Thursday, May 7, 2020

මට වෙසක් කියන්නෙ ඔබේ පරිනිර්වාණය


මට තේරෙන්නෑ මේ හැඟීම කොහොම ලියන්නද කියල.

ඔබවහන්සේගේ උත්පත්තිය ගැන මම විවිධ කතාන්දර අසමින් මේ වෙලාවෙත්. මම ඔබවහන්සේගේ උත්පත්තිය විශ්වාස කරන කෙනෙක්. නමුත් මට ඒ උත්පත්තියට වඩා දෙයක් විශ්වාස කරන්න හිතෙන්නෑ. මම ඔබ වහන්සේට ආදරය කරන කෙනෙක්. නමුත් මට ඔබවහන්සේට අගෞරවයක් වන යම් දෙයක් සිද්ධ කරල ඔබවහන්සේව සමරන්න හිත දෙන්නෙ නැහැ.
ඔබවහන්සේගේ බුද්ධත්වය ගැන මම විවිධ කතාන්දර අසමින් මේ වෙලාවෙත්. මම ඔබවහන්සේගේ බුද්ධත්වය විශ්වාස කරන කෙනෙක්. හැබැයි මට ඔබ වහන්සේ මායාකාරයෙක් බවට පත්කරන්න මට හිත දෙන්නෑ. මට ඒ හැගීම දරා ගන්න බැරි එකක්. මම ඔබවහන්සේට ආදරෙයි. මම ඔබවහන්සේට ආදරය කරන්නෙ ඇයි? මට සිහි වෙනව ඔබවහන්සේගේ පරිනිර්වාණ අවස්ථාව ගැන. ඒ අවස්ථාව ගැන එක වෙලාවකදි අලවතුරේ විජිතවංස කවියා මෙහෙම ලියනව. මේ ඔබවහන්සේගේ ආවතේවකරුවා! ආනන්ද හාමුදුරුවෝ අවසාන මොහොතේ ඔබවහන්සේ ගැන හැඬූ කඳුළින් තියපු විලාප වෙන්න ඇති කියල මම විශ්වාස කරනව.

මේ අවවාද දී හඩකින් කුරවීක
අපමණ සතුන් ගොඩගත් සිටි ගිනි ගේක
මුළු මිහිතලයටම ගෙන දී දුක සෝක
සම්බුදු පියා පිරිනිවනට වැඩි සේක

මාවත කියාදුන් ලෝකයකට අන්ධ
මැලවෙයි හිමි නැතිව මහනෙල් අරවින්ද
මේ දුක දරා වෑවෙන්නට පුළුවන්ද
ඇයි සැතපුණේ හිමියනි අවසන් නින්ද

විසි වසරක්ම සමිදුගෙ පා සිවුරු දරා
හෙවනැල්ලක් වගේ සිටියෙමි දවස පුරා
මේ දුක සිතට බැරි හින්දා ගන්න දරා
වැළපෙමි හඩමි නෙත කදුලැලි තියෙන තුරා

