Tuesday, February 26, 2019

ඇස් ඉස්සරහ

පොඩිසාදුගේ ලියමන| යං|  


 ගිය 21 ඇස් ඇරුණ තවත් එක දවසක්. ඇස් ඇරෙනවා කියන එකට අර්ථ ගොඩක් තියෙනවා. බුදු හාමුදුරුවෝ තමන්ගෙ ප්‍රථම ධර්ම දේශනාවෙදි "චක්ඛුං උදපාදි" කියලත් දේශනා කරනවා.
 ඇස් කියන්නෙ ඇස්වලට, නුවණටත් පාවිච්චි වෙන වචනයක්. ගුරුවරුන්ට කියන්නෙ ඇස් පාදන්නො කියලනෙ. ඒත් ඇස් කියන්නෙ කවිවලට කියල මං මෙච්චර කල් දැනන් හිටියෙ නැහැ.
 ක්‍රිෂාන් රත්නායක කියලා කොල්ලෙක් තමන්ගෙ කුලුඳුල් කවි පොත ගිය 21 දා එළිදැක්කුවෙ මහවැලියෙදි. කවිය ගැන යම් යම් හෝඩුවා කතා බහවලිං පිරිච්ච දවසක් ගිය 21 වෙනිදා කියන්නෙ.

 ක්‍රිෂාන් පොත එළිදක්වන්න කලිම්ම බෙදාහැරීම් වැඩේ කරපු නිසා පොත කලිම්ම අරං කියවන්න පුළුවන් වුණා. ක්‍රිෂාන්ගෙ කවි තුළ ගැබ් වෙන කියවීම්වලට මම කැමැතියි. ඒ කවිවල අවංක බව ගැන මට කුකුසක් තිබුණත් ඒ කවි මාව යම් වින්දනයකට ලක් කරා. 

ප්‍රේමය ගැන වැඩිමනක් කවි අන්තර්ගත වෙච්ච කවි පොතක් තමයි ක්‍රිෂාන්ගෙ කවි පොත. ප්‍රේමයේ ස්වභාවයන් ගැන ලියැවෙන කවි ඉස්සරහ අපි බොහෝ විට සංවේදී වෙනවා. ඒකට හේතුව ප්‍රේමයත් ජීවිතයත් කියන්නෙ දෙකක් නොවී එකක් වීම නිසා කියලයි මට හිතෙන්නෙ

වසන්තයෙ මල් පිපෙයි නවම් මැයි ගස් පිරේ
ඇහැල රොබරෝසියන් ගස් නිතර මුණ ගැසෙයි
වැහැල තෙත ගුරු පාරෙ සිව්වසර දිග හැරෙයි
වැටුණු මල් පෙතිවලට පුරාතනයක් තිබෙයි


දිරා ගිය මතකයට යලි යලිත් පණ දෙන්න 
හිනාවෙන ආදරය එක තැනක හංගන්න 
කතාබස් කළ තැනට නොඑන්නට සමුදෙන්න 
අපි ආය එනවනම් මට හිතයි නවතින්න

                                            - 20: පිටුව -



ක්‍රිෂාන්ගෙ කවිකම තියෙන්නෙත් ප්‍රේමය සම්බන්ධයෙන් ලියන කවිවලමයි. ක්‍රිෂාන් පෙම් කවි ලියන වැඩේ අවබෝධයෙන් කරනවා කියන එකයි මගේ විශ්වාසය. සමුගැනීම්, එක්වීම්, අපේ ජීවිත යලි යලිත් ආලෝකවත් කරනවා. විරහව කියන්නෙ හරියට ටෝච් එකක් වගේ වෝට් 100 ක 200 ක බල්බ් එකක් වගේ. 
සෑම විරහ වේදනාවක්ම අපිව නැවත නැවතත් ආදරයක් ගැන හිතන්න පොළඹවනව. 


