Monday, September 2, 2019

කාලයේ මිනිසා

මහාචාර්ය කාලෝ ‍ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වූ බව ඇසී පළමුව කම්පාවට පත්වීමි. දෙවනුව කම්පාවට පත්වීමට හේතුව පිළිබදව සොයා බැලීමි. එතුමාගේ මතක ස්මර‍ණයන් තු‍ළින් හදවතේ යම් කම්පාවක් උපදවා ගැනීමට අපට නියත වශයෙන්ම හැකිය. ඒ ඔහුගේ මරණයෙන් පසුවය. ජීවත්ව බොහෝ මිනිසුන් මියගිය පසුව ද අප අතර ජීවත් වෙයි. එසේ ජීවත්වන ඉතා අඩු මිනිසුන් අතර කාලෝ ෆෝන්සේකා ද ජීවත්වන බව කිව යුතුය. දේශපාලනය, සංස්කෘතිය, ආගම, කලාව යන සෑම ක්ෂේත්‍රයකම පරිනත සහ මැදිහත් නියෝජනයක් කාලෝ තුළින් සිදුවිය.
සියල්ල ඉක්මවූ නිහතමානී ගුණයන්ගෙන් අඩුවක් නොවුනු කාලෝ ආධුනිකයා ද, ප්‍රවීණයා ද ඉවසමින් සිය ජීවන චාරිකාව ගෙවා දැමූයේ අපේ කාලයේ දැවැන්තයෙකු වෙමිනි. සෑම අවස්ථාවකදීම මම ඔහු තුළ ජීවත්වන කලාකරුවාට වඩාත් ආස කලෙමි. එයට ද හේතුවක් වන්නේ බෞතිකවාදය සිය විශය කරගත් මිනිසකු කලාව තුළ දක්වන සමර්ත කම් නිසාවෙන්ය. ඔහු කලාකාමියෙක් සේම කලාකරුවෙකි. ගේය පද රචනය තුළින් විශේෂ සමත්කම් දැක්වූ එතුමා,
වැනි අමරසිරි පීරිස් වැනි ගායන ක්ෂේත්‍රෙය් දැවැන්තයන් හරහා සමාජ ගත කර ඇත. තවද එතුමා විසින් ,
වැනි විද්‍යාත්මක මව්ගුණ ගීත ද අපවෙත දායාද කර ඇත. 

එතුමා ලියූ

වැනි අතීශය බොළද පෙම් ගීත ද අපට දායාද කර ඇත.

තවද එතුමා භෞතිකවාදී විශය ක්ෂේත්‍රයක් නියෝජනය කළ ද බුදු දහමේ සැබෑ හරයන් කිසි විටෙකත් විවේචනය නොකළ අයෙකි. නිවන වැනි දැක්මක් භෞතිකවාදියකු විසින් අපූරුවට සංග්‍රහ කළ අයුරු පහත කවියෙන් දැකිය හැකිය.

“තණ්හාවේ දෝසේ - දුටු බුදුන් වහන්සේ 

විමුක්තිය පතා - තණ්හාව නසා 

නිවන් මග මේ යැයි - පෙන්වා දුන් සේක.