ඔබවහන්සේගේ ඉතිහාසය පිළිබඳව මට හැදෑරීමක් තිබෙනවා. ඒ හැදෑරීම් සියල්ලක්ම මුසු කරගත් පරිකල්පනයක්, සහ බුද්ධිය වෙනුවට හදවත ද මුසු කරගත් කියැවීමක් මට ඒ ගැන තියෙනව. ඔබවහන්සේ මගේ ජීවිතේ වීරයෙක් වන්නේ ඒ නිසා, ඔබවහන්සේව අනුගමනය කරන්න මම කැමති වෙන්නෙ ඒ නිසා. ඒ හැඟීම මට ලියන්න තේරෙන්නෑ.
ඔබවහන්සේ අවසානයේ පිරිනිවන් පාන්න වඩින්නෙ සල්ගස් දෙකක් අතරට ඒ සල් ගස් දෙක අතරෙ ඔබවහන්සේ වැඩ ඉන්නෙ සැබැවින්ම කායික විඩාවකින්. "ලෝහිත පක්ඛන්දිකා" කියන කායික රෝගය නිසා ඔබවහන්සේ අසරණ වෙලා. මට මතක් වෙන්නෙ වයස අවුරුදු අසූවක වයසක් දරණ ඒ මහළු පුරුෂයාගේ ස්වරූපය. මට ඒක දරාගන්න පුළුවන්.
ඔබවහන්සේ ආනන්ද හාමුදුරුවන්ට මෙහෙම කියනව! "ආනන්ද මට තිබහයි; පැන් ටිකක් දෙන්න" ඔබවහන්සේ තරමටම මහළු වෙච්ච, ඒ අවුරුදු 80ක  පුරුෂයා පැන් හොයාගෙන යන අවස්ථාව මට සිහියට නැගෙනව. ඔබවහන්සේට මඩකඩිත්තකින් පැන් ටිකක් බොන්න සිද්ධ වෙන අවස්ථාව මම දරාගන්නම්. ඒක පොඩි දෙයක්නෙ කියල මම හිතහදාගන්නම්.
ඔබවහන්සේට වෙහෙසයි! අවුරුදු ගණනාවක් දඹදිව සැරිසරමින්, හිටිය ඔබවහන්සේට තිබුනෙ අධ්‍යාත්මික ශක්තියක් පමණයි! දෙතිස් මහාපුරුෂ ලක්ෂණ වල කියැවෙන සුපතිට්ඨිත පාද ගැන කියල මම ඔබවහන්සේට අපහාස කරන්න කැමති නෑ. ඒ වෙහෙස මට දැනෙනව. දූවිලි පිරුණ පාද සමහර විට ඔබවහන්සේ දරාගෙන පැය ගණන් මිනිස්සුන්ට බණ කිව්ව. අවසානෙ ලෙඩකින් පෑරිලා හිටිය වෙලාවෙ ඔබවහන්සේට අවසන් ගෞරවය දක්වන්න භික්ෂූන් වැඩම කරල. ආනන්ද හාමුදුරුවෝ මේ හැමෝවම වලක්වනව. බුදුන්වහන්සේට අපහසුවක් ඇතිවෙයි කියන ආදරයෙන්.
හැබැයි ඔබවහන්සේ ඒ දෙයට ඉඩ දෙන්නෑ. "ආනන්ද! ධර්මය පිළිබඳව ගැටළු තැන් තිබේනම් විමසන්න ඒ අයට ඉඩ දෙන්න" කියන සඳහන ඔබවහන්සේ කරනව. මට ඒක හිතාගන්නත් බැහැ. මෙච්චර අමාරුවෙලා ඉන්න,පිපාසාවෙන් පෙළෙන මනුෂ්‍යයෙක් ගේ ඒ මහා කරුණාව ගැන මම මෙතන ලියන්න වෙහෙස වෙන්නෙ නෑ. මට ඒකනම් දරාගන්න අමාරුයි. මම කියන්නෙ මිනියෙක්ට තමන්ගේ අවසාන මොහොතේ එච්චර කැපකිරීමක් තව මිනිස්සු ගොඩක් වෙනුවෙන් කරන්න පුළුවන් ද?
මම ඔබට ආදරය කරන්නේ ඒ නිසා. මට වෙසක් කියන්නෙ උපතවත් බුද්ධත්වයත් නෙමෙයි. මේ කඳුළ ඔබේ පරිනිර්වාණය. මට ඒක ගැන මැවි මැවී පේනවා.
ඉතින් ඔබේ උත්පත්තිය ලෝකයක් සැනසුව, ඔබේ බුද්ධත්වය ලෝකයක් සැනසුව, සැනසෙනව, ඔබේ පරිණිර්වාණය අපට කඳුළක්. මට අර අලවතුරේ විජිතවංශ කවියාගේ හඩ ඈතින් ඇහෙනව. ඒක දරාගන්න අමාරුයි.
අපි වගේ පුංචිම පුංචි චූල මිනිස්සුන්ට හෙවණ තිබුනෙ ඔබවහන්සේ ළඟ විතරමයි. මම හෙවන ලබමින්!


|ගුරුගොඩ සිරිවිමල 

No comments:

Post a Comment