Tuesday, April 16, 2019

චිත්තාභ්‍යන්තරයේ සාමයික සිතිවිලි අවුලුවන දඩබ්බරයා

සිදුහත් චරිතය කියැවීම ලෙහෙසි නැත. බෞද්ධ සම්ප්‍රරාදායයන් තුළින් හෙම්බත් කර නන්නත්තාර කරන ලද සිද්ධාර්ථ චරිතය පිළිබදව නූතන මිනිසා යම් පරිකල්පනයකට පැමිණීමේ දී "අනේ අපෝයි සිද්ධාර්ථ" කියනවා හැර අන් යමක් කීමට නොහැකිය. සමහර විට නූතන මිනිසා භෞතිකවාදී චින්තාවෙන් සෑම දෙයක් දෙසම බැලීම එයට හේතුව විය හැකිය. කෙසේවෙතත් සිදුහත් චරිතය පිළිබදව ලියැවුණු බොහෝ කෘතීන් මා කියවා ඇත. භදන්ත අශ්වඝෝෂ පාදයන් සංස්කෘත භාෂාවෙන් රචනා කරන බුද්ධ චරිත මහා කාව්‍ය මන නන්දනීය වූත් සාතිශය සෞන්දර්යාත්මක සිද්ධාර්ථ කෙනෙකු මට ඉන් මුණ ගැසේ. ප්‍රධාන වශයෙන් සිද්ධාර්ථ චරිතය මහායාන, ථෙරවාද බෞද්ධ සම්ප්‍රදා දෙකේදීම  ප්‍රතිසංස්කරණය කෙරේ. එය හුදෙක් ආගමිකමය සහ ‌‌ෙඑතිහාසික උවමනාවන් ගේ එකතුවකි. 
                  
කෘතියේ ඉදිරිපස - - විරන්ත ඩාවි විසින් සිතුවම් ‌ෙකොට ඇත‍
       මේ සිදුහත් කවුරුන්ද යන්න ඊළග ප්‍රවේශයයි. සිදුහත් යනු ගෞතම බුදුන් ලෙස ගොඩනැගෙන දාර්ශනික සම්ප්‍රදායේ විශිෂ්ඨතම ශාස්තෘවරයාගේ ගිහි කාලයයි. සුද්ධෝදන, මහාමායා දෙපළට දාව උපදින ක්ෂත්‍රිය පරපුරේ දැවැන්තයායි. යශෝධරාවගේ සැමියා ද රාහුලගේ පියා ද වන සිද්ධාර්ථයි. එසේනම් මේ අමුතු සිද්ධාර්ථ කෙනෙකු නොව. සැබැවින්ම අප කල්ප කලාන්තරයක් මුළුල්ලේ විශ්වාස කරන සිද්ධාර්ථගේ කතාවමය. 
       උක්ත කී ද්විතීය මූලාශ්‍ර වලින් අපට හමුවන සිද්ධාර්ථගේ කතාව අපට නැවත කියවන්නට අවස්ථාවක් ලැබී ඇත. ඒ ඩිල්ෂාන් පතිරත්න ‌ගේ "දඩබ්බරයා" කෘතිය හරහාය. ඩිල්ෂාන්ගේ දඩබ්බරයා කෘතිය තුළින් උක්ත කී මූලාශ්‍ර කෘතීන්ට සිදුවන හානිය බරපතලය. ඩිල්ෂාන් ගේ කෘතියේ සාහිත්‍යමය පරතරය අප විසදාගත යුත්තේ ආගමික දෘෂ්ඨිකෝණයක හිද නොවේ. යථාර්ථවාදී දෘෂ්ඨීකෝණයකිනි. සිද්ධාර්ථ කුමාරයා කොතැනදීත් යථාර්ථවාදී මිනිසෙකු ලෙස හැදින්වූවද ඒ කෘතීන්හිදී බරපතල අසාධාරණයක් සිද්ධාර්ථට සිදු වේ. කුමක් නිසාද යත් සැබැවින්ම ඒ සාහිත්‍ය කෘතීන් සැබැවින්ම යථාර්ථවාදය මුල් කරගනිමින් නොලියවුනු හුදෙක් හුදී ජන පහන් සංවේගය උදෙසා ලියැවුනු කෘතීන් වීමය. සැබැවින්ම භක්තිමත් ආගමිකයෙකු මෙය කියවුවහොත් ඩිල්ෂාන් හොම්බ තැලෙන්ඩ ගුටි කනවා නො අනුමානය. නමුත් භවතරණය ලියා වික්‍රමසිංහයන්ට වූ දෙයම ඩිල්ෂාන්ට ද විය හැකි වීමේ සම්භාවිතාව ඉතා අඩු තැනක පවතින්නේ ඩිල්ෂාන්ගේ සාහිත්‍ය භාවිතාව යම් සීමාවක පවතින බැවිනි. 
