Saturday, October 2, 2021

අපිත් දවසක යනවා ලී කූඩුවේ

මේ ටිකේම අපට විවිධ ජනප්‍රිය මරණ ගැන අහන්න ලැබුනනෙ. ඉතින් අපි හැමෝම ඒ මිය ගිය අයගැන ලිව්ව. කොරෝනා නොතිබ්බ කාලෙකනම් ලොකූ අවමංගල සභාවල කෘතිම ගුණ කථන ගොඩාක් අහල අවසන් ගමන් යන්න සිද්ධ වෙන ඛේදවාචකය වෙනුවට මේ කොරෝනා පීරියඩ් එකේ මේ පුද්ගලයන් ගැන ඇත්ත දැනෙන දේවල් බොහෝ දෙනෙක්ගෙ ලිවීම් මැද සමුදෙන්න ලැබීම ඔවුන්ගේ භාග්‍යයක්. (මම කියන්නෙ බැනුම් හරි) කියල මම විශ්වාස කරනව. ඒත් අර කතාවක් තියෙනවනෙ “මළාට පස්සෙ මොන ගුණ කථනද” කියල. කෙසේවෙතත් මේ මරණවලදි එකිනෙකාගෙ හැසිරීම් විවිධයි. කෙනෙක්ට සුබ ගමන් කියද්දි තව කට්ටියක් ඒක විවේචනය කරනව. තව කට්ටියක් සුබ ගමන් කියද්දි එක කට්ටියක් පෙරළ පෙරළා කමෙන්ට් වලින් පෝස්ට් වලින් ගහනව. මේ වර්චුවල් ලෝකය හරි අමුතුයි. ඇත්තෙන්ම මේ ලෝකෙමත් නෙමේ අමුතු. අපි අපිමයි.

ඕනම කෙනෙක්ට තමන්ගෙ හදවතට සමීපයි කියල හිතෙන කෙනෙක්ගෙ මිය යාමකදි උපන්දිනයකදි ඒ ගැන කණගාටු වෙන්නත්සතුටු වෙන්නත් අයිතිය තියෙනව. තමන් කැමති ගායකයෙක්නම්නළුවෙක්නම් නිළියක්නම්සමාජ ක්‍රියාකාරිකයෙක්නම් සරළ සාමාන්‍ය තමන්ට දැනුන මනුස්සයෙක්නම් එයා වෙනුවෙන් බොහෝ දෙනා මේ දෙය කරනව. මේව සාමාන්‍ය දේවල්. සමහරවිට මේ කණගාටු දායක මරණ කියන්නෙ තව අය ඇරියස් කවර් කරගන්න අවස්ථා. මහාචාර්ය වරු හින්ට් ගහගන්නනළු නිළියො ගොසිප් හොයන ඒ වගේ අවස්ථාවක් තමයි මේ මරණ අවස්ථාවක කණගාටු වීම කියන්නෙ.

ඉතින් මේ පහුගිය ටිකේ සිද්ධ වුන මේ මරණ අද්දැකීම් එක්ක මට කලින් ඉදන් ලියන්න කියල හිතන් හිටිය ටිකක් ලියන්න ඕන කියල හිතුන. මේ ලියමනේ කිසිම තේරුමක් නැති වෙන්නත් පුලුවන්. මොකද මරණය සහ ඒ අවමංගල්‍ය අවස්ථාව ගැන අතොරක් නැති සිතිවිලි ටිකක් එකතැනකට ගන්න එක විතරයි මේකෙදි කෙරෙන්නෙ.

