Wednesday, June 28, 2017

මට ඔබව දැනෙන තැන

කවියක් නම් හුදු වාග් මාලාවක් පමණමද? කවිය හුරුබුහිටිය විටෙක සියුමැලිය. විටෙක ස්වභාවයෙන්ම රලුය. කවියක් පුද්ගලානුරෑපීය. එය එකිනෙකා රසවිදින අයුරු වෙනස්ය. මේ වසන්ත ප්‍රදීප් හෙට්ටිආරච්චි කවියාව මා රස වින්දනය කල අයුරුයි. "මට ඔබව දැනෙන තැන" ඔහුගේ කුළුදුල් කාව්‍ය ග්‍රන්ථය වන අතර ආධුනික කවි අංකුර අතර ඔහුට සුවිශේෂීත්වයක ලා අපට හැදින්විය හැකි වන්නේ ඔහුගේ රස භාව පූර්ණ කවි මල් සුවද විදි පසුවය.

කාව්‍ය සංග්‍රහයේ පසු වදන සපයන සදුන් ප්‍රියංකර විතානගේ පවසන පරිදි මේ පොතෙහි සටහන් වන කවි නම් අපේක්ෂා දල්වා ලිය හැකි ආකාරයේ කවිය. වසන්තගේ කවිද ඉතා සියුම්ය...ඒවා වටා සුළං ධාරාවන්ද සුලි කුණාටුද බෙහෙවින් ඇත. "වදින ඒකෙකුට වැදියන්" ලියූ කවිද ඇත. කෙසේ වෙතත් මේ සියල්ලක්ම පාහේ කවිම බැව් සහෘදයෙකු ලෙස මා පවසමි. ඔහුගේ කාව්‍ය සංග්‍රහය රස කවි පංති තිස් තුනකින් (33) සමන්විතය. මින් ඉදිරියට ලියැවෙන්නේ  මා හද බැද ගත් කවි කිහිපයක් පිලිබදව විවරණයකි.

කවියා සැබැවින්ම නිහඩ වූත් නොනිල වූත් දේශපාලකයෙකි. ඔහු නිබදවම සහෘදයා තමා අබියස ඒකරාශී  කොට විප්ලවයේ  දේශපාලන කතාව දිග් ගස්සමින් සිටියි. ඔහු සමාජ ශෝධනය උදෙසා බැදී ඇත්තෙකි. වසන්ත ප්‍රදීප් කවියාද යම් සමාජ  ශෝධනය උදෙසා සිතේ ඇදගත් සැලැස්මක් අනුව කවි ලිවීමෙහි නිරත වෙයි. නමුත් ඒවා බැළු බැල්මට සහෘද මනසට ගෝචර  නොවන්නේය. වරෙක ආදරණීව වූ ඔහුගේ කවි බස ඉදිරියේ පලක් බැද බව්න් වැඩිය හැකි බවක් මුලු කවි පොත පුරාම විසිරී පවතී.

"දහදියෙන් පෙලි ළැම මුදුන් 
 තුඩුදෙනා බව කිරි බරින් 
 නොහැගුණා  ලෙස ගසාවී දළ
 සියොලගම ම විස ඝෙර සපුන්"
                                         
 මෝදු වන තණ කැකුළු මල් 
 සිහින ඇහිදින දියණියන්
 දුටොත් තොල කට තෙමාවී 
 ටැබා ගහනා මලණුවන්" (සොදුර චාරා)

