Friday, June 19, 2020

කුඩා දරුවන් පැවිදි කිරීම


කුඩා දරුවන් පැවිදි කිරීම පිළිබඳව ප්‍රශ්නය නැවත නැවතත් ඇති වෙමින් පවතී. සෑම මොහොතකම ආගම, ජාතිය, සංස්කෘතිය සහ සමාජය ඉලක්කගත වෙමින් කුඩා දරුවන් හිංසනීය තත්ත්වයන්ට පත්වීම දැන් දැන් නිතර අසන්නට දකින්නට ලැබෙන අතරම ඒ පිළිබඳව මුහුණුපොතේ සක්‍රීය වෙමින් සිටින්නන් ලෙස මමත් බොහෝ හිතවතුනුත් තමන්ට හැකි ලෙසින් වචන අකුරු කරමින් සිය දායකත්වය සැපයූවත් ප්‍රශ්නය නැවත නැවතත් සිද්ධ වීමෙන් පෙනෙන්නේ මහජන සවිඥානිකත්වයේ ගැටළුවය.

සමාජය තුළ නිරතුරුවම සෑම ආකාරයෙන්ම දෙමාපියන් යටතේත් වැඩිහිටයන් යටතේත් නඩත්තු වන කුඩා දරුවන් මෙකී හිංසනමය කාරණාව හරහා අවභාවිත වීම කණගාටුවට කරුනකි. අනෙකාගේ සුඛවිහරණය පතා අවභාවිත වන කුඩා දරුවන්ගේ ජීවිතය පිළිබඳව කතා කිරීමට අප පසුබට නොවිය යුතුය යන්න මාගේ අදහසයි. මෙහි දී මා කරුණු දක්වන්නේ "ළමා පැවිද්ද" පිළිබඳව පමණකි. ඉස්ලාම් ළමා අපහරණය, ක්‍රිස්තියානි ළමා අපහරණය, නේවාසිකාර සහ ළමා නිවාස වල තත්ත්වය පිළිබඳව මෙතැනදී අදහස් දැක්වීමක් නොකරමි.

බුදුන්වහන්සේ කුඩා දරුවන් පැවිදි කිරීම සම්බන්ධයෙන් සංවේදී වූ අවස්ථා ත්‍රිපිටකය තුළින් පෙනී යයි. හත් හැවිරිදි රාහුල කුමරු සිය සසුනට ඇතුළත් කරගැනීම නිසා ඇති වූ ප්‍රශ්නයේ දී සුද්ධෝදන මහරජුගේ ද ඉල්ලීම බුදුන්වහන්සේ ප්‍රතික්ෂේප නොකරයි. කුඩා දරුවන් පැවිදි කිරීම සම්බන්ධයෙන් වයස් සීමාවක් පෙන්වා තිබුන ද ආනන්ද හිමියන්ගේ සිදු වීමක් හරහා නැවතත් "පාත්‍රයට වසන කපුටකු එළවා ගැනීමේ හැකියාවැති දරුවකු මහණ කිරීමට අවසරය බුදුන්වහන්සේ විසින් ලබා දී ඇත."

එසේම බුදුන්වහන්සේ "කුමාර කාශ්‍යප" පොඩි හිමියන්ට සංවේදී වූ අයුරු අප අසා කියවා ඇත. ඒ අනුවද පැහැදිලි වන්නේ කුඩා දරුවකුට සාසනය දරා ගැනීමේ ඇති හැකියාව ඉතා අල්ප බවයි. චුල්ලපන්ථක හිමියන්ගේ කතාවෙන් ද එය පැහැදිලි වේ. මෙම දෙදෙනා වහන්සේලාම සාසනික වශයෙන් සාසනික උත්තුංග අරමුණ සාක්ෂාත් කරගත් වගද අප අමතක කළ යුතු නොවේ. ලංකාවේ සිටින සුනීත, සෝපාක වැනි අසරණ දරුවන්ට ඇති එකම සෙවණද සසුන බව අප සිහිතබා ගත යුතුය.

