Tuesday, March 26, 2019

අහෝ රියැලිටි ‌නොදිටි ‌මොක්පුර

ලංකාවේ රියැලිටි වැඩසටහන් දැන් දැන් බහුලය, බහුල වීම අවුලක් නැත. ලෝකයේ බොහෝ රටවල රියැලිටි වැඩසටහන් දක්නට ඇත. ඒවද බහුරු කෝලම්ය. පොඩි සාදුගේ කුඩා මොළයටනම් ඒව කිසිවක් නොවැටහෙන්නේය. ලංකාවේ චැනල් වලිං වඩාත් ගුණාදායක දේවල් ඉල්ලා සිටීම නොමනාය. ඔවුනට අවැසි ලෙස මිනිසුන් ඉල්ලන දේ දීම දක්වා සංවර්ධනය වී ඇති නාලිකා පාරිභෝගිකවාදයට හසු වී දැන් නන්නත්තාර වී හමාරය. කොටිම්ම කියතොත් ලංකාවේ නාලිකා මිනිසුන්ගේ රුධිර නාලිකා හරහා ගොස් මොළය කා දැමීමේ වගකීම දේශපාලකයන් කෙරෙහි නොමිලයේ කරදෙමින් සිටි. කොටස් දාහ ඉක්මවූ ටෙලි සිත්තම් පෙන්වමින් මෙගා නාට්‍ය වියරුව ද දැන් දැන් එතරම් හොඳ මට්ටමකනම් නැත. 60 ඉක්මවූ වැඩිහිටියන්ට වෙනම ගී ගැයීමේ තරගය, පුංචි පුංචි දරුවන්ට නැටුම් ගැයුම් වැයුම් තරගය, යොවුන්, තරුණ සියල්ලන්ටම තරු තරගය, නළු නිලියනට ද වෙනම තරගය. මොලයක් ඇතිව ඒවා නරඹන රසිකයෝ වෙත්නම් ඔවුන් රෑපවාහිනිය ඉදිරිපිට සිනාසී මියැදෙනවා නො අනුමානය. දැන් ඇත්තේ සිහින තරු, සුපිරි තරු, ආදී සිහිනය. මේ සිහින වලින් නැගී සිටින බොහෝ කොල්ලන් කෙල්ලන් දැන් තමන්ගේ වැඩ පසෙකින් දමා ඒවා පසු පස දුවති. ගොස් පැරදුන කළ FB මත හඬති, පරාජය වූ නාලිකාවේ නමට අපහාස කරති, දිනූ තරඟ කරුවන්ට අපහාස කරති. "ඒකට සිංදු කියන්න බෑ, අපෝ වූ මොකාද? " ආදී කතා කියති. දිනුවෝ නාලිකාවට හොදයි කියති. පැරදුන අක්කලා අයියලා, නංගිලා මල්ලිලා වෙනුවෙන් සෝ සුසුම් හෙළති. ඒවා හොඳ වැඩය. මේ කතාව ඒ ගැන නොවේය. සිහිනයන් පසු පස හඹා යාමේ වරදක් දක්නට බැරිය. නමුත් ප්‍රශ්නය වෙනෙකකි. තරඟකරුවන් සේම රසික ප්‍රජාවටද ගුණවත්, හරවත් දෑ ලබා දීම සමස්ථ නාලිකාවන්ගේ වගකීමය. එය අමතක කර දමමින් හැසිරෙන මුග්ධ නරි නිශ්පාදක මහත්වරු රසිකයන් පිනවීම සඳහා නානා විධ විප්‍රකාරයන් කරති. කුඩා දරුවන් වෙනුවෙන් පවත්වන රියැලිටි වැඩසටහන් නැරඹුකළ ඇතිවන චිත්ත වික්ෂිත භාවය කෙසේනම් නොලියා සිටින්නද? මව් තුරුලේ සෙනෙහස විදිය යුතු තරමේ දැරිවියන් සිය නිරුවත සභාවට පෙන්වමින් හිරි ඔතප් බිඳගන්නා අයුරු අප දිටිමි, දරුවන් නොගැයිය යුතු තරමේ ගී අරුත්වත් නොදැන, අකුරු වරදමින් ගයන අයුරු අප දිටිමි. යහපත් සන්නිවේදනය සංවර්ධනය කිරීමෙහි ලා  කැප වෙනවාය කියන නාලිකා වලින් අමුම අමු මී හරක් නාලිකාකරණය මේ දැන් සිදු වී අවසන්ය. මුල්ලමාවිය සංවර්ධනය කරලීම සඳහා පෙර පාසල් සහ විධිමත් අධ්‍යාපනය ලබා දිය යුතු වයස්වල දරුවන් රියැලිටි වැඩසටහන් වලට මුහුණ දෙන විට සිය අධ්‍යාපන කටයුතු නිසි අයුරින් සිදු කරගන්නවාද යන්න සැකයට කාරණයකි.

