිටින් තියෙන කාරණයක් බව කිව යුතුයි. බමුණු දහම පැවති එවකට සමාජයේ පුද පූජා ඉහවහ ගියපු අවස්ථා අපිට වේද ග්‍රන්ථ තුළින් පැහැදිලි වෙනව. ඒ කාලෙ තමන්ගේ ආත්මය සුවපත් කරගැනීම උදෙසා සතුන් මරල ගින්නට පූජා කරල දෙවි වරුන්ට යාඥා කරපු බව සඳහන් වෙනව. බුදු දහම පහළ වෙන්නෙ මේ සියලු ක්‍රියා නිශ්ඵල බව පෙන්වා දීමටයි. තමන්ගේ අධ්‍යාත්මික සුවතාවය නොපෙනෙන දෙවි කෙනෙකුට පුද පූජා පැවැත්වීමෙන් ලබා ගත නොහැකි බවත් තමා තුළින්ම තමා අවබෝධ කරගැනීම මිස තමා සුවපත් කරගැනීමට අනියම් මාර්ගයක් නොමැති බව බුදුන් වහන්සේ පෙන්වා දුන්න. මට මුලින්ම බුද්ධ පූජාව ගැන විචාරාත්මකව දැක්වෙන අදහසක් කියවන්න ලැබුනෙ වල්පොල රාහුල හාමුදුරුවන්ගෙ සත්‍යෝදය කියන පොතෙන්. උන්වහන්සේගේ අදහසේ තිබුනෙ පිළිමයකට පූජා පැවැත්වීමෙන් ඵලක් නැති බව. ඇත්තනෙ! පිළිමයක් අපි තියන කෑම එකක් කන්නෙ නැහැනෙ. මේ බුද්ධ පූජාව සම්බන්ධයෙන් උන්වහන්සේ දක්වන අදහස තමයි මම අදටත් දැක්ක ඒ පිළිබඳව කරල තියෙන වැදගත්ම අදහස. මොකද පළමු දේ තමයි ඒ විචාරය තුළ  ඕනම කෙනෙක්ට තේරුම් ගත හැකි අයුරින් කරුණ පැහැදිලි කරනව වගේම තමයි ඒක  ඕනම කෙනෙකුට හිත රිද්දෙනැති විවේචනයක්. ඒ වගේම ඒ අදහස අරුත්බරයි.

මම හිතන ආකාරයටත් බුද්ධ පූජාව කියන එක අනර්ථකාරී දෙයක් නෙමෙයි. නියම බුද්ධ පූජාව වන්නේ බුදුන් වහන්සේ දේශනා කළ අයුරින් ක්‍රියා කිරීම. බුදුන් වහන්සේ අපට කිව්ව දේ ඒ අයුරින් පිළිගැනීමත් එය ක්‍රියායට නැංවීමත් සැබෑ බෞද්ධයාගේ යුතුකමක් වෙනව. ඒකම තමයි නියම බුද්ධ පූජාව. නමුත් අපි බුද්ධ පූජාව සිද්ධ කරනව කියල ආහාර මඳක් හෝ වැඩි ප්‍රමාණයක් බුද්ධ ප්‍රතිමාවක් ඉදිරිපිට තබා එයින් පමණක් තමා බෞද්ධයකු යැයි සිතීම විචාරශීලී බෞද්ධයකුට ගැලපෙන දෙයක් නෙමෙයි.

එහෙමනම් මේ අපි මෙච්චරකල් තියපු බුද්ධ පූජාව තේරුමක් නැද්ද? චෛත්‍යය වටා ගොඩ ගහපු පළතුරු, කිරි ආහාර, ඒ දේවල් වලින් ඵලක් නැද්ද? ඇත්තෙන්ම මෙහෙමයි අපි කරන ක්‍රියාවන් වලට ආපසු ලැබෙන ප්‍රතිපලයක් තියෙනව. ඒක දිව්‍යමය දෙයක් නෙමෙයි. අපි බත් කෑවොත් තමයි අපේ බඩ පිරෙන්නෙ. අපි  ඕනාවට වඩා බත් කනවනම් ඒක වමාරන්න වෙනව. හුස්ම ගන්න අමාරු වෙනව. සමහර විට දීර්ඝ කාලීනව කරනවනම් අසනීප වෙලා මරණයට වුනත් පත් වෙන්න පුලුවන් වග මතක තියාගන්න. බුදු දහමේ තියෙන සුවිශේෂී සංකල්පයක් තමයි පූජාච පූජනීයානං - පිදිය යුත්තන් පිදීම. කියන දෙය. අපි පිදිය යුතු සුවිශේෂී චරිත තියෙනව. බෞද්ධයෙකුට බුදුන් වහන්සේ සුවිශේෂී චරිතයක්. මම ඒක කියන්නෙ හිතළුවක් විදියට නෙමෙයි. අපි අනුගමනය කරන දැනුමෙහි නිෂ්පාදකයා තමයි බුදුන් වහන්සේ කියන්නෙ. බුදු දහමට බැසගත්ත කෙනෙක්ට බුදු දහම පෙන්වා දුන්න කෙනාව සැකනම්, එහෙම නැත්තං බුද්ධත්වය අවිශ්වාසනම් එයාට බැරි වෙනව බුදු දහමේ මාර්ගය තුළ ගමන් කරන්න. අපි ඒ දැනුම ගැන අවබෝධයක් ලබා ගන්නනම් ඒක කියපු කෙනා ගැන විශ්වාසයක් තියෙන්න  ඕන. ඒ විශ්වාස කරන කෙනාට අපි ගරු කළ යුතුයි. ඔහු කියපු දේ අපේ ජීවිත තුළින් ප්‍රයෝගික විය යුතුයි. එහි මූලික අවස්ථාවකට තමයි බුද්ධ පූජාව අත්‍යවශ්‍ය වෙන්නෙ. සාමාන්‍ය ආගමිකයෙක් බුද්ධ පූජාව තියන්නෙ මේ යථාර්ථය තේරුම් ගැනීම සඳහාම ද කියන්න අපි දන්නෙ නැහැ. 

නමුත් ඇත්තම කතාව අපිට අපි විශ්වාස කරන්න යන දැනුම් පද්ධතිය පිළිගන්න නම් ඒ දැනුමැත්තා කෙබඳු අයෙක්ද කියන අදහස තියෙන්නම  ඕන. ඒකට බුදු දහමේ භාවිත වචනය ශ්‍රද්ධාව. සමහරු මේ ශ්‍රද්ධාව තුළින් අන්ධ ආගමිකයෙක් වෙනව.මේ සම්බන්ධ බුදු දහමේ භාවිතයට කියන්නෙ අමූලික ශ්‍රද්ධාව කියල. ඔහු හිතනව බුදු දහමේ දේශිත සතුට ලබා ගැනීම සඳහා පුද පූජාවන් වලින් පමණක් හැකියි කියල. ඔහු මල් පහන් ආහාර ඉන් නොනැවතී රන් රිදී ආභරණ මිල මුදල්  ආදී නොයෙක් දේවල් පිළිම වලට සින්න කරල තෙහෙට්ටුවට පත් වෙනව. නමුත් ආකාරවතී ශ්‍රද්ධාව; එහෙමත් නැතිනම් විචාර ශීලී විශ්වාසයක් තියෙන මනුස්සයෙක් අරහෙම හැසිරනේනෙ නැහැ. එයා දේවල් විචාරවත්ව සිතා බලන්නෙක්. ඔහු නිතරම ආත්ම විශ්වාසය මුල් කරගත් වීර්ය ඇති කරගැනීම සඳහාත් ප්‍රීතිය ඇති කරගැනීම උදෙසාත් මේ ආමිස පූජාවන් හි නිරත වෙනව. මේක තවත් සරළව කියනවනම් පිළිමයක් ඉදිරිපිට පූජාවන් මහ ගොඩක් කරල එයා එයාගෙ සතුයෙහි අග්‍රඵලය ලබා ගන්න උත්සාහ කරන්නෙ නැහැ. නිවනට හෝ මතු භවයකට එතනින් පාර කැපෙන බව ඔහු විශ්වාස කරන්නෙ නැහැ. නමුත් අමූලික ශ්‍රද්ධාව තියෙන කෙනා එහෙම හිතන කෙනෙක්.

දැන් ගොඩක් දුරට අපට දකින්න ලැබෙන්නෙ මේ අමූලික ශ්‍රද්ධාවෙන් කෙරෙන පුද පූජා පමණයි. දහස් සංඛ්‍යාතව එකතු වෙලා කරන ආහාර නාස්තිය, කාලය කා දැමීම, ගත සිත වෙහෙසට පත් කරගැනීම දැන් එන්න එන්නම වැඩි වෙලා. සමහර විට ඒ අය මේව කරන්නෙ බුදු හාමුදුරුවො කිව්වය කියල. සැනසීමට එකම මාර්ගය මේක කියල හිතල. ගොඩක් වෙලාවට පූජ්‍ය පක්ෂයත්, අනුගාමික උදවියත් මේ වෙනුවෙන් හරි හරියට වෙහෙසෙනව. මේව ඇත්තෙන්ම තමන්ගෙ අධ්‍යාත්මික හා ලෞකික දියුණුවකට කොයි තරම් සුදුසු ද කියල හිතන්න බෞද්ධ උදවිය පෙළඹෙන්න  ඕන.

