Tuesday, December 31, 2019

දෙදහස් දහනවයට සමුදීම

|Mawbima |Young -යං - සංස්කරණය- Ayantha Yunesh Fernando |අසපුව -Gurugoda siriwimala

 ❝මිනිස්සුන්ට කතා කරන්න ඉගෙන ගන්න. හැමෝටම ආදරේ කරන්න. අනිත් අයගෙ නිදහසට ඉඩ දෙන්න.❞ 

මේ ජීවිතේ හරි ම කෙටියි. කාලය යනවා තේරෙන්නේවත් නෑ. අවුරුද්දක් ඇතුළෙ අපිට කරන්න තියෙන වැඩ අවුරුද්දේ දින ප්‍රමාණයටත් වඩා වැඩියි. ඉතින් අපි ඒ නිසා බලාපොරොත්තු සහගතව සහ වීර්යවන්තව ඒ මොහොතට මුහුණ දෙන්න ඕනේ.

මේ අවුරුද්ද ඇතුළෙදී ඔබට තේරෙන්න ඇති අපි පක්ෂ විදියට බෙදිලා ඉන්න එකේ තේරුමක් නැති බව. ළඟ ම ඉන්න මිතුරා තරහ කරගෙන, ඔහුට කේලම් කියලා, කොටවලා, රණ්ඩු කරලා වැඩක් නැති බව ඔබට තේරෙන්න ඇති. ආගමික වශයෙන් බෙදිලා හිටියට ආගමික ශික්ෂණය අල්පයක් හෝ ප්‍රගුණ නොවන බව ඔබට දැනෙන්න ඇති. ජාතීන් විදියට බෙදිලා හිටියට ගොඩනැඟෙන සාමයක් හෝ එක්සත් බවක් නැති වග ඔබට තේරෙන්න ඇති. ඉතින් 2019 වසරේ දී මේ ටික තේරුම් ගත්තේ නැත්නම් මම ඔබෙන් ඉල්ලා සිටිනවා ⁣විස්සයි විස්සට තවත් පියවරක් තබන්න එපා කියලා. ඔතන ම නතර වෙලා නැවත හිතන්න. 

මේ සීමා ඉරි අලුත් ම දේවල්. ඒ වගේ ම පරණ ම දේවල්. මේ කිසිම දෙයක් තුළින් නෙමෙයි අපිට සහනය, සතුට, සොම්නස ලැබෙන්නේ. අපි අපේ ස්ටයිල් එක ඇතුළෙ කොයි තරම් දුරට සාර්ථක වෙනව ද කියන තැනයි තෘප්තිය ගොඩනැඟෙන්නේ. අන්න ඒ නිසා අපි අපේ වෙන්න උත්සාහ නොකරනවා නම් මේ ගොඩනඟන්න හදන කිසිදු දෙයක් සාර්ථක ව්‍යායාමයන් බවට පත් වෙන්නේ නැහැ.

මම ඔබෙන් ඉල්ලා සිටිනවා කොයියම් ම වේලවකදිවත් මගේ රට, මගේ ආගම, මගේ ජාතිය යනුවෙන්  හිතන්න එපා කියලා . අපේ රටේ, අපේ ආගම, අපේ ජාතිය කියන තැන ඉදන් හිතන්න. අපේ රට අපිට වටිනවා වගේ ම, අපේ ආගම අපිට වටිනවා වගේ ම, අපේ ජාතිය අපිට වටිනවා වගේ ම අනිත් අයටත් එයාලගේ රට, එයාලගේ ආගම, එයාලගේ ජාතිය වටින බව හිතන්න. කොයි තරම් අමාරුකම් ආවත් ජාතිවාදී නොවන්න, ආගම්වාදී නොවන්න උත්සාහ කරන්න. තමන් තමන්ගේ දේට වැඩි නැමියාවක් දක්වන එක නරක නෑ. හැබැයි හොඳමත් නෑ කියලා තේරුම් ගන්න.

