Saturday, November 10, 2018

අපි උපතින්ම දේශපාලන සත්තයෝ

|Mawbima | Young -යං | පොඩි සාදුගේ ලියමන - Podisaduge liyamana| Gurugoda siriwimala  යං ; සංස්කරණය - Wishwanath Jayasekara
2018.10.06
|අපි උපතින්ම දේශපාලන සත්තයො

ලංකාව වැනි රටක ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කිරීම ම විහිළුවක් බව පොඩි සාදුට පසක් විණ. දේශපාලන කෙරුම්කාරයන් තුල පවත්නා ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රශ්න කරන අප පොදු ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදයට එළව එළවා පහර දෙමින් සිටිමු. 
මේ මිනිහෙක් කන බත් ඇටයක පවා දේශපාලනික රතු ලේ ගෑවි ඇති මොහොතකි. ඒ මොහොත දේශපාලනික ව හෝ උපහාසයෙන් යුතුව යම් මාධ්‍යයක ප්‍රචාරය කිරීමේ අයිතිය ප්‍රජාතන්ත්‍රවාදී රටක ලක්ෂණයකි. ලංකාවෙ මං දන්න ඉතිහාසය තුල ප්‍රජාතන්ත්‍රවාදය කියා දෙයක් ස්ථාපිතව තිබුනා ද යන්න ප්‍රශ්නයකි. නමුත් මට මතක ඇති කාලයේ පටන් පෙබරවාරි 04 වෙනිදා
පවත්වන නිදහස් සමරුවේදී නිවේදකවරයා පවසුවේ "ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු..." යනුවෙනි.
කෙසේවතුදු අප තුල පවත්නා දේශපාලනික ගැටුම මතු මතුත් පාරමින් ජනතාව ගොනාට අන්දවන දේශපාලන තත්වයේම දිගුවක් ලෙස මහජනතාව පෙනී සිටීම ලැජ්ජාවට සහ කණගාටුවට කරුණකි. හැම තැනම ඇත්තේ මහින්ද ය, රනිල් ය , මෛත්‍රී ය, එකෙකුටවත් රට ගැන වගේ වගක් නැතිය. හෙට අනිද්දාාට මී වස්සකු පක්ෂ දේශපාලනයට විත් අරක්කු අරික්කාලක් සමග බත් පැකැට්ටුවක් , කිරිපැකට්ටුවක් දෙනවානම් අපේ ජනතාව ඒකාටද "අනේ සෝයි" අප්පච්චි , බත්දුන් පියා යනුවෙන් කෑ ගසනවා නොඅනුමානය. 
වරද ඇත්තේ ජනතාව අතේ නොවේදැයි සිතා බලන්න. 
ලඟකදී වූ දේශපාලනික පෙරලිය උපහාසාත්මකව ගත් මා මාගේ මිතුරියකගෙන් විමසා සිටියේ " අක්කේ ලිප පත්තු වෙනවදෝ " යනුවෙනි. මෙය සීරියස් ගත් හිතවත් අක්කා පෙරලා මෙසේ පැවසීය.
" අපේ ගෙවල් වල හැමදාම ලිප් පත්තු වුනා...හැබැයි , අපේ මහන්සියෙන්" යනුවෙනි. 
කතාව ඇත්තය. අපි අපේ මහන්සියෙන් ලිප් පත්තු කරගන්නවා මිස අනෙකෙකු ඇවිත් අපට ලිප් පත්තු කර දෙන්නේ නැත. වරද අප විසින් මෙය අවබෝධ කර නොගැනීමය. 
ව්‍යවස්ථාවට පටහැනිව ක්‍රියා කරන පාලකයකු සිටින රටක තව තවත් ජනතාව වෙත සර්ව සාධාරණය ඉටු වේවි යැයි හීන මැවීම අපේම දුර්වලතාවයකි. 
ආණ්ඩුව පෙරළු විගස ර⁣ට තොට කැවුම් කිරිබත් ඉඳී තිබුනි. රතිඤ්ඤා ද පත්තු වුනි. නමුත් තවම විසඳුම් නැත. අගමැතිවරු දෙදෙනෙකි. රට කරවන්නේ කවුද යන්න තාමත් නොදනී. කලින් උවද ර⁣ට තුල පාලකයෙක් සිටියාද? රට කෙරුවාද? යන්නනම් පැනයකි. 
කවුම්, කිරිබත් කෑවේද, ඉව්වේද, අපි ය, අපි යනු මහජනතාවය. රතිඤ්ඤා ගිනි කෙළි සංදර්ශන පෑවේද මහජනතාවමය. ඛනිජ තෙල් සංස්ථාවේ වෙඩි තබා ඝාතනය වූයේ ද මහජනතාවගේම නියෝජනයකි.
