Showing posts with label කාව්‍ය සංග්‍රහ රස වින්දන ලිපි. Show all posts
Showing posts with label කාව්‍ය සංග්‍රහ රස වින්දන ලිපි. Show all posts

Monday, February 20, 2023

තෝසයකින් වඩයකින් කෙළවර වෙන අපේ සංහිදියාව

මේ අද අපේ හිතවත් “ඉබ්නු අසුමත්” කවියා විසින් සිංහල කවි දමිළ බසට පරිවර්තනය කරපු දෙමළ කවි පොත. මට මේ පොතේ නමවත් කියවගන්න බැරි තරමටම දමිළ බස නුහුරු වුන පසුබිමක පොතේ එළි දැක්වීම වෙනුවෙන් දේශණයක් කරන්න අවස්ථාවක් ලැබුන අසීමාන්තික අමාරු මොහොතක්. ඒක සරළ මොහොතක් කියල සාමාන්‍යය පාඨකයෙකුට හෝ මනුෂ්‍යයෙකුට හිතන්න පුලුවන්. නමුත් ඒක මාව රත් කරපු මොහොතක්. නමුත් ඒ බසෙහි අභියෝගය තියෙද්දිම මම මගේ අදහස් මාව අහගෙන හිටපු 40-50 ට නොඅඩු දමිළ පාඨකයන් අතර තිබ්බ. (මා විසින් සිදුකළ කෙටි දෙසුම සවන් දෙන්න මෙතනින්)

සිංහලෙන් දමිළ බසට පරිවර්තනය වුන කවි 42 පමණ මේ පොතේ අන්තර්ගතයි. ඒ අතර මගේ කවියකුත් ඉබ්නූ අසුමත් කවියා මේ කෘතිය සඳහා ම විශේෂයෙන් පරිවර්තනය කරල තිබුන. ඒ වගේම කපිල එම් ගමගේ ප්‍රවීණ කවියාගේත් තවත් නූතනයේ අපට හමුවන කවි කිවිඳියන්ගේ කවි කිහිපයක්ම මෙහි අන්තර්ගතයි. මට දමිළ ජනයා සමීප වෙන්නෙ මහාචාර්ය, සුනිල් ආරියරත්න ගේ “දෙමළ බෞද්ධයා” කියන ශාස්ත්‍රීය කෘතියත් සමඟ. ඒ ශාස්ත්‍රීයව හිසේ පැලවුන අදහස් එක්ක මට නැවත කියවන්න ලැබෙන්නෙ එකම එක කවියක්. ඒ, එම්. ඒ නූමාන් කවියා විසින් යාපනය පුස්තකාලය ගිනිබත් කරපු වෙළාවක ලිව්ව කවියක සිංහල පරිවර්තනය එක්ක. ඒ වගේ කවියක් සිංහල මහා සමාජය තුළ සමාජගත කරන්න මැදිහත් වෙන්නෙ හිතවත්, නිලාර් එන් කාසිම් කවියා. ඒ කවිය මේකයි.

බුදුන් ඝාතනය කිරීම' 

"පෙර දින මගෙ සිහිනයක

බුදුහු වෙඩි වැදී මළහ

සිවිල් ඇදුමෙන් සැදුණු බළ සෙනග

උන්වහන්සේ ඝාතනය කළහ

තිබිණ බිම ඔත් ලේ විලක් මත

ශ්‍රී දේහය

යාපනය පොත් ගුළට ඇතුළු වන

පඩිපෙළ ළග ම"

- ඒම්.ඒ. නූමාන් -

- පරිවර්තනය - නිලාර් එන් කාසිම් -

දෙමළ කවිය තුළ ජනප්‍රියතම ලකුණ මේ කවිය. අපිට කිසි ලෙසකින්වත් අමතක කළ නොහැකි කවිය. අපට මේ වගේ කවියක් කිසි ලෙසකින්වත් දරා ගන්න බැහැ. මේ සිදුවීම ජෙයපාලන් කියන මහා දමිළ කවි සලකුණ දකින්නෙ මේ විදියට; "රෑ පුස්තකාලයට ගිනි තැබූ පුවත බලන්න ගිය අපි හැඩූ කදුළින් ඉද්දී ඊට මීටර් සීයක් තරම් ඈතින් සිටි හමුදාව අත්පුඩි තලමින් බයිලා කියමින් හූ කියමින් හිනාවුණා. අපි වුණත් ආයුධ ගැන විශ්වාසයක් තිබ්බෙ ඒ වෙලාවෙ. ජනතාව එතන ඉකිබිදිමින් විලාප දුන් හඩ තාමත් නින්නාද වෙනවා..." 

ඒ අද්දැකීම මනුෂ්‍යත්වය ගැන අපට තියෙන අවසානම බලාපොරොත්තුවත් සුන් වෙන මොහොතක්. මම හිතන්නෙ දමිළ ජනතාව වෙත සමීප වෙන්න මීට වඩා හේතු අවශ්‍යය නැහැ. ඒ අතර තුර තමයි මට “මාතෘකාවක් නැති මාතෘභූමිය හෙවත් දෙමළ කවි” කියන මංජුල වෙඩිවර්ධනගෙ පොත කියවන්න ලැබෙන්නෙ. එතනින් මාව අසීමාන්තික විදියට දමිළ සමාජය වෙත සමීප කෙරුව. ඔහු ලියනව. මේ විදියට.

අතින් පයින් දෙමළුන් පපු කැවුතු ඇද

හිතින් රස විඳින නිවටුන් අතර මැද

බුදුන් වැඩිය බිම හිඳ කවි ලියන මට

රජුන් අණින් නිර්වාණය ලැබේවිද?  - “නිර්වාණයට පෙර”-

මේ වගේ ප්‍රාග් යුධ සමය, යුධ සමය සහ පශ්චාත් යුධ සමය තුළ දමිළ සමාජය සහ දමිළ සමාජයෙන් පිටත කවි සමාජය දේවල් දැක්කත් ඒව කිසිම විදියකින් සමාජයක් විදියකට අපි කිසි කෙනෙකුට සන්නිවේදනය කරගන්න අපහසු වුනා. ඒකෙ ප්‍රතිඵලය තමයි අපි අදටත් සමාජ දෙකක් විදියට බෙදිල කතා කරන්නෙ. කවි සමාජය තුළ පවා දමිළ කවි, සිංහල කවි කියල බෙදීමක් නිර්මාණය වෙන්නෙ. දමිළ සහ සිංහල කියන සමස්ත ජනප්‍රජාව තුළ සාමයේ පිරිසිදු දෑත් දිගු නොවන තත්වයක් අද අපේ සමාජය තුළ තියෙන්නෙ. මේ බෙදීම රටකට දිගු දුරක් යා නොහැකි තරමේ විශාල සමාජ ගැටළුවක්. ඒක අපි තේරුම් ගන්නෙ නැහැ. 

