Thursday, June 4, 2020

|ඉතින්! ඔබ යන්න


ජීවිතේ හරියට ගංගාවක් වගේ. ඒක ගලනවා ගලනවා ඉවරයක් නැතිව. වතුර අලුත් වෙනව. තිබුන වතුර ගහගෙන ඈතට ඈතට යනව. ඇති වීම නැති වීම හිමි වීම අහිමි වීම. මේ ගංගාවම තමයි ජීවිතේ. කෙළවරක් නෑ!
සදාකාලික බව, ස්ථිරත්වය, පැවැත්ම මේ හැමදෙයකම අවශ්‍යතාවක් තියෙන වෙලාවෙ අපිව යථාර්ථයට ඇඳල දාන එක දෙයක් ආදරය කියන්නෙ. මේ යථාර්ථය හොඳින්ම තේරුම් ගන්න පුළුවන් තැනක් ආදරය කියන දෙය. දේවල් වල පැවැත්ම ගැන රහටම දැනගන්න පුළුවන් විරහවෙන්. පුද්ගල ආසාවල් කියන්නෙ හරි සංකීර්ණ දෙයක්. ඒක ඇතුළෙ අපිට කිසිම වෙලාවක සැනසෙන්න බැහැ. ඒ නිසා දෙයක් විඳීමෙන් පස්සෙ සැනසීම වෙනුවට වැනසීමට පත්වෙනව.

සදාකාලික නොවූ ලෝකේ
සදාකාලික ප්‍රේමයක්
සොයා නෙක ගම් දනව් පීරා
ගෙවූ කාලය සිහිනයක්

කියල; ආනන්ද අමරසිරි ලියන්නෙ සදාතනිකම ඇත්තක් ගැන. මිනිස් ආසාවල් වල නානාවිධ බව නිතැතින්ම මුසු වීම නිසා එක් දෙයකින් සියලු ආසාවල් ලබාගන්න අපි උත්සාහ කළත් ඒ දෙය ලැබෙන්නෑ.

ඒ වගේ දෙයක් තමයි ආදරය. ආදරය ඇතුළෙත් අපි ඉල්ලන රැකවරණය, සෙනෙහස එකම වෙලාවක එකම විදියට හැමදාමත් ලැබෙන්නෑ. ඒ නිසා අපිට අපිම අපේ අතෘප්තිමත් බව පෙන්වාදෙන කැඩපතක් ආදරය කියන්නෙ. පීරලා පීරලා, ඇවිදලා ඇවිදලා අපි හොයාගන්න දෙය තුළින් තෘප්තිමත් බවට පත් වෙන්නෙ නැහැ. ඉතිං අපිට මේ ජීවිතේ සතුට, සැනසුම හොයල තව ඇවිදින්න වෙනව. ආදරය කළ අයගෙන් වෙන් වෙන්න සිද්ධ වෙනව, නැවත එකතු වෙන්න වෙනව. නිශ්චිතවම වෙන්වෙන්න වෙනව.

මේ ඇතුළෙ අවිනිශ්චිත අපි හරිම වෙහෙසට පත්වෙලා ඉන්නෙ. ආදරය ඇතුළෙ අනෙකාගේ නිශ්චිත වෙන්වීමේ පණිවිඩය දැනගන්න වුනාම අපි සංකේතීයවත් මානසිකවත් අබලන් වෙනව.

කන්නෑ,බොන්නෑ, හිනාවෙන්නෑ, සුපුරුදු ජීවන රටාවෙන් වියුක්තව ජීවත් වෙන්නෙ. මේක හරි අමාරුයි! තමන්ටම දරාගන්න අමාරුයි.
"නුඹ නිසා පැමිණි දුක් පැණි රසයි සිතෙනවා.
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා" ඒ වෙන්වීම තුළින් ලබන අතෘප්තිකර, කවමදාවත් නොකැමති දුක; අපි පැණි රහක් වගේ හිතනව. තව තවත් ප්‍රියයාවම ඉල්ලනව. කුණ්ඩලකේෂිය නම් "ඌම පතා බතුත් නොකා යහනෙම වැදහොත්තීය" කියල ධර්මසේන හාමුදුරුවෝ ලියනවනෙ.