කවිය නම් රසය ආත්මය  කොට ගත් වැකියකි. එය වඩා රසවත් වන්නේ බස මටසිලිටිව තම නිර්මාණ කාර්ය සදහා බාවිත  කෙරීමෙනි. ස්වභාව සෞන්දර්යය භාවිතයට ගෙන නිර්මාණය සමාජයට මුදා හැරීම තුලින් කොතරම් පීඩනයක් වුවද සමාජය විසින් බාර ගන්නේ ආදරයෙනි. කවියා සොදුරු චාරා පද්‍ය පංතිය තුලින් අපට නැවත මතක් කර දෙන්නේ පටාචාරා වහන්දෑගේ කතා වස්තුවයි. නමුත් මෙය හාත්පසින්ම වෙනස්ය, කාල්පනිකය. නමුදු සහෘදයාගේ රසවින්දනයට කිසිදු බාධාවක් නොකරයි. කවියෙකුගේ වටිනාකම රැදෙනුයේ  එතැනය. පරිකල්පනය හරහා කවියා තම මනසින් තේරුම් ගන්නා වූ සිතිවිල්ල සහෘද මනසටද සඵථ කරන්නේ ඉතා සරලවය. නමුදු තත්වයනම් අනෙකකි. ඔහු මෙසේ ලියයි.

බිලිදු එගොඩෙහි 
තබා එන්නට උවමනා නැති
එක ගගට පාලම් දෙකක් ඇති 
අනමුදු ඇසිපිය 
සැලෙන මෙහොතට
උකුස්සෝ සුරතින්ම උදුරති.

සමාජයේ නිර්මාණය වී ඇති තත්වය කවියා විසින්  පෙන්වා දෙන ආකාරය කෙතරම් නම් සංවරද? සෞම්යයද? මෙය මා හද බදින්නේ එබැවිනි. ප්‍රථම කවිය වන විහංගා  ද අපූරුය. ඒ කවියේදී  කවියා  දෙදෙනකුගේ ලිංගිකමය හැසීරීම් අවස්ථාවක්  පෙන්වා දෙයි.

දෙහද දෙපතුල උපන් ප්‍රේමය 
අතැන මෙතැනින් නවත්වා
ඉදිනු බැරි වූ දිනක් ආවා
වාං දමමින් ඉතිරුණා
ඇටමිදුලු නහරවැල් 
සිසාරා......(විහංගා)

ඒ අවස්ථාවට වැඩියමක් එක් කරන කවියා ඒහි යථාර්තය ද ඉතාමත් අලංකාරවත්ව පැහැදිලි කරයි. ඒය ප්‍රශංසනීයය.

කොල්ලු හා සතකුප්ප වෙදකම
අන්නාසි ගැට දේද විසදුම

පසුව ලැබෙන අතුරුපල පිලිබදව කතිකාව කවියා කරලියට රැගෙන එනු ලබන අයුරු අපූරුය. අන්නාසි යනු ගැබිනියකට අකැප ආහාරයකි. එය අහරට ගතහොත් ගැබ විනාස වන බව නොරහසකි. මෙවන් දෑ කවියට හාස්‍යකින් තොරව අදාල කර ගැනීම දක්ෂ කවියකු සතු හැකියාවකි. ඒ කවියට මා හිස නමා ආචාර කරමි.

බැරිම තැන 
හොර දොරටු සායන
සොයා යන ඒක නවත්වා
සිතට සැනසුම සදන ඹසුවක් 
සොයා ගමු අපි විහංගා

මෙි විකාර නවත්තල අපි මේ දරුවව හදාගමු විහංගා. සිතට සැනසුම යනු ඒකගතාවයකි. ඒ එකගතාවය හා දෙදෙනා ගිවිස ගත් පසු එයම සැනසීමකි. කවියාගේ මෙම කවියනම් මා ආ කරන වර්ගයේ එකකි.
පින්න තෙත ඉහිනා සැදෑවේ 
හෙමි හෙමින් පොලොවට ළගාවේ
සුළං අත වියැකෙන පමාවේ
අහස හා සබැදුම නිමා වේ.(සරුංගල් යළි ඇවිත් අහසට)

