Saturday, January 2, 2021

මේ ප්ලැනට් එකේ උතුම්ම අය සෙවීම.

අපි සදාතනික අරගලයක යෙදෙනව. කුමක් සඳහාද? මේකෙ අපි එක්කම ජීවත් වන අය අතරෙ උතුම්ම අය, හොඳම අය, සොයන්න. මේක සාම්ප්‍රදායිකව ලෝකයේ හැමෝටම තියෙන ප්‍රශ්නයක්. අපි හැමෝම ආසයි රාමුවක් හදාගෙන ඒකෙ ඇතුළෙ විශිෂ්ටයෝ, වන්දනාමාන කරන්න අය, ගරහන්න කට්ටියක්, බැනුම් අහන්න කට්ටිය, තව තව කුලක හදාගන්න. මේක එක විදියකින් ජීවියා සාමාන්‍ය සමාජ ජීවිතය ඇතුළෙ හොයන සතුට. මේ දේවල් නැතුව ඇත්තෙන්ම සාමාන්‍ය ජීවිතවල විනෝදාස්වාදය අඩුයි. අපිට බනින්න, ගරහන්න, වඳින්න, පුදන්න, මේ හැමදේටම පිරිසක් අවශ්‍යයි. නමුත් නිරර්ථකයි. තරඟ පවත්වලා, S.M.S ගහල පවා සමාජය විසින් මිනිස්සුන්ව තෝරා පත්කරගන්නෙ ඒකට. ඒක සාමාන්‍ය මනුස්සයෙක්ට නිරර්ථකයි කියන එක අදාල වෙන්නෙ නැහැ. නමුත් ඔවුන් එය තේරුම් ගත යුතුයි.

අපි ගත්තොත් ඊයෙ නත්තල දවසෙ බොහෝ ඉහළින්ම මම දැකපු විශ් එක තමයි යේසුස් වහන්සේ ට අනිත් ශාස්තෘවරු බර්ත්ඩේ කේක් අරන් එන පිංතූරය. මේක ගොඩක් අය විවේචනය කරනව. ඒ තමන්ගේ කෙනා බුදුන්වහන්සේ නම් ඒ බුදුන්වහන්සේ තමන්ට උතුම් කියල හිතන නිසා. මේ වගේ අපි අපේ ජීවිතවලට උතුම්ම අය තෝරගෙන ඉන්නව. අපිට මේ ප්ලැනට් එකේ උතුම්ම අය තෝරන්න පුළුවන් ද? ඒක එකිනෙකා අතරේ බෙදී යන දෙයක් නේද? එහෙම සාපේක්ෂ දෙයකට අපි කොහොමද අයිතිවාසිකම් කියන්නෙ? ඔවුන් උගන්වා තිබෙන හර පද්ධතීන් විවිධ බිම් වලට අදාලව උසස් පහත් වෙනව. විවිධ සමාජයන්ට අදාලව පවතිනව. මිස මේ පූර්ණ සමාජයටම පොදුවේ එකඟවිය හැකි තත්ත්වයන්, දැනුම් පද්ධතීන් මේ ලෝකයේ ඉතාමත් අඩුයි.

අපේ පැවැත්මට යටින් තිබෙන බරපතළ ගැටළුවක් තියෙනව. ඒ "මොකද්ද ජීවිතයේ පරමාර්ථය" කියන ගැටළුව. හැමදේම දිහා විශ්ලේෂණ සංස්ලේෂණ වග විභාගයන් සිද්ධ කරාට පස්සෙ අපිට හම්බෙන උත්තරය "සතුට"

මේ ගැන "දලයි ළාමා" කරපු සාකච්ඡාවක සඳහන් වෙනව මේ විදියට.

"අපේ පැවැත්මට යටින් බරපතළ ගැටලුවක් තියෙනව." සංචාරයට පෙර දළයි ලාමා පවසා තිබුණි. "මොකද්ද ජීවිතයෙ පරමාර්ථය.? බොහෝ දේ සලකා බැලීමෙන් පසු, මං විශ්වාස කරන්නෙ හැමෝගෙම ජීවන පරමාර්ථය ප්‍රමෝදය කියන එක බවයි."