පුද පූජා ගැන කතා කරද්දි සංස්කෘතික වශයෙන් ඒ ගැන සිතා නොබලනවනම් ඒකත් ලොකු අසාධාරණයක්. මෙතන තමයි ඉතාම වැදගත් සාධකය. ආගම් කිහිපයක්ම අදහන රටක ජීවත් වෙන මිනිස්සුන්ට ආගමිකව කාන්දු වෙලා තියෙන සංස්කෘතිය තුළින් වෙන් කරන්න බැහැ. බුද්ධ පූජාව  කියන්නෙ සිංහල බෞද්ධ සංස්කෘතියේ බෞද්ධකමේ එක සංකේතයක්. එහි දී මිනිස්සු තමන්ගේ බෞද්ධ බව ප්‍රදර්ශනය කිරීමේ සංකේතයක් විදියට පුද පූජා පැවැත්වීම යොදා ගන්නව. සමහර විට මේ සංස්කෘතික බවම තමයි ආගම වෙන්නෙත්. ඒ නිසා ආගම සංස්කෘතිය වෙන් කරල හදුනාගන්නත් බොහෝවිට අපහසුයි. දහමට වඩා ආගම ඉතාම වෙනස්. ආගමක් තුළ කාලීන දේශපාලනික සහ සමාජ තත්වයන් නිරන්තරව පවතිනව. දහම තුළ පවතින්නෙ අකාලික වූ නිර්මල තත්වයක් (විශ්වාසයට අදාලව) නමුත් ආගම තුළ මේක විවිධයි. 

කෙසේවෙතත් නිරන්තව ආගමික සංස්කෘතිය තුළ නිවසක බුදු පිළිමයක් තබා පුද පූජා කිරීම, ගමේ විහාරස්ථානය තුළ පුද පූජා සිදු වීම, ආදිය බහුලව දකින්න තියෙන දෙයක්. මෙතනදි අපි තේරුම් ගන්න  ඕන දෙයක් තමයි සෑම ආගමකම මේ පුද පූජා විධි තියෙන බව. මේ ආගමික අභිචාර විධි මිනිස් මනසට ඉතා යහපත් බලපෑම් වගේම අයහපත් බලපෑමුත් කරන්න පුලුවන්. සහ ඒ බව විවිධ ශාස්ත‍්‍රීය පර්යේෂණ තුළිනුත් තහවුරු වෙනව. විශේෂයෙන්ම සමාජ විද්‍යා තුළ. බුද්ධාගම තුළ පවතින මේ බුද්ධ පූජාව හෝ පුද පූජා පැවැත්වීමත් එහමෙයි. ඒක මිනිස්සු චාරිත්‍ර වශයෙනුත් එදිනෙදා දිවියේ තාවකාලික සතුටක් ලබා ගැනීමේ අදහසිනුත් සිද්ධ කරනව. විශේෂයෙන්ම මේක පොදු බෞද්ධ සමාජයෙත් ඒ සමාජයේම නාගරික බෞද්ධයන් හා ගැමි බෞද්ධයන් විවිධ තාලයෙන් සිද්ධ කරනව. 

මේකෙ එක් අවධියක් නිවස තුළ බුදු පිළිමයට පුද පූජා පැවැත්වීම. ඉන් පසු අවධි වලදි ක්‍රමයෙන් මේක නිවසින් පිටතට එනව. එතනින් මංසන්ධි වල පවතින බුදු පිළිම වහන්සේට පවා දහවල බුද්ධ පූජා පැවැත්වීම ආදිය සිද්ධ වෙනව. දැන් වෙද්දි අපේ බොහෝ තරුණ තරුණියන් මෙය හුදු චාරිත‍්‍රවාදී බවින් මිදිල ඉතා කැපවීමෙන් අලංකාරව සහ විචිත‍්‍රවත්ව බුද්ධ පූජාව සිද්ධ කරනව. මෙය යම් පමණකින් පුරුද්දටම නෙමෙයි ඉතා කැපවීමෙන් කරන දෙයක්. ඒ තුළින් තරුණ තරුණියන් යම් මානසික ප්‍රීතියක් ලබන බව මට විශ්වාසයි. පුරුද්දට කරන දෙයක් තුළින් මිනිස්සුන්ගේ උවමනාව ගිලිහිලා ගියත් කැපවීමෙන් සහ අවබෝධයකින් කරන පුද පූජා තුළින් තමන්ගෙ එදිනෙදා සතුට ලබා ගත හැකියි. සමහර විට ඒක නවකතාවක් කියවල කෙනෙක් ලබන එදිනෙදා සතුට වගෙයි. මේ වගේ කැපවීමෙන් පුද පූජා කරන අයගෙ ශදවත තුළ ලතෙත් බව, කරුණාව, දයාව පවතිනව. ඒ අය සමහර විට යාචකාදීන්ට සංග්‍රහ කිරීමත්, අන් අයට ගරු කිරීමත්, ආහාරයෙහි අගය, වස්තුවල අගය, පවතින සමාජ දේශපාලනික වටපිටාව ඉතා හොදින් දන්න බව මම අනුමාන කරනව. ඉතින් මේ විවිධ තාලයේ පුද පූජා තුළ පුරුද්දට කරන දේවල් හා අවබෝධයෙන් කරන දේවල් නිරතුරුවම තියෙනව. පුරුද්දට කරන දේවල් වලින් මිනිස්සු හති වැටෙනව. අවබෝධයෙන් කරන මිනිස්සු සතුටට පත් වෙනව. ප්‍රමුදිත වෙනව. ඔවුන්ට බුදු දහමේ පෙන්වන මාර්ගය තුළ ගමන් කිරීම පහසු වෙනව. ඒ නිසා බෞද්ධ හෝ අබෞද්ධ  ඕනෑම අයෙක් පුරුද්දට දේවල් කරන එක නවත්වල අවබෝධයට මුල් තැන දිය යුතු වෙනව. 

ඉතින් පුද පූජාවලට එදා ඉදන්ම විවේචන කරන උදවියත්, උපහාසයට ගන්න උදවියත් අමතක කරන දෙයක් තමා මිනිස්සුන්ගෙ විවිධත්වය. ඒ අයගෙ මානසික මට්ටම. ඒ වගේම තමා එහෙම හිනාවෙන කෙනෙකුට බැරි වෙනව අන්තර් ආගමික සමගිය ඇති වුන සමාජයක් දකින්න. බෞද්ධයෙක් ඉස්ලාම් හෝ හින්දු ආගම් වල පවතින ආගමික පුද පූජා හෑල්ලුවට ලක්කරනවනම් ඔබ හිතන්න ඒ අයගේ ඒ විශ්වාසයට සිනහවට ලක් කිරීමෙන් ඇතිවෙන තත්වය ගැන. එතනින් එකිනෙකාගෙ හිත් තුවාල වෙනව. ඒ වගේම හින්දු හෝ ඉස්ලාම් ආගමිකයෙක් බෞද්ධාගමිකයෙකුගෙ පුද පූජා ක්‍රම හෑල්ලුවට ලක් කරනවනම්? එහෙමත් නැත්නම් ආගම් නො අදහන්නෙක් මේ සියලු ආගමිකයන්ගේ පුද පූජා ක්‍රම හෑල්ලුවට ලක්කරනවනම්? ඒ සමාජය තුවාල සහිතව ජීවත් වන සමාජයක් බවට පත්වෙනව. නමුත් මේ කිසිවකු ඉතා කාරුණිකව එකිනෙකාගේ විචාරාත්මක බව ප්‍රශ්න කරනවනම් සංවාද කරනවනම් එහිදී කිසිවකු තුවාල සහිත ඇත්තන් බවට පත්වෙන්නෙ නැහැ. 

වැදගත්ම දේ තමයි අපි එකිනෙකාට ගරු කිරීම. එකිනෙකාගේ විවිධත්වය පිළිගැනීම. එකිනෙකාගේ කැමැත්ත තමා කැමති දෙය නොවන බව වටහාගැනීම. ඔබ මේ දෙය ගැන නිකමට හිතන්න, ඔබ ඔබේ සතුට වෙනුවෙන්  ගමනක් යද්දි තමාට සහ අනුන්ට හිරිහැරයක් නොවන අයුරින් අ`දින ඇ`දුම තව කෙනෙක්ගෙ විවේචනයට ලක්වෙනව. ඔබ කන බොන දෙය විවේචනයට ලක්වෙනව. ඔබ අහන, බලන දේවල්, කියන, කියවන දේවල් විවේචනයට ලක් වෙනව. ඔබ ඒකට කැමතිද? ඔබ අදින්න  ඕන දෙය, ඔබ අහන්න, බලන්න  ඕන දෙය, කරන්න, කියන්න, කියවන්න,  ඕන දෙය තව කෙනෙක් තීරණය කරන්න එනවට කැමතිද? 


-ගුරුගොඩ සිරිවිමල-

(මෙය ඉරිදා මව්බිම පුවත්පතේ “සංසාර” අතිරේකයේ පලවූ ලිපියක් බව කරුණාවෙන් සලකන්න.)



Wednesday, May 25, 2022

ඒ අය මේ වගේ බණ කියන්නෙ ඇයි?

බොරු කීමේ විපාකයක් තමයි කියනව; ඔහු නිසා උපදින්නේ ගෑණු ලමයි පමණයි. පිරිමි දරුවො නැත. ඔහු නිසා උපදින්නෙ ඔහුට දාව ගෑණු දරුවො උපදිනව. පුතාල උපදින්නෑ. යම් නිවසක දුවෙක් ඉපදුනොත් ඒ තාත්ත, ඒ අම්ම මුසාවක් කියපු කර්මයක් මුල් වෙලා තමයි ඒ දුව උපදින්නෙ……..” -වැලිමඩ සද්ධාසීල හිමි-

මේ දවස්වල සුපුරුදු පරිදි වැලිමඩ සද්ධාසීල හිමිගෙ වීඩියෝ එකක් වෛරල් වෙනව. දැනට මට තියෙන එකම සතුට ඒ හිමිගෙ නම කියද්දි අපිව ෆේස්බුක් දහම් පාසලෙන් බ්ලොක් නොවෙන එක විතරයි. කෙසේවෙතත් මම වැලිමඩ හිමිගෙ බණ ගැන 2020 විතර පෝස්ට් එකක් දැම්ම “බණ කියන තුච්ඡ අය” කියන ශීර්ෂයෙන්. ඒකෙ ලින්ක් එක මම මේක අන්තිමට දාන්නම්. අපිත් හෝද හෝද මඩේ දානව වගේ එයා කියන්න කියන්න අපි ලියනව. අපි ලියන්න ලියන්න එයා කියෝනව.

