Wednesday, August 26, 2020

හමාර බණවර හැඟීම

මීට වසර දෙකක් හෝ එකහමාරකට පමණ පෙර ඉතා සංවේදී කවි පෙළක් පුවත් පතක පළ වී තිබූ අයුරු Facebook තුළින් දැකගන්නට ලැබිනි. එසේම එය මාගේ හිතවතියක් අතින් ලියැවී තිබුනු අයුරු දැක ඇය වෙත සුබ පැතුවා මට අද වාගේ මතකය.

එහි විශේෂ දේශපාලනික හෝ සමාජ දෘෂ්ටියක් තැවරී නොතිබුන අතර ඉතා සංවේදී රූපක ගොන්නකින් පිරී තිබුනා මට මතකය. මෙය කුමන ආරක කවි පද මාලාවක්ද යන්න මට තවමත් සිතාගත නොහැකි වූ විට මම ඒ කවි පෙළ පසෙක තබා අමතක කර දැමූ අවස්ථාවක් ද නොතිබුනා ම නොවේ. කෙසේවෙතත් "කවියක් මෙසේ විය යුතුය" යැයි කාව්‍ය පාඨමාලා පවත්වන Facebook යුගය මට මෑතක සිට තිත්ත වී ඇති වටපිටාවක කවියක් වෙනුවෙන් වැඩි කාලයක් මම වැය නොකරන නිසාම මග හැරිනි.

ඉරේෂා හේමමාලි නම් කිවිදිය මේ අතර දී "හමාර බණවර" නමින් කවි පොතක් එළි දක්වන බවත් එහි ජනගත කිරීම නුවර දී පැවැත්වෙන බවත් ආරංචි වූ වහාම අප ද එහි ගිය අයුරු මට මතකය. එනම්; "හමාර බණවර" කවිය ද ඇතුළත් කරමින් එම කවියේ සාරාර්ථය කැටි කරමින් ඉරේෂා හේමමාලි කිවිදිය කවි පොතක්ම ලියූ අතර එය එකල කවි කියවන්නන් අතර ඉතා ඉක්මනින් හුවමාරු වූ අයුරු මට මතකය. එදින මෙම කවිය රවී රොයිස්ටර් නම් තුරුණු ගායකයා විසින් මෙම කවිය ගීයක් කළ අයුරු ද මතකය. ඉනික්බිතිව මාස කිහිපයකට පසුව මෙය සංවිධිත අයුරින් ගීතයක් ලෙස සමාජගත වූවාත් මතකයේ ඇති අතරම එම ගීතය කෙටි කාලයක් තුළ නොසෑහෙන පරිදි ජනප්‍රියත්වයට පත් වූ බවත් එය මේ වන විට අසා නැති කිසිවකු සොයා ගැනීමට ද නොහැකිය.

කෙසේවෙතත් මේ කවි පද මාලාව ගැන මම සංවේදී වන්නේ ජනප්‍රිය වන කාලය අතරතුර දී නොවන අතර ඉරේෂා ගේ කවිපොත සංයමයෙන් කියවන කාලය අතරතුර දීය. එසේම ඒ කවිපොතේ කතාබහට ලක්කළ හැකි මට්ටමේ කවි බොහෝමයක් තිබූ බව ද කිව යුතුය. මෙලෙස මා වෙත අවදානයට ලක් වූ කවි අතර ඉරේෂා ලේ "හමාර බණවර" කවිය සුවිශේෂී තැනක් ගනී. ඒ කවියයි මේ;

පුරුදු පාරෙම අදත් යනවා

ඒත් වෙන ගමනක් පුතේ

හුඟක් අය මගේ පස්සේ එනවා

තනිව ආ ගිය මගේ

කවමදාවත් මගේ බර

උඹේ කරේ තිබ්බේ නෑ පුතේ

හුඟක් බරනම් බිමින් තියපන්

රිදෙනවා ඇති අත උඹේ

 