        මේ කෙසේ උවද ඩිල්ෂාන්ගේ දඩබ්බරයා කෘතිය කියැවීමෙන් මට ඇති වූ චිත්තප්‍රීතිය සුළු නැත. මෙවැන්නක් ලියන්නට හේතු වන්නේ ද ඒ ප්‍රීතියමය. අපට පැරණි සාහිත්‍ය තුළින් හමුවන සිද්ධාර්ථ චරිතයට වඩා ඩිල්ෂාන්ගේ කෘතිය තුළින් හමුවන සිද්ධාර්ථ කියවා ඒ තුළින් අළු දූලී ගසා නැගිටින ගෞතම බුදුන් වහන්සේ කෙරෙහි මා තුළ ශ්‍රද්ධාවක් ජනිත වේ. ඒ ඩිල්ෂාන්ගේ කෘතියෙන් වන බලපෑමය. නමුත් මෙය අපට පිළිගත හැකි සීමාව ප්‍රේමය තුළින් කෙළවර වීම නිසා තවමත් ඌණ පූර්ණය විය යුතු සිද්ධාර්ථ කෙනෙකු සිටින බවද පාඨකයා මතක තබා ගත යුතුය. මේ සන්දර්භය තුළම එකී කාරණය ද ඉටු වූවානම් ඩිල්ෂාන් යනු ‌ෙඑතිහාසික කාර්යයක් ඉටු කළ දැවැන්තයෙක් වනවා ඇත. ‍මෙහි සන්දර්භය බෙදා වෙන් කළ විට ප්‍රේමය, සිද්ධාර්ථ චරිතය, සහ ආගමික වපසරියෙහි සැකැස්ම සහ මිත්‍යාව යන කරුණු මුල් කර ගනිමින් සාකච්ඡා කළ හැකිය. මුළු කෘතිය පුරාවටම මානව ප්‍රේමය සහ සිදුහත් යශෝධරා පෙම් පුවත ඇති පදම් සාකච්ඡා කළ හැකි නිසා මෙය ප්‍රේමය මුල් කොට ලියැවුණු කෘතියක් ලෙස නම් කළ හැකිය. 
        කතුවරයා සාධනීය ආරම්භයක් සහ සාධාරණ අවසානයක් මේ කතාන්තරයට ලබා දීම සිත්ගන්නා සුළුය. කතුවරයා එතැනදීම දඩබ්බර වී සිදුහත් චරිතය උපතින් පටන් නොගෙන මැදි අවධිය හෙවත් තරුණ කාලයෙන් ආරම්භ කරයි. එය ඔහු ආරම්භ කරන්නේ සුද්දෝධන රජුගේ සත්කාරකත්වයෙන් ඒ මාළිගා පරිශ්‍රයේ පැවැත්වෙන ප්‍රිය සම්භාෂණයකිනි. එතැනදීම පුද්ගල චරිත හදුන්වා දෙමින්, කතාව වටේ නොයවා පැහැදිලි ආරම්භයක් ගනී. එසේම කතුවරයා මුල් පරිච්ඡේදයේදීම සිදුහත් කවුද යන්න පාඨකයාට යම් අදහසක් ලබා දෙයි. 
"කොහේ ඉදලද දන්නෙ නැහැ ආවේ"
 සුද්ධෝදන නැවතත් නොරිස්සුම් ස්වරයෙන් මිමිණුවේය.     
