Tuesday, January 29, 2019

සංස්කෘතිය හා ලංකාව


සංස්කෘතියට නිර්වචන රාශියක් දෙන්න පුළුවන්. ඒකට මම සරළ නිර්වචනයක් දෙනව මෙහෙම. සංස්කෘතිය කියන්නෙ ශිෂ්ඨත්වය කියල. 

    සංස්කෘතිය සහ ශිෂ්ඨත්වය කියන එක අපිට බෙදල හදුනාගන්න බෑ. පසුගිය දිනෙක මගේ මිත්‍ර හිමිනමක් තමන්ගෙ FB එකේ යම් ඡායාරූපයක් අමුණනව වචන කිහිපයක් සමඟ ඒ මෑතකදි මුස්ලිම් තරුණයන් පිරිසක් දාගැබක් උඩ නැගල ඡායාරූපයක් ගැනීම සහ එය ෆේස්බුක් එකට මුදා හැරීම පිළිබඳව 
    මේ 21 සියවස. ඒ කියන්නෙ පළමු සියවසේ පටන් අපි සියවස් 20ක් පසු කරල එන අවධිය. පළමු සියවසේ පටන් විසිඑක්වන සියවසට සම්ප්‍රාප්ත වෙන අපි නැවත පළමු සියවසෙනුත් පල්ලෙහට නොවැටී සිටීමට හඳුන්වා දෙන අත්වැල තමයි සංස්කෘතිය සහ ශිෂ්ඨත්වය කියන්නෙ. මිනිහෙක් අසංස්කෘතික වෙනවා කියන්නෙම අශිෂ්ඨත්වයට පත්වීම. මිනිසා ශිෂ්ටාචාර ගත වෙනව කියන්නෙත් ඒකටම තමයි. අපි කන්නෙ බොන්නෙත්, යන්නෙ එන්නෙත්, අදින්නෙ පළදින්නෙත්, මූලික අවශ්‍යතා සියල්ලක්ම වගේ අමූලික අවශ්‍යතා සම්පාදනය කරගන්නෙ මේ ශිෂ්ඨත්වය කියන කාරණාව මත පදනම් වෙලා. 
    සංස්කෘතියේ නිර්මාණය සිද්ධ වෙන්නෙත් ලෝකෙ ආරම්භයේ ඉඳලමයි. මිනිසාට ශිෂ්ඨත්වයයේ මුල් පාඩම උගන්වන්නෙ ආගම දහම. ලෝකෙ අාරම්භයේදීම තමන් විශ්වාස කරන දෑ පදනම් කරගෙන ආගම ප්‍රතිනිර්මාණය කරගැනීමත් ඒ ආගමේ පැවැත්ම සඳහා සංස්කෘතිය ශිෂ්ඨත්වය වැනි කාරණාවන් ඉගැන්වීම් ලෙස ආව. මේ ආගම් තුළින් ආව කාරණා පදනම්ව බටහිර Ethics, සහ Culture  කියන එක නිර්මාණය වෙනව.  
    ලංකාවෙ අපිට සදාචාරය සභ්‍යත්වය කියන එක එන්නෙ විශ්වීය අර්ථයකින්. ඒ කියන්නෙ එක එක ආගම් හෝ විශ්වාස මත පදනම් වෙච්ච සංස්කෘතියකින් නෙමේ අපි සදාචාරයට හා සංස්කෘතියට සංවේදී වෙන්නෙ.  ලෝකෙ ඉහළම සංස්කෘතික හා සදාචාරාත්මක ලක්ෂණ තියෙන්නෙ බුදුන්වහන්සේ වදාල ධර්මය ඇතුලෙ. ඒ ධර්මය හරහා තමයි ලංකාවෙ අපි සංස්කෘතියටත් සදාචාරයටත් සංවේදී මිනිස් පරපුරක් බවට පත්වෙන්නෙ. ඒ නිසා සංස්කෘතිය ගැන සදාචාරය ගැන ලංකාවෙ සිංහල මිනිස්සුන්ට පෙනී සිටීමේ අයිතියක් තියෙනව. ඒව පැහැර හැරීමේදී කණගාටු වීමටත්,නැවත නිවැරදි කිරීමටත් සිංහලයන්ට අයිතියක් තියෙනව. 
   ඉහත කී මුස්ලිම් තරුණයන් පිරිස චෛත්‍යයක් මත නැගීමෙන් සිදුවන සංස්කෘතික හානිය කුමක්ද? කියල කාටහරි හිතෙන්න පුළුවන්. ඒ චෛත්‍යයක් කියන්නෙ මොකද්ද කියල නොදන්න නිසා. ලෝකයේ චෛත්‍ය නිර්මාණය වෙන්නෙ අමනයන්, කුඩ්ඩන්, බේබද්දන් වෙනුවෙන් නොවේ. දාර්ශනික හරයන් ලෝකයට දායාද කරපු සිල්වත්, වැදගත්, මිනිස්සු වෙනුවෙනුයි. මේ ශිෂ්ඨත්වය ගැන වන පාඩමක් මහාවංසයෙ දුටුගැමුණු රජතුමා ගැන සඳහන් වන පරිච්ඡේදයේ දි අපිට දැකගන්න පුළුවන්. දුටුගැමුණු රජතුමා එළාරට එරෙහිව කරන මුහුණට මුහුණ සටනින් එළාරව මරා දමනව. ඒ විදියට මැරුවට එළාර වෙනුවෙන් කළ යුතු සංස්කෘතික සහ ශිෂ්ඨත්වයේ කාරණාව දුටුගැමුණු විසින් සිද්ධ කරන්නෙ ඔහු වෙනුවෙන් සොහොනක් හදල ඒ සොහොන ලගින් හොරණෑවක ශබ්දයක්වත් පිට නොකළ යුතුයි කියන ආඥාව නිකුත් කරමින්.  ඒ අපිට ශිෂ්ඨත්වය සහ සංස්කෘතිය හුරු කරන එක තැනක්. 
  සංස්කෘතිය කියන්නෙ ඉතිහාසය මත පදනම්ව පමණක් ගොඩනැගෙන දෙයක් නොවේ. නමුත් සංස්කෘතිය සම්බන්දයෙන් ගොඩනගා ගත යුතු දෑ හැමදෙයක්ම ඉතිහාසයෙන් ලංකාවෙ අපිට හිමි වෙලා තිබේ.
   සිංහල, මුස්ලිම්, දෙමළ කියන අපි හැමෝම ලාංකිකයන් බව අප විසින් තේරුම් ගත්විට මෙම සංස්කෘතිකමය ප්‍රශ්නය විසඳෙනු ඇත. අන් අයගේ ආගමික හරයන් තුළ ගැබ් වන සංස්කෘතික කාරණාවන්ට හැම කෙනෙක්ම ගෞරව කළ යුතුය. එවිට චෛත්‍යයක් උඩ නැග සිය අශිෂ්ඨත්වය පිළිඹිබු කරන්නට කිසියම් කෙනෙක් උත්සාහ නොගනු ඇත. සිය සංස්කෘතිය පමණක් රැක අන් සංස්කෘතීන්ට එරෙහි වීම ලාංකීය මිනිසාගේ ක්‍රමය නොවේ. සියළු සංස්කෘතීන්ට ගරු කරමින් සිය රට තුළ ජීවත් වීම සංහිඳියාව වැඩි දියුණු කරන්නක් බව අප මතක තබා ගත යුතු කාරණයකි. 



