Sunday, December 8, 2019

ගැහැණිය වහළියක නොවේ.


කාන්තාව වනාහී විශ්වයේ ශක්තියයි

මුහුණුපොත "ගැහැණිය" විවිධාකාරයෙන් නැවත නැවතත් උපහාසයට සහ අපහාසයට ලක්වෙන අවස්ථාවක් දක්නට ලැබෙනව. ඒ ලෝක විවාහක රූ රැජිණ තරගයෙන් ලංකාවේ කාන්තාවක් ජයග්‍රහණය කිරීම හේතුවෙන් පළවෙන යම් යම් අදහස් හේතුවෙන්. කොටිම්ම කිව්වොත් මේ වනවිට FB හි උපාසක උපාසිකාවන්ගේ සදාචාරාත්මක පඩුපුල් අසුන උණුවෙමින්, රත්වෙමින්, දියවී යනව. කෙසේවෙතත් ජයග්‍රහණය කළ තැනැත්තියට මම මුලින්ම හදපිරි සුබ පැතුම් එක් කරනව.
Caroline jurie
මම මේක ගැන ලියන්න හිත හිත හිටියෙ මෑතක ඉදලම. නමුත් ඒක යම් යම් හේතු නිසා පහුවුනා. මේ විවාහක රූ රැජිණ සඳහා දක්වන මිනිස් ප්‍රතිචාර මාව ඉක්මන් කරා.
ලෝකෙ ගැහැණිය ගැන මට පෞද්ගලිකව ලබපු අද්දැකීම් නෑ. නමුත් වසරක පමණ ඉදන් මම කරන පර්යේෂණ කටයුත්තක් නිසා ලංකාවේ සෑම ක්ෂේත්‍රයකම ජීවත් වන ගැහැණු මම උවමනාවෙන් ඇසුරු නිසුරු කරනව සහ අදහස් බෙදාගැනීම් කරනව.
ලංකාවෙ ගැහැණු සහ පිරිමි කියන මනුස්ස කොට්ඨාස දෙකේ ඉන්න බහුතර ගැහැණුත් පිරිමිත් තවම ඉන්නෙ පැරණි භාරත සම්ප්‍රදාය විසින් කරපින්නාගත් බමුණු මතය තුළයි. "හැදි මිටේ නුවණ" වගේ සාම්ප්‍රදායික සීමාවන් වලට එළැබිලා කාන්තාව අදවන විට කුස්සිය මුල්ලටම තල්ලු වෙලා.
පැරණි භාරතයේ බමුණු දිට්ඨිය කියන්නෙ කාන්තාව හිංසනයට ලක්වෙන බරපතලම තැනක්. කවුරු හරි ඒක ඒ කාලෙට අනුව හොඳයි කියල කියනවනම් ඒකත් වැරදියි. මොකද අපි බුදුන්වහන්සේ කාන්තාවට ආගමික,චින්තන, සමාජ නිදහස දුන්න කියන එක පිළිගන්නව. එහෙමනම් ඒ කාලෙත් අදත් භාරතීය බමුණු දිට්ඨිය ඉතාම දුර්වල තැනකයි තියෙන්නෙ කියන එකයි මගේ අදහස.
බමුණු දිට්ඨිය ගැන මම වැඩියෙන් කිව්වෙ ලංකාවෙ අද වනවිටත් කාන්තාව සම්බන්ධයෙන් පිරිමිත් ගැහැණුත් දරණ මතයත් බමුණු දිට්ඨියට එහා එකක් නොවීම නිසා. ඒක තව විදිහකට කියනවනම් නූතන ලාංකීය චින්තනයේ කාන්තාව කෙරෙහි ඇති බැල්මත් පැරණි භාරතීය කාන්තා කෙරෙහි වන බමුණු දෘශ්ඨියත් දෙකක් නෙමෙයි එකක්. ඒක කවුරු හරි කියනවනම් නැහැ කියල ඔව්! මමත් කියන්නෙ නැහැ කියල. මොකද කියනවනම් අදවන විට තත්වය පැරණි තත්වයට වඩා බරපතලයි. මෙවර විවාහක රූ රැජිණ සම්බන්ධයෙන් සුබ පැතුමක් එකතු කරපු වෙලාවෙ ඒ සුබ පැතුමට අදහස් එකතු කරපු ෆේස්බුක් සාමාජිකයන් ඒ පළ කරපු අදහස් වලින් ඒ බව තීරණය කරන්න පුලුවන්. පහතින් ඒ කිහිපයක් සඳහන් කරන්නම්.
".... ශ්‍රද්දාව රහිත වේද.. ලැජ්ජාව රහිත වේද... භය රහිත වේද..... එවන් ගැහැණියක් මරණෙන් පසු නිරයේ උපදී....."
"... ලස්සන කියන දේ අද තිබිල හෙට නැති වෙන්න පුලුවන්... ඔය කවුරු කවුරුත් අවුරුදු හැට පනිනකොට රැලි වැටෙනව, කැත වෙනව.. එදාට රඟපු රැඟුම් ඔක්කොම ඉවරයි...."
".... ඔය ඉන්නෙ ලංකාවෙ ලස්සනම ගෑණි නෙමේ විලි භිය නැති උංගෙං ලස්සනම ගෑණි...."
"... මිනිහට දැං බඩු පැකට්. අලුතින් සල්ලිකාරයො පෝලිමෙ එයි.. උං එක්ක රවුං ගහයි.. පවුල් ප්‍රශ්න එයි..... ලමයත් එක්ක මනුස්සයට තනි වෙන්න වෙන්නෙ.. මතකනෙ අහවල් නිලියගෙ මිනිහට වෙච්චි දේ.."
"... සල්ලි තියෙනවනං ඔය ඕනෙ එකියක් නතිං...."
"... ලෝකෙට පේන්න ඇඟ පෙන්නං හිටියට වැඩක් නෑ ගෙදර මිනිහට ලුණු ඇඹුල් දාල සම්බෝලයක් කොටල දෙන්න දන්නෙ නැත්නම්...."
"...මීට වඩා ලස්සන ගෑණු දැකල නැද්ද #&$*......"
"... ලෝකෙට පේන්න ඇඟ විකුනං කන ගෑණියෙක්ට වඩා මම වැඩ ඇරිල එනකං ගමේ කජු ගහ ගාව, රැලි සාය ඇඳං, දැවටි දැවටි ඉන්න මගේ කෙල්ල මට රත්තරන්...."
උපුටාගැනීම - Pandula අයියාගෙන්.
Comment කිහිපයක් 