                                         - පිටු. 03 -

"මොකෝ සිද්ධාර්ථ පමා වුණේ ඔබ එන්න"
"මං ගියා සොහොන්පල්ලා මුණගැහෙන්න සොහොනට"
                                        - පිටු. 05 -
යන කෘතියේ එන උදෘතයන් තුළින් සිද්ධාර්ථ කවුද යන්න ඔ්නෑවටත් වඩා පැහැදිලි වේ. සුද්ධෝදන පිය රජුගේ උක්ත ප්‍රකාශය තුළින් මූ මහ එපා කරපු පුතෙක් යන්න පාඨකයාට අවබෝධ කරවයි. එසේම උක්ත සිද්ධාර්ථගේ ප්‍රකාශයෙන් සිද්ධාර්ථ යනු රාජ ශ්‍රීයෙන් හිස උදුම්මාගත් ළාමක මාන්නක්කාරයෙකු නොවන බව පාඨකයාට තේරුම් යයි. එය මුල් පරිච්ඡේදයේ කතාවේ මුලටම යෙදීමෙන් කතුවරයා සිදු කර ඇත්තේ පාඨකයා වටේ නොයවා මේ කතාන්තරය ඉතා ඉක්මනින් කියවා හමාර කිරීමටය. එය මේ කෘතිය පිටු 134 ක් වැනි ඉතා සුළු පිටු ප්‍රමාණයකින් අහවර වීම තුළින් වඩාත් තිව්‍ර වේ.  
       ප්‍රේමයේ විවිධ පැතිකඩයන් තුළින් නිරූපනය වන සිද්ධාර්ථ චරිතය මහා ප්‍රේමවන්තයෙකු ලෙස පෙන්වා දීම සාම්ප්‍රදායික සිදුහත් චරිතයේ ද අනිවාර්ය ලක්ෂණයකි. එයම කතුවරයා විසින් මෙහිදී සිදු කරනු ලබයි. නමුත් සම්ප්‍රදායිකව යශෝදරාවත වැනි තැන් වලින් අපට හමුවන සිද්ධාර්ථ චරිතය තත් කෘතියේ දී නැවත ගොඩනැගීමට කතුවරයා උත්සුක නොවෙයි. කිසාගෝතමියට ද හොර රහසේ පෙම් කරන, යශෝදරාවට ද පෙම් කරන සිද්ධාර්ථ සමහර විට බෞද්ධ සංස්කෘතික සමාජයෙන් ප්‍රතික්ෂේපිත වන චරිතයකි. පුද්ගල මනෝභාවයන් කෙතරම් උත්තුංග ද යන්න දඩබ්බරයා පාඨකයාට පෙන්නුම් කරයි. 
         කෘතිය මුලදීම සිද්ධාර්ථට බැල්ම හෙළන යශෝදරා ද අප කියවා දැන සිටි යශෝදරා නොවේ. සාදයට සහභාගී ව සිටින සුප්‍රබුද්ධ පවුලේ යශෝදරාවන් සිය පෙම්වතා එන තුරු මග බලමින් සිටින අයුරු කතාවේ මුලදීම පෙනේ.
"මේ අතර තලත්තෑනි මවු බිසවක් ළග සැබෑ ලෙස ම ඉතා සංවරයෙන් අසුන්ගෙන හුන් නිවුණු ළලනා රූපයකි. ඇය සියල්ලන් සමගම ඉතා ප්‍රියමනාපව කතිකා කරමින් සිටින්නී ය. පමණට සිනාසෙන්නී ය. කෙළිලොල් ය. එහෙත් ඇයද තරමක් නොසන්සුන් ය. මේ සියලු සිදුවීම් මැද ඇය වරෙන වර තම හිස ඔසවමින් කිසිවෙකු සොයන බව පෙනෙයි. ඇගේ නිල් නෙත් වරදත්ත, මහානාම, අනුරුද්ධ, කපිල විනිවිද යමින් යමෙකු සොයයි. 
 ඔහු එයි. කලබල නොවී ඉන්න."