එක්තරා දවසක් - ගෝලයෝ පිරිසක්
ඇසුවෝය හිමිගෙන් - එක්තරා පැණයක්
තණ්හාව හල විගස - සැණෙකින්ම අප දකින
ඔබ කියන ඔය නිවන - කෙබඳුඳැයි කියනු මැන? 
එවිට අප සියලු දෙන - තණ්හාව නසනු ඇත.
බඹ ලොවට පිවිසීම - වාගේද නිවන් සැප? 
ඉර මුදුන් වෙලාවේ - විලක් මැද තනිවෙලා 
කුසීතව පාවෙමින් - සිටින්නා වාගේද? 
නිදි ලොවට මගසොයා - අතරමංවූ අයෙකු
එක් සැණින් නිදිලොවට - පිවිසියා වාගේද?
ඔබ කියන ඔය නිවන - පැහැපත්ද? පියකරුද? 
නො එසේ නම් එය - සිත නැති කය නැති 
කිසිම දෙයක් නැති - දෙයක්ද? ස්වාමීනි
මෙය ඇසූ හිමි සඳ - හෝරා ගණනක් 
ගත කර නිහඬව - පැවසීය මෙසේ
“ඔබ ඇසු පැනයට - පිළිතුරු නැත මට”
එහෙත් එම දිනයේ - සැන්දෑ සමයේ
පැන ඇසු සිය සිසු - පිරිස ගිය පසු 
බෝරුක් සෙවණේ - වැඩ සිටි සමිඳා 
එහි සිටි සෙසු - දන සැම අමතාලා 
දෙසූහ මේ - සුළු කතාව උපමා.

දවසක් මම ගෙයක් දුටිමි 

එය ගින්නට හසුව තිබුණි

රත් පැහැ ගත් ගිනි ජාලා

එහි පියසෙන් උසට නැගුණි
ගේ තුළ මම දනන් දුටිමි
දොර හැර ඔවුනට හඬගා
පිටවෙන්නැයි මම කීවෙමි
එහෙත් එදන සැලුණේ නැත
හදිසි බවක් පෙන්වුවෙ නැත
එක් අයෙකුගෙ රැවුල පවා
පිළිස්සෙද්දි ඔහු ඇසුවේ
ගෙයින් පිටත මීට හොඳද? 
වැසි වසීද? සුළං තදද?
දැවෙන නිවස දමා ගොසින්
ඉන්නගෙයක් තිබෙනවාද?
මෙවැනි ප්‍රශ්න රාශියක්ය.
මම පිළිතුරු නොදී ඔහුට 
නැවතවරක් වුනෙමි නිහඬ
මට සිතුණා මේ දරුවා
නගන ප්‍රශ්න නවත්වන්නෙ
ගින්නෙන් නැසුනාම කියා
සත්තකින්ම ප්‍රිය දරුවෙනි,
යම් මිනිසකු පොළෝතලේ
තැබූ දෙපා දැවෙන තුරා
වෙන තැනකට නොයාවි නම්
ඒ දනහට සරණ වෙන්න
බණක් නැතිය මට කියන්න
එලෙසයි අප හිමි ගෞතම
පිළිතුරු දුන්නේ පෙර කල
කෙසේද? මේ දෙය
කෙසේද? අර දෙය
කුමක් වේද? මා රැස් කළ ගිණුමට
මා සතු අගනා පණ මෙන් රකිනා
අක්කර පනහේ කුමක්ද ඉරණම?
යනුවෙන් පෙරළා අසන දනන්හට
තොපට දෙසන්නට අපට බණක් නැත.“