මේ තමයි බමුණු දෘශ්ඨියෙ යාවත්කාලීන වීම. එහෙම නැත්තං අලුත්ම වර්ෂන් එක තමයි මේ තියෙන්නෙ. ඉතිං ලංකාවෙ මිනිස්නු ඇයි මෙහෙම?
එක වෙලාවකදි කාව්‍යශේකරය ලියන ශ්‍රී රාහුල හිමියන් මෙහෙම ලියනව.
” පිරිමිනුදු පතන
අවසර කල රහස් තැන
මිස නොලැබෙන බැවින
ගැහැණු කවුරුද වරදෙ නොබැ‍ඳෙන..”

මේ කවියෙ ඉතාමත් හොදින් රාහුල හාමුදුරුවෝ බමුණු මතය ඉදිරිපත් කරනව. බමුණු දිට්ඨිය ගැබ් වෙන්නෙ මේ වගේ තැනක බව ඉතා හොදින් තේරුම් ගන්න. අදටත් බමුණු ශ්ලෝක දාස් ගානක් ලංකාව ඇතුලෙ පිරිමි ගැහැණුන්ව උපහාසයට සහ අපහාසයට ලක් කරන්න යොදා ගන්නව. භාරතීය උපදේශ සාහිත්‍ය කෘති අතර හිතෝපදේශය, පංචචන්ත්‍රය, ප්‍රත්‍යශතකය වැනි කෘතිවල ස්ත්‍රියට හිමිකර දී ඇත්තේ එතරම් සුබදායී තත්ත්වයක් නොවේ. බමුණු සමාජය ස්ත්‍රිය දෙස බලා ඇත්තේ චපල ගති පැවතුම් ඇති වහා වරදෙහි බැඳෙන, විශ්වාස නොකොට පහත් අදහස් ඇති තැනැත්තියක් ලෙසය. ඇතැම් විට බමුණන් ස්ත්‍රිය පිළිබඳ දක්වා ඇත්තේ පිළිකුල් සහගත හැඟීමකි. මේ කීපයක් මම උපුටාදක්වන්නම්.
පිතා රක්ෂති කෞමාරේ – භාතා රක්ෂති යෞවනේ
ස්ථවිරේ පුත්‍රා රක්ෂන්ති - ස්ත්‍රී ස්වතන්ත්‍රමර්හති