දමිළ කවිය සාංදෘශ්ටික චින්තාවක් හොයාගෙන යන සමයක දි අපි රෝමාන්තිකම කවි ලියනව. කෝපි කවි, සීතල එයාර් කන්ඩිෂන් කවි, වගේ සෞන්දර්යවාදයට ශාතිශය නැඹුරු වුන සිංහල නූතනම සමාජ මාධ්‍ය කවි ලියද්දිත් දමිළ කවියා වෙනත් සමාජ දේශපාලන කතිකාවක් ඇතුළෙ වැඩ කරමින් සමස්ත කවියේ හැඬයට විවිධතාවක් එකතු කරනව. ඒක මොනතරම් ගැඹුරු ද කියනවනම් සිංහල තරුණ කවියා පෙම් කවි ලිවීම නිසා පාසලෙන් අස් කරන මොහොතක දමිළ කවියන්ව සමාජීය වශයෙන් හා මානසික අතින් දුබල කිරීමට මජරම නීති තුළින්  “අහ්නෆ්  ජසීම්” වගේ කවියන්ව හිර කරල තියනව. ඇත්තෙන්ම මේ ලියනව කියන වැඩේ වෙඩිවර්ධන කියනව වගේ , රජුන් අණින් නිවන් දකින්න සිද්ධ වෙන අද්දකීමක්.  මේ තත්වය දේශපාලනික වශයෙන් සිංහල දෙමළ බේදයක් නැතිව සමාජයක් විදියට අපව මේ තරම් අනීතික තත්වයකට රට ඇඳල දාල තියෙද්දි තමයි ඉබ්නු අසුමත් වගේ ලේඛකයෙක් ඇවිල්ල අපේ සිංහල සමාජයේ කවි ටිකක් දමිළ භාෂාවට පරිවර්තනය කරල දමිළ සමාජය වෙත පිරිනමන්නෙ. සංස්කෘතික අමාත්‍යාංශයක් මැදිහත් වෙලා කළ යුතු බරසාර වැඩක් ඉබ්නූ අසුමත් විසින් තනිවම කරල තියෙනව. අප එය ඇගයිය යුතුමයි. 

දමිළ සිංහල සමස්ත ප්‍රජාව එකිනෙකා තුළ සන්නිවේදන බැරියර් නිසා දෙකඩ වෙලා තියෙනව. අපි එකිනෙකා දේවල් ගැන කොහොමද හිතන්නෙ කියල අපට අදහසක් නෑ. ඒ නිසා අපි හැමදාම විරසකයෙන්. කපිල එම් ගමගේ එක්ක මම යෙදුන මොහොතක සංවාදයෙදි කියවුනේ එතුමගෙ පරම්පරාවත් මගේ පරම්පරාවත් දෙකම අවසන් වෙද්දිත්, අපේ මේ සන්නිවේදන දුබලතාවන් නිසා හිතන විධි වල ට ඈදුන මජර දේශපාලන අදහස් නිසා මේ තත්වය කිසිදු අයුරකින් සමනය වී නොතිබේවි. මගෙන් පසු පරම්පරාව පවා දැන් ඉරටු බවට පත්ව අවසන්. ඔවුන් පවා ජාතිවාදී, ආගම්වාදී චින්තනය තුළ තමන්ගෙ දෘශ්ටිවාද අඩුවැඩියෙන් හදාගෙන අවසන්. සාමිනාදන් විමල් වගේ කෙනෙක් කරන බරපතල මැදිහත් වීම් තුළ පවා අපේ බුද්ධිමය වූ ශාස්ත්‍රීය  කතිකාවන් දිගුදුර අරන් යන්න  බැරි තරම් අපි දුර්වලයි. කෙසේ වෙතත් මේ පොත හෙට පිපෙන මලකට නැවුම් වැස්සක් කියන ප්‍රාර්ථනාව අපි තුළ තියෙනව. තෝසයකින් වඩයකින් කෙළවර වෙන අපේ සංහිදියාව පොත පතක් දක්වා දුරදිග යන්නම ඕන. එහෙම නොවුනොත් හෙටත් මේ දේශපාකයන්ගෙ වේදිකාවල ප්‍රධානතම මාතෘකාව 13 දෙනවද නැද්ද කියන එක.

අඩු තරමේ අපි දැන්වත් “ජයං වේරං පසවති” වගේ බුද්ධ දේශනාවක්වත් දේශපාලනිකව කියවාගත යුතු මොහොතක් දක්වා තල්ලු වෙලයි තියෙන්නෙ. මේ බිඳුණ සමාජය හරිම කර්කෂයි. හරියට උතුරෙ තද රස්සනය වගේ.

ජයං වේරං පසවති

දුක්ඛං සේති පරාජිතෝ

උපසන්තෝ සුඛං සේති 

හිත්වා ජයපරාජයං

දිනාගත් කෙනා ගැන – වෛරයයි හටගන්නේ

පරාජය ලැබූ අය – දුක සේ ය සැතැපෙන්නේ

අත්හැර ජය පරාජය – වසති රහතුන් ලොවෙහි සුවසේ

 

-ගුරුගොඩ සිරිවිමල-



Saturday, January 9, 2021

ශ්‍රී පාද සාහිත්‍ය

රටක සාම්ප්රදායික සාහිත්යය නිර්මාණය වෙන්නෙ රටක තියෙන සංස්කෘතික චාරිත්ර සහ ආගමික ඇදහිලි තුලින්. ලංකාවේ සාහිත්ය ප්රවර්ධනය වීමෙහිලා ශ්රී පාද අඩවිය පුදුමාන්තර හෙවනැල්ලක් වෙලා තියෙනව. ශ්රී පාද අඩවිය කේන්ද්ර කරගත්ත ආගමික සාහිත්යක් වගේම වින්දනීය කවි ගීත සාහිත්යක් අපේ පැරණි සේම අලුත් නිර්මාණ කරුවන් ගොඩනංවල තියෙනව.