                                  - පිටු. 01 - 
          මෙම පාඨයේ එන ඇය වනාහී යශෝදරාවන්ය. ඇයගේ කියවීම් වර්ණනාවන් මෙහි දී ද සම්ප්‍රදායික මගක් ගත්ත ද ඇය සිදුහත් එනතුරු මග බලමින් හිදීම උත්ප්‍රාසවත් ය. එවන් දෙයක් අප කියවා ඇති යශෝදරා චරිතයෙන් දැක නැත. මේ දෙදෙනාගේ පෙම්වත් කතා දෙබස් ද ඩිල්ෂාන් ගද්‍ය ස්වරූපයෙන් පෙන්වා ඇති අයුරු මනරම්ය. එය හුදු රචනා ශෛලියකින් නො ලියැවී ගද්‍ය ස්වරූපයක් ගනී.
"ඔබ නිතරම දකින්න ආසයි.
  ඔහු ප්‍රේමය සගවා ප්‍රේමය හෙළි කළේ ය.
  ඔබට නිතරම පේන්න ඉන්න ආසයි. "
                             - පිටු. 08 -
            සිදුහත්ගේ බොහෝ පෙම්වත් වීම් අතර දැඩිව යශෝදරා මතම පැටවූවත් කතුවරයා සිද්ධාර්ථට බොහෝ පෙම්වතියන් සිටි බව පෙන්වා දෙයි. නමුත් ඒවා වැඩි දුර නොයැවීම මුල් කතාවට බාධාවක් විය හැකි බැවින් එකී පෙම්කතා වලට වැඩි බරක් නොදෙයි. නමුත් සැබැවින්ම සිද්ධාර්ථ මුල් කරගනිමින් කතුවරයා මේ ලියන ප්‍රබන්ධය ලගන්නා සුළු වන්නේද එකී චූල පෙම්කතා වල රසය මැදි වීම නිසාමය.  ඒ අනුව සිදුහත්,
"මේ ප්‍රේමණීය සිදුවීම් සමුදාය මැද වුවද, සිද්ධාර්ථ වුන්නේ තරමක කැළඹීමකිනි. එක් පසෙකින් සිතට එඹිකම් කරන යශෝදරාගේ නොඉදුල් ප්‍රේමයයි. අනෙක් පසින් කිසිවකුත් නොදන්නා කතාවකි. එනම් දහවලේ මුණ ගැසුණු සොහොන් පල්ලාගේ දියණිය වූ ශෝභාගේ උණුසුමයි. 
                                                                                                                          - පිටු. 09 -
             සොහොන් පල්ලාගේ දියණියට පෙම් කිරීමට තරම් මෘදු මොළොක් ප්‍රේමයක් ඇතිසිද්ධාර්ථ චරිතය විටෙක කිසා ගෝතමියට ද පෙම් කරයි. එසේනම් කතුවරයා පාඨකයාට නොකියූ සිදුහත්ගේ පෙම් කතා රාශියක් තිබෙන්නට ඇත. ඒවා සැබෑ ප්‍රේමය නොවුනද ප්‍රේමයේ දළුලන අතු ඉතිය. 
             කතුවරයා සැබැවින්ම මේ සිදු කිරීමට යත්න දරන්නේ සිදුහත් සාමාන්‍යකරණයයි. සම්ප්‍රදායික සිදුහත් චරිතයේ අපට හමුනොවන රාත්‍රී සමාජ ශාලා දඩබ්බරයා කෘතියෙන් හමුවන්නේ ද සිදුහත් යනුවෙන් අපට සම්ප්‍රදාය විසින් පෙන්වා දී තිබූ පණ්ඩක චරිතය නැති කොට ඒද මස් ලේ ඇට නහර වලින් සැදි කොල්ලෙක් බව අනාවරණය කිරීමටය. එය වඩාත් සාර්ථක ලෙස කතුවරයා විසින් සිදු කර ඇත. ‍
           එසේම මෙම ප්‍රබන්ධයේ මා දුටු සුවිශේෂී බවක් වන්නේ කතාව ඔහේ ගලායාමට නොදී කුමක් හෝ ගිනි ගහන සිදුවීමක් ප්‍රබන්ධයට අදාලව මැද දී විස්තර කිරීමයි. 
