සුනිල් එදිරිසිංහ මහත්තය "චන්ද්‍රමණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ" ගීතය ගායනා කරන්නෙ මීට අවුරුදු ගානකට කලින්.
මාල බැඳන් සුදු යකඩෙන් රෝස මල වනේ
මාල ගිරවු ගේ දොරකඩ සින්දු කිවු වෙලේ
හීනෙනුත් හිතුනෙ නෑ මට මොකද කාරණේ
පාර මතක නම් තාමත් ගේ ළඟයි දුවේ
කියල; දුවෙකු කෙරෙහි මහා ආදරයක් හිතේ කැටි කරගෙන ලියන්නෙ රත්න ශ්‍රී විජේසිංහ මහත්තය. අදටත් හොල්ලන්න බැරි, මෙහෙමයි කියල ගලවල අයින් කරල තියන්න බැරි මහා වචන පදාසයක් එකට කැටි කරල සිංදු ලියල තියෙන රචකයින් අතරින් කිසිම වෙලාවක අයින් කරල දාන්න බැරි මහා ගේය කරුවා රත්න ශ්‍රී විජේසිංහ.
එහෙම ලියන රත්න ශ්‍රී මහත්මයාම මෑතකදි
එම ගීතයටම පිළිතුරු ගීතයක් ලිව්ව. ඒක ගැයුවෙ අලුත් පරපුරේ ප්‍රවීණ ගායිකාවක්.
අභිෂේකා විමලවීර. අභිෂේකා විමලවීර කියන විදියට මේ ගීතය ඇයගේ මියගිය පියා වෙනුවෙන්
පියාගේ ජන්ම දිනය දවසේ කරපු ගීතයක්. හැබැයි මේක පෞද්ගලික නැහැ. මේ පද අතර කැටි
වෙන්නෙ තාත්තා කෙනෙක් ගැන දුවකගේ හිතේ කැටිවෙලා තියෙන ආදරේ. අභිෂේකා විමලවීර මේ
ගීතය එළියට දාපු වෙලාවේ ඉදන් මම කීපදවසක් ඇහුව ගීතයක්.
මම සංකේතීය වශයෙන් තාත්ත කෙනෙක්ගෙ ආදරයක් මෙහෙමයි කියල ලැබුවද කියල මතකවත් නැති දරුවෙක්. හැබැයි තාත්තලා කියන මහා වස්තුව අපට කොයි වෙලාවෙද අමතක කරන්න පුළුවන් වෙන්නෙ? තාත්තලාගේ ආදරේ සහ තාත්තලා වෙනුවෙන් දරුවන්ගේ හිතේ ඉපදිලා ; මියැදෙනකල්ම අවදි වෙලා තියෙන ආදරේ කවදද නැති වෙන්නෙ. ඒක ආත්මීයයි.
මේ ගීතයේ කියවෙන තාත්ත මියැදුන තාත්ත කෙනෙක්. හැමදාම තාත්තට තමන්ගෙ දුව(දරුව) පුංචි හාවෙක්/ හාවියක්. ඒ කියන්නෙ. අහිංසක, කිසිවක්ම නොදන්න කෙනෙක්. හැබැයි මේ පිළිතුරු ගීතයේ ආදරණීය "පණ්ඩිත දුවක්" ගැන කියවෙනව.
ඒ දුව තාත්තට කියනව:
"චන්ද්‍රමණ්ඩලේ සැතපුන සාවියක් නොවේ" කියල. ඒ දරුවො දරුවො ගැන හිතාගෙන ඉන්න විදිය. ඒක හරිම ගැලපෙන අයුරින් රත්න ශ්‍රී මහත්තය යොදල තියෙනව. ඉතින් මේ දුව සාවියක් නොවුනට මොකද මේ තාත්තගේ වියෝව ගැන ලොකු කණගාටුවක් තියෙනව. කණගාටුවකටත් වඩා ඒක ශෝකයක්. දරාගන්න බැරි රිදුමක්.