කන්ද පාමුල සොහොන හුරු නෑ

දන්නවා මං මගේ පුතේ

මගේ තනියට තවත් අය ඇති

අඳුරගන්නම් හෙට උදේ

සොබා දහමට අවනතයි මං

ඉතින් යන්නම් ගොම්මනේ

යන ගමන් මේ බේත් තුන්ඩුව

අරන් පලයන් අම්මගේ

"හමාර බණවර" යනු හුදෙක්ම බෞද්ධ සංස්කෘතියට ඉතාමත් හුරුපුරුදු වචනයකි. එය සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශණා අතර ජනප්‍රිය වන්නේ අවසන් යුගය හෙවත් "ආටානාටිය සූත්‍ර" දේශනාව දේශනා කරන වේලාව ඇගවීමට ය. මෙය මෙම මාතෘකාව තුළින් කවියට අමුතු ගුප්ත ආකාර හැඟීමක් කිවිදිය විසින් දැන හෝ නොදැන එක් කොට අති අයුරු අපූරුය. මන්ද යත් මෙම කවිය තුළින් කියන්නට උත්සහ කෙරන්නේ "පියෙකුගේ ගුණ මහිමය සහ පියෙකුගේ අවසාන මොහොත" පිළිබඳව නිසාය. එනිසාම මෙම මාතෘකාවම කවියට ඇතුළත් වීමේ දීම අමුතු හැඟීමක් එකතු කර තිබීම කවියේ විශේෂත්වයක් වෙයි.

කිවිදිය විසින් මේ කියන්නට යත්න දරන්නේ පියෙකුගේ ඇති මහඟු ගුණ සමුදාය පිළිබඳවය. පිය ගුණ සහිත කවි පද මාලා කොතෙකුත් අසා, කියවා ඇති මට ඒ කවි සියල්ල අබිබවා ඉදිරියෙන්ම තිබෙන කවියක් ලෙස මෙය පෙන්වා දිය හැකිය. මන්ද යත් බොහෝ ඒ බොහෝ කවි තුළ අන්තර්ගත වන්නේ "පියා මහපොළොවට දා බිඳු වැඟිරී අයුරුත්, දර පැළු අයුරුත්, පොල් කැඩූ, ගල් කැඩූ අයුරුත්" වන නිසාවෙනි. පියාගේ ගුණ කීම සඳහා මෙම කිවිදිය යොදා ගන්නේ අමුතුම අද්දැකීමකි. එසේම "අපූර්ව" අද්දැකීමකි. ඇය කවිය තුළට අනුභූතිය කරගන්නේ පියකු මිය ගොස් අවසන් කටයුතු හමාර කොට දේහය පිටිය වෙත රැගෙන යන සාම්ප්‍රදායික චාරිත්‍ර විධිය යි. එය ඉතාමත් අපූර්ව යැයි මා සඳහන් කරන්නේ එබඳු අද්දැකීම්ක් පාදක කොටගත් වෙනත් කවියක් මීට පෙර හෝ පසු කියවා නැති බැවිනි. Oneandonly මේ කවිය ඉරේෂාමය කවියකි. එබඳු වන්නැන්ඩ් ඔන්ලි කවි බොහෝමයක් ඉරේෂා සතුව තිබෙන බවද මෙහිලා  සඳහන් කරමි.

පුරුදු පාරෙම අදත් යනවා

ඒත් වෙන ගමනක් පුතේ

හුඟක් අය මගේ පස්සේ එනවා

තනිව ආ ගිය මගේ

කවමදාවත් මගේ බර

උඹේ කරේ තිබ්බේ නෑ පුතේ

හුඟක් බරනම් බිමින් තියපන්

රිදෙනවා ඇති අත උඹේ

ආදී වශයෙන් ඇරඹෙන මෙම කවිය තුළ දැක්වෙන අර්ථය මා තේරුම් ගන්නා අයුරු මෙසේ;

පුතාගේ කර උඩ යන තාත්තා විසින් කියන අමුතු ආකාරයේ කතාවකි මේ. මේ මළගිය තාත්තා කතා කරවන ඉන්ද්‍රජාලික සාහිත්‍යයට ද(magical literature) මා ඉතාමත් කැමතිය. සාහිත්‍ය භාවිතාවේ දී මෙය ඉතා අඩුවෙන් ලංකාව තුළ භාවිත වන්නට එක් හේතුවක් වනු ඇත්තේ නූතන සාහිත්‍ය බොහෝ විට යථාර්ථවාදය මූලික කරගනිමින් සිදුකෙරෙන නිසා විය යුතුය. (මෙය වෙනම මාතෘකාවකි.) මෙය ඉරේෂා කිවිදිය විසින් දැනුවත් ව හෝ නොදැනුවත්ව යම් යථාර්ථයක් කීමට භාවිත කරන අයුරු ප්‍රශංසනීය ය.

