Tuesday, April 2, 2019

කුලාභිවන්දනා


මෛත්‍රීපාල ජනාධිපතිවරයා නිකං ඉන්නේ නැත. ඵලක් ඇති දෙයක් කෙසේවෙතත් මොකාක් හරි කිරීම එතුමාගේ සිරිතය. කොහොමින් කොහොම හරි ජනාධිපතිවරයාට මේ සැරේ ත්‍රිපිටකය අතට හසු වී ඇත. මෙවර ජනාධිපතිවරයා නතර වූයේ ත්‍රිපිටකය ලෝක උරුමයක් කරමිනි. එයින් මෙත්පල් නිරිදුන් ‌‌ෙඑතිහාසික පොරක් වූ බව බොහෝ දෙනාගේ අදහසය. ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමෙන් ත්‍රිපිටකයට හෝ බුද්ධ සාසනයට හොද කලක් යනවා යැයි සිතීම මෝඩ කමක් බව එදිනම ඔප්පු විය.



ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීම සදහා රජයෙන් සතියක් නම් කර තිබින. සියළු රාජ්‍ය ආයතන ඉදිරිපිට බෞද්ධ කොඩිය දැක්විය යුතුය, පළාතේ සංඝයා පිංඩපාතයේ වැඩිය යුතුය, පළාතේ විවිධ රාජ්‍ය ආයතන සහ වෙහෙර විහාරස්ථාන වලින් විවිධ බෞද්ධාගමික කටයුතුත් ත්‍රිපිටකය පිළිබදව ජනතාව දැනුවත් කිරීම සිදු විය. මේ සෑම ක්‍රියාකාරකමක් ම මෙකල බෞද්ධ සමාජයේ තාර්කික අවසානය සිද්ධ වී තිබූ බව කිව යුතුමය. 

රාජ්‍ය ආයතන වල නිලධාරීන් පංසල් කරාවිත් බෞද්ධ කොඩි සෙවීම තුළින් පැහැදිලි වූයේ තව දුරටත් ලංකාව බෞද්ධ රටක් නොවන බවකි. මෙ බෞද්ධ රටක් නම් අඩුම තරමේ පෝයකට, බෞද්ධ උත්සවයකට එල්ලීම සදහා බෞද්ධ කොඩියක්වත් තිබිය යුතු බව පොඩි සාදුගේ අදහසයි. දානය නොමැතිව කුසගින්නේ පෙළුණද කිසි දිනක පිංඩපාතයේ නොවඩින අපේ කාලයේ මහා සංඝයා උත්සවාකාරයෙන් ද මහාපාර හරස් කරමින් ද පිංඩපාතයේ වැඩියහ. පිංඩපාතයේ වැඩමවීම අවුලක් වරදක් නොවුනද පංසලටම විත් දන් පැන් පූජා කොට අවසන වැද නමස්කාර කොට සමහර විට පිරිකරද පුදා යන රටක පිංඩපාතයේ වැඩම කිරීම කෙතරම් සාධනීය කරුණක් ද යන්න පොඩි සාදුටනම් අපහැදිලිය. මේ වැඩසටහන හා සමගාමීව ඵලක් ඇති දෙයකට සිදු වූයේ ත්‍රිපිටකය පිළිබදව ජනතාව දැනුවත් කිරීම පමණමය. ඉන් එහා වැදගත් යමක් යැයි අඩුම තරමේ ත්‍රිපිටකය නොමැති පංසලකට මිළ අධික වූ ත්‍රිපිටක, අටුවා පොත් කට්ටලයක් හෝ ලැබුනාදැයි ආරංචි මාර්ගයක් නැත. බෞද්ධ රාජ්‍ය යැයි කියාගන්නා ලංකාවේ රාජ්‍ය අසමත් බාවය මොනවට පැහැදිලි වූ අවස්ථාවක් ලෙස ත්‍රිපිටකාභිවන්දනා යන තේමාවෙන් පැවති සතිය නම් කළ හැකිය. 