|ගුරුගොඩ සිරිවිමල


Thursday, January 24, 2019

|බස් | සීට් | පූජ්‍ය පක්ෂය සහ මගීන්.

මේ කතා කරන්නේ ලංකාව ගැන. පිටරටක බසයක අද්දැකීම් නැහැ. ලංකාවෙ බස් කියන එකට වඩා ප්‍රවාහන සේවය කියන එක යොදාගත්තත් වරදක් නැහැ. බස් කිව්වත් ප්‍රවාහන සේවය කිව්වත් අපිට ඔළුවට එන්නෙම බස් ම තමා. ඒ එක්කම මහා අප්‍රසන්න හැඟීමක් මහජනතාවට එන එකත් නවත්තන්න බෑ. ඒක ඉබේම එන එකක්. 
ලංකාව බස්කරණය වුනාට පස්සෙ සාමාන්‍ය ජනයා බස් එකේ යන්න පුරුදු වෙන්නෙ තමන්ගෙ අතේ වියදම ගැන හිතල. නමුත් ගතේ විඩාව ගැන මිනිස්සුන්ට නැවත නැවතත් මේ වන විට හිතන්න වෙලා. 
කසිකබල් අදෝනා ටිකක් ප්ලේ කරගෙන කොන්දොස්තරගෙ, ඩ්‍රයිවර්ගෙ කුණු බැනුම් අහගෙන හිර වෙලා තද වෙලා යන ලංකාවෙ මගීන් ගැන ඇත්තටම දැනෙන්නෙ කණගාටුවක්. කායික පමණක් නෙමේ මානසික වශයෙන් පවා පීඩාවට ලක් වෙන කාරණයක් තමයි බස් එකක යනව කියන්නෙ. 
මේකෙදි මම මගෙ පෞද්ගලික අද්දැකීම් කිහිපයක් ලියන්න බලාපොරොත්තු වෙනව. මොකද බස් සම්බන්දයෙන් ආගමික පාර්ශවයට ලොකු චෝදනාවක් තියෙනව. 
මම බොහෝවිට කොළඹ ආවොත් A/C බස්⁣ එකක එන්නත් යන්නත් පුරුදු වෙලා තියෙනව. ඒකට එක හේතුවක් හයිවේ එක හරහා ඉක්මනින් ගමනාන්තයට ලංවිය හැකි කම. අනිත් එක ඉහත කිව්ව මානසික පීඩාව සීයට විස්සකින් තිහකිං අඩු කරගන්න පුළුවන් A/C බස් එකේ ගියාම. 
මේ වගේ දවසක් මම කොළඹ සාහිත්‍ය වැඩකට ගිහිල්ල රෑ වෙලා කොටුවට එන්නෙ A/C බස් එකක් අල්ලගන්න. ඒ ආවට මොකද A/C බස් දෙකක යන්න සෙනඟ පෝලිම. එක බස් එකක් සෙනඟ ලෝඩ් කරගෙන මං යද්දිම කොන්දොස්තර මහත්තය කිව්ව "ආහ්..හා..හා සීට් නෑ" කියල. මම කොහොමත් මිනිස්සු පිරිල ඉන්නවම් බස් එකට නගින්නෑ. හේතුව ඉඳගෙන ඉන්න මනුස්සයට නැගිටින්න වෙනවනෙ. ඒත් මට කොන්දොස්තරගෙ ප්‍රතිචාරය සම්බන්ධයෙන් පොඩි ඇරියස් එකක් තිබුන. ඒ නිසා මම ටික වෙලාවක්( වි. 05 විතර ) බලාගෙන ඉඳල ඇහුව දැන් මේ බස් එක යන්නෙ කීයටද කියල. බස් එක යන පාටක් නම් නෑ. කොන්දොස්තර කියනව තව පැය කාලක් විතර තියෙනව කියල. ඒ කියන්නෙ අර බස් එකේ පොල් පටෝගෙන යනව වගේ වැඩක් තමා වෙන්න නියමිත. ඉතිං මං පස්ස ගහගෙන හිටියෙ නෑ. ගියා ටයිම් කීපර් ගාවට. ගිහිං ඇහුව මේ බස් එක යන්නෙ කීයටද? සෙනඟ ⁣පුරෝගෙන බලාගෙන ඉන්නෙ මොකටද ඒ බස් එකට තව මිනිස්සු දාන්න සීට් නෑනෙ? වගේ ප්‍රශ්න ටිකක් ඇහුව. අැහුවම ටයිම් කීපර් කිව්ව හරි හාමුදුරුවනේ ඒ බස් එක මම දැන්ම යවන්නම් කියල. ඒ කරල මාත් පැත්තකට වෙලා කෝල් එකක් ගත්ත. ඒ ගන්න ගමන් මම දැක්ක ⁣අර කියපු බස් එකේ කොන්දොස්තර