නමුත් මම ඒ බණ ගැන අටුවා ලියන්නෙ නැතිව “මේ අය මෙහෙම බණ කියන්නෙ ඇයි?” කියල ලියන්නම්. කොහොම නමුත් මේ ගැහැණු - පිරිමි උපත ගැන බුදුන් වහන්සේගේ ස්ථාවරය සහ සද්ධාසීල හිමියන්ගේ ස්ථාවරය කියන්නෙ දෙකක්. කෝසළ සංයුත්තයේ ධීතු සූත්රයේ බුදුන්වහන්සේ පෙන්වා දෙනව;

ඉත්ථි පි හි එකච්චියා සෙය්යා පොස ජනාධිප,මෙධාවිනී සීලවතී සස්සුදෙවා පතිබ්බතා

රජතුමනි, ඇතැම් ස්ත්රිය ද ශ්රේෂ්ඨ ය. (එහෙයින්) පොෂණය කරුණු මැන. නුවණැති සිල්වත් නැදිමයිලන් දෙවි කොට වෙසෙන පතිවත රක්නා (යම් ස්ත්රියක් වේ ද,)

තස්සා යො ජායති පොසො සූරො හොති දිසම්පති,

තාදිසා සුභගියා පුත්තො රජ්ජම්පි අනුසාසතීති

දිශාවන්ට අධිපති රජතුමනි, ඇයට යම් පුතෙක් උපදී ද, (හෙ තෙමේ) දක්ෂයෙක් වෙයි. එබඳු යහපත් තැනැත්තියගේ පුත්ර තෙමේ රාජ්යානුශාසනා ද කෙරෙයි.”

මේක බුදු හාමුදුරුවො දේශනා කරන්නෙ කොසොල් රජතුමාට. එතනදි සිද්ධ වෙන්නෙ කොසොල් රජතුමා තමන්ට දුවෙක් ලැබුනය කියල හිත කළකිරීමෙන් ඉද්දි. මේ දේශනාවට අනුව පැහැදිලි වෙන කාරණා කීපයක් මම කෙටියෙන් ලියන්නම්.

ස්ත්රිය ද ශ්රේෂ්ඨයි.(පුරුෂයා හා සමානවම)

දරුවා ස්ත්රියක් වුනත් පුරුෂයෙක් වුනත් ඒ අයව පෝෂණය නොකලොත්, නුවණැති ඥාතී වැඩිහිටි ආශ්රයක් නැත්තං හබක් තමයි.

ඒ වගේම තමයි;

ස්ත්රිය මුල් කරගත් ප්රජනනය වැදගත් බව සහ දරුවන් වැඳිය හැකි ගුණය තියෙන්නෙ ස්ත්රියට කියලත් බුදු හාමුදුරුවො පැහැදිලි කරනව.

ඒ වගේම තමයි සද්ධාසීල හිමියන් මේ බණ කියන්නෙ කුමක් හෝ පොතක් පෙරළමින්; එය බලාගෙන. මම දන්නෙ නැහැ ඒ පොත මොකද්ද කියල. (ගැහැණු දරුවන්ගේ උපත අයහපත් කර්ම විපාකයක පළ දීමක් ලෙස බුදුන් වහන්සේ කියල තියෙන තැනක් තියෙනවනම් කාරුණිකව පෙන්වා දෙන්න.සමහරවිට මට මග හැරිලද දන්නෙ නැහැ.)

සමහරවිට දුවෙක් පමණක් නෙමේ පුතෙක් වුනත් අපේ කරුමෙට වගේ ඉපදෙන්න පුළුවන්. අපේ වාසනාවට උපදින්නත් පුළුවන් කියල බොහෝ අය කල්පනා කරනව. නමුත් මම හිතන්නෙ තව කෙනෙක්ගෙ උපතකින් තව කෙනෙක්ගෙ වාසනාව හෝ අවාසනාව තීරණය වෙන්නෙ නැහැ කියල. ඒ වගේම මම කර්මය කියන එක මේ වගේ තැනකට ලඝු කරන්න කැමති නැහැ සහ අපි කරන මොන කර්මයට අනුවද ඒ විපාකය ලැබෙන්නෙ කියල අපිට නිශ්චිතවම කියන්න බැහැ. කර්මය කියන්නෙ නිතරම අවිනිශ්චිත සහ අචින්ත්ය දෙයක්. ඒ වගේම තමයි සරළ කාරණයක් තමයි අපේ ජනසම්මතවල පිරිමි හෝ ගැහැණු දරුවෙක්ට අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් ආසාවෙන් ඉන්නවනම් කරන වත් පිළිවෙත් ටිකක් තියෙනව. අම්ම කෙනෙක් දරුව කුසේ ඉද්දි කන බොන දේවල් කරන කියන දේවල් අහන බලන දේවල් පාට වර්ග වගේ දේවල් නමුත් මේ කිසිම බාහිර සාධකයකිනුත් දරුවෙක්ගෙ ලිංගික බව තීරණය වෙන්නෙ නැහැ. වෛද්ය විද්යාත්මක දරුවෙක්ගෙ ලිංගික බව තීරණය වෙන්නෙ අහඹුවක් ලෙස. ඒක අපට කලින් තීරණය කරන්න බැහැ. සද්ධාසීල හිමිට අනුව කවුරුහරි ගැහැණු දරුවෙක්ට ආසනම් එයා බොරු කිව්වනම් හරි. පරම්පරාව ඉදිරියට අරන් යන්න පිරිමි දරුවෙක්ට ආසාවෙන් ඉන්න කෙනෙක්ට පුළුවන් ඇත්ත කියල පිරිමි දරුවෙක් හදාගන්න. ඒ බණ ගැන මගේ ඩොලරය මෙච්චරයි.

මේ අය මේ වගේ බණ කියන්නෙ ඇයි?” කියන ප්රශ්නය තමයි අපිට වැදගත්ම ප්රශ්නය. අපි එතන ඉදන් ටිකක් මේ සාකච්ඡාව ඉදිරියට අරගෙන යමු. “මේ වගේ බණ” කියල හදුන්වන්නෙ මොකද්ද? “මේ අය කියන්නෙ” කවුද?

මේ වගේ බණ” කියල කියන්නෙ ඔය ගොඩක් වෙලාවට සමාජ ජාලාවෙ වෛරල් වෙලා කුජීත වෙලා යන බණ ක්ලිප්ස්; “පිරිමියට කියල තේ හදාගෙන බිව්වොත් අපායෙ යනව, රුවන් වැලි සෑය වටේ ගැහැණු පිරිමි ලමයි එකට අත් අල්ලගෙන යන්න එපා, ගැහැණු පිරිමින්ගෙ ඇඟ දකින්න හොඳ නෑ, කාන්තාව අඳින්න ඕන මෙහෙමයි, යන්න ඕන මෙහෙමයි. විසාකාව මෙහෙමයි.” ආදි බණ

මේ අය” කියන්නෙ කවුද? මේ අය කියන්නෙ දැනට ලංකාවෙ ප්රසිද්ධියෙ බන කියන හිමිවරු, බණ කියන ටියුෂන් සර්ල, ඒව අහල ෆේස්බුක් කමෙන්ට් කරන සාධුවරු සහ වරියන්.

මේ හැම බණකම සාරාංශයක් ගත්තොත් බොහෝවිට තියෙන්නෙ ස්ත්රී හැදියාව සම්බන්ධයෙන්. ස්ත්රීන් ඉන්න ඕන මොන විදියටද කියල තව පිරිමියෙක් හෝ ගැහැණියක් ඕඩියන්ස් එකට කියල දෙනව. මේක දේශපාලනික වශයෙන් විඥානගත වෙන්නෙ බටහිර සහ පෙරදිග පුරුෂාධිපත්ය කියන තැනට. සමාජ විද්යාත්මකව ගත්තොත් ස්ත්රී-පුරුෂ සමාජභාවය කියන තැනට. එතනින් මිදිය නොහැකි ලාංකික පිරිසක් තමයි අපිටත් ඉන්නෙ. එයාලම තමයි මහණ වෙලා බණ කියන්නෙත්, ටියුෂන් කරන්නෙත්, ඩොක්ටර්ස්ල, ගුරුවරු වෙලා ඉන්නෙත්. ඒ අයගෙ උපතින්ම එන්නතක් වගේ එන්නත් වෙලා තියෙනව මේ මානසිකත්වය. ඉතින් ඒ අයට කිසි ලෙසකින්වත් බණක් කියද්දිවත් විෂයක් උගන්වද්දිවත්, බේත් දෙද්දිවත්, රාජකාරිය කරද්දිවත් අඩුම තරමෙ උද්ඝෝෂණයකදිවත් තමන්ගෙ අර පටු මානසිකත්වය හංගගෙන ඉන්න බැරිවෙනව. ඒ අය නිතරම කියන කරන දේවල් වගේ දෛනික නොවන දේවල්වලදි පවා තමන්ගෙ අර පුරුෂ මූලික චින්තනය ලෝකයට දෙන්න බලනව. ඒක තමාවත් නොදැන සිද්ධ වෙන දෙයක්.

කොහොම වුනත් මගේ විශ්වාසය මේ පුරුෂයාට ලකුණ දෙමින්, පුරුෂ උපත හොඳයි වගේ කතා කියමින් හැසිරෙන අපට එන ඓතිහාසික වසංගතයක් තියෙනව. ඒ වසංගතය බටහිර දැනුමෙන් ගත්තත් පෙරදිග දැනුමෙන් ගත්තත් එකයි කොහෙත් තියෙනව.

