Tuesday, July 29, 2025

දූවිල්ලේ රැඳුණ පියසටහන් | FootPrints in the Dust

පොතක්නම් එය කියවිය හැකි විය යුතුය, කියවීමෙන් ආනන්දයත්, ප්‍රඥාවත් ගෙන ආ යුතුය, පරිස්සම් කොට තබාගෙන විඩෙන් විඩ ද කියවන්නට සිත යා යුතුය. එවැනි පොතක් මා හට කියවන්නට ලැබුනේ මෑතක දී ය.

 

ඕස්ට්‍රේලියානු ජාතික ශ්‍රාවස්තියේ ධම්මික හිමියන් විසින් “FootPrints in the Dust: The life of the Buddha from the most ancient sources” නමින් රචනා කරන ලද ඉංග්‍රීසි කෘතියේ සිංහල පරිවර්තනය කුඩගම්මන සීලරතන (භන්තේ සීල) හිමියන් “දූවිල්ලේ රැඳුණ පියසටහන්: ඉපැරණි පාළි මූලාශ්‍රය ඇසුරින් බුදුන් වහන්සේගේ ජීවිත කථාව” නමින් මෑතකදි එළිදක්වන ලදි.

කියවන්නට රුචිය ඇති වන පරිද්දෙන්, පොත් ඉතා හොඳින් තෝරා බේරා ගනිමින් ද, අලංකාර භාෂාවකින් ද පරිවර්තන කාර්යයන් සිදු කරන සීල හිමියන්ගේ පරිවර්තන කෘතියක් මග හැර යාම රසවතුන්ට උචිත නොවේ. තවද, එය මොළයට පාඩුවකි. එබැවින්, බුද්ධාලම්භන ප්‍රීතියෙන්, බුද්ධි කලම්බන රුචියෙන් දෑතින් දෝතින් ගෙන මෙම කෘතිය කියවීමටත්, රසවින්දනයටත් පටන් ගතිමි.

 

කෘතියේ රචකයා වන එස්. ධම්මික හිමියන් යනු, කාලයක් පුරාවට බෞද්ධ පර්යේෂණ සිදු කරමින් බුදුදහම ගවේෂණය කරන, ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල විද්වතුන් ඇසුරු නිසුරු කරන විද්වතෙකි. භාවනාවට රුචි කරන භික්ෂුවකි. කෘති ගණනාවක් රචනා කරන ලද ගත් කතුවරයෙකි.