ඉතිං, 
ප්‍රජාතන්ත්‍රවාදයට කරණ විශාලම හානිය කරන්නේ පාලක පංතිය යැයි තව තවත් නොකියමු. මන්ද යත් වුන් එදා පටන් අද දක්වාම කලේ ප්‍රජාතන්ත්‍රවාදය කඩ කිරීමය. නමුත් පසුගිය දශකයක කාල සීමාව තුල මහජනතාව ද අනෙකාගේ ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල හානි සිදු කරමින් සිටී.
ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ලියන / කතාකරන මහත්වරුන්ගේ අම්මම්මෝ නැතිව බැන වදින්නේ මහජනතාවය , පාලකයන් වෙනුවෙන් පෙනී සිටින්නේ ජනතාවය, නමුත් හෙට උපත ලැබීමට නියමිත බිලින්ඳාගේ පටන් අද මියැදීමට නියමිත මහල්ලා දක්වාම වන මහජනතාව ණය කරුවන් කර ඇත්තේ පාලක පන්තියය.
අප ගල් යුගයේ විසූ වැදි මිනිසුන් පිළිබඳව කියවා ඇත. තම සම්පත් වන ගහ කොළ ආරක්ෂා කරගැන්මටවත් උන් තුළ විඥ්ඥාණයක් තිබුනි. නමුත් කණගාටුවට කරුණ නම් ඒ විඥ්ඥාණයවත් සියවසේ අප තුළ නොමැති වීමයි. අපට විඥ්ඥාණය වන්නේ පක්ෂ මය , පාට මය, පුද්ගලයන් මය, 
හිතවතුනි,
අප ජීවත් වන්නේ
බත් පිඩ කෑ විට පිළිකා සැදෙන , වතුර පොද බිව් විට වකුගඩු රෝගය සැදෙන, වැහි දෙකක් වැටුන පසු අගනුවර යටවෙන, රටකය. 
එහෙත් පළාත් සභාවේ මන්ත්‍රී වරුන්ට ඉඳ ගැන්මට සැප පුටුත් , සුවඳට හිඳීම පිණිස ලක්ෂ ගණනිනුත් වියදම් කරණ රටකය. නමුත් ගම්බඳ ජනතාවට අත්‍යවශ්‍යම වන ජල පහසුකමවත් දීමට අපේ රජයට නොහැකිය. මේ බව පසුගිය දවසක මාධ්‍යට පැමිණි සාමාන්‍ය මිනිසකු පැවසුවේ මෙලෙසිනි. "උන්ට පුක තියා ගන්ඩ ලක්ෂ ගනං පුටු. .... අපිට පුක හෝදන්න වතුර ටිකක් නෑ..." යනුවෙනි. 
නමුත් ලෝකයේ, ආසියාවේ , ආශ්චර්යමත් දෑ අපට ඇත.
අපට අලුතින් ආණ්ඩුවක් අවශ්‍ය වන්නේ ජාතික රූපවාහිණියට ලෝගෝවක් දැමීමටවත් ලක්හඬ නැවත පටන්ගැන්මටවත් අරලිය ගහ මන්දිරයේ බණ දේශනා කිරීමටවත් නොවේ. 
❝ ඔබ අරගල කල යුත්තේ පාලකයා වෙනස් කිරීමට නොව. ජනතාව වෙනස් කිරීමටය. අමන ජනතාවක් පාදඩ පාලකයන්ට එරෙහි වන්නේ නැත.❞
- බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් -

|ගුරුගොඩ සිරිවිමල

4 comments:

  1. කියවන්න අමාරුයි පොඩි හාමුදුරුවනේ. අකුරු ගිනිගන්නවා වගේ. බැරිද කූඹි කකුල් වගේ අකුරු පොඩ්ඩක් ලොකු කරන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියෙ..ඉන්න... හදන්නම්

      Delete
  2. හැම තැනම ඇත්තේ මහින්ද ය, රනිල් ය , මෛත්‍රී ය, එකෙකුටවත් රට ගැන වගේ වගක් නැතිය. හෙට අනිද්දාාට මී වස්සකු පක්ෂ දේශපාලනයට විත් අරක්කු අරික්කාලක් සමග බත් පැකැට්ටුවක් , කිරිපැකට්ටුවක් දෙනවානම් අපේ ජනතාව ඒකාටද "අනේ සෝයි" අප්පච්චි , බත්දුන් පියා යනුවෙන් කෑ ගසනවා නොඅනුමානය.
    එ්කනම් සහතික අැත්ත පොඩි හාමුදුරුවනේ..

    ReplyDelete