ඉන්දීය ආගම්වල තිබුන මූලිකම දෙයක් තමයි කාන්තාව ගෙය මුල්ලට කර තැබීමේ ආශාව. මුල සිටම ඒ තත්ත්වය තිබුන. ඔය “බමුණු මත” කියල අපි කතාවෙන් කියන්නෙ ඒ ඉන්දීය ආගම්වල සමස්ථය. ඒ අයගේ උවමනාවන් තුළ පුරුෂයා පමණක් අවසාන සැපයකට ලක්වීම ගැන කතා කෙරුවත් ස්ත්රියට ඒ සැපත ලගා වීම ගැන කතාවත් කරන්නෙ නැහැ. ඒ වගේ ම තමා කුළ ප්රශ්න, ජාති ප්රශ්න නිදහස, හිතන පතන එක පවා. ඒ සියල්ලක්ම සීමා සහිතව පිරිසකගේ පමණක් තනි ලෞකික ලෝකෝත්තර සැපයක් හොයන ඒකාධිකාරයක්. බුදුදහම පහළ වුන කාලයෙත් ඉන්දියාවෙ ඔය තත්ත්වයම තමයි. බුදු හාමුදුරුවො පහළ වෙන්නෙ ඒ තත්ත්වය යටතේ. ඒ තත්වයට එරෙහි වෙද්දි බුදු හාමුදුරුවන්ගෙ පියා වුන සුද්ධෝධන රජතුමා පවා බුදු හාමුදුරුවො එක්ක වාද කරගත්ත. පිණ්ඩපාතෙ යන්න එපා කිව්ව. බිම්බිසාර රජ්ජුරුවො කිව්ව”ඇවිත් රාජ්ය බාරගන්න” කියල. මොකද මේ තත්ත්වය නැවැත්තුවෙ නැත්තං අර ඒකාධිකාරය විනාස වෙලා යනව. නමුත් බුදුහාමුදුරුවො ඒ සියල්ල වළක්වල ස්ත්රියට, කුළයට, ජාතියට, උපතට ජීව විද්යාත්මක සාධක පෙන්වමින් තමන්ගෙ මූලික වැඩේ කරගෙන ගියා.

නමුත් ඒ තත්වයෙන් ඒ සමාජය මිදුණෙ නැහැ. කොටිම්ම කිව්වොත් බුදුහාමුදුරුවන්ගෙ හොදම යාළුව වුන කොසොල් රජ්ජුරුවො පවා තමන්ගෙ බිරිඳට දුවක් හම්බෙද්දි කළකිරුණ. හේතුව අර පටු අදහස්. ඒ වගේම බුදු හාමුදුරුවන්ටත් මේ තත්වය සමහර වෙලාවට භාවිත කරන්න වුනා. ඒ කාලෙ තිබුන සමාජ ක්රමයට සමහර තැන්වලදි බුදුහාමුදුරුවො අනුමත වුනා. ඒ නිසා තමයි ස්ත්රී-පුරුෂ සමාජභාවයට අනුව කාන්තා යුතුකම් වගකීම් ගැන සිඟාලෝවාද සූත්රයෙදි බුදු හාමුදුරුවො සාකච්ඡාවට ලක් කරන්නෙ. නමුත් ඒව සමාජය දෙකඩ කරන්න හෝ නිදහස සීමා කරන්න හේතුවක් වුනේ නැහැ.

බුද්ධ පරිනිර්වාණයෙන් පස්සෙ සාසනය තුළ ආව අසීමාන්තික ගැටුම් වලින් පේනව ඒ භික්ෂු සමාජය පවා කොච්චර තුවාළ සහිතව හිටියද කියල. අර බුදුන් වහන්සේ පිරිනිවන්පාල තුන්මාසයක් යද්දිම ප්රථම සංගායනාවෙදි ආනන්ද හාමුදුරුවන්ට ස්ත්රිය සම්බන්ධ කරල චෝදනා දෙකක්ම එල්ල වුනා. මේ ආනන්ද හාමුදුරුවො නිදහස් වුනේත් අර පුරුෂ මූලික ආකල්පයේ ඉදන්මයි. එතනින් නොනැවතී මේක විකාශය වුනේ ඒ තුවාල සහිත ආකල්ප වලින්. එතනින් බුදු දහමට යම් යම් ස්ත්රිය පහත් කරන ආකල්ප ඇවිත් තියෙන්න පුලුවන් කමක් අනිවාර්යෙන්ම තියෙනව. රහත්බව තුළ වුනත් අර සංස්කෘතික ලක්ෂණ තුළින් නොමිදීමේ හැකියාව ඉතා හොඳින් පේන්න තියෙනව. ඒ වගේම ඒ සමාජයට මේ සියල්ලක්ම යහපත් දේවල් ලෙස පෙනුන බවක් ඒ ඉතිහාසය කියවද්දි පේන්න තියෙන දෙයක්.

ඒ වගේම ඒ සංකල්ප ඓතිහාසිකව සංවර්ධනය වෙලා ලංකාවට එනව. හිංදු බමුණු ආකල්ප විවේචනයකින් තොරව අපේ මිනිස්සු තමන්ගෙ හිසමත තියාගන්නව. ඒ ආකල්ප විවේචනය වූ අවස්ථා මේ සාසනය තුළම තිබුනත් ඊට වඩා පැවැත්ම, ඒකාධිකාරය පවත්වාගෙන යාමේ උවමනාව නිසාම ඒව ඒ විදියටම පැවතුනා. ස්ත්රිය පිළිබඳව සුරක්ෂිත අදහසක් ලෙස සමහර දේවල් පැවතුනත් ඒව අද වෙද්දි එයාලව යටපත් කරන වාක්ය බවට පත්වෙලා තියෙනව.

මේ බොහෝ බණ කියන අය මේ විදියෙ කතා කියන්නෙ අර ඓතිහාසිකව එන පුරුද්දෙන්. ඒ අයට බුදුන්වහන්සේ පෙන්වා දුන්න නූතනත්වය, ප්රජාතන්ත්රය, නිදහස, අයිතිවාසිකම් ගැන අදහසක් නැතුව නෙමේ. නමුත් ඒව මිනිස්සුන්ට කියන්න ඉදිරිපත් වෙන්නෙ නැහැ. ඒකට එක හේතුවක් මේ දේශණා අහන මිනිස්සු. නිවන ගැන, පැවැත්ම ගැන, නැවැත්ම ගැන, උපත ගැන, මරණය ගැන, ලෙඩවීම ගැන, ලිංගිකත්වය ගැන මේ හැමදේකටම ඔය කියන ඓතිහාසික භාවය ආරූඪ වෙලා තියෙනව. බොහෝවිට අපේ මිනිස්සු තුළ නිවන ගැන තියෙන ආකල්පය මේකට හොඳම උදාහරණයක්. නමුත් මේ ඓතිහාසික බවෙන් මිදිල ඉදිරියට යමින් බණ කියන මිනිස්සුන්ගෙ වටිනාකම දන්න දේශකයොත් නැතුවාම නෙමෙයි.

 

-ගුරුගොඩ සිරිවිමල-




 

Wednesday, March 18, 2020

‌‌‌බෞද්ධයකු වන්න උත්සාහ ගන්න එපා


|Mawbima|Young -යං|සංස්කරණයPramesh Wickramasinghe
(සම්පූර්ණ ලිපිය කියවා පමණක් ඔබගේ අදහස දක්වන්න.)

ආගමිකමය අපරිණතකම් මැද ජීවත් වන පූජ්‍ය සහ පූජක සංස්ථාවකුත් එයටම ගැලපෙන දායක සභාවක් ද හිමි සංස්කෘතික පරිසරයක ශිෂ්ට මිනිස්සුන්ට ජීවත් වෙන්න වෙනව කියන්නෙ හරි ඛේදනීය අත්දැකීමක්.
හැම දෙයක්ම රත්තරන් පාටින් තිබුනට ඒ හැම දෙයක්ම රත්තරන් නොවන බව අපිට කියල දුන්නෙ බුදු හාමුදුරුවෝ. දවසක් කොසොල් රජ්ජුරුවන් සමඟ සම්මුඛ වන මොහොතක.
"සමහරවිට මැටි කල වලටත් රත්තරන් ආලේපනය කරල තියෙන්න පුලුවන්"
ඒව සැබෑ රත්තන්ද නැද්ද කියන කාරණාව හුදෙක් පරිහරණය තුළින්ම දැනගත යුතුයි. දැන් අපිට වැටහෙන සමාජ දේශපාලනික ආගමික උන්මාදය අපි වසර ගණනාවක්ම තිස්සෙ අද්දකින දෙයක්. ඒකෙ ඇසුර අපිට තියෙනව. ඉතිං දැන් අපි දන්නව මේක රත්තරන්, මේක මැටි කියල අදහසක් අපේ මනසට ගන්න.
රිද්දගෙන රිද්දගෙන ගිහිල්ල හූරල පතුරු ගහල එපා වෙලා තියෙන මැටි කල වලට අපි දැන් කරන්න දෙයක් නැතිව බලං ඉන්නව නේද? ගැටළුවට විසදුම තියෙන්නෙ අපේ හිත් ඇතුළෙමයි. තව දුරටත් මැටි ඇසුරු කරගෙන පවත්වාගෙන යනවද? රත්තරන් නිශ්පාදනවලට තැනක් දෙනවද? රත්තරන් පළදිනවද? කියන අදහස දැන්වත් අපි ඔළුවට දාගන් ඕන. මේක කරන්න අමාරුයි. හැබැයි අමතක කරන්න එපා. කරන්න අමාරු හොඳ දේවල් කියල. ඒ නිසා කරන්න ලේසි වෙන නරක දාහට වඩා කරන්න පුලුවන් අමාරුම එකම එක දෙයක් තියෙනවනම් මුලු ජීවිත කාලෙම වුනත් ඒ වෙනුවෙන් කැප කරාට නරකක් වෙන්නෙ නෑ.