ඇත්තෙන්ම මරණයකදි අපිට කෙනෙක් හදවතට සමීප වීමේ තරම සමානයි දුකට පත්වීම. දුක වැඩියෙන්ම දැනෙන්නෙ ලඟම කෙනෙක් මැරුණමනෙ. නමුත් මේ ගැන අපේ රසික ජයකොඩි අයිය සැරයක් ලියල තිබුන මේ මරණය අපට සමරන්න බැරිද කියලඒක ඇත්තෙන්ම ඉතා හොඳ සිතීමක්. හැඬීම් වැළපීම් වෙනුවට තමන්ගෙ ලෙන්ගතු නෑයෙක් හෝ කවුරුන් හෝ වේවා අපි ඒක සතුටින් සමරනව. මේ වගේ දෙයක් නූතනයේ රට තුළ ජනප්‍රිය වෙමින් පවතින ආගමකිනුත් කෙරෙනව. (ඒකෙ අදහස මොකද්ද කියලනම් මම හොයල නැහැ.) ඒකෙදි වෙන්නෙ මරණය දවසෙ හැමෝම මළ ගෙදර යාඤා කරමින්අත්පොළසන් නඟමින්සිනාසෙමින් ඉන්න එක. ගෙදර හැමෝමත් මේක කරන එක ආගමික නියමයක්. මරණයකදි අපිට ජානවලින්ම වගේ පුරුද්දක් ඇතිවෙලා තියෙනව අනිවාර්යෙන් ශෝක කළ යුතුයි කියල. සමහර තැන්වල ගෙදර මිනිස්සු ඇඬුවෙ නැත්තං ඕඩියන්ස් එකේ එකිනෙකාට කතා කරගන්නව; “බලන්න අනේ අර යකාට කඳුළක්වත් එන්නෑනෙඅර කෙල්ලට අම්ම මළා කියල ගානක්වත් නෑනෙයකෝ මූ ගෑණි මැරිලත් අඩන්නෑනෙ” වගේ දේවල්. ඒ කියන්නෙ ඕඩියන්ස් එක පවා හැඬීමක් බලාපොරොත්තුවෙන්මයි ඒකට යන්නෙ. මමනම් මගේ සමීපතමයෙක්ගෙ මරණයකදි මොන විදියට හැසිරෙයිද කියල මට හිතාගන්නවත් බැහැ. ඇත්තෙන්ම මම මේ මොහොතේ ඒ අයගේ අවසන් ගමන් යාමේදී කරන දේවල් හිතල නැහැ.

මම මරණ කියන දේවල් කොච්චරවත් අත්දකිනව. පාංශුකූල වගේ දේවල් වලට යන නිසා ඒවයෙ දුර ඉදන් බලන් ඉන්නවට වඩා දේවල් මම අත්දකිනව. හැමවිටම ඒ මරණ අවස්ථාවලදි අඬන බොහෝ දෙනා අඬන්නෙ හිතේ වේදනාවටම තමයි. එතන මවාගත්ත කිසිම දෙයක් තියෙනව කියල මම හිතන්නෑ. මම හිතන්නෙ ලංකාවෙ මිනිස්සු හිතේ වේදනාව පිට කරන්න තෝරගෙන තියෙන්නෙ කඳුළු සළමින්විලාප තියමින් හරඬීම විය හැකියි.

මරණ වලදි ගහන අප්‍රමාණ බැනර් සංඛ්‍යාවක් තියෙනව. සාමාන්‍යයෙන් මම මිනිස්සුන්ව දුප්පත් පොහොසත් හා තනතුරු උගත්කම් අනුව නොබලන කෙනෙක්. නමුත් දුප්පත්ම කෙනෙක්ගෙ වුනත් අවමංගල්‍යකදි බැනර්ස්නම් දහයක්වත් තියෙනව. ඔය තියෙන බොහෝ බැනර් කියන්නෙ සමාජ යුතුකම් කොටසක් බවට පත්වෙලා. හදවතේ ගැඹුරු ශෝකය පෙන්වීම අද යුතුකමක්. තමන්ගෙ රැකියා කරපු ආයතනයෙමරණාධාරසුබසාදනමිත්‍ර සංගම් එතනින් නොනැවතී පවුලේ දූදරුවන් මව් දෙමාපියන් පවා ශෝකය ප්‍රකාශ කරමින් බැනර් ගහනව. ඇමතිවරයෙක්ගෙ වගේ ප්‍රභූ වරයෙක්ගෙ වගේනම් එතන ඒක තනිකරම පරිසර දූශණයක්. මම දන්න විදියට ඕව පවුලෙ අයම ගලවලා නැවත ඒ ඒ අයට බාරදෙන්නත් ඕන. ඔය මරණාධාර සමිතිවල ඒව නැති වුනාම පවුලෙ මනුස්සය ඒක අලාබෙ ගෙවන්නත් ඕන. මළ ගෙදරක බැනර් කියන්නෙ ආට් එකක් විදියට වෙනම කතා කරන්න ඕන දෙයක් වගේම එක පැත්තකින් මහ හිස් වැඩක්.