ඇවිත් ටයිම් කීපර්ට රුපියල් සීයක් දෙනව. මම වහාම නැවතත් ටයිම් කීපර් ගාවට ගියා යද්දි කොන්දොස්තර ත් හිටිය එතනම. මම ඇහුව ටයිම් කීපර් ගෙන් සල්ලි ගත්ත නේද? කියල. කොන්දොස්තර පැනල උත්තර දෙනව නෑ මේ කලිං දෙන්න තිබුන සල්ලි වගයක් කියල. ටයිම් කීපර් කියනව ඔව් මෙයා සල්ලි දුන්න කියල. කොන්ද නෑම කියනව. ටයිම් කීපර් බය වෙලා මොකද මං කේස් එක දැම්මොත් රස්සාව පවා ගහල යන වැඩක්නෙ. ඉතිං ඔහොම ඉඳල ටිකකිං බස්සෙක යැව්ව. අලුතින් තව බස් එකක් එන්න වි. 10ක් විතර ගියා. ඒ බස් එකේ මිනිස්සු පිරුණ ගමන් ගියත් තව බස් එකක යන්න මිනිස්සු එතන පෝලිමේ හිටිය. ඒ සියළු මිනිස්සු රස්තියාදු කරමින් අර උඩදි කිව්ව බස් එක උන්ගෙ කොමිස් මුදල හොයාගන්න වැඩිපුර සෙනඟ පටෝගන්න තමා ⁣ට්‍රයි කලේ. 
අද කොයි ස්ටෑන්ඩ් එකෙත් තත්වය ඕකයි. සෙනඟ පොල් පටෝනව වගේ පටෝගෙන අනවශ්‍ය තද බදයක් ඇති කරගෙන තමයි ගමනාන්තයට යන්නෙ.
තව දවසක් කොළඹ - අවිස්සාවේල්ල බස් එකක යද්දි සෙනග පුරෝල. නෝමල් බස් එකක්. ඒකෙත් හිටපු අම්ම කෙනෙක් මගෙ සීට් එක ලඟම හිටගෙන යනව. බස් එකේ කෑල්ලක් කඩාගෙන වැටුන. හැබැයි කකුලට මුකුත් වුන්නෑ. ඒ වුනාට මේ අම්ම බස් කොන්දොස්තරට මේ බව කිව්වම මේ යකා කියාපි ඔයා හිතුවද මේව ලී වලිං හදල කියල. මේව තනි යකඩ තියෙන්නෙ. එහෙම කැඩෙන්නෑ වගේ කින්ඩියට හිනා පාරකුත් දානව. ඒත් ලග හිටපු අයත් කියනව සද්දයක් ආව කියල. මිනිස්සුන්ගේ ජීවිත අනතුරේ තියාගෙන සල්ලි හම්බ කරන තත්වයක තමයි අද ලංකාවෙ මගී ප්‍රවාහන සේවය තියෙන්නෙ. 
ඉතිං කොහොම වුනත් මිනිස්සු යන එක නවත්තල නෑ. හේතුව ඒ සඳහා වෙනත් ඔප්ෂන්ස් නැති කම. අපි වුනත් බැන බැන හරි හෙටත් කොළඹ එන්නෙ බස් එකේ. ඒකයි තත්වය. 
මේ අස්සෙ බස් සීට් සම්බන්දයෙන් තියෙන නීති වලින් පූජ්‍ය පක්ෂයට, ආබාධිත, ගැබිනි, කියන මේ අයට විශේෂත්වයක් දීල තියෙනව. මෙතනදි අද වෙද්දි ලොකුම ගැටළුව වෙලා තියෙන්නෙ මේ අයට සීට් දෙන එක. සමහර බස්වලිං කියලම නග්ග ගන්නෙ මේ අය නැග්ගොත් සීට් එකෙන් නැගිටින්න වෙනව කියල. ඒ පොරොන්දුව මත තමා මගියාව නග්ග ගන්නෙ. ඒත් පූජ්‍ය පක්ෂය ගත්තම මම දැක්ක වටිනම දේ තමයි. මම ආශ්‍රය කරන ගොඩක් හාමුදුරුවරු බස් එකට නගින්නෙ බලල. එයාලට කොච්චර වෙලා ගියත් මිනිස්සු ඉන්නවනම් නගින්නෑ. ඒ ගමනක් ඉඳගෙන යාමේ පහසුව අපිට වගේම අනිත් අයටත් දැනෙන නිසා විය හැකියි. 
