Monday, February 20, 2023

තෝසයකින් වඩයකින් කෙළවර වෙන අපේ සංහිදියාව

මේ අද අපේ හිතවත් “ඉබ්නු අසුමත්” කවියා විසින් සිංහල කවි දමිළ බසට පරිවර්තනය කරපු දෙමළ කවි පොත. මට මේ පොතේ නමවත් කියවගන්න බැරි තරමටම දමිළ බස නුහුරු වුන පසුබිමක පොතේ එළි දැක්වීම වෙනුවෙන් දේශණයක් කරන්න අවස්ථාවක් ලැබුන අසීමාන්තික අමාරු මොහොතක්. ඒක සරළ මොහොතක් කියල සාමාන්‍යය පාඨකයෙකුට හෝ මනුෂ්‍යයෙකුට හිතන්න පුලුවන්. නමුත් ඒක මාව රත් කරපු මොහොතක්. නමුත් ඒ බසෙහි අභියෝගය තියෙද්දිම මම මගේ අදහස් මාව අහගෙන හිටපු 40-50 ට නොඅඩු දමිළ පාඨකයන් අතර තිබ්බ. (මා විසින් සිදුකළ කෙටි දෙසුම සවන් දෙන්න මෙතනින්)

සිංහලෙන් දමිළ බසට පරිවර්තනය වුන කවි 42 පමණ මේ පොතේ අන්තර්ගතයි. ඒ අතර මගේ කවියකුත් ඉබ්නූ අසුමත් කවියා මේ කෘතිය සඳහා ම විශේෂයෙන් පරිවර්තනය කරල තිබුන. ඒ වගේම කපිල එම් ගමගේ ප්‍රවීණ කවියාගේත් තවත් නූතනයේ අපට හමුවන කවි කිවිඳියන්ගේ කවි කිහිපයක්ම මෙහි අන්තර්ගතයි. මට දමිළ ජනයා සමීප වෙන්නෙ මහාචාර්ය, සුනිල් ආරියරත්න ගේ “දෙමළ බෞද්ධයා” කියන ශාස්ත්‍රීය කෘතියත් සමඟ. ඒ ශාස්ත්‍රීයව හිසේ පැලවුන අදහස් එක්ක මට නැවත කියවන්න ලැබෙන්නෙ එකම එක කවියක්. ඒ, එම්. ඒ නූමාන් කවියා විසින් යාපනය පුස්තකාලය ගිනිබත් කරපු වෙළාවක ලිව්ව කවියක සිංහල පරිවර්තනය එක්ක. ඒ වගේ කවියක් සිංහල මහා සමාජය තුළ සමාජගත කරන්න මැදිහත් වෙන්නෙ හිතවත්, නිලාර් එන් කාසිම් කවියා. ඒ කවිය මේකයි.


'බුදුන් ඝාතනය කිරීම' 

" පෙර දින මගෙ සිහිනයක

බුදුහු වෙඩි වැදී මළහ

සිවිල් ඇදුමෙන් සැදුණු බළ සෙනග

උන්වහන්සේ ඝාතනය කළහ

තිබිණ බිම ඔත් ලේ විලක් මත

ශ්‍රී දේහය

යාපනය පොත් ගුළට ඇතුළු වන

පඩිපෙළ ළග ම"

- ඒම්.ඒ. නූමාන් -

- පරිවර්තනය - නිලාර් එන් කාසිම් -

දෙමළ කවිය තුළ ජනප්‍රියතම ලකුණ මේ කවිය. අපිට කිසි ලෙසකින්වත් අමතක කළ නොහැකි කවිය. අපට මේ වගේ කවියක් කිසි ලෙසකින්වත් දරා ගන්න බැහැ. මේ සිදුවීම ජෙයපාලන් කියන මහා දමිළ කවි සලකුණ දකින්නෙ මේ විදියට; "රෑ පුස්තකාලයට ගිනි තැබූ පුවත බලන්න ගිය අපි හැඩූ කදුළින් ඉද්දී ඊට මීටර් සීයක් තරම් ඈතින් සිටි හමුදාව අත්පුඩි තලමින් බයිලා කියමින් හූ කියමින් හිනාවුණා. අපි වුණත් ආයුධ ගැන විශ්වාසයක් තිබ්බෙ ඒ වෙලාවෙ. ජනතාව එතන ඉකිබිදිමින් විලාප දුන් හඩ තාමත් නින්නාද වෙනවා..." 