(ස්ත්‍රිය කුඩා කල පියා යටතේ ද, විවාහයෙන් පසු ස්වාමියා යටතේ ද වයස්ගත වූ කල්හි වැඩිමහල් පුතා යටතේ ද විසිය යුතු ය. ස්වතන්ත්‍රව හෙවත් තමාගේ හිතැඟි පරිදි කටයුතු නොකළ යුතුය.$
ඖදුම්බර භවං පුෂ්පං - ශ්වේත වර්ණාච කාකයෝඞ
මත්ස්‍ය පාදං ජලේ පශ්‍යෙත් – නාරි චිත්තං න විශ්වසේත්
                            (ප්‍රත්‍ය ශතකය 16 වන ශ්ලෝකය)
(දිඹුල් ගසේ මල් ද, සුදු කපුටන් ද, ජලයෙහි ඇති මත්ස්‍ය පිය සටහන් ද, යමෙක් දුටුවේ යැයි කිව හොත් එය පිළිගන්න. එහෙත් ස්ත්‍රයගේ සිත විශ්වාස නොකට යුතු ය.)

දර්ශනං චිත්ත වෛකල්‍යං - ස්පර්ෂණං ධන නාශනං
ශයනං මරණං කුර්යාත් - ස්ත්‍රී ප්‍රත්‍යක්ෂ රාක්ෂසී 
                          (ප්‍රත්‍ය ශතකය 35 වන ශ්ලෝකය)

(ස්ත්‍රිය දැකීමෙන් සිත විකල් වීම ද ස්පර්ශ කිරීමෙන් ධන හානිය ද එක්ව සයනය කිරීමෙන් මරණය ද වන්නේ ය. එබැවින් ස්ත්‍රිය ඇසට පෙනෙන රාක්ෂියකි)
ආත්ම බුද්ධිර් සුඛං දේති – ගුරු බුද්ධිර් විශේෂතෝ
ස්ත්‍රී බුද්ධිර් විනාශාය බහු - බුද්ධීර් මරණං භවේත් 
                            (ප්‍රත්‍ය ශතකය 43 වන ශ්ලෝකය)