එස්. ධම්මික හිමියන්ගේ දූවිල්ලේ රැඳුණ පියසටහන් සඳහා පදනම් වන්නේ, ගෞතම බුදුන්වහන්සේගේ ජීවන තොරතුරුය. බුදුන් වහන්සේගේ ජීවන තොරතුරු ඇතුළත් කෘති බොහෝමයක් රචනා වී තිබුන ද, ශාස්ත්‍රීය වශයෙන් රචනා වූ කෘති අල්පය. බොහෝ කෘති උන්වහන්සේගේ ජීවන තොරතුරු, භාවාතිශය කතාන්දර මුල් කරගනිමින් ගොඩනගන ලද ඉන්ද්‍රජාලික ශාස්තෘවරයකු බවට අප ඉදිරියෙහි ඔසවා තබයි. නමුත්, මූල් කෘති පදනම් කරගනිමින් නව බුද්ධ චරිතයක් ගොඩනැංවීමට ශාස්ත්‍රීය වෙහෙසක නිරතවන එස්. ධම්මික හිමියන් තම පර්යේෂණයට පාදක කරගන්නා ප්‍රාථමික මූලාශ්‍රය වන්නේ, ථෙරවාද ත්‍රිපිටකයයි. උන්වහන්සේ ස්වකීය චින්තනය ද දායක කරගනියි. කතුවරයා කියන පරිද්දෙන්, මෙම කෘතිය 35 වසරක් පුරාවට දරන ලද වෙහෙසකි. බුදුදහමට සැබැවින්ම දුර වූ, බුද්ධ චරිතයෙහි ආලෝකයක් කුඩා කළ පටන් නොලැබූ රචකයෙක් වන උන් වහන්සේ බුද්ධ චරිතය දෙස දුර සිට බලන්නෙකු ලෙස මට සිතෙයි. පර්යේෂණ වස්තුව පර්යේෂකයාට පුද්ගලිකව සමීප වන තරමට පර්යේෂණ වස්තුව සමග බැඳීමක් හටගනියි. එය පර්යේෂණයේ උසස් ප්‍රතිඵල සඳහා බාධා සිදු කරයි. නමුත් පර්යේෂණ වස්තුව දුර වූ විට පර්යේෂකයාගේ ස්වාධීනත්වයට බාධා නො කරයි. ස්වකීය සොයාගැනීම් නො බියව ඉදිරිපත් කළ හැකි වන්නේ, එවිටයි. එස්. ධම්මික හිමියන්ගේ මෙම පර්යේෂණ කෘතියෙහි වැදගත්කම වන්නේ, බෞද්ධ ආභාසය උපතින් ම රැගෙන නො ඒමයි. එනිසාම බුද්ධ චරිතය යනු උන් වහන්සේට නැවුම් දෙයකි. මෙම පර්යේෂණ කෘතියේ අරමුණ වී ඇත්තේ, බුදුන් වහන්සේ යනු කවරෙකු ද? උන්වහන්සේ කෙබඳු අයෙකු වන්නට ඇද්ද? යන්න සෙවීමයි. පරිච්ඡේද දා හතරකින් (14) සමන්විත මෙම කෘතියෙහි පළමු පරිච්ඡේදයෙන් බුද්ධ චරිතය ලිවීම සඳහා අගනා ප්‍රවේශයක් ලබා ගනියි. මේ දක්වා ලියවී ඇති බුද්ධ චරිත කෘති තුළ ඇතුළත් කරුණු සමාලෝචනය කරන කතුවරයා, ලලිත විස්තරය, සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය, අශ්වඝෝෂයන්ගේ බුද්ධ චරිත මහා කාව්‍යය, හින්දු ආගමික ග්‍රන්ථයක් වන, මත්ස්‍ය පුරාණය වැනි ජනප්‍රිය කෘති තුළ බුද්ධ චරිතය ගොඩ නගා ඇති අයුරු මෙන් ම, ශාස්ත්‍රීය පර්යේෂණ නමින් රචනා වූ බුද්ධ චරිතය පිළිබඳ කෘති, ලේඛන වැනි බොහෝමයකගේ ඇතුළත් තොරතුරු තාර්කිකව විවේචනයට ලක් කරයි. පූර්ව පර්යේෂණ සමාලෝචනය තුළින් උන්වහන්සේ පෙන්වා දීමට යත්න දරන්නේ, එතෙක් රචනා වූ කෘති වල ඇතුළත් බොලඳ වූත් නිසරු වූ අර්ථ විරහිත පල් හෑලි පිළිබඳවය. එයින්, උන්වහන්සේ ස්වකීය පර්යේෂණ කෘතිය පදනම් වන්නේ, නිවැරදි වූත් තාර්කික මූලාශ්‍රය මත බව පෙන්වා දෙයි. බුදුන් වහන්සේ ජීවත්ව සිටි අවධිය, එම ප්‍රදේශයන් හි භූගෝලීය ලක්ෂණ, සමාජ සංවිධානය, සමාජ තත්වය වැනි කරුණු කෙරෙහි ද අවධානය ලබා දී ඇති අයුරු දක්නට ලැබේ. “… මධ්‍ය ප්‍රදේශයේ බොහෝ ජනාවාස කුඩා ඒවා වූ අතර, ගංගාවන් සමීපයේ ගොඩ නැගී තිබිණ. පසු ව, ඒවා ක්‍රමයෙන් විශාල වීමත්, ප්‍රදේශය අභ්‍යන්තරය දෙසට ව්‍යාප්ත වීමත් ඇරඹිණි. කලෙක දඩයක්කරුවන් සහ ගෝත්‍රිකයන් පමණක් කරක් ගැසූ පෙදෙසක, කෘෂිකාර්මිකයන් පදිංචිව කුඹුරු සකසන්නට විය.(02. පරි,38 පි.) “මූල ග්‍රන්ථයන්හි දැක්වෙන නගර වර්ණනයන්ට අනුව, අතරින් පතර ඉහළට නැගුණ කුළුණු සහ අවැසි තැන්වල ඉදි කළ ගේට්ටු සහිත ආරක්ෂක තාප්ප හෝ බිත්ති, ඒ වටා ඉදිවුණ දිය අගල් නගරවල තිබේ.