Wednesday, February 9, 2022

මිනිසුන්ගේ බැබලීමේ ආශාව

දැන් උපාධි, තනතුරු වගේ දේවල් මුදලට ගන්න පුලුවන් වෙලා තියෙනව. කාටහරි සල්ලි තියෙනවනම් සුදුසුකම් අරව මේව කිසි දෙයක් ඕන නැහැ. කුමක් හෝ උසස් අධ්යාපනය පිළිබඳ උපාධි ප්රදානය කළ හැකි ආයතනයකින් ආචාර්ය වගේ උපාධියක් ලේසියෙන්ම ගන්න පුළුවන් වගේම රජයේ ලියාපදිංචි වුන ජාතික සංවිධාන වගේ විකාර සහගත සංවිධානයකින් ගෞරව නම්බු නාම ලබා ගත හැකියි.

මේ ක්රමවේදය ගැන මට එච්චර ලොකු පැහැදීමක් නැහැ. හැබැයි මම මේ ගැන හිතල තියෙන ටික සංක්ෂිප්ත කරගන්න ඕන නිසා මේ ගැන ලියන්න ඕන කියල හිතුව. මම මුලින්ම ඔය ආචාර්ය උපාධිය ගැන අදහස ආවෙ පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක් වුන මර්වින් සිල්වාට ආචාර්ය උපාධියක් ලැබී තියෙන බව දැනගත්තට පස්සෙ. ඒ කාලය හරියටම මතක නැති වුනත් හරියට අවුරුදු 10-12 විතර පෙර කියල කියන්න පුළුවන්. ඊට පස්සෙ ඔය දේශමාන්, කලාකීර්ති, දේශහිතෛෂී, දේශජ, කලාවිභූෂණ වගේ සම්මාන ලැබෙන ක්රමවේද දෙකක් මම දැක්ක. ඔය දේශමාන්ය වගේ ජාතිය, රට මුල් කරගත් නම්බු නාම ලැබුනෙ දේශපාලකයන්ට සහ සමාජ සේවා වල නියැලුන වරදක් කිව නොහැකි මිනිස්සුන්ට. ඒව ලැබුනම සමහර විට එයාලම වියදම් කරල පත්තරේ දානව. දෙවනිව ඔය කළාවට සම්බන්ධ නම්බුනාම ලැබුනෙ ගම් වල යම් සංගීත, කලාදියේ අවංකව යෙදුන කිසි ඇගයීමක් නැතිව වෙලි වේලි හිටිය මිනිස්සුන්ට. අපේ ගමෙත් කීප දෙනෙක්ටම ඕක ලැබුන වගේම ඒක ලැබෙන්න ගමේ පංසලේ හාමුදුරුවන්ගෙන් චරිත සහතික වගේ දේවල් ඉල්ලුව. ඒව අදාල චරිතය විසින්ම ඉල්ලගෙන ගිහිල්ල අමාත්යාංශයට බාරදීල ඕක ගන්න එක තමා හිනායන්නෙ. බොහෝවිට ඒව සංස්කෘතික අමාත්යාංශයෙන් ප්රදානය කරපු කිසි වරදක් කිව නොහැකි මට්ටමේ සම්මාන ප්රදානයන්.

මම මේ ලඟදි කොළඹ ඉදන් එද්දි අපේ ටවුන් එකේ පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකුට රට සම්බන්ධ මොකද්දෝ සම්මානයක් හාමුදුරුවරු පිරිසක් එකතු වෙලා දීල තිබුන කියල ලොකූ කටවුට් එකක් ගහල තිබුන. ඒ පාර්මේන්තු මන්ත්රීවරයා මෙලෝ වැඩකට නැති කෙනෙක් බව අවංකව කියන්නෙ වෙන මුකුත් හින්ද නෙමේ මම පෞද්ගලිකවම ඒ මනුස්සය ගැන දන්න නිසා. මම දන්න තරමින් සාමාන්ය පුරවැසියෙක් තරම්වත් වැඩක් මේ රටට ඔහු කරල නැහැ. නමුත් ඔහුට ලැබිල තියෙන සම්මානය ගැන පංසලට එනකල්ම මම කල්පනා කර කර ආවෙ.

