Monday, January 8, 2018

බුදුදහම ආධ්‍යාත්මික විමුක්‌තිය සඳහා පමණක්‌ උපදෙස්‌ දෙන සර්ව අසුබවාදී දර්ශනයක්‌ ඉදිරිපත් කරන දහමක්‌ බව ලෝකයේ ඇතැම් උගතුන්ගේ මතයයි. එබැවින් ලෞකික විෂයානු බද්ධ සෞන්දර්ය රසාස්‌වාදය පිණිස බුදුදහමින් ඉඩක්‌ නොලැබෙන බව ඔවුන්ගේ අදහසයි. එය සපුරා වැරදි මතයකි. සැබෑ වූ සෞන්දර්ය යනු මිනිස්‌ මනසේ යථාර්ථවාදී සිතුවිලි අවදිකිරීමකි. බුදුදහමේ ද මූලික ඉගැන්වීමක්‌ වන පටිච්චසමුප්පාදය තුළින් සිදු කොට ඇත්තේ ලෝකයෙහි ඇති සැබෑ වූ තත්ත්වය යථාර්ථවාදීව දේශනා කිරීම ය. සුන්දර යෑයි ලාමක පුරුෂයන් විසින් ඇලෙන ලද බොළඳ රාගික වූ ද ශෘංගාරාත්මක වූ ද විඳීම් හා ආශ්වාදයන් බුදුදහමින් ප්‍රතික්‍ෂේප වන අතර ඇලීමෙන් තොරව සෞන්දර්ය රසාස්‌වාදය මඟින් අත්විඳින ධාර්මික ප්‍රීති සුවය බුදුදහමෙන් අගය කරනු ලබයි. සෞන්දර්ය මඟින් ජනයා මුසපත් කිරීම බුදුදහමින් ප්‍රතික්‍ෂේපිතය. එනිසා ම බෞද්ධ පඬිවරුන් බෞද්ධ කලාවේ සෞන්දර්යාත්මක පරමාර්ථ ලෙස දක්‌වා ඇත්තේ ප්‍රසාදය හා සංවේගය පමණි.
  බුදු දහම ඇසුරින් ප්‍රකට වන විශේෂ ලක්ෂණයක් නම් සෞන්දර්ය හෙවත් සුන්දරත්වය අගය කිරීමයි.ප්‍රීතිය,සුවය,සහනශීලීත්වය වැදගත්කොට සැලකීමයි.එබඳු චරිතයකින් යුක්ත පුද්ගලයා දෙලොව ජයගන්නා බව බුදුන් වහන්සේගේ දේශනාවයි.
      දුකෙන්,ශෝකයෙන්,භීතියෙන් යුතු පුද්ගලයා ආත්ම විමුක්තිය නොලබයි.මෙලොව උසස් ජීවිතයකට හිමිකම් කියන පුද්ගලයෙකු නම් හෙතෙම සෞන්දර්ය තුල නිමග්න වීම අත්‍යාවශ්‍ය කරුණකි.
       සුන්දර වස්තුවක ඇති සුන්දරත්වය දැකීම යනු ඇත්ත අැති සැටියෙන් දැකීමයි.යථාර්ථාවබෝධී චින්තනයකට මිනිසාව හුරු කරවන්නේ මේ ඇත්ත ඇති සැටියෙන් දැකීමේ කලාවයි.සෞන්දර්ය හා සම්බන්ධ රසාස්වාදය ධාර්මික ප්‍රීති සුවයක් ලෙසින්ද අරුත් ගැන්විය හැකිය.
       බුදු , පසේ බුදු , මහරහත් , යන උතුමන් වහන්සේලා සියුම් නුවනකින් හෙබියාවූ මානව දයාවෙන් ඔද වැඩුණු අයවලුන්ය.ඔවුන් තුලින් ගලා ගෙන එන නිරායාසික සිතිවිලි පරම්පරාවන් තුලින් එක්තැන් වන වචන සමුදායන් ඉතා රසවත්ය.නිරාමිසය.තෘෂ්ණාවෙන් තොරය.
 "....රමණීයං ආනන්ද වේසාලිං ,රමණීයං ආනන්ද උදේන චේතිංයං, රමණීයං ගෝතම්බ චේතියං ,රමණීයං සත්තම්භ චේතියං,රමණීයං බහුපුත්ත චේතියං,රමණීයං චාපාලචේතියං..."
    මේ අයුරින් බුදුන් වහන්සේ ආනන්ද හිමියන් අමතා කල ප්‍රකාශනයෙන් තහවුරු ⁣වන්නේ බුදුන්වහන්සේ සොදුරු අවස්ථාවන් අගය කල බවය.භාරතයේ පැවැති පැරණි චෛත්‍ය බුදුන් වහන්සේගේ නෙත ගැටෙයි.ඒ ධර්ම චාරිකාවෙහි යෙදෙන අවස්ථා වලදීය.ඒ අවස්ථාවන් උන්වහන්සේ පහදවා ගන්නේ සෞන්දර්ය කාමියෙකු වන බැවිනි.
      දීඝ නිකායේ සක්ඛපඥ්ඤ සූත්‍ර දේශනාවේදී පඤ්චසික නම් වීණා වාදකයාගේ වීණා වාදනය අසා ඔහුගේ ගායනයට සරිලන වාදනයත් වාදනයට සරිලන ගායනයත් අසා උන්වහන්සේ ප්‍රීති ප්‍රමෝදයට පත්වූ අවස්ථාව ඉතාමත් ආනන්ද ජනක සිද්ධියකි.
   බුදුන් වහන්සේ එවන් වූ අතීශන් ශෝභාමත් දෑ වර්ණනය කිරීමටද , දැකීමටද ප්‍රිය කල බව තුලින් පැහැදිලි වන්නේ උන්වහන්සේ සෞන්දර්ය විශයෙහි තද අැලුම්කමක් දක්වා ඇති බවයි.