මම පූජ්‍ය පක්ෂයට අයත් සීට් එකේ මුස්ලිම් කාන්තාවක් සමඟ ඉඳගෙන ඇවිත් තියෙනව. ඒ වගේම වෙනත් කාන්තාවක් සමගත් එකට ඉදගෙන ඇවිත් තියෙනව. මටවත් ඒ කාන්තාවන්ටවත් අතවරයක් නම් වෙලා නෑ. හැබැයි හිනායනම සීන් එකක් මෑතකදි වුනා. කොච්චිකඩේ පාලම පහුකරල උපාසකම්ම කෙනෙක් මගෙ සීට් එකේ වාඩි වුනා. මෙයා දැක්කෙ නෑ මං ඉන්න බව. මාව දැක්ක ගමන් බුදු අම්මෝ ස්වරූපයෙන් උපාසකම්ම නැගිට්ට. නැගිටල තව පිරිමි පහ හයකටත් වහං වුනා. සමහර විට මම නිසා උපාසකම්ම ගෙ කාමාශාවන් උද්දීපනය වෙයිද? උපාසකම්ම නිසා මගෙ කාමාශාවන් උද්දීපනය වෙයිද? කියන උභතෝකෝටිකයට උපාසකම්ම ක්ෂණිකව පත්වුනා වෙන්න බැරි නෑ. ඔය හාමුදුරුවෝ එක්ක එක සීට් එකේ කාන්තාවන් නොයා යුතුයි කියන සම්මුතිය හැදෙන්නෙම අර උඩදි කිව්ව කාමාශාවන් උද්දීපනය වෙයි කියන හැගීම නිසා. මංනම් කියන්නෙ ඔය කියන විදියට සමලිංගික ආශාවන් තියෙන හාමුදුරුවෝ හෝ වෙනත් ෆාදර්, මවුලවි ඕනම කෙනෙක් ලග කොල්ලෙක් ගියත් ඔය තත්වය ඇති වෙනව. ඒ නිසා කොල්ලෙක් වත් එක්ක එකට ඉදගෙන නොයායුතුයි කියන කාරණයට අපිට අකමැත්තෙන් හරි එකඟ වෙන්නම වෙනව. 
හැබැයි මේ ප්‍රශ්නය පූජ්‍ය/ පූජක පක්ෂයට ප්‍රශ්නයක් නෙමේ. අනුගාමිකයො තමයි රිදෝගෙන ඉන්නෙ. මට මෑතකදි ඒ. සී බස්එකේ දොර ළග සීට් එකක යන්න වුනා. පූජ්‍ය පක්ෂයට අයිති සීට් එකේ කපල් එකක් ඉදගෙන හිටිය නිසා මම එයාලට ඉන්න කියල අර සීට් එකේ වාඩිවෙලා පාඩුවෙ පොතක් කියෝ කියෝ ගියා. එක කෙල්ලෙක් එතනම ජම්පින් එක දාගෙන මගෙ ලඟම ඉදගෙන ගියා. මෙන්න මේක දැක්ක එක කාන්තාවක්ම අර කෙල්ලට අම්මම්මෝ නැතිව බයින්ඩ ගත්ත. මං කිව්ව කටවහගෙන යමු මම මේ පොතක් කියෝනව පේන්නැද්ද කියල. ඒ කරල මම ෆෝන් එක අරං හෑන්ඩ් ෆ්‍රී දෙකක් ගහගෙනම පොත කියවන්න ගත්ත. පාඩුවෙ කට්ටියම ගියා. 
තැනට සුදුසු පිළිවෙලට හැඩගැහෙන්න දැන් ඉන්න පූජ්‍ය පක්ෂය බොහෝ විට උත්සාහ ගන්නව. නමුත් අනුගාමික පාර්ශවය තමන්ගෙ බැම්ම කඩාගන්න ආස නැති කමක් තියෙනව. සමහර විට ඒ නිසාම පූජ්‍ය පක්ෂය බැනුම් අහන තත්වයටත් පත්වෙලා තියෙනව. ඒත් බණ කියන , වාහන වල යන ගලිගමුවෙ හාමුදුරුවෝ වගේ අය FB වල ෆොටෝ දාගෙන කියනව හාන්දුරුවන්ට සීට් එකක් දුන්නෑ කියල ඒක ප්‍රශ්නයක්ය පිටිපස්සෙ සීට් එක දුන්නම හරිද? වගේ ගොං සංවාද අැති කරල තමන්ගෙ අනුගාමික ෆලෝවර්ස්ලගෙ මනස කචල් ගොඩක් කරනව. මේ ප්‍රශ්න ඇතිවීමට එයාල වග කිව යුතු වෙනව. බොහෝ අය කිසිදු හික්මීමක් නැති විදියට හාමුදුරුවෝ කෙනෙක් ලග හෝ අනිකුත් පූජ්‍ය පක්ෂයක කෙනෙක් ලග ගෑණු කෙනෙක් ඉදගෙන ගියොත් බයිනව. එතනින් ඒ ගැහැණිය අපහසුතාවයට ලක් වෙනව.
කොහොම වුනත් කොන්දොස්තර, ඩ්‍රයිවර් වගේම බස් එකේ යන මගීනුත් බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුයි.