‍”‍් 02. පරි, 39 පි.) මෙහි අන්තර්ගත කරුණු දෙස බලන විට, මෙවැනි පර්යේෂණයක් අයෙකුට උඩින් අත පත ගා කළ නොහැකි දෙයක් බව අනාවරණය වෙයි. සූත්‍ර පිටකයේ ඇතැම් තැන් සූක්ෂමව පිරික්සා, තාර්කික ඥානය ද, නිර්මාණශීලීත්වය ද කැටි කොට තිබිය යුතුය. බුදුන් වහන්සේ පිළිබඳව තොරතුරු දැක්වීමේ දී කෘතියේ බොහෝ තැන්වල කතුවරයා අලුත් අදහස් පෙන්වා දීමේදී අනුගමනය කරන ක්‍රමයක් වන්නේ, ඒ පිළිබඳව මීට පෙර ජනවහර තුළ හෝ කෘති තුළ දැක්වෙන කරුණු ගෙනහැර දක්වා එහි සත්‍යාසත්‍යය බව පෙන්වා දීමයි. ““බුදුන් වහන්සේ උපතින්ම හින්දු වරයෙකි, ජීවත් වූයේත්, පිරිනිවන් පෑවේත්, හින්දුවරයෙකු ලෙසිනි”” යයි කියමනක් තිබේ….” (03 පරි, 83 පි.) බුදුන් වහන්සේ ගේ මා පිය, ඥාති තොරතුරු පිළිබඳ අනර්ඝ තොරතුරු මෙම කෘතිය තුළ ඇතුළත් ව ඇත. මව පිළිබඳ අදහස් දැක්වීමේ දී මෙතෙක් අසා ඇති කරුණු වලට වඩා වෙනස් ශාස්ත්‍රීය අදහස් ඉදිරිපත් කිරීමට කතුවරයා දක්ෂව ඇත. එහිදී, මහාමායා සහ ප්‍රජාපතී ගෝතමිය සමාන බිරින්දෑවරුන් ද, නැතහොත් ගෝතමිය යනු මායාවගේ මරණයෙන් පසු විවාහය ද යන්න පිළිබඳවත්, මායා යන නමෙහි අර්ථය පිළිබඳවත් විවරණය කරන අතර, සුද්ධෝධන රජු පිළිබඳව ද අදහස් දක්වයි. නෑ සියන් පිළිබඳව අදහස් දැක්වීමේ දී, එකළ, සමාජ දේශපාලන විවරණ ද දක්වන්නට උත්සාහ කර තිබෙන්නා සේ ම, බුදුන් වහන්සේ තුළ ශාක්‍යයන් කෙරෙහි තුබූ ඇල්ම කෙතෙක්ද යන්න ද දක්වා තිබේ. සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය පිළිබඳව ගොඩනැගී ඇති නිර්මාණාත්මක කථාන්දර ප්‍රතික්ෂේප කරන උන්වහන්සේ, අච්ඡරියබ්බූත සූත්‍රය වැනි සූත්‍රයන්හි අන්තර්ගත කරුණු මුලුමනින්ම ප්‍රතික්ෂේප නොකරයි. එය ද පර්යේෂකයෙකු ලෙස උන්වහන්සේගේ මනා හික්මීමේ ගුණය පැහැදිල කරන අවස්ථාවකි. මායාවන් සිටගෙන සිටමින් ම කුමරා බිහිකළ අයුරු පිළිබඳව කරුණු දක්වමින් උන්වහන්සේ පෙන්වා දෙන්නේ, “…පවුල් සෞඛ්‍ය සේවිකාවන් සඳහා වූ රාජකීය විද්‍යාලය පවසන පරිදි, පවුල් සෞඛ්‍ය සේවිකාවන් සහ අනෙකුත් සහායක පිරිස් නිසි පරිදි පුහුණු කර ඇත්නම්, සිටගෙන සිටියදී ම දරු ප්‍රසූතියක් සිදු කිරීම සුරක්ෂිත බව…”(03, පරි, 89 පි.) යනුවෙනි. තවද, සිදුහත් කුමාරෝත්පත්ති කතාවෙහි හා කිතුණු උත්පත්තියෙ හි ඇති සමානතාවන් ද පෙන්වාදීමට උත්සාහ කර තිබේ. අප කලක් සිට අසා හෝ කියවා ඇති බුද්ධ චරිතයට හාත්පසින් ම වෙනස් වූ මෙම බුද්ධ චරිතය අතිමානුෂීය කරණයට ලක් වූ බුදුන් වහන්සේගේ චරිතය නැවත මහ පොලොවට කැඳවාගෙන ඒමක් යැයි සිතිය හැකි කරුණු රැසක් ඇතුළත්ව තිබේ. මෙලෙස ඇතුළත් කර ඇති සියලු කරුණු සූත්‍ර පිටකය ඇසුරින්ම මූලාශ්‍රය දක්වා තිබීමෙන් එහි ශාස්ත්‍රීයත්වය හා නිවැරදි බව තහවුරු වෙයි. අප හඳුනාගන්නා පරිදි, බුද්ධ චරිතය ඇසුරින් ගොඩ නැගී ඇති නූතන ගැටලු දෙකකි. එකක්, බුදුන් වහන්සේ සත්‍යයවශයෙන්ම කෙබඳු අයෙක්ද යන්න හඳුනාගැනීමට නොහැකි වීමයි. අනෙක, බුදුන්වහන්සේ ලක්දිව හෝ වෙනත් රටවල උපත ලැබී යැයි ගොඩ නගන අදහසයි. මෙම නූතන ගැටලු දෙක සඳහාම දූවිල්ලේ රැදුණ පියසටහන් තුළින් පිළිතුරු ලැබේ යැයි සිතිය හැකිය. අතිමානුශීයකරනය වූ ඉන්ද්‍රජාලීකයෙකු වෙනුවට සැබැවින් බුද්ධ චරිතය කෙබදු ද යන්න මෙයින් තහවුරු කෙරෙයි. බුදුන් වහන්සේ යනු සැබැවින්ම මානුෂීය ගුණයන් පිරී ගිය පුද්ගලයෙකි. උන්වහන්සේගේ මෙහෙවර කුමක්ද? නායකයෙකු ලෙස ගැටලු විසඳන ලද්දේ කෙසේද? උන්වහන්සේගේ ශාසනික අර්බුද හමුවෙහි, රජසිටුවරු හමුවෙහි ක්‍රියා කලේ කෙසේද? යනාදිය තේරුම් ගැනීමට මෙම කෘතිය වැදගත් වනු ඇත. -ගුරුගොඩ සිරිවිමල-