මට මේ ටික ලියන්න හිතුනෙ අද ශ්රීපාද වන්දනාව ආරම්භ වෙන දවස නිසා. කොවිඩ් නිසා වන්දනා, චාරිකා වැඩ පරිස්සමෙන් කරන්න. පුළුවන්නම් නොයාම ඉන්න.
යං නම්මදාය නදියාපුලිනේච තීරේ
යං සච්ච බද්ධ ගිරිකේ සුමනාචලග්ගේ
යං තත්ථ යෝනක පුරේ මුනිනෝච පාදං
තං පාද ලාංඡන මහං සිරසා නමාමි
ලංකාවේ බෞද්ධයන් විශ්වාස කරනව බුදුන්වහන්සේ තුන්වරක් ලංකාද්වීපයට වැඩම කරල තිබෙන බව. ඒක මා දන්න පමණින් ශාස්ත්රීයව කරුනු සහිතව ඔප්ලු වෙච්ච දෙයක් නෙමෙයි. නමුත් සංස්කෘතිකව ඔප්පු කරගත්ත විශ්වාසයක්. (සංස්කෘතිකයි. එකඟයි) ඒ වගේම සාහිත්ය මූලාශ්රය වශයෙන් "මහාවංශය, දාඨාවංශය" වගේ මූලාශ්ර බුදුන්වහන්සේ ලංකාවට වැඩම කළ බවත් සමනොල ගිරියට වැඩමවා සමන් දෙවිදුන්ට දහම් දෙසූ බවත් සඳහන් වෙනව. මට ඒ පිළිබඳව අවිශ්වාසයක් නොමැති බව මෙතනදි වි⁣ශේෂයෙන්ම සඳහන් කරන්නට කැමතියි. ඒ වගේම ශ්රී පාද සාහිත්ය විසින් හෙළි කරන විවිධ තතු සමනල කන්ද බුද්ධස්පර්ෂය ලද බව පැහැදිලි කරනව. ජන කවියා සියලු බුදුවරු සමනොළ ගිර පා සටහන් තැබූ බව කියයි.
“ඔක්කොම මුණි බුදුව ලොවට සමෙනොළ ගල පිටට වැඩිය
දක්නට සිරිපාද එබූ අණසක මිහිදෙරණ තලය”
එසේම පෞරාණිකම විශ්වාස ලෙස සැලකෙන සමන් දේව විශ්වාසය ගැන කවියා දකින්නෙ මෙහෙමයි.
සමන්තකූට පර්වතයක සාසන බාරව සිටි නෙක
සවන් පුරා අසන බණක රකින සීලෙ සිල් මත මෙක
අතින් දරන පත්කඩයක නා ගුණවැල් නිතර අතක
සමන් දෙවිඳු යන උතුමෙක දෙවොල් යකුට බල පෑවෙක
යන ලෙස සමන්තකූට පර්වතයත්, ශාසනයත්, බාරව සුරකින පත්කඩය, නවගුණ වැල ගෙන සිල් රකින සමන් දෙවිඳුන්ගේ වාහනය ගැන කීමට ද ජන කවියා අමතක නොකරයි.
සුද්ද ලෙසින් නිති ගත බබළන් නේ
සුද්ද ඇත් පිටවද වැඩ ඉන් නේ
බුද්ද මෙසාසන දියුණු කරන් නේ
සුද්ද සමන් දෙවියෝය වඩින් නේ
ඒ වගේම හින්දු අය ශිව දේව විශ්වාසයක් සමඟත්, ඉස්ලාමිකයන් ඒ අයගේ විශ්වාසයක් සමඟත් ශ්රී පාද වන්දනාව සිද්ධ කරනව. ඒ අතරම පාරිසරික සෞන්දර්ය රිසි අයත්, විනෝදකාමී අයත් සහ කඳු තරණය වගේ දේවල් විනෝදාංශය කරගත්ත අයත් ශ්රී පාදය "සමනල කන්ද” නමින් තරණය කිරීම සිදු කරනව. මේ කොහොම වුනත් මම උඩදිම කිව්ව වගේ සංස්කෘතිය එක්ක එකතුවුන ආගමික විශ්වාසයන් සමඟ ශ්රීපාද සාහිත්යක් නිර්මාණය වෙලා තියෙනව. ඒක හරිම ලස්සනයි.
සිරිපාදේ සමනොළ කන්ද පෙනේ
ආලෝකය සමන් පුරේ
සඳපානේ මහ වන දිහා බලා
සුදු රිදී කඳන් හමුවේ
අර මහ මළුවේ සිරිපාද පියුම් වැඳ
සාධු කියා එනවා
නාදේ ඇසෙන්නේ ඒ ගන්ඨාරේ
මේ උතුම් පොහොදා
කරුණාවයි දෙවි⁣ඳේ
ශ්රී සමන් සුරිදේ
ගායනය - වින්සන් ද පෝල් පීරිස්
රචනය - සරත්චන්ද්ර ආටිගල
කියන ගීතය ඇහැද්දෙයි මට මේ ශ්රී පාද සාහිත්ය ගැන ලියන්න කල්පනා කරේ.
පුරාණ තුන්සරණය, සමන්ත කූට වර්ණනා, සමනල වන්දනා කාව්යය, කියන්නෙ ශ්රී පාද සාහිත්ය තුළ කැපී පෙනෙන කෘති. ශ්රී පාදය වන්දනා කරන්න යන අපේ බෞද්ධයන් ඒ වන්දනාවේදි ඇති වෙන විඩාව නිවාගන්න "තුන්සරණේ "කවි ගායනා කළා කියන එක ප්රසිද්ධ කරුණක්.
බුද්ධං සරණේ සිරස දරා ගෙන
ධම්මං සරණේ සිත පහදා ගෙන
සංඝං සරණේ සිවුරු දරා ගෙන
ඉඤ්ඤයි තුන් සරණේ අදහා ගෙන
පෙරයම බුද්ධං සරණේ ගඤ්ඤයි
මද්දිම ධම්මං සරණේ ගඤ්ඤයි
අලූයම සංඝං සරණේ ගඤ්ඤයි
තුන්යමට ම තුන්සරණේ ගඤ්ඤයි
ආදි වශයෙන් ගෙනෙනෙ මේ කවි "පුරාණ තුන්සරණය" ග්රන්ථයේ සඳහන් වන කවියි. අතීතයේ ගැමි සැදැහැතියාගේ සිත් තොස වඩවපු තවත් වන්දනා කාව්යක් නොමැති තරම්. මේ කවි මතක නැති ලංකාවේ මනුස්සයෙක් ඉන්නවද කියන්න තරම් සැකයි. ඒ තරමටම මේ කව් මිනිස් සංතානයේ තැන්පත් වෙලා තියෙනව. ඒ කාලෙ බෞද්ධ ගැමි මිනිස්සුන්ට නිවන කියන මූලික සංකල්පය එක්ක තැවරුණ සද්ධාවක් තිබුන. එයාල ඒක දිගටම පවත්වාගෙන ආවෙ පංසිල් පදපහ එක්ක. පංසිල් එක්ක ගැට ගැහුණු සද්ධා සම්පන්න ගැමි ජීවිතය තුන් සරණය කවි පොතෙන් අපිට පේන්න ගන්නව.
ඒ වගේම් මෙත්තාව කරුණාව මුදිතාව උපේක්ෂාව කොච්චරනම් හොඳින් ඒ කාලෙ මිනිස් සංතානය තුළ ගැබ් වෙලා තිබුනද කියන කාරණයත් තුණ්ස⁣රණය තුළින් පැහැදිලි වෙනව. තුන්සරණය එක් අයෙකු විසින් සිර ගෙදරක සිට රචනා කරන ලද්දක් බවත් ශාස්ත්රීය වශයෙන් දැක්වෙන කාරණයක්.
තුණ්සරණය තමයි ශ්රී පාද සාහිත්ය එක්ක ලගින්ම යන පළමු පෙළේ තියල කතා කරන්න පුළුවන් සාහිත්ය කෘතිය. ඊට පස්සේ "පුරාණ හිම ගත වර්ණනාව"
සත් බඹයක් මගෙ වරලස
මොනර පිලසෙ වර්ණ වෙන්ඩ
සත් ගව්වක් මගෙ කට හඬ
කිඳුරු නාදෙ මෙන් ඇසෙන්ඩ
බිහි වුණා ම මගේ රුවින්
තුන් ලොවට ම එළිය වෙන්ඩ
රන් පන්හිඳ ගෙන සුරතින්
බුදු ගුණ රන්පොත ලියන්ඩ
ආදි වශයෙන් අවසන් වෙන මේ කවි පොතත් ශ්රී පාද සාහිත්ය යටතේ ගැනෙන වන්දනා කවි පොතක්. අවුරුදු 400ට විතර එහායිදි ලියවුනා කියල හිතන්න පුළුවන් මේ කවි පොත විශිෂ්ට භාෂා රීති, විශිෂ්ට කාව්ය උපක්රම භාවිත නොකරපු කෘතියක් නමුත් ගැමියාගේ සද්ධාව ජනනය කරගත හැකි මට්ටමේ කෘතියක් බව සඳහන් වෙනව.
මං පැද අඟුල බැස යමි ගෙත්තම් පාන
පින් මඳ අයට සීමා පවුරකි එතැන
ඉන් නැඟ ගිය කලට මළුවට සෝපාන
වම් සිරි පතුල තැබුවා සමනොළ මුදුන


