Monday, December 6, 2021

ජාතිවාදය සහ ඉන් මිදීමේ මග.

(පුණ්ණෝවාද සූත්රය ඇසුරෙන් ලියැවෙන ඉතා කෙටි සටහනකි.)

මම මේ ලියන ටික පාකිස්තානයෙ සිදුවුන සිද්ධියට සෘජු සම්බන්ධයක් නැහැ. සිද්ධි එක්ක පටලවගන්නැතිව කියවන්න. මම මේක වෙලාවක් ලැබුන ගමන් ලියන්න හිත හිත හිටිය එකක් සහ පාකිස්තානයේ සිද්ධිය එක්ක ලිව්වොත් වටිනව කියල හිතුන අදහසක්.

ජාතිවාදයෙ ඉතිහාසයට විශාල දුර අතීතයක් තියෙනව. ඇත්තෙන්ම ජාතිවාදය කියන්නෙ ගෝත්රික අදහසක් කියල හිතුවොත් ඒකෙ ආරම්භය ගෝත්රික යුගයට යනව. නමුත් නූතන යුගයෙත් බොහෝවිට ගෝත්රික යුගයෙන් වෙන්වුන භෞතික වටිනාකම් ටිකක් විතරයි තියෙන්නෙ කියලත් මතක තියාගන්න. අති නූතනයි කියල මෙතැන් පටන් අනාගත ලෝකයෙත් මේ තත්වයම තියේවි. මොකද කිව්වොත් ගෝත්රික යුගයෙ ආකල්පවලින් සමහර සමාජ පද්ධතීන් දශමයක්වත් ඉදිරියට ඇවිල්ල නැහැ. විශේෂයෙන්ම බරපතලව ආගමිකකරණය වුනු සමාජ. ඒ සමාජවල දෘශ්ටිවාද සැකසිලා තියෙන්නෙ ආගම එක්ක. නව්යකරණය නොවුනු ආගමික මතවාද වලින් පල්වුන සමාජයක ගෝත්රික ලක්ෂණ පවතින්න පුලුවන්. ඇත්තෙන්ම තමන්ගේ ජාතියට, වර්ගයාට, අපේකමට, ගෝත්රයේ, රැහේ එකාට, ආදරය කරන එක පෘතජ්ජන ස්වභාවයක්. ඒක මානසිකව අපට ඇවිත් තියෙන දෙයක්. මේ තත්ත්වයම තමයි මිනිස්සු තමාගේ දෙය, වර්ගය, සමාජය, ගෝත්රය හෝ ඔ්නෑම දෙයක් වෙනුවෙන් තවත් වර්ගයක් කායිකව මානසිකව, වාචසිකව හිංසාවට සහ පීඩාවට පත්කරන්න කාලයක් යද්දි පෙළැඹෙන්නෙ. මම අර උඩදි කිව්ව අතිනූතන යුගය හෙවත් මේ මොහොතේ සිට ඉදිරි අනාගතයෙදි මේ කිව්ව තත්වය ටිකක් වෙනස් වෙන්න පුලුවන්. මම හිතල තියෙන විදියට අතිනූතනත්වය මම කියන පුද්ගල චරිතයක් ගොඩනැංවීම විතරයි සිද්ධ වෙන්නෙ. එතකොට බොහෝවිට ඔය අපි, රැහේ, ගෝත්රයේ , කුලේ, ඉස්කෝලෙ, ගමේ, රටේ කෑලි වලින් ගහමරා ගැනීම් සිද්ධ නොවේවි.

කෙසේවෙතත් ජාතිවාදය කියන ගෝත්රික ආකල්පය තුළින් ඒ කාලේ ගෝත්රිකයා රැකුණ, ආරක්ෂා වුනා. එයාලගෙ දේවල් රැකගන්න තිබුන අරගලය එක්ක එයාලගෙ තිබුන දැනුම එක්ක ජාතිවාදය ඒ කාලෙ ඒ අය භාවිත කලා. මේ මම කියන අදහස බොහෝවිට ජාතිකවාදයත් වෙන්න පුලුවන්. නමුත් අද වෙද්දි සමාජයෙ නැගෙන ජාතිකවාදීයි කියන අදහස ජාතිවාදයේම දිගුවක් කියලයි මම හිතන්නෙ. අද වෙද්දි ජාතිවාදය මුල් කරගත්ත දරුණු සමාජ භේදයක් ඇති වෙලා තියෙනව. බොහෝවිට හැමරටකම වගේ බලය වෙනුවෙන් ජාතිවාදය දේශපාලනික වශයෙන් භාවිත වෙනව. ලංකාව විතරක් නෙමෙයි බොහෝ නොදියුණු රාජ්යවල දේශපාලන බලය පවතින්නෙම ජාතිවාදය මතම පදනම් වෙලා. ඒක අපට කියවාගන්න බැරිතරම් දිගුදුරට විහිදිලා. එය අපට පේන්නෙ දැන් පරම සත්යය වගේ. ඒ නිසාම ජාතිවාදයෙන් ගැලවීමක් නෑ. ඒ කියන්නෙ අපි හැමවිටම ගෝත්රිකයි.