රැල්ලෙ හැප්පෙන බිඳෙන වාරේ 
අනේ තනිවෙමු කියපු ඇවිටිලි 
ලියන්නට එක පොතක් මදිවෙයි 
ආදරේ ගැන කරපු පැමිණිලි 

පැයක් කොටහක් තෙපල උන්නට 
ආදරේ ගැන විතක් සැනැහිලි 
ගණන් කර කර බැලුව තැනකදි 
තුරු වෙයි සිල්ලර ම සැරසිලි
                                     - 67: පිටුව 

ආදරේ සියුම් තැන් සැහැල්ලුවෙන් කවියෙ අද්දැකීම් විදිහට භාවිත කරන අපූරුව ඒ කවිවලට මනා ආලෝකයක් ගෙනත් දෙනවා. මේ හැම කවියකම අපූර්වත්වය රසික මන පිනවීමට සමත් යැයි මම විශ්වාස කරන්නෙ යථාර්ථවාදයත් සෞන්දර්යවාදයත් හරි අපූරුවට තමන්ගෙ කවියට ග්‍රහණය කරගන්න ක්‍රිෂාන් දෙපාරක් හිතන්නෙ නැති නිසා. පොත පුරා දැක්වෙන බොහෝ කවිවල තියෙන්නෙ ප්‍රඥාව කරා පාඨකයාව තල්ලු කරගෙන යාමක්. එතනදි පාඨකයට කවිය එපා වෙන්නැත්තෙ සෞන්දර්යාත්මක කවියක් මේ තුළ ගැබ්වෙලා තියෙන නිසා. "හඳුනන ඉඩක නාදුනන චිත්‍රය" වගේ කවි තුළින් පාඨකයාව අතරමන් කිරීමත් නැවත නැවතත් කියවා අවබෝධ කරගත යුතු ලක්ෂණත් කවි මේ මොහොතේ කවි ලිවිය යුතු සැබෑ අරමුණු අතරට අපව කැන්දන් යනවා. 

මෙතැන උතුරය දෙමළ අකුරක ද ආලය 
නැතතන් නැගෙනහිර මුඩු ගමක විලාපය 
එකත් එකට ම දකුණ ය එහෙත් උඩරට යුද්ධ ය 

නැතත් පානම මුහුද ය තවත් මරණයෙ සද්ද ය
                                                         - 22: පිටුව -
ක්‍රිශාන් තමන්ගෙ කවියෙන් දේශපාලනික සමාජමය කතිකාවත් ගේන්න ගිහිං පරාජයවෙලා තියෙනවා. නමුත් ප්‍රේම කවියෙදි ලොකු සාර්ථකත්වයකට ගිහිං තියෙනවා. ඒ කවිවල ගැඹුර අපි විඳනවා. කෙහොම නමුත් ක්‍රිශාන්ට සුබ පතනවා. මේ මම ක්‍රිශාන්ගෙ කවි පොතේ වඩාත්ම ආස කරන කවිය.

හිතින් හීනෙන් නැවත හමුවෙන 
තැනක අපි ප්‍රේමය පටන් ගමු 
ඉනික්බිති මේ නපුරු තැන හැර 
හිමින් හමුවෙන තැනක නවතිමු
                                 - 67: පිටුව - 




|ගුරුගොඩ සිරිවිමල

Tuesday, February 19, 2019

|ඔබ නිදි කරවා මම යන්නම් | ප්‍රේමණීය විරහව සහ මනෝරාජික ප්‍රේමයේ යථාර්ථය

 මම ප්‍රේමය ගැන මම සොයා බලමි. ප්‍රේමය කුමක් දැයි වැටහෙන තුරු සොයමි. වෙහෙසෙමි. ප්‍රේමයේ යම් යම් තැන් මට ග්‍රහණය වී ඇත. ඒවා පෙම් කරමින් සොයා ගත් පෞද්ගලික පර්යේෂණ ප්‍රතිඵල ය. මේ සියල්ලක් අවසන ප්‍රේමයෙ හි අග්‍රඵලය විරහවක් දැයි බෞද්ධානුකූල දෘෂ්ඨියකින් ප්‍රේමය දෙස බැලීමට මා නැඹුරු වුනෙමි. 