ලෝකයේ අතිමහත් ප්‍රසාදයක් ලබාගෙන ඉන්න දලයි ලාමා තුමා ලස්සන කතාවක් කියල තිබුන.
"බෞද්ධයකුම වෙන්න උත්සාහ කරන්න එපා. ලෝකයට බෞද්ධයන්ගෙන් හිඟයක් නෑ. කරුණාවන්ත වෙන්න උත්සාහ කරන්න. ලෝකයට කරුණාව බොහෝ අවශ්‍යයි"
අපි දැන් කොතනද ඉන්නෙ. එකම රටක්, එකම ජාතියක්, එකම ජනසමාජයක්, එකම ආගමක් රකින්න දිවා රෑ අනවශ්‍ය වූත් විහිළු සහගත වූත් උත්සාහයන් රාශියක් ගන්න මොහොතකයි අපි ජීවත් වෙන්නෙ. ඒ ජන සමාජයෙම ආගමික සංස්ථාව පාලනය කරන පූජකවරු අටෝරාසියක් වැරදි පූර්වාදර්ශ දෙද්දි ජනසමාජය තමන්ගෙ මනුෂ්‍යත්වය අභිබවා ගියා ආගමිකමය වූත් දේශපාලනික වූත් අදහසක ඉදන් ඒ වැරදි නිවැරදි කරන්න උත්සාහ දරණ මොහොතකයි අපි ජීවත් වෙන්නෙ.
තවත් මොහොතක පුංචි දරුවෙක්ට ගහල තමන්ගෙ සාහසික මානසිකත්වයන් පුංචිම පුංචි ගුටියක්වත් විද දරාගන්න බැරි ළමා මනසකට ප්‍රචන්ඩත්වය පුරුදු කරමින් ඉන්නව.
හැබැයි ලෝකය! ලෝකයේ මිනිස්සු විසින්ම කරන විවිධ වැරදි නිසා කැළේ ඉන්න කිසිම වරදක් කරල නැති අහිංසක සත්තු ගිනි අරං දැවෙනව.
ඉතිං දැන් අපි තේරුම් ගන්න ඕන ආගමිකමය හෘදය වස්තුවක බෙඳුන හැම කුටීරයක්ම වෙන් වෙන්නෙ තමන්ගේ වන දෙයක් බලෙන් රැකගෙන යුද්ධයක් කරල හරි ස්ථාවර වෙන්න කැමති තැනක. ඒ හෘදය වස්තුවල තියෙන්නෙ සැරව. ඒ සැරව වලින් හමන දුඟද අපුලයි. ඒ අපුල නිසා කරුණාවේ තියෙන සුගන්ධය මැකිල යනව. ඒ සැරව අපිට ලීටර් වලින් ගණනය කරන්න බැරි දෙයක්. නැවත නැවතත් අමනුශ්‍ය උල්පතකින් මතුවන දෙයක් ඒක.
දලයි ලාමා තුමා අපිට කියන්නෙ මේ ලෝකෙම තියෙන සැබෑ ප්‍රශ්නය. එහෙම නැත්තං මේ හමන තද රස්නය ඇති සුළං පහරවල් වල තිබෙන බයංකාර බව ගැන. මේ ලෝකයේ ඉහළින්ම සිටින මිනිස් ප්‍රජාව කරුණාවන්ත නොවීමේ විපාකය ගැන.
ඉතිං අපි කරුණාවන්ත විය යුතුව පවතිනවා. මේ ජනසමාජය තුළ කිසියම් වූ ගෝත්‍රික ස්වභාවයකට මැදිහත් වෙලා තමන්ගෙම සමාජයක්, තමන්ගෙම ආගමක්, තමන්ගෙම රටක් රකින්න හදන වෙලාවෙ අපි විසින් රැක ගත යුතුව පවතින්නෙ අපේ කාරුණික බව පමණමයි.
ආදරය ආගමක් වෙලා, ජාතිය මනුෂ්‍යත්වය වෙච්ච දවසට අපිට තේරෙයි අපි මෙච්චර දවස් රකිමු කියල උත්සාහ කරල ගත්ත උපක්‍රම ඉතා වැරදි බව.
තමන්ගෙ රට, තමන්ගෙ ජාතිය, තමන්ගෙ ආගම රැකෙන්නෙ තමන්ගෙ හිතේ තියෙන කාරුණිකත්ව මතමයි. අන් දෙයක් මතනම් නෙමෙයි.
"බෞද්ධයෙක් වෙන්න හදනවට වඩා අප උත්සාහ කළ යුතුව ඇත්තේ කරුණාබරිත කාරුණික මිනිසකු වීමටයි. එවිට ඔබ ඉඹේම බෞද්ධයකු වනු ඇත!"

|ගුරුගඩ සිරිවිමල



Tuesday, December 31, 2019

දෙදහස් දහනවයට සමුදීම

|Mawbima |Young -යං - සංස්කරණය- Ayantha Yunesh Fernando |අසපුව -Gurugoda siriwimala

 ❝මිනිස්සුන්ට කතා කරන්න ඉගෙන ගන්න. හැමෝටම ආදරේ කරන්න. අනිත් අයගෙ නිදහසට ඉඩ දෙන්න.❞ 

මේ ජීවිතේ හරි ම කෙටියි. කාලය යනවා තේරෙන්නේවත් නෑ. අවුරුද්දක් ඇතුළෙ අපිට කරන්න තියෙන වැඩ අවුරුද්දේ දින ප්‍රමාණයටත් වඩා වැඩියි. ඉතින් අපි ඒ නිසා බලාපොරොත්තු සහගතව සහ වීර්යවන්තව ඒ මොහොතට මුහුණ දෙන්න ඕනේ.

මේ අවුරුද්ද ඇතුළෙදී ඔබට තේරෙන්න ඇති අපි පක්ෂ විදියට බෙදිලා ඉන්න එකේ තේරුමක් නැති බව. ළඟ ම ඉන්න මිතුරා තරහ කරගෙන, ඔහුට කේලම් කියලා, කොටවලා, රණ්ඩු කරලා වැඩක් නැති බව ඔබට තේරෙන්න ඇති. ආගමික වශයෙන් බෙදිලා හිටියට ආගමික ශික්ෂණය අල්පයක් හෝ ප්‍රගුණ නොවන බව ඔබට දැනෙන්න ඇති. ජාතීන් විදියට බෙදිලා හිටියට ගොඩනැඟෙන සාමයක් හෝ එක්සත් බවක් නැති වග ඔබට තේරෙන්න ඇති. ඉතින් 2019 වසරේ දී මේ ටික තේරුම් ගත්තේ නැත්නම් මම ඔබෙන් ඉල්ලා සිටිනවා ⁣විස්සයි විස්සට තවත් පියවරක් තබන්න එපා කියලා. ඔතන ම නතර වෙලා නැවත හිතන්න. 

මේ සීමා ඉරි අලුත් ම දේවල්. ඒ වගේ ම පරණ ම දේවල්. මේ කිසිම දෙයක් තුළින් නෙමෙයි අපිට සහනය, සතුට, සොම්නස ලැබෙන්නේ. අපි අපේ ස්ටයිල් එක ඇතුළෙ කොයි තරම් දුරට සාර්ථක වෙනව ද කියන තැනයි තෘප්තිය ගොඩනැඟෙන්නේ. අන්න ඒ නිසා අපි අපේ වෙන්න උත්සාහ නොකරනවා නම් මේ ගොඩනඟන්න හදන කිසිදු දෙයක් සාර්ථක ව්‍යායාමයන් බවට පත් වෙන්නේ නැහැ.

මම ඔබෙන් ඉල්ලා සිටිනවා කොයියම් ම වේලවකදිවත් මගේ රට, මගේ ආගම, මගේ ජාතිය යනුවෙන්  හිතන්න එපා කියලා . අපේ රටේ, අපේ ආගම, අපේ ජාතිය කියන තැන ඉදන් හිතන්න. අපේ රට අපිට වටිනවා වගේ ම, අපේ ආගම අපිට වටිනවා වගේ ම, අපේ ජාතිය අපිට වටිනවා වගේ ම අනිත් අයටත් එයාලගේ රට, එයාලගේ ආගම, එයාලගේ ජාතිය වටින බව හිතන්න. කොයි තරම් අමාරුකම් ආවත් ජාතිවාදී නොවන්න, ආගම්වාදී නොවන්න උත්සාහ කරන්න. තමන් තමන්ගේ දේට වැඩි නැමියාවක් දක්වන එක නරක නෑ. හැබැයි හොඳමත් නෑ කියලා තේරුම් ගන්න.

මම ඔබෙන් ඉල්ලා සිටිනවා මොන තරම් අගහිඟකම්වලින් පිරිලා, මිරිකිලා හිටියත් අනුන් වෙනුවෙන් යමක් කරන්න අමතක කරන්න එපා කියලා. අනුන් වෙනුවෙන් ජීවත් වෙන්න මිල මුදල් අවැසි නොවන වග ඔබට ඉතා ඉක්මණින් තේරේවි. අනිත් අයගේ මූණට හිනාවක් දෙන්න, අනිත් අය එක්ක හිනාවෙන්න, කතා කරන්න. ඒ අයගේ හිත නොරිද්දා එයාලගේ වරද පෙන්වා දීම වටිනවා කියල හිතට ගන්න. 

මම ඔබෙන් ඉල්ලා සිටිනවා මොන වැඩේ තිබුණත් අවුරුද්දට පොත් තිහ, හතළිහක්වත් කියවගන්න උත්සාහ කරන්න කියලා. ලෝකේ තියෙන ලස්සන ම සංගීතයන්, ලෝකේ තියෙන ලස්සන ම ලස්සන දේවල් පුළුවන් තරම් විඳින්න උත්සාහ කරන්න. මේ ජීවිතේ කිසියම් ම වූ අවස්ථාවකදී අපි අන්ත අසරණ වෙනවා. කරකියාගන්න දෙයක් නොමැති තරමට ම පීඩාවට පත්වෙනවා. ඒ දුරස්ථ හෝ ළඟ ම හේතු නිසා විය හැකියි. ඒ ඔබට එන හැම කරදරයකදීම ඔබ කියවපු පොත්වලින්, අසපු සංගීතයෙන්, විවිධ තැන් සංචාරය කීරිමෙන් ලබපු වින්දනය  නැවත නැවතත් මතක් කරගන්න. එතකොට සැනසිල්ල ලැබෙයි. හැමවෙලේ ම ධනාත්මකව හිතන්න. ධනාත්මක හිතන තරමට ම අපිට අපේ සහ මේ ලෝකයේ අඩුපාඩු අපිට පේන්න පටන් ගනියි. 
මට ගිය අවුරුද්දේ අග ලැබුණ ලොකු ම සහ ආදරණීය ම අවවාදයක් තියෙනවා. මම හිතුවා එය ඔබ එක්ක බෙදාගන්න.