|ගුරුගොඩ සිරිවිමල


Tuesday, January 22, 2019

නිධන් වස්තු

සමීප විහාරයක චෛත්‍යයක් සාදා එහි නිදහන් වස්තු සහ ධාතු තැන්පත් කිරීමත් හුදී ජන වන්දනාව උදෙසා අවස්ථාව ලබාදීමත් පසුගිය දාක සිදු වින. එය අතිශයින් රමණීය අවස්ථාවෙකි. සැදැහැයෙන් බොහෝ මිනිසුන් එක්ව මිළ මුදල් සේම ශ්‍රමය ද කාලය ද කැප කරමින් ගොඩනගා ගත් වෙහෙර සුද ට සුදේ බැබලෙමින් විහාරස්ථානයම ආලෝකවත් වන අයුරු බලා හිඳින තරම් සතුටක් සැදැහැතියෙකුට වාවා ගනු නොහැකිය. එක උපාසිකාවක් අප පිරිත් කියමින් සිටි තැනින් තම මිණිපිරියගේ දෑතේ එල්ලෙමින් කඳුළු වඟුරමින් යනවා මා දිටිමි. ඒ සතුටු කඳුළු ය. 
         කෙසේවෙතත් මේ වැඩ කටයුතු අස්සේ මගේ සිත ඇඳී යන්නේ නිධහන් වස්තු කෙරෙහිය. නිධහන් වස්තු විවිධ ය. අයෙකු මිය ගිය පසු භශ්මාවශේෂ ගෙන සොහොන් තනති. මිය ගිය තැනැත්තා පිදිය යුත්තකුනම් එය සොහොනක් නොවී චෛත්‍යයක් වනු ඇත. සමහරුන් භශ්මාවශේෂ ගෙන ජලයේ පා කර යවයි. කෙසේ වෙතත් ඒ සියල්ල නිධහන් වස්තුය. තැන්පත් වන්නේ හදවතේ ගැඹුරු තැනෙකය. ඒ මතක ලෙසය. මතකයන් අමතක කිරීම හෙවත් අතීතය වල දැමීම සජීවී මිනිසකුට කළ නොහැකි දෙයකි.
     ධම්මික බණ්ඩාරයන් ලියන හන්තානට පායන සඳ ගීතයේ කොටසක " මා ගැන මතකය ගුලි කර මහවැලියට දමන්න " යනුවෙන් ලියයි. නමුත් එය භෂ්මාවශේෂ ගඟ දියෙහි පා කරනවා වැනි සරළ දෙයක්නම් නොවේ. මිය ගිය, ජීවත් වන සියල්ලම අතීත කාලයට පිරිනැමෙන්නේ ඒවා මතකයන් ලෙස හදුන්වමිනි. බොහෝවිට චෛත්‍යයට නිධහන් වස්තු තැන්පත් කර හඬ හඬා ගිය උපාසකම්මාගේ කඳුළුවල කවර හෝ මතකයක් නිධන්ගත වී තියෙන්නට ඇත.
මතකය හෙවත් අතීතය යනු නිධහන් වස්තුය. ඒවා තැන්පත් වන්නේ සිත නැමැති කරඬුවේය. කරඬුව තුළ තැන්පත් වන සියළු මතක අපව සිනහවටත් කඳුළටත් යොමු කරවයි. අවාසානාව නම් මිනිස් සිත තුළ තැන්පත් ව ඇති බොහෝ මතක කඳුළු මතකයන් වීම ය. බොහෝ අය නිධහන් තැන්පත් කරන්නේ අනාගතය ගැන සිතමිනි. සමහරුන් නැවත ගොඩ නොගනිමියි යන අටියෙනි. අනාගතය ගැන සිතා නිධහන් කරණ වස්තූන් හෙවත් මතක ගැන බොහෝ අය සිහින ගොඩ නගති. නැවත ගොඩ නොගනිමියි යන අටියෙන් වස්තූන් හෙවත් මතක තැන්පත් කල අය වළ දැමූ/ තැන්පත් කරන ලද මතක ගැන සිතා හූල්ලති. සුසුම් හෙළති.

බුදුන්වහන්සේ දේශනා කරන්නේ,
අතීතං නානු සෝචාමී
නප්පජප්පන්ති නාගතං
පච්චුපන්නේන යා පෙන්ති
තේන වන්ණො පසීදති යනුවෙනි.

අතීතය දෙස බලා ශෝක නොකළ යුතුය
නොපැමිණි අනාගතය සිතමින් නොතැවිය යුතුය.
වඩාත් යහපත් වන්නේ වර්ථමානයේ ජීවත් වීමය.


|ගුරුගොඩ සිරිවිමල


Tuesday, January 15, 2019

මා නැති කලෙක වුන් සුවදක් දැනුනාවේ.


|Mawbima | Young -යං | පොඩි සාදුගේ ලියමන - Podisaduge liyamana| Gurugoda siriwimala
2019.01.15
මා නැති කලෙක වුන් සුවදක් දැනුනාවේ.


කොච්චර වැඩ තිබුනත් සාහිත්‍යයට කළාවට තියෙන ලැඳියාවෙන් ඈත් වෙන්න පුළුවන් ද? ඊයෙ හවස 2.30 හමාරට විතර ඇඳට වෙලා ඉන්නැද්දි නිකම්ම නින්ද ගිහිල්ල. ඇහැරෙද්දි 9.30 විතර ඇති. මේ දවස්වල වැඩ වැඩියි. වැඩ වැඩි මානසිකත්වය මැද්දෙ නින්ද යන එකත් කොච්චර සතුටක්ද කියල හිත හදාගෙන නාල කරල කාමරේට ඇවිත් FB පැත්තෙ ගියා. ගිහිං උඩට පල්ලෙහට කර කර ඉද්දි අහම්බෙන් හම්බුනා පරසතු මල් සිංහල චිත්‍රපටයෙ ගීතයක්. කලිං බලල තිබුනත් මොකද්දෝ මතකයකිං හිත පිරිල. සිංදුව නැවත නැවත අහල බැරිම තැන චිත්‍රපටය බලන්න හිතුණ. ඉතිං රෑ එකොලහට විතර you tube ගාටන්න වුනා. 

  දන්නවනෙ ලංකාවෙ යූටියුබ්. ට්‍රෙන්ඩින් ලිස්ට් එකක් කියල එකක් තියෙනව ඒක දැක්කම ඔක්කාරෙට එනව. මොනා වුනත් ලංකාවෙ සංගීත කලාව ගැනනම් මාර සතුටක් එන්නෙ BNS ලගෙ ශෝ එහෙක සිංදුවක් දෙහෙකුත් ට්‍රෙන්ඩින් ලිස්ට්  එකේ තියෙන නිසා. 