(තමාගේ බුද්ධිය මෙහෙයවා කළ දෙයින් සැප ගෙනදෙන්නේ ය. ගුරුවරයාගේ දැනුමෙන් කළ දෙයින් විශේෂයක් වන්නේ ය. ස්ත්‍රියගේ දැනුමෙන් කළ දෙයින් විනාශය ළඟා වන්නේ ය. බොහෝ දෙනාගේ දැනුමෙන් කළ දෙයින් මරණය වන්නේය.)
මේ ඒ බමුණු අදහස් වලින් කිහිපයක්. අන්න ඒ කියන බමුණු අදහස් වලින් තමයි අපේ ලාංකීය ජන මනස ප්‍රබෝධමත් වෙන්නෙ. කිසිදු වගවිභාගයකින් තොරව. සංස්කෘත භාෂාව නිසාම, බමුණො කිව්ව කියන නිසාම අපි මේ අදහස් අදහන්න පුරුදු වෙලා. ඒකෙන් වෙන ලොකුම හානිය ලාංකීය කාන්තාවගේ ජීවිතය අදුරු තැනකට ගාල් වීම.
අපේ ලංකාවේ බොහෝ ස්ත්‍රීවාදීන් යැයි කියාගන්නා ගැහැණු මිනිසුන්ට පවා කාන්තාවිමුක්තිය ගැන අදහසක් නැති බව තමයි මගේ අදහස. කිසියම්ම මොහොතක ගැහැණියක අතින් වරදක් සිදු වූ මොහොතේ පටන් ඇයව හිංසාවට පීඩාවට පත් කරන්න අපි බලාගෙන ඉන්නව වගේම ඒ ගැහැණුන්ට අධිකරණ නියෝගයකින් තොරව මරණීය දණ්ඩණය දෙන්න අපි උත්සාහවන්ත වෙනව. ඉතිං එහෙම රටක විවාහක කාන්තාවක් ගෙදරට වෙලා මිනිහට කන්න උය උයා , වලන් හට්ටි මුට්ටි ටික හෝද හෝද ඉන්නැතිව ජාත්‍යන්තරය නියෝජනය කරල ජයග්‍රහණයක් ලබාගත්තම බලාගෙන ඉන්න ගෑණු පිරිමින්ට ඇස්වල කටු ඇණෙනව වගේ. ඉතිං අරහෙම කතා කියන එක සාධාරණයි. කුස්සියෙ මුල්ලට වෙලා බත ඉදෙනකල් පොල් ටික ගාල හොදි ව්‍යංජන ටිකට අඩුම කුඩුම සකස් කරන ගැහැණු මේ වගේ වැඩ වලට බනින්නෙ වෙන දෙයක් නිසා නෙමේ. හිතේ පිරිච්ච ඊර්ෂ්‍යාව, කුහක කම නිසාම තමයි.
මාසික ඔසප් වේදනාව ලංකාවෙ මිනිස්ස හදුන්වන්නෙ කිළි කියල. ඒ තමයි අපේ ජනමනස ඒකාත්මික වෙන තැන. පෑඩ් එක කඩෙන් ගද්දි කොලේකින් ඔතලගෙදර අරන් එන්න කියන්නෙ මහාචාර්යවරු. ⁣කාන්තාවකගේ ඔසප් වේදනාව ගැන කිසිදු කාරුණික බැල්මක් නැති මේ අය මේ කායික මානසික වේදනාව හෑල්ලුවට ලක්කරන්නෙ තමන්ගෙ බිරිදගෙන් එදාටත් කෑමට වේල උයල දෙනකල් පුටුව රත් කරමින්. රෙදි ටික හෝදල වේලාල අයන් කරල ⁣හෙට දවසෙත් වැඩට යන්න ඇදුම් ටික ලෑස්ති කරල දෙනකල් බලනි හිදිමින්.
සාම්ප්‍රදායික කාන්තාවන් ඉතා හොදින් ගැටළුවක් නැතිව මේක කරගෙන යනව. ඒ අයට තේරෙන්නෙ නැහැ තමන් තමන්ගෙ සැමියා අතින් අපහාසයට උපහාසයට හිංසනයට ලක්වෙන බව.
ඒ වගේම තමයි මේ රටේ පිරිමි හිතන් ඉන්නව තමන්ගෙ බිරිද ලිංගික භාණ්ඩයක් බව. ඒ අය තමයි තමන්ගෙ බිරිද"සයනයේදී වෛශ්‍යාවක විය යුතුයි"කියල හිතන්නෙ. සහ එහෙම නොවුනොත් දික්කසාද වෙන තරමටම ප්‍රශ්නය දුරදිග යන්නෙ. ඒ වගේම ගෑණු බබ්බු හදන මැෂින් කියල හිතාගෙන ගෑණුන්ගෙ කුස මාස නවයෙන් නවයට පුරවන පුරුෂ මූලික සමාජයක් තමයි මේ වෙද්දි බොහෝ විය ග්‍රාමීයව අපිට දක්නට ලැබෙන්නෙ. ඉන්දියාවෙදි මෑතකදි තරුණ වෛද්‍යවරියක් දූෂණයට ලක්කරල පුලුස්සල මරල දාද්දි එතනදි මනුෂ්‍යත්වය වගේම කාන්තාව මේ සමාජ දේහය තුළ සුරක්ෂීතද තියන ප්‍රරශ්නය අපිට ඇතිවෙන්නෙ ඉඹේටම. තවදුරටත් කාන්තාව වනාහී sex toy එකක් නොවන බවත් ඇය ද ඇය ලේ මස් නහර වලින් සුසැදි මනුශ්‍ය වර්ගයේ දායකත්වය උදෙසා පිරිමියා සේම සමතැනක කටයුතු කරන්නියක් බව අප වටහාගත යුතුව පවතින සත්‍යන්ගෙන් එකක්.
කෑම බීම ටික ලගටම ගෙනත්ල, අතහෝදන්න වතුර ටිකත් ටේබල් එකටම ඇරල සැමියා කෑවට පස්සෙ තමන් කන්න ඕනය කියල හිතන බහුතර බමුණු දිට්ඨිකයන් තේරුම් ගත යුතුව ඇත්තේ අන් කිසිවක් නොව. ඔබේ විවාහක බිරිඳ වහලියක් නොවන බවයි.
සිද්ධාර්ථ විසින් තමන්ගෙ ලෝකය ජයගැනීමේ ආධ්‍යාත්මික අරමුණින් ගිහි ගෙයින් පිට වෙන්නෙ ය⁣ශෝදරාව සහ තමන්ගෙ කිරිකරටි රාහුලව තනි කරල. හැබැයි යශෝදරා පිරිණිවන් පාන්න යන මොහොතෙ ගෞතම බුදුන්වහන්සේට එක දෙයක් කියල යනව. "පහාය වො ගමිස්සාමි කතං මේ සරණමත්තනො" තොප හැර යන්නෙමි, මා විසින් තමහට පිහිට කරගන්නා ලදි.!"
මේ යශෝදරාව බුදුන්වහන්සේට අන්තිම මොහොතෙදි කියන්නෙ මොකද්ද? ගැහැණියට තනිව පැවතිය හැකියි! කියන කාරණය. ඔව් අද බොහෝ ගැහැණුන් තමන්ට තනිව ජීවත් විය හැකි වටපිටාව ඉතා හොදින් හදාගෙන තියෙනව.
ඉතිං මෙහෙම ජරාජීර්ණ වුන සමාජයක ලෝක විවාහක රූ රැජින වෙන්න අවශ්‍ය අව්‍යාජ පසුබිම තමන්ගෙ සැමියාගෙන් ලැබෙන්නම ඕන. ඒ සැමියා කරන කැපකිරීම අතිශයින්ම වැදගත් වගේම ඒ විදියට හිතන පුරුෂයො මේ සමාජෙට ගොඩක් වටිනව. ඉතිං තමන්ගෙ බිරිද විවාහක රූ රැජිණක් කරන්න බැරි කමටවත් තමන්ට විවාහක රූ රැජිණ වෙන්න පැරිවුන කමටවත් තවත් කාන්තාවකට අසබ්‍ය අවලං කතා කියක එකෙන් අපි වැලකෙන්න ඕන.
අධ්‍යාපනයේ අයිතිය, ආගමික අයිතිය,ජීවත් වීමේ අයිතිය කියන හැමතැනින්ම කුමන හෝ පීඩාවක් පිරිමියාට වැඩියෙන් ගැහැණියට හිමි වීම ඛේදවාචකයක්. ඒ ඛේදවාචකය රහයි රහයි කියල තව තවත් පීඩාව දෙන පිරිමිත්, ගැහැණුත් ඊට වඩා ඛේදවාචකයක්!
මුහුණු පොතේ ඉන්බොක්ස් හරහා රහස් හමුවීම් වලට ගැහැණුන්ට ඇරයුම් කරන, ඉනුත් නොනැවතී ලස්සනම ගැහැණු ඡායාරූප වලට APE HAMBAMUDA? MA MAGE IMO NOMBER. CHAT PLZ. SeX Me. Plz inbox යනුවෙන් කමෙන්ට් කරන ඉනුත් නොනැවතී ජැකලින් ලාගෙ සිට ඇසිලින්ලාගේ දක්වාම pornhub වල xhemester වල beeg.කොම් වල පමණක්ම නොව යූ ටියුබයේද සර්ච් බාර්වල නමින්ම සර්ච් කරන පිරිමි මහත්වරුණි කැරලයින්ලාගේ සදාචාරය පිළිබදව උවමන් තැබීමට නුඹලාට සදාචාරාත්මක අයිතියක් තිබේද?

