Saturday, August 29, 2020

කවිකීර්ති ගීත කීර්තිය | ගුරුගොඩ සිරිවිමල

ආරාධනා ඒකනායක අක්ක කවිකීර්ති හිමියන් ගැන සටහනක් ලියල තිබුන දැක්ක නිසා මම කාලයක් තිස්සෙ කවිකීර්ති හාමුදුරුවෝ ගැන ලියන්න ඕන කියල හිතාගෙන හිටිය දේවල් අද ලියන්න ඕන කියල හිතුන. මට එහෙම හොයාගෙන ලියන ආසාව ආවෙ ලහිරු කිතලගම අයියා "කළු සමනලයා" තීරු ලිපිය ලියන කාලෙ; එයාගෙ ලිපියක් කියවීමෙන් පස්සෙ.

කූඹියෝ ටෙලිනාට්‍යේ විදියට කියනවනම් "චාමර කියන්නෙ අහිංසකයෙක්; එයාව හැදුවෙ කවිකීර්ති හාමුදුරුවෝ" චාමර වීරසිංහ  කියන්නෙ අද වෙද්දි ලංකාවේ ජන හදවත් ආදරයෙන්ම ලං කරගත්ත ගායකයා. මෙතනදි ආරාධනා ඒකනායක අක්කවත් මතක් කළ යුතුම වෙන්නෙ; චාමරට ලියපු බොහෝ සිංදු සංඛ්‍යාවක් ඇය අතින්ද ලියවුනු නිසා. ඒ වගේම චාමරගෙ සිංදු සෙට් එක මල් සහ ගල් කියන දෙකෙන්ම පිරිච්ච සිංදු සෙට් එකක්. චාමර ගැන මගෙ හිතේ තියෙන අදහස් වචන කරන්න කැමති නැහැ සහ ඒක කියාගන්නත් බැහැ.

චාමරට සිංදු ලිව් අය අතරෙ දැවන්තම චරිතය වුනේ  2011 දී විතර රිය අනතුරක් හේතුවෙන් අපවත් වුන අපේ කවිකීර්ති හාමුදුරුවෝ. උන්වහන්සේ ගැන වැඩිපුර ප්‍රවීණයෝ කතා කළේ නැත්තෙ සමහරවිට පෙම් ගීත ලියපු හාමුදුරුවෝ කෙනෙක් වීම, B.A,M.A,Phd වගේ ඒව තියා නිකං සාමවිනිසුරු වගේ කෑල්ලක්වත් ඉස්සරහින් තිබුන නැති නිසා වෙන්න ඇති. මේකෙදි මම ප්‍රසිද්ධ ගීත ලියපු බෞද්ධ භික්ෂූන් වහන්සේ කෙනෙක් ගැන නම ලියන්නෑ. සැරයක් මට මතකයි උන්වහන්සේ පවා එක් වෙලාවකදී නම නොකියා යම් අවමානයක් කවිකීර්ති හාමුදුරුවෝ සම්බන්ධයෙන් කරා. ඒ මතවාද අදහස් වලට මම එකග නැති වුනත් ගරු කරනව. ඒත් මම ඒ ගැන ලිව්වෙ කවිකීර්ති හාමුදුරුවන්ගේ ගීත රචනා ගැන නම තියෙන අය කතා කරේ නැහැ කියන එක ඒත්තු ගන්වන්නයි.

කවිකීර්ති හාමුදුරුවෝ වැඩහිටියේ දකුණෙ පංසලක. ඉතාමත් දුශ්කරව, අහිංසකව වැඩහිටිය හාමුදුරුවෝ නමක්. (වාහනයක් එහෙම තිබුන කියලත් අහල තියෙනව. නමුත් ඒක දුශ්කර නොවෙනවා කියන්න හේතුවක් නෙමෙයි.) මම අහල තියෙන ප්‍රබන්ධයට අනුව චාමර කියන්නෙ හාමුදුරුවන්ගේ පංසලට අල්ලපු වැටේ ඉදපු කොල්ලෙක්. "චාමර තාප්පෙන් පැනල පංසලට එනව" කියන එක තමයි ප්‍රබන්ධය. ඒක සත්‍යද නැද්ද කියන එක මම හොයන්න ගියෙ නෑ. මොකද ඒක ලස්සන නිසා. ඒ කෙසේවෙතත්;

