Saturday, April 25, 2020

මේ දවස්වල ගෙදර රණ්ඩුද?

මේ ළඟකදි මාව හම්බෙන්න මනුස්සයෙක් ආව. මෙයා ගමේ කෙනෙක්. මේ කොරෝනා ප්‍රශ්න එන්න ඔන්න මෙන්න තියල තමයි මේ කෙනා මාව හම්බවෙන්න ආවෙ. මහ වැස්සක් වෙලාව නිසා මට එලියට යන්න බෑ කියල මම එයාව කාමරය ලගටම ගෙන්න ගත්ත. ගෙන්න ගෙන කතා කරා.
සිද්ධිය පෞද්ගලිකයි. නමුත් මම මෙතනදි නමක් ගමක් සඳහන් නොකරන නිසා ඒ අයගෙ පෞද්ගලිකත්වයට හානි වෙන්නෙ නැහැ. මෙයා ඇවිත් කිව්ව. " හාමුදුරුවනේ. ඔබවහන්සේට මාව මතක ඇති. මම අහවලාගේ අහවලා. මම දැන් ගෙදර ඔක්කොමෙ ගහලයි ආවෙ. දැන් මට පොලිස්සියෙන් එන්න කියල තියනව. මාව බේරගන්න ඔබවහන්සේට පුළුවන් නම් පොලිස්සියට කතා කරන්න කියල."

මම මුලින්ම කරේ එයාගෙන් ඇහුව ඇයි ගැහුවෙ කියල. මෙයා කියනව "හාමුදුරුවනේ! මම ගෙදර එන්නෙ මාස තුනකට විතර සැරයක්. මුහුදු ගිහිල්ල මාළු අල්ලල මහන්සි වෙලා ගෙදර ඇවිල්ලත් නිදහසේ ඉන්න නැහැ. ගෙදර දුවල තුන් දෙනෙක් ඉන්නව. පුතෙක් ඉන්නව.ලොකු දුව අනාථ වෙලා. එයා දැන් ගෙදරටම වෙලා. පුතාගෙ යාළුවො රෑට ගෙදරට එනව. දුවට ආරක්ෂාවක් නෑ. අම්මල දුවල ඔක්කොම එකතු වෙලා මේ අය එක්ක කයිය. මට නිදහසේ නිදාගන්නවත් නැහැ." මේ විදියට දිගටම කියවගෙන කියවගෙන යනව. මම ඇහුව " ඉතින් ඔයා ගැහුව?" ඔව් හාමුදුරුවනේ. මම ගෑණිට ගැහුව. ගෑණි පොලිස්සියට කියල. පොලිස්සියෙන් දැන් මට හෙට උදේ නමය වෙද්දි එන්න කියල". ඔබවහන්සේට පුළුවන් නම් මම ගහපු හේතුව පොලිස්සියට පැහැදිලි කරල දෙන්න.

මම ඉතින් කිව්ව" මම ඔය නීතිමය පැත්තට අත දාන්න කැමති නැහැ. ඔයා හෙට පොලිස්සියට ගිහිල්ල ඔය ප්‍රශ්නය ඉවරකරගෙන මාව හම්බෙන්න එන්න. මම පවුලෙ හැමෝටම අවවාදයක් දෙන්නම්. කියල. ඒ වගේම මම එයාට මෙහෙම කතාවකුත් කිව්ව."ඔයා හිතනවනම් ඔයා ගහපු එක හරි කියල; ඒක වැරදියි මාමෙ. ඔයා තුන්මාසයක් ගෙදර නැහැ. ඔයා මුහුද මැදට වෙලා විදින දුකම ඔයාගෙ නෝන, දරුවො විදිනව කියල ඇයි ඔයා තේරුම් ගන්නැත්තෙ? ඔයා වගේම දුකක් ඒ අයත් විදිනව. ඒ නිසා ඔයා විතරක් මහන්සි වෙනව, දුක් විදිනව කියල හිතන්න එපා. ඔයාල සල්ලිකාරයො නෙමෙයි. ඔයාගෙ නෝනත් පොඩි දරුව එක්ක පුදුම දුකක් විදිනව කියල මම පෞද්ගලිකවම දන්නව. ඔයාලගෙ දුවල තුන් දෙනාමත් රස්සා කරන බව මම දන්නව. ඔයාගෙන් විතරක් ඒ පවුලෙ අය නඩත්තු වෙන්නෙ නෑ. ඒ නිසා ඔයා කරපු දේ වැරදියි. ඔයා ටිකක් මේ ගැන හිතන්න. නීතියෙ දඩුවම විදල ඉවරවෙලා මාව හම්බෙන්න එන්න."

මේ දවස්වල ගෙවල්වල රණ්ඩු සරුවල් ඉවරයක් නැතිව ඇති. මේකට ගොඩක්ම හේතුව පවුල ඇතුළෙ "මම තමයි ලොකුම සේවයක් කරන්නෙ" කියල හිතන හීන මානය. මේ නිසා කවුරුත් කාටවත් දෙවනි වෙන්නෑ. හොස්ස ලගින් මැස්ස යන්න බෑ වගේ.මේක එක විදියක ඛේදවාචකයක්. මේ සාමාජීය ප්‍රශ්නය අපි කොහොමද කියවගන්න ඕන?