ඒ අද්දැකීම මනුෂ්‍යත්වය ගැන අපට තියෙන අවසානම බලාපොරොත්තුවත් සුන් වෙන මොහොතක්. මම හිතන්නෙ දමිළ ජනතාව වෙත සමීප වෙන්න මීට වඩා හේතු අවශ්‍යය නැහැ. ඒ අතර තුර තමයි මට “මාතෘකාවක් නැති මාතෘභූමිය හෙවත් දෙමළ කවි” කියන මංජුල වෙඩිවර්ධනගෙ පොත කියවන්න ලැබෙන්නෙ. එතනින් මාව අසීමාන්තික විදියට දමිළ සමාජය වෙත සමීප කෙරුව. ඔහු ලියනව. මේ විදියට. 


අතින් පයින් දෙමළුන් පපු කැවුතු ඇද

හිතින් රස විඳින නිවටුන් අතර මැද

බුදුන් වැඩිය බිම හිඳ කවි ලියන මට

රජුන් අණින් නිර්වාණය ලැබේවිද?  - “නිර්වාණයට පෙර”-

මේ වගේ ප්‍රාග් යුධ සමය, යුධ සමය සහ පශ්චාත් යුධ සමය තුළ දමිළ සමාජය සහ දමිළ සමාජයෙන් පිටත කවි සමාජය දේවල් දැක්කත් ඒව කිසිම විදියකින් සමාජයක් විදියකට අපි කිසි කෙනෙකුට සන්නිවේදනය කරගන්න අපහසු වුනා. ඒකෙ ප්‍රතිඵලය තමයි අපි අදටත් සමාජ දෙකක් විදියට බෙදිල කතා කරන්නෙ. කවි සමාජය තුළ පවා දමිළ කවි, සිංහල කවි කියල බෙදීමක් නිර්මාණය වෙන්නෙ. දමිළ සහ සිංහල කියන සමස්ත ජනප්‍රජාව තුළ සාමයේ පිරිසිදු දෑත් දිගු නොවන තත්වයක් අද අපේ සමාජය තුළ තියෙන්නෙ. මේ බෙදීම රටකට දිගු දුරක් යා නොහැකි තරමේ විශාල සමාජ ගැටළුවක්. ඒක අපි තේරුම් ගන්නෙ නැහැ. 

දමිළ කවිය සාංදෘශ්ටික චින්තාවක් හොයාගෙන යන සමයක දි අපි රෝමාන්තිකම කවි ලියනව. කෝපි කවි, සීතල එයාර් කන්ඩිෂන් කවි, වගේ සෞන්දර්යවාදයට ශාතිශය නැඹුරු වුන සිංහල නූතනම සමාජ මාධ්‍ය කවි ලියද්දිත් දමිළ කවියා වෙනත් සමාජ දේශපාලන කතිකාවක් ඇතුළෙ වැඩ කරමින් සමස්ත කවියේ හැඬයට විවිධතාවක් එකතු කරනව. ඒක මොනතරම් ගැඹුරු ද කියනවනම් සිංහල තරුණ කවියා පෙම් කවි ලිවීම නිසා පාසලෙන් අස් කරන මොහොතක දමිළ කවියන්ව සමාජීය වශයෙන් හා මානසික අතින් දුබල කිරීමට මජරම නීති තුළින්  “අහ්නෆ්  ජසීම්” වගේ කවියන්ව හිර කරල තියනව. ඇත්තෙන්ම මේ ලියනව කියන වැඩේ වෙඩිවර්ධන කියනව වගේ , රජුන් අණින් නිවන් දකින්න සිද්ධ වෙන අද්දකීමක්.  මේ තත්වය දේශපාලනික වශයෙන් සිංහල දෙමළ බේදයක් නැතිව සමාජයක් විදියට අපව මේ තරම් අනීතික තත්වයකට රට ඇඳල දාල තියෙද්දි තමයි ඉබ්නු අසුමත් වගේ ලේඛකයෙක් ඇවිල්ල අපේ සිංහල සමාජයේ කවි ටිකක් දමිළ භාෂාවට පරිවර්තනය කරල දමිළ සමාජය වෙත පිරිනමන්නෙ. සංස්කෘතික අමාත්‍යාංශයක් මැදිහත් වෙලා කළ යුතු බරසාර වැඩක් ඉබ්නූ අසුමත් විසින් තනිවම කරල තියෙනව. අප එය ඇගයිය යුතුමයි. 