කවිකීර්ති හාමුදුරුවන්ගේ මල් සිංදු ගණයෙහි ලා සැලකෙන මහා විශාල ගීත සමුදාය අපි තාම අහනව. ඒන මාරයි සහ එහෙම අදහස් කොහොම ලියනවද කියල හිතාගන්න බෑ.

  • දකුණේ පින් ඇති
  • කිරි වෙහෙරට යන පාරේ
  • උඩවැඩියා මලක් වෙලා
  • බුදු පදවි පතාගෙන
  • නුඹේ අතින් මල් මහලා
  • අමාවකට අතවනනා
  • වැදූ අම්මා නොවුන මුත් මා
  • මදුනාගල අහසේ
  • බුදුන් දැක නිවන් දකින්න
  • මඩ සෝදාගත් කළ
  • ගමට වැඩ ඇති
  • ලය ගින්දරින් ගිනිගන්නා
  • ගුරු ගෙදරට හැමදා එන
  • තණමල්විල මල් පිපුණත්
  • දෙවෙනි බුදුන් කියලා ඔබෙ දෙපා වදින්න

කියන චාමර ගයපු සිංදු ලැයිස්තුවේම අයිතිකාරයා කවිකීර්ති හාමුදුරුවෝ. උන්වහන්සේ චාමර වෙනුවෙන් වෙන්නත් ඇති බොහෝ ගීත ප්‍රමාණයක් රචනා කරලත් ඇත්තේ කියල මම විශ්වාස කරනව.

ගමට වැඩ ඇති ගමේ ඉදිවුන පුංචි අවාසේ

අපේ හිමිවරු විදිනවා දුක් කටුක කටු වාගේ

සේඉලමේ මහා තුසිත දෙව්ලොව සදිසි මහා වෙහෙරේ

වැඩ හිදී අපේ මහා හිමිවරු ලබා සුව සහනේ

කියල ගමේ පංසලේ අවුල කොළඹ කේන්ද්‍රීය නගරබඳ විහාරස්ථානයේ පැවැත්ම සහ රටේ දේශපාලන සමාජ ප්‍රශ්නය ගැන සංවේදීව ලියන කවි කීර්ති හාමුදුරුවෝ එක් වෙලාවකදි රට, ජාතිය, ආගම මූලික කරගත්ත මුළු මහත් සාම්ප්‍රදායික දේශපාලන දේහයටම දරුණු කනේ පහරක් එල්ල කරනෙ මෙන්න මේ විදියට;

දිලිසෙන්නට පට සිවුරක්

ගමන් වලට නිල රථයක්

ලේ තැවරුන මැතිඳු අතේ

ධවල පිරිත් නූලක් මං හනික බඳින්නං

කරන කියන හැමදේටම එහෙයි කියඥ්ඥං

මේ චාමරගේ "සඳහම් සිසිල" කැසට් පටයේ මුළුමහත් ගීත ගොන්නෙහිම පද රචකයා වෙමින් උන්වහන්සේ එහි ලියන ලද සෑම බොදු සම්මත ගීතයකම එකල සමාජ දේශපාලනික කතිකාවතට සාමාන්‍ය ජනයා නම්මවා ගැනීමේ හැකියාව නොතිබුනා යැයි කාටවත් කිව නොහැකිය.