ගමේ හෝ නගරයේ සාම්ප්‍රදායික තාත්තා යන චරිතය හුදෙක්ම පවුල කේන්ද්‍රීයව මහා බර අදින්නෙකි. ඔහු උදයේම රැකියාවට ගොස් නැවත නිවසට පැමිණෙයි. ඔවුන් ගෙය සඳහා ලඟා වීමට ඇති පහසුම පාර කාලයක් තිස්සේ පුරුදු කර ගනී. ඒ සාම්ප්‍රදායික රැකියාවට යන එන ගමන වනාහී එපාම වූ නොනවතින සංසාරය බඳු ගමනකි. එබැවින් ඔවුන් පුරුදු පාරේ හැමදාම යන්නත් එන්නත් පුරුදු වෙති. මේ තාත්තා ද පුරුදු පාරේම රැකියාවට හෝ වෙනත් ගමන් බිමන් සඳහා යන එන තාත්තෙකි. නමුත් අද දින තමා යන්නේ වෙනත් ගමනක් ය. ඒ "අවසන් ගමනය" ඉරේෂාගේම භාෂාවෙන් කියතොත් මේ තාත්තා යන ගමන වනාහී "හමාර ගමනය" යළි නොඑන ගමනය. තාත්තා නැවත මේ පාරෙන් එන්නේ නැත. ඒ හැඟීම තාත්තෙකුට ආදරය කරන පුතෙකුට කෙසේ දැනෙනවා ඇද්ද? තාත්තා ඉන් නොනැවතී මෙසේ කියයි.

"හුඟක් අය මගේ පස්සේ එනවා

තනිව ආ ගිය මගේ"

මේ කියන්නේ මරණය අවස්ථාවට පමණක් අප පසු පස්සෙහි එන දරු මුණුපුරන් ඇතුළු කොටගත් ඥාතී සනුහරය පිළිබඳවය. මුළු ජීවිත කාලය තුළම තනිව අනෙකාගේ විශේෂ උදව් නොමැතිව ගමන් කරන්නට සිදු වන ජීවිතය තුළ අවසාන අවස්ථාවට පමණක් සුදට සුදේ හැඳ පැළැඳ හඬමින් එන පිරිසකගෙන් මිය යන්නාට ගත හැකි ඵලයක් තිබේද? මුළු ජීවිත කාලයම අපගේ දරුවන් මුණුපුරන් බිරින්ඳෑ, ඥාතිවරු අප වෙනුවෙන් කාලය මිඩංඟු කළ යුතු ද? කිසිත් දොසක් නොනගමින් නමුත් යථාව අපූර්වයෙන් ඇය මේ තුළ දක්වයි. අප අප පසු පස්සෙන් අපව පසසමින් එන මිනිසුන් තනා කුමටද? ඉන් ලැබෙන ජීවිත පරමාර්ථයක් තිබේද? වැනි අදහසක් එහි ගැබ්ව තිබෙනවා යැයි මට සිතේ. කෙසේවෙතත් මේ තාත්තා මේ යථාව අවබෝධ කරගනිමින් සිටි තාත්තෙකු විය හැකිය.

"කවමදාවත් මගේ බර

උඹේ කරේ තිබ්බේ නෑ පුතේ

හුඟක් බරනම් බිමින් තියපන්

රිදෙනවා ඇති අත උඹේ"

යනුවෙන් ඇය මේ පද පේළිය තුළම උදෘත කරන්නේ පියෙකුගේ පරමාදර්ශී කිසිත් බලාපොරොත්තු නොවන ජීවිතයේ එක් ප්‍රධාන පැතිකඩක් පිළිබඳව ය. තාත්තලා කිසිම විටෙක තම දරුවන්ට යුතුකම් වගකීම් ඉටු කොට ඒ කළ කී මෙහෙය වෙනුවෙන් වන්දි ඉල්ලා හඬා වැටෙන්නන් නොවේ. තාත්තලා ජීවිතේ බර කිසිම දිනෙක පුතුන්ගේ කර මත පටවන්නේ නැත. මෙම කවි පෙළේ දී අවසාන මොහොතේ පවා තාත්තා පුතා ගැන සිතන අයුරු ඉතා සංවේදීය. "හුඟක් බරනම් බිමින් තියපං" යනුවෙන් තාත්තා ඉල්ලා සිටින අයුරු ඉතාමත් සජීවීය.

කිවිදිය මුල් කවි පෙළින් පියාගේ ගුණ සමුදාය පිළිබඳවත් ඉන් නොනැවතී සමාජයේ එක් පැතිකඩක් පිළිබඳවත් විවරණය කරන අතර දෙවනුව යොමු වන්නේ ටිකාක් දාර්ශනික මානයකටය. බුදු දහමේ අනිත්‍ය සංකල්පයේ පැතිකඩක් ඇය කියන්නට උත්සාහ කරනවා වැනි හැඟීමක් මට මින් පෙනේ. නමුත් ඇය එහි අවසාන පද පෙළ තුළ "ස්වාමි පුරුෂයාගේ චරිතය පිළිබඳව ද අදහසක් දක්වයි.