වගේ ලස්සන කවිත් මේ කෘතියේ එනව සහ මිනිස්සු ශ්රී පාදය වන්දනා කළ අයුරු ශ්රී පාද සංස්කෘතිය, සිරිත් විරිත් ආදී නොයෙක් ාද්වල් මේ සාහිත්ය තුළින් පහසුවෙන්ම පසක් කරගත හැකි වෙනව. සමනොළ ගිර, සමන් දෙවොල, සීත ගඟුල, ගෙත්තම්පාන, ධර්මරාජගල, හැරමිටිපාන, ඇහැල කණුව, මහගිරිදඹය, ශ්රීපාද පද්මය මේ ආදි ශ්රී පාද වන්දනා ගමනේ නොයෙක් තැන් අපේ ජන කවියා දුටු අයුරු මේ සාහිත්ය කෘති වලින් හෙළිවෙනව.
ජන කවියාට සමනොළ ගිර බෙහෙවින් වස්තු විෂය වෙන්නකි.
ලංකාවට අධිපති පර්වත මුදු නේ
සිංහාසනයේ වද මුණිඳුට පහළ වු ණේ
පිහිටි සිරිපාද පර්වත කොන මුදු නේ
ගංගා සතර පර්වතයෙහි උපත වුණේ
මහත් අභිරුචියෙන් වර්ණිත සමන්ගිර ආගමික කරුණු නිසා ම පමණක් නොව රට සරු කරමින් සතර දෙසට ගලන ගංඟාවන්ගේ ප්රභවය නිසා ද වැදගත් බව කියාපායි.
රාත්රියෙහි ගැල පදවන ගැල්කරුට සමනොළ ගිර පෙනෙයි.
අලට කන්න බැරි අලගල්ලේ කන්ද
බතට කන්න බැරි බතලේගල කන්ද
හුනට කන්න බැරි හුන්නස්ගිරි කන්ද
මෙකඳු තුනට නායක සමනොළ කන්ද
ඉතින් මේ සිරිපාද සාහිත්ය කියල ඉවර කරන්න බැරි තරම් මහා ඉතිහාසයක්. ඒක අදටත් බාවිත වෙමින් විශ්වාස කරමින් ජීවත්වන සපරගමු පලාත්වාසී සැදැහැවතුන් බොහෝමයි.
ශ්රී පාද සාහිත්ය ගැන ගොඩක් කෙටියෙන් සහ අසංවිධිතව ලිව්වෙ ආසාව නිසාමයි. මේ ගැන මම ශාස්ත්රීය සඟරාවකට සංවිධිත ලිපියක් ලියමින් ඉන්නව. ඒ කරුණු මේකට එකතු කළේ නැහැ. ඒක ලියල ඉවර වුනාම හැමෝටම බලන්න ⁣සලස්වන්නම්
• ගුරුගොඩ සිරිවිමල

Wednesday, August 26, 2020

හමාර බණවර හැඟීම

මීට වසර දෙකක් හෝ එකහමාරකට පමණ පෙර ඉතා සංවේදී කවි පෙළක් පුවත් පතක පළ වී තිබූ අයුරු Facebook තුළින් දැකගන්නට ලැබිනි. එසේම එය මාගේ හිතවතියක් අතින් ලියැවී තිබුනු අයුරු දැක ඇය වෙත සුබ පැතුවා මට අද වාගේ මතකය.