උන්වහන්සේ එහි දී ලියන "දෙස බස රැස" ගීතයේ

දහම් පාසලට ඉඩ නැති මහා වෙහෙරේ

ටියුෂන් හඩ පිලිරැව්දේ බණ මඩුවේ යනුවෙන්ද

එහි දෙවන පෙළෙහි දී ;

නිල් කහ කොළ කිහිපයටකට මිට මෙලවී

ටියුෂන් හඬ උඩ එනවා බණ යට වී

ගුත්තිලයින් මුනිවත රකිනා විටදී

මූසිලයන්ටයි ලැබුනේ රජ පදවී

යනුවෙන් ද මේ කුණු වූ දේශපාලන ධනවාදී ප්‍රවණතාව අබියස ගමේ පංසලට සිදු වූ නස්පැත්තිය පිළිබඳව තේරෙන භාෂාවෙන් ලියා දක්වයි.

ඉන් නොනවතින කවිකීර්ති හිමියන් එම "සදහම් සිසිල" කැසට් පටයේදී ම මෙරට තිස්වසරක් පුරාවට තිබූ අශික්ෂිත යුධමය වාතාවරණය පිළිබඳව සාමයික අයුරකින් දක්වන්නේ මෙලෙසිනි.

තල් පැදුරක් එලා ගන්න දකුණේ ගෙදරක

පන් පැදුරක් එලා ගන්න උතුරේ ගෙදරක

තල් පැදුරයි පන් පදුරයි යා වෙන දවසක

නුඹෙ සුසුමයි මගෙ සුසුමයි පාවෙයි ඈතක

එසේම උන්වහන්සේ වත්මන් සමාජයේ ද අවුලක්ව පවතින ගොවියාගේ ප්‍රශ්නය පිළිබඳව සංවේදී වෙමින්

අනාගතය ගෙට එනවා දරුවො බලන්න

හෙට්ටු නොකර මුදලාලී කමත මනින්න

උදුරාගත් ඒ රජකම සිටුවරුන් කරන්න

ගොවි රජාට නිවන් සුවය ලියා එවන්න

යනුවෙන් ලියන අතර එහි දැක්වෙන භාෂා භාවිතයේ සරළත්වය සහ නිර්මාණාත්මක බව "බුද්ධ භෝගයට හොඳ නෑ කඳුළු වැටෙන්න", "ගොවි රජාට නිවන් සුවය ලියා එවන්න" වැනි පදතුළින් මනාව පැහැදිලි වේ.

මෙහි සුවිශේෂී බව වන්නේ " මඩ සෝදාගත් කළ ගොවියා රජකමටත් සුදුසුය" යන වචන පෙළ ඔහේ කියවමින් සාහිත්‍ය නිර්මාණ තුළ නැති දේවල් පෙන්වීමට උත්සාහ කරන අමුතු වාක්‍යයක් ලෙස යොදාගන්නා නිර්මාණාත්මක අවභාවිත අතරතුරදී මෙවනි දේශපාලනික සමාජ ඛේදවාචකයක් පිළිබඳව සාකච්ඡා කිරීමට යොදාගැනීමයි.

එසේම,

අටපිරිකර නැව් නැම්මේ බලා සිටිනවා

පිරුවානා පොත දූවිලි මහල් තනනවා

ත්‍රිපිටකයට කාවන් රැළි රටා මවනවා

දහම් දීපයේ දම් හඬ නිදා වැටෙනවා

 

සුභාශිතය අමා වතුර සුසුම් හෙලනවා

වැවයි දාගැබයි පන්සල ගමෙන් කැඩෙනවා

හන්දි ගානේ සතරවරම් දෙවියො හිදනවා

දහම් දීපයේ දම් හඬ ගිලා බසිනවා

වැනි පද රචනා තුළින් උන්වහන්සේගේ දේශ හිතෛෂී විකල්ප මතවාදය මනාව සන්නිවේදනය කිරීමට උන්වහන්සේට හැකියාවක් ලැබිනි. උන්වහන්සේ පමණක්ම පදරචනා කළ චාමර වීරසිංහගේ මෙම "සදහම් සිසිල" කැසට් පටයේ සුවිශේෂී බව වන්නේ සෑම ප්‍රවීණ විශාරද පන්නයේ ගායකයෙක්ම කරන ලද "බොදුබැති ගීත" කැසට් පට තුළ බුදු ගුණ පමණක්ම පාදක කරමින් ගීත නිර්මාණ දැක්වීමත් මෙහි ඒ සඳහා එකම එක ගීයක් පමණත් වැය කිරීමත්ය. අනෙක්වා සියල්ලක්ම පාහේ රට තුළ ආගමික, දේශපාලනික, සමාජ ප්‍රශ්නය පිළිබඳව  කරන ලද වටිනා ගේය රචනාවන්ය. ඒ් මේ ගීතාවලියයි.