 බුදුන්වහන්සේගේ පටන් උන්වහන්සේගේ ශ්‍රාවක ප්‍රජාව කෙරෙහිද මේ අළුම් කම ඇති වූ බව දැක්විය හැකි කාරණා ඛුද්දක නිකායේ තේර ගාථා ⁣,තේරි ගාථා තුලින් අවබෝධ වේ.
 
   අනේක ජාති සංසාරං සන්ධාවිස්සං අනිම්බිසං ගහකාරක ගවේසන්තෝ දුක්ඛාජති පුනප්පුනං ගහකාරක දිට්ඨෝසි පුනගේහං නකාහසි සබ්බා තෙ ඵාසුකා භග්ගා ගහකුටං විසංඛිතං විසංඛාරගතං චිත්තං තණ්හානං ඛයමජ්ජ ගා” (ධම්මපද පාලිය – ජරාවග්ගය)
   අනේක වූ මේ සංසාරයෙහි ගෙය හදන වඩුවා සොයමින් ඇවිද්දෙමි ඒ නමුදු ඔහු ඉතින් හමුවූයේ නැත්මැයි.යළි යළිත් ඉපදීම දුක්වේය සසරේ වඩුව, තොප දුටිමි මම යළි මේ ගෙය හදනු නැත පරාලද බිඳ දමා කැණි මඩල සුන් කෙළෙමි රහත් බැව් ලදිමි මම සිත නිවන් පිවිසියේ” (ධම්මපද ගීතය – ඩබ්ලිව්.ඒ. අබේසිංහ)
   සිද්ධාර්ථ බෝසතුන් තම බුද්ධත්ව විජයග්‍රහණයෙන් පසුව උදාන වාක්‍ය දේශනා කලේය.ඉහත සඳහන් වන්නේ එම උදානයයි.ලෝකයේ විශිෂ්ඨතම කාව්‍ය ලෙස බෞද්ධ සාහිත්‍යයේදී අරුත් ගන්වන මෙම උදාන ප්‍රීති වාක්‍යනම් අතීශයින්ම රමණීයය, පියකරුය,සිත් ඇද බැඳ ගන්නා සුළුය.
   පූජ්‍ය,ලබුහේනේගොඩ චන්දරතන හිමියන් බුදුන් වහන්සේගේ මෙම ප්‍රථම උදානය පද්‍යයට නඟා ඇත්තේ මෙසේ ය.

