මේ යොවුන් විය- ගෙවන සොදුරුම කාලයයි
ජීවිතේ අතුපතර මදුමල්- සුවෙන් ඇහැරෙන යෝගයයි
සුවෙන් ඇහැරෙන යෝගයයි
නුඹ දසත පැතිරුණු -වනස්පති සෙනෙහස් රුවයි
නුඹ ඒ සිසිල යට- සුවෙන් සැතපෙන මිහිකතයි
මේ යොවුන් විය ගෙවන සොදුරුම කාලයයි
නුඹ ගිමන් කල - තුරුපත් හෙලා පියවිලි මවයි
නුඹ ඒ සිසිල ගෙන - ලොවම සනහන ජීවයයි
මේ යොවුන් විය- ගෙවන සොදුරුම කාලයයි
ජීවිතේ අතුපතර මදුමල් - සුවෙන් ඇහැරෙන යෝගයයි
සුවෙන් ඇහැරෙන යෝගයයි
පද මාලාව :මහාචාර්ය ඉරෝමි ආරියරත්න
සංගීතය හා තනුව :අනුරාධ අබයසිංහ
ගායනය :වෛද්‍ය ඊශ්මා සමරසිංහ සහ අනුරාධ අබයසිංහ
ගීතය යනු මනුස්ස සංතානයේ ප්‍රීතියයි.කලෙක සිට මිනිසා සතුටත් දුකත් විද ගැනීමෙහිලා ගීතය භාවිත කරන්නෙ එනිසා විය හැකියි. බුදුන්වහන්සේ ඉදිරිපිට පෙනී සිටින පඤ්චසික නම් දෙව්ලොව වීණා වාදකයා බුදුන්වහන්සේ ඉදිරියේ ගයමින් වයයි. එය අසා සිටින බුදුන්වහන්සේ පඤ්චසිකයාව වර්ණනා කරන්නේ
"පඤ්චසික, නුඹගේ හඩත් වැයුමත් එකිනෙක පරයා නොගියෝය...සංගීතයත් ස්වරයත් එකිනෙක මනාව ගැලැපී මියුරු රාවයෙන් සවන් සිත් පිනවූයේය... ආදී ලෙසිනි.
ඉරෝමි ආරියරත්නයන් විසින් පද ගලපන ඉහත ගීය සම්බන්ධව සමුච්චයක් ලෙස ගත් කල ද පොඩි සාදුට කියන්න ඇත්තේද ඒ වදන් ටිකමය. මනා වූ පද රචනයකට මනා තනුවත් මනා හඩත් එක හා සමව ගොස් මසිත කම්පනය කරලීමට මේ ගීය සමත් විය.
නිදහසේ අහස තුළ පියාසර කරන කුරුළු ජෝඩුවක් මසිත මැවේ. ඒ කුරුළු ජෝඩුව විවිධාකර අභිනයන් දක්වයි. සැහැල්ලුව සරළ බව සේම ආදරය විදගන්නා අයුරු චිත්ත රූප මැවෙයි. සමහර විට ඒ මුහුදු වෙරළකද විය හැකිය.
මෙහිලා විශේෂ වන්නේ මේ සියළු චිත්ත රූප මවන්නේ එක් පද රචනයකින් වීමයි. ප්‍රතිභා පූර්ණ රසිකත්වයත් රචකත්වයත් එය විදීමටත් ලිවීමටත් අවැසිය.
මම ගීයෙහි පදරුත් විමැසීම පැත්තක ලා කලක් සිට මේ ගීය නිදහසේ විදීමි. එකල මට මේ ගීය සම්බන්ධව ඇති වූ චිත්ත රූපය එබන්දකි. ආදරය පැත්තක තබා සත්වයාට ජීවත්විය නොහැකිය. ආදරය පසෙක ලූ කල ජීවිතයේ සියළු කඩා වැටීම් සිදු වේ යන්න මගේ අදහසයි.යොවුන් විය යනු එහි ඇරඹුමයි.
මේ යොවුන් විය - ගෙවන සොදුරුම කාලයයි
ජීවිතේ අතුපතර මදුමල් - සුවෙන් ඇහැරෙන යෝගයයි
සුවෙන් ඇහැරෙන යෝගයයි
ජීවිතයේ ලබන පීඩා සියල්ලක්ම සුනු විසුනු කරන්නට සිත් පෙළඹෙන්නේ යොවුන් වියේදීය.එය කව්රුන් විසින් කුමන ලෙස අරුත් ගැන්වීමට උත්සාහ කලද සත්‍යය එයමය.
රචිකාවිය "ජීවිතේ අතුපතර මදුමල් - සුවෙන් ඇහැරෙන යෝගයයි" කියා ලියන්නේ එබැවිනි.
මේ යෝගය ලැබූ නිදහස් කුරුළු ජෝඩුව පද අතරිනුත් හඬ තුලිනුත් මා දිටිමි. දුක දුකක් ලෙස නොදැක සතුට සොයා යෑමේ අභිලාෂය මුල් වරට සිතක පහළ වන්නේ ආදරයෙන් ප්‍රීතියට පත් වීමෙන්ය.
එවන් ආදරයක් ගෙවන කෙල්ලකගේ හා කොල්ලකුගේ උදාන වාක්‍යයන් රැසක් මේ ගේය තුල අන්තර්ගතය.
වරෙක තම පෙම්වතාට ඔහුගේ ගුණ කියන පෙම්වතිය ය' වරෙක තම පෙම්වතියට ඇයගේ ගුණ කියන පෙම්වතා ය.
"නුඹ දසත පැතිරුණු -වනස්පති සෙනෙහස් රුවයි"
"නුඹ ගිමන් කල - තුරුපත් හෙලා පියවිලි මවයි"
එකිනෙකාට කුලල් කා ගෙන ප්‍රේමය බලෙන් ලබා ගන්නා දුක්ඛිත ආදරයක් ඇති සමාජ පසුබිමක් තුල මෙවන් ගේයක් රචනා කිරීමට සිතිවිලි කොයින් එනවාද? එය පරිකල්පන ශක්තිය ලෙස මා දකිමි.
සමාජයට ආදරය ගැන යම් සංවාදයකට යා හැකිනම් මේ ගේය පදය උදාහරණයක් ලෙස ගැනීමට නිර්දේශ කල හැකිය. විලාප අදෝනා නැති නිදහස් පරිසරයක චිත්ත රූප නිමැවී සමාධි ගත සුවය විදීමට මේ ගේය අප හට ඇරයුම් කරයි. නිර්මණට දායක වූ සියල්ලන් වෙත තුති පුදමි.
|ගුරුගොඩ සිරිවිමල
No comments:
Post a Comment