 කුඩා දරුවන් හිංසනයට ලක් වූ විට ඒවා ගැන කතා කරන්නට ලමා සංරක්ෂණ අධිකාරියේ මැදිහත් වීම සිදු විය යුතු වුවද තවමත් එකී රියැලිටි වැඩ සටහන් උදෙසා වාරණ හෝ නීති රීති මාලාවක් දක්නට නොලැබීම නැවත නැවතත් රජයේ අක්‍රියතාවය මොනවට පැහැදිලි කරමින් සිටී. නාලිකා කරුවන් සිය මූල්‍යමය ශක්තිමත් බව තාවර කරගැනීම උදෙසා සිංහල කලාවේ කොඳු නාරටි බිඳිමින් දක්ෂ ගායකයන්, නිවේදකයන් තුට්ටුවට මායිම් නොකරමින් සිය නාලිකාවේ සුප්‍රසිද්ධ බව අැති කරගැනීම සඳහා විවිධ කුලප්පු කිරීම් ඇති කරමින් සිටී. ගීත ක්ෂේත්‍රයේ වැජඹුන ඉතා හොඳ මට්ටමේ ගී ගණිකාමට්ටමට යොදමින් ගීතයේ තනු විකෘති කොට, මුල් නිර්මාණ කරුවන්ට හානි කරන අයුරු කලාවේ හෘදයාංගම බව අකාමකා දමන්නකි. අන්‍ය ගායක, ගායිකාවන්ගේ ගී ගයා ඔවුනගේ බුද්ධිමය දේපළ උල්ලංඝණය කරමින් මේ සිදු කරන ක්‍රියාදාමයේ තුච්ඡතම අවස්ථාවනම් ඒවා කොහොම හෝ ගයා ගොඩයන තරගකරුවන් තවදුරටත් එකී ගී අවසරයක් ඇතිව හෝ නැතිව ගායනා කර මුදල් හම්බ කිරීමය. එහි ද හිනාමයන කාරනය වන්නේ අනෙකක් නොවේ තරගකරුවන් තමන්ගේ ගීයක් ගයන විට තමන්ගේ සැබෑ නිරුවත සමාජයට පෙනීමය. කෙතරම් පිළිවෙලට හොඳට ගායනා කර ජයග්‍රහණය ලබාගත්තද ඔවුන් තමන්ගේ ගීයක් ගයන විට අපහසුතාවයට ලක්වන අයුරු අප කොතෙකුත් දැක ඇත. ලංකාවේ රියැලිටි තරග වලින් මේ වන විට දස දහස් ගනනං තේරීපත් වී ආව ද ඉන් සිය දෙනෙක්වත් යහපත් අයුරින් ක්ෂේත්‍රයේ සිටිනවාද යන්න සැකයට කරුණකි. සමාජයේ ව්‍යසනය කලාව තුළින් ද පැන නැගීමනම් ඉතා දුක්ඛදායක කරුණකි.අවැසි නීති රෙගුලාසි ලබා දී මේවා මුදල් සහ තෑගි මත යැපෙන්නට නොදී විධිමත් ස්ථානයකට ගතහොත් කලා ක්ෂේත්‍රයේ විශාල වෙනසක් කල හැකි තරුණ පරපුරක් අපට උපයාගත හැකි වනු නියතය. නමුත් ඒවා එසේ නොවී නොවිය යුතු දෑ සිදු කරන රියැලිටි වැඩසටහන් වල හෙටනිද්දා තරුණියන් හෙළුවෙන් හෝ බිකිනියක් හැඳ ගී ගැයුවහොත් අප පුදුම නොවිය යුතු බව අවධාරණය කර සිටිමි. 


|ගුරුගොඩ සිරිවිමල


Tuesday, March 19, 2019

සිහළ දෙමළ මුස්ලිම් කල්‍යාණ මිතුරනේ!