දමිළ සිංහල සමස්ත ප්‍රජාව එකිනෙකා තුළ සන්නිවේදන බැරියර් නිසා දෙකඩ වෙලා තියෙනව. අපි එකිනෙකා දේවල් ගැන කොහොමද හිතන්නෙ කියල අපට අදහසක් නෑ. ඒ නිසා අපි හැමදාම විරසකයෙන්. කපිල එම් ගමගේ එක්ක මම යෙදුන මොහොතක සංවාදයෙදි කියවුනේ එතුමගෙ පරම්පරාවත් මගේ පරම්පරාවත් දෙකම අවසන් වෙද්දිත්, අපේ මේ සන්නිවේදන දුබලතාවන් නිසා හිතන විධි වල ට ඈදුන මජර දේශපාලන අදහස් නිසා මේ තත්වය කිසිදු අයුරකින් සමනය වී නොතිබේවි. මගෙන් පසු පරම්පරාව පවා දැන් ඉරටු බවට පත්ව අවසන්. ඔවුන් පවා ජාතිවාදී, ආගම්වාදී චින්තනය තුළ තමන්ගෙ දෘශ්ටිවාද අඩුවැඩියෙන් හදාගෙන අවසන්. සාමිනාදන් විමල් වගේ කෙනෙක් කරන බරපතල මැදිහත් වීම් තුළ පවා අපේ බුද්ධිමය වූ ශාස්ත්‍රීය  කතිකාවන් දිගුදුර අරන් යන්න  බැරි තරම් අපි දුර්වලයි. කෙසේ වෙතත් මේ පොත හෙට පිපෙන මලකට නැවුම් වැස්සක් කියන ප්‍රාර්ථනාව අපි තුළ තියෙනව. තෝසයකින් වඩයකින් කෙළවර වෙන අපේ සංහිදියාව පොත පතක් දක්වා දුරදිග යන්නම ඕන. එහෙම නොවුනොත් හෙටත් මේ දේශපාකයන්ගෙ වේදිකාවල ප්‍රධානතම මාතෘකාව 13 දෙනවද නැද්ද කියන එක.

අඩු තරමේ අපි දැන්වත් “ජයං වේරං පසවති” වගේ බුද්ධ දේශනාවක්වත් දේශපාලනිකව කියවාගත යුතු මොහොතක් දක්වා තල්ලු වෙලයි තියෙන්නෙ. මේ බිඳුණ සමාජය හරිම කර්කෂයි. හරියට උතුරෙ තද රස්සනය වගේ.

ජයං වේරං පසවති

දුක්ඛං සේති පරාජිතෝ

උපසන්තෝ සුඛං සේති 

හිත්වා ජයපරාජයං

දිනාගත් කෙනා ගැන – වෛරයයි හටගන්නේ

පරාජය ලැබූ අය – දුක සේ ය සැතැපෙන්නේ

අත්හැර ජය පරාජය – වසති රහතුන් ලොවෙහි සුවසේ

 

-ගුරුගොඩ සිරිවිමල-



Friday, December 2, 2022

නරසීහ ගාථා කියන්නෙ මහ පුදුම හැඟීමක්.

නරසීහ ගාථා කියන්නෙ යශෝදරාව විසින්; රාහුල පුතාට තමන්ගෙ තාත්තව බලන්න ඕන කියද්දි. හැබැයි මට හිතෙන විදියට නරසීහ ගාථාවලදි යශෝදරාව පෙන්වන්නෙ රාහුල කුමාරයගෙ තාත්තව නෙමෙයි. යශෝදරාගෙ ස්වාමියාව. ඇයට තමන්ගේ ස්වාමියා ගැන කෑ ගහල කියන්න තරම් මහා හැඟීමක් ඇය තුළ තිබුන ඇති.