ජීවිත ධර්මය මොනවට පැහැදිලි කරන කවියකි ඉහත සදහන් වන්නේ. නිස්සාර බවත් අසීමාන්තික ආසාවන් වල අවසානය කුමක්ද යන්න සරුංගලයක් විෂය කරගනිමින් කවියා පෙන්වාදෙන අයුරු සහෘද සිත් ආකර්ශනය කරගැන්මකි. 
ආගමික ස්ථාන වල දැක්වෙන හුදු බව විකාරී බව ඉතා සංයමයෙන් යුතුව උත්ප්‍රාසයට  නංවන කවියක්පො තෙහි විසි අට (28) පිටෙහි මුන ගැසෙයි.
සී.සී.ටී.වී. කැමරාවෙ ඉව
තුගු පවුරු වාසල් ඉමෙන් පැන
කුරා තුහුඔූවෙකුට එන්න බැරි සීමා
දමා ගත් ජීවිතය මට 
හරිම වෙහෙසයි ඛේමා(ඛේමා මම පාර මාරු වෙන්නම්)

එහිම ඒන මෙකවද අපූරුය.

මැතිනියාරාමයේ පින් කද

මියුරු කවි බණ කියන කට හඩ
"නෝන දැන් හරි පාට වැටිලා"
 කියන විට 
අනිත්‍ය මෙනෙහි වෙන්නෙ කොහොමා

ජීවිතය තුල බලාපොරොත්තු අලුත් කර ගැනීමත්  ලාභ සංතුශ්ඨිය තුල හිත හදාගැනීමේ මාර්ගයත්  ගැන කියැවෙන ඉතින් මේ ජීවිතය මට ඇති කවි පංතිය ඉතා සිත් ඇද ගන්නා සුළුය.

ඒ තරම් ඉස්කෝලෙ ගියෙ නැති 
ආස වුණ හුග දේ ලැබුනෙ නැති
ඉල්ල ඉල්ලා ඇඩුවේත් නැති
පොඩි කාලෙ මගෙ ජීවිතේ හැටි

බාල කාලයේ හැමදෙයක්ම ඉල්ලා හඩන ඒක බාලකයාගේ පුරුද්දය. නමුත් ඒ යම් බාලකයෙක් එසේ නොවන්නේනම් ඔහු නිතින්ම සුවිශේෂි බාලකයෙකි. කවියේදී කවියා අප වෙත ගෙන එනු ලබන ජීවන දෘෂ්ඨි කෝණය ද එවන් බාලයකුගේ වැඩිහිටි කාළයයි. එය අතිශයින්ම සුන්දර වූත් රසවත් වූත් අවස්ථාවකි.

කුලී ගෙදරින් අපේ ඒකකට 
යමු කියා මං අඩන්නේ නැති 
එහෙම නැතුවත් හිනාවෙන්නට
ඔයා ගෙන එන සතුට මට ඇති

හති දමං පාගන්න වෙන්නැති 
රෝද තුනකට ගියෝතින් ඇති
වෙසක් කාලෙට  තොරන් බලතැකි
පුංචි ඒකෙකුත් ඉන්න කාලෙදි
බෙහෙත් ගන්නත් අරන් යත හැකි

මේ කවි පෙළ දිගින් දිගටම කියැවීමේදී  පසක්  වෙන කාරණා කිහිපයකි. එකක් නම් කථකයාගේ අනාගත සැලසුම්ය. ඒ බව වඩාත් තිව්‍ර වන්නේ,  
පුංචි එකෙකුත් ඉන්න කාලෙදි
බෙහෙත් ගන්නත් අරන් යත හැකි න පෙළිනි. තවද කවිය පුරාම විහිදී ඇති දුප්පත් බව සහ සංතුට්ඨික බව ඉතා ගැඹුරු කියැවීමකි. සද්ධා මාර්ගික පාඨකයෙකුට හඩන්නටද, ප්‍රඥා මාර්ගික පාඨකයෙකුට සිතන්නටද නිරායාසයෙන්ම පොළඹවන මෙවන් කාව්‍යානුභූතීන් ඉතා අගනේය. කවි පංතිය හරහා හිස මතට පතිතවන කුලී නිවෙසක මතක සහ ඒ හරහා කතකයාගේ ජීවිතය වෙත ඒල්ලවන ගැටළුකාරී තත්වයන් පිළිබදවද යම් කියැවීමකට බදුන් කර ඇත.