කන්ද පාමුල සොහොන හුරු නෑ

දන්නවා මං මගේ පුතේ

මගේ තනියට තවත් අය ඇති

අඳුරගන්නම් හෙට උදේ

සොබා දහමට අවනතයි මං

ඉතින් යන්නම් ගොම්මනේ

යන ගමන් මේ බේත් තුන්ඩුව

අරන් පලයන් අම්මගේ

මුළු ජීවිතය පුරාම වෙනස් වීම් කප්පරක්, මරණ සියදහස් ගණනක්; දෑසින් දකිමින්, දෙකනින් අසමින් ජීවත් වන අයෙකුට සොහොන හුරු නොවීම. එනම් "හැමෝම මේ මරණයට පුරුදු විය යුතු බව" පෘතජ්ජන මිනිසාගේ ස්වභාවයකි. ඔවුන් මරණය මිටින් රැගෙන උපත ලැබූවත් එය අවබෝධ කර නොගනිමින් ජීවත් වෙති. පෘතජ්ජන මිනිසාට "කන්ද පාමුල සොහොන හුරු නැත" එයට ඔවුන් අකමැතිය. නමුත් මේ ස්වභාව ධර්මයට අවනත විය යුතුය යන්න ඔවුන් තුළ ඇත. මරණයට එරෙහිව යනවා වෙනුවට මරණයට හුරු වීමත් අමුතුම අදහසකි. ඒ අමුතු අදහසට ලෝකයා ජීවයේ ආරම්භයේ දී පටන් නතු වී ඇතැයි මට හැඟේ. සමාජය තුළ මරණයට පවා බොහෝ සාටෝප එක්වන්නේ එනිසා විය යුතුය. මේ තාත්තා මේ මරණය ගැන, අනිත්‍ය ස්වභාවය ගැන යම් කිසි අදහසක් ඇත්තෙකි. ඔහු තැනකදී;

"මගේ තනියට තවත් අය ඇති 

අඳුරගන්නම් හෙට උදේ" යනුවෙන් කියන්නේ එනිසාය. එනම් " මම විතරක් නෙමේ තවත් අය මැරෙනවා, තව අය මෙතැනට එන්නත් තියෙනව" මට ඒ අය එක්ක ජීවත් වෙන්න වෙයි." වැනි හැඟීමක් ඒ වචන තුළ විද්‍යමාන වේ. එසේ කියමින් අවසන් මොහොතේ ද "මට තනි නෑ" යනුවෙන් පුතාව සනසන තාත්තාව නැවතත් මේ කවිය තුළ පෙනේ.

මේ කවිය තුළ කිවිදිය පවුල් කුටුම්භය තුළ "ස්වාමි පුරුෂයා යන ගැටගැහුණු චරිතය ද පෙන්වා දෙන්නේ මෙලෙසය.

"යන ගමන් මේ බේත් තුන්ඩුව

අරන් පලයන් අම්මගේ"

"මට අද ඉදන් මේ පවුලෙ බර අදින්න වෙන්නෙ නෑ. උඹ අම්මව බලාගන්න ඕන. එයත් දැන් මම වගේම අඹලන්."

මෙසේ බලන විට මෙම කවිය තුළ "පවුල් කුටුම්භය තුළ "තාත්තා, පුතා, බිරිඳ, මව, පවුල" යන සියළු සංකල්ප අඩු වැඩියෙන් පෙන්වා දීමට උත්සාහ කරයි. එය එතරම් ලේසි පාසු වැඩක් නොවුනද කිවිදිය මනා සංයමයකින් මේ කරුණ සාර්ථක මායිමක් කරා ගෙන ආ බව පෙනෙන්නට තිබේ.

පසුව මෙය ගීතයක් වූ විට මෙම හැඟීම දෙගුණ තෙගුණ වන්නේ රවී රොයිසටර් නැමැති දක්ෂ තරුණයාගේ සංවේදී මිනිස් සුවඳ ඇතිරූ සංගීතය සහ හඬ නිසාය. මෙම ගීතයේ සංගීත භාවිතය ඔබ තනිව අසා රසවිඳින්න. එහි දැක්වෙන පාළු, අඳුරු, සංවේදී හැඩය මෙම පදමාලාවේ අදහසට වඩාත් ගැලපෙන අයුරින් නිමා කොට ඇති අයුරු ප්‍රශංසනීය ය. මේ ගීතය ඔබ ඇසිය යුතුමය.



LISTEN to the SONG

|ගුරුගොඩ සිරිවිමල

 

2 comments:

  1. මට විචාරයක් කරන්න අවශ්‍ය කරැණු ගොඩක් මන් මේකෙන් හොයා ගත්තා.

    ReplyDelete
    Replies
    1. ඔයා කරපු විචාරය එවන්න බැරිද මට?.එසයිමන්ට් එකක් තියෙනවා මේ ගැන.

      Delete