  ප්‍රේමය වියැකී ගොස් විරහවේ අන්තය දැඩිව අල්වා ගත් පසු අපට ප්‍රේමය විග්‍රහ කරගැනීමට ඇති සියළු සාධකයන් හමුවෙතියි සිතමු. එනම් ප්‍රේමය නම් විරහව යැයි මා අර්ථ දක්වන්නේ නැත. නමුත් ඕනෑම අයෙකු පෙම් කිරීමට ආරම්භය සකස් වන්නේ විරහවෙන් පසුවයි යන්න මාගේ දැඩි විශ්වාසය යි. 
 අම්මෙක්ට දරුවෙක් පෙම් කරන්නේ යම් ලෙසකද දරුවෙක්ට අම්මා කෙනෙකු පෙම් කරන්නේ යම් ලෙසකින්ද ඒ අයුරින්ම විරුද්ධ ලිංගිකයන් හෝ සම ලිංගිකයන් අතර වන යෞවනත්වයේ ප්‍රේමය දිගු විය යුතුයි මා සිතමි. යොවුන්, තරුණ, වැඩිහිටි, ඕනෑම අයෙකු මවකට වඩා පෙම් කරන්නේ තම ආදර වන්තියට හෝ ආදරවන්තයට විය හැක. එය ඒකාන්ත ලක්ෂණයක් නොවුන ද එහි බහුතර පෙනී සිටීම එසේමය. එසේත් නැතිනම් මවට ද, පෙම්වතාට/ පෙම්වතියට සම සම ප්‍රේමයක් දැක්වීම සුළභ කරුණකි.