  කොහොම වුනත් පරසතු මල් කියල සිංහලෙන් Search කරාම චිත්‍රපටයෙ සිංදුව ආව. ආයෙ ඉංග්ලිෂ් වලිං Search කරහම යාන්තං චිත්‍රපටයෙන් Cut කරපු කෑලි පහ හයක් පහු වෙලා Full film එක තිබුන.  ලංකාවෙ තියෙන අවුල තමා පරණ ෆිල්ම් එකක්, පොතක් පතක්වත් නෙට් එකෙන් හොයා ගන්න බැරි එක. සමහර සිංදු පවා හොයාගන්න හෙණ කට්ටක් කට්ටක් කන්න වෙනව. වගකිව යුතු බලධාරීන්ට ගෙවල් දොරවල් වල හරි හරියට යෙදිල තියෙන වෙලාවක අපි ඕව ගැන නොහිත ඉන්න එකම හොඳයි. 
     "පරසතු මල්" චිත්‍රපටය අවසාන වෙන්නෙ ලස්සන පඳ පේළි හතරකින්. මතක විදියට ඒක ලියන්නෙ මහගම සේකර. 
බටහිර අහසෙ රතු සිත්තම් මැකුනාවේ
දෙනිපෙත අඬන හිරියාමල් පිපුනාවේ
මා ආදරය කළ වග නොම හැඟුනාවේ
මා නැති කලෙක උන් සුවඳක් දැනුනාවේ
කවිය කෙරෙහි තියෙන අසීමාන්තික ආසාව නැවත නැවතත් පුපුරු ගහන්නෙ චිත්‍රපටයක් තුළිනුත් කවියක් ම මතුවෙලා එද්දි. ඒක හරියට ගින්නට පිදුරු දානව වගේ වැඩක්. 
     ඉර බැහැගෙන යන හැන්දාවක අහසෙ ළා රතු පාටින් අහස තියෙනව. හිත නිස්කලංක කරන ඒ සොඳුරු මොහොතින් අපිට මිඳෙන්න බෑ. 
එකම කෙල්ලෙකුට ආදරය කරල කරල හෙම්බත් වෙලා ඒත් ආදරේ නොලැබුණ මොහොත පෙම්වතා මිය යන මොහොතෙදි පෙම්වතිය සම්බන්ධයෙන් නැගෙන අතීත මතක ගින්නට දාල පුච්චල අළු කරන්න මොන පෙම්වතාටද හිතෙන්නෙ. අවසානෙ මිදීමේදී දැනෙන සැහැල්ලුව තේරුම් යන මොහොතෙ කරන ප්‍රාර්ථනාවක් තමයි මේ පද පේළියෙ අන්තර්ගත වෙන්නෙ. තමන් නැති කාලෙක වුනත් තමන් හිටිය වග දැනියං කියන ප්‍රාර්ථනාව තමා අහිමි පෙම් කතාවක අවසාන ⁣බලාපොරොත්තුව. හිත හදාගන්න ඒකම ඇති. පරසතු මල් චිත්‍රපටයෙ කමලට ආදරේ කරන බොනී මහත්තයගෙත් අවසාන පැතුම ඒක. තමන්ගෙ කැත කුණු වලිං වැහිල තිබුන ආදරේ කමල තේරුම් අරං තිබුනත් අවබෝධ කරගන්න තරම් කමල ට කමලගෙ හිත ඉඩ දෙන්නෙ නෑ. 
අවසානෙ බොනී මහත්තය කියන පෙම්වතාගෙ උරුමය සදාකාලික නින්ද. හැබැයි බොනී මහත්තය වුනත් ආදරය කියන්නෙ හිමි කරගැනීම නෙමේ කියන එක තේරුම් අරං හිටියනම් ඒ සදාකාලික නින්ද උරුම වෙන්නෙ නෑ. 
චිත්‍රපටයෙ මැදදි යෙදෙන ගීතයත් ආදරය ගැන අපූරු අරුත් මවනව. අමරදේව කියන ආද⁣රණීය හඬින් ඒක ගැයෙද්දි මහගම සේකරගෙ වචන දිය ඇල්ලක් වගේ අපූරුවට කඩා ⁣හැලෙනව. 
සුසුම් හෙලන තුරු ලතා ලපල්ලේ
සිහිල් සුලඟ හා වෙලී
මගේ කවුලු දොර තුලින් එබී
ඔබ සොයා ඇදේ
කොහොම වුනත් බොනී මහත්තය මැරෙනකල්ම ඇයව හෙව්ව. ආදරය විසින් ඔහුට ලබා දුන්න ශික්ෂණය මැගී වත්, නොනෙවත් ආරක්ශා කලා. 

|ගුරුගොඩ සිරිවිමල






Tuesday, January 8, 2019

සුබ නව වසර

|Mawbima|Young -යං|පොඩි සාදුගේ ලියමන - Podisaduge liyamana | Gurugoda siriwimala|සංස්කාරක - thiwanka wishwanath jaysekara | 2019.01.08 | සුබ නව වසර


