Monday, May 30, 2022

මෙහෙම රටක අපට ආදර්ශ දෙන්නෙ කවුද?

ඊයෙ කලින් යොදාගත්ත පුණ්‍යය කටයුත්තකට අපට කොළඹ යන්න වුනා. ඉතින් ඒ ගිහිල්ල එද්දි මගින් කෑම ගන්න නැවැත්තුව. නවත්තල එතෙන්ට වෙලා ටිකක් ඉද්දි වියපු වට්ටි වගයක් තියාගෙන කුඩා දැරිවියක් ඒ වට්ටි විකුණනව. මා එක්ක ගියපු හිතවත් අයියට කියල ඒ දැරිවියව ලඟට ගෙන්නල වට්ටි විස්තරේ අහන්න කලින් මම ඇහුවෙ ”මොකද මේ කරන්නෙ? ඉස්කෝල එහෙම යනවද?” කියල. මේ දැරිවි ආපිට උත්තර දුන්න ඔව්.. ඉස්කෝලෙ යනව; නිවාඩු දවස්වලට අම්ම එක්ක ඇවිත් මේව විකුණනව; අම්ම ඉන්නෙ අතන කියල ඉස්සරහ බැංකුව පැත්තට අත දික් කරල පෙන්නුව.

ඉතින් ඒ විස්තර අහල වට්ටිවල ගනනුත් අහල දැන් ඔයාට ඉස්කෝල යන්න මොනාද අඩු; පොත්? සපත්තු දෙකක්? ගවුමක්? විදියට ඇහුව. පුංචි දැරිවිට එහෙම අඩුපාඩු කියන්න තරම් හිත දෙන්නෙ නැද්ද කොහෙද එයා කියනව අනේ මේ වට්ටියක් ගන්නකො කියල. ඒ ගමන් අම්මත් ඇවිත් අම්මගෙ අතේ තියන අතින් වියපු ඩස්ට්බින්, වෙනත් ලොකු ප්‍රමාණයේ වට්ටි මට පෙන්නනව. “වට්ටි එපා නම් මේ කුණු කූඩෙ ගන්නකො” කියල එකින් එක කියනව.

මම ඉතින් එයාට කිව්ව මට වට්ටි වැඩක් නෑ. ඔයාට පොත් තියෙනවද? කියල මම ඇහුව. එයා ඒකට ඔව් කිව්ව. සපත්තු? සපත්තුත් තියෙනව කිව්ව. ගවුමක්? එයා ඒක නෑ නොකිය කටපියාගෙන කොණ්ඩු හද හද හිනා වෙනව. හරිම අහිංසක දැරිවියක්. මම ඊට පස්සෙ අම්මත් ඉන්න තැනම “ මේක ඔයා වෙන කිසිම දේකට වියදම් කරන්න එපා ගවුමක්ම ගන්න” කියල මුදලක් දීල අපි එන්න ආව.

හවස පංසලට ඇවිත් Fb ලොග් වුනාම දැක්කෙ පෙරේදා  අතුරුදන් වුනාය කිව්ව දැරිවිය අද එයාගෙ ගේ ළඟම තැනකින් මළ සිරුර හම්බෙලා කියල. ඒක සාමාන්‍යය මරණයක් නොවන බවට සහතිකයි. නිශ්චිතවම කුමක් නිසා ඇයට මේ වගේ ඉරණමක් වුනාද කියන එක අපි නොදන්නව වුනත් සමස්ථයක් විදියට මේව ඛේදවාචක. කොටිම්ම කිව්වොත් දරුවෙක්ගෙ ස්වභාවික මරණයක් පවා රටක් ලේසියෙන් සැලකිය යුතු නැහැ.

අද අපේ පුංචි දරුවන්ගේ අනාගතය ගැන කිසිම වගකීමක් ගන්න වැඩිහිටි සමාජයට බැරිවෙලා තියෙනව. මේ සිද්ධිය කණ වැකුනම ගොඩක් අය ඒ දැරිවියගෙ වැඩිහිටියන්ට බැනල තිබුනෙ තනියම යවපු එක ගැන. තව පිරිසක් (මාධ්‍යයද ඇතුළුව) ඒ දැරිවියගෙ ඡායාරූපය සමාජමාධ්‍ය තුළ යොදාගනිමින් තමන්ගෙ අශිෂ්ට තොරතුරු බෙදාහැරීමේ වගකීමෙහි නිරත වෙනව. පිරිසක් “දුවල හම්බෙන්නෙ කරුමෙට” කියද්දි ඒ හාමුදුරුවො කියන්නෙ ඇත්තය. කරුමෙ තමාය කියල සූත්‍ර, ජාතක රිෆර් කරල පෙන්වනව. තව පිරිසක් සමාජයෙ මනුස්සයෙක් ලමා අපචාරවලට ලක්වුන දරුවන්ව ගෙන්වල කේස්ටඩී කරද්දි අපේ අය කියනව විව්ස් ගන්න, ආගමට අපහාස කරන්නය කියල. තව පිරිසක් වැඩිහිටි ගුරුවරියක් අතින් ඕලෙවල් ළමයෙක් දූෂණය වෙද්දි “අනේ අපිට කොහෙන්ද එහෙම ටීචර්ල” කියල විහිළු කරගන්නව. හිනාවෙනව.

සමාජය විසින් දේශපාලන ශිෂ්ටත්වය උදෙසා කෙරෙන අරගලයක් මේ රටේ සිද්ධවෙන වෙලාවක සමාජ අශිෂ්ටත්වය කියන එක පේද්දි මට සැක දේශපාලන ශිෂ්ටත්වය ඉල්ලන සමාජය. සමාජ දුරවධානය සහිත පුංචි දරුවො සියදාස් ගානක් අපේ රටේ හැමදාම හිංසනයට පත්වෙනව. පංසල්වල, ඉස්කෝලවල, ගෙවල්වල, පාරෙ, කඩේ මේ හැමතැනකදිම පුංචි දරුවන්ගෙ අනාරක්ෂිත බව පිරිල. එහෙම රටක් කියන්නෙ යුක්තිය, සාධාරණත්ව බල්ලට ගිය මනුෂ්‍යත්වය කියන එක බිංදුවට ගිය සමාජයක්.

අපි මේ කාරණය දේශපාලනික වශයෙන් ගන්නවනම් මම කියන්නෙ මේ පාලන ක්‍රමයම කුඩු පට්ටම් කරන්න මේ සිද්ධිය විතරක් ඇති. රටක ශිෂ්ටත්වය මනින ඒකකයක් තමයි ඒ රට ඒ රටේ ජීවත්වන දරුවන්ට කොච්චර හොඳ රැකවරණයක් ලබා දෙනවද කියන එක. නමුත් මේ රටේ දරුවො මහපාරේ මරල දානව, තව සමහර දරුවො සිඟමන් යදිනව, තව දරුවො දූෂණය වෙනව. තමන්ගෙ අම්ම තාත්ත අතින්, ගුරුවරු වැඩිහිටියො අතින් ගුටිබැට ප්‍රහාරයන්ට ලක්වෙනව. එහෙම රටක් කියන්නෙ ශිෂ්ටත්වය කියන එක පාදඩකරණයට ලක්වුන රටක්. ඒ රට දේශපාලනිකව ෆේල් රටක්. මේ ක්‍රමය තුළ දරුවන් අනාරක්ෂිතයි.  “මහින්ද චින්තනය, සුබ අනාගතය, මෛත්‍රී පාලනයක්-ස්ථාවර රටක්, සෞභාග්‍යයේ දැක්ම” මේ මම අද්දැකපු දේශපාලන පාලන තන්ත්‍රයන්. මේ කිසිම දේකින් මේ රටේ දරුවො අරක්ෂා වෙලා නැහැ. ඒක තමයි ඇත්ත.

සමාජ අශිෂ්ටත්වය පවතින රටක දේශපාලන ශිෂ්ටත්වයක් කිසිම ආකාරයකින් දකින්න ලැබෙන්නෙ නැහැ. ඒ සමාජයෙ දරුවො අනාරක්ෂිතයි. හෙට ඔබේ දරුවව ආරක්ෂා කරගන්න අවශ්‍යනම් අපිට අවශ්‍යය කෙරෙන ශිෂ්ට සමාජය නිර්මාණය කරන්න වෙහෙසෙන්න. අධ්‍යාපනය, ආගම, සංස්කෘතිය, කළාව තුළින් ඒ දේ කරන්න වෙහෙසෙන්න.මේ අනාරක්ෂිත ක්‍රමය නවත්වන අලුත් ක්‍රමයක් ගැන හිතන්න. මේ ක්‍රමයේ වරද ඔබ-මම කියල පිළිගන්න. මේ දේට නම්‍යශීලී නොවන තාක් සමන් කුමාර, නිත්‍යා, සේයා, අයිෂා, ඔබේ මගේ අයියා, මල්ලී, අක්කා, නංගී අනාරක්ෂිතයි.

මේ රටේ බණ කියන අය “දුවල හම්බෙන්නෙ කරුමෙට කිව්වම” එතන නිර්මාණය වෙන්නෙ ඒ අශිෂ්ට වූ අනාරක්ෂිත සමාජය, පල්ලිය පංසල ඉස්කෝලෙ ඇතුළෙ බාල අපචාර සිද්ධ වෙද්දි එතන අනාරක්ෂිත වෙන්නෙ මේ සමාජය. මේ රටේ දේශපාලකයන් විසින් මේ ක්‍රම වළක්වන ශිෂ්ට නීති සහ ආකල්ප සමාජගත කිරීමේ අවිධිමත්බව නිසා අනාරක්ෂිත වෙන්නෙ මේ සමාජය. අවුරුදු හැටේ හැත්තෑවෙ වැඩිහිටි පුරවැසියො පුංචි දුවලව දකිද්දි රෙද්ද තෙත් වෙද්දි අශිෂ්ට අනාරක්ෂිත තැනක් වෙන්නෙ මේ සමාජය. අම්ම අතින්, ටීච අතින් තාත්ත අතින් දරුවො දූෂණය වෙද්දි අනාරක්ෂිත වෙන්නෙ මේ සමාජය. එහෙම රටක අපට ආදර්ශ දෙන්නෙ කවුද? ගල් වැද්දොද?

-ගුරුගොඩ සිරිවිමල-



4 comments:

  1. අගෙයි. හැබැයි අර කූඩ ටිකට්ක් ගත්නං තමයි හොඳ .

    ReplyDelete
  2. අවවාදයට වඩා ආදර්ශය උතුම් කියනවනේ.

    ReplyDelete
  3. සිරිවිමල් මල්ලි,

    අරගලේ දවස් ගානක් තැපලාවත් කෙල්ලෙක් සෙට් උනේ නැද්ද?

    ReplyDelete
  4. ඉවසීමේ සීමාවත් පැන්නා වළහා නරියගෙ හොම්බට ඇන්නා

    ReplyDelete