ඉතින් මේ කාලෙ ඇතුළත හිතන මිනිහෙක්නම් එයාට තේරෙන්න ගන්නව වෙන්ව ගිය අයගේ අගේ. එයාලට අපි නිසි තැන දුන්නද? ඒ අය වෙනුවෙන් නිසි කැපවීමක් කරාද? කියන ප්‍රශ්නය තමන්ගෙන්ම අහනව. ඒක මට දැනෙන්නෙ මේ විදියට.

"ඔබේ වත නොව ඔබේ හදවත
පුරා සඳ සේ පෑදිලා"

"එදා ලඟ සිට දුටුව ඔබ නොව
මෙදා දුර සිට මා දකින්නේ"

මෙච්චර කල් ගැස්සුන ලැමට, නැටවුන පස්සට, සික්ස්පැක් ශරීර කූඩුවට ආස කරපු අය විරහවකින් පසුව ආදරයේ ඥානනයට ලක්වෙනව. වෙන්වුන කෙනාගෙ "වත වෙනුවට හද" පුරා සඳක් වගේ පේන්න පටන් ගන්නව. එදා ලග ඉදන් නොදැකපු ලස්සන දේවල් දැන් දුර ඉඳන් ඉද්දි මැවි මැවී පේනව. ලඟ ඉද්දිනුත් "පපුව හදාගන්න, හෙයාර්ස්ටයාල් එක චේන්ජ් කරගන්න, ෆිගර් එක හාදාගන්න" ම කිය කිය අඩුපාඩුම දැක්ක ආදර කතාවේ මිස් වෙච්ච සුළු අඩුපාඩු වල අවුලත් පේන්න ගන්නව. රූපයෙන් පවා එයා ලස්සනයි කියල තේරෙන්නෙ යන්න ගියාට පස්සෙ.

ඉතින් මේ කාලය හරි දුෂ්කරයි, අවුල් වුන කෙහෙරැල්, කෘශ වුන ශරීර,අවුල් වූ මනස මේ හැමදෙයක්ම ලෝකයාට කැපී පේන්න තරම් තත්වයකට පත්වෙනව. ඒක කොච්චරක්ද කියනවනම්;
"මගේ දුක දැක ඔබේ දෙනයන
උපන් කඳුලින් සේදිලා" කියනව වගේ වෙන්වුන ප්‍රියයාට පවා දැනෙන වේදනාවක් වෙලා. අපි විදින දුක දැකල; දාල ගියවුන්ටත් ඇඩෙනව.

ඒ කොහොම වුනත් සත්‍ය එකයි! ආදරයක් වුනත් සදාකාලික නැහැ. තාවකාලිකයි. සදාතනික ප්‍රේමයක් පතන්න අමාරුයි. ආදරේ වුනත් ජීවිතේ වුනත් එහෙමයි! අමාරුයි. මේ අමාරුව කියන්නෙ ජීවිතේට. නිවන කියන්නෙ; මේ කිසිම දෙයක් සදාතනික නොවන බව අවබෝධ කරගන්න එක.

සදාකාලික නොවූ ලෝකයෙ
සදා කෙලෙසද පෙම් බඳින්නේ

ජීවිතේ අතෘප්තිකරම පැත්ත වටහාගෙන ජීවත් වෙන එක සර්ව අසුබවාදය නෙමේ. සර්ව සුබ වාදය. හැම දෙයක්ම ලස්සනට පේන්න ගන්නෙ, ලස්සන වෙන්නෙ යාථාර්ථවාදයේ කැඩපත් ඉස්සරහට ගිහිං නිරුවත් වුනාම. දේවල් ලස්සනට බලන්නනම් "කටු කන්න, බූට් කන්න, විරහව විදින්න" මේ හැමදේකටම සූදානමක් තියෙන්න ඕන.



|ගුරුගොඩ සිරිවිමල



2 comments:

  1. ඇමරිකාවේ සන්නද්ධ අරලගයට ඔබවහන්සේ සහය දක්වනවාද?

    ReplyDelete