Wednesday, April 17, 2019

සිංහල හිංදු නව අවුරුද්ද සහ ජාතිකවාදයේ ශෝකාන්තය

ශ්‍රී ලාංකාවේ මිනිසුන් නව අවුරුදු ද්වයක් ඉතා ඉහළින් සමරණු ලබති. 2019 වසරට අදාලව ගත්විට එය ජනාවාරි පළමුදා ලෙසද අප්‍රේල් 14 දා ලෙසද සමරණු ලැබෙති. මින් සිංහලයාගේ නියම අවුරුද්ද ලෙස සැමරිය යුත්තේ කිනම් දිනය ද යන්න සමහරෙකු දනී. සමහරෙකු නොදනී. සමහරෙකු දින දෙකේම අවුරුද්ද සමරති. සමහරුන්ට හැමදාම අවුරුදුය. කෙසේවෙතත් සිංහලයාගේ නියම අවුරුද්ද යනු අප්‍රේල් හෙවත් බක් මස 14 වන දා බව අප අමතක නොකල යුතු කරුණකි. එය සිංහල රටේ අවුරුද්දය ආගම කුමක් වුව ද, ජාතිය කුමක් වුව ද ශ්‍රී ලංකාවේ අවුරුද්ද සැමරිය යුත්තේ බක් මස 14 වන දින බව පොඩි සාදුගේ අදහසයි. එක් කොඩියක් යට එක්සත් වීම යනු එයයි. ජනවාරි පළමුදා යනු අප වෙත ඉංග්‍රීසීන්ගෙන් ලැබුනු ක්‍රමයක් මිස අනෙකක් නොවේ. නමුදු අප රටේ ජනප්‍රිය වන අවුරුද්ද යනු ජනවාරි පළමුවන දා වීම කණගාටුවට කරුණකි. 
රටක අනන්‍යතාව යනු අවුරුද්ද වැනි සාම්ප්‍රදායික සංස්කෘතික ලක්ෂණයි. සමගිසම්පන්න රටක් වෙනුවෙන් දින 365 ක් වෙහෙස වන බව දනිමු. නමුදු එය මෙතුවක් සාර්ථක නොවීමට ප්‍රධාන හේතුවක් වන්නෙ අවුරුදු වැනි සාම්ප්‍රධායික ලක්ෂණ වලින් තොර වී පැවැත්ම ඇති කරගැනීමට උත්සුක වීමයි. ගමේ රටේ නගරයේ කොහේත් මේ සංස්කෘතික අනන්‍යතාවය පිළිඹිබු වන විට සැවොම එකා වන්ව ක්‍රියා කරන්නට සමත් වෙති‍. 
සිංහල හිංදු අවුරුද්ද යනු වැදගත් සංස්කෘතික ලක්ෂණ රාශියකින් ඔප ගැන්වෙන්නකි. මාටින් වික්‍රමසිංහයන් සිය ගම්පෙරළිය නව කතාවේ ගමට ආවේනික සිංහල අවුරුද්ද ගැන අපට යම් හෝඩුවාවක් ලබා දෙයි. නව නූතන වාදී සමාජයක පාරම්පරික ගති සිරිත් ඇදහීම ඉතා ලඝු කොට සළකන කාරණයකි. නමුත් තවමත් නූතනවාදී නොවන අපට වඩා නූතනවාදී රටවල් ද සිය සංස්කෘතික ලක්ෂණ ආරක්ෂා කරගැනීමට යත්න දරන්නේ සම්ප්‍රදායන් කඩා බිද දැමීමට පෙර අප සම්ප්‍රදාය උගත යුතු බව දැන සිටින නිසා විය හැකිය. සම්ප්‍රදාය යනු ආගමක් වැනිව වැලදගත යුත්තක් නොවේ. එහි පවතින සාදනීය ලක්ෂණයන් පවත්වාගෙන යාම රටක ජනතාවට ලැබෙන වරප්‍රසාදයක් බව අප පිළිගත යුතුව ඇත. ඉන් ඔබ්බට සිතීමට යාම තම පෞද්ගලික කාරණයකි. සිංහල නව අවුරුදු මිත්‍යාව ලෙස නම් කළ හැකි නැකත් ක්‍රමය වැනි දෑ තුලින් අපට ලැබෙන සුව සහනයක් නැති වුවද ඒ වටා සංස්කෘතිකව එකමුතු වීමට සිංහලයා එකග විය යුතුමය. එය එසේ නොවීම ජාතිකවාදයේ ශෝකාන්තයය.