මම ඔබෙන් ඉල්ලා සිටිනවා මොන තරම් අගහිඟකම්වලින් පිරිලා, මිරිකිලා හිටියත් අනුන් වෙනුවෙන් යමක් කරන්න අමතක කරන්න එපා කියලා. අනුන් වෙනුවෙන් ජීවත් වෙන්න මිල මුදල් අවැසි නොවන වග ඔබට ඉතා ඉක්මණින් තේරේවි. අනිත් අයගේ මූණට හිනාවක් දෙන්න, අනිත් අය එක්ක හිනාවෙන්න, කතා කරන්න. ඒ අයගේ හිත නොරිද්දා එයාලගේ වරද පෙන්වා දීම වටිනවා කියල හිතට ගන්න. 

මම ඔබෙන් ඉල්ලා සිටිනවා මොන වැඩේ තිබුණත් අවුරුද්දට පොත් තිහ, හතළිහක්වත් කියවගන්න උත්සාහ කරන්න කියලා. ලෝකේ තියෙන ලස්සන ම සංගීතයන්, ලෝකේ තියෙන ලස්සන ම ලස්සන දේවල් පුළුවන් තරම් විඳින්න උත්සාහ කරන්න. මේ ජීවිතේ කිසියම් ම වූ අවස්ථාවකදී අපි අන්ත අසරණ වෙනවා. කරකියාගන්න දෙයක් නොමැති තරමට ම පීඩාවට පත්වෙනවා. ඒ දුරස්ථ හෝ ළඟ ම හේතු නිසා විය හැකියි. ඒ ඔබට එන හැම කරදරයකදීම ඔබ කියවපු පොත්වලින්, අසපු සංගීතයෙන්, විවිධ තැන් සංචාරය කීරිමෙන් ලබපු වින්දනය  නැවත නැවතත් මතක් කරගන්න. එතකොට සැනසිල්ල ලැබෙයි. හැමවෙලේ ම ධනාත්මකව හිතන්න. ධනාත්මක හිතන තරමට ම අපිට අපේ සහ මේ ලෝකයේ අඩුපාඩු අපිට පේන්න පටන් ගනියි. 
මට ගිය අවුරුද්දේ අග ලැබුණ ලොකු ම සහ ආදරණීය ම අවවාදයක් තියෙනවා. මම හිතුවා එය ඔබ එක්ක බෙදාගන්න.

❝මිනිස්සුන්ට කතා කරන්න ඉගෙන ගන්න. හැමෝටම ආදරේ කරන්න. අනිත් අයගේ නිදහසට ඉඩ දෙන්න.❞ 

මේක දේව වාක්‍යක් වගේ හරියට. නැහැදිච්ච මනුස්සයෙක් ශික්ෂණයට ලක්වෙන්නේ ඉබේට ම. කොයි තරම් වෙහෙස මහන්සිය තිබුණත් ඔබ තුළ තියෙන ආදරය පිරිහීමකට ලක්වෙන්න ඉඩ දෙන්න එපා. ජීවිතේ ළඟින් ම හිටිය අය අමතක කරන්නවත්, දාල ගිය අයට වෛර කරන්නවත් එපා. ඒ කිසි දේකින් අපේ මානසික සැනසිල්ල අපිට ලැබෙන්නේ නැහැ.

දරාගන්න අමාරු ම නික්ම යාමකට මේ අවුරුද්දේදී මට මුහුණ දෙන්න සිද්ධ වුණා. හැබැයි ඒ නික්ම යාමෙන් ඇති වුණ දුක මට අමතක කරන්න ධර්මය, ආගම, ආදරය, යාළුවෝ, කලාව, සාහිත්‍ය, ඇසුරු කරන දේශපාලනය, පුදුමාන්තර විදියට වැදගත් වුණා. ඒ නිසා ම මම විශ්වාස කරනවා මේ අවුරුද්දේ අග වෙද්දී ලෝකේ වටින ම තෑග්ග ලැබුණේ මට කියලා.
හැකි තරම් ආදරණීය වෙන්න; හැකි තරම් ලෙන්ගතු වෙන්න. තමන්ගේ අරමුණුවලට වැඩ කරන්න පසුබට වෙන්න එපා. 

