Tuesday, July 29, 2025

දූවිල්ලේ රැඳුණ පියසටහන් | FootPrints in the Dust

පොතක්නම් එය කියවිය හැකි විය යුතුය, කියවීමෙන් ආනන්දයත්, ප්‍රඥාවත් ගෙන ආ යුතුය, පරිස්සම් කොට තබාගෙන විඩෙන් විඩ ද කියවන්නට සිත යා යුතුය. එවැනි පොතක් මා හට කියවන්නට ලැබුනේ මෑතක දී ය.

 

ඕස්ට්‍රේලියානු ජාතික ශ්‍රාවස්තියේ ධම්මික හිමියන් විසින් “FootPrints in the Dust: The life of the Buddha from the most ancient sources” නමින් රචනා කරන ලද ඉංග්‍රීසි කෘතියේ සිංහල පරිවර්තනය කුඩගම්මන සීලරතන (භන්තේ සීල) හිමියන් “දූවිල්ලේ රැඳුණ පියසටහන්: ඉපැරණි පාළි මූලාශ්‍රය ඇසුරින් බුදුන් වහන්සේගේ ජීවිත කථාව” නමින් මෑතකදි එළිදක්වන ලදි.

කියවන්නට රුචිය ඇති වන පරිද්දෙන්, පොත් ඉතා හොඳින් තෝරා බේරා ගනිමින් ද, අලංකාර භාෂාවකින් ද පරිවර්තන කාර්යයන් සිදු කරන සීල හිමියන්ගේ පරිවර්තන කෘතියක් මග හැර යාම රසවතුන්ට උචිත නොවේ. තවද, එය මොළයට පාඩුවකි. එබැවින්, බුද්ධාලම්භන ප්‍රීතියෙන්, බුද්ධි කලම්බන රුචියෙන් දෑතින් දෝතින් ගෙන මෙම කෘතිය කියවීමටත්, රසවින්දනයටත් පටන් ගතිමි.

 

කෘතියේ රචකයා වන එස්. ධම්මික හිමියන් යනු, කාලයක් පුරාවට බෞද්ධ පර්යේෂණ සිදු කරමින් බුදුදහම ගවේෂණය කරන, ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල විද්වතුන් ඇසුරු නිසුරු කරන විද්වතෙකි. භාවනාවට රුචි කරන භික්ෂුවකි. කෘති ගණනාවක් රචනා කරන ලද ගත් කතුවරයෙකි.