දෙමළ මිනිස්සු හරි ලෙන්ගතුයි. ඒක සිංහලයා අතින් කොයිතරම් දුරට රැකෙනවද කියන එක එහෙම කියවන්න දෙයක් නෙමේ. සිංහල මිනිස්සුත් හරි ලෙන්ගතුයි. ඒත් අන්‍ය වූ සංස්කෘතියකින් අපිට ලැබෙන ලෙන්ගතුකම් අපිට විශේෂයි. 

    මෑතකදි මම අදුනන අක්ක කෙනෙක් පංසලට ආව හම්බෙන්න කොළඹ ඉඳන්. ඒ ආවෙ ඒ අක්ක වැඩ කරන තැන වාහනයක. එයාගෙ රියදුරා එක්ක. ඒ රියදුරා දෙමළ. මම ඉතිං කෑම කන්න දීල එහෙම වෙනත් වැඩ කරමින් හිටියෙ. අර දෙමළ මනුස්සය කාල පිගාන හෝදන්න යන වෙලාවෙත් එයාගෙ පපුවට අත තියල ස්තූතියි කියනව. කෑම රසයි කියනව. (මම දන්නව එදා කෑම රස නැහැ) ඒ කරල මාව දකින දකින සැරේ එයා පපුවට අත තියල මං ඉස්සරහ නැමෙනව. 
ඒ වැඩේ ඉවර වුනාට පස්සෙ මම ත්‍රීවිල් එකකත් එයාල එයාල ආපු වාහනෙත් එළියට ගියා. ඒ ගිහිං මම එයාලගෙ වැඩේ කරල දීල වෙන වැඩකට යද්දිනුත් ඒ දෙමළ මනුස්සය වාහනෙන් බැහැල මං ගාවට එන්න හදනව. මං ආයෙ එනව කියල අතින් සංඥාවක් දුන්න. ඉතිං ඒ වෙලාවෙත් මේ මනුස්සය පපුවට අත තියල ඔළුව නමනව ඩ්‍රයිවින් සීට් එකේ ඉදන්ම. ආයෙ මම එතන්ට එද්දි මේ මනුස්සය වාහනෙන් බැහැල මං එනකල් බලං ඉන්නව. මං යන්න යද්දි මේ මනුස්සය මොකද කරන්නෙ කියල බැළුව. ඒ මනුස්සය මං ගාවට ඇවිත් පපුවට අත තියල ඔළුව නැමුව. කෑම ටික රහයි කියනව. හිතවත්ව හිනාවෙනව. 
     ඒ වගේ දේවල් වෙද්දි මට හිතෙනව ලංකාවෙ තියෙන්නෙ දේශපාලනමය අවුලක් සහ ආකල්පමය අවුලක් විතරයි කියල. නන්දා මාලනී ගයන සුනිල් ආරියරත්නයන් රචනා කරන එක ගීයක තැනක තියෙනව මෙහෙම,
සිහළ, ද්‍රවිඩ, මුස්ලිම් කල්‍යාණ මිතුරනේ 
බොදුනු කිතුණු හින්දු ඉස්ළාම් සොයුරනේ 
එකම රටක ඉපිද ගැටෙමු මියෙමු යුධ වැදී