කුලී ගෙදර ම පොඩි මිදුලෙ හරි
පුංචි මල් පදුරක් වවමු අපි
මල් පිපී හිනැහෙන දවසකදි
සමනල්ලු ඒයි පේළි සැදි සැදි

දුප්පත් කම හරහා යම් සතුටකට ඒළැඹී ඒ තුලින්ම ජීවිතය හදාගැනීමේ මාර්ගයට එලැඹීමටද හැකිය යන ආකල්පය සමාජගත කරන කවියාගේ මෙම කවිය ඉතා සාධනීයය. 
ඉතා රළු වූත් ඉතා මෘදු වූත් මෙහි අඩංගුය. කවියා විටෙක රළු වන්නේත් මෘදු වන්නේත් ස්වකීය පරිකල්පන අභිලාශයන් සාක්ෂාත් කරගැනීමේ දැඩි අරමුණිනි. එයද ඉතා ප්‍රශංසනීය බැව් සටහන් කිරීමට කැමැත්තෙමි. මුදු ද කොපමණ වෙදැගිලිවල හා වලාකුලකට පෙම් බදින්නී  යන කවි පංතීන් දෙකම ඉහත කී මෘදු කවි ගණයට අයත් වේ. නමුදු ඒ කවි තුලද යම් ගැඹුරක් දැකිය හැකිය.

හැපි හැපී මග වලා කැටිවල

එහෙ මෙහේ විසි වෙවී එන විට
සෙමින් ළං වී
රොස් පරොස් වූ වලා රොදකට
කියයි කොදුරා
"පොඩිත්තක් ඉඩ දෙන්න
ඔන්න ඔය මිනිහට" (වලාකුලකට පෙම් බදින්නී)
                                               
මුදවනා වෙර දරන මොහොතෙහි
න්නත්ව ඇති
හැගුම් සසැලෙයි
නිහඩ ස්වරයෙන් 
හඩක් නැග එයි
"ඔබට සබැදුන හදක් ලොව එයි" (මුදු ද කොපමණ වෙදැගිලිවල)
    
මෙහි සදැස් රීතිය උපයෝගී කරගනිමින්  යම් පුවතක් තම අනුභූතිය කරමින් නිර්මාණය වන විධායත නිලධාරියාගේ මරණය යන මැයෙන් ලියැවුනු කවි පංතිය සහෘද සිත කම්පනය කරවයි.

බර අවි පහර වැද පැතුමන් බිදුණූ   දිනේ

කර සවි යළි නැගෙන හැගුමන් සිදුණු  සැණේ 
පෙර දැඩි නොවුණ හද ගැඹ කෙරුණ  මෙනේ
බර  අඩි ලකුණු ගගබඩ තව තිබෙනු පෙනේ
(බර  අඩි ලකුණු ගගබඩ තව තිබෙනු පෙනේ)

මේ කවි පංතියේ මා සිත් ගත්ම වදන් පෙළ මේය. මෙවන් රූපී භාෂාවත් මුළු කවි පංතිය පුරා විහිදී ගියානම් සහෘදයා වඩා කම්පනයට ලක්වන බව නොරහසකි. නමුදු හැම කවියකින්ම සහෘදයා කම්පණයට හෝ හැඩවීමකට ලක් විය යුතු යැයි නීතියක් හෝ රීතියක් කවි ලොවෙහි නැති වගද මතක් කර සිටිමි.

 ගුරුගොඩ සිරිවිමල හිමි .

 2017.06.28 දින.