දරුවා යන්න ඕනෑම අයෙකු සංවේදී වන අවස්ථාවකි. දරුවා නිතැතින්ම ආරක්ෂා කළ යුතු, උපදෙස් යටතේ රැකිය යුතු වස්තුවකි. කෙළිදෙලෙන් කල් ගෙවීම, අධ්‍යාපනය, ආහාර හෙවත් පෝෂණය යන මේ සියල්ලම දරුවකුට වැඩිහිටියා විසින් සැපයිය යුතුය. මේ සියල්ලකම අවසාන පරම යථාර්ථය වන්නේ එක් දෙයකි. එනම් "දරුවන් සුරක්ෂා කළ යුතු අයය" යන්නයි. දරුවා සිය ළමා අවධිය තුළ ලබන අද්දැකීම් අනාගත නිස්සරණ බාවය උදෙසා අනිවාර්යය හේතුවකි.

වැනි දරුවකු සසුනට ඇතුළත් කොට එක් දෙයක් තුළ හික්මවීම කොතරම් යහපත් ? යන්න අද දවසේ උද්ගතව ඇති ප්‍රශ්නය යි. දරුවන් පැවිදි කිරීම තුළින් ඔවුන් හිංසනයට ලක්වෙනවාද?

ලංකාවේ වත්මන් සාසන ක්‍රියාවලිය අප දනිමු. එය එතරම් හොඳ තත්ත්වයක නොමැති බව කවුරුත් හොඳින්ම දන්නා කරුණකි. එකී කරුණ අබිමුව දරුවකු සාසනය යන ආයතනගත ව්‍යුහය තුළට ගෙන්වා ගැනීම අවුලකි. දරුවාට ඒ තුළ ලැබෙන එකම සහනය "කෑම බීම පමණකි" එයත් දුෂ්කර ප්‍රදේශ වලට අනුව බලන විට කුඩා දරුවන්ට කන්න බොන්නවත් නොලැබෙන බව පසුගිය කොරෝනා සමයේ අවබෝධ විය. කොරෝනා සමයේ සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ පුවතකට සංවේදී වෙමින් අම්පාර ප්‍රදේශයේ කුඩා හිමිවරු අටනමක් වැඩසිටින විහාරස්ථානයක ලොකු හිමියන් පවසා ඇත්තේ මේ දිනවල දානය නොලැබෙන බැවින් සිය නිවෙස් කරා හිමිවරුන්ට වඩින ලෙසයි. එහිදී හිමිවරුන් ප්‍රතිචාර දක්වා ඇත්තේ අපි ඔබවහන්සේ දමා නොයන බවය. මේ කරුණ නිසා ලොකු හිමියන් සමාජමාධ්‍ය හරහා උදව් ඉල්ලූ විට බොහෝ දෙනා පිළියම් යොදමින් හැකි ලෙස උපකාර කරන ලද අතර මම ද අප හිතවත් විදේශගත මහත්මියකගේ උදව්වෙන් එම විහාරස්ථානයට හැකි පමණින් උදව් කරන ලදි. නමුත් එයින් ප්‍රශ්නට නොවිසදෙන බව අප දනිමු. එවැනිම තත්ත්වයන්ට කොරෝනා නැතිවත් ඇතිවත් පත්වන බොහෝ විහාරස්ථාන ගැන පැවිදි ජීවිතය ගත කරන මම ඉතා හොඳින් දැන සිටිමි. අධ්‍යාපනය අතින් ද සුවිශාල මෙහෙයක් උන්වහන්සේලාට සසුනට ඇතුළත් වීම නිසා නොලැබේ.
තවද සිය ළමා අවශ්‍යතාවයන් සීයට පනහක් හෝ සාක්ෂාත් කරගැනීමට ඇති වටපිටාව සංස්ථාව තුළින් අහිමි වී ගොස් ඇත. නිසි නින්ද, නිසි පෝශණය, සෞඛ්‍ය වැනි දේවල් කුඩා හිමිවරුන්ට ලැබෙනවාද යන්න කතා කළ යුතු මට්ටමේ දෙයකි.