එහි විශේෂ දේශපාලනික හෝ සමාජ දෘෂ්ටියක් තැවරී නොතිබුන අතර ඉතා සංවේදී රූපක ගොන්නකින් පිරී තිබුනා මට මතකය. මෙය කුමන ආරක කවි පද මාලාවක්ද යන්න මට තවමත් සිතාගත නොහැකි වූ විට මම ඒ කවි පෙළ පසෙක තබා අමතක කර දැමූ අවස්ථාවක් ද නොතිබුනා ම නොවේ. කෙසේවෙතත් "කවියක් මෙසේ විය යුතුය" යැයි කාව්‍ය පාඨමාලා පවත්වන Facebook යුගය මට මෑතක සිට තිත්ත වී ඇති වටපිටාවක කවියක් වෙනුවෙන් වැඩි කාලයක් මම වැය නොකරන නිසාම මග හැරිනි.

ඉරේෂා හේමමාලි නම් කිවිදිය මේ අතර දී "හමාර බණවර" නමින් කවි පොතක් එළි දක්වන බවත් එහි ජනගත කිරීම නුවර දී පැවැත්වෙන බවත් ආරංචි වූ වහාම අප ද එහි ගිය අයුරු මට මතකය. එනම්; "හමාර බණවර" කවිය ද ඇතුළත් කරමින් එම කවියේ සාරාර්ථය කැටි කරමින් ඉරේෂා හේමමාලි කිවිදිය කවි පොතක්ම ලියූ අතර එය එකල කවි කියවන්නන් අතර ඉතා ඉක්මනින් හුවමාරු වූ අයුරු මට මතකය. එදින මෙම කවිය රවී රොයිස්ටර් නම් තුරුණු ගායකයා විසින් මෙම කවිය ගීයක් කළ අයුරු ද මතකය. ඉනික්බිතිව මාස කිහිපයකට පසුව මෙය සංවිධිත අයුරින් ගීතයක් ලෙස සමාජගත වූවාත් මතකයේ ඇති අතරම එම ගීතය කෙටි කාලයක් තුළ නොසෑහෙන පරිදි ජනප්‍රියත්වයට පත් වූ බවත් එය මේ වන විට අසා නැති කිසිවකු සොයා ගැනීමට ද නොහැකිය.

කෙසේවෙතත් මේ කවි පද මාලාව ගැන මම සංවේදී වන්නේ ජනප්‍රිය වන කාලය අතරතුර දී නොවන අතර ඉරේෂා ගේ කවිපොත සංයමයෙන් කියවන කාලය අතරතුර දීය. එසේම ඒ කවිපොතේ කතාබහට ලක්කළ හැකි මට්ටමේ කවි බොහෝමයක් තිබූ බව ද කිව යුතුය. මෙලෙස මා වෙත අවදානයට ලක් වූ කවි අතර ඉරේෂා ලේ "හමාර බණවර" කවිය සුවිශේෂී තැනක් ගනී. ඒ කවියයි මේ;

පුරුදු පාරෙම අදත් යනවා

ඒත් වෙන ගමනක් පුතේ

හුඟක් අය මගේ පස්සේ එනවා

තනිව ආ ගිය මගේ

කවමදාවත් මගේ බර

උඹේ කරේ තිබ්බේ නෑ පුතේ

හුඟක් බරනම් බිමින් තියපන්

රිදෙනවා ඇති අත උඹේ

 

කන්ද පාමුල සොහොන හුරු නෑ

දන්නවා මං මගේ පුතේ

මගේ තනියට තවත් අය ඇති

අඳුරගන්නම් හෙට උදේ

සොබා දහමට අවනතයි මං

ඉතින් යන්නම් ගොම්මනේ

යන ගමන් මේ බේත් තුන්ඩුව

අරන් පලයන් අම්මගේ

"හමාර බණවර" යනු හුදෙක්ම බෞද්ධ සංස්කෘතියට ඉතාමත් හුරුපුරුදු වචනයකි. එය සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශණා අතර ජනප්‍රිය වන්නේ අවසන් යුගය හෙවත් "ආටානාටිය සූත්‍ර" දේශනාව දේශනා කරන වේලාව ඇගවීමට ය. මෙය මෙම මාතෘකාව තුළින් කවියට අමුතු ගුප්ත ආකාර හැඟීමක් කිවිදිය විසින් දැන හෝ නොදැන එක් කොට අති අයුරු අපූරුය. මන්ද යත් මෙම කවිය තුළින් කියන්නට උත්සහ කෙරන්නේ "පියෙකුගේ ගුණ මහිමය සහ පියෙකුගේ අවසාන මොහොත" පිළිබඳව නිසාය. එනිසාම මෙම මාතෘකාවම කවියට ඇතුළත් වීමේ දීම අමුතු හැඟීමක් එකතු කර තිබීම කවියේ විශේෂත්වයක් වෙයි.

කිවිදිය විසින් මේ කියන්නට යත්න දරන්නේ පියෙකුගේ ඇති මහඟු ගුණ සමුදාය පිළිබඳවය. පිය ගුණ සහිත කවි පද මාලා කොතෙකුත් අසා, කියවා ඇති මට ඒ කවි සියල්ල අබිබවා ඉදිරියෙන්ම තිබෙන කවියක් ලෙස මෙය පෙන්වා දිය හැකිය. මන්ද යත් බොහෝ ඒ බොහෝ කවි තුළ අන්තර්ගත වන්නේ "පියා මහපොළොවට දා බිඳු වැඟිරී අයුරුත්, දර පැළු අයුරුත්, පොල් කැඩූ, ගල් කැඩූ අයුරුත්" වන නිසාවෙනි. පියාගේ ගුණ කීම සඳහා මෙම කිවිදිය යොදා ගන්නේ අමුතුම අද්දැකීමකි. එසේම "අපූර්ව" අද්දැකීමකි. ඇය කවිය තුළට අනුභූතිය කරගන්නේ පියකු මිය ගොස් අවසන් කටයුතු හමාර කොට දේහය පිටිය වෙත රැගෙන යන සාම්ප්‍රදායික චාරිත්‍ර විධිය යි. එය ඉතාමත් අපූර්ව යැයි මා සඳහන් කරන්නේ එබඳු අද්දැකීම්ක් පාදක කොටගත් වෙනත් කවියක් මීට පෙර හෝ පසු කියවා නැති බැවිනි. Oneandonly මේ කවිය ඉරේෂාමය කවියකි. එබඳු වන්නැන්ඩ් ඔන්ලි කවි බොහෝමයක් ඉරේෂා සතුව තිබෙන බවද මෙහිලා  සඳහන් කරමි.

