සෙව්ම්

Friday, May 17, 2019

|සුබ වෙසක් සිහිනය | කටු වැටට උඩින් පිය නගමු අපී| සත් සියක් අරවින්ද හිනැහේවී

නිමේෂයකින් පැතුම් බොඳ කර දැමූ සාතිශය සංවේග ජනක සිද්ධීන් මව්රටෙන් ඇසෙන මොහොතක, කඳුළු සඟවමින් සිනහ පෙන්වමින් ජීවත් වෙමි. 

 මේ මහා විශ්වයේ පහළ වූ ශ්‍රේෂ්ඨතම මිනිසකු වේනම් ඒ බුදුන් වහන්සේ ලෙස නම් කරමි. උන් වහන්සේ දෙසූ දහමේ සොඳුරු තැන් ඇසීමටත්, කියැවීමටත්, උන්වහන්සේගේ ශ්‍රාවකයකු වීමේ ප්‍රීතියත් මා තුළ ඇත.

 අත්ථානං උපමං කත්වා
 න හනෙය්‍ය න ඝාතයේ 

යනුවෙන් දෙසුවේ අන් කවරකුවත් නොව. බුදුන්වහන්සේය. බඩ බැඳි බෝම්බා එල්ලා පුපුරුවා හරිමින් සිය ආගම අදහමින් සිටින මිනිසුන් වෙත පැමිණ මරාගෙන මැරීමට පවා උනන්දු කරවන ආගම් ඇති ලොවක මාගේ බුදුපියාණන් වහන්සේ අති ශ්‍රේෂ්ඨ මිනිසකු ලෙස නම් කරනු කැමැත්තෙමි. තමන් උපමා කරමින් අනුනට හිංසා නොකරන්න යැයි බුදුන්වහන්සේ වදාරයි. මෛත්‍රිය ආගම කරගන්න යැයි දෙසූ ඒ ශ්‍රේෂ්ඨතමයා විසින් දෙසූ දහම අදහන ලොව කිසිවකු උන්වහන්සේගේ නමින් එක ලේ පොදක් හෙළා නොමැති වග කියනු කැමැත්තෙමි, ඒ පිළිබඳව ආඩම්බර වෙමි. බෞද්ධයකු වීමේ පරම ආශ්වාදය දැන් මට ඇත, සැබෑ විචාරශීලී, බෞද්ධයකු වීමේ ප්‍රීතිය මට ඇත. 

මේ වනාහී සිය ආධ්‍යාත්මික සුවය සඳහා මිනිසුන් වෙත වෛරය පතුරවමින්, රුධිර ගංගාවන් දැක තුටු පහටු සිත් ඇති කරගන්නා වූ ආගමිකයන් පිරී ඉතිරෙන, ආදරය වෙනුවට කඩුව කුණිස්ස පෙන්වන, ලෙන්ගතු කම වෙනුවට නිර්ලජ්ජිත බව පෙන්වන මිනිසුන් සිටින ලොවකි. 

 වෙසක් වැනි සංස්කෘතිකමය සංලක්ෂණයන්ගෙ හෙඹි ආදරයේ උත්තුංග ප්‍රකාශනයන් ලොව වෙත ඉදිරිපත් කළ ඒ මහා ප්‍රේමවන්තයා, මහා කාරුණිකයා ආගම් බේදයකින් තොරව සැමරිය යුතු නොවේදැයි මම ලෝකයාගෙන් අසමි. පරම රමණීය වූත් සුවඳවත් වූත් දහමක් දෙසූ ඒ සුවඳවත් මිනිසාගේ තෙමඟුල යෙදී ඇත්තේ වෙසක් පෝ දිනයේය. සිදුහත් බෝසතුන්ගේ උපතත්, සිදුහත් තාපසයාණන්ගේ බුද්ධත්වය අවබෝධ කර ගැනීමත්, ගෞතම බුදුන්වහන්සේගේ මහා පරිනිර්වාණයත් සිදු වූයේ වෙසක් මාසයේ ය. 

