Monday, August 1, 2022

අකාලික සඳ එළියක සිහිලස

මීට හරියටම මාස හතරයි දින දෙකකට පෙර මගේ සමීපතම මිතුරියක් මිය යනව. ඒ පිළිකා රෝගයකින් පීඩා විඳල. ඇය වයස අවුරුදු තිහක පමණ තරුණියක්. විනාහකයි. පුංචි දරුවො දෙදෙනෙකුගෙ මවක්. එයා අසනීප වෙලා හිටිය කාලයෙ මාත් එක්ක කිව්ව දෙයක් තමයි; “හාමුදුරුවනේ! මම නැති වුනාම මගෙ බබාල දෙන්නයි මහත්තයයි කොහොම ජීවත් වෙයිද කියල මට හිතාගන්න බැහැ” කියල. සහ මට එයාව දැනුන තේරුණ තරමින් එයාගෙ ලෙඩේට වඩා එයා මේ ප්‍රශ්නය නිසා පීඩා වින්ද. එයා නිතරම ඒ දේවල් ගැන කල්පනා කළා. ඔබට තේරෙනව ඇති ජීවිතේ පටන් ගත්ත මුල් අවධියෙම ඒ ජීවිතයෙන් සමුදෙන්න සිද්ධ වෙන එක කොච්චර වේදනාවක්ද කියල.

ඉතින් මගේ මිතුරිය ඒ දේවල් ගැන හිතමින් ඉන්නැද්දි රෝගය දරුණු වීමෙන් මිය යනව. ඒක අපි කාටවත් දරා ගන්න පුළුවන් ලේසි පහසු වේදනාවක් නම් නෙමෙයි. මම ඇත්තෙන්ම ජීවිතේ අහිමි වීම් සහ එහි වේදනාව කියන දෙය හොඳටම ඉගෙන ගත්තෙ මගේ මිතුරියගෙ අභාවය නිසා වෙන්න ඇති කියල මම හිතනව. මට දැනෙන ඒ වේදනාව සැමියෙක් විදියට මගේ මිතුරියගේ සැමියාට මොන තරම් දැනෙනව ඇතිද?

මම දන්න මගේ මිතුරිය නිරෝගීව ඉන්න කාලයෙ බබාල දෙන්නගේ සහ සැමියාගේ වැඩකටයුතු සියල්ලක්ම හොඳින් කරගෙන හිටිය කෙනෙක්. මම හිතන්නෙ සැමියා ගොඩක් නිදහස් වුනා එයාගේ ඒ ආදරණීය මැදිහත් වීම් නිසා. කෑම බීම සැකසීම, ඇඳුම පැළඳුම, පමණක් නෙමෙයි ඊට වඩා වැඩි යමක් ඇයගේ ආදරණීය මැදිහත් වීම් අතරෙ සිදුවෙන මොහොතක නිදහස් ජීවිතයක් වින්ද එයාගෙ සැමියාට මොන තරම් වේදනාත්මක මතක ගොඩක් ඉතිරි වෙනවද ඇය සමීපව ගතින් නැතිව වුනත් ජීවිතය ආලෝකමත් කරගන්න.

කෙසේ වෙතත් මම මිතුරෙක් විදියට සමීප වුන හැම වෙලාවකම ඒ සැමියාගේ වේදනාව මට පේනව. මිතුරිය ජීවත් වෙලා හිටි කාලෙට වඩා මිතුරියගේ සැමියාගේ ජීවිතය අපහසු බව මට දැනුන. මම ඒ දේ ගැන කල්පනා කරපු වෙලාවක මගෙ අතින් කවියක් ලියවෙනව.


ශතක සියයක සහස්‍රක භද්‍ර කල්පයෙක
මීන නයනිය සාදු සම්මත ප්‍රේමිය
හීන දහසක සයනයේ මා සතපන
පිරිත් ස්වරයකි මතක අනු; සදාකාලික

සිනහ රැල්ලය, රවා බැලුමය, රිඇක්ෂන් දහසක
නුඹේ නොනිදන ආදරේ පිටිපසින් සිට එඹී බැලුමය
තාරකා ඝණඳුරේ තනිකරනු මැන හිතවතිය මේ සැම
නිද්‍රාවේම තබා මා අකාලික සඳ එළිය නිවී යනු මැන

මහපොළව යට සීතලේ ගුලි වෙලා
ඔයා ඇස් ඇරන් ඇති
මතක මංපෙත් දිගේ තවම
දිගුම දිගු කල්පනාවක ඇති
Strong Tea එහෙම
ගෙනත් දෙන්නට හිතෙනවා ඇති
කමක් නෑ ඔබ ඉන්න

සරතැසින හඳ මැඳුර පිරී යන වෙලාවක සැඳෑවක
මධු බඳුන් පුරවා මේස මත තබන්නට පැමිණෙන්න
දැන් ඉතින් එහෙම බෑ මම දනිමි සුර කෙල්ල
සීතලේ ගුලිවෙලා නිදියන්න - මම පතමි සුව නින්ද

මහන්සිත් ඇති යැයි සිතා
මා කරා එන්නට සිතෙනවා ඇති
එන්න බැරි වුනත් මං දන්නවා
Strong Tea එකක් වෙලා හරි
ඔයා මගෙ දිහා බලාගෙන ඉන්නවා…!