ජීවිතේ මිස් කරගන්න එපා! ඒ ඉතාමත් කෙටි දෙයක්.

|ගුරුගොඩ සිරිවිමල



Full article - https://mawbima.lk/backend/uploads/e_paper/Young-31-12-2019.pdf

Monday, December 23, 2019

මේ රටේ තරුණ පරම්පාරාව මෙච්චර ඇන්දෙන්නෙ ඇයි?


දැන් රට වටේම චිත්‍ර අදින්න පටන් අරං. ඒක හොඳ ප්‍රවනාතවයක්. මම මුල සිටම මේ ප්‍රවනතාවය අගය කළා. මේ රට භෞතිකව ලස්සන වෙනවට මම මාර කැමතියි. ලෝකෙ හැම රටක්මත් භෞතිකව තමයි වැඩියෙම්ම ලස්සන. හැම රටකම වගේව ලංකාවෙත් ඇතුලාන්තය ජරාජීර්ණයි. හැබැයි ලංකාව තරම් යුරෝප් රටවල් එහෙම නෑ කියල මම හිතනව. ඒ රටවල සිස්ටම් හොදයි.

ඒ කොහොම වුනත් මේ භෞතිකව රට ලස්සන කරන වැඩේ මම අගය කරනව. නමුත් මේ රට ලස්සන කරනව කියල මේ තරුණ පිරිස එකතු වෙලා තමන් මේ රටේ අනාගතය බාරගන්න සුදුසු නෑ කියන එක බහුතරයක් ඔප්පු කරතියෙනව. අවුරුදු තිහක ලේ වැකුණු යුද්ධය නැවත නැවත මේ තරුණයො සිතුවම් වලිනුත් පෙන්වන්න උත්සාහ කරනව. මොකද්ද මේ මානසිකත්වය? අවුරුදු 71 තිස්සෙ මේ රටේ පවතින ජාතිවාදය ආගම්වාදය දේශපාලකයන්ගේ උවමනාවක්. නමුත් මේ තරුණයො ඒක තමන් අදින සිතුවම්වලින් සංකේතීයව පෙන්වනව. මොකද්ද ඒ මානසිකත්වය.? මේ රටේ මෙච්චර දවස් දෙමළ මිනිස්සු සිංහලයන්ටයි සිංහල මිනිස්සු දෙමළ අයටයි මුස්ලිම් මිනිස්නු සිංහලයන්ටයි සිංහල මිනිස්සුන්ටයි පැන අඬ ගහමින් අවි දඬු මුගුරමින් කරපු ජාතිවාදෙයි ආගම්වාදෙයි අලුත්ම විදිහ තමයි මේක.