පුරුදු පාරෙම අදත් යනවා

ඒත් වෙන ගමනක් පුතේ

හුඟක් අය මගේ පස්සේ එනවා

තනිව ආ ගිය මගේ

කවමදාවත් මගේ බර

උඹේ කරේ තිබ්බේ නෑ පුතේ

හුඟක් බරනම් බිමින් තියපන්

රිදෙනවා ඇති අත උඹේ

ආදී වශයෙන් ඇරඹෙන මෙම කවිය තුළ දැක්වෙන අර්ථය මා තේරුම් ගන්නා අයුරු මෙසේ;

පුතාගේ කර උඩ යන තාත්තා විසින් කියන අමුතු ආකාරයේ කතාවකි මේ. මේ මළගිය තාත්තා කතා කරවන ඉන්ද්‍රජාලික සාහිත්‍යයට ද(magical literature) මා ඉතාමත් කැමතිය. සාහිත්‍ය භාවිතාවේ දී මෙය ඉතා අඩුවෙන් ලංකාව තුළ භාවිත වන්නට එක් හේතුවක් වනු ඇත්තේ නූතන සාහිත්‍ය බොහෝ විට යථාර්ථවාදය මූලික කරගනිමින් සිදුකෙරෙන නිසා විය යුතුය. (මෙය වෙනම මාතෘකාවකි.) මෙය ඉරේෂා කිවිදිය විසින් දැනුවත් ව හෝ නොදැනුවත්ව යම් යථාර්ථයක් කීමට භාවිත කරන අයුරු ප්‍රශංසනීය ය.

ගමේ හෝ නගරයේ සාම්ප්‍රදායික තාත්තා යන චරිතය හුදෙක්ම පවුල කේන්ද්‍රීයව මහා බර අදින්නෙකි. ඔහු උදයේම රැකියාවට ගොස් නැවත නිවසට පැමිණෙයි. ඔවුන් ගෙය සඳහා ලඟා වීමට ඇති පහසුම පාර කාලයක් තිස්සේ පුරුදු කර ගනී. ඒ සාම්ප්‍රදායික රැකියාවට යන එන ගමන වනාහී එපාම වූ නොනවතින සංසාරය බඳු ගමනකි. එබැවින් ඔවුන් පුරුදු පාරේ හැමදාම යන්නත් එන්නත් පුරුදු වෙති. මේ තාත්තා ද පුරුදු පාරේම රැකියාවට හෝ වෙනත් ගමන් බිමන් සඳහා යන එන තාත්තෙකි. නමුත් අද දින තමා යන්නේ වෙනත් ගමනක් ය. ඒ "අවසන් ගමනය" ඉරේෂාගේම භාෂාවෙන් කියතොත් මේ තාත්තා යන ගමන වනාහී "හමාර ගමනය" යළි නොඑන ගමනය. තාත්තා නැවත මේ පාරෙන් එන්නේ නැත. ඒ හැඟීම තාත්තෙකුට ආදරය කරන පුතෙකුට කෙසේ දැනෙනවා ඇද්ද? තාත්තා ඉන් නොනැවතී මෙසේ කියයි.

"හුඟක් අය මගේ පස්සේ එනවා

තනිව ආ ගිය මගේ"

මේ කියන්නේ මරණය අවස්ථාවට පමණක් අප පසු පස්සෙහි එන දරු මුණුපුරන් ඇතුළු කොටගත් ඥාතී සනුහරය පිළිබඳවය. මුළු ජීවිත කාලය තුළම තනිව අනෙකාගේ විශේෂ උදව් නොමැතිව ගමන් කරන්නට සිදු වන ජීවිතය තුළ අවසාන අවස්ථාවට පමණක් සුදට සුදේ හැඳ පැළැඳ හඬමින් එන පිරිසකගෙන් මිය යන්නාට ගත හැකි ඵලයක් තිබේද? මුළු ජීවිත කාලයම අපගේ දරුවන් මුණුපුරන් බිරින්ඳෑ, ඥාතිවරු අප වෙනුවෙන් කාලය මිඩංඟු කළ යුතු ද? කිසිත් දොසක් නොනගමින් නමුත් යථාව අපූර්වයෙන් ඇය මේ තුළ දක්වයි. අප අප පසු පස්සෙන් අපව පසසමින් එන මිනිසුන් තනා කුමටද? ඉන් ලැබෙන ජීවිත පරමාර්ථයක් තිබේද? වැනි අදහසක් එහි ගැබ්ව තිබෙනවා යැයි මට සිතේ. කෙසේවෙතත් මේ තාත්තා මේ යථාව අවබෝධ කරගනිමින් සිටි තාත්තෙකු විය හැකිය.

"කවමදාවත් මගේ බර

උඹේ කරේ තිබ්බේ නෑ පුතේ

හුඟක් බරනම් බිමින් තියපන්

රිදෙනවා ඇති අත උඹේ"

යනුවෙන් ඇය මේ පද පේළිය තුළම උදෘත කරන්නේ පියෙකුගේ පරමාදර්ශී කිසිත් බලාපොරොත්තු නොවන ජීවිතයේ එක් ප්‍රධාන පැතිකඩක් පිළිබඳව ය. තාත්තලා කිසිම විටෙක තම දරුවන්ට යුතුකම් වගකීම් ඉටු කොට ඒ කළ කී මෙහෙය වෙනුවෙන් වන්දි ඉල්ලා හඬා වැටෙන්නන් නොවේ. තාත්තලා ජීවිතේ බර කිසිම දිනෙක පුතුන්ගේ කර මත පටවන්නේ නැත. මෙම කවි පෙළේ දී අවසාන මොහොතේ පවා තාත්තා පුතා ගැන සිතන අයුරු ඉතා සංවේදීය. "හුඟක් බරනම් බිමින් තියපං" යනුවෙන් තාත්තා ඉල්ලා සිටින අයුරු ඉතාමත් සජීවීය.