බුදුන් දැක නිවන් දකින්න

ගමට වැඩ ඇති

අමා මහ නිවන් වඩින්න පෙර

මහ සෑයේ කොත් කැරැල්ල

  • ඔබේ පා යුග දණ නමන්නට
  • අසූ හාර දහසක් බුදු බණ
  • මෙත් මුදිතා කරුණා
  • වන්දනීය සිතුල් පව්ව
  • අටපිරිකර නැවු නැම්මේ
  • දිලිසෙන්නට පට සිවුරක්
  • තල් පැදුරක් එළාගන්න
  • දෙස බස රැස විකිණී යන
  • වාරියපොළ සුමඟුල් වැනි
  • මඩ සෝදා ගත් කල

ව්‍යංග්‍යර්ථ වැනි දෑ යොදා නොගනිමින් සාමාන්‍ය ජනතාවට තේරුම් ගත හැකි අයුරින් මේවා ඉදිරිපත් කර තිබීමද කවිකීර්ති හිමියන්ගේ සෑම පදරචනාවකම දක්නට ඇති ලක්ෂණයක් වේ.

සදහම් සිසිල කැසට් පටයේ ඇතුළත් ගීත මෙතැනින් අසන්න

මෙවැනි දේශපාලන සමාජ සංකතනයක් ඇති කළ යතිවර ගේය සලකුණක් මම සුවිශේෂී වශයෙන් වෙනත් ගීත ලියන භික්ෂූන් වහන්සේ නමකගෙන් දැක නොමැත.

උන්වහන්සේගේ ගීතමය දායකත්වය එය පමණක්ම නොවන අතර චාමර වීරසිංහගේ අප අද අසන  ප්‍රේමාන්විත ගීත රාශියකම සදාතනික උරුමකරුවා වන්නේ කවිකීර්ති හිමියන්ය.

ඉතා සරළ, බොළඳ ප්‍රේම ගීත අපූරුවට රචනා කර ඇති උන්වහන්සේ සමහර තැනකදී

මදුනාගල අහසේ දග කරනා තරු ගනින්නත්, උණුදිය පොකුණ ලගදි හැන්දෑවක මුණ ගැහෙන්නත් ඇරයුම් කරන උන්වහන්සේ දහවල දූවිල්ලෙන් රතු වුණ දෙනුවන් නිවන්නත්, ආදරයේ සෙනේ දියෙන් මැලවුණු හදවත තෙමන්නත් "මැණිකේ"ට ඇරයුම් කරයි.

තවත් තැනක දී කිරිවෙහෙරට යන පාරේ මල් විකුණන සීදේවී ලා ගැනද ලියන්නට අමතක නොකරන උන්වහන්සේ තවත් ගීතයකින්;

ඔබේ අතින් මල් මහලා කුරුළු ජෝඩුවක්

මතකද ඔබ මට දුන්නා කොට්ටෙට උරයක්

අපේ මතක අමතක කර හිත තියා බරක්

කොහොමද ඔබ ඉගිළ ගියේ නොපෙනෙන ඈතක්

යනුවෙන් රචනා කරමින් ප්‍රේමයේ සාතිශය බොළඳ තැන් සංස්පර්ශ කරන ලද අතර; ඒවාට ඇති පදන් නූතන විදග්ද විචාරකයන්ගේ අම්බානකට අසාගත්හ.

තව තව තැන්වලදී "සුදු නෝනා" නිසා හොදටෝම රිදවාගත් අයුරු ගැනත් ලියන්නට මැලි නොවෙයි. ඒ මෙලෙසින්ය.

