සෙව්ම්

Sunday, September 15, 2019

හැම ඇසුර සැණෙක ම ජීවිතේ ඇත


සුර විමන් පසුකර සසර ලුහුබැඳ
ඇවිත් දුන් පදවිය අගේ
සක්වල දහක් ‍තැන නොමැති අභිමන
නුඹයි මට දුන්නේ දුවේ
මේ කිරුළ මට දුන්නේ දුවේ...

මිනිසත්කමේ සුවඳයි නොනිම්
සෙනෙහසයි සුරකින්නේ බැඳුම්
හෙට මිහිමඬළ යට සැඟවෙනා තෙක්
සිත සතුටමැයි වත්කම උතුම්...//

නෙතු බොඳ කරන කඳුළක තරම්
සිනහවක මිහිරක් වෙද සියුම්
හැම අසුරු සැණෙක ම ජීවිතේ ඇත
ලොව විඳිනු මැන නොඇලී සුවෙන්...//

පද රචනය: ඉරෝමී ආරියරත්න
ගී තනුව, සංගීතය සහ ගායනය: අනුරාධ අබයසිංහ







ලාංකේය ගීත සාහිත්‍යය කෙත සියළු ආකාර වූ අනුභූතීන් තුළින් ගොඩනැංවී ඇති මහරු ඵලදාවකි. විටෙක ප්‍රේමය උත්කර්ශවත් කෙරෙමින් තවත් විටෙක විරහව උත්කර්ශවත් කෙරෙමින් ද තවත් විටෙක ඒ සියලු ගුණාංගයන් සහිතව සංස්කෘතික ගීයෙන් ද උපයුක්තව සිංහල ගීත සාහිත්‍යය පවතී. එය එහි මහගු අස්වැන්න කිසි විටෙකත් මව් ගුණ ගීය, ළමා ගීය, නැලවිලි ගීය, යන අංගයන්ගෙන් වියුක්තව නොපවතී.

අතුඅග මල් කුමාරියන්
බිඟු මිණි දැල් සැලෙන හඬින්
නිදන පුතුගෙ කණට මිහිරි කතා කියනවා
සිහින ලොවේ ළපටි සිහින සිතේ අඳිනවා 


යනුවෙන් සේකර එක් විටෙක දී නන්දා මාලිනි යට ලියන්නේ එකී ළමා ගීත සාහිත්‍යේ උත්තුංගම අවස්ථාවක් සාහිත්‍ය රසයක් සහිතව ජනවිඥාණයට ඔබ්බවමිනි. එයට නන්දා මාලිනියන්ගෙ සුමියුරු ශාන්ත හඩින් මුසු වූ විට අපූර්වත්වයක් දැනෙයි.

රුවන් වළා දුහුල් කඩින් පෙරී ස‍ඳේ රිදී කැළුම්
තුෂාර හාර හා එතී ගලා හැළෙනවා
පුතුගෙ සිඟිති දෙතොල් වලට සිනා ගෙනෙනවා



යනුවෙන් ඇරඹෙන එකී ගීතය සිංහල නැලැවිලි ගීතය තුළ උස්ම ස්ථානයක පිහිටයි. මෙකී ගීත කොට්ඨාශය හුදෙක් නැලවිලි ගීතය නමින් ම නම් කරනවාට වඩා එය වෙනම සාහිත්‍ය රසයක්  සහ දරු පරපුරක සිතුම් පැතුම් කෙළෙසින් අරුත්ගැන්විය යුතුද යන්න ද අපට පෙන්වා දෙන උපදේශාත්මක අංගයක් විය. සමන් චන්ද්‍රනාත් රණසිංහ යන් මාලනී බුලත්සිංහලයන්ට ලියනු ලබන“සදමඩලේ සිට“ වැනි ගීත හුදෙක් නැලවිලි ගීයේ සංලක්ෂණ ඉක්මවා වේග රිද්මය ද අපූරුවට යොදාගනිමින් ජන මන පොබයාලීමට සමත් වෙයි.