මේ ද එතුමා විසින් ලියූ මා ඉතාමත් ප්‍රිය කරන දාර්ශනික අර්ථයේ කවියකි. එතුමා බෞද්ධ දර්ශනය සේම බෞද්ධ ආගම පිළිබදව ප්‍රාමාණිකයෙක් වන බව පැවසීමට මීට වඩා උදාහරණ ද අවැසි නැතැයි සිතමි. මහාචාර්ය කාලෝ වනාහී අප අතර ජීවත් වූ සැබෑ බෞද්ධයකු වුව ද එය සම්මුති අර්ථයකින් විමසා බලන්නෙකුට ඔහු නිරාගමිකයෙක් සේ පෙනීම වැලැක්විය නොහැකි කාරණාවකි.
සිය ජීවන ලාලසාව තුළ කැටිකරගත් මානව ප්‍රේමය තුළ හිදිමින් එතුමා සිය රට බැස පවත්නා මිත්‍යාවාදයන්ට දාර්ශනිකව සහ ඉතාමත් ප්‍රායෝගිකව පහර එල්ල කළ අයෙකි. එහි දී තර්කය ට වඩා ඔහු ප්‍රායෝගිකවාදියෙක් ලෙස ක්‍රියා කිරීම අද සිටින බොහෝ නිරාගමිකයන් ටද ආදර්ශ සපයන කරුණකි. එතුමා මිය ගිය විට ද නිවන් සුව නොපතන්න ආදී වචන යොදමින් විවිධ අය මත පළ කරණවා දිටිමි. නිවන් හෝ අන්යමක් පැතීමේ අනෙකාගේ උවමනාව කාලෝ ෆොන්සේකා වැනි නිරාගමිකයන් කිසි විටෙකත් විවේචනය නොකළ අයෙකි. දිනක් එතුමා මට අමතමින් අවසන තෙරුවන් සරණයි යන ආමන්ත්‍රණයෙන් ඇමතුම සමාප්ත කලා සේම දිනක් බන්දුල නානායක්කාරවසම් මහතාගේ ගගක් සේ ඔබ ගලා ඒනම් ගීතය රසාස්වාදය කරමින් මහා සභාවක "බන්දුල නුඹට පින් මෙම ගීතය ලිව්වාට" යනුවෙන් පැවසුවා මට මතකය. එවැනි සම්ප්‍රදායයක් තුළ තම මතය මැදහත් තැනකට රැගෙන ආ නිරාගමික කාලෝගේ මතය අද වන විට ඔහුගේ මතය රැගෙන යන අයවලුන් විසින් ම හාස්‍යට ලක් කිරීමනම් එතරම් සුබවාදී නොවේ. ආචාර්ය නලින්ද සිල්වා වැන්නවුන් සමග වාද විවාද සභා මැද කෙලින් කටින් සිට ඔහු සිය මතය වෙනුවෙන් පරවාදීන්ට වචන වෙඩි උණ්ඩ කර වෙඩි තැබුවා මට මතකය. “ඔබතුමා කියන දේවල ඇත්තත් තියෙනව අලුත් ඒවත් තියෙනව. මට පේන්නෙ ඇත්ත ඒවා අලුත් නෑ අලුත් ඒව ඇත්ත නැ." වැනි යටි අරුත් සහිත වෙඩි උණ්ඩ වැනි වචන එතුමා ඉතා සංයමයෙන් කියා අනෙකාව හැසිරවූ අයුරු අතීශය රමණීය ය.
කාලයේ මිනිසා ලෙසින් එතුමන් විරුදාවලි ලබන්නේ සිය 86 වන ජන්ම දිනයේ ගීතමය උපහාරයක් ලෙසිනි.
ඇගයීමට ලක්විය යුතු අග්‍රගණ්‍ය මිනිසෙකුගේ නික්ම යාමට සුබ පතමි. ඔහුට නිවන් සැප ලැබේවා!


|ගුරුගොඩ සිරිවිමල



1 comment:

  1. “තණ්හාවේ දෝසේ - දුටු බුදුන් වහන්සේ
    විමුක්තිය පතා - තණ්හාව නසා
    නිවන් මග මේ යැයි - පෙන්වා දුන් සේක...."

    මෙය කාලෝ ෆොන්සේකා රචනා කරන ලද්දක නොවේ. ලොව ප්‍රකට නාට්‍යකරුවක වන බර්ටෝල් බ්‍රෙෂ්ට් රචිත කවියකි. කාලෝ ෆොන්සේකා කලේ එම කවිය සිංහලට පරිවර්තනය කිරීම පමණි.

    අනික නම් කාලෝ ෆොන්සේකාට දැක්විය හැකි ලොකුම නිග්‍රහය මෙම ලිපියේ අවසානයට දක්වා ඇත. ඒ පරලොවක් ගැන කිසිදු විශ්වාශයක් නොතිබූ නොම්ම්බර එකේ භෞතිකවාදීයෙක් වන ප්‍රොෆෙසර් කාලෝ ෆොන්සේකාට නිවන් සැප පාර්ථනා කිරීම මගිනි.

    ReplyDelete