 

Sunday, September 1, 2024

සපත්නීරෝෂයක්

මේ දිනවල ITN එකේ ටෙලිකාස්ට් වෙන ටේක් කෙයාර් ටෙලි නාට්‍යයේ අලුත් තේමා ගීතයක් රිලීස් වෙලා තිබුන. ටේක් කෙයා නාට්‍යයේ තියෙන වෙනස් බව නිසා සහ ටෙලි නාට්‍යමය ගුණය නිසා මම ඒක නොවරදවාම බලනව. ටෙලි නාට්‍යයට ගැලපෙන ලස්සන තේමා ගීතයක් නිසා ඒ ගැන ලියන්න හිතුන.

“සපත්නීරෝෂයක්” මේ ගීතය ලියල තියෙන්නෙ අභිෂේකා විමලවීර. ගායනය ඇය සහ නන්දා මාලනිය. ඇත්තටම මොකද්ද මේ සපත්නීරෝෂය? සපත්නීරෝෂය කියන්නෙ බෞද්ධ සාහිත්‍යය තුළ කීප තැනකම අහන්න ලැබෙන වචනයක්. ඒ වගේම මනෝවිද්‍යාව තුළත් මේ වචනයට ලොකු තැනක් ලැබෙනව.

සපත්නීරෝෂය කියන වච්‍යාර්ථය ගැන කතා කරද්දි පාලියෙහි එන “සපත්නී” කියන වචනය කතා නොකරම බැහැ. “සපත්නී” යන්නෙන් අර්ථවත් වෙන්නෙ “සැමියාගේ අනිත් බිරිඳ” ඒ වගේම සපත්නී රෝෂය කියන්නේ  “සැමියාගේ අනික් බිරිඳ පිළිබඳව පළමු හෝ අනෙක් බිරිඳට ඇතිවන ඊර්ෂ්‍යාව/ ක්‍රෝධය/ වෛරය” මේ ගැන අපේ හිතවත් විද්වතෙකු සමඟ කතා කරපු වෙලේ මේකට ඉංග්‍රීසි භාෂාවේ “Sexual jealousy - ලිංගික ඊර්ෂ්‍යාව” යන පදය ගැලපෙන බව. සපත්නීරෝෂය යන්නට ලිංගික ඊර්ෂ්‍යාව යන්න ඉතා සමීප වෙන බව හිතන්න පුලුවන්. නමුත් ලිංගික ඊර්ෂ්‍යාව පුරුෂයන් හා සමලිංගික පිරිමි, ගැහැණු තුළ පවා තිබෙන දෙයක්. ඒ වගේම සාමාන්‍යය ගැහැණු පිරිමින් තුළ නිරතුරුවම දකින්න ලැබෙන දෙයක්.

පතිනිය කියන සංකල්පය ආගමික හා සමාජීය අර්ථයෙන් ලිංගික ඉතිහාසය පුරාම භාවිත වෙලා තියෙන්නෙ පිරිසිදු වූත් පවිත්‍ර වූත් සංකල්පයක් විදියට. විවාහය හෝ ප්‍රේමය තුළ එය දෙදෙනෙකු අතර පමණක් පවත්වාගෙන යා යුතුයි. නමුත් ඉතිහාසය සිට අද දක්වා රජවරු, සිටුවරු, සාමාන්‍ය මිනිසුන් පවා මෙම සංකල්පය බිඳ දානව. සමාන පතිනියන් සමඟ බැඳුණු ආදර කතා, ශෝක කතා, උපමා කතා, උපදේශ කතා හැම සාහිත්‍යයකම ප්‍රබන්ධමය වශයෙන් ගොඩනැගිල තිබෙන්නෙ ඒ නිසයි. කෙසේවෙතත්, මේ සපත්නීරෝෂය කියන්නෙ සෙක්ෂුඅල් ජෙලසි එකකට වඩා තරමක් භයානක, සංසාරෙ පුරාම අරගෙන යන්න පුලුවන් තරමෙ වෛරයක්.