ගැහැණියකගේ හිතේ තමන්ගෙ ස්වාමියා රූප කාය ගැන තියෙන හැඟීම! ඒක සමහරවිට පැරණි භාරතයේ පුරුෂ මූලික සමාජය තුළ දෙවැනි වූ කාන්තාවක් තමන්ගෙ ස්වාමියා ගැන හිතන විදිය වෙන්නත් පුලුවන්. සමහරවිට රාජකීය කුටුම්භයක් තුළ හෝ අද පවා මධ්‍යම පාන්තික නාගරික ගැහැණියකට තමන්ගෙ ස්වාමියා ගැන තියෙන ආදරණීය හැඟීම වෙන්න පුලුවන්. සමහරවිට රාජකීය පුරුෂයෙක් ගැන පුරාතන භාරතය තුළ තිබුන ආකල්පය වෙන්න පුලුවන්. ඓතිහාසික මිනිසකුගේ මහා අඛ්‍යානයක් අපි මොන විදියට පරිකල්පනය කරත් ඒක අසම්පූර්ණයි. ඒ අසම්පූර්ණ බවේ හෙවනැල්ල තියාගෙනම මේ නරසීහ ගාථා ගැන මට එහෙම හිතෙනව. ඔව්! ඒක තමන් ප්‍රාණසමව ආදරේ කරන ස්වාමියා ගැන තිබුන අප්‍රමාන හැඟීමක්.

මේ වචන, යෙඳුම් මාරම ලස්සනයි. මේ සියල්ල එකතු වෙලා එන හැඟීම! ඒක කියල නිමක් කරන්න බැහැ.

මගේ ස්වාමියා, චක්‍ර, චාමර සහ ඡත්‍ර ලකුණු සහිත යුතු රන්වන් පා, මනහර දික් විලුඹ, දිගු, තුඟු නාසය, එදිනම උපන් වසු පැටවකුගේ වගේ ඇස්, දේදුන්න වගේ දෙබැම, යන සියල්ල එක් වුන පුන්සඳක් වගේ මුහුණක් තියෙන කෙනෙක්.

මගේ ස්වාමියා, මනාව වටකුරු පිරුණු සුමට ගෙල, සිංහයෙකුගෙ වගේ හනුව, රන්පටත් වගේ සුපහන් නළල, නළල මැද පිහිටි ඕෂධී තාරකාවක් වගේ ඌර්ණ රෝමය, අඳුන් වැනි තද කළු හිස කෙස්, උඩු සහ යටි ඇන්දෙ සමව පිහිටි දත් හතලිහ, රත්හිරියල් වගේ රත් පැහැති දිව, රන්වන්, සියුමැලි, පියකරු හමේ පැහැය තියෙන, ඉතා සිනිඳු, ඉතා ගැඹුරු, ඉතා මිහිරි හඬක් තියෙන කෙනෙක්.

මගේ ස්වාමියා, ඉහළම කුලය වුන ශාක්‍යය කුලයෙ ඉපඳුන, මත් වුන අතෙක්ගෙ ගමන වගේ ගමනක් තියෙන, තරු සිය දාස් ගණනක් පිරිවරාගෙන අහසේ තියෙන හඳ වගේ මිනිස්සු ගොඩක් පිරිවරාගත්ත කෙනෙක්.

තමන්ගේ ආදරණීය ස්වාමියාගේ සිරුර පමණක් වර්ණනා කරල යශෝදරාව නිකම්ම ඉන්නෙ නැහැ. ඇය තමන්ගෙ ස්වාමියාගේ මානසික ගුණාංගත් එකින් එක කියනව.

මගේ ස්වාමියා, දෙව්මිනිස් හැමෝටම ප්‍රිය උපදවන කෙනෙක්, සීලයෙන්, සමාධියෙන් පිරිච්ච හිතක් තියෙන කෙනෙක්,  ලෝකෙටම යහපත සලස්වන්න ආපු කෙනෙක්.

