Thursday, August 11, 2022

උසස්ම දේ තමා ගැන සෙවීමයි

අර පොඩි හාමුදුරුවො කෙනෙක්ව සහ තරුණියක්ව අල්ලගෙන තරුණයො ටිකක් සද්දෙ දාන වීඩියෝ එකේ ඇත්ත සිද්ධිය ඒ පොඩි හාමුදුරුවන්ගෙ නංගිලු අර තරුණිය. ඒ දෙන්න අසනීපව ඉන්න අම්මව බලන්න යන ගමන්ලු ඉඳල තියෙන්නෙ. මේ කතාව ඇත්තද බොරුද කියන්න මමනම් දන්නෙ නැහැ. ඒ වුනත් ඕව ඔප්පු කරල කරන්න හදන එක මට තේරෙන්නෙ නැහැ. ඒ වගේම ඒක ඇත්තක්නම් අර දඩාර පිරිමින්ට දැන් සනීප ඇති. ඒ අතින් ඒ සිද්ධිය ඔප්පු කරන එකත් හොඳයි.

ඒ නිව්ස් එක ගැන දැන් අදහස් දක්වන අය කියන්නෙ “නංගිනම් නංගි කියල ඒ වෙලාවෙ කියන්න එපැයිලු” මාර කතා තමා. දඩාර පිරිමි ටිකක් දෙන්නෙක්ව වටකරගෙන ප්‍රශ්නයක් දාද්දි කියන්න තියෙන ටිකත් උගුරෙ හිරවෙන අවස්ථා එමටයි. මට එහෙම වෙලා නැතත් මම ඒ වගේ දේවල් දැකල තියෙනව. අනික් අතට තමන් කවුද කියල එක එක්කෙනාට ඔප්පු කරන්න ඒ අය කවුද? පොලිස්සියෙන්නම් ඒකත් කමක් නැහැ.

කෙසේවෙතත් මම බොහෝවිට ගැහැණු පිරිමි තරුණ තරුණියන්ව වැඩියෙන් ඇසුරු කරන කෙනෙක් විදියට මට ඒ සම්බන්ද අද්දැකීම් බොහොමයි. මම තරුණියන් සමග කැෆේ වල ආහාර අරගෙන තියෙනව. එකට ඉඳගෙන කතා බහ කරල තියෙනව. කොෆී එකක් බොනගමන්, කතා කරන ගමන්, පොතක පතක වැඩක් කරන ගමන් මේ හැමවිදියකටම කැෆේ වලදි පාක් වලදි, පංසල් පල්ලි වලදි, ගෙවල් වලදි මේ ඕනම තැනකදි.  දියතෙ, තුම්මුල්ලෙ තැන් තැන්වල අපි පොත් පත් ගැන, ධර්මය ගැන, ආගිය තොරතුරු, සුවදුක් ගැන ඇති වෙන්න කතා කරල තියෙනව. සමහර විට එකම ටැක්සියෙ යන අවස්ථා වැහි වෙලාවට එකම කුඩේ යට යන අවස්ථාත් තියෙනව. (පිරිමි අය එක්කත් එහෙමයි.) ලංකාවේ ගොඩක් අයටනම් තරුණියක් සමඟ සිටීම පේන්නෙ නිකං ලිංගික දර්ශනයක් වගේ. ඒව ඉතින් මානසික ලෙඩ. ඒවට වග කියන්න මට බැහැ.

මම ජීවත් වෙන සමාජය මම විතරක් ඉන්න සමාජයක් නෙමෙයි. මගෙ අම්ම තාත්ත, සහෝදර සහෝදරියො යාළු මිත්‍රයො, නෑයො වේයො, අස්ල්වැසියො, ගැහැණු මිනිස්සු, දායක දායිකාවො, ශිෂ්‍ය, ශිෂ්‍යාවො, හොරු තක්කඩි, බොරි කියන නොකියන, රවටන, හිනාවෙනඅඬන,  දන්න, නොදන්න මේ හැම කෙනෙක්ගෙන්ම පිරිච්ච සමාජයක මම ජීවත් වෙන්නෙ.  මම ග්‍රාමවාසී භික්ෂුවක්. ආරණ්‍යවාසීව ඉන්න කෙනෙක් නෙමෙයි. එතකොට මට විවිධ අවස්ථාවල විවිධ විදියට ඉන්න සිද්ධ වෙනව. ඒ හැමෝවම මම ඇසුරු කරනව. ඒ කිසිම වෙලාවක මට ආටෝපයකට වඩා මිනිස්සු එක්ක හදවතින්ම සමීපව කටයුතු කරන්න වෙනව.

මේ ඕනම වෙලාවක මාව කවුරු හරි අරවගේ සැර විදියට කවුරු හරි ප්‍රශ්න කරන්න ආවොත් මම සමහර විට එයාලට මෙහෙම කියයි. “ඔයාගෙ ධර්මයයි මගේ ධර්මයයි දෙකක්. මගේ ධර්මය දැනගන්න ඕනනම් කනබොන ගමන් කතා කරමු. ඇවිත් වාඩි වෙන්න. නැත්තං අපි මේ වැඩේ ඉවරවෙලා යනකල් ඔයාලට ඔය විදියට කෑ ගගහ වීඩියෝ කර කර ඉන්න පුලුවන්” කියල. ඒ අය මේ දෙකෙන් කෝකට එකඟ වුනත් මමත් මගේ ළඟ ඉන්න අනෙකාවත් මම ආරක්ෂා කරනව වගේම අපි එකිනෙකාට වගකියනව.