"ඒකට, මං වගේ බෞද්ධයෙන් ය,"තව කෙනෙක් අගරදගුරු තුමා වගේ කිතුණුවෙක්ය, එහෙම නැත්තං වෙන කිසියම් ආගමක් අදහන හෝ මොන ම ආගමක්වත් නො අදහන කෙනෙක් ය කියන එක වැදගත් වෙන්නෙ නෑ. උපන් මොහොතේ ඉඳල, හැම මනුෂ්‍යයකුටම ඕනෑ, සතුට ළඟා කරගෙන දුකින් ඈත් ව ඉන්න. සංස්කෘතියෙන්, අධ්‍යාපනයෙන්, ආගමෙන් ඒකට බලපෑමක් වෙන්නෙ නෑ"

• ප්‍රමුදිත ජීවිතයක් : පරිවර්තනය : කුඩගම්මන සීලරතන (පිටුව: 14-15)

ඉතින් අපි මේ ජීවිතය ඇතුළෙ උතුම්ම මිනිස්සු, හොඳම මිනිස්සු, නිරහංකාරම මිනිස්සු හොයල වැඩක් නෑ. අපිට අවශ්‍ය කෙරෙන සතුට කියන භූමි භාගය අත්පත් කරගන්න වැඩ කිරීමයි අපේ කාර්යය.

අපි කොච්චර උත්සාහ කළත් මේ භූමියේ උතුම්ම මිනිස්සු හොයාගන්න වෙන්නෙ නැහැ. මොකද හැම කෙනෙක්ටම අදාලව එකඟ නොඑකඟ බොහෝ දේවල් ඒ ඒ අය කියල කරල තියෙනව. තව කෙනෙක් බොහෝ ගෞරව කරන උත්තමයෙක් තව කෙනෙක්ගෙ පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් ගනන් නොගැනෙන්න ඉඩ තියෙනව. එහෙම පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් ගනන් නොගැනෙන කෙනා තව කෙනෙක්ගෙ ඉහළ මාලයේ හැමදාම උදේ හවා දුම් අල්ලල පහන් පත්තු කරන වන්දනීයම කෙනා වෙන්න පුළුවන්.



මේ ප්ලැනට් එකේ උතුම්ම අය හොයන්න වෙහෙසෙන්න එපා. තමන්ව හොයන්න වෙහෙසෙන්න. තමන්ගේ සතුට හොයාගෙන යනවා මිසක උතුම්ම අයව සෙවීමෙන් වැඩක් නෑ. "උතුම්ම දේ සතුට - සතුට තියෙන්නෙ තමන් ළඟ." ඒක හොයන්න. ආදරෙයි!

|ගුරුගොඩ සිරිවිමල


ඡායාරූපය පිළිබදව විස්තරය :

මෙය ප්‍රභා ඉන්දීවරීී නම් නිර්මාණ ශිල්පිණිය විසින් සිත්තම් කරන ලද්දකි. අයිතිය ඇය සතුය. ප්‍රමෝදය, සතුට, දුක, වේදනාව සියල්ල ඇත්තේ අප සතුවය. අප තුළ ඇති වින්දනාත්මක වූ ප්‍රමෝදයේ අවස්ථාවක් මේ සිත්තමෙන් ඔප් නැංවෙන බව මගේ විශ්වාසයයි. 


2 comments:

  1. එක ශාස්තෘ කෙනෙකුට අනිත් ශාස්තෘන් උපන් දින කේක් එකක් ගෙනියනවා කියන එක නම් ඉතාම සුන්දර අදහසක්. ප්‍රසිද්ධ හාමුදුරු කෙනෙක්, මන් හිතන්නෙ තායිලන්තයේ ජීවත් වුනු අජාන් චා ස්වාමින් වහන්සෙ, කියලා තියෙනව අපි 'ක්‍රිස්මස්' කියන වචනය 'බුද්ධමස්' කියලා modify කරලා ඒ සැමරුම් වලට එකතු වෙන්න ඕනෙ කියලා. ලන්කාවෙ දැන් කවුරුත් එහෙම කිව්වොත් චීවර දාරීන් පන්සීයක් විතර වොයිස් කට් දීල, උපවාස කරල, කියපු කෙනා හිරේ තමයි.

    පොතක් තියෙනවා, ඔබ වහන්සෙ කියවලා ඇති, Living Buddha, Living Christ කියල. ඒක ලියලා තියෙන්නෙ Thich Nhat Hanh කියන වියට්නාමිස් හාමුදුරුවො දැන් ප්‍රන්ශයේ ඉන්න. ඒ පොත මුලින්ම කියවපු වෙලේ දැනුනු හැඟීම් විස්තර කරන්න අමාරුයි. මම කියෙව්වෙ සුදු ජාතික තරුනියකගෙ පොත් එකතුවෙන්. ලෝකෙ කොහෙ හිටියත් බුද්ධිමත් මිනිස්සු ජීවිත අර්ථවත් කරන දෙවල් ජීවිතේට එකතු කරගන්නවා. 'අපි තමයි උතුම්ම, අපේ ආගම උතුම්ම' කියලා හිතන අයට එය මග හැරෙනවා.

    ReplyDelete