Tuesday, January 22, 2019

නිධන් වස්තු

සමීප විහාරයක චෛත්‍යයක් සාදා එහි නිදහන් වස්තු සහ ධාතු තැන්පත් කිරීමත් හුදී ජන වන්දනාව උදෙසා අවස්ථාව ලබාදීමත් පසුගිය දාක සිදු වින. එය අතිශයින් රමණීය අවස්ථාවෙකි. සැදැහැයෙන් බොහෝ මිනිසුන් එක්ව මිළ මුදල් සේම ශ්‍රමය ද කාලය ද කැප කරමින් ගොඩනගා ගත් වෙහෙර සුද ට සුදේ බැබලෙමින් විහාරස්ථානයම ආලෝකවත් වන අයුරු බලා හිඳින තරම් සතුටක් සැදැහැතියෙකුට වාවා ගනු නොහැකිය. එක උපාසිකාවක් අප පිරිත් කියමින් සිටි තැනින් තම මිණිපිරියගේ දෑතේ එල්ලෙමින් කඳුළු වඟුරමින් යනවා මා දිටිමි. ඒ සතුටු කඳුළු ය. 
         කෙසේවෙතත් මේ වැඩ කටයුතු අස්සේ මගේ සිත ඇඳී යන්නේ නිධහන් වස්තු කෙරෙහිය. නිධහන් වස්තු විවිධ ය. අයෙකු මිය ගිය පසු භශ්මාවශේෂ ගෙන සොහොන් තනති. මිය ගිය තැනැත්තා පිදිය යුත්තකුනම් එය සොහොනක් නොවී චෛත්‍යයක් වනු ඇත. සමහරුන් භශ්මාවශේෂ ගෙන ජලයේ පා කර යවයි. කෙසේ වෙතත් ඒ සියල්ල නිධහන් වස්තුය. තැන්පත් වන්නේ හදවතේ ගැඹුරු තැනෙකය. ඒ මතක ලෙසය. මතකයන් අමතක කිරීම හෙවත් අතීතය වල දැමීම සජීවී මිනිසකුට කළ නොහැකි දෙයකි.
     ධම්මික බණ්ඩාරයන් ලියන හන්තානට පායන සඳ ගීතයේ කොටසක " මා ගැන මතකය ගුලි කර මහවැලියට දමන්න " යනුවෙන් ලියයි. නමුත් එය භෂ්මාවශේෂ ගඟ දියෙහි පා කරනවා වැනි සරළ දෙයක්නම් නොවේ. මිය ගිය, ජීවත් වන සියල්ලම අතීත කාලයට පිරිනැමෙන්නේ ඒවා මතකයන් ලෙස හදුන්වමිනි. බොහෝවිට චෛත්‍යයට නිධහන් වස්තු තැන්පත් කර හඬ හඬා ගිය උපාසකම්මාගේ කඳුළුවල කවර හෝ මතකයක් නිධන්ගත වී තියෙන්නට ඇත.
මතකය හෙවත් අතීතය යනු නිධහන් වස්තුය. ඒවා තැන්පත් වන්නේ සිත නැමැති කරඬුවේය. කරඬුව තුළ තැන්පත් වන සියළු මතක අපව සිනහවටත් කඳුළටත් යොමු කරවයි. අවාසානාව නම් මිනිස් සිත තුළ තැන්පත් ව ඇති බොහෝ මතක කඳුළු මතකයන් වීම ය. බොහෝ අය නිධහන් තැන්පත් කරන්නේ අනාගතය ගැන සිතමිනි. සමහරුන් නැවත ගොඩ නොගනිමියි යන අටියෙනි. අනාගතය ගැන සිතා නිධහන් කරණ වස්තූන් හෙවත් මතක ගැන බොහෝ අය සිහින ගොඩ නගති. නැවත ගොඩ නොගනිමියි යන අටියෙන් වස්තූන් හෙවත් මතක තැන්පත් කල අය වළ දැමූ/ තැන්පත් කරන ලද මතක ගැන සිතා හූල්ලති. සුසුම් හෙළති.

බුදුන්වහන්සේ දේශනා කරන්නේ,
අතීතං නානු සෝචාමී
නප්පජප්පන්ති නාගතං
පච්චුපන්නේන යා පෙන්ති
තේන වන්ණො පසීදති යනුවෙනි.

අතීතය දෙස බලා ශෝක නොකළ යුතුය
නොපැමිණි අනාගතය සිතමින් නොතැවිය යුතුය.
වඩාත් යහපත් වන්නේ වර්ථමානයේ ජීවත් වීමය.


|ගුරුගොඩ සිරිවිමල


No comments:

Post a Comment