2019 වසර ආරම්භ විනි. සුබ පැතුම්, සිනහවන් සමඟින් නව වසර ආරම්භ වෙත්ම සිතට මහත් සතුටක් මෙන්ද මෙම වසරේද මා වැනිම සාමාන්‍ය හුදී ජනයා වෙත සේවය කිරීමේ නොනිත් කල්පනාව හද තුළ සන්තර්පණය කරගන්නේ බලෙන් නොව සිතින්මය. ඉතිං, ඔබ වෙනුවෙන් අරමුණක් වෙනුවෙන් මෙම වසරේද ලියන්නට සිතමි. ගෙවුනු 2018 වසර බලාපොරොත්තු වූ යම් යම් කාරණාවන් කරා ඉතා ඉක්මනින් ලියමැනීමේ හැකියාව ලැබුනත් ජන සමාජය වෙනුවෙන් පැතූ යම් යම් අරමුණු සඵල කර ගැනීමට නොහැකි වින. එය කණගාටුවට කරුණකි. සමහරවිට එය ජන සංහතියේම කණගාටුවට කරුණක්ය. ගෙවුනු වසරේ ජනවාරි පළමු දා විවිධ සුබ පැතුම් පණිවිඩ සහ නව බලාපොරොත්තු පිරුණු සිනහවන් සහිත මුහුණු දක්නට ලැබුන ද ඒ මුහුණු වසර අඟ දෙසැම්බර් වන විට මිලාන වී අැඳ වැටීම ඛේදවාචකයක් බව සිහි කැඳවමි. වඩාත් මුග්ධ වූත් ජනතා චින්තනය ඉල්ලා සිටින, ලේ, රීරි මාංශ, අපට ලබා දිය නොහැකිය. අපට ගල් ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව ඇත. ඒ ගසන ගල මලක් කර ගැනීමට මිනිසුන් උත්සුක විය යුතු බව මගේ සුබ නව වසරේ පණිවුඩයයි. කුණු රස වෑහුණු කතා සල්ලාප මෙම වසර මුලදී ම අපට අසන්නට ඉඩ හසර ලැබී ඇත. සුනඛයෙකුට ගිණි තබා තම මුග්ධ ආශාවන් සංතර්පණය කරගත් මිනිසුන් ගැන අපට අසන්නට ලැබී ඇත. ඒ මෙම වසරේ පළමු මානුෂීය චින්තනය බිඳ වැටීම බව මගේ වැටහීමයි. අපි බෞද්ධ, මේක බෞද්ධ රටක් යැයි කියා ගන්නා මිනිසුන් ලංකාවට බුදු සසුන ලැබීමේ ආරම්භයේ දීම මිහිඳු හිමියන් ලබා දුන් ප්‍රජාතන්ත්‍රවාදයේ පණිවුඩය නව වසර මුල දීම කෙලෙසා ඇත. සියළු සත්වයන්ට ජීවත් වීමට ඇති අයිතිය මර්ධනය කර ඇත. ඉතිං වසර අඟ දී මහා ජනසංහාරයක් සිදු වූවත් ඒ ගැන පුදුමයක් නැත. නමුත් මේ තත්වය වළක්වා ගැනීමට අප උත්සුක වෙමු. තවද, සතිය සහ සමාධිය හෙවත් සිහියත් නිරවුල් මනසත් මේ වසරේ අප සටන් පාඨය කරගත යුතුව ඇත. නොඑසේනම් මේ වස⁣රද ලංකාවේ ආර්ථිකමය පරිහානිය ගිය වසරටත් වඩා වැඩි වනු ඇත. රාජ්‍ය සේවකයාත්, පෞද්ගලික සේවකයාත් දෙගොල්ලන්ම අප රට වැසියන් බව සිතට ගනිමින් රට වෙනුවෙන් ඉලක්ක ගත වැඩපිළිවෙලක් තම තමන් පෞද්ගලිකව ක්‍රියාත්මක කල යුතු අතර සමාජ දේහයේ යහපැවැත්ම වෙනුවෙන් කැපවීම පොදු අරමුණක් විය යුතු බව පොඩි සාදු මතක් කර සිටී. රටට පිළිලයක් වූ දේශපාලනය නව මාවතකට ගෙන යාමේ වගකීම මේ සියළු වැඩ පිළිවෙලෙහි මුඛ්‍ය අරමුණ වන්නේනම් 2020 වසරේ නව බලාපොරොත්තු පිරි සුවදායක සැප දායක මිනිසුන් ලෙස ලංකාවේ ජීවත් වන්නට අපට හැකි වනු ඇත. අප වැටී ඇති මහා ප්‍රපාතයෙන් එළියට එන්නට මේ වසරේ සිතා ගනිමු! ඒ වෙනුවෙන් වැඩ කරමු!! සැමට සුබ නව වසරක් වේවායි පතමි!!! 

 |ගුරුගොඩ සිරිවිමල 



Tuesday, January 1, 2019

සිනහව විසින් මිනිහෙක්ව මොහොතක් හරි ජීවත් කරවනව.


| Mawbima | Young -යං |podisaduge liyamana |Gurugoda siriwimala | යං සංස්කාරක - Thiwanka Wishwanath Jayasekara | 2019.01.01
|සිනහව විසින් මිනිහෙක්ව මොහොතක් හරි ජීවත් කරවනව.



සල්ලි වලට හිනාවෙන්න බෑ. මිනිස්සුන්ව සතුටින් තියන්නත් බෑ. මිනිස්සු එක්ක එකතු වෙලා සතුට/ආදරය බෙදාගන්න සල්ලි වලට බෑ. සල්ලි කියන්නෙ තනි වස්තුවක්. 