මේ තියෙන්නෙ යශෝදරාව තමන්ගෙ ස්වාමියාව වර්ණනා කරන විදිය. අපේ ගැහැණුත් ආස කරන්නෙ ශාරුඛ්, සල්මාන්, වගේ කෙනෙක්ට. සමහරවිට තමන්ට ඉන්න කැහැටු ගැහැන හෝ ආදරණීය ස්වාමියාගේ පෞරුෂය ගැන මේ වගේ හැඟීමක් තියෙන්නෙ. එදා රාහුලවත් මාළිගාවෙ තියාගෙන තනිවම හිටිය යශේදරාට තමන්ගෙ ස්වාමියා ගැන හිතුන විදිය සාහිත්‍ය විසින් දකින්නෙ එහෙම.

මේ ශරීර හැඬ එකින් එක ගැන වෙන වෙනම හිතද්දි, මේ ගුණාංග ගැන වෙන වෙනම අරන් හිතද්දි මේ සාහිත්‍යමය වර්ණනාව කොච්චර ලස්සනද කියල හිතෙනව. එදා යශෝදරාට මේ වගේ හැඟීමක් තියෙනව කියල තව කවුරුහරි හිතන එක මොන තරම් ලොකු පරිකල්පනයක්ද?

මේකෙ චමත්කාරජනක බව නරසීහ ගාථා ඇහෙද්දි දැනෙනව. ඔබට පාලි වචන තේරුම් ගන්න අපහසු වුනත් ඒ ලස්සනට යොදල තියෙන භාෂාත්මක යෙදුම් මොන තරම් පරිපූර්ණද කියල අහල බලන්න. මේ භාෂාත්මක යෙදුම් තුළ මොන තරම් අර්ථ ප්‍රකාශ කරනවද? මේ වචන වල තියෙන සාහිත්‍යමය රස දවසකින් කතා කරල ඉවර කරන්න බැරි තරම්. නරසීහ ගාථා කියන්නෙ මහ පුදුම හැඟීමක්.

මත්ත ගජින්ද විලාසිත ගාමි - මත් වූ හස්ථියෙකුගේ බඳු ගමන් ඇති.
පුණ්ණ සසංක නිභෝ මුඛ වණ්ණෝ - පුන්සඳක් වගේ පැහැයෙන් බබලන මුහුණ.
ඕසධිපණ්ඩර සුද්ධ සුඋණ්හෝ - ඕෂධී තාරකාව වැනි ඌර්ණ රෝමය.

සිනිද්ධ සුගම්භිර මන්ජු සුඝෝසෝ - සුසුනිදු ගැඹුරු, මිහිරි තෙපුල්.


-ගුරුගොඩ සිරිවිමල-



Saturday, August 27, 2022

සයන පූජා,රන්තැඹිලි, රන්දෝතළු, ලක්ෂ ගණනේ මල් පූජා

මම අවුරුදු ගණනාවකින් කිසිඳු වන්දනා චාරිකාවක් ගිහිල්ල නැහැ. ගමන් යන්න තියෙන අකමැත්ත ඒකට හේතුව. ඉස්සර අපි පිරිවෙනෙන් හෝ පංසලෙන් වන්දනා චාරිකා යනව. ඒ ඉතින් යද්දි අනිවාර්යෙන්ම යන්නෙ අනුරාධපුර තමයි. අපි ඉස්සර අනුරාධපුර යද්දි පොඩිකමට කිසි දෙයක් නොතේරුණාට ඒ ගමං ගැන නැවත කල්පනා කරද්දි හිතෙන දෙයක් තමයි අනුරාධපුරය කියන්නෙ මනුස්සයෙක්ව එකපාරින්ම නිවිච්ච මනුස්සයෙක් බවට පත් කරන්න පුලුවන් තැනක්ය කියන එක.