පළමු පරිච්ඡේදයේ දී මහානාම ඇතුළු පිරිස එක්ව කරන යාගය පිළිබදව විස්තරය ද, දෙවන පරිච්ඡේදයේ දී සමාජ ශාලාවෙදී දේවදත්ත සමග බහින් බස් වීම ද, යශෝදරාගේ ස්වයංවරය සදහා සිදු කරන සටනෙන් පසුව ඇතිව තිබූ සිද්ධාර්ථගේ කළකිරීම් ස්වභාවය ද, සිව්වැනි පරිච්ඡේදයේ දී සිද්ධාර්ථට ත්‍යාගයක් ලෙස ලැබෙන චේතිය ඇත් පැටවා ඝාතනය වැනි කතා එක වරම කතාවට ඈදා ගැනීමෙන් කතුවරයා සිදු කරන්නේ පාඨකයාගේ දිගු නිහැඩියාව වලක්වා ඒකාකරී බවින් නිදහස් කිරීමයි. එය නිර්මාණාත්මක උත්සාහයකි. 
ප්‍රේමයේ සියළු දරාගැනීම් සිද්ධාර්ථට සමානුපාතව යශෝදරාට ද හිමිය. සිද්ධාර්ථ ලෝකයාට පෙම් කරන්නේ රහසින් නොවේ. එය යශෝදරා ද, සුද්ධෝදන ද, ගෝතමිය ද, ප්‍රමිතාද , යහළුවන් ද, හතුරු දේව්දත් ද දනී. එයින් සිදුහත් යශෝදරාට දරුවෙක් දී අනාත කොට ගියා යැයි කියන ලෝකාපවාදයෙන් කතුවරයා සිදුහත්ව බේරාගනී. හැරයාම තුළ ඇතිවන විරහව යශෝදරාට, කිසාගෝතමියට මෙන්ම සිද්ධාර්ථට ද පොදු බව පසක් වන උදෘත ද්වයක් මෙසේ පෙන්වා දිය හැකිය. 
"ගෝතමී තාමත් පෙර සේම කවුළු දොරින් එපිට ලෝකය දෙස බලා සිටී.............. ඈත පාළු වීදිය මතට වැටුනු සද එළිය ඉරාගෙන අපැහැදිලි සෙවනැල්ලක් කෙමෙන් හිස ඔසවනවා ඇයට දර්ශනය වන්මේ අතරතුරය. ඒ සෙවනැල්ල අපහැදිලිය. එහෙත් ඒ ගමන් විලාසය පැහැදිලිය. 
දෙයියනේ සිද්ධාර්ථ"
                                                                                        - පිටු. 115 -
"නොඑන බවට පණිවුඩයක් පවා එවා තිබූ යුවරජුගේ පැමිණිම රැකවලුන්ට කුහුලක් දනවන කරුණක් විය.
  කුමාරයා ආවා "
                                                                                       - පිටු. 131-
" ඇය අවදි නොකළ යුතුයි.
ඔහු දැඩිව සිතාගත්තේය 
දරුවා සුරතට ගත්තොත් ඈ අවදිවනු නියතයි. ඇයට තවත් වේදනාවක් දිය යුතු නොවෙයි. මේ සියළු වේදනාවන් මා විසින්ම විද දරා ගත යුතුයි. 
සිද්ධාර්ථ අධිශ්ඨාන කලේය.
යථාර්ථය සොයා ජීවිතයෙන් ඉවතට ඇදෙන තමා ගැහැණියකගේ නළල මත තබන අවසන් හාදුව ඇගේ නළල මත තබා ඇය මෙතෙක් රැකගත් ප්‍රේමයේ පතිවෘතාවට සිය කෘත ගුණ පුදන්නට ඔහු තීරණය කළේය. ඔහුගේ ලවන් නිදාවුන් ඇගේ නළලත සිහින්ව ස්පර්ශ කලේය. 
   
                                                                                        - පිටු. 133 -
           මේ දැක්වෙන්නේ සිද්ධාර්ථගේ විරහ වේදනාව තිව්‍ර වන අවස්ථාය. සිදුහත් තම ප්‍රථම නික්මුමට පෙර කලක් පෙම්කළ කිසාගෝතමිය සොයා යයි. ඒ් සොයා යාම සිදුවන්නේද, සිදුහත් නැවත මාළිගාවට පැමිණ යශෝදරාවත් එදින උපන් රාහුලයන් වත් බලා නැවත පිට වන්නේ ද පිය විප්පයෝගය නිසාමය. ඒ් වේදනාවෙන් නික්මුණානම් සිදුහත් තවමත් සත්‍ය සොයාගෙන නැත. 