මරණයකදි සිද්ධ කරන ගුණ කථන කියන්නෙ බොහෝ දෙනා අහන්න අකමැතිම කතා ප්‍රවර්ගය. මමනම් ඕව හරි ආසාවෙන් අහන් ඉන්නව. ඒවයෙ තියෙන කාරණා නවකතාවක් කෙටි කතාවක් කියවල ලබා ගන්න බැහැ. මේ ගුණකථන වලත් අනිවාර්ය කතා වගේ දේවලුත් තියෙනව. ඒ කියන්නෙ මැරුණු හෝ මැරුණු කෙනාගෙ පවුලෙ අය බැඳිල ඉන්න සමිති සමාගම්වල වගකිව යුත්තෙක් අනිවාර්යෙන්ම කතාවක් කළ යුතුයි. ඒ විදියට කතා නොකළොත් ඊළඟ සමිති වාරයෙදි ලොකු ප්‍රශ්නයක් ඒක. ඒ වගේම පවුලෙ අය වුනත් ඔය සමිති සමාගම්වලට බැඳෙන එක හේතුවක් තමයි ඔය ගුණකථනයත්. මේ විදියට තමන්ගෙ මරණය පවා ප්ලෑන් කරල තියෙන මිනිස්සුන්ට වර්ථමානයක් තියෙනවද කියලනම් මට හිතාගන්න බැහැ. සමහරු තමන්ගෙ පාණ්ඩිත්‍ය පෙන්වන්න පැය ගණන් කරන ගුණ කතා අන්තිමට මුළු ඕඩියන්ස් එකම අපෝ කියල කට උල් කරගෙන මූණ බෙරි කරගන්න තරමටම ඇවිත් තමා නතර වෙන්නෙ.

කොහොම වුනත් මරණ වෙනුවෙන් ලංකාවෙ බිහිවෙලා තියෙන සංස්කෘතිය නිකම්ම නිකං කාලය කා දමන වැඩක් කියලයි මට හිතිල තියෙන්නෙ. අර “විනීලගෙ මළගෙදර” වීඩියෝව බැළුවොත් මේ ගැන අදහසක් ගන්නත් පුලුවන් වේවි.

මම මේ බිහිවෙලා තියෙන සංස්කෘතිය ප්‍රතික්ෂේප කරන්නෙ ඒ මැරණ මනුස්සයගෙ අන්තිම මොහොත පවා අවලස්සන කරන දෙයක් විදිහට ඒක දකින නිසා. නැතිව මට අයිතියක් නෑ මිනිස්සු කරන දේවල් වැරදියි කියන්න. නිකමට හිතන්නමළ සිරුරක් දින ගණනක් ගෙයක් ඇතුළෙ තියාගෙන ඒක දරන්න බැරි මුදලක් යටපත් කරමින් නඩත්තු කරගෙනකමින් බොමින්දරන්න බැරි මුදලක් වැය කරමින් දින ගණනක් ඥාතිඅසල්වැසි දන්න නොදන්න අයට කන්න බොන්න දෙමින්වල්පල් දොඩවමින්ගුණ කථනවල සීයට අසූවක් විතර කියන බොරු මැද කරන කියන දේවල් වල තේරුම තමන්වත් නොදන්න අභිචාර විධි චාරිත්‍ර වගේ පුරුද්දට කරන දේවල් කාලය කා දැමීම් නෙමෙයිද?

ඉතින් එහෙව් මොහොතක මම මරණ ගැන ලිව්ව මුල් අදහසට එන්නම් නැවතත්.  මනුස්සයෙක් මැරණම අපට කණගාටු වෙන්න අයිතිය තියෙනව. ඒක කා වෙනුවෙන්ද කණගාටුවිය යුත්තේ කියල අපට ඉරි ගහල වෙන් කරන්න බැහැ. නිරෝශන් ප්‍රේමරත්නට කැමතිනම් මධුශ්ගෙ හෝ මධුශ්ගෙ ඥාති මළගෙදරක අදටත් යන්න පුලුවන්. ඒ වගේම බයි ටොයි ජෙපි කුරුටු මේ හැම කෙනෙක්ටම තමන්ගෙ හිතට දැනුන කෙනෙක්ගෙ අවසන් ගමනකදි අදහස් දැක්වීම් කරන්න පුලුවන්. කාටවත් කියන්න බැහැ ජෝ වෙනුවෙන් නාඬපු අය ටෙනිසන් වෙනුවෙන් අඬන්න එපා කියල. සුශාන්ත් සිං වෙනුවෙන් අඩපු ලංකාවෙ අයට කාටවත් බනින්න බෑ මේ ලංකාවෙ මෙච්චර වැඩක් කරපු නළුව වෙනුවෙන් අඬන්න කියල. මොකද කණගාටු දායක වීම එක් වෙලාවකදි සමීපතමයන් වෙනුවෙන් කරන වැඩක්තව වෙලාවකදි මහා පුදුම දේශපාලනිකයිමතවාදීයි.

මේ හැමදෙයක්ම අස්සෙ මතක තියාගන්න. අපි හැමෝමත් මැරෙනව.

ගුරුගොඩ සිරිවිමල -


2 comments: