Tuesday, April 27, 2021

ත්‍රිපිටක සංරක්ෂණ පනත

පාර්ලිමේන්තුව විසින් ත්රිපිටක සංරක්ෂණය සඳහා පනතක් ගේන්න හදනව. ඒකෙ කෙටුම්පත කියවන්න ලැබුන. මේක ගේන එකේ අරමුණ පනත් කෙටුම්පතට අනුව;

2)(1) ත්‍රිපිටක මණ්ඩලය විසින් පිළිගත් ථෙරවාද පාලි ත්‍රිපිටකයේ, පාලි අට්ඨකථාවල, පාලි ටීකාවල හා ඒවායේ පරිවර්තනවල

(අ) අක්ෂර, පද, වාක්, ඡේද, ථේරවාදානුකූල හා පාලි ව්යාකරණානුකූල අර්ථ,

(අ) ථේරවාද ත්රිපිටකයේ සැලැස්ම, පාලි අට්ඨකතාවල සැලැස්ම, පාලි ටීකාවල සැලැස්ම හා ඒවායේ අන්තර්ගතය

කිසිදු ආකාරයකින් වෙනස් කිරීම, විකෘති කිරීම, විනාශ කිරීම, විනාශ වීමට ඉඩ සැලැස්වීම, අවඥාවට ලක් කිරීම, හා අයථා භාවිතය වැලැක්වීම.

* ඉහත 2 (1) ඡේදය මගින් වළක්වා ඇති ක්රියාකාරකම් ඕනෑම පුද්ගලයකු විසින්, පිරිසක් විසින්, සංවිධානගත කණ්ඩායමක් විසින්, ආයතනයක් එක්ව හෝ වෙන් වෙන්ව සෘජුව හෝ වක්‍රාකාරයෙන් හෝ සිදුකිරීම, කරවීම, අනුබල දීම, හා එවැනි ක්රියාවන්ට අවස්ථා සැලසීම වැලැක්වීම

.....(ඉතිරිය පනත සොයා කියවාගන්න.)

ඔය කියන මූලික අරමුණ පෙරටු කරගෙන තමයි මේ පනත ගේන්න හදන්නෙ. නමුත් මේ පනත ගේන අරමුණු පනතේ අන්තර්ගතයෙන්ම අර්බුදයකට යනව වගේම අරමුණුවල පවා අවුලක් තියෙනව කියන එකයි මගේ පෞද්ගලික අදහස.

පනතේ අරමුණුවලට අනුව කියවෙන ///විකෘති කිරීම, විනාශ කිරීම, විනාශ වීමට ඉඩ සැලැස්වීම, අවඥාවට ලක් කිරීම, හා අයථා භාවිතය වැලැක්වීම./// කියන මේව ගැන පනත විසින් හරියට නිර්වචනය කරල නැහැ. මේ අනුව;

පාලි ව්යාකරණය ගත්තම සාමාන්ය කෙනෙක්ට තියා දැනට පාලි විෂය සම්බන්ධයෙන් BA, MA කරල තියෙන අය පවා පාලි වරද්දනව. එහෙව් අවස්ථාවක සමාජ මාධ්යක හෝ අන් තැනක සාමාන්ය පාඨකයෙක්, පාලි ගාථාවක් (ත්රිපිටක, අටුවා, ටීකා වල දැක්වෙන) පල කෙරුවොත් ඒ පාලි ගාථාවෙ යම් වරදක් තිබුනොත් පවා ඔහුට එරෙහිව නීතිය ක්රියාත්මක වීම වලක්වන්න බෑ. (මම මේක මුලින්ම සඳහන් කරන්න හේතුව මේක පොඩි කාරණයක් විදියට පෙනුනට ඇතිවෙන්න යහපත් අර්ථයෙන් මාධ්යවල ගාථාවැනි දේවල් යොදා ගන්න නිසා) මාධ්යවේදීන්, ලේඛකයන් පාලි ව්යාකරණානුකූල දැනුමක් නැති අවස්ථාවක ගාථාවක පාඨයක පද, කොමා වැනි දෑ එහෙ මෙහෙ කරත් ඔහු වරද කරුවෙක් කරන්න පුළුවන්.

ඔය කියපු කාරණය වැඩියම ගනන් ගන්න එපා. වැඩියෙන් ගනන් ගන්න ඕන පහත කරුණු සම්බන්ධයෙනුයි. :

පනතේ දෙවන කොටස තනිකරම අර්බුදයක තියෙන්නෙ. වාච්යාර්ථයේ පටන් හැඟවෙන යටි අරුත් පවා අර්බුදයකයි තියෙන්නෙ. මේ පනතේ ත්රිපිටක සංරක්ෂණ මණ්ඩලයක් පත්කරනව. ඒ මණ්ඩලයේ නියෝජනය අතීශය ලැජ්ජා සහගත ඉතා දීන එකක්.  ත්‍ර‍ෛයි නිකායික මහානාහිමි වරුන් උත්තරීතර අනුශාසක මණ්ඩලය ලෙස පත් කරන එක වරදක් නෙමේ. නමුත් ඒකේ සංයුතිය ඉතාම වැරදි විද්යටයි සදහන් වෙන්නෙ.

සංයුතියේ:

* සියම් නිකායේ මල්වතු පාර්ශවෙය් මහානායක හිමියන් නම් කරන 04 (භික්ෂූන්)

* සියම් නිකායේ අස්ගිරි පාර්ශවෙය් මහානායක හිමියන් නම් කරන 04 (භික්ෂූන්)

* සියම් නිකායේ කෝට්ටේ පාර්ශවෙය් මහානායක හිමියන් නම් කරන 02 භික්ෂූන්)

* සියම් නිකායේ රෝහණ පාර්ශවෙය් මහානායක හිමියන් නම් කරන 02 (භික්ෂූන්)

* අමරපුර මහානායක හිමියන් විසින් නම් කරන 03 (භික්ෂූන්)

* රාමඤ්ඤ නිකායේ මහානායක හිමියන් විසින් නම් කරන 03 (භික්ෂූන්)

* මරදාන විදේයා්දය පිරිවෙනේ මාහිමියන් විසින් නම් කරන එක් භික්ෂුවක්

* විද්යාලංකාර පිරිවෙනෙන් එක් භික්ෂුවක්

* පේරාදෙණිය, කැළණිය, ජයවර්ධනපුර, කොළඹ, රුහුණ, විශ්ව විද්යාලවල පාලි හා බෞද්ධ අධ්යන අංශවල අංශාධිපති භික්ෂූන් වහන්සේලා හෝ එකී අංශාධිපතීන් විසින් නම් කරන ලද භික්ෂූන් වහන්සේ නමක් බැගින්

* බෞද්ධ හා පාලි, ශ්රී ලංකා භික්ෂු විශ්ව විද්යාලවල මහෝපාධ්යාය හිමිවරුන් හෝ උන්වහන්සේලා නම් කරන ලද එක් භික්ෂූන් වහන්සේ නමක් බැගින්.

* .......

* විෂය භාර අමාත්යවරයා නම් කරන ගිහි බෞද්ධයන් තිදෙනෙක්.

* බුද්ධසාසන අමාත්යාංශයේ ලේකම්, බෞද්ධ කටයුතු කොමසාරිස් යන අයවලුන්

දැන් මේක කියවපු කෙනෙක්ට පැහැදිලි වෙන්න පුළුවන් මේවයෙ ඇත්ත අරමුණු. බුදු හාමුදුරුවො කිසි සේත්ම අනුමත නොකල ප්රධාන නිකාය තුනක් (මම මේකෙ වරදක් මෙතැනදි දකින්නෑ) සහ ඒ නිකාය ඇතුළෙ බෙදීම් ටිකවත් හදාගන්න බැරිව තමයි අපි මේ ත්රිපිටකය සංරක්ෂණය කරන්න හදන්නෙ.

මූලිකවම සියම් නිකායෙ බෙදීම් හතරක් තියෙද්දි සංරක්ෂණ මණ්ඩලයට 12ක් පත්වෙනව. ඒ මදිවට අමරපුරට තුනක් සහ රාමඤ්ඤ නිකායට තුනක් දීල අමුතු හැන්දකින් බෙදනව. ඒ බෙදීයාම සම වුනා කියල පනතෙ අවුල විසදෙන්නෙ නෑ. ඒ වගේම විද්යෝදය සහ විද්යාලංකාර පිරිවෙන් දෙකෙනුත් වෙනත් නිකාය වල අය දකින්න ලැබෙන්නෑ. ඉන්නෙ සියම් නිකායික භික්ෂූන් වහන්සේලා. ඒ නියෝජනය තුළින් ධර්මයට හානියක් වෙන්නෙ නෑ නමුත් මෙතන බෙදීයාමේ වරදක් තියෙනව.

අපි දන්නව ලංකාවෙ නිකාය බෙදීයාම ධර්ම, විනය වෙනස් වෙමින් බෙදීයාමක් නොවන බව. නමුත් විවිධ හදාගත් විශ්වාස එක්ක තමා ඇවතුම් පැවතුම් ගොඩනගාගෙන තියෙන්නෙ. ඒ වගේ තත්ත්වයක නිකාය වලට මුල් තැන දෙමින් ත්රිපිටකය ආරක්ෂා කරන්න යන එකේ වැඩක් තියෙනවද?