බෞද්ධ සාහිත්‍යයේ සිංහල ජාතක කතා තුළ මෙම සපත්නීරෝෂය පිළිබඳව කියවෙන ප්‍රසිද්ධ කතාවක් තමයි ඡද්දන්ත ජාතකය. ඡද්දන්ත ජාතකයෙදි  චූල සුභද්‍රා සහ මහා සුභද්‍රා කියන ඡද්දන්ත ඇතාගේ බිරින්දෑවරු අතර චූල සුභද්‍රාට හට ගන්න තරහව සහ ඊර්ෂ්‍යාව සපත්නී රෝෂයට හොඳ උදාහරණයක්. 

ඡද්දන්ත ඇතා කියන්නෙ ඇතුන් අටදහසක් පමණ කණ්ඩායමක නායකයෙක්. මේ ඇතාට බිරින්දෑවරු දෙදෙනෙක් ඉන්නව. මහා සුභද්‍රා සහ මහා සුභද්‍රා තමයි මේ බිරින්දෑවරු දෙදෙනා. මේ තිදෙනාම හොඳින්, ආදරයෙන් ජීවත් වෙනව. එක දවසක ඡද්දන්ත ඇතා මේ බිරින්දෑවරු දෙදෙනාම එක්ක ස්නානය සඳහා විලකට යනව. ඒ විල ලග විශාල සල් ගහක් තිබුන. ඡද්දන්ත ඇතාට හිතුන සෞන්දර්යාත්මක විදියට තමන්ගෙ හිතේ මේ ඇතින්නියන් දෙදෙනාට තියෙන ආදරය පෙන්වන්න. එහෙම හිතාගෙන සල්ගහේ මල් බරවෙලා තිබුන අත්තක් තමන්ගෙ හොඬ වැලෙන් තල්ලු කරල මේ දෙන්නගෙ ඇගට වැටෙන්න සලස්වනව. හැබැයි මේ වෙලාවෙදි තමන්ගෙ ලග හිටිය චූල සුභද්‍රාගේ ඇගට වැටෙන්නෙ සල් ගහේ වේලිලා තිබුන කොළ දඬු දිමි ගොටු ආදිය.

මේ සිදුවීම ගැන සිහියෙන් ඉන්න චූල සුභද්‍රාට හිතෙනව ඡද්දන්ත ඇතා වැඩියෙන්ම ආදරය කරන්නෙ මහෙ සුභද්‍රාට කියල. එතනින් හටගන්න ඊර්ෂ්‍යාවෙන් සෑම දිනකම සිද්ධ වෙන ඇතාගෙ ආදර සංග්‍රහ හැමදෙයක් තුළම චූල සුභද්‍රාට අඩුපාඩුවක් පේන්න ගන්නව. මේ නිසා දිනෙන් දින වැඩිවෙන චූල සුභද්‍රාගෙ ඊර්ෂ්‍යාව වෛරයක් බවට පෙරලෙනව. සුභද්‍රාගේ මේ වෛරයේ තරම කොච්චරද කියනවනම් ඇය මැරණය ප්‍රාර්ථනා කරේම මරණින් මතුව මිනිස් භවයක ඉපදිලා මේ ඇතාගෙන් පලිගන්න හිතාගෙන. ඒ ප්‍රාර්ථනාව තමයි යම් දවසක මිනිස් භවයක් ලබල, ඒ භවයෙදිම බරණැස් රජතුමාගේ බිරිඳ වෙලා දොළදුකක් ඇතිවෙලා ඒ දොළදුක තුළින් ඇයගේ වෛරය සංසිදුවා ගැනීම. ඇය ඒ පැතුම ඒ ලෙසින්ම ඉශ්ඨ කරගන්න සමත් වුනා.

මේ කතාවෙදි සපත්නීරෝෂයෙන් යුතු ස්ත්‍රියක් ක්‍රියා කරන්නෙ කොහොමද කියන කාරණය ජාතක කතාකරුවා පැහැදිලිව කියා දෙනව. සපත්නී රෝෂයක් හිතේ හටගත්තම ඒ ස්ත්‍රියට තමන්ගේ ස්වාමියා කරන යහපත් දෙය පවා වැරැද්දක් විදියට දකිනවා. ඇය ඇයට තියෙන ආර්ථික මට්ටම, සමාජ බලය අනුව ඒ හැමදේම පාවිච්චි කරන්නෙ ස්වාමියා නසන්න.

ඒ වගේම සපත්නීරෝෂය ගැන කතා පුවත් සූත්‍ර පිටකයේ පේතවත්ථුවේ පඤ්චපුත්‍රඛාදක, සත්තපුත්‍රඛාදක වත්ථුවලත් සඳහන් වෙනව. 