සතුරු කැළක සදළුතලෙහි ඉදිති මධු බිබී
මේ වචන ටික සදාකාලික ප්‍රශ්නයක විසඳුමක්. මේක අපිට තේරුම් කරල දෙන්න මැදිහත් වෙන්න ශාස්තෘවරු වගේ අය පහළ වෙනව. කාලෙන් කාලෙට, දීපෙන් දීපෙට. ඒත් ඒ අයත් අර සතුරු කැළ එක්ක අන්තිමේට සඳළුතලේ අතරමං වෙන එක විතරයි වෙන්නෙ. අන්න ඒ නිසයි අපිට අපේ ආකල්පමය වෙනසක් අවශ්‍යයි කියල කියන්නෙ. මේ සිස්ටම් එක එක්කෝ අර සතුරාට විසඳල දෙන්න පුළුවන්. ඒත් එයාල මේ වැඩේට එච්චර කැමති නැහැ. මොකද එයාලගෙ බඩට තට්ටු වෙන වැඩක් ඒක. එහෙම නැත්තං කවුරුත් කරල දෙනකල් බලං ඉන්නැතිව උඩ කියපු හතුරට එරෙහිව අපක්ෂපාතීව කැරැල්ලක් දියත් කරන්න වෙනවාමයි. 
       ඒත් අවාසනාවට එහෙම මැදිහත් වෙන්න නායකත්වය දිය යුතු අය අර හතුරන්ට වඩා ම්ලේච්ඡයි. සිංහල දෙමළ, මුස්ලිම් භේදයකින් තොරව සිරීපාදෙ නගින අයට ඒ අවස්ථාව තවදුරටත් නැති වෙන්න යන මොහොතක්, (සිරීපාදෙ බෝඩ් එක ගලවන්න යන එක ගැඹුරින් කියවාගන්න) නවසීලන්තෙ වුන සමූහ ඝාතනය අනේ හොඳයි කියන මාධ්‍යවේදීන් ඉන්න රටක් මේක. වර්ගවාදී, ආගම්වාදී ම්ලේච්ඡයන්ගෙ ගොඳුර වචන තරම් සරළ නැහැ. ඒවයෙ ප්‍රතිවිපාක අපි නැවත නැවතත් භුක්ති විඳිමින් ඉන්නව. ඒත් මේ රටේ සැබෑ මිනිස්සු ටික මේ වගේ පැතුමක ඉන්නෙ. 
ලේ නොගලන බිමක හුස්ම ගන්ට ඉඩ දියවු
අපට කැමැති කෝවිලකට යන්ට ඉඩ දියවු
දරු පැටවුන් සමග සිනාසෙන්ට ඉඩ දියවු
අපට නිදහසේ දොඩන්ට ඉන්ට ඉඩ දියවු
    වර්ගවාදීන්, ආගම්වාදීන් තමන්ගෙ ගොඳුරු බිමක් කරගත්ත මේ බිම්කඩ ලේ විලක් වෙන්න අවශ්‍ය පිඹුරුපත් දැන හෝ නොදැන ඔවුන් සකස් කරමින් ඉන්නව. ඒක අපි තේරුම්ගන්නකල් මේ ප්‍රශ්නය මේ රටේත් ලෝකයේත් පවතිනව!



