Saturday, January 9, 2021

ශ්‍රී පාද සාහිත්‍ය

රටක සාම්ප්රදායික සාහිත්යය නිර්මාණය වෙන්නෙ රටක තියෙන සංස්කෘතික චාරිත්ර සහ ආගමික ඇදහිලි තුලින්. ලංකාවේ සාහිත්ය ප්රවර්ධනය වීමෙහිලා ශ්රී පාද අඩවිය පුදුමාන්තර හෙවනැල්ලක් වෙලා තියෙනව. ශ්රී පාද අඩවිය කේන්ද්ර කරගත්ත ආගමික සාහිත්යක් වගේම වින්දනීය කවි ගීත සාහිත්යක් අපේ පැරණි සේම අලුත් නිර්මාණ කරුවන් ගොඩනංවල තියෙනව.

මට මේ ටික ලියන්න හිතුනෙ අද ශ්රීපාද වන්දනාව ආරම්භ වෙන දවස නිසා. කොවිඩ් නිසා වන්දනා, චාරිකා වැඩ පරිස්සමෙන් කරන්න. පුළුවන්නම් නොයාම ඉන්න.
යං නම්මදාය නදියාපුලිනේච තීරේ
යං සච්ච බද්ධ ගිරිකේ සුමනාචලග්ගේ
යං තත්ථ යෝනක පුරේ මුනිනෝච පාදං
තං පාද ලාංඡන මහං සිරසා නමාමි
ලංකාවේ බෞද්ධයන් විශ්වාස කරනව බුදුන්වහන්සේ තුන්වරක් ලංකාද්වීපයට වැඩම කරල තිබෙන බව. ඒක මා දන්න පමණින් ශාස්ත්රීයව කරුනු සහිතව ඔප්ලු වෙච්ච දෙයක් නෙමෙයි. නමුත් සංස්කෘතිකව ඔප්පු කරගත්ත විශ්වාසයක්. (සංස්කෘතිකයි. එකඟයි) ඒ වගේම සාහිත්ය මූලාශ්රය වශයෙන් "මහාවංශය, දාඨාවංශය" වගේ මූලාශ්ර බුදුන්වහන්සේ ලංකාවට වැඩම කළ බවත් සමනොල ගිරියට වැඩමවා සමන් දෙවිදුන්ට දහම් දෙසූ බවත් සඳහන් වෙනව. මට ඒ පිළිබඳව අවිශ්වාසයක් නොමැති බව මෙතනදි වි⁣ශේෂයෙන්ම සඳහන් කරන්නට කැමතියි. ඒ වගේම ශ්රී පාද සාහිත්ය විසින් හෙළි කරන විවිධ තතු සමනල කන්ද බුද්ධස්පර්ෂය ලද බව පැහැදිලි කරනව. ජන කවියා සියලු බුදුවරු සමනොළ ගිර පා සටහන් තැබූ බව කියයි.
“ඔක්කොම මුණි බුදුව ලොවට සමෙනොළ ගල පිටට වැඩිය
දක්නට සිරිපාද එබූ අණසක මිහිදෙරණ තලය”
එසේම පෞරාණිකම විශ්වාස ලෙස සැලකෙන සමන් දේව විශ්වාසය ගැන කවියා දකින්නෙ මෙහෙමයි.
සමන්තකූට පර්වතයක සාසන බාරව සිටි නෙක
සවන් පුරා අසන බණක රකින සීලෙ සිල් මත මෙක
අතින් දරන පත්කඩයක නා ගුණවැල් නිතර අතක
සමන් දෙවිඳු යන උතුමෙක දෙවොල් යකුට බල පෑවෙක
යන ලෙස සමන්තකූට පර්වතයත්, ශාසනයත්, බාරව සුරකින පත්කඩය, නවගුණ වැල ගෙන සිල් රකින සමන් දෙවිඳුන්ගේ වාහනය ගැන කීමට ද ජන කවියා අමතක නොකරයි.
සුද්ද ලෙසින් නිති ගත බබළන් නේ
සුද්ද ඇත් පිටවද වැඩ ඉන් නේ
බුද්ද මෙසාසන දියුණු කරන් නේ
සුද්ද සමන් දෙවියෝය වඩින් නේ
ඒ වගේම හින්දු අය ශිව දේව විශ්වාසයක් සමඟත්, ඉස්ලාමිකයන් ඒ අයගේ විශ්වාසයක් සමඟත් ශ්රී පාද වන්දනාව සිද්ධ කරනව. ඒ අතරම පාරිසරික සෞන්දර්ය රිසි අයත්, විනෝදකාමී අයත් සහ කඳු තරණය වගේ දේවල් විනෝදාංශය කරගත්ත අයත් ශ්රී පාදය "සමනල කන්ද” නමින් තරණය කිරීම සිදු කරනව. මේ කොහොම වුනත් මම උඩදිම කිව්ව වගේ සංස්කෘතිය එක්ක එකතුවුන ආගමික විශ්වාසයන් සමඟ ශ්රීපාද සාහිත්යක් නිර්මාණය වෙලා තියෙනව. ඒක හරිම ලස්සනයි.