❝මිනිස්සුන්ට කතා කරන්න ඉගෙන ගන්න. හැමෝටම ආදරේ කරන්න. අනිත් අයගේ නිදහසට ඉඩ දෙන්න.❞ 

මේක දේව වාක්‍යක් වගේ හරියට. නැහැදිච්ච මනුස්සයෙක් ශික්ෂණයට ලක්වෙන්නේ ඉබේට ම. කොයි තරම් වෙහෙස මහන්සිය තිබුණත් ඔබ තුළ තියෙන ආදරය පිරිහීමකට ලක්වෙන්න ඉඩ දෙන්න එපා. ජීවිතේ ළඟින් ම හිටිය අය අමතක කරන්නවත්, දාල ගිය අයට වෛර කරන්නවත් එපා. ඒ කිසි දේකින් අපේ මානසික සැනසිල්ල අපිට ලැබෙන්නේ නැහැ.

දරාගන්න අමාරු ම නික්ම යාමකට මේ අවුරුද්දේදී මට මුහුණ දෙන්න සිද්ධ වුණා. හැබැයි ඒ නික්ම යාමෙන් ඇති වුණ දුක මට අමතක කරන්න ධර්මය, ආගම, ආදරය, යාළුවෝ, කලාව, සාහිත්‍ය, ඇසුරු කරන දේශපාලනය, පුදුමාන්තර විදියට වැදගත් වුණා. ඒ නිසා ම මම විශ්වාස කරනවා මේ අවුරුද්දේ අග වෙද්දී ලෝකේ වටින ම තෑග්ග ලැබුණේ මට කියලා.
හැකි තරම් ආදරණීය වෙන්න; හැකි තරම් ලෙන්ගතු වෙන්න. තමන්ගේ අරමුණුවලට වැඩ කරන්න පසුබට වෙන්න එපා. 

ජීවිතේ මිස් කරගන්න එපා! ඒ ඉතාමත් කෙටි දෙයක්.

|ගුරුගොඩ සිරිවිමල



Full article - https://mawbima.lk/backend/uploads/e_paper/Young-31-12-2019.pdf

Thursday, September 19, 2019

වාරණය හා සත්‍යය

රැස පුවත්පතෙහි පළ වූවකි. |2019. 09. 17
ශක්තික සත්කුමාර ලියූ “අර්ධ“ කෙටි කතාව සමාජයේ මහත් ආන්දෝලනයකට ලක් විය. එහි නිර්මාණාත්මක රසයන් විවේචනය නොකරමින් දෘශ්ඨි වාදයවත් නොගනිමින් යම් සිවුරු දරාගත් කණ්ඩායමක්(ඔවුන් භික්ෂූන් යැයි පැවසීම වරදකි.) ශක්තිකට එරෙහිව අධිකරණයේ කරුණු ඉදිරිපත් කරමින් මේ මහපෙළොවේ නිර්මාණාත්මකව පැලවිය යුතු දෘෂ්ඨිවාදයක් සහමුළින්ම මුළිණුපුටා දැමීය. ඒ නිර්මාණය මා කියවාගත් පරිදි වත්මන් භික්ෂු පරපුරේ අර්බුධය ගැන යම් ඉගියක් දෙන නිර්මාණයකි. එකී දෘශ්ඨිය මේ මහපොළොවේ පැළවුවා නම් හෙට බිහිවෙන තරුණ භික්ෂූන් ඛේන්දාන්තයකට නොයා ඉන් මිදීමට අවැසි අවකාශය සාදනය වෙනවා යැයි මම විශ්වාස කරමි.
කෙ‍‍සේවුවද පාඨක සිවුරු දරන්නන් කණ්ඩායම මෙකී දෘශ්ඨිය නැමැති සර්පයාගේ නැට්ටෙන් අල්ලාගන්නට විය. ඉන් නිර්මාණයටත් සකළ නිර්මාණකරුවර්න්ටත් සෘජු අසාධාරණයක් විය. එය නැවත කෙසේ නිවැරදි කළ හැකිද යන්න පිළිබදව මට අදහසක් නැත. මන්ද යත් තවදුරටත් පාඨක සමාජයක් ලෙස පාඨකයා ඉල්ලා සිටින්නේ කාකි නිළ ඇදුමෙන් වසා ගත් නෛතික විචාරයක් ම වන නිසාය.
එකී විචාරය ඔවුන්ටම තබා ගන්න යැයි කියමින් ශක්තික නැමැති ලේඛකයා, සැමියා, පියා යන සකල වගකීම් නියෝජනය කරන මේ මහපොළොවේ මිනිසත් කම් පැළකරන්නට උත්සුක වන්නා පිළිබදව යමක් ලියමි.
ඔහු ලියූ කෙටි කතාව ඉතා නීරස එකකි. එය ඔහු විසින් ලියන ලද කෙටිකතා කලිං කියවූ මා වැන්නෙකුට ශක්තික නම් නිර්මාණකාරයාගේ අවසාන සමය දැයි සිතෙන තරමටම අදහස් පහළ විය. අනවශ්‍ය ලෙස රැඩිකල් වීමට ගොස් පොට වරද්දාගත් ලේඛකයෙකු ලෙස මට ඔහුව දැනේ.
මෙහිදී සාකච්ඡාවට බදුන් කෙරෙන්නේ නිර්මාණයේ ඇති හොද නරක නොවන නිසා ඒ පිළිබදව කතා නොකරමි. මේ ලියන්නේ ශක්තික නම් නිර්මාණකාරයාට සිදු වූ අසාධාරණය පිලිබදවය.
මෙතුවක් කල් සාහිත්‍ය නිර්මාණයන්හි විචාරයන් සිදු කළේ ඒ සදහා වෙන් වූ පාඨකයා සහ සාහිත්‍ය උගතුන්ය. එකී සමාජයට පොලිස්, ලෝයර්, හාමුදුරුවරු, පූජකවරු, විවිධ විශයප්‍රාප්ත මහාචාර්ය වරුන්ගේ සිට සමාජයේ සෑම ක්ෂේත්‍රයකම අය උනන්දු විය. එය හිදෙක් සාහිත්‍ය තුළින් පුද්ගල කෝන්තර පිරිමසා ගැනීමට එල්ල කරන ලද අවියක් නොවීය.
පසුකාලීනව (මට මතක දශකයක සීමාව) මෙරට මුල් බැසගත් සෑම ආගමක අන්තවාදී ලක්ෂණත්, සෑම ජාතියකම ජාතිවාදී ස්වභාවයත් ආගමික, සාමාජික, සංස්කෘතික, ආදී සමාජ ක්ෂේත්‍රයන්ගේ ගෙළවට දක්වාම ගිලී තිබෙන බව නොරහසකි. එහි දිගුවක් ලෙස එය සාහිත්‍ය කරා ද පැමිණීම වලක්වාලීමට නොහැකි විය. එයට හේතුවන්නේ මේ අදුරු ආගම්වාදයටත් ජාතිවාදයටත් උඩගෙඩි දෙන පාලකපංතිය විසින් සාහිත්‍ය වන්දිබට්ට සේවයේ යොදවාගැනීමයි. එහි ප්‍රතිපලයක් ලෙස සාහිත්‍ය කරුවා උඩකී සෑම ආකාරයකම අන්තවාදයට නැඹුරු වූ අතර සැබෑ සාහිත්‍ය විකල්ප ධාරාව නමින් එළි බසින්නට විය. එහිදී විකල්ප සාහිත්‍ය කරුවා මිනිස්කම සහ ආදරය ඉල්ලූ අතර එයට ප්‍රතිවිරුද්ධව ආණ්ඩුවටත් ආගම්වාදයටත් ජාතිවාදයටත් කඩේ යන නිර්මාණ සෑම කල්හිම සැබෑසාහිත්‍ය නමින් පෙනී සිටියහ. ඒ අනුව විකල්ප මත දාරීන් නිරාගමික, දේශද්‍රෝහීණ් ලෙස හංවඩු ගැසුනු අතර ජාතිමාමක දේශප්‍රේමීන් ලෙස ආගම්වාදී ලෙය ට ලෙයඉල්ලා සිටින ඇසට ඇසක් ඉල්ලා සිටින වුන් හැදින්වින. පාඨක සමාජයද බෙදී වෙන් වී සිය සාහිත්‍ය වින්දනය කරගෙන ගියහ.
‍මේ තත්වයේ බීත ස්වභාවය වැඩීමට පටන්ගත් අතර එහි ප්‍රතිපලය වූයේ සාහිත්‍ය කරුවාගේ සැබෑ මෙවෙර කරමින් සිටි නිර්මාණකරුවන් කුදලාගෙන ගොස් සිරගත කිරීමය. එකී තත්වයට පත්වෙමින් ශක්තික සත්කුමාර ද පසුගිය දිනෙක නීතිමය ප්‍රශ්නයකට මැදි වී සිරබත් කන්නට ද සිදු විය. එය ඉතා කේදජනක සිදු විමකි. මෙකී අර්ධ නම් කෙටිකතාව යම් අයෙකුට විවේචනය කළ යුතුව තිබුනේ සාහිත්‍ය විචාරයක් ලෙසින්ය. ඒ වෙනුවට පොලිස්සියෙන් හෝ ආගමික වහන්තරා තුළ සිරගත වෙමින් සිටින අන්ධ භක්තික මන්ධ බුද්ධිකයන්ගේ හොද හෝ නරක කීම කෙටි කතාවකට අවශ්‍ය වන්නේම නැත. තම සීමාව ඉක්මවා යමින් බුදුන් වහන්සේට අපහාස වෙනවා යැයි බුදුන් වහන්සේට හොදම අපහාස කලේ සංඝරත්නය යැයි කියා ගන්නා ප්‍රශ්නයක් ඇති කළ චීවර දාරීන්මය. ඔවුන් සිය ශාස්තෘෘන් වදාල දර්මය උල්ලංඝණය කරමින් සාහිත්‍යත්, ආගමත්, දර්ශනත් එකට පටලවාගනිමින් දැනටමත් අච්චරුවක් වී සැදැහැවත් බෞද්ධයාට ද බෞද්ධකම එපා කරවන්නට විය.
මෙහිදී සාහිත්‍ය හුදෙක්ම සාහිත්‍යක් ලෙසින් දැකිය යුතු වීම සිදුවිය යුතුව තිබුනත් එය අවියක් කරගනිමින් මං පොර මානසිකත්වයෙන් බුදුන් වහන්සේට අපහාස වනවා යැයි නඩු දැමීම යුත්ති යුක්තද යන්න පිළිබදව සාකච්ඡා කළ යුතුය. බුදුන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අතරින් “කොපුව තුල සැගවුන පුරුශ නිමිත්ත“ යන්න ශක්තිකගේ කෙටි කතාව තුල ප්‍රශ්න කර ඇත. එය ලේඛකයාගේ භාෂණයේ අයිතියකි. මෙහිදී පළමු වැන්න නම් බුදු දහම යනු කිසිලෙසකින්වත් ප්‍රශ්න කිරීම නොකරන්න යැයි කියූ දහමක් නොවේ යන්නයි. ඒ අනුව ශක්තිකට දහම් පොත පතේ පැනෙන යම් දෙයක් වෙත්නම් ප්‍රශ්න කිරීමේ අයිතිය ඇත. එසේම එය බුද්ධකාලීන සංඝයා විසින්ද සිදු කරන ලද බවට තොරතුරු ලැබේ. දෙවැන්න නම් එවැනි පුරුශ ලක්ෂණ බුදුන්ට ඇත්තෙන්ම තිබුනාද යන්නයි. එය සාහිත්‍යාත්මකව බුදුන් වහන්සේගේ දහම බමුණු සමාජය තුළත් පසුකාලීනව හින්දූන්ට මුහුණ දීම පිණිසත් රැගෙන ආ එකල සාහිත්‍යෙය් පැනෙන්නකි. එය සැබෑ බුදු දහම ලෙස ගැනීම සැබෑ බෞද්ධයෙකුට කළ නොහැකි දෙයකි. භික්ෂුවකටනම් තරම් නොවේමය.
සාහිත්‍යෙය් ඇති එවැනි මිත්‍යා කතාන්දර යථාර්ථවාදීව ප්‍රශ්න කිරීමට ලේඛණයේ යෙදෙන්නකුට අයිතියක් ඇත. එහි දී එය සාහිත්‍යය ප්‍රබන්ධයක් ලෙස පාඨකයා ගෙන මෙහි යථාවාදය විමර්ශනය කරනවා විනා බුදුන්ට අපහාස වී යැයි ආදී ගොන් කතා කීම පාඨකකාර්ය නොවන සේම උගත් පොලිස් මහත්වරුන්ද දත යුතු කරුණකි. සාහිත්‍ය විචාළ යුත්තේ හිර කූඩුවල හෝ පොලිස් ස්ථාන වල නොවේ. ඉන් පිටත වූ ශිෂ්ට පරිසරයේ ය. එහිදි රසඥතාවයකින් යුත් පාඨකයන් පමණක් විචාරය සිදු කළ විට හොදටෝම සෑහේ.
එසේම මෙහිදී වැදගත් වන කරුණක් වන්නේ,
මින් බෞද්ධ හිදී ජනයාගේ හැගීම් වලට හානියක් සිදු වීද යන්නයි. එය කිසිසේත්ම සිදු වී නොමැත යන්නට බෞද්ධ පාඨකයෙක් ලෙස මම ද පෙනී සිටිමි. මගේ හැගීම් වලටනම් අර්ධ නිර්මාණය තුළින් හානියක් නොවීය. තවද ශක්තික විසින් කරන ලද මේ කෙටි කතාව හැර අනෙකුත් කවි සේම කෙටි කතා තුලින්ද කිසියම් පාර්ශවයකට හානියක් නොවූ බව කිව යුතුය. මාගේ පෞද්ගලික විශ්වාසයනම් පවත්නා දැඩි අන්තවාදී මත ස්වරූපයන් නිසා මෙවැනි තත්වයක් නඩු දැමූ චීවරදාරීන් තුල ද තිබෙන්නට ඇත. එය හොදින් පැහැදිලි වන්නේ නඩු දැමීම සදහා ඉවහල් කරගන්නා පනත් කෙටුම්පතය. ඒ පිළිබදව මට වැඩි කියැවීමක් නොමැති නමුත් බරපතල චෝදනාවකට වරදකාරයකු කිරීම සදහා ගෙන්වන පනතකින් කෙටි කතාවක් වැනි කිසිදු ආකාරයක හිංසනයක් නොවන සාහිත්‍යානන්දය ඇති කරවන දෙයකට නඩු පැවරීම ඉතාමත් වැරදිය