ඒ වගේම ටෙලි නාට්ය කිහිපයක රඟපෑව හිංචි පිංචි නළුවො කීපදෙනෙක්ට, ගායක ගායිකාවන් කීප දෙනෙක්ටත් මේ සම්මාන ලැබිල තිබුන. මේව දකිද්දි මට මතක් වුනේ මිනිස්සුන්ගේ “බැබලීමේ ආශාව” කියන කාරණය කොච්චර ප්රබලද කියන එක. දේශය, කලාව මුල් කරගත්ත මේ සම්මාන ප්රදානය මෑතකදි මුදල් ලබා ගනිමින් ඒ ඒ සංවිධාන වලින් ප්රදානය කරපු ඒව. මගෙ හිතවත් කලාකරුවො කිහිප දෙනෙක්ට එහෙම මුදල් අරන් මේව ප්රදානය කරන්න සූදානමින් සිටින බවට ඒ ඒ සංවිධාන වලින් ආපු ලියකියවිලි කිහිපයක් මම දැක්ක.

මිනිස්සුන්ගේ බැබලීමේ ආශාව කියන එක හරිම ප්රබලයි. ඒ ආශාව තමයි ලෝකය පුරාම අද වෙද්දි මාකටින් වල ප්රධානම නිලය වෙන්නෙ. මිනිස්සුන්ගෙ කායික සහ මානසික බැබලීමේ ආශාව වෙනුවෙන් සබන් කෑල්ල, ඇඳුම පැලදුම, බේත් පෙත්ත ඉදන් ගේ දොර, යානවාහන සහ දුරකතන වගේ දේවල් විතරක් නෙමේ මුළු අධ්යාපන ක්රමයම මිඩංගු වෙලා තියෙනව. ඒව මුදල් අරගෙන අපි පරිභෝජනය කරල යම් තෘප්තියක් ලබනව. මදි කියල හිතුනම තව තව බ්රෑන්ඩ් ට්රයි කරනව. නමුත් ඉතිරිවෙන්නෙ අතෘප්තිය විතරයි. තමන් තමන්වම රැවටෙනව. මේ මිනිස්සුන්ගේ බැබලීමේ ආශාව මේ වෙද්දි අපේ කුඩා ජාතික සංවිධාන විසින් අල්ලගෙන තියෙනව. ඒ අය අල්ලන්නෙ අර වගේ හිංචි පිංචි හාවන්ව සහ දේශපාලන ඔලමොට්ටලයන්ව. එහෙම අල්ලගෙන ඒ අයගෙ සංවිධානය ජනප්රිය කරගන්නව වගේම යම් මුදලක් තමන්ගෙ සංවිධානය වෙත ලබාගෙන එතන සෙට්ල් කරගන්නව.(සමහරවිට තනි පුද්ගලයෙක් මෙතන ලාභ ලබනව)

මම හිතන්නෙ මිනිස්සුන්ගෙ බැබලීමේ ආශාව තවදුරටත් මේ ගෝලීය කරණය වුන සමාජයෙ මහා ලොකු දෙයක් නෙමෙයි. ඇත්තෙන්ම ඒක කෝපි කාලෙ වැඩක් කියලයි මම හිතන්නෙ. මිනිස්සුන්ගෙ බැබලීම තවදුරටත් වලංගු වන්නෙ නැහැ මේ පෘතුවියට. විශේෂයෙන්ම ගෝලීයකරණය තුළ තියෙන ලක්ෂණ දිහා බැලුවම ඒකෙ එක ප්රධාන දෙයක් තමයි මිනිස්සුන්ගෙ සමානාත්මතාව අකමැත්තෙන් හරි පිළිගැනීම. එතකොට නම්බු තියෙනවද, උපාධියක් තියෙනවද, කියන එක මිනිස්සුන්ට වැඩක් නෑ. අපි මිනිස්සුන්ව නම්බුවෙන් ඇදුමෙන්, කන බොන දෙයින් එයාගෙ තත්ත්වය මනින්න හැදුවට ඒ ක්රමය දැන් ලෝකයා විසින් ප්රතික්ෂේප කරල ඉවරයි. මේ කාරණයෙදි වඩාත් වැදගත් වෙන්නෙ මේ මොහොතේ අපි ලෝකය වෙතට හැරෙන එක. තනි ග්රම්යය ගෝත්රික ගතිය අතහරින එක.