මේ ගීතය තේමා ගීතය බවට පත්වෙන්නෙ ටේක් කෙයාර් කියන ටෙලි නාට්‍යයෙ. ඒ නාට්‍යයේ කතාවට අනුව සැමියාට නිත්‍යානුකූල බිරිඳක් සහ අමතරව රැකියා ස්ථානයේ පහළ සේවිකාවක් සමඟත් ඇසුරක් පවතිනව. මේ සැමියා සහ නිත්‍යානුකූල බිරිඳ අතර දැඩි ආදරයක් තිබුනත් දෙදෙනාම දරුවන් නොමැතිකම නිසා හිත්තැවුලෙන් පසුවෙන දෙදෙනෙක්. දරුඵල ලබන්න විවිධ උපක්‍රම භාවිත කරන දෙදෙනෙක්. මල් පහන් පූජා කරල, දෙවියන්ට කියල, දෙවියන්ගෙන් ඉල්ලල ලිංගිකව එක්වන දෙදෙනෙක්. ඒකාකාරී ලිංගික ජීවිතයක් ගත කරන දෙදෙනෙක්. නමුත් සැමියා සියල්ලටම අමතරව රැකියා ස්ථානයේ තමන්ගෙ පෙම්වතිය එක්ක ආදරය විදිනව. විශේෂයෙන්ම ලිංගික තෘප්තියක් ලබනව. මේ හේතුවෙන් පෙම්වතියට දරුවෙක් ලැබෙන්න යනව. මේ සියල්ලම අතර මැද මේ සම්බන්ධය නිත්‍යානුකූල බිරිඳට දැනගන්න ලැබෙනව.

බිරිඳගේ හිත පෑරෙනව. රිදෙන්න ගන්නව. නමුත් ඇය එය දරාගන්නව. දරාගෙන ඉදිරි ප්‍රශ්නවලට මුහුණ දෙන්න තීරණය කරනව. සැමියාගේ ගැබ්බර පෙම්වතිය ආදරෙන් රැකබලාගෙන ඒ ලැබෙන දරුවව තමන් වෙතට ගන්න උත්සාහ කරනව. මේ සිදුවීම සාමාන්‍ය නොවන කතාවක්. සාමාන්‍යයෙන් ගැහැණියකට මේ වැනි දෙයක් සිදු වූ විට හැසිරෙන විදියට හාත්පසින්ම වෙනස් විදියකට තමයි මේ කතාවේ බිරිඳ හැසිරෙන්නෙ.
මේ කතාවට තේමා ගීතයක් විදියට ලියවෙන “සපත්නීරෝෂයක්” ගීතයෙහි පද වැලේ පළමු පද පේළියෙදිම අභිෂේකා ලියන්නෙ; “සපත්නීරෝෂයක් නෑ මගෙ ලොවේ” කියල. ඒ ලස්සන පද පෙළ ඇතුළෙ ගැඹුරක් ගැබ් වෙලා තියෙනව. ඇය මේ සමස්ත සිදුවීමටම පළමු පද පේළියෙන්ම ගන්න ආරම්භය මට හිතෙන්නෙ සමස්ත කතාවටම ආරම්භයක් කියල.
 
-ගුරුගොඩ සිරිවිමල-


Monday, February 20, 2023

තෝසයකින් වඩයකින් කෙළවර වෙන අපේ සංහිදියාව

මේ අද අපේ හිතවත් “ඉබ්නු අසුමත්” කවියා විසින් සිංහල කවි දමිළ බසට පරිවර්තනය කරපු දෙමළ කවි පොත. මට මේ පොතේ නමවත් කියවගන්න බැරි තරමටම දමිළ බස නුහුරු වුන පසුබිමක පොතේ එළි දැක්වීම වෙනුවෙන් දේශණයක් කරන්න අවස්ථාවක් ලැබුන අසීමාන්තික අමාරු මොහොතක්. ඒක සරළ මොහොතක් කියල සාමාන්‍යය පාඨකයෙකුට හෝ මනුෂ්‍යයෙකුට හිතන්න පුලුවන්. නමුත් ඒක මාව රත් කරපු මොහොතක්. නමුත් ඒ බසෙහි අභියෝගය තියෙද්දිම මම මගේ අදහස් මාව අහගෙන හිටපු 40-50 ට නොඅඩු දමිළ පාඨකයන් අතර තිබ්බ. (මා විසින් සිදුකළ කෙටි දෙසුම සවන් දෙන්න මෙතනින්)

සිංහලෙන් දමිළ බසට පරිවර්තනය වුන කවි 42 පමණ මේ පොතේ අන්තර්ගතයි. ඒ අතර මගේ කවියකුත් ඉබ්නූ අසුමත් කවියා මේ කෘතිය සඳහා ම විශේෂයෙන් පරිවර්තනය කරල තිබුන. ඒ වගේම කපිල එම් ගමගේ ප්‍රවීණ කවියාගේත් තවත් නූතනයේ අපට හමුවන කවි කිවිඳියන්ගේ කවි කිහිපයක්ම මෙහි අන්තර්ගතයි. මට දමිළ ජනයා සමීප වෙන්නෙ මහාචාර්ය, සුනිල් ආරියරත්න ගේ “දෙමළ බෞද්ධයා” කියන ශාස්ත්‍රීය කෘතියත් සමඟ. ඒ ශාස්ත්‍රීයව හිසේ පැලවුන අදහස් එක්ක මට නැවත කියවන්න ලැබෙන්නෙ එකම එක කවියක්. ඒ, එම්. ඒ නූමාන් කවියා විසින් යාපනය පුස්තකාලය ගිනිබත් කරපු වෙළාවක ලිව්ව කවියක සිංහල පරිවර්තනය එක්ක. ඒ වගේ කවියක් සිංහල මහා සමාජය තුළ සමාජගත කරන්න මැදිහත් වෙන්නෙ හිතවත්, නිලාර් එන් කාසිම් කවියා. ඒ කවිය මේකයි.