මාවරලේ භද්දිය හිමියන් පවත්වාගෙන යනු ලබන භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ ක්‍රමවේද ඉතාමත් සතුටුදායකය. උන්වහන්සේ තමන් යටතට පත් කරගන්නා සියළු කුඩා හිමිවරුන්ගේ සෞඛ්‍ය විස්තර, උප්පැන්න ලබා ගනියි. එසේම උන්වහන්සේලාට සිවුරු සෝදාගැනීම සඳහා වොශින් මැෂින් එක පවා සපයා ඇති අතර ක්‍රීඩා කිරීම සඳහා ද අවස්ථාව ලබා දී ඇති බව පැවසේ. එවැනි තැනක කල්යල් ගෙවන කුඩා දරුවකුට සමාජයේ වෙසෙන ගිහි දරුවකුට වඩා ආරක්ෂාව ඇති බව කිව හැක්කේ අධ්‍යාපනය අතින්ද සුවිශේෂී සේවයක් ඔවුනට ලැබෙන බැවිනි. නමුත් අම්මා තාත්තාගේ අවශ්‍යතාවය ඔවුනට ද නැති බව පැවසිය යුතුමය. මව්පිය සෙනෙහස අහිමි වූ දරුවකුට එවැනි තැනක රැකවරණය ඇති බවද කිව යුතුය. කුඩා දරුවන් මල් සේ රැක බලා ගන්නා එවන් භික්ෂූන්වත් මාගේ ගුරු දේවයන්වත් මෙතැනදී ගෞරවයෙන් සිහිපත් කරමි.
කුඩාදරුවන් ලිංගික වශයෙන් අපහරණයට ලක්වීමත්, ඔවුන් ලබන දරාගත නොහැකි මානසික පීඩා ගැනත් නීතිඥ වරු ඇසුරිනුත්, මාධ්‍යයන් හරහාත් මම නිතරම අසා දැක ඇත. නීතිඥ වරුන් පවසන පරිදි ළමා අපහරණ සම්බන්ධයෙන් නීතිමය තත්ත්වයන්ට ගොදුරුව සිටින බොහෝ අය පැවිදි වැඩිහිටි නායක හිමිවරුය. එවැනි තත්ත්වයක දී දරුවකු පැවිදි කිරීම මට අනුවනම් එකගවිය නොහැකි කාරණයකි.

ළමා හිංසනය පිළිබඳව කතා කරමින් සිංහල බෞද්ධ කණ්ඩායම් ඉස්ලාම් විවාහකරණය පිළිබඳව කතා කරනු මා දැක ඇතත් කුඩා දරුවන් පැවිදි කිරීම සම්බන්ධයෙන් හඩක් නොනගා සිටීම මටනම් ප්‍රශ්නයකි. මේ අවස්ථා දෙකේදිම එක හා සමාන මානසික කායික පීඩා රාශියකට දරුවා ලක්වන බව කාටවත් මෙසේයැයි පෙන්වා දිය යුතු නැත.

ළමා හිමිකම් පිළිබඳව උනන්දු විය යුතු ළමා ආරක්ෂණ අධිකාරිය කාන්තා හා ළමා කටයුතු පිළිබඳව අමාත්‍යාංශ පවතින දේශපාලන වාතාවරණයක් පවා ඇති රටක මෙවැනි ඛේදනීය තත්ත්වයක් නිර්මාණය වී තිබීම මෙරට දේශපාලන හැකියාව පිළිබඳව අපට නැවත නැවතත් පෙන්වා දෙයි. සමහරවිට භික්ෂූන් වහන්සේලාට ඇති අනවශ්‍ය බලය නිසා රාජ්‍යට ආගමට යම් යහපත් බලපෑමක් හෝ එල්ල කිරීමට ඇති ඉඩ කඩ අඩු නිසා නිලධාරීන් කටවසාගෙන සිටිනවා විය හැකිය.

පැවිද්ට ඇතුළත් වන්නට දරුවන් හඩ හඬා ඉල්ලා සිටින අවස්ථා මම දැක ඇත. එවැනි අවස්ථා වලදී වුවද දරුවකු පැවිදිබිමට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් දෙවරක් සිතිය යුත්තේ සාසනයේ අර්බුදය අප තේරුම් ගෙන ඇති නිසාය. කුඩා දරුවන්ට ඒ පිළිබඳව අවබෝධයක් නැතිමුත් දරුවන් සම්බන්ධයෙන් මව්පියන් නියම තීරණය ගතයුතුව ඇත.