බුදුන් වහන්සේ වැඩහිටිය කාලයේත් ජාතිවාදී පැන නැගීම් තිබුන. පුණ්ණ සූත්රය (පුණ්ණෝවාද සූත්රය) කියන මජ්ජිම නිකායික සූත්රය කියවද්දි අපට ජාතිවාදයෙන් මිඳීම සඳහෙ වැදගත් වෙතැයි සිතිය හැකි කරුණු කිහිපයක් ඇතුළත් වෙනව. පුණ්ණ සූත්රයට අනුව පුණ්ණ කියන හාමුදුරුවො සුනාපරන්ත කියන ප්රදේශයෙන් වෙළඳාමට එන ගැල් නායකයෙක්. මේ ගැල් නායකය යම් සිද්ධියක් නිසා බුදුන් වහන්සේ ලඟ බණ අහල පැවිදි බවට පත් වෙනව. ඒ පැවිදි වෙලා පුණ්ණ හාමුදුරුවො බුදුන්වහන්සේගෙන් කමටහන් අරගෙන භාවනා කරන්න නැවත තමන්ගේ උපන් භූමිය වුන සුනාපරන්තයට වඩින්න තීරණය කරනව. ඒ වෙලාවෙදි බුදුන් වහන්සේ පුණ්ණ හාමුදුරුවන්ගෙන් කිසියම් ප්රශ්න ටිකක් අහනව. ඒ ටික සරළව මෙහෙමයි.

පුණ්ණ ඔබ උපන් මව් රට වූ සුනාපරන්ත ජනපදයේ වෙසෙන මිනිස්සු බොහෝ සැඩ පරුෂ වෙති. ඔබ පැවිදිව එහි ගොස් මහණදම් පුරන විට ඔවුන් ඔබට ආක්රෝෂ පරිභව කරතොත් කුමක් කරවුද“යි විචාල සේක.

ස්වාමීනි, මේ සුණාපරන්ත ජනපදවාසීහු මට සැඩපරොස් බසින් බැණ දොඩති. එහෙත් අතින් බැට නොදෙති. ඒ කරුණින් මේ මිනිස්සු මනාවෙතැයි ද මොපශවයෙන් (ඉවසීමෙන්) යුක්ත වෙමැ“ යි තෙරණුවෝ පිළිතුරු දුන්හ.

හොඳයි පුණ්ණ ඔවුන් ඔබට අතින් ගුටි බැට දුනහොත් කුමක් කරවු ද?“

ස්වාමීනි මේ සුණාපරන්තවාසී මනුෂ්යයෝ හොඳයි බොහෝ හොඳයි ඔවුන් මට අතින් ගසතත් ගල් මුල් දමා නොගසත්. ඒ කරුණින් ඔවුහු මනා වෙතැයි සිතා ඉවසමි“ යි කීය.

හොඳයි පුණ්ණ ඔවුන් ඔබට ගල් මුල් වලින් පහර දෙතොත් කුමක් කරවුද ?“

ස්වාමීනි ඔවුන් මට ගල් මුල් වලින් ගැසුවද ඔවුහු මට දඬු මුගුරින් නොගසත්. ඒ කරුණින් සුනාපරන්ත ජනපද වැසියෝ භද්ර වෙතියි, සුහද වෙතියි ඉවසම් ය. පිළිතුරු දුන්නේ ය.

ඉදින් පුණ්ණ ඒ මිනිසුන් දඬු මුගුරින් පහර දෙතොත් ?“

භාග්යවතුන් වහන්ස, මොවුන් මට දඬු මුගුරින් ගසතත් අවියෙන් නොගසන හෙයින් ඔවුන් හොඳයි සිත සිතා ඉවසමි“යි කීය.

ඉතා මැනවි පුණ්ණය, ඉදින් අවියෙන් පහර දුනහොත් කුමක් සිතවු ද? “

එවිටත් සැබැවින් මේ සුනාපරන්තයේ මිනිසුන් මාගේ දිවි තොර නොකරන බැවින් මනා වෙතැයි සිතා ක්ෂාන්තිවාදී වෙමැයි“ කීය.

