Tuesday, May 29, 2018

මල් කැකුළු නොතලන්න

මේ ලියන්නේ අනේක ආදරයක් හදවතේ කැටි කරගෙන. ඇත්තෙන්ම කිව්වොත් මාස ගාණක් හිතේ තියාගෙන මම මේ අද්දැකීමෙන් පීඩිත වුණා.

මේ ළඟකදි හරියටම කිව්වොත් අප්‍රේල් වෙසක් පෝයෙදි මට ඉස්කෝලෙක බණකට ආරාධනා කරා. පුංචි එවුන් ඉන්න ප්‍රාථමිකයක. ගොඩක් ආසාවෙන් බණ ආරාධනාව පිළිගත්තෙ හිතවතෙක්ගෙ දැනුවත් කිරීමක් හරහා විදුහල්පතිතුමා පංසලටම ඇවිත් ආරාධනා කරපු නිසා. ඒ වගේම බණට ගියෙත් බණ කිව්වෙත් හරි ආසාවෙන්.

බණ ඉවර වුණාට පස්සෙ පිරිකර එහෙමත් ගොඩක් පූජා ලැබුණා. මං හිතන්නෙ විදුහල්පතිතුමා හැම ළමයෙක්ට ම කියල තිබුණ මොනා හරි ගේන්න කියල. ඉතිං ඔහොම මාත් පිරිකර පිළි අරං මං ආපු කාර් එකේම පිරිකර ටිකත් දාගෙන පංසලට ආව.

ඇවිත් කාමරේට එහෙම ඇවිල්ල පිරිකර ගොඩක් තිබුණ නිසා පිළිවෙලට ඒව අඩුක් කරන්න ඕන කියල හිතුණෙ ලෝභකමකට එහෙම නෙමෙයි. ඒව මේ සැරේ සිහළ සවියෙන් කරපු ඉවෙන්ට් එකට වටීවි කියන තන්හාවෙන්.

මුලින්ම පොත් බන්ඩල් ටික අඩුක් කරා. අමතරව පොත් වගයකුත් තිබුණ.ඒවත් අර ගොඩටම දාන්න හිතල අතට අරං බැළුව.පොත් පරණයි. පාවිච්චි කරපු පොත් කියල මට ගත්ත ගමන් හිතුණ.ඒ හිතිවිල්ලත් එක්කම මම පොත් පෙරළල බැලුව.

ඔන්න ඒ වෙලාවෙ තමයි අඩන්න හිතෙණ සිදුවීම වුණේ. එක පොතක දාල තිබුණ කවරෙ ගලවල, ස්ටේපර් කරපු කටු පාරවල් ඒ විදිහටම තිබුන. තව පොතක් බලද්දි ඒ පොතේ ලියපු පිටු ඉරල. ඒක මම දැන ගත්තෙ අර ලියපු අකුරු තද වැඩි නිසා අනික් පිටුවලත් පාර වැදිල තිබුණ නිසා. තවත් පොතක "අකුරු" කියල එහෙම්මම ලියල තිබුණ. මං හිතන්නෙ ඒ ළමය අකුරු පුහුණුවට පාවිච්චි කරපු පොත ඒක.

මගෙ ජීවිතේ අප්‍රමාණව බණ කියල ඇති. පිරිකර පිළිගෙන ඇති. ඒ කිසිම තැනකදි මට දුකක් ඇති වෙලා නෑ. කැම්පස් එකේ ලෙක්චර්ස්ල එක්ක දුකක් කියල දෙයක් දැනෙන්නෑ කියල දාර්ශනික පැතිකඩක් කතා කරපු මට දුක හිතිච්ච, දැනච්ච දවසක් තමයි එදා.

ළමයි පිරිකර පූජ කරන එක කමක් නෑ. මම පින්, පව් පිළිගන්නව. ඒ වගේම තමයි මගෙ ශීලය ගැනත් මට බයක් නෑ. මම පිරිකරක් පිළිගන්න සුදුස්සෙක්. හැබැයි ඒක නෙමෙයි කාරණාව...

වෙසක්, පොසොන්වලට සිල් ගනිල්ල කියල රජයෙන් චක්‍රලේඛ එවන ගොබ්බ රාජ්‍යය නිලධාරීන්ට බැරි ඇයි ඒත් එක්කම පිරිකරයක් එවන්න? දුප්පත් ළමයි තමන්ගෙ බැරිකමට තමන් ලියන පොත ඉරල ඉතිරි ටික පූජ කරනකල් බලන් ඉන්න ඒ රාජ්‍යය නිලධාරීන්ට පුළුවන්කමක් තියෙනවද? ඒ අහිංසක පැටව්න්ගෙ හිත් තැළිල තැළිල ගන්නම දෙයක් නැති කරල හැදෙන අනාගත පරපුරෙන් රටට මොකද්ද වෙන්නෙ? 

ඉස්කෝලවලට ආගම අනවශ්‍යයි කියල කෑ ගහල කියන්නෙ ඒ නිසයි. තමන්ගෙ පාඩුවෙ ආගම අදහන්න නොදී බලකරල ආගම් අදහවන්ඩ රාජ්‍යය පරිපාලකයන්ට පුළුවන් ද? මේව හරි භයානක වැඩ විදියට දකින්න අපි පුරුදු වෙන්න ඕන.

ළමයෙක්ට ලියන්න තියෙන පොත පූජා කිරීම සම්බන්ධයෙන් ඒ ඇතිවෙන ශ්‍රද්ධාව සහ පින පැත්තක දාන්න අපිට බෑ. ඒත් පුළුවන් තරම් මේ ව්‍යසනය අඩු කරගත්තොත් ඉදිරියේදි පුළුවන් වෙයි ළමයින්ට පිරිකරයටත් පොතක් තියාගෙන ලියන්නත් පොතක් ඉතිරි කරගන්න.
ළමයි පව්! පාලකයිනි ඒ ළමයින්ට ඔබලා විසින් ඉගැන්වීම පමණක් සිදු කරන්න!! ඒ හොඳටෝම ඇති. ළමයි කැමති ආගමක් ඒ දරුවන්ට නිදහසේ අදහන්න දෙන්න. බල කිරීම් අනවශ්‍යයි.
gurugoda 02
gurugoda 01
gurugoda 03
ගුරුගොඩ සිරිවිමල 




5 comments:

  1. අනේ හාමුදුරුවනේ ඔබ වහන්සෙගෙ කතාව දෝත් මුදුන් දීල පිළිගන්නවා. ඉස්කෝල වලට ආගම් අනවශ්‍යයි. ඒ විතරක් නෙවෙයි රාජ්‍ය පාලනයටත් ආගම් අනවශ්‍යයි. නමුත් දැන් මේ හැම දේම පටලවාගෙන ලිහන්න බැරි විදියේ අවුලක් ඇති කරලා. ඉතින් කුමක් කරන්නද?

    ReplyDelete
    Replies
    1. මේ රටේ මුළු සිස්ටම් එකම විහිළුවක්

      Delete
  2. Well said venerable.

    ReplyDelete