|ගුරුගොඩ සිරිවිමල




Tuesday, March 12, 2019

වැඩ ඇරී වැඩට යන ගැහැණුන්ගේ කතාාව


❝මෙයා මගේ පණ. මෙයා නැත්තං මං නෑ. මං කැත කියලනෙ මගෙ මහත්තය මාව දාල ගියෙ. ඒ නිසා මං දත් ටිකත් හදාගෙන, මමත් හොඳින් ඉන්න ඕන, මගෙ දරුවත් හොඳින් ඉන්න ඕන. මගෙ දරුවත් පෙන්වන්න ඕනනෙ මේ මගේ අම්ම කියල. ඒ නිසා අම්මත් ලස්සනට ඉන්න ඕනනේ. මහත්තය දාල ගියා වගේ දරුවව දාල යන්න බෑනේ. ඒ නිසා හදනව. හොඳට හදනව. මගෙ මහත්තය වෙන ගෑණියෙක් ගත්තට මං හොඳ විදියට හදල පෙන්නනව.❞ 

පසුගිය දිනවල ෆේස්බුක් එකේ බහුලව සැරිසරපු වීඩියෝවකි. එහි තරමක් කැඩුනු සිංහලෙන් කතාකරන දෙමළ ගැහැණියකි. උක්ත උදෘතය ඈ කී දේවලින් සමහරෙකි. 
ජගත් කාන්තා දිනය නිමවෙන්නේ ඊයේ ය. (2019. 03. 08 ) 
අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කාර රත්කරව්වේ හාමුදුරුවෝ ඊයෙ තමන්ගේ ෆේස්බුක් පිටුවේ ලියන්නේ කාන්තාවන්ට සමතැන ලැබිය යුතු යැයි කියාය. 
වසර කීපයකට පෙර උපුල් ශාන්ත සන්නස්ගලගේ පුවත්පත් ලිපියක උදෘතය වන්නේ "පිටියුටරි ග්‍රන්ථියෙන් හෝමෝන ක්‍රියාත්මක වූ පමණින් විවාහ විය නොවිය යුතුයි" යනුවෙනි.
ගැහැණිය රෑපාන්තරණය වේ. පිරිමින් හා සමානවම වගකීම් පද්ධයක් අඩු වැඩියෙන් ගැහැණිය ද ඉටු  කරන්නී ය. විටෙක දියණියක්, පෙම්වතියක්, බිරිඳක්, මවක්, සියල්ලම ඉක්මවූ කාන්තාවක් ලෙස ඇයට සමාජ වගකීම් කාලානුරූපීව ලැබෙන්නීය. සමාජ පද්ධතියම විනාස වී බංකොලොත් ස්වභාවයක් ගන්නා මොහොතක කාන්තා සමාජය මාර හොඳ විය යුතු යැයි නොසිතිය යුතුය. 
ඉහතින්ම දක්නට ලැබෙන උදෘතය තුළ කාන්තා සමාජයේ සැබෑ ප්‍රශ්නය මතු නොවෙයි. නමුත් ඇය ගැහැණියකි. ඇගේ ප්‍රශ්නය තුළින් සදාකාලික හෝ තාවකාලික මියැදුනු කාන්තාවක් නිර්මාණය වී ඇත. ඇය නැඟී සිටිමට වෙර දරන්නීය. 
මේ "මං අවුරුදු 16 ඉදනු ජොබ් එකක් කරනව. අවුරුදු දාසයේ ඉදන්ම කරේ අම්මට තාත්තට සලකන එක. දැන් මම දරුව වෙනුවෙන් රැකියාව කරනව."  මේ ඇගේ කතාවේ තවත් කොටසකි. 
ගැහැණියට හිමිවන අන්ත දුක්ඛිත ජීවිතයේ පසුබිම කවියකට නගන්නේ සම්මානිත කවියෙක් වන ලක්ෂාන්ත අතුකොරල ය. 
"වැඩ ඇරී 
වැඩට යති
ගැහැණු "