"මීදුමෙන් තෙමී නැහැවුණු චන්ද්‍ර යහනතේ
පාළු නැතිද නිදා ඉන්න විට පියාණනේ"
දුවෙක් කවමදාවත් තාත්තලව තනි කරන්නෑ. දුවල තාත්තලට හරි ආදරෙයි. කවමදාවත් මිස් නොකර තාත්තල පස්සෙ දුවලත් දුවලෑ පස්සෙ තාත්ලත් දුවනව. ඒක අපි අත්දකින සත්‍යයක්. ඉතින් දුවට හිතෙනව ඇත් තාත්තට පාළුයි කියල. කවුරුත් නොදන්න දුර ඈතක තාත්ත තනි වෙලා පාළුවෙන් ඇති කියල අර තාත්ත හිතන ආකාරයේ "සාවියට" හිතෙනව. අනිත් පැත්තෙන් දුව දුව ගැනම හිතාගෙන ඉන්න "සාවියක් තරම් අහිංසක නොවන- ලෝකය අත්දැකපු" දුවටත් හිතෙනව. මොන දේවල් දැනගෙන, මොනතරම් දේවල් ඉගෙනගෙන, මොනතරම් දේවල් ඉස්සරහ ජයග්‍රහණය සහ පරාජයන් අත්වින්දත් මොන දුවටද මොන පුතාටද පුළුවන් තමන්ට තමන්ටම කියල ආදරය කරපු "උත්තම පුරුෂයාට" සමුදෙන්න.?
පියාඹන්න දෙමින් අපට පියාපත් ඔබේ
ගියාද ඔබෙ නවාතැනට අහස් ගං තෙරේ
කියාදෙන්න කියාදෙන්න මට පියාණනේ
ඔබට මදිද ඉඩ නැතුවද පුංචි ගේ අපේ
සාම්ප්‍රදායික තාත්තා අපිට නොකරන, නොකරපු දෙයක් නෑ. පියාපත් වලින් සංකේතවත් වෙන්නෙ තාත්තා කෙනෙක් දරුවෙකුට දෙන "ජීවිත පන්නරය". තාත්තල අපිට ඒ ජීවිත පන්නරය දීල යන්න යනව. ඉගිලිලා පියාඹලා ඈතට ඈතට යනව. ඒ වගේ පන්නරයක් ලබාගෙන වුනත් දරුවෙක් තාත්තාගේ හැරයාමකදී නොහඩා ඉන්නෙ නෑ. එහෙම සමා පුරුෂයෙක්ගේ නික්මයාමකදී නොහඬා ඉන්න පුළුවන් කාටද?
"කියාදෙන්න කියාදෙන්න මට පියාණනේ
ඔබට මදිද ඉඩ නැතුවද පුංචි ගේ අපේ"
"කියාදෙන්න කියාදෙන්න මට පියාණනේ
මේ තරම්ම නපුරු හීනයක්ද ජීවිතේ"
කියල. දුව කෑගහල අහන හඬක් මට මේ පද තුළින් සජීවී වෙලා පේන්නෙ ඇයි කියල මට හිතාගන්න බැහැ. සමහරවිට අභිෂේකාගේ නිරායාස හඬ පෞරුෂය නිසා එහෙම ඇහෙනව ඇති.
ඔබේ සුවඳ රැදුණු ගෙදර පාළු කාමරේ
ලියූ ගීත කවි විතරද මට ඉතිරි උනේ
ජීවිතේ ඇතුළෙන් දරුවො දෙමාපියො
වෙනුවෙන් ස්තූතිවන්ත වෙනව. අන්තිමට තාත්තල අම්මල ඒ කිසි දෙයක් බලාපොරොත්තු නොවන
නිසා ඒ දෙයවත් රැගෙන යන්නෙ නැහැ. දරුවන්ට අවසානයේ ඒ මතක කවි ගීත වෙලා ඉතිරි වෙනව.
අම්මල තාත්තල අපිට කරපු, කියපු දේවල් හරියට මිහිරි කවි ගීත වගේ.
ඒ දේවල් දරුවන්ට හැමදාමත් ඉතිරියි.
මේක හැම දරුවෙක්ම අහන්න ඕන ගීතයක්.
-ගුරුගොඩ සිරිවිමල-
No comments:
Post a Comment