හාමුදුරුවරුන්ගෙ ධර්ම-විනය ගැන හොයන ඕන කෙනෙක් මට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ අය මුලින්ම රටක පුරවැසියො වෙන්න ඕන. අනෙකාත් පුරවැසියෙක් විදියට දකින්න ඕන. කාගෙන්වත් කෑව බීව පලියට එයාව හසුරුවන්න කිසි කෙනෙකුට අයිතියක් නැහැ. ඒක භික්ෂුවටත් ගිහියාටත් එහෙමයි.  මිනිස්සුන්ගේ අයිතීන් විතරක් නෙමේ අලින්ගෙ අයිතීන් ගැන පවා කතා කරන මගෙ fb යාළුවො ගොඩක් අයත් මේ ප්‍රශ්නයෙදි අර හාමුදුරුවන්ට එහෙම කරන්න පුලුවන්ද? බිම් ගෙවල් අස්සෙ ඉන්න පුලුවන්ද වගේ කතා අහල තිබුන. පදුරු අස්සෙ රිංගන්න පුලුවන්ද කියල අහල තිබුන. තව කෙනෙක් කියල තිබුන භික්ෂුත්වය ජොබ් එකක්ය, දායකය පඩි ගෙවනවය ඒ නිසා ඒ ඒ විදියට ඉන්න ඕනය කියල. ඒක මොන මනෝවිද්‍යාවටද, මොන ධර්මයටද සාධාරණ කියල මම දන්නෙ නැහැ.  මිනිස් සබදතා පඳුරු මට්ටමට දාල කතා කරන අශිෂ්ට මිනිස්සු එක්ක සංවාද කරන්න තියෙන අපුල බව නිසා මම නිහඬ වුනා. කෙසේවෙතත් මට නැවත නැවතත් කියන්න තියෙන්නෙ හාමුදුරුවරුන්ට නෙමේ කාට වුනත් පොදු සදාචාර මට්ටම දැන හදුනගෙන කටයුතු කරන්න බාධාවක් නැහැ. මිනිස් හැඟීම් ගැන බුදු දහමේ නීති පනවන්නෙ නැහැ. නීති පැනවීම රාජ්‍යය විසින් කරන වැඩක්. ඒක රකින්න පොලිස්සි තියෙනව. ඒවට අවනත වෙන්න කියල බුදු හාමුදුරුවො පවා දේශනා කරනව. සිවුර කියන්නෙත්, ඇඳුම් පැළදුම් කියන්නෙත්, තනතුරු කියන්නෙත් තමන්ට දාගන්න බැරියර් නෙමෙයි.

බුදු හාමුදුරුවො දෙයක් දේශණා කලානම් ඒ දේශනා කලේ භික්ෂු-භික්ෂුණී, උපාසක-උපාසිකා (සාසනය) කියන හැමෝටම. භික්ෂු-භික්ෂුණී විනය පමණක් ගිහියන්ට අදාල වෙන්නෙ නැහැ. ඒකෙන් කියවෙන්නෙ නැහැ භික්ෂුවගේ විනය හොයන පොලිස්සිය ගිහියා කියල. නමුත් බුද්ධ කාලයේ පටන් මේ දක්වාම එකිනෙකාගේ වැරදි සොයමින් වැඩ කරපු ඉතිහාසයක් ත්‍රිපිටකයෙත් දකින්න ලැබෙනව. ඒව මටනම් සාමාන්‍යය දේවල්. ඒවගෙදි කම්පා නොවී වැඩ කරන එක තමා මගේ ක්‍රමය. බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවො තමන්ගෙ අවසාන ගුවන් විදුලි සාකච්ඡාවෙදි? පූරකයා අහන ප්‍රශ්නයකට උත්තර දෙමින් මෙහෙම කියනව. “ගිහියා පැවිද්දා වැරද්දක් කරන තුරු බලාගෙන ඉන්නව. පැවිද්දි ගිහියා වැරැද්දක් කරනතුරු බලාගෙන ඉන්නව. මේකෙන් දෙගොල්ලොම දෙකඩ වෙනව.) දැන් ලංකාවටම රටක් විදියට බලපාල තියෙන ප්‍රශ්නය තමයි එකිනෙකා අතර මිත්‍රශීලී බව දුරස් වීම. ඉතා පළල ඉතා දිගු ඉරි වලින් හැම තැනකම සීමා පනවා ගැනීම. එහෙම මිනිස්සු වෙන්න බැහැ.  එහෙම සතුට ලැබෙන්නෙත් නැහැ.

ශාක්‍ය කුමාරවරු කීප දෙනෙක් නැතිවුන තරුණියක් ගැන හොය හොය කැලේ ඇවිදිද්දි බුදු හාමුදුරුවන්ව මුණ ගැහෙනව. ඒ වෙලාවෙ බුදු හාමුදුරුවො ඒ වෙලාවෙ කියන්නෙ “උසස්ම දේ තමා ගැන සෙවීමයි” කියල. බෞද්ධකම රැකගන්න තඩි පිරිමින්ට බැහැ. ඒක ප්‍රතිපත්තිය දෙයක්.

වඩාත් හොඳ පුරවැසියෙක් කියන්නෙ තමන්වත් අනෙකාවත් රකින්නෙක්, තමන්ගෙත් අනෙකාගෙත් අයිතීන්ට ගරු කරන්නෙක්. ඒ ප්‍රතිපත්තියම තමයි කෙනෙක්ව බෞද්ධයෙක් බවට පත් කරන්නෙත්. තමන් යහපත් කෙනෙක් වෙන්න. අනික් අයව නිවන් යවන්න දරණ නිශ්ඵල උත්සාහය අත්හරින්න.


-ගුරුගොඩ සිරිවිමල-