හොඳයි පුණ්ණ ඉදින් ඒ මිනිස්සු ඔබට තියුණු මුවහත් ඇති අවියෙන් ගසා කොටත් නම්, ඔබගේ දිවි තොරකරත් නම් කරවුද? “

ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ වෙතින් බණ දහම් අසා උගත්, නිවන් සුව පසක් කොට ගැණුමට දිවා රෑ දෙකෙහි වැර වඩන, තමන්ගේ කයටත්, ජීවිතයටත් පිළිකුල් කරන, බොහෝ ශ්රාවකයෝ ද, මනදොළ සපුරා ගැනුමට උපාය මාර්ග සොයන බොහෝ බුදු සව්වෝ ද ඇත. සතරමග, සතරපල, නිවන් යන නව ලෝකෝත්තර ධර්මය ලබා ගැනුමට සිය කයත්, දිවියත් කැපකොට වැරවඩන මට මේ සුණාපරන්ත ජනපද වාසී මනුෂ්යයන් ගේ අවිපහර මා දිවි ගලවති. සියදිවි තොරකොට ගැනුමට තියුණු අවි සෙවීමේ ගැහැටක් දැන් මට නැතැයි සිතා ක්ෂාන්තියම උපසමය ම දරමැ“යි කීය. “

මේ සුනාපරන්තය කියන්නෙ අද මැදපෙරදිග ප්රදේශය කියල අදහසක් තියෙනව. ඒක තහවුරු කරගෙනත් තියෙනව. මේ මැදපෙරදිග වාසීන් එකළ සමාජයේ තව පිටතින් පැමිණෙන නාදුනන අයෙකුට සංග්රහ කරන විදිය හරි වෙනස්. ඒ අයගේ ජාතිවාදී ලබ්ධිය, ස්වරූපය ඉතාමත් වැඩියි. ඒ අය තමන්ගෙම සමාජයේ උපත ලබල ජීවත් වුන පුණ්ණට වුනත් වෙනස් ස්වරූපයකින් එද්දි බාරනොගන්නාසුළු ස්වභාවයක් තිබුන. මම හිතන විදියට එකල සමාජය දේවල් තේරුම් ගත්ත විදිය වෙන්න පුලුවන්. කොහොම වුනත් සුනාපරන්තයට නැවත යන පුණ්ණ හාමුදුරුවො ඒ සමාජයට කිසිම ලෙසකින් අනුගත වෙන්න උත්සාහ කරන්නෙ නැහැ.

පාකිස්තානයේ සිදුවීම එක්ක අපේ බොහෝ දෙනා නගපු කාරණයක් තමයි “වවුලගෙ ගෙදර ගියානම් එල්ලිලා ඉන්න දැනගන්න ඕන” කියන කාරණාව. නමුත් ඒක පැහැදිලිවම අපි සමාජය තේරුම් ගන්න අපේ පාට කණ්ණාඩිය කියලයි මම හිතන්නෙ. මෙතනදි එකක් තමයි අපි හිතනව පාකිස්තානුවන් කියන්නෙ “වවුලන් වැනි පිරිසක් (තිරිසන් සතුන්)” කියල. අනික් කාරණය තමයි අපේ ශ්රී ලාංකික සමාජය වලංගු කරගත්ත ඔය උපමාව අද ලෝකය එක්ක පිළිගත හැකි තත්ත්වයක් නොවීම.

පුණ්ණ හාමුදුරුවො තමන්ගෙ ගමනට තියෙන මානසික සූදානම පැහැදිලිවම බුදු හාමුදුරුවන් ඉදිරියෙ ප්රකාශ කරනව. එතන සාරාංශය ගත්තොත් අපට හිතන්න පුලුවන් වැදගත්ම දෙය තමන් තමන්ගෙ අනෙකාව බාරගන්නා විදිය. ඒක ඉතාම නම්යශීලීව පුණ්ණ හාමුදුරුවො බාරගන්නව. හැබැයි ඒ බාරගැනීම කියන්නෙ සුනාපරන්තයන්ට යටත් වී සිටීම නෙමෙයි. උන්වහන්සේ සුනාපරන්තයට වැඩමවීමෙන් පසු එහෙ සුහද ශීලීව කටයුතු කරන බව අටුවා කතා පුවතින් විස්තර වෙනව.

ඇත්තෙන්ම ජාතිවාදය, ආගම්වාදය වගේ එකම කුලකයක දාල සාකච්ඡා කරන්න පුලුවන් සමාජ ගැටළුවලට විසදුම එකිනෙකා අතර සමාජ සංස්කෘතික අවබෝධය ඇති කරගැනීම. “සච්චෙන දන්තො දමසා උපෙතො - වෙදන්තගූ වුසිත බ්රහ්ම චරියො” කියන විදියට සත්යයෙන් දමනය වුන, සංවරයෙන් යුක්ත වුන, දතයුතු දෙයෙහි අන්තයට පැමිණි, අයෙකුට මේ සමාජ ගැටළුව නිරාකරණය කරගැනීම පහසු දෙයක්.