සඳමඬලේ සිට තරුමඬලේ සිට දිවැස් හෙළන පුතුනේ
බලාගන්න පුත බලාගන්න පුත ලස්සණ ලක් දෙරණේ ...//

පුරන් කුඹුරු වපුරන්නේ පුතුනේ හෙට උපදින පුතුටයි
කම්හල් නව නිපැයුම් නිම වන්නේ ඒ සුරතල් පුතුටයි ...//

සඳමඬලේ සිට තරැමඬලේ සිට දිවැස් හෙළන පුතුනේ
බලාගන්න පුත බලාගන්න පුත ලස්සණ ලක් දෙරණේ

සාර කෙතේ අස්වනු පීදෙන්නේ පුතුනි ඔබේ නමටයි
නුඹේ පියාගේ දෑත රත්තරන් පුතු ලද දෙව් පිහිටයි ...//

සඳමඬලේ සිට තරුමඬලේ සිට දිවැස් හෙළන පුතුනේ
බලාගන්න පුත බලාගන්න පුත ලස්සණ ලක් දෙරණේ ...//

ගායනය - මාලිනී බුලත්සිංහල
පද - සමන් චන්ද්‍රනාත් වීරසිංහ
තනුව - ෂෙල්ටන් ප්‍රේමරත්න

මෙකී ගීත සාහිත්‍ය මුලින් ලියූ කවි තුළ පදනම් වෙමින් ඇස් මහන්ද හිමියන් ගේ පද්‍ය පංතීන් බොහෝ විට ගී හඩට පෙරළුණේ නන්දා මාලිනියන් අතිනි. මෙවන් වූ පොදු ළමා ගීත සාහිත්‍යය නූතනය වන විට වඩාත් හරවත් තැනකට ගෙන ඒමට “වසන්තා කේ මිහිදුකුල“ වැනි රචිකාවියන්ට හැකියාව ලැබී තිබේ. 

මෙම විමර්ශන ලිපියෙන් ද අප විමසීමට ලක්කරන්නේ ළමා සාහිත්‍යට නව දෘශ්ඨි ආරකින් එක් වූ ගීතයක් පිළිබදවය.  මෙහි පද රචිකාවිය මහාචාර්ය, ඉරෝමි ආරියරත්න වන අතර තනු නිර්මාණයත් ගායනයත් සිදු කරන්නේ අනුරාධ අභයසිංහ විසිනි. 
උඩදී අප උදෘත වශයෙන් කතිකාවට ලක්කළ ගීත ද, අනෙකුත් ළමා ගීත ද බොහෝ විට ලියැවෙන්නේ හුදු රසයත් අරුතත් මුල් කරගනිමිනි. ජාතිකවාදී දෘශ්ඨිකොණයක සිට පද්‍යකරණයේ නියැලුණ ඇස් මහින්ද හිමියන් ලියූ බොහෝ ළමා කවි සහ ගීත තුළ ගැබ් වන්නේ සංස්කෘතික සහ ජාතිකවාදී දෘශ්ඨිකොණයන් ය. නමුත් අප මෙහි දී සාකච්ඡාවට බදුන් කෙරෙණ ගීය එවැන්නක් නොවේ. මේ වනාහී බෞද්ධ දාර්ශනික සිද්ධාන්ත කැටි කොට ගත් ගීයකි. එනිසා එය හුදෙක් ළමා ගීයක්ම යැයි නාමකරණයට ලක්කිරීමට අප අපොහොසත් වේ. 