බුදුන් ඝාතනය කිරීම' 

"පෙර දින මගෙ සිහිනයක

බුදුහු වෙඩි වැදී මළහ

සිවිල් ඇදුමෙන් සැදුණු බළ සෙනග

උන්වහන්සේ ඝාතනය කළහ

තිබිණ බිම ඔත් ලේ විලක් මත

ශ්‍රී දේහය

යාපනය පොත් ගුළට ඇතුළු වන

පඩිපෙළ ළග ම"

- ඒම්.ඒ. නූමාන් -

- පරිවර්තනය - නිලාර් එන් කාසිම් -

දෙමළ කවිය තුළ ජනප්‍රියතම ලකුණ මේ කවිය. අපිට කිසි ලෙසකින්වත් අමතක කළ නොහැකි කවිය. අපට මේ වගේ කවියක් කිසි ලෙසකින්වත් දරා ගන්න බැහැ. මේ සිදුවීම ජෙයපාලන් කියන මහා දමිළ කවි සලකුණ දකින්නෙ මේ විදියට; "රෑ පුස්තකාලයට ගිනි තැබූ පුවත බලන්න ගිය අපි හැඩූ කදුළින් ඉද්දී ඊට මීටර් සීයක් තරම් ඈතින් සිටි හමුදාව අත්පුඩි තලමින් බයිලා කියමින් හූ කියමින් හිනාවුණා. අපි වුණත් ආයුධ ගැන විශ්වාසයක් තිබ්බෙ ඒ වෙලාවෙ. ජනතාව එතන ඉකිබිදිමින් විලාප දුන් හඩ තාමත් නින්නාද වෙනවා..." 

ඒ අද්දැකීම මනුෂ්‍යත්වය ගැන අපට තියෙන අවසානම බලාපොරොත්තුවත් සුන් වෙන මොහොතක්. මම හිතන්නෙ දමිළ ජනතාව වෙත සමීප වෙන්න මීට වඩා හේතු අවශ්‍යය නැහැ. ඒ අතර තුර තමයි මට “මාතෘකාවක් නැති මාතෘභූමිය හෙවත් දෙමළ කවි” කියන මංජුල වෙඩිවර්ධනගෙ පොත කියවන්න ලැබෙන්නෙ. එතනින් මාව අසීමාන්තික විදියට දමිළ සමාජය වෙත සමීප කෙරුව. ඔහු ලියනව. මේ විදියට.

අතින් පයින් දෙමළුන් පපු කැවුතු ඇද

හිතින් රස විඳින නිවටුන් අතර මැද

බුදුන් වැඩිය බිම හිඳ කවි ලියන මට

රජුන් අණින් නිර්වාණය ලැබේවිද?  - “නිර්වාණයට පෙර”-

මේ වගේ ප්‍රාග් යුධ සමය, යුධ සමය සහ පශ්චාත් යුධ සමය තුළ දමිළ සමාජය සහ දමිළ සමාජයෙන් පිටත කවි සමාජය දේවල් දැක්කත් ඒව කිසිම විදියකින් සමාජයක් විදියකට අපි කිසි කෙනෙකුට සන්නිවේදනය කරගන්න අපහසු වුනා. ඒකෙ ප්‍රතිඵලය තමයි අපි අදටත් සමාජ දෙකක් විදියට බෙදිල කතා කරන්නෙ. කවි සමාජය තුළ පවා දමිළ කවි, සිංහල කවි කියල බෙදීමක් නිර්මාණය වෙන්නෙ. දමිළ සහ සිංහල කියන සමස්ත ජනප්‍රජාව තුළ සාමයේ පිරිසිදු දෑත් දිගු නොවන තත්වයක් අද අපේ සමාජය තුළ තියෙන්නෙ. මේ බෙදීම රටකට දිගු දුරක් යා නොහැකි තරමේ විශාල සමාජ ගැටළුවක්. ඒක අපි තේරුම් ගන්නෙ නැහැ. 