සිරිපාදේ සමනොළ කන්ද පෙනේ
ආලෝකය සමන් පුරේ
සඳපානේ මහ වන දිහා බලා
සුදු රිදී කඳන් හමුවේ
අර මහ මළුවේ සිරිපාද පියුම් වැඳ
සාධු කියා එනවා
නාදේ ඇසෙන්නේ ඒ ගන්ඨාරේ
මේ උතුම් පොහොදා
කරුණාවයි දෙවි⁣ඳේ
ශ්රී සමන් සුරිදේ
ගායනය - වින්සන් ද පෝල් පීරිස්
රචනය - සරත්චන්ද්ර ආටිගල
කියන ගීතය ඇහැද්දෙයි මට මේ ශ්රී පාද සාහිත්ය ගැන ලියන්න කල්පනා කරේ.
පුරාණ තුන්සරණය, සමන්ත කූට වර්ණනා, සමනල වන්දනා කාව්යය, කියන්නෙ ශ්රී පාද සාහිත්ය තුළ කැපී පෙනෙන කෘති. ශ්රී පාදය වන්දනා කරන්න යන අපේ බෞද්ධයන් ඒ වන්දනාවේදි ඇති වෙන විඩාව නිවාගන්න "තුන්සරණේ "කවි ගායනා කළා කියන එක ප්රසිද්ධ කරුණක්.
බුද්ධං සරණේ සිරස දරා ගෙන
ධම්මං සරණේ සිත පහදා ගෙන
සංඝං සරණේ සිවුරු දරා ගෙන
ඉඤ්ඤයි තුන් සරණේ අදහා ගෙන
පෙරයම බුද්ධං සරණේ ගඤ්ඤයි
මද්දිම ධම්මං සරණේ ගඤ්ඤයි
අලූයම සංඝං සරණේ ගඤ්ඤයි
තුන්යමට ම තුන්සරණේ ගඤ්ඤයි
ආදි වශයෙන් ගෙනෙනෙ මේ කවි "පුරාණ තුන්සරණය" ග්රන්ථයේ සඳහන් වන කවියි. අතීතයේ ගැමි සැදැහැතියාගේ සිත් තොස වඩවපු තවත් වන්දනා කාව්යක් නොමැති තරම්. මේ කවි මතක නැති ලංකාවේ මනුස්සයෙක් ඉන්නවද කියන්න තරම් සැකයි. ඒ තරමටම මේ කව් මිනිස් සංතානයේ තැන්පත් වෙලා තියෙනව. ඒ කාලෙ බෞද්ධ ගැමි මිනිස්සුන්ට නිවන කියන මූලික සංකල්පය එක්ක තැවරුණ සද්ධාවක් තිබුන. එයාල ඒක දිගටම පවත්වාගෙන ආවෙ පංසිල් පදපහ එක්ක. පංසිල් එක්ක ගැට ගැහුණු සද්ධා සම්පන්න ගැමි ජීවිතය තුන් සරණය කවි පොතෙන් අපිට පේන්න ගන්නව.
ඒ වගේම් මෙත්තාව කරුණාව මුදිතාව උපේක්ෂාව කොච්චරනම් හොඳින් ඒ කාලෙ මිනිස් සංතානය තුළ ගැබ් වෙලා තිබුනද කියන කාරණයත් තුණ්ස⁣රණය තුළින් පැහැදිලි වෙනව. තුන්සරණය එක් අයෙකු විසින් සිර ගෙදරක සිට රචනා කරන ලද්දක් බවත් ශාස්ත්රීය වශයෙන් දැක්වෙන කාරණයක්.
තුණ්සරණය තමයි ශ්රී පාද සාහිත්ය එක්ක ලගින්ම යන පළමු පෙළේ තියල කතා කරන්න පුළුවන් සාහිත්ය කෘතිය. ඊට පස්සේ "පුරාණ හිම ගත වර්ණනාව"
සත් බඹයක් මගෙ වරලස
මොනර පිලසෙ වර්ණ වෙන්ඩ
සත් ගව්වක් මගෙ කට හඬ
කිඳුරු නාදෙ මෙන් ඇසෙන්ඩ
බිහි වුණා ම මගේ රුවින්
තුන් ලොවට ම එළිය වෙන්ඩ
රන් පන්හිඳ ගෙන සුරතින්
බුදු ගුණ රන්පොත ලියන්ඩ
ආදි වශයෙන් අවසන් වෙන මේ කවි පොතත් ශ්රී පාද සාහිත්ය යටතේ ගැනෙන වන්දනා කවි පොතක්. අවුරුදු 400ට විතර එහායිදි ලියවුනා කියල හිතන්න පුළුවන් මේ කවි පොත විශිෂ්ට භාෂා රීති, විශිෂ්ට කාව්ය උපක්රම භාවිත නොකරපු කෘතියක් නමුත් ගැමියාගේ සද්ධාව ජනනය කරගත හැකි මට්ටමේ කෘතියක් බව සඳහන් වෙනව.
මං පැද අඟුල බැස යමි ගෙත්තම් පාන
පින් මඳ අයට සීමා පවුරකි එතැන
ඉන් නැඟ ගිය කලට මළුවට සෝපාන
වම් සිරි පතුල තැබුවා සමනොළ මුදුන