“ගෙය හදලා පැනල ගිහින්
හැංගි හැංගි හොරා වගේ
මෙච්චර කල් බේරුණාට අද අතටම අහුවුණා.
නුඹ සොය සොය මෙපමණ කල්
දුවල දුවල දුක් වින්දෙමි
වඩුවා නුඹයි ගෙය හදාපු අද අතටම අහුවුණා.
ඕං.. වඩුවෝ බලා ගනින් ගෙය හදලා අවසානයි
අදින් පස්සෙ උඹට මෙතන ගෙය හදන්න ඉඩ නොතබමි
ජරස්... බරස්... පරාල ටික
බිඳ දැම්මා කැණිමඩලත්
සුන් කෙරුවා
ගෙය ගැන තිබූ ආසාවත්
අදින් පස්සේ අවසානයි
මගේ හිතට සැනසීමක් අදයි ලැබුණේ වඩුවෝ....”
 
   බුදුන් වහන්සේගෙන් පටන් ගන්නා මේ උදාන වාක්‍ය හෙවත් තේර , තේරි ගාථා සාහිත්‍ය නම් පිටුවකින් හමාර කල නොහැකි ලියමනකි.
       තම ආධ්‍යාත්මික දියුණුවෙන් පසු වින්දනීය ආකල්පයන් තම මනස තුල හැඩගැසෙන සැටි අපූරුය.
       "පීති වේග සමුට්ඨාපිත උදාහාරො උදානං" යන පාලි අටුවා සටහනට අනුව උදාන යනු අතිශයින්ම ප්‍රීතිමත් අවස්ථාවකදී මුවින් පිටවන වචන උදානයි.
       සප්පක හිමියන්ගේ උදානය ඉතා රමණීයය.
"යදා බලාකා සුචිපණ්ඩරච්ඡදා
කාළස්ස මේඝස්ස භයෙන තජ්ජිතා
පලෙහිති ආලයමාලයෙසිතී
තදා නදී අජකරණී රමෙති මං"
                  - සප්පක තෙරුන් -

තැති ගනී දැක වැහි වලාවන්
විදාගෙන සිය සුදු පියාපත්
කොකුන් පිහඹනනවාතැන් වෙත
නදිය අජකරණී
වේය මට අතිරමණී
    වර්ෂා පතනයක් ආසන්න වූ මොහොතක දී පරිසරයේ සිරි නරඹමින් සිටි සප්ප තෙරුන් ඒ තුලින් ලැබූ ආශ්වාදය කෙතරම්නම් රමණීයදැයි සිතන්න.
   
වස්සති දේවෝ යථා සුගීතං
ඡන්නා මේ කුටිකා සුඛී නිවාතා
තස්සං පවත්තාමි වූපසන්තෝ
යංතේ පත්ථයති පවස්ස දේව
        - ගිරිමානන්ද තේර ගාථා -
"වැස්ස ගීතවත් ලෙස වහී
මගේ කුටිය ඉතා හොදින් සෙවිලි කර ඇත.
එබැවින් මම,
නිවුනු සිතින්
මෙහි වාසය කරමි.
වැස්ස,
නුඹට කැමති තරමින්
වැහැපන්"
   ගිරිමානන්ද නම් රහත් උතුමන් වැස්ස අවස්ථාවකදී කළ ප්‍රකාශයයි ඉහත දැක්වෙන්නේ.
   උන් වහන්සේගේ එම උදානය තුල ගැබ් වන යටි අරුත කෙතරම් රමණීයද? තමන් තම සිතෙහි පවත්නා කෙළෙස් හැගීම් යටපත් කර ඇති බැවින් කෙතරම් ක්ලේෂස්ඛන්ධයන් තමන් වෙත පැමිණියත් තමන් ඒවා තමන්ගේ කර නොගන්නා බව උන් වහන්සේ පවසන අයුරු නම් මා සිත ආනන්දමත් කල බව කිව යුතුමය.ඒ වටපිට පවත්නා කෙලෙස් මුල් වලට උන් වහන්සේ ආමන්ත්‍රණය කරන්නේ "වැස්ස" යන සෞන්දර්යාත්මක සංසිද්ධියෙනි.එසේම තමන් සිත තවා ඇති බව පවසන්නේ "මගේ කුටිය ඉතා හොදින් සෙවිලි කර ඇත" යනුවෙනි.මෙතරම් වූ නිමල කරුණක් කාම උපමේයක් තුලින් පවසන අපූරුව මසිතට මහත් ප්‍රීතියකි,ආනන්දයකි.
 
"වනය,මොහොලය,කුදු හිමිය,
යන
තුන් ඇදයෙන්ම
මනාව මිදීමෙන්
මිදුනෙමි.
භව තෘෂ්ණාව නසා
ජාති මරණ දෙකින්
මිදුනෙමි"
  - මුත්තා තෙරණිය -
මුත්තා නම් තෙරණියගේ සැමියා කුදෙකි.ඔහුගේ බිරිය වී සිටියදී ඈ වී කෙටුවාය.වී කොටන විට වනට වී දැමීමට යන විට කොන්ද වක ගසා නැමිය යුතුය.මොහොල ගෙන වී කොටන විට ද කඳ නැමිය යුතුය.ඇගේ සැමියාද කුදෙකි.තුන් කුදය එයයි.මේ රචනය තුල ඇති අව්‍යාජත්වය නම් කෙතරම් සිත් ගන්නා සුළුද.?

"මිඳුණා ! මිඳුණා ! කෙලෙසුන්ගෙන්
හිරි නැති සැමියා ගෙන් හා මොහොලෙන්
 අැඟිලි කැපෙන කුළු පොතු වියුමෙන් හා
 සැලියෙන්ද නඟන දිය නයි ගඳ
 මිඳුණා ! මිඳුණා ! මනාව මිඳුණා !

නසමි රාගය ද්වේශය තරයේ
'චිච්චිටි චිච්චිටි ' හඬිනේ
ගොස් හිඳ රුප්පාවෙහි බැතිනි
'අහෝ ! සැපයි,අහෝ ! සැපයි '
කියා වඩම් බවුන් පහන් සිතින්
        - සුමංගල මාතා -
සුමංගල මාතාව බට ලී තලා කුලු පොතු විවීමෙන් ජීවත් වූවකුගේ බිරිද වූහ. යැයි හැගේ.ඈ වී කෙටීමෙන්ද , කුලු පොතු විවීමෙන්ද,සැලි වලන් සේදීමෙන්ද මිඳුණා යන්න පවසන අයුරු මනරම්ය.ඒ ප්‍රීතියේ තිව්‍ර බව වැඩි කරන්නේ
"මිඳුණා ! මිඳුණා ! මනාව මිඳුණා !" යන වශයෙන් කෙරෙණ තුන් විඩක ප්‍රකාශයෙන්ය.මම "චිච්චිටි චිච්චිටි"යන හඩින් රාගයත් ද්වේශයත් තලා නසමි යන ප්‍රකාශය කරන්නේ අද්දැකීම් සහිතවය.ඇයගේ සැමියා බට ලී තලන හඩ ඇයට තම උදානයේදී සිහිපත් වෙයි.
සුභා නම් තෙරණිය සංසිද්ධියේදී තමන් පසු පස එන අවස්ථාවකදී මෙසේ පවසයි.එයද රමණීය වහරකි,උදානයකි.
" ගැනුමට සඳ මඬල කෙළියට
මෙර ගිර හිසින් පනිනට
නැති මඟක යන්නට
තැත් කරන සේ නුඹ
බුදුන් දූ වන මා පතන්නෙද?
ගිනි අඟුරු ඇග දවන
විස බඳුන දිවි නසන
වැනි රාග සිත් මුලින්
හළෙමි උඳුරා!
දැන් ඒ කුමක්දැයි නොදන්නෙමි.

