Saturday, May 16, 2020

|බණ කියන අය |තුච්ඡ කතා



"ගෑණි මිනිහගෙ ඇග දකින්නැතිව දරුවො හදන්න ඕන...නැත්තං ඒ ජීවිත තුච්ඡයි. ඒ කාලෙ අය එහෙමයි"

මෙවැනි කතාවක් කියන්නේ වැලිමඩ සද්ධාසීල හාමුදුරුවන්ය. උන්වහන්සේ මෙවැනිම "ගොං" බණ කීපවතාවක්ම දෙසා ඇති බව අප දනිමු. කෙසේවෙතත් ෆේස්බුක් මත මෙම කතාව ලෝකයේ ඇති එකම ටොපික් එක යැයි සිතා ශෙයා කරගත් බොහෝ අය සිටිනු දිටිමි. ඒක අද ලෝකයේ හැටිය. එක අතකින් එවැනි ප්‍රවණතා දක්නට ලැබීම සතුටට කරුණකි. එවැන්නවුන් ප්‍රතික්ෂේප වීම ඉතා හොඳ දෙයකි.
මේ ලෝකයේ බණ කියන හාමුදුරුවරු, දහම් දෙසන හාමුදුරුවරු, ගොං කතා කියන වචාලයො, ආදි වශයෙන් කැටගරිගත වන බොහෝ බණ අද්දැකීම් මට ඇත. මම ලංකාවේ බණ අහන එකම හාමුදුරුවෝ "මාවරලේ භද්දිය හාමුදුරුවෝ ය" උන්වහන්සේ " බණ කියන " හාමුදුරු කෙනෙකි. උන්වහන්සේ ගේ  බණ වලට මා addict වන්නේ  "බණ කියන" හාමුදුරුවෝ කෙනෙක් නිසාවෙනි. කාගම සිරිනන්ද හිමියන් ද බණ කියන හාමුදුරුවෝ කෙනෙකි. නමුත් මම උන්වහන්සේට ලයික් නැත. උන්වහන්සේ ගේ  බණ අහන ෆෑන් බේස් එක වෙනම එකකි. ඒ බණ අහන අය ගැන මට තියෙන්නේ මේ වගේ අදහසකි. "කොයි වෙලෙත් මොකෙක්ට හරි බනින්න කැමති, කොයි වෙලෙත් හිතේ විස පුරවං සිටින, හුළු අත්ත අතේ තියං ඉන්න, අය අහන්නේ කාගම හාමුදුරුවන්ගේ බණය" ඒකේ අවුලක් නැත. මට අදාල නැත. එහෙම බණ කියන්නත් කෙනෙක් අවශ්‍යය. නැත්තං මේක ලංකාවක් වෙන්නේ නැත. බීමට බයිට් නැති අයෙකුට බයිට් එකක් වෙන එකම කෙතරම් සොඳුරුද?
ලංකාවේ  "දහම් දෙසන හාමුදුරුවරු "මේ සිරිලංකාද්වීපයේ පරසිඳු අයෙකු මා දැක නැති අතර එහෙම හාමුදුරුවරු සිටින්නටද අවශ්‍යයි කියා මා සිතන්නේ නැත. කවුරු හරි දහම් දෙසනාවනම් ඒකත් හොඳය. "ගොං කතා කියන වාචාලයෝ" කැටගරි එකනම් ලංකාවේ අතිමහත්ය. කිරිබත්ගොඩ නිකායේ සිට පරසිඳු ගොඩක් හිමිවරු කියන්නේ වාචාල කතාය. ඒ ගැන මට වඩා හොඳින් යූ ටියුබ් ට්‍රෙන්ඩින්ම බණ ලිස්ට් බලන උවැසි උවැසියන් දැක ඇති යයි සිතමි.
කෙසේවෙතත් මේ දිනවල ගොං කතාවක් අනවශ්‍ය විදියට ට්‍රෙන්ඩින් ලිස්ට් වල රැදී සිටින්නේ ෆේස්බුක් මිනිසුන් නිසායැයි සිතමි. ලිංගික සංසර්ගය සිදුවිය යුත්තේ ප්‍රජාව බෝ කිරීමට පමණක්ම නොවේ. එය ලෝකවාසී කාමභෝගී සත්ත්වයන්ගේ වැඩකි. එයට මිනිසුන් සේම තිරිසන් සත්වායද විශාල ඇල්මක් දක්වන බව රහසක් නොවේ. බුදුන්වහන්සේ කාමබෝගීන්ට ලිංගිකව හැසිරීම වරදක්යැයි කොහේවත් දේශනා කරන්නේ නැත. එහෙම එපා කියන්නේ ලංකාවේ ටූ මච් පාදඩයන්ය. ලිංගික ඇරියස් ඇති අයය. තමන්ට අහිමි වූ ඒ දෙය ගැන ඇති කළකිරීමක් ඇති අය ය.
මේ ලිංගික සේවනය යනු ඕනෑම අයෙකු සංවේදී වන කාරණයකි. එය පවත්වාගෙන යාමේ දී මිනිසා ශිෂ්ට සම්පන්න විය යුතු බව ඇත්තකි. නමුත් නොකර සිටිය යුතු යැයි රීතියක් හෝ නීතියක් නැත. ශිෂ්ට වීම යනු කළුවරේ සරීර කූඩුව නොදැක "කුස-පබා සෙක්ස් ක්‍රමයට" සෙක්ස් කිරීම ද නොවේ. ඒ ක්‍රමය තේරීම දෙදෙනා අතර කැමති අකමැති අයුරින් සිදු කිරීම හොඳය. කොටිම්ම කිවහොත් වහගෙන, ඇරගෙන, නිවාගෙන, දමාගෙන කිරීම තමන්ගේම වැඩකි.
සාම්ප්‍රදායික අහු මුළු වල එක මේසයේ වාඩිගෙන බණ දෙසන හාමුදුරුවරු මිනිසුන්ගේ ලිංගික ක්‍රියා ගැන බණ කීමට අවැසි නැත. එය තුච්ඡය. මිසක් සෙක්ස් තුච්ඡ නැත. සංසාරයෙන් එගොඩ වීම සඳහා බල්ලන් දෙපැත්තට අදින්නා වාගේ අදිමින් හාමුදුරුවරු මේ දෙබිඩි බණ කියමින් කිනම් දෙයක් ප්‍රාර්ථනා කරනවාදැයි මම නොදනිමි.
වාචාලයෝ දොඩන්නේ තුච්ඡ කතාය. ඒවා අසමින් විනෝද වෙනවා මිසක් බරපතලව ජීවිතයට නොගන්න. කෙනෙක් කියූ බණ ගැන සිතමින්, ඔහුට බැන, ක්‍රෝධ කරමින් තමන්ගේ අධ්‍යාත්මික සුවතාවය කිලිටි කර නොගන්න. ඒවා දැන් facebook community stand වලටත් කැප නැත. සුවපත් වන්න!!
මා මේ ටික ලියන්නේ මගේ පෞද්ගලික අදහස ලෙසය.



|ගුරුගොඩ සිරිවිමල

                                                 

                                           

Thursday, May 7, 2020

මට වෙසක් කියන්නෙ ඔබේ පරිනිර්වාණය


මට තේරෙන්නෑ මේ හැඟීම කොහොම ලියන්නද කියල.

ඔබවහන්සේගේ උත්පත්තිය ගැන මම විවිධ කතාන්දර අසමින් මේ වෙලාවෙත්. මම ඔබවහන්සේගේ උත්පත්තිය විශ්වාස කරන කෙනෙක්. නමුත් මට ඒ උත්පත්තියට වඩා දෙයක් විශ්වාස කරන්න හිතෙන්නෑ. මම ඔබ වහන්සේට ආදරය කරන කෙනෙක්. නමුත් මට ඔබවහන්සේට අගෞරවයක් වන යම් දෙයක් සිද්ධ කරල ඔබවහන්සේව සමරන්න හිත දෙන්නෙ නැහැ.
ඔබවහන්සේගේ බුද්ධත්වය ගැන මම විවිධ කතාන්දර අසමින් මේ වෙලාවෙත්. මම ඔබවහන්සේගේ බුද්ධත්වය විශ්වාස කරන කෙනෙක්. හැබැයි මට ඔබ වහන්සේ මායාකාරයෙක් බවට පත්කරන්න මට හිත දෙන්නෑ. මට ඒ හැගීම දරා ගන්න බැරි එකක්. මම ඔබවහන්සේට ආදරෙයි. මම ඔබවහන්සේට ආදරය කරන්නෙ ඇයි? මට සිහි වෙනව ඔබවහන්සේගේ පරිනිර්වාණ අවස්ථාව ගැන. ඒ අවස්ථාව ගැන එක වෙලාවකදි අලවතුරේ විජිතවංස කවියා මෙහෙම ලියනව. මේ ඔබවහන්සේගේ ආවතේවකරුවා! ආනන්ද හාමුදුරුවෝ අවසාන මොහොතේ ඔබවහන්සේ ගැන හැඬූ කඳුළින් තියපු විලාප වෙන්න ඇති කියල මම විශ්වාස කරනව.

මේ අවවාද දී හඩකින් කුරවීක
අපමණ සතුන් ගොඩගත් සිටි ගිනි ගේක
මුළු මිහිතලයටම ගෙන දී දුක සෝක
සම්බුදු පියා පිරිනිවනට වැඩි සේක

මාවත කියාදුන් ලෝකයකට අන්ධ
මැලවෙයි හිමි නැතිව මහනෙල් අරවින්ද
මේ දුක දරා වෑවෙන්නට පුළුවන්ද
ඇයි සැතපුණේ හිමියනි අවසන් නින්ද

විසි වසරක්ම සමිදුගෙ පා සිවුරු දරා
හෙවනැල්ලක් වගේ සිටියෙමි දවස පුරා
මේ දුක සිතට බැරි හින්දා ගන්න දරා
වැළපෙමි හඩමි නෙත කදුලැලි තියෙන තුරා

ඔබවහන්සේගේ ඉතිහාසය පිළිබඳව මට හැදෑරීමක් තිබෙනවා. ඒ හැදෑරීම් සියල්ලක්ම මුසු කරගත් පරිකල්පනයක්, සහ බුද්ධිය වෙනුවට හදවත ද මුසු කරගත් කියැවීමක් මට ඒ ගැන තියෙනව. ඔබවහන්සේ මගේ ජීවිතේ වීරයෙක් වන්නේ ඒ නිසා, ඔබවහන්සේව අනුගමනය කරන්න මම කැමති වෙන්නෙ ඒ නිසා. ඒ හැඟීම මට ලියන්න තේරෙන්නෑ.
ඔබවහන්සේ අවසානයේ පිරිනිවන් පාන්න වඩින්නෙ සල්ගස් දෙකක් අතරට ඒ සල් ගස් දෙක අතරෙ ඔබවහන්සේ වැඩ ඉන්නෙ සැබැවින්ම කායික විඩාවකින්. "ලෝහිත පක්ඛන්දිකා" කියන කායික රෝගය නිසා ඔබවහන්සේ අසරණ වෙලා. මට මතක් වෙන්නෙ වයස අවුරුදු අසූවක වයසක් දරණ ඒ මහළු පුරුෂයාගේ ස්වරූපය. මට ඒක දරාගන්න පුළුවන්.
ඔබවහන්සේ ආනන්ද හාමුදුරුවන්ට මෙහෙම කියනව! "ආනන්ද මට තිබහයි; පැන් ටිකක් දෙන්න" ඔබවහන්සේ තරමටම මහළු වෙච්ච, ඒ අවුරුදු 80ක  පුරුෂයා පැන් හොයාගෙන යන අවස්ථාව මට සිහියට නැගෙනව. ඔබවහන්සේට මඩකඩිත්තකින් පැන් ටිකක් බොන්න සිද්ධ වෙන අවස්ථාව මම දරාගන්නම්. ඒක පොඩි දෙයක්නෙ කියල මම හිතහදාගන්නම්.
ඔබවහන්සේට වෙහෙසයි! අවුරුදු ගණනාවක් දඹදිව සැරිසරමින්, හිටිය ඔබවහන්සේට තිබුනෙ අධ්‍යාත්මික ශක්තියක් පමණයි! දෙතිස් මහාපුරුෂ ලක්ෂණ වල කියැවෙන සුපතිට්ඨිත පාද ගැන කියල මම ඔබවහන්සේට අපහාස කරන්න කැමති නෑ. ඒ වෙහෙස මට දැනෙනව. දූවිලි පිරුණ පාද සමහර විට ඔබවහන්සේ දරාගෙන පැය ගණන් මිනිස්සුන්ට බණ කිව්ව. අවසානෙ ලෙඩකින් පෑරිලා හිටිය වෙලාවෙ ඔබවහන්සේට අවසන් ගෞරවය දක්වන්න භික්ෂූන් වැඩම කරල. ආනන්ද හාමුදුරුවෝ මේ හැමෝවම වලක්වනව. බුදුන්වහන්සේට අපහසුවක් ඇතිවෙයි කියන ආදරයෙන්.
හැබැයි ඔබවහන්සේ ඒ දෙයට ඉඩ දෙන්නෑ. "ආනන්ද! ධර්මය පිළිබඳව ගැටළු තැන් තිබේනම් විමසන්න ඒ අයට ඉඩ දෙන්න" කියන සඳහන ඔබවහන්සේ කරනව. මට ඒක හිතාගන්නත් බැහැ. මෙච්චර අමාරුවෙලා ඉන්න,පිපාසාවෙන් පෙළෙන මනුෂ්‍යයෙක් ගේ ඒ මහා කරුණාව ගැන මම මෙතන ලියන්න වෙහෙස වෙන්නෙ නෑ. මට ඒකනම් දරාගන්න අමාරුයි. මම කියන්නෙ මිනියෙක්ට තමන්ගේ අවසාන මොහොතේ එච්චර කැපකිරීමක් තව මිනිස්සු ගොඩක් වෙනුවෙන් කරන්න පුළුවන් ද?
මම ඔබට ආදරය කරන්නේ ඒ නිසා. මට වෙසක් කියන්නෙ උපතවත් බුද්ධත්වයත් නෙමෙයි. මේ කඳුළ ඔබේ පරිනිර්වාණය. මට ඒක ගැන මැවි මැවී පේනවා.
ඉතින් ඔබේ උත්පත්තිය ලෝකයක් සැනසුව, ඔබේ බුද්ධත්වය ලෝකයක් සැනසුව, සැනසෙනව, ඔබේ පරිණිර්වාණය අපට කඳුළක්. මට අර අලවතුරේ විජිතවංශ කවියාගේ හඩ ඈතින් ඇහෙනව. ඒක දරාගන්න අමාරුයි.
අපි වගේ පුංචිම පුංචි චූල මිනිස්සුන්ට හෙවණ තිබුනෙ ඔබවහන්සේ ළඟ විතරමයි. මම හෙවන ලබමින්!


|ගුරුගොඩ සිරිවිමල