තව පැත්තකින් ගෝලීයකරණයේ තියෙන විශේෂ ලක්ෂණයක් තමයි තමන් විසින් තමන් රවටා ගැනීමත් බැබලීමේ ආශාවත්. ඒ වෙනුවෙන් මුලු ජීවිතයම කැපකරන ලෝකවාසියො ජීවත් වෙනව. තමන් විසින් තමන්ව රවටා ගන්න එක විදියක් ඔය නම්බු නාම, උපාධි කියන දේවල්. ඒව සමහරවිට තමන්ගෙ අතීත ජීවිතයෙදි ඒ මිනිස්සුන්ට හීනයක් වෙලා තියෙනව. දරුණු හිසරදයක් විදියට වැඩෙමින් තිබිල තියෙනව. තමන් සමාජයෙ යම් කිසි ක්ෂේත්රයකින් ඉහළට ආවම මේ තමන්ගේ අතීත හිසරදයන් සුව කරගැනීමේ මාර්ගය ඒ අය හොයනව. එතනදි ලැබෙන පහසුම මාවත ඔවුන් ලබා ගන්නව. ඔය නම්බු, තනතුරු උපාධි ලැබිල තියෙන අය සහ ඒව පසුපස හඹා යන මිනිස්සු දිහා හොඳට බලන්න. අනිවාර්යෙන්ම ඒ අයට අතීත හිසරදයක් තදින්ම තියෙනව. සමහර විට ඔය හිසේ රදය අපේ ගොඩ දෙනෙක්ට තියෙන්න පුලුවන්. මොකද කිසි වගතුවක් නැතින උපතේ ඉදන්ම අපි උත්සාහ කරන්නෙ බැබලීමේ ක්රමයක් හොයාගන්න. ඒකට අපේ අධ්යාපන ක්රමය විසින්ම අවශ්ය පෝෂණය කුඩා කාලයෙ ඉදන්ම ලැබෙනව.

ඉතින් අපේ මිනිස්සු කීයක් හරි දීල හරි ඔය වගේ නම්බුනාමයක්, උපාධියක් ගන්න වෙහෙසීමේ න්යාය ඕකයි. මේ අතෘප්තිකර මිනිස්සු කවදහරි තමන්ට ලැබිල තියෙන ජීවිතයෙන් සතුටු වෙන්න පුරුදු වෙන දවසට බැබලීමේ ආශාව නැති වෙලා යනව. මොකද ඒ වගේ මිනිස්සුන්ට අමුතුවෙන් බැබලෙන්න ඕන කියල දෙයක් නෑ.

-ගුරුගොඩ සිරිවිමල-



 

8 comments:

  1. පුංචි සාදු ඕවා ගැන කල්පනා කරලා කලේ නාස්ති කරගන්නට එපා.

    ඕකත් කමටහනක් කරගෙන, බණක් භාවනා කරන්න.

    ReplyDelete
    Replies
    1. හා‍‍‍‍‍‍‍‍‍‍‍‍‍...තෑන්ක්ස්

      Delete
  2. හාමුදුරුවෝ එහෙම කීවට ආචාර්ය උපාධිය ගන්න යනවනේ ඉතින්

    ReplyDelete
    Replies
    1. හී හී... ඒකෙන් බැබලෙන්නත් පුලුවන්ද?

      Delete
  3. වර්ණනා, කීර්ති ලබන්න ආස කිරීම ඉතිං මිනිස් හැටියක් නෙ....

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම... මම මෙතනදි බැබලීම වරදක් කියල නැහැ

      Delete
  4. අනාගාමි වනතාක් අස්මිමානය දුරු වෙන්නෙ නැහැනෙ හාමුදුරුවනේ. ලොවේ ධර්මතාවය තමා පුහුදුන් පුද්ගලයා සතු මමායනය. එය තියෙනා තාක් ඔහු අටලෝ දහමට යටත්. ඉතින් බැබලෙන්න තිබෙන ආසාව ගැන දහමේ යෙදෙන අපට අමුතු කාරනාවක් නොවේ නේද

    ReplyDelete