අට මගින් යුතු රියෙහි නැග යන
සම්බුදුන්ගේ දුවක් වන මම
උදුරා හෙළි කල රාග උල් ඇති
ජන සුන් තැන හිඳ කරමි රමණය.
      - සුභා තෙරණිය -
මෙහි එන සෞන්දර්යාත්මක භාෘ බාවිතය අපූරුය.එසේම දෙවන උදානයේදී ගැනෙන
"අට මගින් යුතු රියෙහි නැග යන
  සම්බුදුන්ගේ දුවක් වන මම"
   යන අවස්ථාවද අතිශයින් අලංකාරය.ඇය ඉන් අදහස් කරන්නේ ආර්ය අෂ්ඨ අංග මාර්ග පවතින බුදුන් වදාල මාර්ගයෙහි තමන් යන බවයි.ඉන් පැවසෙන ව්‍යාංගාර්ථවත් බස් වහරද ඉතා අපූර්වයි.
   බෝධි තෙරණිය විසින් ඉසිදාසි තෙරණිය වර්ණනාවට බදුන් කරණ ආකාරය සේම  අවස්ථාවද ඉතා මනරම්ය.වත්මනෙහි නම් කාන්තාවක් තවත් කාන්තාවකගේ ගුණයන් පවසයිද?එය මෙසේය.,
       " ඉසිදාසි නුඹ උතුම්
          නොපිරිහුණු විය නිසා
          පෑ විහිදන රූ ඇත්තී
          දැක කුමණ නපුරක්
          නික්මීද ගිහි ගෙයින්"
                     - බෝධි තෙරණිය -

 තේර ,තේරි ගාථා  තුලින් හෙළිවන භාෂාව මනරම්ය එය සාහිත්‍යවේදනීයය.එසේම ඒවා නිවන සේම ලෞකිකයද මනා කොට පසක් කරණ උදානයන්ගෙන් පූර්ණය.
 මාටින් වික්‍රම සිංහයන් තම "සාහිත්‍ය කලාව" කෘතියේදී මෙවන් අදහසක් දක්වයි.

  "ඇතැම් තේරි ගාථා වලීහු වනාහී ජීවිතය නැමැති සයුර කිමිද ශ්වාසය නිරුද්ධ කරන තරම් වූ ගැඹුරෙහි තතු හෙළි කරන නිර්භය කිමිදුම් කාරයන් වැන්න"

මේ අයුරින් හෙළි වන තේර තේරි උදාන වාක්‍ය කියැවීමේදි මට මතුවූ කාරණාවක් නම් මේ අයුරින් දැක්වෙන තේර තේරි ගාථා සාහිත්‍ය නම් අපේම සාහිත්‍යයය.එය තුල කිදා බැස ඇත්තේ පුද්ගලයා විසින් විදින ලද කටුක අද්දැකීම් වල අවස්ථාවන් හා තමන් ඒ දුක් කම්කටොලින් බැහැරව ගෙවෙන පැයේ ගෙවන සංතුශ්ටිමත් බවයි.
 සාහිත්‍ය යනු යමෙකු විසින් විදින ලද්දක් අනෙකාට විදින්නට සලස්වා දීමයි.අදට වඩා එකල එය මනරම්ව සිදු කර ඇති වග බෞද්ධ සෞන්දර්යාත්මක සාහිත්‍ය අධ්‍යයනයේදී පැහැදිලි වේ.

පූජ්‍ය.ගුරුගොඩ සිරිවිමල හිමි

No comments:

Post a Comment