බුදුන්වහන්සේ සුනාපරන්ත පුණ්ණ හාමුදුරුවන්ට අවසානයේ පසසමින් දේශණා කරන වාක්යයක් තියෙනව. “පුණ්ණ, මැනවි, මැනවි, පුණ්ණ, මේ ඉන්ද්රියදමනයෙන් හා සංහිඳීමෙන් යුක්ත වූ තෙපි සුනාපරන්ත දනව්වෙහි වසන්නට හැකිවවු. පුණ්ණ, තෙපි දැන් එයට කල් දනිවු යි.”

මේ වාක්යයෙ කියැවෙන ඉන්ද්රියදමනය, සංහිඳීම කියන වචන දෙක තමයි ජාතිවාදයෙන් මිඳීමේ ප්රධාන මාර්ගය. මේ ඉන්ද්රිය දමනයත් සංහිඳීමත් අපේ රටවල තියෙන අධ්යාපන ක්රමයෙන් මිනිස්සුන්ට ලැබෙනවද කියන එක ප්රශ්නයක්. විශේෂයෙන්ම රටේ ලෝකෙ අධ්යාපනය, සාහිත්යය, සංගීත ආදී කලාවන්, ඒ වගේම දර්ශනය වගේ විෂය පද්ධතීන් බිහිවෙන්නෙ රටක ඇතිවිය හැකි සමාජ ගැටළු විසඳන්න. ඒ සඳහා මේ කුඩා කුඩා නොදියුණු රටවල දේශපාලනය මඟින් දොරටු විවර නොවීම සහ ලෝකයට විවෘත නොවී තිබීම බරපතල ගැටළුවක්.

පුණ්ණෝවාද සූත්රයෙදි පුණ්ණ හාමුදුරුවො විවෘත වෙන්නෙ සුනාපරන්තයන්ට නෙමෙයි. මුළු ලෝකයටම. ඒ කිව්වෙ මනුස්ස කියන එකම කුලකයට.

 - ගුරුගොඩ සිරිවිමල -


 


10 comments:

  1. http://www.lankaenews.com/news/12916/si/Taliban-Gnanasara-issues-death-threats-to-Buddhist-monks?fbclid=IwAR0eLScsmStJNE6_SfDmDFU6n0hJYliBAiVLvNT8ji9mGrpJpSdWHqAroHw

    තේරුම් ගන්න, මෙහෙම සමාජෙක කොහොම ද ඔ්ක කරනෟනෙ?

    ReplyDelete
  2. ශ්‍රී ලංකාවේ යුද්ධ හමුදාව යොදවා සන්නද්ධ ක්‍රියාමාර්ගයක් ගෙන පාකිස්ථානයේ පරිපාලනය අත්පත් කරගන්නා මෙන් අප අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිමු. ඉන්පසු ඒ රටේ සියල්ලෝම මහන කරමු.

    ReplyDelete
    Replies
    1. ඔයා කියන දෙයක් තමා‍‍‍...🙂

      Delete
  3. Hamuduruwane ashoka raju neda okata waradi karaya....minisunwa nirayuda kare eya neda

    ReplyDelete
  4. ඔබවහන්සේගේ බ්ලොගය අපගේ සින්ඩියේ දක්වා ඇත. අපගේ සිඩිය දැනට මෙරට පවතින වඩාතම විශාල බ්ලොග් සංඛ්‍යාවකට ගොඩවිය හැකි සින්ඩියයි. බ්ලොග් 1140 කට වැඩි සංක්‍යාවකට ඒ තුලින් පිවිසිය හැක! වරක් ගොඩවී බලන්න. අපගේ සින්ඩියට ඔබවහන්සේගේ බ්ලොගය තුලින් ප්‍රචාරනයක් ලබාදීමට කටයුතු කරණ්න!

    ReplyDelete
  5. පුණ්ණ හිමි සුනාපරන්තයට ගියේ දහම(සත්‍ය) එහි වාසීන්ට දේශනා කරන්න හා එත් සමග දියුණු වූ මනසකින්.. ඒ නිසයි උන්වහන්සේ එහි නිර්භයව වැඩියෙ. ඔවුන් වෙන ආගමක් පිටින් ආවොත් කුමනලෙස හැසිරෙයිද කියලයි බුදු හිමි උන්වහන්සේට මතක් කලේ. ඒ වගේම ඔවුන් බොහොම බුද්ධිමතුන්.. ගොඩක් අය ධර්මයට පැමිණිය. අපිට ඒ තරමින් මටසිලුටු වෙන්න දෙයක් නැහැ. මොකද අපි එකිනෙකා අන් ආගම් ගැන දන්නවා. හැමෝම එකිනෙකා ඇසුරක් කරනවා. අවශ්‍ය උඩින් ඉඳ අතහරින විස සමාජසංස්ථාව හොඳින් තේරුම් ගැනීම පමණයි

    ReplyDelete