          සිදුහත්ගේ ප්‍රේමය පිළිබදව කතුවරයා දැඩි නිර්මාණාත්මක උත්සාහයන් ගෙන ඇත්තේ යශෝදරාවන්ට වඩා කිසාගෝතමී කෙරෙහිය. එයින් සිදුහත්ගේ මනෝ භාවයන් කතුවරයා මනාව ප්‍රකට කරයි. එය ද උඩ කී සිදුහත් සාමාන්‍යකරණය සදහා රැගෙන ආ වෙස්වලාගත් ප්‍රබන්ධයකි. කතුවරයා එහිදී ද සාර්ථකය. ප්‍රේමයේ පෞරුෂය අත් හැරීම මිස අන් යමක් නොවෙයි.  උදෘතයෙන් සිදුහත්ගේ ප්‍රේමණීය සන්ධ්‍යාවන්ගේ ආවසානික ප්‍රතිඵලය පාඨකයා වෙත දී පෙම් කතා අහවර වෙයි. කතුවරයා ප්‍රේමය පිළිබදව රැගෙන එන අවසාන නිර්ණායකයට මම ද දැඩිව එකග වෙමි. 
            කතුවරයා මෙය ප්‍රේම ප්‍රබන්ධයක් ම නොකරමින් දේශපාලනික සමාජීය අර්ථ විදහා දැක්වීමට ගන්නා උත්සාහය ව්‍යර්ථ වී නැත. මෙය උසස් කෘතියක් වන්නේ ද ඒ උත්සාහය නිසාම බව කිව යුතුය. කතුවරයා සෑම විටම කොයියම්ම හෝ සිද්ධීයක් අලලමින් ඒ සිද්ධියට අදාල දේශපාලනික අර්ථ ගැන්වීමක් රැගෙන එයි. සිද්ධාර්ථ දඩබ්බරයෙකු ලෙස නම් කළ හැක්කේ ද, ප්‍රේමයට වඩා මෙකී දේශපාලනික සාමාජීය අර්ථ විවරණය කිරීම් නිසාය. ‍‍සෑම කුමාරයෙක්ම මත්පැන් බී රගන නලගනන්ගෙන් සන්තෘප්තියට පත්වන අතර තම රජ පවුලට වහල් කම් කරන එම නළගනන් පිළිබදව දුකක් උපදින්නේ සිද්ධාර්ථටම පමණි. ඒ සිද්ධාර්ථ වෙනස්ව සිතන යථාර්ථය සොයන මිනිසකු නිසාය.  
" මීට දින දෙකකට පෙර රාත්‍රී සැණකෙලියේ යෙදී වුන් මේකලා නම් නළගන සිහිසුන්ව ඇදවැටීමේ පුවතද සිද්ධාර්ථගේ සිත සසළ කළ පුවතක් විය. කුසට අහරක් නොගෙන සිහිසුන්ව ඇද වැටෙන තරමට අනුන් පිනවමින් නටන්නට තරම් ඇය කළ වරද කුමක් ද? සිද්ධාර්ථ තමන්ගෙන්ම ප්‍රශ්න කලේය. මිනිසුන් නටන්නේ සතුටටය. එහෙත් මේකලා නටන්නේ සතුටින් ද? "
                                                                                    - පිටු. 53 -
             කුලයෙන් මාන්න්‍ය්‍ය පැමිණ සිටි බමුණු දෘෂ්ඨිය එක වචනයකින් නිශ්ප්‍රභ කරන්නට කතුවරයා තැනකදී සමත් වෙයි. 