දමිළ කවිය සාංදෘශ්ටික චින්තාවක් හොයාගෙන යන සමයක දි අපි රෝමාන්තිකම කවි ලියනව. කෝපි කවි, සීතල එයාර් කන්ඩිෂන් කවි, වගේ සෞන්දර්යවාදයට ශාතිශය නැඹුරු වුන සිංහල නූතනම සමාජ මාධ්‍ය කවි ලියද්දිත් දමිළ කවියා වෙනත් සමාජ දේශපාලන කතිකාවක් ඇතුළෙ වැඩ කරමින් සමස්ත කවියේ හැඬයට විවිධතාවක් එකතු කරනව. ඒක මොනතරම් ගැඹුරු ද කියනවනම් සිංහල තරුණ කවියා පෙම් කවි ලිවීම නිසා පාසලෙන් අස් කරන මොහොතක දමිළ කවියන්ව සමාජීය වශයෙන් හා මානසික අතින් දුබල කිරීමට මජරම නීති තුළින්  “අහ්නෆ්  ජසීම්” වගේ කවියන්ව හිර කරල තියනව. ඇත්තෙන්ම මේ ලියනව කියන වැඩේ වෙඩිවර්ධන කියනව වගේ , රජුන් අණින් නිවන් දකින්න සිද්ධ වෙන අද්දකීමක්.  මේ තත්වය දේශපාලනික වශයෙන් සිංහල දෙමළ බේදයක් නැතිව සමාජයක් විදියට අපව මේ තරම් අනීතික තත්වයකට රට ඇඳල දාල තියෙද්දි තමයි ඉබ්නු අසුමත් වගේ ලේඛකයෙක් ඇවිල්ල අපේ සිංහල සමාජයේ කවි ටිකක් දමිළ භාෂාවට පරිවර්තනය කරල දමිළ සමාජය වෙත පිරිනමන්නෙ. සංස්කෘතික අමාත්‍යාංශයක් මැදිහත් වෙලා කළ යුතු බරසාර වැඩක් ඉබ්නූ අසුමත් විසින් තනිවම කරල තියෙනව. අප එය ඇගයිය යුතුමයි. 

දමිළ සිංහල සමස්ත ප්‍රජාව එකිනෙකා තුළ සන්නිවේදන බැරියර් නිසා දෙකඩ වෙලා තියෙනව. අපි එකිනෙකා දේවල් ගැන කොහොමද හිතන්නෙ කියල අපට අදහසක් නෑ. ඒ නිසා අපි හැමදාම විරසකයෙන්. කපිල එම් ගමගේ එක්ක මම යෙදුන මොහොතක සංවාදයෙදි කියවුනේ එතුමගෙ පරම්පරාවත් මගේ පරම්පරාවත් දෙකම අවසන් වෙද්දිත්, අපේ මේ සන්නිවේදන දුබලතාවන් නිසා හිතන විධි වල ට ඈදුන මජර දේශපාලන අදහස් නිසා මේ තත්වය කිසිදු අයුරකින් සමනය වී නොතිබේවි. මගෙන් පසු පරම්පරාව පවා දැන් ඉරටු බවට පත්ව අවසන්. ඔවුන් පවා ජාතිවාදී, ආගම්වාදී චින්තනය තුළ තමන්ගෙ දෘශ්ටිවාද අඩුවැඩියෙන් හදාගෙන අවසන්. සාමිනාදන් විමල් වගේ කෙනෙක් කරන බරපතල මැදිහත් වීම් තුළ පවා අපේ බුද්ධිමය වූ ශාස්ත්‍රීය  කතිකාවන් දිගුදුර අරන් යන්න  බැරි තරම් අපි දුර්වලයි. කෙසේ වෙතත් මේ පොත හෙට පිපෙන මලකට නැවුම් වැස්සක් කියන ප්‍රාර්ථනාව අපි තුළ තියෙනව. තෝසයකින් වඩයකින් කෙළවර වෙන අපේ සංහිදියාව පොත පතක් දක්වා දුරදිග යන්නම ඕන. එහෙම නොවුනොත් හෙටත් මේ දේශපාකයන්ගෙ වේදිකාවල ප්‍රධානතම මාතෘකාව 13 දෙනවද නැද්ද කියන එක.

අඩු තරමේ අපි දැන්වත් “ජයං වේරං පසවති” වගේ බුද්ධ දේශනාවක්වත් දේශපාලනිකව කියවාගත යුතු මොහොතක් දක්වා තල්ලු වෙලයි තියෙන්නෙ. මේ බිඳුණ සමාජය හරිම කර්කෂයි. හරියට උතුරෙ තද රස්සනය වගේ.

ජයං වේරං පසවති

දුක්ඛං සේති පරාජිතෝ

උපසන්තෝ සුඛං සේති 

හිත්වා ජයපරාජයං

දිනාගත් කෙනා ගැන – වෛරයයි හටගන්නේ

පරාජය ලැබූ අය – දුක සේ ය සැතැපෙන්නේ

අත්හැර ජය පරාජය – වසති රහතුන් ලොවෙහි සුවසේ

 

-ගුරුගොඩ සිරිවිමල-