අනෙක නම් මෙය සන්නිවේදයනය කර ඇති මාධ්‍යයි එය මුද්‍රිත නොවන මුහුණ පොතවැනි සමාජ මාධ්‍යක සංසරණය කරවූවකි. පසුව එයද නිර්මාණ කරුවා විසින් ම ඉවත් කරගන්නා ලද්දකි. එය නැවත නැවතත් ප්‍රසිද්ධ වූවානම් වූයේ ප්‍රතිපක්ෂිකයා විසින්ම සමාජ මාධ්‍යයට එය නැවත මුදා හැරීම තුලිනි.
මෙවැනි කාරණා තුළින් නිගමන කිහිපයකට එලැබීමට මට හැකියාව ඇත.
01. ශක්තිකට වැටුනු සාහිත්‍යය වාරණය හුදු ආගම්වාදී ස්වරූපයකි.
02. පිරිනිවන් පෑ බුදුන්වහන්සේට හා ශක්තික වැනි චූල මිනිසෙකුට බුදුන්වහන්සේ වැන්නෙකුට අපහාස නොකල හැකි බව.
03. ප්‍රතිපාර්ශවය විසින්ම ඔවුන් ගෙනෙන තර්ක අමු අමුවේම බිද හෙළා ඇති බව‍
|ගුරුගොඩ සිරිවිමල

Sunday, June 30, 2019

"අහස් ඉම සිපගනිමි"

"අහස් ඉම සිපගනිමි"
කාව්‍ය කෘතිය ජනගත කිරීම.
කොළඹ මහවැලි කේන්ද්‍රයේදී ජූලි 03 දින සවස 02. 00ට


මුලසුන - rev. galkande dhammananda thero 
රාධිත ⁣⁣⁣දේශනය 01 - Chulananda Samaranayake
ආරාධිත දේශනය 02 - Sunanda Karunaratna
කථනය - Vidura Dias Abayagunawardana

INVITATION

BOOK COVER CREAT BY - NADUN YASITHA DASSANAYAKE





CHOOLANANDA SAMARANAYAKE 

Tuesday, May 14, 2019

ආදරය තියෙන තැනකින් ඇවිත් ඉදගන්න

පොඩි සාදුගේ ලියමන - මව්බිම - යං අතිේකය |සංස්කරණය - තිවංක විශ්වනාත්

05/14

 අපි සහෝදරයන් ලෙස පිළිගත් වටලප්පන් බෙදාගත් කැවුම්, කොකිස් බෙදාගත් ඉස්ලාම් සිංහල සුහදතාවය දැන් දැන් පලා යන බව ඇස් පනා පිට ඔප්පුවෙමින් පවතියි. 

අප්‍රේල් 21 මොනාද වුණේ? 
මල් දැකලා නැති මිනිස්සු ටිකක් සමනලයින්ට වෙඩි තිබ්බා. 
දැන් අපි මොනවද කරන්න ඕනෙ? 

පුළුවන් තරම් මල් වවන්න ඕන 

- ඉලක්ෂ ජයවර්ධන -

සහජීවනය වෙනුවෙන් කවි, ගීත, ඇතුළු කොටගත් සෑම සාහිත්‍යයක්ම ලිව්වේ සිංහල සාහිත්‍ය කරුවෝය. ෆාතිමාලා සමග අත්වැල් බැඳගෙන යාමේ පළමු පියවර තබන්නේ සිංහල ගේය පද කරුවෝය. ජෙයපාලන් නැමැති දෙමළ කවියා සිය දෙමළ භූමිකාව නියෝජනය කරමින් එහි ඇති අවුල් සමාජයට පෙන්වා දුන් කවියාය. මුස්ලිම් වුවද සිංහලෙන් කවි, ගී ලියන රිනාස් මොහොමඩ්, නිලාර් එම්. කාසීම් වැන්නෝද සිටිති. නමුත් දැන් දැන් ඒ ඉස්ලාමය පරාජිත වී ඇති සෙයක්ය. වගකීමෙන් වැඩ කළ යුතු මවුලවි වරු ඇතුළු ඉස්ලාම් සමාජයෙ දැන උගතුන් වගකීම් රහිතව බොලඳ කතා මාධ්‍ය වෙත පැමිණ දොඩවන්නට පටන් ගෙන ඇත. මවුලවි වරුන්ගේ පල්ලිය තුළින් අපරාධයකදී සැකකටයුතු ලෙස ගණන් ගැනෙන කඩු දහස් ගණනින් සොයාගෙන ඇත. සිංහල සමාජයෙන් කෙළ ඇබින්දක් ඔවුන් වෙත නොසැලුණ මොහොතක ඔවුන් සැකකටයුතු බව මහා සමාජය විසින් පිළිගනු ලැබීම යුක්ති හසගතය.