ඒ කෙටි කවිය යි. 
ආසියාතික සංස්කෘතිය තුළින් ගැහැණියට නිසි තැනක් ලැබෙනවාද යන්න ගැටළුකාරී ප්‍රශ්නය කි. බමුණු දිට්ඨිය තුළින් තවමත් ගැහැණිය දෙස ගැහැණුන් ද පිරිමින් ද බැලීම නිසා මේ අවුල ලිහා ගැනීමට නොහැකි තැනකට පත්ව ඇත. 
ශ්‍රී ලංකා දුම්රිය සේවය මගින් කාන්තාවන්ට දුම්රියේ වෙනම කොටසක් වෙන් කිරීමෙන් හෝ විශේෂ රැකියා අවස්ථා, ණය පහසුකම්, සනීපාරක්ෂක තුවායෙහි මිළ ගණන් බදු අඩු කිරීමෙන් මේ ප්‍රශ්නය විසඳිය නොහැකිය. අවශ්‍ය ආකල්පමය වෙනසකි. එ් බලාපොරොත්තුව ගැහැණිය තුළවත් පිරිමින් තුළවත් සමාජ සම්මතයෙන් දුරස්වී ඇත්ත තත්වයට මුහුණ දීමට ඇති අකමැත්ත නිසා මිලානවී ගොස් ඇත.
ලංකාව පමණක් ගත් විට ලංකාවේ මිනිසුන් යනු කාන්තාව නිසාම ගොඩ යන සත්ව කොට්ඨාශයකි. විදේශ විනිමය ඉපැයීම් ගත් විට කාන්තාවන් පෙරදිග නිවෙස්වල වලං සෝදා හම්බ කරන ධනය ය. අනෙත් අතකින් ගත් විට ලංකාවේ ඇඟලුම් කර්මාන්තය ය. ලංකාවේ තරුණ ගැහැණුන්ගේ හයියෙන් ශක්තිමත් වූ ඇගලුම් කර්මාන්තය යනු දේශීය නිෂ්පාදන නිසා රටේ නමත්, ආර්ථිකයත් යම් තැනකට පැමිණ ඇත. ලංකාවේ තේ කර්මාන්තයෙන් සීයට පනහකට වැඩි කොටසක් කාන්තාවන්ගේ ශ්‍රමයෙන් දියුණු වූවකි. 
විදේශ ශ්‍රමය
ඇගලුම් කර්මාන්තය
තේ කර්මාන්තය නිසා අප රටේ ආර්ථිකයෙන් සීයෙන් වැඩි කොටසක් ශක්තිමත්ව පවතින බව දන්නෝ දනිති. නමුත් මේ සේවාවන්ගේ ශ්‍රමය කැප කරන ගැහැණුන් ගේ ප්‍රශ්න වලට විසඳුම් නොමැති වීම අපගේ අවාසනාවකි. 
ලංකාවේ සෑම වසරකම කාන්තා දිනයන් සැමරුව ද දින 365 දවසින් දින කීයක් හෝ කාන්තාවන්ගේ ප්‍රශ්න වලට විසඳුම් ලැබී ඇද්ද? කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ස්ත්‍රීවාදීන් සෑම දිනකම අව්වේ කර වී උද්ඝෝෂණ, පා ගමන්, විරෝධය පෑම් වලට විසඳුම් තවමත් ලැබී ඇද්ද යන්න ප්‍රශ්නයකි. 
කාන්තාවන් වෙනමම සත්ව කොට්ඨාසක් ලෙස සිතීමත්, ඔවුනට වෙනමම අවස්ථා ලබා දීමෙන් ඇති වන බෙදුම්වාදය තුළින්වත් කාන්තාවන්ගේ සැබෑ ප්‍රශ්නයට විසඳුම් සොයාගත නොහැකිය. 
කාන්තාව කාන්තාවම බව ආකල්පමය වෙනසක් තුළින් අවබෝධ කරගන්න තුරු මේ ප්‍රශ්නය අපට විසඳාගත නොහැකි ය. 