අපේ මිනිස්සු ඵලයේ හේතුව නසනව වෙනුවට ඵලය විතරක් නසන්න හදනව. කවදාවත් ගෙදර කාන්තාව හිතන්නෑ තමන්ගෙ මනුස්සය රෑට බීල ගෙදර එන්නෙ ඇයි කියල. එයා ඒ වෙනුවට රණ්ඩුවක් ඇති කරගන්නව. මේක ඒ ඒ අයගෙ බුද්ධිමට්ටම් වලට සාපේක්ෂ කාරණාවක්. දරුවට ඉස්කෝලෙන් බනිනවනම්, රිපෝට් හොද නැත්තං කරන්නෙ අම්මයි තාත්තයි දරුවව මරන් කන්න හදන එක. එහෙම නැත්තං ගෙදර ඉන්න එකම දුව කොල්ලෙක් එක්ක යාළු වෙද්දි ඒවට ක්‍රියාත්මක වෙන විදිය.මේ හැම දෙයක්ම ප්‍රශ්නයක් කරගෙන ඉන්නව.

තවත් එක ප්‍රශ්නයක් තමයි මහත්තය වැඩට ගිහිල්ල එද්දි නෝන කෑම ටික උයල,ගේ අස්පස් කරල අතුපතු ගාල, තේ එකකුත් හදල නාල කරල ගේ ඉස්සරහට වෙලා සිනහවෙන් යුතුව බලාගෙන ඉන්න ඕන කියල හිතන මහත්වරුන්ගේ ප්‍රශ්නය. ඒ අය එහෙම නොවුනම මූඩ් අවුල් යනව, පිට යනව,ගෙදර ගෑණි නරකයි කියනව. ඒ අය කවමදාවත් හිතන්නෑ නෝන ගෙදර වැඩ ඔක්කෝමත් තනියෙං කරල දරුවන්ගෙ වැඩත් කරන්නෙ තමන්ගෙ බිරිඳ බව. දරුවගෙ ඉගෙන ගන්න වැඩ අසාර්ථක වෙන්නෙ අම්මයි තාත්තයි හැමදාම ගෙදර රණ්ඩු නිසා බව අම්මල තාත්තල හිතනවද?ඉතින් හේතු නසනව වෙනුවට පවුලක් විදියට අම්ම,තාත්ත,දරුවො, බිරිඳ සැමිය. මේ හැමෝම කරන්නෙ ඵලයට අල්ලං තඩි බාන එක.

ඇයි අපි නොහිතන්නෙ? ඇයි අපිට නොහිතන්න බැරි? ගෙදරට ඇවිත් එක පැයක් අපි ඉදගෙන නිස්කලංකව ප්‍රශ්න ගැන හිතනවද?මනුස්සය බීල එන්නෙ ඇයි ? බිරිද මේ දවස්වල මේ වගේ ඇයි? දරුව ඇයි මේ දවස්වල ඉගෙන ගන්න අදක්ෂඑහෙම පවුලක් විදියට ව්‍යාකූල වෙන එකේ නරක ප්‍රතිඵලය හරි බයානකයි. සියදිවි නසා ගැනීම්, දික්කසාද, මානසික පීඩා මේ හැමදේම එන්නෙ ඔය ප්‍රශ්නයත් එක්ක.

සමාජයෙ කුඩාම ඒකකය වෙච්ච පවුල හරි විදියට නඩත්තු නොවුනම ඒක මේ සමාජයෙ අර්බුදයක් විදියට දේශපාලන ආර්ථික, සංස්කෘතික හැමදේකටම බලපානව. සමාජයක් විදියට, පවුලක් විදියට හෝතනි මිනිහෙක් විදියට හැමවෙලාවකම උත්සාහ ගන්න ඕන හේතුව නසන්න. පවුලක අත්‍යාවශ්‍යම වෙච්ච ආදරය, කරුණාව, දයාව, සමීපකම මේ හැමදෙයක්ම ඇතුළෙ ජීවත් වෙන්න අවශ්‍යනම් ඒ සහයෝගීතාවය අවශ්‍යයි. හේතුවක් නැතිව පලයක් හට ගන්නෙ නැහැ. පලයක් නැතිව හේතුවක් හටගන්නෙත් නෑ.

පවුල සමග අන්‍යෝන්‍ය සුහදත්වය ඇති කරගන්න එක අමාරු නැහැ. ගෙදර ගෑණිට දරුවන්ට ගහන එකට වඩා ගොඩක් ලේසියි.

හිතන්න, සිහියෙං ඉන්න කියල බුදුහාමුදුරුවො වුනත් අපිට කියල තියෙන්නෙ ඒ නිසයි.

|ගුරුගොඩ සිරිවිමල


4 comments:

  1. හම්මුදාවේ මමාලට හම්මුදවේ නැන්දලාට අහං ඉන්න හොද ප්‍රවෘත්තියක්

    ReplyDelete
  2. කහ සිවුරයි මුඩුම හිසයි හරි අවදානම්..

    පුංචි සාදු ඔයත් එහෙනං ලීක්‌ කර ගත්තා...

    ReplyDelete
  3. මේ දවස් වල තියෙන ප්‍රශ්න තමයි. domestic abuse රටවල් වලත්

    ReplyDelete
  4. ඔයා උමංදා අසපුවට ගිහින් ට්‍රේනිං එකක් ගන්න.
    සිරාවට කිව්වේ.

    ReplyDelete