ඉඳින් සුවහසක් සිත් නිවන්නට පෙරුම් පුරා බුදු වූ, බණ දෙසූ, සිය වේදනාවන් පසෙක ලා පරිනිර්වාණයට මොහොතක දීත් මිනිසුන් වෙත බණ කියූ ඒ සොඳුරුතර පරාර්ථකාමියා සැමරිය යුතුමය. 



 21 දා පාස්කු ප්‍රහාරයෙන් පසු කිසියම් වැඩ කටයුත්තක් පිණිස එළියට පහළියට ගිය දිනක් මතක නොමැති තරම්ය. සරසවියට ගොස් එනාතරමඟ මීගමුව හෝ කටුනායක ප්‍රදේශයේ සුරුවමක් අසළ හිඳ සුද්ද කරන මිනිසුන් කිහිප දෙනෙක් දුටුවද එය එතරම් ගාණක් නොවිනි. නමුත් පසුගිය 13, 14, 15 දින වල වූ සිඳුවීම් වලින් පසුව අප ලොකුහිමියන් සමග බැහැරට වඩින්නට අවස්ථාවක් ලැබිණි. සිද්දි දාමයන් ගැන තොරතුරු රාශියක් විශ්වාස දායකව ආරක්ෂක අංශ වල හිතවතුන්ගෙන් දැන උගත් නිසාම ප්‍රදේශයේ සිදු වූ කණගාටු දායක සිදුවීම් පිළිබඳව ගාණක් නොවිනි.

එනිසාම විටක් හපමින් කතා බස් කරමින් ගිය වැඩ කරගෙන ආපසු එන අතරමග මාරවිල කුරුස පල්ලියට හැරෙන මාර්ගය අසල පිහිටි සුරුවම දිටිමි. හදවත කීරි ගැහී මොහොතකට නතර වූවා වැනිය. ඉතා දුක්බර මරිය තුමියගේ මුහුණ දකින විට පාස්කු ප්‍රහාරයේ රෞද්‍ර බවම සිහිපත් වෙයි. එය ප්‍රඥාව යටපත් කරන ඉතා සංවේදී හැඟීමක් සිතට ⁣නැගෙන අවස්ථාවකි. 

 බොදු කිතුණු සබැඳියාව කොයිතරම් කාලයක සිට අප ඉතා යහපත්ව අදටත් පවත්වා⁣ගනිමින් එනවාද යන්න සිතෙන විට දැනමුතු ඉතිහාසයේ මර්සලින් ජයකොඩි පියතුමන් හෙවත් පංසලේ පියතුමා සිහිපත් වේ. එතුමන්ගේ "වෙසක් කැකුළු අතු අඟ හිඳ" කෘතියේ එක් කවක් මම සිහිපත් කරමි. 

 "වෙසක් කැකුළු අතු අග හිද නටන විලාසේ
 ඉරෙන් හදෙන් සිරි විඳ විඳ රඟන විලාසේ 
 පියලි සලා - ලා රේණු හලා -ලා" 

ආදී කොටගත් ඒ කවියෙන් මා මත් වෙමි.

 "වෙසක් මහ මල් මහයි. මල් දකින විට මට වෙසක් සිහි වෙනවා . ඒ නිසයි මේ ගීය ලියවුනේ . “වෙසක් සමග මගේ ගීයත් ගැයේවා” 

 සිය කවියට පහළින් මර්සලින් ජයකොඩි පියතුමා සිය පැතුම එසේ ලියා දක්වයි. 

 ඉතිං මිතුරනි, මගේත් ඔබේත් පැතුම් ඉටුවන සුබ වෙසක් මංගල්‍යක්මැ වේවා! කටු වැටට උඩින් පිය නගමු අපී සත් සියක් අරවින්ද හිනැහේවී! 

 |ගුරුගොඩ සිරිවිමල

1 comment:

  1. හාන්දුන්නේ; මම මෙම කියමන දෙතුන් තැනකම උපුටා දක්වලා තියෙනවා. ඒ මොකකද දන්නවාද ඔය මර්සිලීන් ජයකොඩි පියතුමා කියලා තියෙනවා "මෙරට සිටින සෑම කිතුණුවෙකුගේම ආගම කිතුදහම උවත් සංස්කෘථිය බෞද්ධ වේ !'" කියලා. බලන්න එහි ගැඹුර !?

    ReplyDelete