වගේ ලස්සන කවිත් මේ කෘතියේ එනව සහ මිනිස්සු ශ්රී පාදය වන්දනා කළ අයුරු ශ්රී පාද සංස්කෘතිය, සිරිත් විරිත් ආදී නොයෙක් ාද්වල් මේ සාහිත්ය තුළින් පහසුවෙන්ම පසක් කරගත හැකි වෙනව. සමනොළ ගිර, සමන් දෙවොල, සීත ගඟුල, ගෙත්තම්පාන, ධර්මරාජගල, හැරමිටිපාන, ඇහැල කණුව, මහගිරිදඹය, ශ්රීපාද පද්මය මේ ආදි ශ්රී පාද වන්දනා ගමනේ නොයෙක් තැන් අපේ ජන කවියා දුටු අයුරු මේ සාහිත්ය කෘති වලින් හෙළිවෙනව.
ජන කවියාට සමනොළ ගිර බෙහෙවින් වස්තු විෂය වෙන්නකි.
ලංකාවට අධිපති පර්වත මුදු නේ
සිංහාසනයේ වද මුණිඳුට පහළ වු ණේ
පිහිටි සිරිපාද පර්වත කොන මුදු නේ
ගංගා සතර පර්වතයෙහි උපත වුණේ
මහත් අභිරුචියෙන් වර්ණිත සමන්ගිර ආගමික කරුණු නිසා ම පමණක් නොව රට සරු කරමින් සතර දෙසට ගලන ගංඟාවන්ගේ ප්රභවය නිසා ද වැදගත් බව කියාපායි.
රාත්රියෙහි ගැල පදවන ගැල්කරුට සමනොළ ගිර පෙනෙයි.
අලට කන්න බැරි අලගල්ලේ කන්ද
බතට කන්න බැරි බතලේගල කන්ද
හුනට කන්න බැරි හුන්නස්ගිරි කන්ද
මෙකඳු තුනට නායක සමනොළ කන්ද
ඉතින් මේ සිරිපාද සාහිත්ය කියල ඉවර කරන්න බැරි තරම් මහා ඉතිහාසයක්. ඒක අදටත් බාවිත වෙමින් විශ්වාස කරමින් ජීවත්වන සපරගමු පලාත්වාසී සැදැහැවතුන් බොහෝමයි.
ශ්රී පාද සාහිත්ය ගැන ගොඩක් කෙටියෙන් සහ අසංවිධිතව ලිව්වෙ ආසාව නිසාමයි. මේ ගැන මම ශාස්ත්රීය සඟරාවකට සංවිධිත ලිපියක් ලියමින් ඉන්නව. ඒ කරුණු මේකට එකතු කළේ නැහැ. ඒක ලියල ඉවර වුනාම හැමෝටම බලන්න ⁣සලස්වන්නම්
• ගුරුගොඩ සිරිවිමල

No comments:

Post a Comment