හතර කේන්දරය පාළු වීම, දුප්පත් කම, මවට පියාට විදේශගත වීමේ උවමනාව, මව්පියන් දික්කසාද වීමේ අවශ්‍යතාවය ඇති වූ විට යනාදී අවස්ථාවන් වලදී දරුවා පංසලට තල්ලු කර දැමීම මේ වනවිට ලංකාවේ තත්ත්වය යි. මෙහි දී කිසි දෙයක් නොදන්නා දරුවකු පංසලට වී දුක් කඳුළු නැව් ගනන් හිතින් විදිමින් සිටිය දී දෙමාපියන් සැප සේ කල් ගෙවයි. ඒ මදිවට සිය සතර වරිගය නිවන් දැකීමේ සිහිනය දකිමින් සිටියි. තම නිවන් දැකීමේ අරමුණ පවා දරුවාගෙන් දකින්නට තරම් ආත්මාර්ථකාමී මව්පියන්ට දරු සෙනෙහස පිළිබඳව පාඩම් කියා දෙන්නේ කෙසේද?

සසුනට අරුණ, වැනි ක්‍රියාදාම තුළින් පැවිදි දරුවකු සිටින පවුල්වලට නිවෙස් සාදා දෙන උමතු දේශපාලනයත්, කන්න අදින්න නැති පවුල් වලට දරුවන් හදන්න යැයි කියා ඒ දරුවන්ගෙන් එකෙකු සසුන රැකීම සඳහා පැවිදි කරන්නත් යන ඉල්ලීම කරන ජාතික සංඝ ව්‍යාපාර හෙවත් ජාති උමතුව ඇති විකාර කාරයන්ගේ කෙරුවාවල් නිසා අහිමි වන්නේ දරුවන්ගේ ළමා අවධිය ය.

ඒවා ගැන කතා කරමින් සිටින මොහොතක අපට ඇති සමාජ අර්බුදය වන්නේ ළමා හිමිකම් ගැන කතා කරන අයවලුන් තුච්ඡ ලෙස විවේචනය කරමින් තැන තැන බැන අඩගැසීම්වලට ලක්වීමයි. එසේම සමාජය විසින් සාධාරණීය කරන මෙකරුණ වෙනුවෙන් තමන් හෝ තමන්ගේ දරුවකු සසුනට යොමු කිරීමට ඔවුන් සූදානම් නැති අතර ප්‍රසිද්ධ මාධ්‍ය තුළ මහේශාක්‍ය ලීලාවෙන් දරුවන් පැවිදි කර පිරිකර පූජා කරන මාධ්‍ය ඒජන්තවරු තම දරුවා මල් වට්ටි සේ පරිස්සම් කරන අද්දැකීම් අපට ඇත.

මෑතක මීගමුව ප්‍රදේශයේ කුඩා දරුවන් පැවිදි කරන්නට එපා යැයි කියමින් දැනුවත් කිරීම් කරන ලද පිරිසක් පිළිබඳව පරීක්ෂණ පවත්වන විට හෙළි වී ඇත්තේ ඔවුන් වෙනත් ආගමක් ප්‍රචාරය කරන NGO නඩයක් බවයි. එය "දරුවා"සමාජමය වශයෙනුත් ආගමික වශයෙනුත් පාවිච්චි කිරීම පිළිබඳව අපට උදාහරණයක් සපයයි. මාධ්‍ය ආයතනවල නැරඹීම් සංචිත පුළුල් කර ගැනීම වෙනුවෙනුත්, තම ආගමික ලබ්දිය වෙනුවෙනුත් දරුවන් භාවිත කිරීම එකම දෙයකි.

මෙවැනි තත්ත්වයක් ඇති රටක දරුවකුගේ අධ්‍යාත්මික බලාපොරොත්තුව සුන් වී යාම ද එක් අතකින් බරපතල තත්ත්වයකි. එවැනි අධ්‍යාත්මික බලාපොරොත්තු දරුවකුට නොමැති වීමට හැකියාවක් නැත. නමුත් ඒ බලාපොරොත්තු ඉටු කරගැනීමට ඇති වටපිටාවේ සමාජ දේශපාලනික ප්‍රශ්නය විසින් ඔවුන්ව නවත්වා ගැනීමට සමාජයක් ලෙස අපට සිදුව ඇත.