කිවිදිය මුල් කවි පෙළින් පියාගේ ගුණ සමුදාය පිළිබඳවත් ඉන් නොනැවතී සමාජයේ එක් පැතිකඩක් පිළිබඳවත් විවරණය කරන අතර දෙවනුව යොමු වන්නේ ටිකාක් දාර්ශනික මානයකටය. බුදු දහමේ අනිත්‍ය සංකල්පයේ පැතිකඩක් ඇය කියන්නට උත්සාහ කරනවා වැනි හැඟීමක් මට මින් පෙනේ. නමුත් ඇය එහි අවසාන පද පෙළ තුළ "ස්වාමි පුරුෂයාගේ චරිතය පිළිබඳව ද අදහසක් දක්වයි.

කන්ද පාමුල සොහොන හුරු නෑ

දන්නවා මං මගේ පුතේ

මගේ තනියට තවත් අය ඇති

අඳුරගන්නම් හෙට උදේ

සොබා දහමට අවනතයි මං

ඉතින් යන්නම් ගොම්මනේ

යන ගමන් මේ බේත් තුන්ඩුව

අරන් පලයන් අම්මගේ

මුළු ජීවිතය පුරාම වෙනස් වීම් කප්පරක්, මරණ සියදහස් ගණනක්; දෑසින් දකිමින්, දෙකනින් අසමින් ජීවත් වන අයෙකුට සොහොන හුරු නොවීම. එනම් "හැමෝම මේ මරණයට පුරුදු විය යුතු බව" පෘතජ්ජන මිනිසාගේ ස්වභාවයකි. ඔවුන් මරණය මිටින් රැගෙන උපත ලැබූවත් එය අවබෝධ කර නොගනිමින් ජීවත් වෙති. පෘතජ්ජන මිනිසාට "කන්ද පාමුල සොහොන හුරු නැත" එයට ඔවුන් අකමැතිය. නමුත් මේ ස්වභාව ධර්මයට අවනත විය යුතුය යන්න ඔවුන් තුළ ඇත. මරණයට එරෙහිව යනවා වෙනුවට මරණයට හුරු වීමත් අමුතුම අදහසකි. ඒ අමුතු අදහසට ලෝකයා ජීවයේ ආරම්භයේ දී පටන් නතු වී ඇතැයි මට හැඟේ. සමාජය තුළ මරණයට පවා බොහෝ සාටෝප එක්වන්නේ එනිසා විය යුතුය. මේ තාත්තා මේ මරණය ගැන, අනිත්‍ය ස්වභාවය ගැන යම් කිසි අදහසක් ඇත්තෙකි. ඔහු තැනකදී;

"මගේ තනියට තවත් අය ඇති 

අඳුරගන්නම් හෙට උදේ" යනුවෙන් කියන්නේ එනිසාය. එනම් " මම විතරක් නෙමේ තවත් අය මැරෙනවා, තව අය මෙතැනට එන්නත් තියෙනව" මට ඒ අය එක්ක ජීවත් වෙන්න වෙයි." වැනි හැඟීමක් ඒ වචන තුළ විද්‍යමාන වේ. එසේ කියමින් අවසන් මොහොතේ ද "මට තනි නෑ" යනුවෙන් පුතාව සනසන තාත්තාව නැවතත් මේ කවිය තුළ පෙනේ.

මේ කවිය තුළ කිවිදිය පවුල් කුටුම්භය තුළ "ස්වාමි පුරුෂයා යන ගැටගැහුණු චරිතය ද පෙන්වා දෙන්නේ මෙලෙසය.

"යන ගමන් මේ බේත් තුන්ඩුව

අරන් පලයන් අම්මගේ"

"මට අද ඉදන් මේ පවුලෙ බර අදින්න වෙන්නෙ නෑ. උඹ අම්මව බලාගන්න ඕන. එයත් දැන් මම වගේම අඹලන්."

මෙසේ බලන විට මෙම කවිය තුළ "පවුල් කුටුම්භය තුළ "තාත්තා, පුතා, බිරිඳ, මව, පවුල" යන සියළු සංකල්ප අඩු වැඩියෙන් පෙන්වා දීමට උත්සාහ කරයි. එය එතරම් ලේසි පාසු වැඩක් නොවුනද කිවිදිය මනා සංයමයකින් මේ කරුණ සාර්ථක මායිමක් කරා ගෙන ආ බව පෙනෙන්නට තිබේ.

පසුව මෙය ගීතයක් වූ විට මෙම හැඟීම දෙගුණ තෙගුණ වන්නේ රවී රොයිසටර් නැමැති දක්ෂ තරුණයාගේ සංවේදී මිනිස් සුවඳ ඇතිරූ සංගීතය සහ හඬ නිසාය. මෙම ගීතයේ සංගීත භාවිතය ඔබ තනිව අසා රසවිඳින්න. එහි දැක්වෙන පාළු, අඳුරු, සංවේදී හැඩය මෙම පදමාලාවේ අදහසට වඩාත් ගැලපෙන අයුරින් නිමා කොට ඇති අයුරු ප්‍රශංසනීය ය. මේ ගීතය ඔබ ඇසිය යුතුමය.



LISTEN to the SONG

|ගුරුගොඩ සිරිවිමල

 

Sunday, June 30, 2019

"අහස් ඉම සිපගනිමි"

"අහස් ඉම සිපගනිමි"
කාව්‍ය කෘතිය ජනගත කිරීම.
කොළඹ මහවැලි කේන්ද්‍රයේදී ජූලි 03 දින සවස 02. 00ට


මුලසුන - rev. galkande dhammananda thero 
රාධිත ⁣⁣⁣දේශනය 01 - Chulananda Samaranayake
ආරාධිත දේශනය 02 - Sunanda Karunaratna
කථනය - Vidura Dias Abayagunawardana

INVITATION

BOOK COVER CREAT BY - NADUN YASITHA DASSANAYAKE





CHOOLANANDA SAMARANAYAKE 

Tuesday, February 26, 2019

ඇස් ඉස්සරහ

පොඩිසාදුගේ ලියමන| යං|  


 ගිය 21 ඇස් ඇරුණ තවත් එක දවසක්. ඇස් ඇරෙනවා කියන එකට අර්ථ ගොඩක් තියෙනවා. බුදු හාමුදුරුවෝ තමන්ගෙ ප්‍රථම ධර්ම දේශනාවෙදි "චක්ඛුං උදපාදි" කියලත් දේශනා කරනවා.
 ඇස් කියන්නෙ ඇස්වලට, නුවණටත් පාවිච්චි වෙන වචනයක්. ගුරුවරුන්ට කියන්නෙ ඇස් පාදන්නො කියලනෙ. ඒත් ඇස් කියන්නෙ කවිවලට කියල මං මෙච්චර කල් දැනන් හිටියෙ නැහැ.
 ක්‍රිෂාන් රත්නායක කියලා කොල්ලෙක් තමන්ගෙ කුලුඳුල් කවි පොත ගිය 21 දා එළිදැක්කුවෙ මහවැලියෙදි. කවිය ගැන යම් යම් හෝඩුවා කතා බහවලිං පිරිච්ච දවසක් ගිය 21 වෙනිදා කියන්නෙ.