ලෙඩත් සල්ලි වගේ කවදාවත් ලෙඩකට බෑ මිනිස්සුන්ව සතුටින් තියන්න. මිනිස්සු එක්ක එකට එකතු වෙලා සතුට/ආදරය බෙදාගන්න ලෙඩකට බෑ. ලෙඩ කියන්නෙ මිනිස්සු එක්ක එකට එකතු වෙලා මිනිස්සු සංසාරේ අතරමං කරන්න ආපු දෙයක්. 
සල්ලිත් ලෙඩත් අතරෙ ලොකු බෙදීමක් නෑ. 
හැබැයි මිනිස්සුත්, සල්ලිත් - ලෙඩත් , අතරෙ ලොකු පරතරයක් තියෙනව. මිනිසාගේ උපතේ සිට විපත දක්වාම අනිත් මිනිස්සුන්ව සතුටින් තියන්න පුළුවන්. තවත් මිනිස්සු එක්ක එකට මුහු වෙලා සතුට/ආදරය බෙදාගන්න පුළුවන්. මිනිස්සු කියන්නෙ සිනහවේත්, සතුටේත් සජීවී පොදු වස්තුවකට. ඒත් නිකමට හිතල බලන්න මේ තත්වය අද වෙනස් වෙලා නැද්ද? මිනිස්සු හැමදේම කරන්නෙ සල්ලි වෙනුවෙන්. සල්ලි හොයන්නෙ සතුට වෙනුවෙන්. සතුටත් සල්ලිත් අතරෙ ලොකු පරතරයක් නැති තරම්. සිනහවේත් සතුටේත් සජීවී පොදු වස්තුව කියන මිනිස්සු අද බලය වෙනුවෙන් එකිනෙකා ඇණ මරා කොටාගනිද්දි, බිම් අයිතිය ඉල්ලල පොදු ප්රශ්න ඉවත⁣ට දාල ප්රතිවාදීන් හදාගෙන ගැටෙද්දි අපිට සිනහව, සතුට අමතක වෙනව. වියරු මිනිස් පරපුරක් බිහි වෙන්නෙම බලය, ධනය, වියරු ආශාවන් රජයන සමාජයක. 
හැබැයි අපිට හිනාවෙන්න,සතුටුවෙන්න එකම එක බලාපොරොත්තු සහගත කාරණයක් ඊයෙ පෙරේද ලෝකෙටම පෙන්නුවෙ ඕස්ට්රේලියානු ක්රිකට් කණ්ඩායම. මගේ හිතේනම් ඒ මතකය බොහෝ කල් රැදේවි.
"Archie කියන්නෙ වයස හතක නොදරුවෙක්. මේ දරුවට උපතින්ම හදවතේ ආබාධයක් තියෙනව. සැත්කම් කිහිපයක් නිසාම පණ බේරිලා ජීවත් වුනත් නිට්ටාවටම සුවයක් නෑ. ඉතිං මේ දරුවට නොබෝ දිනකින් නැවත ශල්යකර්මයක් සිද්ධ කරනව. මේ ශල්යකර්මය නිසා සමහර විට මේ දරුව මිය යන්නත් ඉඩ තියෙනව. මේ නිසාම මේ දරුවගෙ තාත්ත අවසන් කැමැත්ත වශයෙන් මොනාද කෙරෙන්න ඕන කියල මේ පුංචි දරුවගෙන් අහන්නෙ කොහොම හරි ඒ අවසන් ඉල්ලීම දරුව වෙනුවෙන් කරල දෙනව කියන චේතනාවෙන්. දරුවගෙ ඉල්ලීම සිය මව් රටේ ජාතික ක්රිකට් කණ්ඩායමේ නායකත්වය. හරිම අමාරු දෙයක් වුනත් මේ ඉල්ලීම තම දරුවා වෙනුවෙන් පියා ඉල්ලා සිටිනව. ඕස්ට්රේලියානු ක්රිකට් සභාව මේ දරුවගෙ ඉල්ලීම ඉටු කරන්න මැදිහත් වෙන්නෙ කිසිඳු කොන්දේසියකින් තොරව. ඒ අනුව ආර්චි අද (12/26 දින) ඇරඹුන ඕස්ට්රේලියාව සහ ඉන්දියාව තරග වදින අළු බදුන ටෙස්ට් තරගාවලියෙ තුන්වන තරගයේ නායකත්වය දරනව. මේ තරගය ආරම්භ කරමින් සම නායක ආර්චි සමඟ අනිත් ක්රීඩකයො ආර්චි පිට්ටනිය වටේ රවුමක් එක්කගෙන යනව. මහ තිර වලින් ආර්චි ටෙස්ට් ඇඳුම ඇඳගත්ත ඡායාරූපයකුත් දිස්වෙනව. ඒ විතරක් නෙමෙයි. නව නායක ආර්චි ට පිටිය පුරා මහා ප්රේක්ෂක ජන කඳක් අත්පොලසන් දීල ආචාර කරන්නෙ ආර්චිගෙ අවසන් කැමැත්ත අනුව. ඒ සියල්ල මැද ආර්චි පිටිය මැඳට ගිහිං ප්රතිවාදී පිලේ නායක විරාට් කෝලි සමඟ කාසියේ වාසිය පවා උරඟා බලනව. 
දැන් පුංචි ආර්චිගෙ හිත මොන වගේ සතුටකින් පිරිල ඇතිද? ආර්චි කියන නොදරුවගෙ වයස ගැන ඕස්ට්රේලියානු ක්රිකට් සභාව තැකීමක් කලේ නෑ. ඕස්ට්රේලියාවට අතිශයින් වැදගත් වෙන අළු බදුන වගේ තරගාවලියක ඒ වගේ අවස්ථාවක් ලබා දීල ආර්චිගේ අවසන් කැමැත්ත ඉටු කරන්න මැදිහත් වුන ඕස්ට්රේලියානු කණ්ඩායම වගේම ඒ මුළු මහත් රටටම අපි උත්තමාචාරය පුද කළ යුතු වෙන්නෙ වෙන දෙයක් නිසා නෙමෙයි. තමන්ගෙ සියළු වටිනාකම් පැත්තකින් දාල තව මනුෂ්යත්වයකට මිනිසත් කම පෙන්වන්න ලෝක ආදර්ශයක් දුන්න නිසා. 
නිවසේ ඇති දැඩි කරන කුඩා සතා සිව්පාවෙකුටවත් ආදරය, දයාව නොදක්වන සමාජයක එවන් සිදුවීම් අපි නැවත නැවත දැකිය යුතු වෙනව. 
ජාත්යන්තර , ආසියාතික තරග ජය ගෙන ලංකාවට ආපු ක්රීඩක ක්රීඩිකාවන්ට අවශ්ය අවම ගෞරවය පවා නොදක්වූ ක්රීඩා බලධාරීන් සිටින ලංකාව වගේ රටක බලධාරීන් වගේම ඉහළ ශ්රේණි වල සිටින ක්රීඩක ක්රීඩිකාවන් පවා අත්විදිය යුතු සංවේදී කාරණාවක් තමයි මේක. ඊර්ෂ්යාවෙන් ඔද්දල් වුන මාන්යයෙන් හිත තර කරගත්තු විසම සමජයක් හරි මාර්ගයට ගන්න දාපු පදනම ඕස්ට්රේලියානු ක්රිකට් සභාවෙන් දාල දීල තියෙනව. ඒ මත ශක්තිමත් දේශයක්, මිනිසුන් හැදෙනකල් අපි බලාගෙන ඉන්නව.
මේ ලිපිය කියවන හැමෝම පුංචි ආර්චි ට සැත්කම සාර්ථක වෙන්නත්, දීර්ඝායුශ පතන්නත් අමතක කරන්න එපා.
❝It’s a human value to make another person smile. 
A smile will bring back life to a person even for a small moment.❞
මිනිස්සුන්ගෙ වගකීම තවත් මිනිසෙකුට හිනාවක් දෙන එක.
සිනහව විසින් මිනිහෙක්ව මොහොතක් හරි ජීවත් කරවනව. 

|ගුරුගොඩ සිරිවිමල