|ගුරුගොඩ සිරිවිමල

6 comments:

  1. පුරුශ ආධිපත්‍යය බමුණන්ගේම එකක් නෙමෙයි. සිංහල බෞද්ධ සංස්කෘතිය තුලත් තියෙනවා.
    පුරුශ ආධිපත්‍යය හරියට කරනවානම් ගොඩක් වාසි ගන්න පුළුවන්.
    හොඳම දේ සිංහලයන් තුල පුරුෂ ආධිපත්‍ය තබාගෙන සිංහල නොවන්නන් තුල එය අඩු කිරීමයි.

    ReplyDelete
  2. ගැහැණුන් කෙරෙහි පුංචි සාදු දක්වන කරුණාව දැන්නම් වැඩියි වගේ. සිවුර දෙහි ගහේ පොරවයි වගේ හෙටනිද්දම.

    ReplyDelete
  3. Well done! Your thoughts are commendable, especially as a monk, the guts and courage to address an issue as such - about women, has to appriciate. Thank you!

    ReplyDelete
  4. මෙය විවෘතව කතාබහ විය යුතු දෙයක්. නමුත් කතාව පටන්ගන්නා කෙනා දැඩි පහරකෑමකට සූදානම්ව පටන් ගත යුතුයි. ඒකයි හැටි!

    ReplyDelete
  5. හාමුදුරුවෝ බමුණන්ගේ වැරදි කිව්වනේ,
    ඔයාට පුළුවන්ද හින්දු ආගමේ කෙනෙක්ගේ මූනට ඒවා කියන්න.

    බෞද්ධ සාහිත්‍ය තුල බමුණන් විවේචනය කිරීම සමාන වෙන්නේ
    බටහිර කලා කෘතිවල පාප් වහන්සේ, හිට්ලර් විවේචනය කිරීමට, එහෙමත් නැත්නම් මුස්ලිම් සම්ප්‍රදායයන් නිසා මුස්ලිම් කාන්තාවට වන හානිය ගැන දුක්වීමටයි.
    ඒක පැහැදිලිවම දේශපාලනික අරමුණක්.
    අද ඉන්න සිංහල කදලා කරුවන් දෙමළ ජාතිවාදය විවේචනයට බය වුනාට. පුරාණ සිංහල බෞද්ධ කලා කරුවෝ බමුණව demonize කරන්න පැකිලුනේ නෑ.
    ඇත්ත කතාව තමයි හිට්ලර්, පාප් වහන්සේ ඔය කියනතරම් නරක අය නෙමෙයි. ඒ වගේම මුස්ලිම් ගෑණු කියනතරම් දුක්විඳින්නෙත් නෑ.
    බමුණුමතත් කියනතරම් නරක නෑ.

    ReplyDelete
  6. පොඩි සාදුගේ මෙම ලිපිය හරිම වටිනවා. ස්තූතියි මෙම කාන්තා පීඩක මානසිකත්වය ගැන කතාකරන එකට. මගේ අදහස නම් ලoකාව/ඉන්දියාව/පාකිස්ථානය ආදී රටවල්වල දියුණුවට විශාල බාධාවක් මෙය. කාන්තා හිoසනය සිදුවන සමාජයක පිරිමින්වත් පුරැෂ හිoසනය සිදුවන සමාජයක කාන්තාවන්වත් යහතින් ජීවත් නොවේ. එයට හේතුවන්නේ ලෝකයේ සෑම සමාජයකම කාන්තාවන් සහ පුරැෂයන් අන්තර්සම්බන්ධතා සහිතව ජීවත්වන නිසා වරෙක පීඩකයා තවත් වරෙක පීඩිතයා වීම නොවැළැක්වියහැකි නිසායි.

    ReplyDelete