මෙම ගීතය බෞද්ධ සිද්ධාන්ත වල එන සංකල්පවලින් මූර්තිමත් කොට ඇත.
සුර විමන් පසුකර සසර ලුහුබැඳ
ඇවිත් දුන් පදවිය අගේ
සක්වල දහක් ‍තැන නොමැති අභිමන්
නුඹයි මට දුන්නේ දුවේ
මේ කිරුළ මට දුන්නේ දුවේ...
යනුවෙන් මෙම ගීතය ආරම්භ වෙයි. එහි දී රචිකාවිය අපට පෙන්වා දෙන්නේ දරුවකුගේ උත්පත්ති අවස්ථාවයි. මෙහි දී රචිකාවිය බුදු දහමේ පැනෙන“සංසාරය“පිළිබදව අපට ඉගියක් ලබා දෙන්නේ එම දෘශ්ඨිය තුළින් කිසිවෙකුටත් ගීතය රසවිදීමට බාධාවක් නොපමුණුවමිනි. එනම් මෙම ගීතය සසර විශ්වාස නොකරන භෞතිකවාදියෙකුට වුවද නිදහසේ අසා සුවයක් සහ දාරක පෙමක් ඇති කරගැනීමට හැකිය.
දෙව් ලොව ආදී කොටගෙන සංසාරය පුරාවට විවිධ අත්බැව්හි උපත ලබමින් සසර තුළ ඕනෑම අයකු නිවන තෙක්ම සැරිසරන බව බෞද්ධ මතයයි. සසර නැවත නැවතත් උපදෙමින් චක්‍රයක් බදුව ගමන් ගන්නා සත්වයා සෑම අවස්ථාවකම එක් ස්ථානයක් තුළ රැදෙමින් කෙටි කාළයක් ලැගුම් ගනී. එය එක් ආත්ම භාවයක් ලෙස අප සදහන් කරමු. එකී ආත්ම භාවයේ ලබන කුස තුළ රැදෙමින් එම සත්වයා තවත් සත්වයෙක් යම් පදවියකට උරුමකම් කීමට සුදුස්සකු කරවයි. ඒ මව් සහ පිය පදවියයි. ඕනෑම මවක් හෝ පියෙක් එම පදවිය තුළ පදවිගත කරන්නෙ දරුවෙක්ම ය. දරුවෙකු දරුවා යන පදවිය තුළ පදවිගත කරන්නේ මවත් පියාත් ය. එය ලොව ඇති උතුම්ම පදවිය ලෙස අරුත් ගන්වන්නේ ලෝකයා විසිනි. එයට විශාලතම හේතුව ලෙස පෙන්වා දිය හැක්කේ මවක් දරුවකු කුස දරන සමයේත් ඉන් පසු සමයේ දී මවත් පියාත් යන දෙපළමත් දරුවකු හදන්නටත් වඩන්නටත් ගන්නා වෙහෙසය.
රචිකාවිය පෙන්වා දෙන්නේ එකී මව්පදවිය තමන් වෙත ලබාදුන් තම දියණියට ස්තූති පූර්වක වන බවයි. මව් පදවියට මේ සක්වල තුළ ඇති ස්ථානය සුළු පටුනොවේ. බුදුන්වහන්සේ “මව්ගුණ“ පිළිබදව දක්වා ඇති අදහස් තුළින් එය මනාව ගම්‍ය වේ. මවක් යනු හුදු ගැහැණියක් ම නොවේ. ජීවිතය තුළ ගැහැණියකගේ බරට වැඩි බරක් මවක් විසින් දරයි. එ් වෙනුවෙන් ලෝකයා සෑම විටම කෘතඥතාවයක් මවකට ලබා දෙයි. ඉතා ප්‍රාථමික සමාජයක වුව ද මවකට අති අභිමන් බොහෝ ය. ඒ අභිමානය, සැලකිල්ල ලබාගැනීමට මවකට උදව් වන්නේ දරුවකු ය. ඒ දරුවාට රචිකාවිය ස්තූති පූර්වක වන්නේ එබැවිනි.
දෙවනුව රචිකාවිය විසින් දියණියට ආමණ්ත්‍රණය කරන්නීය. ඉතා සෞම්‍ය වදනින් ඇය සිය දියණියට ආමණ්ත්‍රණය කරමින් කියන්නට තැත් දරන්නේ චින්ත සන්තානයේ හටගන්නා මේ මොහොතේ සතුට පිළිබදවය, සිනහවේ වටිනාකම පිළිබදවය.
මිනිසත්කමේ සුවඳයි නොනිම්
සෙනෙහසයි සුරකින්නේ බැඳුම්
හෙට මිහිමඬළ යට සැඟවෙනා තෙක්
සිත සතුටමැයි වත්කම උතුම්...
මනුෂ්‍යත්වයේ පරිපූණ බව, සුවදවත් බව ඇති කරවන්නේ හදවත තුළ ලෝකයා කෙරෙහි ඇතිවන කරුණාව, මෛත්‍රිය, ලෙන්ගතුකම, වැනි ගුණධර්ම තුළිනි. ඒවා සිය දියණියට හදවත තුළ ඇති කරගන්නා ලෙස උපදේශ සපයමින් මිය යන තෙක්ම සිතේ ඇතිවන සතුට එකම ධනය ලෙස සිතන ලෙස ඉල්ලා සිටියි. ජීවිතය තුළ ගැහැණියක්ව ඉපදීමේ දී ඇති වන සමාජ සැලකිල්ල කෙබදුද? එම සැලකිලි ඉදිරියේ තමන් ගුණයෙන් , නැණින්, පහන් වී අභියෝග වලට මුහුණ දුන්න ද සිත් සන්තානයේ ඇතිවන සතුට කෙමෙන් කෙමෙන් තුරන් ව යාමට මාන බලයි. ඒ සමාජය කෙරෙහි ඇතිවන කළකිරීම නිසා හිතේ ඇතිවන පසුබස්නා ස්වභාවයයි නමුත් මව දියණියට පවසන්නේ ඒ සියල්ලක්ම පැරදවිය හැක්කේ හිතේ සතුටටම පමණක් බවයි. මේ සියල්ලක්ම ඉදිරියේ ඇය ඉල්ලා සිටින්නේ වෙන කුමක්වත් නොවේ. සැබැවින්ම ලෝකයාට ආදරය කරන දුවණියක් වන්න යන ඉල්ලීම නොවේ ද?
නෙතු බොඳ කරන කඳුළක තරම්
සිනහවක මිහිරක් වෙද සියුම්
හැම අසුරු සැණෙක ම ජීවිතේ ඇත
ලොව විඳිනු මැන නොඇලී සුවෙන්
ඇස කදුලින් බොද වන්නට කොයිතරම්වත් හේතු ඇති සමාජ වපසරියක ජීවත්වන අයට සිනාසිසී ජීවත්වන සැටි කියා දෙන්නේ බුදුන්වහන්සේ ය. උන්වහන්සේ දේශනා කරන්නේ හැම මොහොතකම සතුටින් ජීවත්වන ලෙසය,
“අතීතං නානු කපපන්නි,
නප්ප ජප්පමනාගතං
පච්චුප්පන්නේන යාපෙන්ති
පස වණෙණා පසීදති”