ඒ වගේම මේකෙ කියවෙනව විශයභාර අමාත්යවරයා නම් කරන බෞද්ධ ගිහියන් තිදෙනෙක් ගැන. ඇත්තෙන්ම ඒ මොකටද? මේ රටේ වත්මන් ජනාධිපති වරයාව ගේන්න වැඩියෙන්ම වැඩ කරපු සංඝ මූලස්ථානයක් කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන්ගේ “මහමෙව්නා ජාලය” අනිත් පැත්තෙන් සමන්තභද්ර හිමිගෙ දානෙට, මගුලට රටේ අගමැති වත්මන් විශයභාර ඇමති සම්බන්ධ වෙනව. එතකොට ගිහි නියෝජිතයන් විදියට ඒ සබධතා හරහා සම්බන්ධයක් විය නොහැකිද? එහෙම වුනොත් අර මහමෙව්නා ධර්ම විකෘතිය වගේ දේවල් ථෙරවාදය තුළට එන්න බැරිවෙයිද?

//බුද්ධසාසන අමාත්යාංශයේ ලේකම්, බෞද්ධ කටයුතු කොමසාරිස් යන අයවලුන් // මේ අය ධර්මය පිළිබඳව පාලි ව්යාකරණය පිළිබඳව මොන වගේ දැනුවත් බාවයකින් කටයුතු කරනවාද? පරිපාලන නිලධාරීන් ම‍ෙසඳහා යොදාගත යුතු ආකාරය ගැන කිසියම් සඳහන් කළයුතුයි. ( ගන්න තීන්දු තීරණ ක්රියාත්මක කිරීමට, අයවැය කරුණු කාරණා පිලිබඳව)

මම මේ සංරක්ෂණ මණ්ඩලය පිලිබඳව විශේෂයෙන් ලියන්නෙ හේතුවක් ඇතිව. මේ පනත ගේන එකේ මූලික කරුණු පනතෙ උඩින්ම දක්වල තියෙනව. හැබැයි ඒව යථාර්ථයක් බවට පත්කරන්න පුළුවන් මණ්ඩලයක් මේ අන්තර්ගතය තුළ නැහැ.

ලංකාවෙ පශ්චාත් බෞද්ධ අධ්යයන පීඨවලින් තුන් හතර දෙනෙක්, ලංකාවෙ යුනිවර්සිටීස්වල අධ්යන අංශ වල ධර්මය සහ පාලි භාෂා ව්යාකරණය පිළිබඳව ප්රොෆෙසර්ස්ල, ලෙක්චරස්ල කීප දෙනෙක් මේ වැඩේට නම් කරල නැහැ. නිකායික මහානායක හිමිවරුන් කිනම් වූ අය පත් කරයිද? ඒ පත් කරන්න තරම් සුදුසු අය ඉන්න බව මම පෞද්ගලිකව දන්නව නමුත් මොන විදියට සිද්ධ වේවිද? අඩුම නිකාය නියෝජනයෙන් දැනට බෞද්ධ අධ්යයනය පිළිබඳව අතිශූරව ක්රියාත්මකව සිටින හිමිවරුන්වත් විශ්ව විද්යාල හරහා පත් කළ යුතුය් කියාවත් නිර්ණායකයක් මෙහි අන්තර්ගත වෙලා තියෙනවනම් එකඟ විය හැකියි.

මෙහි අන්තර්ගතය වඩාත් නිවැරදි විය හැක්කේ මේ කරුණු ශාස්ත්රීය වශයෙන් හැදෑරීමක් කළ සහ කරමින් සිටින දක්ෂ වියත් ගිහි සහ පැවිදි අය පමණි. සූත්ර පිළිබඳව, විනය පිළිබඳව, අභිධර්මය පිළිබඳව පාලි භාෂාව පිළිබඳව වෙන වෙනම විශයන් ලෙස හදුනාගනිමින් ඒ විශයන්ට අදාලව ගැඹුරු පර්යේෂණ සිදු කළ ථෙරවාද සම්ප්රදාය නිවැරදි අර්ථකතන මඟින් හඳුනාගත් අය පමණි.

එසේම මේ පනතෙහි විවාදාපන්න විය හැකි ඉතා ඉහළ කාරණා කිහිපයක් ලෙස මම හදුනාගත්ත කරුණු කිහිපයක් මේ

ථේරවාදය (සම්ප්‍රදාය) :

ථෙරවාදය පිළිබඳව පනත් කෙටුම්පතෙහි කිසිදු අර්ථ කථනයක් දක්වා නැත. ථෙරවාදය යන්න පිළිබඳව විවිධ මත ශාස්ත්රීය ලෝකයේ පවතී. ඒවායින් කුමන මතය ත්රිපිටක සංරක්ෂණ මණ්ඩලය මගින් නිවැරදිම එක ලෙස හදුනාගන්නේද? ථෙරවාදය මහායානය යන ප්රධාන සාම්ප්රදායික අදහසින් වෙන්වූ අයෙකු පර්යේෂණයක්, දේශණයක් හෝ දෙයක් පිළිබඳව සාමාන්ය අදහසක් දැක්වීමේ දී ඔහු කෙරහි ක්රියාත්මක වන්නේ කෙසේද?

පනතෙහි දැක්වෙන 5 කොටස(වැරදි) දී ථේරවාද සම්ප්රදායට පරිබාහිරව අර්ථනිරූපනය ඉදිරිපත් කිරීම් යන්න පැහැදිලි කරගැනීමටනම් පනතෙහි ථෙරවාද සම්ප්රදාය පිලිබදව අර්ථ නිරූපනයක් කළ යුතුය.

ථෙරවාද සම්ප්රදායට ම අනුව අර්ථ නිරූපනය කළ යුතු ය යන්නෙහි පදනම කුමක්ද?

ථෙරවාද ත්රිපිටකය :

පනතේ දක්වන අර්ථ නිරූපනයට අනුව යම් පර්යේෂකයෙකුට ථෙරවාද ත්රිපිටකය ලෙස පිලිගත් පනතෙහි නොදක්වන ත්රිපිටකයක් මගින් කරුණු දැක්වීම් කළ නොහැකිය. කිසියම් පුද්ගලයෙක් PTS පරිහරණය කරමින් කරන ලබන පර්යේෂණයක්, දේශණයක් හෝ ලේඛණයක් භාෂණයක් සම්බන්ධයෙන් කෙසේ ක්රියාත්මක වන්නේද?

විකෘති කිරීම, විනාශ කිරීම, විනාශ වීමට ඉඩ සැලැස්වීම, අවඥාවට ලක් කිරීම, හා අයථා භාවිතය වැලැක්වීම. :

මේ වචනවලට පනත තුළ අර්ථ නිරූපනය කොට නොමැත.

සාම්ප්රදායිකව පිළිගත් අනුවාදයට පටහැනි අනුවාදයක් සපයමින් ............:

ඒ කුමක්ද? පනතෙහි දක්වන සාම්ප්රදායික අනුවදාය විය හැක්කේ දැනට භාවිත කරන බුද්ධ ජයන්ති ත්රිපිටක ග්රන්ථමාලාව විය හැකිය. ඒවායෙහි ඇති සිංහල පරිවර්තන, අනුවාද වල වැරදි පිලිබඳව පාලි ඇදුරන් පෙන්වා දී ඇත. 

ලංකාවේ දැක්වෙන ත්රිපිටක අනුවාදවල වචන අනුවාද වල සහ පරිවර්තන දෝශ බහුලය. අනුවාද පිළිබඳව ගැටළු ඇති වාතාවරණයක මෙවන් වූ අනපනත් මගින් නීති සම්පාදනය කොට ඒව ක්රියාත්මක කිරීම එතරම් ප්රජාතන්ත්රවාදී නොවේ.

මේ පිලිබදව වැඩිදුර කියැවීමට :

මේ පිලිබදව වැඩිදුර කියැවීමට :

.....

මේ ගෙන ඒමට යන පනත තුල ඇති අර්බුදකාරී බව තේරුම් ගත යුතුය. මේ පනතට අනුව අනාගතයේදී උගතකු විසින් ගෙන ආ හැකි ස්වාධීන අර්ථ කතනයක්, (ථෙරවාදයටම නතුව ) පර්යේෂණ නිබන්ධයක් වැනි අර්ථකතන සම්ප්රදායක් අධ්යන ක්ෂේත්රයෙන් ගිලිහී යා හැකිය. ධර්ම කරුණක් සම්බන්ධයෙන් කෙරෙන විචාරාත්මක පර්යේෂණයක් ගැනනම් සිහිනවත් දකින්නට නොලැබෙනු ඇත.

