Tuesday, April 9, 2019

අරපිරිමැස්ම

ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨතම යැයි සදහන් කරන්න පුළුවන් දර්ශන අතරින් බෞද්ධ දර්ශනය කියන්නෙ අංක එකේ තියෙන දර්ශනයක්. ඒක ඒ තරම් ශ්‍රේෂ්ඨ වෙන්නෙ ඇයි? ඇත්තෙන්ම බුදුන් වහන්සේ දේශනා කරපු දේවල් ගැන නිදහසේ කල්පනා කරද්දි ඒක අපිට වැටහෙනව ඔ්නම කෙනෙක්ට. ඒ දර්ශනය හරි ප්‍රායෝගිකයි. ව්‍යාකූල නැහැ. අපි බෞද්ධ දර්ශනය කියල බෙරිහන් දෙන ඒක මාරයි කියල ටීවී ගානෙ පොත් ගානෙ කොච්චරනම් කියන රටක් ද? ඉන්දියාවෙන් එදා මෙදාතුර අපිට ලැබිච්ච වටිනාම දේත් ඒක. ඒත් ලංකාව කියන්නෙ සෑම අංශයක්ම අන්ත දූෂිත වෙච්ච පරාජිත රටක්. 
මේ දවස් වල විදුලිය පිළිබදව, ජලය පිළිබදව ලොකුවට කතා කරනව. ඒත් විදුලිය ජලය අපි තරම් නහත්ති කරන ජාතියක් ගැන මට අහන්න, දකින්න හෝ කියවන්න ලැබිල නැහැ. දැනුවත්ව ලෝකයේ ජලය විදුලිය පිළිබදව ඒ රටේ රජය වගේම මහජනතාවත් විශේෂ ප්‍රතිපත්ති අනුගමනය කරනව. ඒ අයට ඒ වෙනුවෙන් ඇප කැප වෙලා වැඩ කරන්න ඔ්න්නෑ. ඒකට හේතුව ඒ අය සාම්ප්‍රදායිකව රැකගෙන එන ප්‍රතිපත්ති තියාගෙන ඉන්නව. හැබැයි අපේ රටේ වටේටම මහ මුහුද, ඒත් වතුර බිංදුව නැතිව ජීවිත වලිං වන්දි ගෙවන මිනිස්සු කොයිතරම්නම් ලංකාවෙ ඉන්නවද. ඒ මදිවට වතුර, විදුලිය, පරිසරය රකින්න වෙනම සංවිධාන පවා පිහිටුවාගෙන ඉන්න රටක් මේක. ගහ කොළින් ඇළ දොළින් කිසිම අඩුවක් නැති රටක ඒව රකින්න මිනිස්සුන්ගෙ රස්සාවට අමතරව මිනිස්සුන්ට ඇප කැප වෙලා වැඩ කරන්න වෙලා. මේක සාමූහික පරිහානයේ ලක්ෂණයක්.
බුදු දහම ගැන මුලිම්ම කියල අර වගේ ටිකක් මට කියන්න වුනේ ලංකාව කියන්නෙ බෞද්ධ රටක්ය කියල අපි තවමත් විශ්වාස කරන ජාතියක් නිසා. අපිට අපෙන් ඈත් වෙලා යන සම්පත් ටික නිවැරදිව ආරක්ෂා කරන්න බෞද්ධ සමාජ දර්ශනයෙන් කොයිතරම්නම් උපදෙස් දීල තියෙනවද. මට මේ ටික මතක් වුනේ විශේෂ හේතුවක් නිසා. ඇත්තෙන්ම මේ ලියමනේ මාතෘකාව අරපරිස්සම. බුදු හාමුදුරුවො අරපරිස්සම අගය කරල තියෙනව. "මේ ළගදි අපේ පංසලට මුස්ලිම් මිනිස්සු දෙන්නෙක් ආව නවාතැන් ගන්න. ඒ අය බිස්නස් කරනව. ඉතා තරුණ පෙනුමක් තියෙන කොල්ලො දෙන්නෙක් කිව්වොත් හරියටම හරි. රෑ නමයට වගේ මගෙ කාමරය ඉස්සරහට ඇවිත් නාන්න යන මේ දෙන්නගෙන් එක ලමයෙක් සබන් කෑල්ලක් ඉල්ලුව. මම අලුත්ම සබන් කෑල්ලක් දුන්න. මෙයා මේක අරන් නාන්න ගියා. නාල ඉවර වෙලා මේ දෙන්න යන්න ගියා. මාත් රෑ නාන තැනට ගියෙ නිදියන්න කලිං ඇගපත ටිකක් තෙමා ගන්න. මෙන්න නාන තැන අලුත්ම සබන් කැටයක්. ඒ මම අර තරුණයට දුන්න සබන් කෑල්ල. මම මගෙ සබන් පෙට්ටිය බැළුවම ඒකෙ තිබුනෙ සබන් පොත්තක් ඉවර වෙන්න ඉතා ලං වුන සබන් කෑල්ලක්. තමන්ට නිකං ලැබුන දේ පරිස්සම් කරගන්න දන්නැති මිනිස්සු කියන හැගීම මට ඇති වුනා." මේක මං ලිව්වෙ අපි අර පරිස්සම ගැන හොදට දන්න නිසා. තියන දේ ආරක්ෂා කරගන්න අපි දන්නව.
බුදු හාමුදුරුවො මේ අර පරිස්සම ගැන ලස්සනට අපිට කියල දීල තියෙනව. "උදේනි රජුගෙ අන්තඃපුර කාන්තාවන්ට බණ දේශනා කරන්නෙ ආනන්ද හාමුදුරුවො. දවසක් උන්වහන්සේගෙන් බණ අහල පැහැදුන අන්තඃපුර කාන්තාවො ආනන්ද හාමුදුරුවන්ට කසී සළු 500ක් පූජා කරනව. මේක දැනගත්ත උදේනි රජතුමා ආනන්ද හාමුදුරුවන්ගෙන් මේ ගැන විමසනව. ස්වාමීනී ඔබ වහන්සේට සළු 500ක් අන්තඃපුර කාන්තාවො පූජා කරාද? එහෙම පිළිගන්වන අතිරේක ලාභ ලබන්න බුදුන්වහන්සේ අනුදැන වදාරල තියෙනවද? ආනන්ද හාමුදුරුවො දෙන උත්තරේ සරළයි. ඔව්. මම පිළිගත්ත. පිළි අරගෙන දුර්වල සිවුරු තිබුන භික්ෂූන්ට බෙදල දුන්න. ඒ ගැන පැහැදුන රජතුමා ආයෙ අහනව දුර්වල වුන සිවුරු වලට මොකද කරන්නෙ කියල." ඒ්කට ආනන්ද හාමුදුරුවො දෙන උත්තරේ අපේ ජීවිතේ අර පරිස්සම ගැන අපිට ලස්සන පාඩමක් කියල දෙනව. ඒ මේ සදහන
" මහරජ, පරණ සගල නැවත කටු කොහොල් ගෙත්තම් කොට රදා පොරෝනා සිවුරු කෙරෙති, පරණ පොරෝණා සිවුරු නොතොර තැන් කපා තර තැන් ගෙන අදනා සිවුරු කර ගනියි, ඒ පරණ අදනා සිවුරු පස තුරුණු කොට ඇද ඇතිරිළි කර ගනියි, ඒ පරණ ඇද ඇතිරිළි බුමුතුරුණු කර ගනියි. ඒ පරණ බුමුතුරුණු පා පිස්නා කර ගනියි, ඒ පරණ පාපිස්නා සිහින් කොට කපා සුණු විසුණු කොට මැටියෙහි ලා අනා සගසතු ගෙවල බිත්ති කර්මාන්තයට යොදාගනියි"
මේක අපිට හරි වටින පාඩමක් කළමණාකරණය, අර පරිස්සම කියන්නෙ අපිට නුහුරු දෙයක් නෙමෙයි. නමුත් ඒක නැවත සිහි කැදවාගෙන වැඩ කරොත් රටේ මේ තරම් සම්පත් විනාසයක් වෙන්නෑ. පශ්චත්තාපයට පත් වෙන්න වෙන්නෑ.
මතක තියාගන්න අරපරිස්සම කියන්නෙ ලෝභ කම නෙමෙයි.



|ගුරුගොඩ සිරිවිමල

No comments:

Post a Comment