දරුවන්ගේ දුප්පත්කමට විසඳුමක් ලෙස පැවිද්ද ලබා දීම
හතර කේන්දරය පාළු වීමට විසඳුමක් ලෙස පැවිද්ද ලබා දීම
දරුවන්ගේ මානසික කායික දුර්වලතා නිසා පැවිද්ද ලබා දීම
සිංහල බෞද්ධ කම රැකගැනීම සදහා විසඳුමක් ලෙස පැවිද්ද ලබා දීම

යන සමාජ දේශපාලනික උවමනාවන් වෙනුවෙන් වෙනුවෙන් දරුවන් අවභාවිත කරන සමාජ දේශපාලනික යථාර්ථයක් අබිමුව දරුවන් පැවිදි කිරීමට විරුද්ධ විය යුතුමය. එය අපගේ පුරවැසි යුතුකමක් සේම ශිෂ්ට සමාජයක ගතිලක්ෂණයක් ලෙසද දකිමි.

මේ තත්ත්වයන් වළක්වා ගැනීම උදෙසා මාගේ යෝජනාව වන්නේ;
තමන්ගේ අවබෝධ සීමාව පැමිණි විට සසුන කරා පැමිණීමට ඕනෑම අයකුට ඉඩ හසර දීම, කන්න නැති, දුප්පත්, මව්පියන් නොමැති, සමාජ හිංසනයන්ට ලක් වූ දරුවන් වෙනුවෙන් නිසි අධීක්ෂණයක් යටතේ බෞද්ධ ආයතන නිර්මාණය කිරීම, ලිංගික හිංසකයන්, වදකයන් වැනි වැඩිහිටි භික්ෂූන් බුද්ධ දේශනාව මත හික්මවීම. යන කරුණුයි.

ඒ හැර පංසල අතුගා ගැනීමට, දායකයන්ගේ වැඩ ටික කරගැනීමට අවැසි මානව සම්පත පංසල තුළ නොමැති වූ වහාම දුෂ්කර ගම් පීරා ගෙන අවුත් "සබ්බ දුක්ඛ නිස්සරණ" යැයි කියා පැවිදි කොට ළමා දිවියක විදිය හැකි සෑම දුකක්ම විදින්නට සලස්වන ළමා පැවිදි කිරීම් එතැනින් නොනැවතී ලිංගික අඩත්තේට්ටම් දක්වා දිවයන මෙකී කාරණය පිළිබඳව පමණක් නොව; මහමෙව්නා අසපු හරහා සිදු වන තරුණ හිංසනයද අප කතා කළ යුතුව ඇත. විරුද්ධ ව යා යුතුව ඇත.

දැන් තිබෙන සාසනය කාටවත්ම සුවදායක නැත. සසුන, රට, ජාතිය, ආගම වැනි සංවේදී කාරනා වැඩි වැඩියෙන් තම ආර්ථික උවමනා වෙනුවෙන් යටත් කර ඇති බහුතර සමාජයක වින්දිතයන් වන මට ඔබට මේ කිසි දෙයක් සුබ, සුව නැත.


සේයාරුව - ජනයුගය වෙබ් අඩවියෙනි.

4 comments:

  1. හාමුදුරැවන්ගේ ඉතාමත් වටිනා ලිපියට ස්තූතියි.

    ReplyDelete
  2. මමත් ලමා මහන කිරීම් වලට විරද්ධයි.

    කරන්න තියෙන හොඳම දේ තමයි. බෞද්ධ ගිහියන් සමඟ කටයුතු කරන්න ගනින්නාන්සේ සම්ප්‍රදාය වගේ එකක් හදා ගැනීම.

    ReplyDelete
  3. කුඩා ළමුන් මහණ කිරීමත් බාල වයසේ දැරියන් විවාහ කරවීමත් යන දෙකම නතර කිරීමට කාලයයි. එක රටක් එක නීතියක් ඇති විය යුතුමයි.භද්දිය හාමුදුරුවන්ගේ බොහෝදේ සමග එකඟ වන නමුදු කුඩා ළමුන් මහණ කිරීම ගැන එකඟ විය නොහැක.උන්වහන්සේ සමග සරසවි වරම් ලැබූ භික්ෂූන් එක්සිය අට නමක් අතුරින් තමන් සමග උපාධිය සමත්වී චීවරයද දරාගෙනම ඉන් පිටවූයේ අට නමක් පමණක් බව උන්වහන්සේම පවසයි නම් භික්ෂූත්වය සඳහා කෙනෙකු තුල ඇති කැමැත්ත අකමැත්ත ගැන තව කතා අනවශ්‍යය.

    ReplyDelete