කෙසේවෙතත් ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමේ අවසාන දින වැඩසටහන පැවතියේ දළදා මැදුරු පරිශ්‍රයේ ය. එය ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් පැවති ශෝභමාන මහෝත්සවයකි. ජනාධිපති තුමන් ඇතුළු බොහෝ මැති ඇමතියන් සහභාගී වීම නිසා එය රාජ්‍ය උත්සවයක් විය. මෙහි මා දුටු වැදගත්ම කරුණ වන්නේ තුන් නිකායේම මහා සංඝයා එකම ස්ථානයකට රැස් කරවා ගන්නට හැකි වීමයි. සෙසු සංඝයා කෙසේවෙතත් මහානායක හිමිවරුන් එක තැනකට ගෙන්වා ගැනීම අපහසු කරුණකි. බුද්ධ දේශනාවේ විනය, සංඝ සාමාග්‍රිය පිළිබදව සදහන් වුවද ලංකාවේ තියෙන්නේ අමුතු බුද්ධ සාසනයක් නිසා ද ඒ සමගිය ලංකාවේ භික්ෂූන් අතර නැත.
ත්‍රිපිටකාභිවන්දනා වැඩසටහන සිදුවූ මොහොතේ ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ට අසුන් පැනවීමේ සිදුවීම පිළිබදව සමාජ මාධ්‍යන් හි විවිධ කතා පැතිරිණ. එය බැහැර කළ නොහැකි කාරණයකි. එය කුලවාදය සහ නිකාය වාදය පිළබදව නැවතත් නැවතත් ඇතිවූ කතිකාවක් බව ඉතා පැහැදිලිය. එම උත්සවයට සහභාගී වූ මහානායක හිමිවරුන්ගෙන් සියම් මහා නිකායේ මල්වතු අස්ගිරි පාර්ශවයන් හි මහානායක දෙනම උදෙසා උසසුන් පනවා තිබූ අතර රාමාඤ්ඤ නිකායේ සහා අමරපුර නිකායේ මහානායක දෙනමට සෙසු භික්ෂූන්ට පැනවූ ආසනම පනවා තිබිණි. එය ලංකාවේ කුලවාදය පැවතින ස්ථානය පිළිබදව අපට තොරතුරු ලබා දෙන මොහොතක් විය. මහාසංඝයා සේම ගිහියන් පවා හොදින් දන්නා කාරණයක් වන්නේ සියම් මහානිකාය යනු කුලවාදයේ තිප්පොලක් බවය. එවන් ස්ථානයකින් සිදුවන අඩුපාඩුවක් නිසැකවම කුලවාදය හෝ නිකායවාදය ලෙස අපට හදුන්වාදිය හැකිය. 
බුදුන් වහන්සේ යනු සම්මත කුලක්‍රමයට පහර ගසමින් කුලවාදය අලු දූවිල්ලක් කළ ශාස්තෘවරයා ය. උන්වහන්සේ චන්ඩාල සෝපාකටත් කැත් කුලයේ රාහුලටත් එකසේ සැළකූ උතුමන් වහන්සේය. එවන් සාමයික දර්ශනයක් පැවති බුදුන් වහන්සේගේ සව්වන් වන මල්වතු අස්ගිරි පාර්ශවයේ හිමිවරුන්ට එය අදාල නොවීම පුදුම සහගත කරුණක් නොවේ. මන්ද යත් ඔවුන් සම්ප්‍රදාය වාදීන් බව බොහෝ අය මේ සිදු වීමේදී කියා තිබිණි. කුලමානයෙන් හිස උදුම්මාගත් මාතර ආච්චිලා අප දැක තිබුනද එවන් වුන් භික්ෂු සමාජයෙන් දක්නට ලැබීම බුදුන්ට කරන අපහාසයක් බව අප දත යුතුය. 
උසස් කුල, උසස් නිකාය සම්ප්‍රදායයක් මිස උසස් බුදු දහමක් ලංකාවේ නොමැති වීම සාතිශය සංවේගය දනවන කරුණකි. මෙකල ඉතා ප්‍රාථමික ලාබාල සමාජයෙන් පවා මේ වන විට කුලය ප්‍රහීණ වන අස්ථානයක පවතින මොහොතක කුලවාදය නැවත සමාජගත කොට හත්පොලේ ගා ගත් මහානායක හිමිවරුන් යනු සමාජය තුළින් මේ සිදුවීමට පෙර ප්‍රතික්ෂේප කර ඇති අයවලුන්ය. 
රාජකීය පැවැත්මක් තවදුරටත් ප්‍රාර්ථනා කරමින් සසුනේ අවසාන බලාපොරොත්තුවද නැති කරන මල්වතු අස්ගිරි පාර්ශවයේ ලිංමැඩි මහානායක හිමිවරුන් දත යුතු කරුණක් වන්නේ මේ 21 වන සියවස බවයි. වල්පොල රාහුල, යක්කඩුවේ ප්‍රඥාරාම වැනි හිමිවරුන් ඇති කළ බුද්ධිමය කතිකාවත නැවත වතාවක් මේ රට තුළ ස්ථාපනය කරන්නට හැකි පසුබිමක් ත්‍රිපිටක වාද විවාද මැද්දේ ඇති වන්නට තිබින. නමුත් එ් ආරම්භයේ දීම බුද්ධ වචනය ප්‍රායෝගිකව කා විනාස කළ මේ ස්වාමීන් වහන්සේලා තුලින් හෝ රජයෙන් රැකෙන බුද්ධාගමක් හෝ සසුනක් නැති බව අප දැනගත යුතුය.





ගුරුගොඩ සිරිවිමල  

2 comments:

  1. ආසන කවුරු වෙනුකරලා තිබ්බත් ඔය මහනායකතුමන්ලාට තිබුනේ උපසම්පදාව අනුව ජේෂ්ඨත්වයෙන් වැඩි හාමුද්රුව්නට උස් ආසන ටික පිලිගන්වලා අනෙක් ආසනවල අසුන් ගන්නයි. එත් මෙයලා දෙනම පලතුරු වට්ටියක් අරන් එන දේශපාලුවන්ට බොරු අනුසාසනා කරන්න තියෙන මොලේවත් නෑ කියලා ඔප්පු කලා.

    ReplyDelete
  2. අද ශාශනය තුල බය නැතුව කතා කරන්න පුළුවන් භික්ෂූන් වහන්සේලා අඩූයි.

    ReplyDelete