"පවුකාර ක්ෂත්‍රියෝ" 
            - පිටු. 15-
                 යන වචනයෙන් කුලය යනු අළු දූවිල්ලක්ම බව අවබෝධ කරවයි. කුළ මාන්නය. මහත්වය මේ කෘතියේ වැඩි වැඩියෙන් තැන් තැන්වල සදහන් කල ද මේ සුළු වචනයෙන්   කුලයේ ඇති සියළු ගෞරවයන් කතුවරයා විසින් කෙලෙසා දමා ඇත. එය කතුවරයාගේ භාෂාමය ජයග්‍රහණයක් බවද කිව යුතුය. යුවරජ නිලය නොසලකා සිටු ගෙදර සාදයට සහබාගී වූ සිදුහත් කටකාර මෘගජා සමග සල්ලාපයේ යෙදෙන්නටත්, ගොපළු කෙල්ලක සමග පෙම් කිරීමටත්, වැස්සට හසුවී නුගයක් සෙවනෙහි සිටිද්දී කිසාගෝතමිය සමග ඇති පදම් මුකුළු කිරීමත්, අඩු කුළයේ මිනිසුන් සමග සබදතා පවත්වා ගෙන යාමත් වැනි මේ සියළු දෑ සිදුහත් යනු දඩබ්බරයෙකු බව පාඨකයාට පෙන්වා දෙයි. මේ සිදුවීම් සියල්ලක්ම සාමාන්‍ය වුවද එකළ සමාජයේ සිදුහත්ට වඩා පහත් කුමාරවරු හැසිරුණ අයුරු විවරණය කරගනිමින් සිදුහත් ව කියවා ගත් විට සිදුහත් යනු දඩබ්බරයෙකු බව පසක් වෙයි. ඒ දඩබ්බර සුද්ධෝදන පිය රජුගේ එරෙහි වීම තුලින්ම එය කියවා ගත හැකිය. 
                 සිදුහත් මාළිගයෙන් එලියට බැස වනගත වන්නට ගන්නා තීරණය එකල සමාජයේ සිරිතක්ව තිබූ නමුදු සිදුහත්ගේ එළියට බැසීම වඩාත් දඩබ්බර වන්නේ සැබෑ සතුට ලොවට සොයා යාමේ අදිටන නිසාවෙනි. ඒ අදහස වනගත වන නාලක කුමරුගෙන් පවා එළියට නො ආ දෙයකි. 
කතුවරයාගේ මෙම ව්‍යායාමයෙන් අපට පෑහැදිලි වන කරුණ වන්නේ දඩබ්බරයන් යනු සම්මුකියේ පනවා ගත් නරක වුන් නොවේ යන්නයි. අසම්මතයේ නොපනවා ගත් වඩාත් යහපත් සමාජ සාධාරණය පිළිබදව සිතු සෑම මිනිසෙකුම දඩබ්බරයන් බව අප දත යුතුය. නමුත් සමාජ සංස්කෘතික මිත්‍යාවන්ගේ නැග ඒම නිසා සිදුහත්ලා වැනියවුන් අරුත් ගැන්වෙන්නේ නරක වුන් ලෙසය. සිදුහත්ලා සැමතැනම බිහි වී සිටියත් වුන් හරි හැටි කියවා ගැනීම අපගේ මේ මොහොතේ අවශ්‍යතාවය බව කතුවරයා අපට කියා දෙයි. 
සාම්ප්‍රදායිකව ඇදුම් අන්දවා අවලක්සන කරන ලද සිද්ධාර්ථගේ තාරබාර හැර සැබෑ සිදුහත් මොනවගේ දැයි ප්‍රතිභාවත් පරිකල්පනයත් ප්‍රමාණයට භාවිත කරමින් කතුවරයා ඉදිරිපත් කර ඇත. එය ප්‍රශස්තය, සිනමාත්මකය, නිර්මාණාත්මක වූත් ගද්‍යමය වූත් බස් වහර තුළින් මෙම කෘතියට ආලෝකයක් වැටී ඇත. මෙය නවකතා ප්‍රවර්ගයට එකතු වූ ඉතා සාර්ථක නව කතාවකි.


පොත ගෙදරටම ගෙන්න ගන්න. ක්ලිිිික් කරන්න.

ගුරුගොඩ සිරිවිමල

දඩබ්බරයා කෘතියේ පසු කවරය - විරන්ත ඩාවි විසින් සිතුවම් ‌ෙකොට ඇත‍

ලේඛක, ඩිල්ෂාන් පතිරත්න




No comments:

Post a Comment