-ගුරුගොඩ සිරිවිමල-

ඉතින් ඊට පස්සෙ?
ඊටත් පස්සෙ මට හිතෙනව මේක ගීතයක් බවට පත් කරොත් හොඳයි කියල. සමහරවිට ඒක මම මගේ මිතුරිය වෙනුවෙන් දෙන හොඳ තෑග්ගක්, මතකයක් වේවි කියල මට හිතුන. ඒ විදියට තමයි මම මේක ගීතයක් ලෙස නවීකරණය කරල තරිඳු දම්සර මගේ මිත්‍රයාට යවන්නෙ. ඒ මේ විදියට.

ශතක සියයක සහස්‍රක බද්‍ර කල්පෙක
මීන නයනිය සාදු සම්මත ප්‍රේමිය
හීන දහසක සයනයේ මා සතපන
රාත්‍රිය නුඹ මතක අනු; අවුලන

සිනහ රැල්ලය, රවා බැලුමය, රිඇක්ෂන් දහසක
නුඹේ නොනිදන ආදරේ පිටුපසින් සිට බැළුමය
තාරකා ඝණඳුරේ තනිකරනු මැන හිතවතිය මේ හැම
නිද්‍රාවේම තබා මා සඳ එළිය නිදියනු මැන
අකාලික සඳ එළිය

සරතැසින හඳ මැඳුර පිරී යන වෙලාවක සැඳෑවක
මධු බඳුන් පුරවා මේස මත තබන්නට පැමිණෙන්න
දැන් ඉතින් එහෙම බෑ මම දනිමි මුවැත්තිය
සීතලේ ගුලිවෙලා නිදියන්න - මම පතමි සුව නින්ද
අකාලික සඳ එළිය

තනු නිර්මාණය : තරිඳු දම්සර
පද රචනය : ගුරුගොඩ සිරිවිමල
ගායනය : ආකාශ් සචින්තන

කෙසේවෙතත් අපේ ජීවිත වල සමහර හිස්තැන් තියෙනව. ඒව අපට පුරවගන්න අමාරුයි. කෙනෙක් සමඟ සතුට-දුක වේදනාව එක්ක නිවාගත්ත ජීවිත වෙහෙස හිටිවනම නවතින එක අමාරු හැඟීමක්. ඒව වචන කරගන්න පවා අපි අපොහොසත්. ඒවට ප්‍රතිචාර දක්වද්දි ජීවිත විඩාවට වැඩියමක් අපට ඉතිරි වෙන්නෙ නැහැ. ජීවිතය පමණක් නෙමෙයි. ඕනම දෙයක යථාර්තය මේකනම් මේ යථාර්තයට මුහුණ දීමට වඩා දෙයක් අපට කරන්න බැහැ.

නමුත් අහිමි වී යාමක රසවත්ම දේ තමයි තව තවත් ඒ අය අපට ලං වෙලා කියන එක. අපට අමාරුම තැන්වලදි ඒ අයගෙ හෙවනැල්ලක් අපේ පසුපසින් නිතරම පවතිනව. හරියට වැඩ අධික වෙලාවක අපි කහට කෝප්පයකින්, කෝපි කෝප්පයකින් විඩාව නිවාගන්නව වගේ වැඩක් ඒක.
මට හිතෙන්නෙම මගේ මිතුරිය ඒ අය එක්ක තාමත් ජීවත් වෙනව කියල. සංඛේතීය නික්මනකින් පසුවත් සුන්බුන් නටඹුන්, ඉතිහාසය කෙනෙකුගේ ජීවිතය අලුත් කරනව. ඉතිහාසය පාඩම් උගන්වමින් අපව ජීවත් කරවනව.

නැවත සංඛේතියව අපට එහෙම කෙනෙක් නැති වුනත් එයා හැමතැනකම හැම දෙයක්ම වෙලා අපි එක්ක ඇති!
ඉතින් මිතුරිය!
සීතලේ ගුලිවෙලා නිදියන්න - මම පතමි සුව නින්ද

-ගුරුගොඩ සිරිවිමල-

ගීතය අහන්න
https://www.youtube.com/watch?v=49caTCZI_bA




 

No comments: