Tuesday, February 26, 2019

ඇස් ඉස්සරහ

පොඩිසාදුගේ ලියමන| යං|  


 ගිය 21 ඇස් ඇරුණ තවත් එක දවසක්. ඇස් ඇරෙනවා කියන එකට අර්ථ ගොඩක් තියෙනවා. බුදු හාමුදුරුවෝ තමන්ගෙ ප්‍රථම ධර්ම දේශනාවෙදි "චක්ඛුං උදපාදි" කියලත් දේශනා කරනවා.
 ඇස් කියන්නෙ ඇස්වලට, නුවණටත් පාවිච්චි වෙන වචනයක්. ගුරුවරුන්ට කියන්නෙ ඇස් පාදන්නො කියලනෙ. ඒත් ඇස් කියන්නෙ කවිවලට කියල මං මෙච්චර කල් දැනන් හිටියෙ නැහැ.
 ක්‍රිෂාන් රත්නායක කියලා කොල්ලෙක් තමන්ගෙ කුලුඳුල් කවි පොත ගිය 21 දා එළිදැක්කුවෙ මහවැලියෙදි. කවිය ගැන යම් යම් හෝඩුවා කතා බහවලිං පිරිච්ච දවසක් ගිය 21 වෙනිදා කියන්නෙ.

 ක්‍රිෂාන් පොත එළිදක්වන්න කලිම්ම බෙදාහැරීම් වැඩේ කරපු නිසා පොත කලිම්ම අරං කියවන්න පුළුවන් වුණා. ක්‍රිෂාන්ගෙ කවි තුළ ගැබ් වෙන කියවීම්වලට මම කැමැතියි. ඒ කවිවල අවංක බව ගැන මට කුකුසක් තිබුණත් ඒ කවි මාව යම් වින්දනයකට ලක් කරා. 

ප්‍රේමය ගැන වැඩිමනක් කවි අන්තර්ගත වෙච්ච කවි පොතක් තමයි ක්‍රිෂාන්ගෙ කවි පොත. ප්‍රේමයේ ස්වභාවයන් ගැන ලියැවෙන කවි ඉස්සරහ අපි බොහෝ විට සංවේදී වෙනවා. ඒකට හේතුව ප්‍රේමයත් ජීවිතයත් කියන්නෙ දෙකක් නොවී එකක් වීම නිසා කියලයි මට හිතෙන්නෙ

වසන්තයෙ මල් පිපෙයි නවම් මැයි ගස් පිරේ
ඇහැල රොබරෝසියන් ගස් නිතර මුණ ගැසෙයි
වැහැල තෙත ගුරු පාරෙ සිව්වසර දිග හැරෙයි
වැටුණු මල් පෙතිවලට පුරාතනයක් තිබෙයි


දිරා ගිය මතකයට යලි යලිත් පණ දෙන්න 
හිනාවෙන ආදරය එක තැනක හංගන්න 
කතාබස් කළ තැනට නොඑන්නට සමුදෙන්න 
අපි ආය එනවනම් මට හිතයි නවතින්න

                                            - 20: පිටුව -



ක්‍රිෂාන්ගෙ කවිකම තියෙන්නෙත් ප්‍රේමය සම්බන්ධයෙන් ලියන කවිවලමයි. ක්‍රිෂාන් පෙම් කවි ලියන වැඩේ අවබෝධයෙන් කරනවා කියන එකයි මගේ විශ්වාසය. සමුගැනීම්, එක්වීම්, අපේ ජීවිත යලි යලිත් ආලෝකවත් කරනවා. විරහව කියන්නෙ හරියට ටෝච් එකක් වගේ වෝට් 100 ක 200 ක බල්බ් එකක් වගේ. 
සෑම විරහ වේදනාවක්ම අපිව නැවත නැවතත් ආදරයක් ගැන හිතන්න පොළඹවනව. 


රැල්ලෙ හැප්පෙන බිඳෙන වාරේ 
අනේ තනිවෙමු කියපු ඇවිටිලි 
ලියන්නට එක පොතක් මදිවෙයි 
ආදරේ ගැන කරපු පැමිණිලි 

පැයක් කොටහක් තෙපල උන්නට 
ආදරේ ගැන විතක් සැනැහිලි 
ගණන් කර කර බැලුව තැනකදි 
තුරු වෙයි සිල්ලර ම සැරසිලි
                                     - 67: පිටුව 

ආදරේ සියුම් තැන් සැහැල්ලුවෙන් කවියෙ අද්දැකීම් විදිහට භාවිත කරන අපූරුව ඒ කවිවලට මනා ආලෝකයක් ගෙනත් දෙනවා. මේ හැම කවියකම අපූර්වත්වය රසික මන පිනවීමට සමත් යැයි මම විශ්වාස කරන්නෙ යථාර්ථවාදයත් සෞන්දර්යවාදයත් හරි අපූරුවට තමන්ගෙ කවියට ග්‍රහණය කරගන්න ක්‍රිෂාන් දෙපාරක් හිතන්නෙ නැති නිසා. පොත පුරා දැක්වෙන බොහෝ කවිවල තියෙන්නෙ ප්‍රඥාව කරා පාඨකයාව තල්ලු කරගෙන යාමක්. එතනදි පාඨකයට කවිය එපා වෙන්නැත්තෙ සෞන්දර්යාත්මක කවියක් මේ තුළ ගැබ්වෙලා තියෙන නිසා. "හඳුනන ඉඩක නාදුනන චිත්‍රය" වගේ කවි තුළින් පාඨකයාව අතරමන් කිරීමත් නැවත නැවතත් කියවා අවබෝධ කරගත යුතු ලක්ෂණත් කවි මේ මොහොතේ කවි ලිවිය යුතු සැබෑ අරමුණු අතරට අපව කැන්දන් යනවා. 

මෙතැන උතුරය දෙමළ අකුරක ද ආලය 
නැතතන් නැගෙනහිර මුඩු ගමක විලාපය 
එකත් එකට ම දකුණ ය එහෙත් උඩරට යුද්ධ ය 

නැතත් පානම මුහුද ය තවත් මරණයෙ සද්ද ය
                                                         - 22: පිටුව -
ක්‍රිශාන් තමන්ගෙ කවියෙන් දේශපාලනික සමාජමය කතිකාවත් ගේන්න ගිහිං පරාජයවෙලා තියෙනවා. නමුත් ප්‍රේම කවියෙදි ලොකු සාර්ථකත්වයකට ගිහිං තියෙනවා. ඒ කවිවල ගැඹුර අපි විඳනවා. කෙහොම නමුත් ක්‍රිශාන්ට සුබ පතනවා. මේ මම ක්‍රිශාන්ගෙ කවි පොතේ වඩාත්ම ආස කරන කවිය.

හිතින් හීනෙන් නැවත හමුවෙන 
තැනක අපි ප්‍රේමය පටන් ගමු 
ඉනික්බිති මේ නපුරු තැන හැර 
හිමින් හමුවෙන තැනක නවතිමු
                                 - 67: පිටුව - 




|ගුරුගොඩ සිරිවිමල

No comments:

Post a Comment