රජවරුනි මගේ කෝපයද 
මිත්‍රයනි මගේ ශෝකයද පිළිගන්න 
ඔය පේලියේ ලේ සුවඳ නම් 
ආදරය තියෙන තැනකින් ඇවිත් ඉදගන්න
 - දිනූ රාජගුරු - 

සිය සමාජයේ අන්තවාදය දකිමින් වසර ගණනාවක් තිස්සේ අරගල කොට ඒවායේ වැරැදි පෙන්වාදුන් ඉස්ලාම් භක්තිකයන් අපගේ මිතුරන්ය. සිය සමාජයේ වැරැදි සියැසින්ම දැකීම ඉතා යහපත් කාරණයකි. කිනම් සමාජයකින් වැරැදි පෙන්වූවද සිය සමාජයේ වරද සියැසින් පෙන්වාදීම වන තුරුම ඒ ගැටලුව නොවිසඳෙන්නක් බවට පත්වේ. නමුත් පාලකයා මේ වසර ගණනාවටම කර ඇත්තේ අන්තවාදී මතයට ඉඩ හසර විවර කරදීම පමණක්ය. මුස්ලිම් ඇමතිවරුන් සිය ජනතාවට මිත්‍යාව දී අමුතු දේශපාලනක් කරමින් සිටියහ. පාලකයා ලේ සුවඳ ඉව කරන්නට කැමති වන කල මහජනයා ආදරය බෙදාගන්නට උත්සාහ කරන යුගයක් හැම මොහොතකම මේ රටේ පැවතී ඇත. ඒ සිදුවීමම මේ මොහොතේද සිදුවෙමින් පවතියි. පාලකයා සිය පේළියේ සිටින්නවුන්ගේ ලේ සුවඳ ග්‍රහණය කරගනිමින් සිටින විට මහජනතාව ඉල්ලා සිටින්නේ ආදරය තියෙන පේළියකින් ඇවිත් ඉදගන්න යන ඉල්ලීම පමණක්මය. නමුත් පාලකයා එයට එකඟ නැත. ඉතිං මිතුරනි, මේ අප නැඟිටිය යුතු මොහොත නොවේද? මේ අපගේ ආදරය ඔවුන්ගේ ලේ සුවඳට වඩා ශක්තිමත් බව පෙන්වා දිය යුතු වේලාව නොවේද? 



|ගුරුගොඩ සිරිවිමල

Tuesday, May 7, 2019

අවමංගල්‍යාධාර ලන්තය

මෙරට දේශපාලන ව්‍යුහය ඉතා අසාර්ථක එකක් බව ලියන්න ගත් මුල් වතාවේ සිට මේ මොහොත වන තෙක්ම මම නිතර නිතර පවසා ඇත. අප පාඩම් ඉගෙන නොගන්නා ජාතියකි. මෙරට දේශපාලන වැරදි නිසාවෙන් අනාථ වූ, මියැදුන ජීවිත කෙතරම්ද යන්න මා හට පැවසිය නොහැකිය. මන්ද යත් ශ්‍රී ලංකාවාසීන් සැවොම මෙරට දේශපාලන ක්‍රමය තුළින් අනාථ වූ අම්මෙක් අප්පෙක් නොමැති, රටක්, ජාතියක් නොමැති, අනාථයන් බවට පත්ව ඇත.ඉතිහාසයේ වරද නිවැරදි කරගනිමින් රට පවත්වාගෙන යාම පාලකයන්ගේ වගකීමය. මෙරට පාලකයාගේ මන්ද බුද්ධික දේශපාලන ක්‍රියාවලිය නිසා ඉතිහාසය සොයාගැනීමට වඩා ඉතා අමාරු දේ වර්ථමානයේ ජීවිතය සොයා ගැන්මය. වසර ගණනක ප්‍රෞඩත්වය එක් තැනකට ගාල් කර වර්ථමානය දෙස විපරම් කල විට වර්ථමානයේ දී ලංකාවේ ප්‍රෞඩත්වය රදා පවතින්නේ කිසිදු දෙයක් නොකල, කිසිඳු දෙයක් නොමැති රටක්, ජාතියක් යන තැනකය. 

රටේ ගංවතුර ප්‍රශ්නය ජාතික ප්‍රශ්නයක් වී ඇති මොහොතකි මේ. සතියක් වැසි වැටුන⁣හොත් ලංකාවේ කිනම් හෝ ප්‍රදේශයක් ගංවතුර තත්වය නිසා විශාල පීඩාවකට පත්වන බව නොරහසකි. ලක්රජය විසින් එයට විසඳුම් දෙන්නේ ඒ පීඩාවට පත්වූවන්ට බත බුලතින්, මිළ ⁣මුදලින්, ගෙයින් දොරින් වන්දි ලබා දෙමිනි. 




රටේ බරපතල ව්‍යසනයන් සිදු වූ සෑම මොහොතකදීම මෙරට රජයන් විසින් හේතුව සොයා එතැනට ⁣බෙහෙත් කරනවා වෙනුවට ඵලය අල්ලාගෙන ඒ ඵලය උඩ දැමීමය. 
මේ මොහොත යනු මහජනතාව විශාල බියකින් කල් ගෙවන මොහොතකි. රාත්‍රී 9 -10 පසූ වූ විටත් විශාල මාර්ග තද බදයක් පෙනුනු ලංකාවේ මාර්ග පද්ධතිය අද ජන ශූන්‍ය පාරාදීස බවට පත් වී ඇති බව අප අත්දකිමින් ඇත. සියළු පැතිකඩයන් අක්‍රිය වී විශ්ව විද්‍යාල, පාසැල්, වෙනත් විභාග කටයුතු සියල්ලම දින නොදක්වා නිවාඩු ලබා දී ඇත. මේ සියල්ලම සිදු වූයේ ත්‍රස්තවාදීන්ගේ අමනෝඥ ක්‍රියා අභිමුවය. 
ඒ ත්‍රස්තවාදී බල ඇණියේ ප්‍රශ්නය විසඳනවා වෙනුවට මෙරට රජය මේ මොහොතේ කරමින් සිටින්නේද ඉහත කී ව්‍යසනයන් ඉදිරියේ ඒ ප්‍රශ්න වලට විසඳුම් සෙවූ ආකාරයටමය. මේ ලියන මොහොත 2019. 05. 03 වන දිනය වන විට ත්‍රස්ත ප්‍රහාරය සිදු වූයේ කිනම් ත්‍රස්ත කණ්ඩායමකින් ද? ISIS ත්‍රස්තවාදීන්ගෙන්ද? මෙරටම වෙසෙන ත්‍රස්තවාදී කොටසකින්ද?⁣ මෙරට වෙසෙන පිරිසක් කිනම් හෝ ත්‍රස්තවාදියෙකුගේ උදව් ලබා ගනිමින් කරන ලද්දක් ද ? යන්නවත් පැහැදිලිව දක්වා නොමැත. නමුත් රටේ වගකිව යුතු ආයතන රාශියක නිළයන් මාරු කරමින්, ස්ථාන මාරු ලබා දෙමින් එකිනෙකා මත වරද පටවමින් වගකීම් විරහිතව කල් යල් ගෙවති. ඒ සියල් අසු අස්සේ පාලකයන්ද, මහජනතාවද, ජාතිවාදී, ආගම්වාදී අමුතු දේශපාලනයක් කරමින් සරත් ෆොන්සේකා මහතා දිනක් පැවසුවා සේ කානිවල් ජීවිතයකට මුහුණ දෙමින් සිටිති. මෙය රටේ ආරක්ෂාව පිළිබද ප්‍රශ්නයක් ය, එය විසඳිය යුතුය, යන මහජන උවමනාව වත් මහජනයා රැකිය යුතු පාලකයන්ගෙන් ⁣තවමත් නොපෙනී ඇත. රටේ ආරක්ෂක මුරදේවතාවුන් වන්ව ත්‍රිවිධ හමුදාවන්, පොලීසිය වගකීම් සහගතව තනි සටනක් කරනවා නොවන්නට මේ වන විටත් ලංකාව විශාලාවක් වී හමාර බවනම් කිව යුතුමය. ත්‍රිවිධ හමුදාවත්, පොලීසියත් ගෞරවයෙන් සිහිපත් කල යුතු වන්නේ එබැවිනි. 
මේ සියළු ප්‍රශ්නයන්ට විසඳුමක් ලෙස රජය පරණ සෙල්ලමම සිදු කරමින් 21වන දා සිදු වූ ත්‍රස්තප්‍රහාරයෙන් මියගිය අයගේ පවුල් වලට මුදල් වන්දියක් ගෙවා මියගිය අයවලුන්ට මුදලක් නියම කර ඇත. ඒ මදිවාට රටේ අගමැති වරයා කාදිනල් තුමන්ගේ ආරක්ෂාවට යැයි කියමින් සිය වෙඩි නොවදින රථයක් එතුමන්ට ලබා දෙන්නට ක්‍රියා කර ඇත. නමුත් කාදිනල් තුමා පවසා ඇත්තේ රටේ මහජනතාවට ආරක්ෂාවක් ලබාදීම පිණිස වැඩ පිළිවෙලක් නොමැති කළ තමන්ට කුමට ආරක්ෂාවක්දැයි කියමින් එය ප්‍රතික්ෂේප කර ඇත. ආගමික පංතියට වරදාන වරප්‍රසාද ලබා දෙමින් චූන් කරන්නට හදන පාලකයන්ට ගැසූ බරපතල කනේ පහර පිළිබඳව කාදිනල් තුමා පිළිබඳව මට ඇත්තේ පැවසිය නොහැකි ප්‍රීතියකි.


එසේම දින නියමයක් නොමැතිව නවාඩු දුන් පාසැල් වල නැවත වැඩ ආරම්භ කරන්න යැයි කියමින් අධ්‍යාපන අැමති වරයාද දරුවන්ට මිළක් නියම කර ඇත. "ආරක්ෂාව පිළිබඳ වඳ වෙන්න එපා. අපි දරුවන්ට රක්ෂණයක් ආරම්භ කරල තියෙනවා" වැනි කතාවක් පවසා සිටී. 
පොඩි සාදුට තේරෙන අයුරින් මෙය රටක්ද? අවමංගල්‍යාධාර සමිතියක් දැයි  සිතා ගන්නට බැරිය. ව්‍යසනයන් වලක්වනවා වෙනුවට ව්‍යසනයක් වූ පසු වන්දි ගෙවීමට රජයක්, පාලකයෙක් රටවැසියාට අවැසිද?


|ගුරුගොඩ සිරිවිමල
මව්බිම - යං අතිරේකය - ‌පොඩි සාදුගේ ලියමන තීරුලිපිය - 2019‍‍‍‍‍.05. 07 - සංස්කරණය, තිවංක විශ්වනාත්