 ක්‍රිෂාන් පොත එළිදක්වන්න කලිම්ම බෙදාහැරීම් වැඩේ කරපු නිසා පොත කලිම්ම අරං කියවන්න පුළුවන් වුණා. ක්‍රිෂාන්ගෙ කවි තුළ ගැබ් වෙන කියවීම්වලට මම කැමැතියි. ඒ කවිවල අවංක බව ගැන මට කුකුසක් තිබුණත් ඒ කවි මාව යම් වින්දනයකට ලක් කරා. 

ප්‍රේමය ගැන වැඩිමනක් කවි අන්තර්ගත වෙච්ච කවි පොතක් තමයි ක්‍රිෂාන්ගෙ කවි පොත. ප්‍රේමයේ ස්වභාවයන් ගැන ලියැවෙන කවි ඉස්සරහ අපි බොහෝ විට සංවේදී වෙනවා. ඒකට හේතුව ප්‍රේමයත් ජීවිතයත් කියන්නෙ දෙකක් නොවී එකක් වීම නිසා කියලයි මට හිතෙන්නෙ

වසන්තයෙ මල් පිපෙයි නවම් මැයි ගස් පිරේ
ඇහැල රොබරෝසියන් ගස් නිතර මුණ ගැසෙයි
වැහැල තෙත ගුරු පාරෙ සිව්වසර දිග හැරෙයි
වැටුණු මල් පෙතිවලට පුරාතනයක් තිබෙයි


දිරා ගිය මතකයට යලි යලිත් පණ දෙන්න 
හිනාවෙන ආදරය එක තැනක හංගන්න 
කතාබස් කළ තැනට නොඑන්නට සමුදෙන්න 
අපි ආය එනවනම් මට හිතයි නවතින්න

                                            - 20: පිටුව -



ක්‍රිෂාන්ගෙ කවිකම තියෙන්නෙත් ප්‍රේමය සම්බන්ධයෙන් ලියන කවිවලමයි. ක්‍රිෂාන් පෙම් කවි ලියන වැඩේ අවබෝධයෙන් කරනවා කියන එකයි මගේ විශ්වාසය. සමුගැනීම්, එක්වීම්, අපේ ජීවිත යලි යලිත් ආලෝකවත් කරනවා. විරහව කියන්නෙ හරියට ටෝච් එකක් වගේ වෝට් 100 ක 200 ක බල්බ් එකක් වගේ. 
සෑම විරහ වේදනාවක්ම අපිව නැවත නැවතත් ආදරයක් ගැන හිතන්න පොළඹවනව. 


රැල්ලෙ හැප්පෙන බිඳෙන වාරේ 
අනේ තනිවෙමු කියපු ඇවිටිලි 
ලියන්නට එක පොතක් මදිවෙයි 
ආදරේ ගැන කරපු පැමිණිලි 

පැයක් කොටහක් තෙපල උන්නට 
ආදරේ ගැන විතක් සැනැහිලි 
ගණන් කර කර බැලුව තැනකදි 
තුරු වෙයි සිල්ලර ම සැරසිලි
                                     - 67: පිටුව 

ආදරේ සියුම් තැන් සැහැල්ලුවෙන් කවියෙ අද්දැකීම් විදිහට භාවිත කරන අපූරුව ඒ කවිවලට මනා ආලෝකයක් ගෙනත් දෙනවා. මේ හැම කවියකම අපූර්වත්වය රසික මන පිනවීමට සමත් යැයි මම විශ්වාස කරන්නෙ යථාර්ථවාදයත් සෞන්දර්යවාදයත් හරි අපූරුවට තමන්ගෙ කවියට ග්‍රහණය කරගන්න ක්‍රිෂාන් දෙපාරක් හිතන්නෙ නැති නිසා. පොත පුරා දැක්වෙන බොහෝ කවිවල තියෙන්නෙ ප්‍රඥාව කරා පාඨකයාව තල්ලු කරගෙන යාමක්. එතනදි පාඨකයට කවිය එපා වෙන්නැත්තෙ සෞන්දර්යාත්මක කවියක් මේ තුළ ගැබ්වෙලා තියෙන නිසා. "හඳුනන ඉඩක නාදුනන චිත්‍රය" වගේ කවි තුළින් පාඨකයාව අතරමන් කිරීමත් නැවත නැවතත් කියවා අවබෝධ කරගත යුතු ලක්ෂණත් කවි මේ මොහොතේ කවි ලිවිය යුතු සැබෑ අරමුණු අතරට අපව කැන්දන් යනවා. 

මෙතැන උතුරය දෙමළ අකුරක ද ආලය 
නැතතන් නැගෙනහිර මුඩු ගමක විලාපය 
එකත් එකට ම දකුණ ය එහෙත් උඩරට යුද්ධ ය 

නැතත් පානම මුහුද ය තවත් මරණයෙ සද්ද ය
                                                         - 22: පිටුව -
ක්‍රිශාන් තමන්ගෙ කවියෙන් දේශපාලනික සමාජමය කතිකාවත් ගේන්න ගිහිං පරාජයවෙලා තියෙනවා. නමුත් ප්‍රේම කවියෙදි ලොකු සාර්ථකත්වයකට ගිහිං තියෙනවා. ඒ කවිවල ගැඹුර අපි විඳනවා. කෙහොම නමුත් ක්‍රිශාන්ට සුබ පතනවා. මේ මම ක්‍රිශාන්ගෙ කවි පොතේ වඩාත්ම ආස කරන කවිය.

හිතින් හීනෙන් නැවත හමුවෙන 
තැනක අපි ප්‍රේමය පටන් ගමු 
ඉනික්බිති මේ නපුරු තැන හැර 
හිමින් හමුවෙන තැනක නවතිමු
                                 - 67: පිටුව - 




|ගුරුගොඩ සිරිවිමල