ළය ගින්දරින් ගිනි ගන්නා රෑ යාමේ

කිම මා සොයා මගෙ උඳුවප් සඳ නාවේ

හොඳටම රිදී නෙතු දොරඟුළු බිඳුනාවේ

ජාතිත් ආදරෙයි නුඹටම සුදු නෝනේ

ජාතිත් ආදරෙයි නුඹටම සුදු නෝනේ

එසේම,

ගුරුගෙදරට හැමදා එන මවුපියන් පිළිබඳවත්, තණමල්විල මල් ගැනත්, අමාවකට අත වනනා පිච්ච මලීලා ගැනත් උන්වහන්සේ ලියයි.

මා මුලින්ම කියූ ආකාරයට චාමර වීරසිංහ යන අපගේ හදවතේ ගායකයා නිර්මාණය කරන්නේ අන් කවරකුත් නොව කවිකීර්ති හිමියන්ය. ඒ බව චාමර වීරසිංහ යන සැබෑ මනුස්ස ගායකයා බොහෝ තැන්වල කෘතඥපූර්වකව සිහිකරන අයුරු අප දැක තිබේ.

මේ අයුරින් බරසාර, වීසි කළ නොහැකි, දේශපාලනික, සාමාජීය හරයක් සහිත ගීත ගොන්නක් ද තවත් පැත්තකින් විදග්ද සමාජයෙන් අම්බානෙට බැනුම් ඇසිය හැකි "මල් සිංදු" කැටගරියට එකහෙළාම දැමිය හැකි බොළඳ ප්‍රේම ගීත රාශියක් ද උන්වහන්සේ ලිව්වේය. ලියා කිත් යසස්, සම්මාන අබිමන් නොලබාම මේ මිහිමතින් නික්ම ගියේය

උන්වහන්සේට අපගේ හදවතේ සම්මානය අප ලබාදෙන වග හදවතින්ම ලියා තැබිය යුතුමය.

ඔබේ පා යුග දණ නමන්නට

ඔබේ සෙවනේ රැඳී ඉන්නට

අපි ලැබූ පින් අපිට අද හිමි නෑ

අනේ අපි අද අසරණයි

අපේ හාමුදුරුවනේ

|ගුරුගොඩ සිරිවිමල

කිසිවෙකුත් නොගැටෙන ලෙස ඉතා රහස්‍ය ලෙස ග්‍රාමවාසීව වැඩසිටි උන්වහන්සේ 2011 වසරේදී අපවත් වී වදාලහ. ඒ රිය අනතුරක් හේතුවෙනි. වැඩි පිරිසක් සහභාගී නොවූ බව කියන එම ආදාහනය ඉතා සුළු පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු වූ බව සැළ විය. වඩාත් අවිහිංසක ජීවන ප්‍රතිපදාවක අවසාන ගමනට සාදු කාර පැවැත්වීම් අවැසි නැති අතර ජීවිතයේ මනුෂ්‍ය අර්ථය වටහාගත් මිනිසෙකුට අවසාන වශයෙන් අවැසි වන්නේ ද මිනිසුන්ගේ හඬාවැටීම් නොමැති අවසාන ගමනක්මය.
NOTE ; මෙම ඡායාරූප මා හට ලබා දුන්නේ ආරාධනා ඒකනායක විසිනි.

Proof:

ආරාධනා ඒකනායක විසින් සිය ෆේස්බුක් පිටුවේ ලියන ලද්දේ මෙයයි.

https://nowshowing.lk/news/532-2017-04-28-05-14-47

සමහර ගී පද මතකයෙන් ලියූ අතර ඒවයේ අඩුපාඩු තිබිය හැකිය.


2 comments:

  1. උන්වහන්සේ ලියු ගීත අතුරුන් හා චාමරගේ සිංදු අතරින් ආසම අමාවකට අතවනනා පිච්ච්මලි..
    මේක අත්දැකීමක් කියලා අහලා තියෙනවා

    ReplyDelete
  2. ස්තුතියි හාමුදුරුවනේ 🙏

    ReplyDelete