රුවන්මැලි සෑය(මහාසෑය), මහා බෝධිය කියන්නෙ මිනිස්සු දහ දාහක් මැද්දෙ වුනත් මනුස්සයෙක්ව නිවන්න පුලුවන් තැන්. අවසාන වතාවට වගේ මම රුවන්මැලි සෑයට ගියෙ සිවුරු පූජාවකට. එතන හරි කළඹලයි. මිනිස්සු සිවුරු අතේ තියාගෙන හරි කළඹලෙන් හාමුදුරුවරු පස්සෙන් ඉස්සරහින් යනව. ඒ අයව දැක්ක ගමන් තේරෙන්නෙ එයාලගෙ හිතෙන් සන්සුන් බව ගිලිහිලා කියල.
උදෑසන, දහවල දිස්වෙන හිස් අහස, සැලෙන ගහකොළ වැල, හිටි ගමන් එහෙ මෙහෙ දුවන මුවන්, මොණරුන් ඇතුලු සත්ව වර්ග, විවිධ සුවඳැති හඳුන්කූරු දුම් මික්ස් වෙලා එන කෝවිල් සුවඳ, තැනින් තැන මී කිරි, අයිස්ක්රීම්, බොබයි මොටයි විකුණන මිනිස්සු, වාහන වල ඩිකි ඇරගෙන කෑම කන මිනිස්සු, නැවත රාත්රියට හඳ විතරක් තනි වුන කළුවර අහස, පූජාස්ථානයට මඳක් දුරින් වැවකට ඉතා ආසන්නයෙන් සිංදුවක් කියල විනෝද වෙන මිනිස්සු, තැන තැන දිස්වෙන අතීත පුරාවස්තු කියන්නෙ අපේ හිත් විශාල දුරකට එක්ක යන ඒ වගේම එක තැනක නවත්වන සුන්දර දේවල්. ඒ හැමදෙයක්ම ශ්රද්ධාව නාමයෙන් අද වෙද්දි නැති වෙලා.
ඉස්සර නෙළුම් මල් දෙකක්, දුම් වලින් නැහැවුන හඳුන් කූරක්, කිරි පූජාවක්, උපරිම වුනොත් අටපිරිකරක් අතින් අරගෙන යන මිනිස්සු ගොඩකගෙ දකින පැහැදිලි බව අද එතනට යන එක මනුස්සයෙකුගෙ හිතේ නැති බව ඒ ඒ තැන්වල වීඩියෝ දකිද්දි මට පැහැදිලි වෙනව. එකිනෙකා පරයා මම මෙච්චරක් පූජා කරනව වගේ තරඟකාරී වටපිටාවක් එතනදි දකින්න ලැබෙනව. මිනිස්සු තමන්ට ආස විදියට පූජා සිද්ධ කරන එක එයාලගෙ වැඩක්. හැබැයි ඒවයෙන් තේරුමක් තියෙනවද කියල ඒ අය කල්පනා කළ යුතුයි.
මිනිස්සු වන්දනා කරන්න ඕන තමන්ගෙ හිත නිදහස් කරගන්න. හිතේ කාන්සිය නිවා ගන්න. ඇත්තෙන්ම ඒක ට්රිප් එකක් විය යුතුයි. කොහොම වුනත් අපේ රටේ චාරිකා වෙනුවෙන් බිහිවුන සම්ප්රදායක් නැහැනෙ. තනි පවුලක් වුනත් ගෙදරින් එලියට නිවාඩුවක් යන්නෙ මුළු ගෙදරම අලුත් විදියකින් ට්රිප් එකට එකතු කරගෙන.
කෙනෙක් කරන දේවල් තව කෙනෙක්ගෙ විනිශ්චයට ලක්වෙන එක යම් ආකාරයක ඕපදූප සෙවීමක් වුනත් මම හිතන්නෙ මිනිස්සු තමන්ගෙ හිත කඩා බිඳවගන්න සංචාර නොකල යුතුයි කියල. එකිනෙකා යෙදෙන තරඟයක තරඟ කරුවෙක් වෙමින් සෑයක් වටා රොක් වෙමින් විවිධ පුද පූජා කිරීමෙන් මිනිස් සන්තානයේ සනීපම දේවල් මඟ හරවගන්න එක කොච්චර අවුලක්ද.
සයන පූජා,රන්තැඹිලි, රන්දෝතළු, ලක්ෂ ගණනේ මල් පූජා මේ හැමදේම එක්ක මිනිස්සු තරඟකාරී වෙලා. මේ හැමදේම දිහා බලාගෙන චෛත්යයටයි බෝධියටයි හිනාත් යනව ඇති.
-ගුරුගොඩ සිරිවිමල-