ස්වාධීන මත අදහස් ප්රකාශ කිරීමට ඇති හැකියාව වැලැක්වීම නිසා මේවා කෙරෙහි උනන්දු වන්නන් ද ඈත්වන්නට අවස්ථාව ඇත. ධර්මය සම්බන්ධයෙන් වන ශාස්ත්රීය ප්රවේශයට ඉඩ හසර ඈත්වී යාම යනු ක්ෂේත්රයේ සංවර්ධනය අඩපණ වීමයි.

මේ සටහන් කලේ සමාජමය වශයෙන් කරුණු කිහිපයක් පමණි. සමාජයේ එකා දෙන්නා පනත සම්මත වූ දාට පසුදා සිට නීතිය ඉදිරියට ගෙනයනවාටත් වඩා බරපතල බවක් මෙහි ඇත. මේවායෙන් සිදු වන්නේ වදින්න යන දේවාල ඉහේ කඩන් වැටෙනවා වැනි දෙයක්ද විය හැකිය. ශාස්ත්රීය වශයෙන් දැනුවත් උගතුන්නම් මෙයට කිසිසේත්ම එකග නොවනු ඇත.

එසේම තවත් කරුණක් මතක් කර දිය යුතුය. මේ සියල්ලටම වඩා එය වැදගත් වේවි.  ධර්මය සම්බන්ධයෙන් විවිධ ස්ථිර නිගමන වලට පැමිණීම විවිධ අර්ථකතන දීම බුද්ධකාලයේ පටන් තිබූ දෙයකි. ඒ විවිධත්ත්වය අද මිත්යාවක්, ව්යාපාරයක්, රට තුළ බෙදීම්, දේශපාලනික ගැටළු දක්වාම දුර ගොස් තිබීම ඛේදවාචකයකි. ධර්මය සම්බන්ධයෙන් පාලකයන් අත පෙවීම ඉතා භයානකය. ඔවුන්ට මෙවන් දෙයක් කළ හැක්කා සේම මෙය සිද්ධ කල පසුව මෙයද අන් සියල්ලම ද අහෝසි කිරීමට ඇති හැකියාව වැඩිය. මේ පනත් කෙටුම්පත් සම්මත වෙමින් සංශෝදනය වෙමින් ඉදිරියේ කුමක් වේද? මේවාට හසු නොවී සිටීම ජනතාවගේ වගකීමකි.

තවද ධර්මය සමග ක්‍රීඩා කිරීම නොව සංඝයාත් පාලකයාත් ජනතාවත් අතර විනය හදාගැනීම ඉතා වටනේය. විනය නොමැති වීමේ අර්බුද ලෙස අද වන විට අප වෙත පැමිණ ඇති සියළු කරදර පැමිණ ඇත. දැනට සිදුවනවා යැයි පවසන ධර්ම විකෘති කිරීම් ඇත්ත වශයෙන්ම ව්යාපාර ලෙස පවතින අවනඩු මිස අපට ඇති සැබෑ හානියක් නොවේ. ඒවා නැති කිරීම වෙනුවට පවත්වාගෙන යන්නෙ පාලකයන් බව ඇස් ඇත්තවුන් ඉතා හොඳින් දනී. පාලකයන් ත්රිපිටකය සංරක්ෂණය පැත්තකින් තබා හාමුදුරුවරුන්ගෙන් තමන්ගේ ජයග්රහණ සඳහා ඉණිමං තබා ගැනීම නවතා ගැනීමෙන් හාමුදුරුවරුන්ට ධර්මය ගැන, ත්රිපිටකය ගැන හිතන්නට වෙලාවක් ඉතිරිවනු ඇත.

මා විවදත!

පනත් කෙටුම්පත අවශ්ය අය විමසන්න.

 

- ගුරුගොඩ සිරිවිමල -



5 comments:

  1. පොඩි සාදු , මා විවදත! කියන්නේ මොකක්ද?

    ReplyDelete
  2. තෙරැවන් සරණයි හමුදුරුවනේ, වැදගත් විවරණයක්, මේමගින් බුදුදහම අන්තවාදි රටවල ඇති ඉස්ලාම් ආගමක් ආකාරයටම වෙනස් විමට ඇති ඉඩකඩ බෝහොමයක් ඇත. ධර්මයට සංරක්ෂණය නොව පෞද්ගලික පලිගැනිම් දේශපාලන පලිගැනිම්ද ඉදිරියේ දැකිය හැක, නිවහල් නිදහස් දර්ශනික විවරණයන් වැලලි යනු ඇත.

    ReplyDelete
  3. Buddhist Inquisition එකක් ඇතිවීමට මාර්ගයක්

    ReplyDelete
  4. https://www.history.com/topics/religion/inquisition

    ReplyDelete