මෙහිදී අප ජාතිකවාදයේ ශෝකාන්තය කුමක්ද යන්න තව දුරටත් විග්‍රහ කර ගැනීමට අවශ්‍යය. සිංහල ජාතිකවාදය යනු දේශප්‍රේමයයි. ඒ තුල ජාතිවාදයේ ලක්ෂණ පිළිඹිබු නොවේ. සිංහල දෙමළ මුස්ලිම් ආදී කොටගත් වාර්ගික බෙදීම සහ වෙනත් වෙනත් අයුරින් ඒ ඒ ජාතීන්ට සැළකීම ජාතිවාදයයි. නමුත් සිංහල ජාතිකවාදය හෙවත් දේශප්‍රේමය යනු සැවොම එකාවන්ව රට තුළ අනන්‍යතාවන් රැක ගනිමින් නව ලොව ජය ගැනීමට යත්න දැරීමයි. සිංහල දෙමළ මුස්ලිම් ආදී කොටගත් විවිධ ජාතීන් සියළු දෙනා එක්ව ජනවාරිය සිය නව වසරේ උදාව ලෙස සැමරීම එකී ජාතික වාදයේ ශොකාන්තය බව අප පිළිගත යුතුව ඇත. මෙකී ශෝකාන්තය තවත් ලෙසකින් සුනිල් එදිරිසිංහයන් ගයන "රා රා රා බොම්බියේ " ගීතයේ අන්තර්ගත වේ. 
සිංහල අවුරුද්දේ තාර්කික අවසානය කෙමෙන් කෙමෙන් ලං වීම යනු විශේෂයෙන්ම යුරෝපීය සංස්කෘතියේ අනවශ්‍ය දේ කෙරෙහි අප නතු වීමයි. කිනම් සංස්කෘතියක හෝ යහපත් දේ ලබා ගෙන අප සංස්කෘතිය ගොඩ නංවා ගැනීම යහපත් වූවද එන එන හැම රබන් පදයක්ම ඉහ මුදුනින් බාර ගැනීම යහපත් දෙයක් නොවේ. සිංහල පාරම්පරික වෙද කම අද වන විට ලංකාවේ අහුමුලු වල පමණක් සිදුවෙන රහසිගත දෙයකි. නමුත් පාරම්පරික සිංහල වෙදකම තුලින් ද සුවය ලබා ගත හැකි බව අප දනිමු. බටහිර වෛද්‍ය විද්‍යාවද එසේමය එයින්ද රෝග සුව වේ. නමුත් එතැන ලංකාවක් නැත. එනම් අපගේ අනන්‍ය ලක්ෂණ අප තුළින් මේ වන විට වියැකෙමින් පවතින බවය. සිංහල සංස්කෘතිය කියවා ගත යුතු අලුත්ම කෝණය දැන් අප සොයා යා යුතු වන්නේ එබැවිනි. මෙය නැති බංග වී මියැදීමට දෙනු වඩා මෙහි ඇති වටිනාකම් නව ආරකින් මිනිසාට සම්පත් ලෙස පරිභොජනයට ඉඩ දිය යුතුය. එය ශ්‍රී ලාංකීය මිනිසාගේ අයිතිය තිබෙන තැන බව අප වටහාගත යුතුව ඇත. 
අප වටහාගෙන ඇති කැව්ම් කොකිස් අවුරුද්දට වඩා යමක් මේ අවුරුද්ද තුළ ඇති බව වටහාගෙන අලුත් ඇදුම් ගනිමින් කෙරෙන ශොපින් අවුරුද්දට වඩා සංස්කෘතික සම්ප්‍රදායේ ගත යුතු දෑ ගැනීම ඉතාමත් වටී. 
සමාජ සාරගුණ ධර්ම පැවැත්මේ වටිනාකම, ආගමික සුහදත්වය, සමාජ සංහිදියාවට අමාත්‍යාංශ තුළින් වෙනම විය පැහැදම් කොට කෙරෙන ව්‍යාප්පෘතීන් අපට දැන් දැන් අහන්නට දකින්නට සිදුවේ. සිංහල අවුරුද්දේ වටිනාකම ගැබ් වන්නේ එවන් දේශපාලනික සමාජීය ගැටළු නිරාකරණයට සිංහල අවුරුද්ද අර්ථවත්ව සැමරීමේ උත්තරයක් ලෙසය.
සැමට සුබ නව වසරක් ප්‍රාර්ථනා කරමි.


ගුරුගොඩ සිරිවිමල 

No comments:

Post a Comment