එස්. ධම්මික හිමියන්ගේ දූවිල්ලේ රැඳුණ පියසටහන් සඳහා පදනම් වන්නේ, ගෞතම බුදුන්වහන්සේගේ ජීවන තොරතුරුය. බුදුන් වහන්සේගේ ජීවන තොරතුරු ඇතුළත් කෘති බොහෝමයක් රචනා වී තිබුන ද, ශාස්ත්‍රීය වශයෙන් රචනා වූ කෘති අල්පය. බොහෝ කෘති උන්වහන්සේගේ ජීවන තොරතුරු, භාවාතිශය කතාන්දර මුල් කරගනිමින් ගොඩනගන ලද ඉන්ද්‍රජාලික ශාස්තෘවරයකු බවට අප ඉදිරියෙහි ඔසවා තබයි. නමුත්, මූල් කෘති පදනම් කරගනිමින් නව බුද්ධ චරිතයක් ගොඩනැංවීමට ශාස්ත්‍රීය වෙහෙසක නිරතවන එස්. ධම්මික හිමියන් තම පර්යේෂණයට පාදක කරගන්නා ප්‍රාථමික මූලාශ්‍රය වන්නේ, ථෙරවාද ත්‍රිපිටකයයි. උන්වහන්සේ ස්වකීය චින්තනය ද දායක කරගනියි. කතුවරයා කියන පරිද්දෙන්, මෙම කෘතිය 35 වසරක් පුරාවට දරන ලද වෙහෙසකි. බුදුදහමට සැබැවින්ම දුර වූ, බුද්ධ චරිතයෙහි ආලෝකයක් කුඩා කළ පටන් නොලැබූ රචකයෙක් වන උන් වහන්සේ බුද්ධ චරිතය දෙස දුර සිට බලන්නෙකු ලෙස මට සිතෙයි. පර්යේෂණ වස්තුව පර්යේෂකයාට පුද්ගලිකව සමීප වන තරමට පර්යේෂණ වස්තුව සමග බැඳීමක් හටගනියි. එය පර්යේෂණයේ උසස් ප්‍රතිඵල සඳහා බාධා සිදු කරයි. නමුත් පර්යේෂණ වස්තුව දුර වූ විට පර්යේෂකයාගේ ස්වාධීනත්වයට බාධා නො කරයි. ස්වකීය සොයාගැනීම් නො බියව ඉදිරිපත් කළ හැකි වන්නේ, එවිටයි. එස්. ධම්මික හිමියන්ගේ මෙම පර්යේෂණ කෘතියෙහි වැදගත්කම වන්නේ, බෞද්ධ ආභාසය උපතින් ම රැගෙන නො ඒමයි. එනිසාම බුද්ධ චරිතය යනු උන් වහන්සේට නැවුම් දෙයකි. මෙම පර්යේෂණ කෘතියේ අරමුණ වී ඇත්තේ, බුදුන් වහන්සේ යනු කවරෙකු ද? උන්වහන්සේ කෙබඳු අයෙකු වන්නට ඇද්ද? යන්න සෙවීමයි. පරිච්ඡේද දා හතරකින් (14) සමන්විත මෙම කෘතියෙහි පළමු පරිච්ඡේදයෙන් බුද්ධ චරිතය ලිවීම සඳහා අගනා ප්‍රවේශයක් ලබා ගනියි. මේ දක්වා ලියවී ඇති බුද්ධ චරිත කෘති තුළ ඇතුළත් කරුණු සමාලෝචනය කරන කතුවරයා, ලලිත විස්තරය, සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය, අශ්වඝෝෂයන්ගේ බුද්ධ චරිත මහා කාව්‍යය, හින්දු ආගමික ග්‍රන්ථයක් වන, මත්ස්‍ය පුරාණය වැනි ජනප්‍රිය කෘති තුළ බුද්ධ චරිතය ගොඩ නගා ඇති අයුරු මෙන් ම, ශාස්ත්‍රීය පර්යේෂණ නමින් රචනා වූ බුද්ධ චරිතය පිළිබඳ කෘති, ලේඛන වැනි බොහෝමයකගේ ඇතුළත් තොරතුරු තාර්කිකව විවේචනයට ලක් කරයි. පූර්ව පර්යේෂණ සමාලෝචනය තුළින් උන්වහන්සේ පෙන්වා දීමට යත්න දරන්නේ, එතෙක් රචනා වූ කෘති වල ඇතුළත් බොලඳ වූත් නිසරු වූ අර්ථ විරහිත පල් හෑලි පිළිබඳවය. එයින්, උන්වහන්සේ ස්වකීය පර්යේෂණ කෘතිය පදනම් වන්නේ, නිවැරදි වූත් තාර්කික මූලාශ්‍රය මත බව පෙන්වා දෙයි. බුදුන් වහන්සේ ජීවත්ව සිටි අවධිය, එම ප්‍රදේශයන් හි භූගෝලීය ලක්ෂණ, සමාජ සංවිධානය, සමාජ තත්වය වැනි කරුණු කෙරෙහි ද අවධානය ලබා දී ඇති අයුරු දක්නට ලැබේ. “… මධ්‍ය ප්‍රදේශයේ බොහෝ ජනාවාස කුඩා ඒවා වූ අතර, ගංගාවන් සමීපයේ ගොඩ නැගී තිබිණ. පසු ව, ඒවා ක්‍රමයෙන් විශාල වීමත්, ප්‍රදේශය අභ්‍යන්තරය දෙසට ව්‍යාප්ත වීමත් ඇරඹිණි. කලෙක දඩයක්කරුවන් සහ ගෝත්‍රිකයන් පමණක් කරක් ගැසූ පෙදෙසක, කෘෂිකාර්මිකයන් පදිංචිව කුඹුරු සකසන්නට විය.(02. පරි,38 පි.) “මූල ග්‍රන්ථයන්හි දැක්වෙන නගර වර්ණනයන්ට අනුව, අතරින් පතර ඉහළට නැගුණ කුළුණු සහ අවැසි තැන්වල ඉදි කළ ගේට්ටු සහිත ආරක්ෂක තාප්ප හෝ බිත්ති, ඒ වටා ඉදිවුණ දිය අගල් නගරවල තිබේ.