|ගුරුගොඩ සිරිවිමල




Tuesday, March 5, 2019

කෙසේ වෙතත් අප වැඩ ඇරී ගෙදර යා යුතුමය

ලංකාවේ මිනිසුන් වැඩිපුරක් දවස ගෙවන්නේ මහපාරේය. දුෂ්කරතා බහුල ප්‍රදේශ හැරෙන්නට සියළු මිනිසුන් මගීන්ය. ඔවුන් දැනුවත්ව හෝ නො දැනුවත්ව මගීන් වී හමාරය. අද වන විට ජනාකීර්ණ නගර නිර්මාණය වන්නේම මගී ප්‍රශ්නය නිසාවෙන්ය. නැතහොත් නගර තුළ ජනාකීර්ණත්වයක් නො පෙනේ.           මිනිසුන් මේ මහා කරුමයට හසුවී, මිලින වී යාමට නියමිත වුන්ය. ලංකාවේ මගී ප්‍රවාහනය සිදු වන්නේ බස් මුල් කරගෙනය. නො එසේනම් දුම්රිය ය. පෞද්ගලික වාහනයකින් ගමන් බිමන් යන මිනිසුන් සිටිය ද එය ද ගෙවුනු දස වසරින් පසුවට බැළු කළ කරුමයක්මය. ලංකාවේ බස්වල ඇත්තේ අදෝනාය, වරෙක සිඟන්නන්ය, වරෙක කොන්දොස්තරය, වරෙක රියදුරු තැනය, වරෙක මගියෙක් ය. එ් කවුරුත්ම නැතිනම් කැසට් එක හෝ රූපවාහිනිය ය,
      මිනිසුන් තම රැකියා ස්ථානයෙන් එළියට ඒමට පෙර සේවකයන් ය. රැකියා ස්ථානයෙන් එළියට පැමිණි පසු මගීන්ය. මගීන්ගේ කතාව ඇත්තෙන්ම දුක් බරය. ලංකාවේ බස් එකක හෝ දුම්රියක යන මගියෙක් මානසික හෝ ශාරීරික පීඩනයකින් තොරව බසයෙන් හෝ දුම්රියෙන් බසිනවානම් ඒ මගියා ලංකාවේ සිටින වාසනාවන්තම මගියා ලෙස හැඳින්විය හැකිය. කණ දෙවනත් කරවන සුළු හෝන් හඬින් පීඩිත මගීන් හිස ගිනිගත්තවුන් සේ තම නිවෙස කරා යති. එසේත් නැතිනම් ගායකයන් යනුවෙන් කියා ගන්නා පසික්කාඩුවන් විසින් වමාරන වචන ගොන්නක් නිසාවෙන් කන් බිහිරි කරගෙන මගීන් නිවසට ගොඩවෙති. එය අතිශය අකාරුණික ඇත්ත තත්වය ය.         දිනක් පොඩි සාදු විසින් මුහුණු පොතේ බස් පිළිබඳව ලියන ලද සටහනකින් පසුව විදේශීය රටවල සිටින බොහෝ මිතුරන් විදේශීය රටවල මගී ප්‍රවාහනය පිළිබඳව දැනුවත් කිරීම් කර තිබිනි. ඒ දැනුවත් කිරීම් අනුව බොහෝවිට යුරෝපා රටවල මගීන් ඉතා නිදහස් නිවහල් මගීන් ය. ඔවුන් බස්වල හැසිරෙන්නේ නිවෙස්වල ගත කරන සාමාන්‍ය ජීවීන් සේය. පොතක් කියවමින්, පත්තරයක් බලමින්, නිදහසේ ගීතයක් ශ්‍රවණය කරමින්, හෝ නින්දක් ලබමින් සිය ගමනාන්තය තෙක් යන මගීන් පිරිසක් යුරෝපා රටවල දක්නට ලැබේ. වසර දෙදහස් පන්සියයක ශිෂ්ඨ සම්පන්න මිනිසුන් සිටිනවා යැයි කියන සිරි ලංකාවේ මගීන් බස් එකට නගිනවා නොව පටවාගන්නවාය. පොල් දෙල් පටවනවා දැක ඇති නමුත් මගීන් පටවනවා දක්නට ලැබෙන රටක් ලෙස ශ්‍රී ලංකාවේ මගී ප්‍රවාහනය හැදින්විය හැකිය.                  ශිෂ්ඨත්වය පිළිබඳව උදේ හවා බණ දෙසන, ඒවා අසන මිනිසුන් තම ප්‍රායෝගික ක්‍රියාවලියේ දී අසමත් වීම උපාහාසාත්මකය. බසයට නගින විට රියදුරු අඩිය හප්පන්නේ "අර මැද ඉඩ තියෙන්නෙ ටිකක් පස්සට වෙන්නකෝ" යන වදනිනි. 
            බසයේ යන විට මගීන් ආකර්ශනීය ගැහැණියක දුටු කළ ජීවිතයකට නොලැබි ලිංගිකමය අද්දැකීමක් බස් එක තුළදිම ලබා ගැනීම සඳහා උත්සාහ දරයි. ඒ හා භාවිත වන පාරිභාෂික වචනයක් ලෙස ජැක් ගැසීම බාවිත කෙරේ. මේ සියල්ලක් ම මැද සුවපහසු ගමනාන්තය යන්න ලංකාවේ මගීන්ට සිහිනයකි. රටේ සියළු පද්ධතීන් නැති භංග වී, මං මුළාවී ඇති මොහොතක මගී ප්‍රවාහන පද්ධතිය පමණක් ඉතා ලක්සන විය නොහැකිය. නමුත් මේ රටේම, මගීන් ද මුහුණ දෙන ගැටළුවලට මුහුණ දෙන කොන්දස්තරලා හෝ රියදුරන් ද මේ ගැටළුව තේරුම් නොගැනීම ඔවුන්ගේ ද සවිඥානික බව පෙන්නුම් කරන්නකි. කෙසේ වෙතත් අප වැඩ ඇරී ගෙදර යා යුතුමය.

 |ගුරුගොඩ සිරිවිමල