 මළ ඉර බසිනා සැන්දෑ යාමේ ගීය රචනා වන්නේ සේකරයන් අතිනි. ගයන්නේ අමරදේවයන් ය. මට හිතෙන විදියට මා විග්‍රහ කරන්න යන ප්‍රේමයේ වින්දනීය මොහොත සේකරයන් අතපත ගා ඇති බවය. සේකරයන් මළ ඉර බසිනා සැන්දෑ යාමේ ගීය කුමක් අරඹයා රචනා කළාදැ'යි අප තුළ අදහසක් නැත. නමුත් අමරදේවයන් මිය ගිය මොහොතේ අමරදේවයන් වෙනුවෙන් මුහුණු පොතේ ලියැවුණු සෝ වදන් අතරෙහි සුළභව දැක්වුනේ මේ ගීයේ මුල් පද පෙළයි. අමරදේවයන්ගේ අවසන් කටයුතු සිදුවන මොහොතේ චිතකයට ගිනි දල්වන මොහොතේ මේ ගීය වාදනය වූ බව මතකය. අමරදේවයන්ගේ ප්‍රියාව වන විමලා අමරදේවයන් අමරදේවයන්ගේ දෙණ බදා හඬන මොහොතේ ගත් සේයාරුවකට මේ ගීයේ පද පෙළ අමුණා තුබූ අයුරු මට මතකය. ඒ ද ප්‍රේමයේ ස්වභාවයන්මය. මිනිසුන් බොහෝ දෙනෙක් අමරදේවයන්ට පෙම් කරන්නේ දැන් ය. මිය ගිය පසුය. ඒ ද මිනිස් ස්වභාවයම ය. අප තුළින් ඇති වන සෑම වින්දනයකම සතුට ලබන්නේ ඒ වින්දනය අප තුළින් බැහැර වූ පසුය. එය ස්වභාවයක් ද? අප පුරුදු වී ඇති අයුරුද ? යන්න ප්‍රශ්නාර්ථයකි. කෙසේ වෙතුදු සේකරයන් මේ ගීය තුළින් අපට පෙන්වා දෙන්නේ ප්‍රේම ෆැන්ටසියාවයැයි කිවහොත් නිවැරදිය. ප්‍රේමවන්තයා ඊළඟට මුහුණ දෙනු ලබන අවස්ථාවට මූලික සූදානම මේ ගීය හරහා අපට ලබා දේ. අප පෙම් කරන්නේ මනෝරාජිකව ය. පෙර සැලසුමක් දැනුවත්ව හෝ නොදැනුවත්ව අප සිත තුළ සන්තර්පණය වෙයි. මුලින් කී පරිදි ප්‍රේමයේ අවසානය විරහවය. පෙම්වතා/ පෙම්වතිය මියැදීමද පෙම්වතාට/පෙම්වතියට විරහව ගෙන දෙන්නකි. ප්‍රේමයෙන් පරාජිත වූ අයෙකු තුළ හැඟෙන හැඟීම් සමුදායම මරණයේදී ද අපට අත් වේ. විමලාවන් අමරදේවයන්ගේ දෙණ බඳා හඩන සේයාවට මේ ගීයේ මුල් පද පේළිය අමුණන්නේ ද ඒ නිසා විය හැකිය. ප්‍රේමයේ උන්මාදය නැගෙන සෑම අවස්ථාවකම ඇය/ ඔහු අප හැර යනවා යන සෘණාත්මක සිතිවිලි වළල්ලක් අප තුළ නොනැගේ. නමුදු ඒ වියෝගයට අප මුහුණ දිය යුතුව පවතී. පෙම් කිරීම යනු එයමය. විරහව ලඳ තැනදී ඇයගෙන්/ ඔහුගෙන් ලැබූ ප්‍රේමය සිතින් සිතා සතුටු විය හැක්කේ එවිට ය. මේ ගීතය තුළ අඬංගු වන්නේ එවැන්නකි. "අඳුරට ඉඩ දී අඳුරේ සැඟවී අඳුරට ඉඩ දී අඳුරේ සැඟවී ඔබගෙන් වෙන්වී මම යන්නම්" "සියුමැළි දෑතින් ඔබ හිස අතගා ඔබ නිදි කරවා මම යන්නම්" යන වචන වලින් කියා දෙන්නේ ප්‍රේමයෙන් බැඳුණු කළ තමන් විසින් අනෙකා කෙරෙහි ඇති වන සංයමය යි. හැර යාම දරුණු වුව ද, වේදනාත්මක වුව ද, කෙසේ වුව ද, පෙම් කරන්නා පෙම් කළා යැයි අනෙකාට හඟවන අවස්ථාව විප්‍ප යෝගය යි. හැර යාමේ දී ඔහුට/ ඇයට වෛර කිරීමක් සිදු වනවානම් එය තමන් තවදුරටත් ප්‍රේමවන්තයෙක් නොවන බවට සමාජයට ලබා දෙන මුල්ම ඉඟිය වනවා බවට නොඅනුමානය. තමන් හැර යන අවසාන මොහොතේත් අනෙකාට යහපතක් වේවායි පතන ප්‍රේමයක් තමා තුළ තිබිය යුතුය. නොඑසේනම් ප්‍රේමය මළගමක් හා සම වනු ඇත. මේ ගීතය අසන අසන මොහොතක් පාසා අප තුළ ඇති වන සමාධි ගුණයක් වෙත්නම් ඒ සමාධියම ප්‍රේමය ලෙස ගැනීමත්, ප්‍රේමය අත්හැර යාමේදීත් අප සිත තුළ ඇති විය යුතුය. ෆැන්ටසියා ව අශික්ෂිත එකක් වූ විට තත්වය භයංකාරය. වෛරය, රාගය, මෝහය යන ත්‍රිවිධ අංගයන්ගෙන් සමන්විත වූවෙකු කිසි විටෙකත් අනෙකාගේ සැප නොපතයි. තම සැපම පතා සෑම මොහොතකම ක්‍රියාත්මක වෙයි. එයින් විරහවකට පත් වූවෙකුට ප්‍රේමයේ සුරාන්තය අත්විඳිය නොහැකිය. මෙය දිනක් ප්‍රවීණ ගේය පද රචක රත්න ශ්‍රී විජේසිංහයන් විස්තර කලේ "ඔබ සඳහටම නිදිකරවා මම යන්නම්" යනුවෙන් එවැන්නන් පතන බවයි. හුදෙක් ප්‍රේමයේ ඇතුලාන්තය විය යුත්තේ අනෙකාට තමා මළත් ප්‍රේම කිරීම ය. තමා මිය ගියද ඒ දරුණු අද්දැකීමට මුහුණ දෙමින් ප්‍රේම කිරීමට මිනිසුන් හුරු වූ විට ප්‍රේමය යැයි කියා වස පානය කිරීම ද, මහා පර්වත මතින් බිමට පැනීම, ගෙළ වැළ ලා ගැනීම, වැනි සිය දිවි හානි කර ගැනීමෙන් පෙම්වත් ජීවිත අනතුරේ නොවැටෙනු ඇත. සදාතනිකව ප්‍රේම කිරීමට නොහැකි වූ අස්ථීර ලෝකයක හැකි පමණින් පෙම් කිරීමට අප උගත යුතුය. 

 |ගුරුගොඩ සිරිවිමල 



Tuesday, February 5, 2019

මේ ඉවර වෙන්නෙ අපේ නිදහස් දවස්


අපිට තියෙන්නෙ කරලිය පිනවන්න. දින 365ක් තිස්සෙ ස්ක්‍රිප්ට් එකක් ඇතුලෙ වැඩ කරන කට්ටියක් නෙමේද අපි? උදේ පාන්දර නැගිට්ට වෙලාවෙ ඉදන් අපි ආගමික අදෝනා ටික අහනව. ඉස්සර අහනව. දැන් ඇහෙනව/අස්සනව. ඉට පස්සෙ උදේ තේ එක බීල, වොශ් දාගෙන, තව තව තියෙන අරව මේව කරගෙන, කෑම ටික කාල බීල රස්සාව කරා නමෝ විත්තියෙන් එළියට බහින අපි. රස්සාව ඉවර වෙලා හැමදාම වගේ එකම විදියට ගෙදර එන, කන බොන, නිවුස් බලන, රෑට කන, කාල නිදන, එහෙම ජීවිතයක් අපිට උරුම. මේකට අපි නමකුත් දාගන්නව. ඒකට කියන්නෙ ජීවත් වෙනව කියල. මොන ජීවිතද අප්ප. හැමදේකින්ම අපි නිදහස් නෑ. මහින්දගෙ පුතා යෝෂිත කාවද මැරි කලේ? එයා සිංහලද? පංසල්ද? පල්ලිද? කෝවිල්ද? එයා සුදුද? එයාගෙ සුදු ද? වපරෙද? පොට්ටද? රගර් ගැහුවද? වෙඩිම ගත්තෙ කොහෙද? වෙඩිමට දුන්නෙ මොනාද? බෙලිමල්ද? රණවරාද? ඇයි මෙයා මෙහෙම දුන්නෙ? අරයගෙ වෙඩින් එකේනම් මෙහෙමයි දුන්නෙ. අපේ ඔළුගෙඩි පිරිල තියෙන්නෙ ඔය ප්‍රශ්න වලිං. සමහර වෙලාවට තමන් වැහිල ඉන්න කෝටියක් ප්‍රශ්න වලිං මිදෙන්න නම් අනුන්ගෙ ප්‍රශ්න ටිකක් ඔළුවෙ දාගෙන බයිට් එකක් විදිහට පාවිච්චි කරන්නම වෙනව. නැත්තං බුදු අම්මෝ අපේ ප්‍රශ්න ටිකට විසඳුම් හොයන්න එපැයි අප්ප. ඔය ප්‍රශ්න ටික හිතන එක පැත්තකිං දාල නිකමට හිතන්න. සුද්ද ලංකාව දාල ගියාද? එහෙම නැත්තං අපි සුද්දන්ව පැන්නුවද? අපි සුද්දන්ව පැන්නුවනම් මං කියන්නෙ අපි වැරදියි. සුද්ද ලංකාවෙන් ගියපු දවසෙ ඉදන් මේ රට මොන වගේ තැනකද තියෙන්නෙ? සුද්ද අපිට ඉතිරි කරල ගියෙ මොනවද? සුද්ද ගියාට/ එලෙව්වට පස්සෙ ලංකාවෙ අපි ස්වාධීනව ලබපු ජයග්‍රහණ මොනාද? ඒ වසර 71 ඇතුලෙදි අපේ පාලකයො මොන වගේ විදියටද හැසිරුනේ? අපි මේ වෙද්දි ජාතිවාදය, ආගම්වාදය, ජයග්‍රහණය කරල තියෙනව. තමන්ගෙ පට්ටියෙන් මිදෙන්න බැරි කාඩ ම මී හරකව අපි අපේ රැලේ නායකය කරගෙන තියෙනව, එයාල හැසිරෙන විදියට අපිත් හැසිරිලා තියෙනව. ඒව ලේසි පාසු ජයග්‍රහණ නම් නෙමේ. ඒත් අපි තාම පාලනය වෙන්නෙ සුද්ද දීල ගිය නීති ටික ඇතුලෙ. ස්වාධීන නීතියක් නෑ. අපිට එහෙම එකක් හදාගන්න උවමනාවක් නෑ. සුද්ද දීල ගිය, තේ, පොල්, රබර්, ටිකෙන් යාන්තම් දවස ගැටගහගන්න රටක් අපි. දැන් ඒවගෙත් එක එක ප්‍රශ්න. ඒ ඒ කම්හල් වල විවිධ ගැටළු. මේ දවස්වල තේ වතු කම්කරුවන්ට තමන්ගෙ දවසෙ පඩිය 1000ක් කරන්න කියල තමන්ගෙ හාම්පුතාලට එරෙහිව නැගිටින්න සිද්ධ වෙලා. සුද්ද දීල ගිය ඒදඬු පාලම් ටිකෙන් තාමත් රට අරං යන්න හිතන නායකයො ඉන්න රටක්. සුද්ද දීල ගිය අධ්‍යාපන ක්‍රමයම තවමත් වෙනස් නොකර යහමින් පවත්වාගෙන