‍”‍් 02. පරි, 39 පි.) මෙහි අන්තර්ගත කරුණු දෙස බලන විට, මෙවැනි පර්යේෂණයක් අයෙකුට උඩින් අත පත ගා කළ නොහැකි දෙයක් බව අනාවරණය වෙයි. සූත්‍ර පිටකයේ ඇතැම් තැන් සූක්ෂමව පිරික්සා, තාර්කික ඥානය ද, නිර්මාණශීලීත්වය ද කැටි කොට තිබිය යුතුය. බුදුන් වහන්සේ පිළිබඳව තොරතුරු දැක්වීමේ දී කෘතියේ බොහෝ තැන්වල කතුවරයා අලුත් අදහස් පෙන්වා දීමේදී අනුගමනය කරන ක්‍රමයක් වන්නේ, ඒ පිළිබඳව මීට පෙර ජනවහර තුළ හෝ කෘති තුළ දැක්වෙන කරුණු ගෙනහැර දක්වා එහි සත්‍යාසත්‍යය බව පෙන්වා දීමයි. ““බුදුන් වහන්සේ උපතින්ම හින්දු වරයෙකි, ජීවත් වූයේත්, පිරිනිවන් පෑවේත්, හින්දුවරයෙකු ලෙසිනි”” යයි කියමනක් තිබේ….” (03 පරි, 83 පි.) බුදුන් වහන්සේ ගේ මා පිය, ඥාති තොරතුරු පිළිබඳ අනර්ඝ තොරතුරු මෙම කෘතිය තුළ ඇතුළත් ව ඇත. මව පිළිබඳ අදහස් දැක්වීමේ දී මෙතෙක් අසා ඇති කරුණු වලට වඩා වෙනස් ශාස්ත්‍රීය අදහස් ඉදිරිපත් කිරීමට කතුවරයා දක්ෂව ඇත. එහිදී, මහාමායා සහ ප්‍රජාපතී ගෝතමිය සමාන බිරින්දෑවරුන් ද, නැතහොත් ගෝතමිය යනු මායාවගේ මරණයෙන් පසු විවාහය ද යන්න පිළිබඳවත්, මායා යන නමෙහි අර්ථය පිළිබඳවත් විවරණය කරන අතර, සුද්ධෝධන රජු පිළිබඳව ද අදහස් දක්වයි. නෑ සියන් පිළිබඳව අදහස් දැක්වීමේ දී, එකළ, සමාජ දේශපාලන විවරණ ද දක්වන්නට උත්සාහ කර තිබෙන්නා සේ ම, බුදුන් වහන්සේ තුළ ශාක්‍යයන් කෙරෙහි තුබූ ඇල්ම කෙතෙක්ද යන්න ද දක්වා තිබේ. සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය පිළිබඳව ගොඩනැගී ඇති නිර්මාණාත්මක කථාන්දර ප්‍රතික්ෂේප කරන උන්වහන්සේ, අච්ඡරියබ්බූත සූත්‍රය වැනි සූත්‍රයන්හි අන්තර්ගත කරුණු මුලුමනින්ම ප්‍රතික්ෂේප නොකරයි. එය ද පර්යේෂකයෙකු ලෙස උන්වහන්සේගේ මනා හික්මීමේ ගුණය පැහැදිල කරන අවස්ථාවකි. මායාවන් සිටගෙන සිටමින් ම කුමරා බිහිකළ අයුරු පිළිබඳව කරුණු දක්වමින් උන්වහන්සේ පෙන්වා දෙන්නේ, “…පවුල් සෞඛ්‍ය සේවිකාවන් සඳහා වූ රාජකීය විද්‍යාලය පවසන පරිදි, පවුල් සෞඛ්‍ය සේවිකාවන් සහ අනෙකුත් සහායක පිරිස් නිසි පරිදි පුහුණු කර ඇත්නම්, සිටගෙන සිටියදී ම දරු ප්‍රසූතියක් සිදු කිරීම සුරක්ෂිත බව…”(03, පරි, 89 පි.) යනුවෙනි. තවද, සිදුහත් කුමාරෝත්පත්ති කතාවෙහි හා කිතුණු උත්පත්තියෙ හි ඇති සමානතාවන් ද පෙන්වාදීමට උත්සාහ කර තිබේ. අප කලක් සිට අසා හෝ කියවා ඇති බුද්ධ චරිතයට හාත්පසින් ම වෙනස් වූ මෙම බුද්ධ චරිතය අතිමානුෂීය කරණයට ලක් වූ බුදුන් වහන්සේගේ චරිතය නැවත මහ පොලොවට කැඳවාගෙන ඒමක් යැයි සිතිය හැකි කරුණු රැසක් ඇතුළත්ව තිබේ. මෙලෙස ඇතුළත් කර ඇති සියලු කරුණු සූත්‍ර පිටකය ඇසුරින්ම මූලාශ්‍රය දක්වා තිබීමෙන් එහි ශාස්ත්‍රීයත්වය හා නිවැරදි බව තහවුරු වෙයි. අප හඳුනාගන්නා පරිදි, බුද්ධ චරිතය ඇසුරින් ගොඩ නැගී ඇති නූතන ගැටලු දෙකකි. එකක්, බුදුන් වහන්සේ සත්‍යයවශයෙන්ම කෙබඳු අයෙක්ද යන්න හඳුනාගැනීමට නොහැකි වීමයි. අනෙක, බුදුන්වහන්සේ ලක්දිව හෝ වෙනත් රටවල උපත ලැබී යැයි ගොඩ නගන අදහසයි. මෙම නූතන ගැටලු දෙක සඳහාම දූවිල්ලේ රැදුණ පියසටහන් තුළින් පිළිතුරු ලැබේ යැයි සිතිය හැකිය. අතිමානුශීයකරනය වූ ඉන්ද්‍රජාලීකයෙකු වෙනුවට සැබැවින් බුද්ධ චරිතය කෙබදු ද යන්න මෙයින් තහවුරු කෙරෙයි. බුදුන් වහන්සේ යනු සැබැවින්ම මානුෂීය ගුණයන් පිරී ගිය පුද්ගලයෙකි. උන්වහන්සේගේ මෙහෙවර කුමක්ද? නායකයෙකු ලෙස ගැටලු විසඳන ලද්දේ කෙසේද? උන්වහන්සේගේ ශාසනික අර්බුද හමුවෙහි, රජසිටුවරු හමුවෙහි ක්‍රියා කලේ කෙසේද? යනාදිය තේරුම් ගැනීමට මෙම කෘතිය වැදගත් වනු ඇත. -ගුරුගොඩ සිරිවිමල-



 

No comments:

Post a Comment