නොපැමිණි අනාගතය ගැනත්, ගෙවුනු අතීතය පිලිබදවත් නොසිතන ලෙස පවසන බුදුන්වහන්සේ මේ මොහොතේ ජීවත්වන ලෙස පෙන්වා දෙයි. ඒ අයුරින් රචිකාවිය ද පවසන්නේ “ හැම ඇසුර සැණෙක ම ජීවිතේ ඇත“ යනුවෙනි. උප්පාද, ඨීති, භංග, යන බෞද්ධ දාර්ශනික සිද්ධාන්තයන් හි සෙවනැල්ල මේ රචනාව තුළ අපට පෙනේ. මේ මොහොතක් මොහොතක් පාසා වෙනස් වන අප තුළ ඇති වන තත්වය ඉතාමත් ඛේදජනකය. දුකම පමණක් හිමි ය. ලෞකික සතුට මොහොතක් මොහොතක් පාසා වෙනස් වෙමින් අපට අනුගත නොවමින් පවතියි. නමුත් මේ සෑම මොහොතකම ආත්ම විශ්වාසය තුළින් ලෞකික වූ ජීවිතයේ සැනසීම ලගා කරගත හැකි බවට මව දියණියට කියා දෙයි. මුව හසරැල් නංවමින් ජීවිතයේ දුක්ඛදායක අවස්ථාවන්ට මුහුණ දෙන්න, ලෝකය වෙත නොඇලී සුවයෙන් කල් ගෙවන්න යන මතක් කිරීම ද මව දියණියට සිදුකරයි. 
මොහොතක සන්තුෂ්ඨිය බලාපොරොත්තුවෙන් දියණිවරු සිය පතිවත කෙලෙසාගෙන සියදිවි නසාගනිමින් මුළු මහත් සමාජයම කම්පාවට පත්කරමින් සිටින මොහොතකි මේ සමාජය. එකී සමාජයකට අලුතින් බිහිවන දියණියක් හෙට දවසේ මුහුණ දීමට නියමිත දුක්ඛදායී ඉරණම් වලින් හැකිතාක් ඈත් කරන්නට උත්සාහ දරණ ආදරණීය මවක් සිය දියණියට දෙන ඔවදනයි මේ. මේ ඔවදන ගීතයක් වීමේ දී බෞද්ධ දාර්ශනික පදනමක් මුල් කරගැනීම ඉතා අගනා කාරණාවකි.
සංසාර චාරිකාවේ නිමක් නොමැතිව ගලා යමින් පවතින සත්වයා තමන් වෙතට පැමිණි පසු දරුවෙකු ලෙස ඇයට ලබා දෙන කාරුණික ආරක්ෂාව ඉතා විශ්වීය එකකි. එය කිසියම් දිනෙක මව නොමැතිව තනිව ගමන් කළ හැකි දියණියක් නිර්මාණය කරයි. සමාජය ඉදිරියේ හිංසාවට පත්වන විට ඉන් නොවැටී සිටීමේ දාර්ශනික දිරිය බුද්ධිමත් මවක් විසින් දියණියකට ලබා දීම කෙතරම් ප්‍රශංසනීය වේද. එම දිරිය යම් දිනෙක සංසාරයෙන් එතෙරවන මාර්ගයට ද මග හෙළි පෙහෙළි කර දෙන්නකි. 
මවුවරුන් මතුබුදුවිය යුතුයැයි සාහිත්‍ය තුළ කතිකාවට ලක්වන්නේ මේ දිරිය, මේ ශක්තිය දරුවෙකුට ලබා දීම නිසාමය.

|ගුරුගොඩ සිරිවිමල


පද රචිකාවිය - මහාචාර්ය. ඉරෝමි ආරියරත්න 
තනුව සහ ගායනය - අනුරාධ අබයසිංහ 




No comments:

Post a Comment