යන රටක්. සියල්ල සුද්දගෙන් පවත්වාගෙන ගිහිල්ල හැම පෙබරවාරි 04 වෙනිදාවකම අපි නිදහස් වෙලා අදට මෙච්චරයි කියල ලෝකයාට හිනාවෙන්න කාරණා සපයල දෙන ලැජ්ජාවක් නැති ජාතිය අපි. සුද්දගෙන් මිදිච්ච බොහෝ රටවල් විශේෂයෙන්ම අසල්වැසි ඉන්දියාව අපිට වඩා ගොඩක් ඉහළින් ඉන්නව. අපි රටක් විදිහට ලෝකය ජය ගන්න අවශ්‍ය අධ්‍යාපනය, ක්‍රීඩාව, සෞඛ්‍යය, වගේ මූලික කාරණා වලදි දර්ශකයන් වල පහළම මට්ටමේ ජීවත් ඉන්න රටක්. අවුරුදු 71 තිස්සෙ අපි පොල් ටිකක්වත් ගාල නෑ. පොල් ටිකක් ගෑවනම් මේ රට පොල් කටු ටිකකින් හරි පිරෙනව. නව දැනුම, නව ආකල්ප, වලිං සංවර්ධනය නොවී තියෙන 2500ට එහා ගිය දැනුමෙන් සහ සුද්ද වසර 71 ට කලිං දීල ගිය දේවල් වලිං තවමත් නඩත්තු වෙන්න හදනව. මතක තියාගන්න. මීට වසර 2500ට එහා තිබුන දේ නරක නෑ. ඒක ඒ ඒ අවධි වල රටේ සංවර්ධනයට හේතු වුන ක්‍රමවේදයක්. ඒකෙන් අපි අදත් යැපෙන්න හදනවානම් ඒක විහිළුවක්, සුද්ද අවුරුදු 71 ට කලිං දීල ගිය දෙයින් නඩත්තුවෙන්න හිතන එක අලුතින් හිතන වැඩ පිළිවෙලක් නෙමේ. තාක්ෂණය මේ රටට කොයි තරම් විදිහට දෙන්න හැදුවත් ඒක අහලකටවත් ගන්න අපි බයයි. හෝමාගම තාක්ෂණික නගර ව්‍යාපෘතියෙ යට තියෙන ඇත්ත යථාර්ථය ඒක. කම්පියුටර්, මොබයිල් ෆෝන්ස්, නවීන උපකරණ භාවිතයෙනුත් අපි කරන්නෙ අපේ ගෝත්‍රික බව වඩාත් තීව්‍ර කරගන්න ක්‍රමයක් ගැන හිතන එක. ඒකයි අපි තවමත් ෆෝන් එක අරනුත් ආගම, ජාතිය ගැන හිත හිතා මරා ගන්න හදන්නෙ. ඒ ගෝත්‍රිකමය තත්වයෙන් අපිට නිදහස් වෙන්න පුළුවන් ක්‍රමයක් හදල නෑ. දවස් ගාණක් ගෙදරින් කාල එළියට යන දවසකත් ගමේ කඩෙන්, නෙළුම් කොලෙන්, පොල් අතු පැලෙන් බත් ඩිංගක් කන්න හිතන අපි, පීසා හට් එකට ගිහිනුත් පොළොස් රසැති පීසා එකක් කන්න තරම් ව්‍යාජ වෙන අපි. උපතේ සිට කසාඳය දක්වාම බටහිර පන්නයට ඇඳගෙන ඉදල විවාහ උත්සවයට විතරක් නිළමෙ කිට් එක අදින අපි. එහෙම ඇදගෙන ගිහිං සුද්දගෙ ක්‍රමේට හනිමුන් යන, එතන ගිහිල්ල ලේ පැල්ලම හොයන. අමුතු ජාතිය අපි. නිකමට හිතල බලන්න. අපි දින 364 දවසක් නිකං ඉදල එකම එක දවසක් නිදහස ගැන කතා කරනව. ඒත් නිදහස ලබාගන්න විදිය නෙමෙයි. අතීතයෙ අපි කරපු කියපු දේවල් ගැන. එදා වීරත්වය අද කෲරත්වය ලෙස සලකමින් අන් හැම ජාතියක්ම බිංදුවට දාල අන් හැම ආගමක්ම බිංදුවට දාල කතා කරන්න අපි හිතන්නෙ ඇයි? අපි සුද්දට එරෙහිව කරපු සටන ගැන හිතල ඒකෙන් රැකෙන්න හදනව මිසක්ක අපිට අලුතින් හැදෙන්න උවමනාවක් නැතිකම. මේචචර දේවල් ලියල ලියල අවසානෙ මගේ නිගමනය මෙච්චරයි. හිතවතුනි, අපි එක්කෝ පරණ විදිහට ජීවත් වෙමු! නැත්තං අලුත් වෙමු! මේ දෙබිඩි පිළිවෙතින් අපිට වෙන සෙතක් නෑ.




 |ගුරුගොඩ සිරිවිමල