දකුණෙ මිනිස්සු වගේම උතුරෙ අයටත් උතුරෙ චිත්‍ර අදින්න කියල කියමුද? එයාල එයාලගෙ මානසිකත්වය එළියට දාන්නෙ කොහොමද කියල බලමුද? බැරි වෙලාවක් දෙමළ මනුස්සයෙක් තමන්ගෙ දුවව LTTE එකෙන් හරි ARMY එකෙන් හරි දූෂණය කරල මරා දාන එකක් ඇන්ද් අපි ඒක මොන විදියටද අර්ථ ගන්වන්න ඕන? මේ පැසවන වෛරය ආට් එකකින් හරි පිරිමහගන්න පුරවැසියො දත කමින් සිටින අප්‍රසන්න මොහොතක් කියල අපි තේරුම් ගන්න ඕන. ඒ ඇත්ත යටපත් කරගෙන නැගෙන්න පුලුවන්නම් වීදි සිතුවම් වල මිනිස්සුංගෙ බඩගින්න ගැන අදහසක් ඉදිරිපත් කරන්න පුලුවන්නම් ඒ බඩගින්න සිංහලයට විතරක් නෙමෙයි දැනෙන්නෙ මුස්ලිම් අයටත් දෙමළ අයටත් දැනෙනව කියල අදහසක් ඉදිරිපත් කරන්න පුලුවන්නම් අන්න එදාට මේ රට ලස්සන වෙයි. මේ රටේ මිනිස්සු ආගම නිසා පීඩනයට පත් වෙලා ඉන්නෙ. ඒත් සිංහල විතරක් නෙමේ දෙමළ මිනිස්සු මුස්ලිම් මිනිස්සුත් මේ ආගමික පීඩනය විදිමින් සිටිනව කියල අදහසක් මේ සිතුවම් වලින් ගම්‍ය කරන්න පුලුවන්නම් එතන තමයි සැබෑ මිනිස්සු ටිකක් බිහි වෙන්නෙ.
බඩගින්න ගැන ආගම ගැන ආර්ථිකය ගැන නානාවිධ මනුශ්‍ය අවශ්‍යතා සහ ඒ ගැටළුයි අපි ආට් වලින් ස්මතු කරන්න ඕන. මිසක් එළාරගෙයි දුටුගැමුණුගෙයි යුද්ධෙ ඇන්ද කියල එතන ස්මතු වන සැබෑ අදහසක් නෑ. වීදි චිත්‍ර කියන්න විකල්ප අදහසක්. රැඩිකල් වැඩක්. ඒ වීදි චිත්‍ර කතා කරන්නෙ මේ රටේ ඉන්න පාලකයන්ට. ඒ වීදි චිත්‍ර ඉතාමත් ලස්සන වුනාම තමයි මේ රටේ මිනිස්සුන්ට ඒක රටේ භෞතික ලස්සන කියල හිතෙන්නෙ. මේ රටේ භෞතික ලස්සනින් තවත් වැදගත් වැඩක් කරගන්න එකයි අපි කරන්න ඕන.

චිත්‍රයක් කියන්නෙ ආට් වැඩක්. ඒ ආට් එක දන්න අය ආට් වැඩේ කරපුවම මදිද? මෙලෝ ආට් එකක් නොදන්න ළමයි ගිහිල්ල තමන්ගෙ ගෙකර තියෙන චිත්‍ර පොතකවත් අදින්න නුසුදුසු ඉතාමත් අවලස්සන චිත්‍ර රටටම පේන්න තාප්පෙක ඇඳල විදින ස්වයං වින්දනය කිනම් ආකාර වූ එකක් ද කියල මට තේරෙන්නෑ. 

මේ අයගෙ එකමුතුව, සමගිය වගේ දේවල් ගැන අගය කළ යුතුයි කියල ගොඩක් අය අවධාරණය කරල තිබුන. මම හිතන්නෙ ඒක අව-ධාරණයක් කියල. එහෙම කියන අයට ඇයි තේරෙන්නැත්තේ මේ තරුණයො රැවටිලා ඉන්නෙ කියල?

රටක් ලස්සන කරන්න කියල තමන්ගෙ අතේ තියෙන සතේ වියදම් කරල ඊට අමතරව හිඟාත් කාල රටේ චිත්‍රත් අදිනව මේක මාර ආතල් වැඩක් කියල තරුණයො හිතන් ඉන්නව. ඒත් මේ තරුණයො තේරුම් ගන්නෑ මේක අපි කරන්න ඕන වැඩක් නෙමෙයි, නගර සභා වලින්, අදාල අමාත්‍යාංශයේ වලින් කරන්න ඕන වැඩක් කියල. මේ අය මේ ගතකරන සිංතටික් මොහොත රටට තදින් බලපානවා. මේඊළගට එන්න තියෙන මහමැතිවරණයෙන් පස්සෙ මේ රට නැවත පශු පාලනයකට යටත් වීමේ ප්‍රවණතාවයක් තියෙනව. මේ අය හිතනව මේ මොහොතේ අපි චිත්‍ර ඇන්දොත් හොඳයි කියල. හැබැයි මේ මොහොත අපි දේශපාලනිකව කියවා ගන්න පුංචි උත්සාහයක් හෝ දරන්නෑ.

මේ ඇත්ත තේරුම් ගන්නකල් මේ රටේ තරුණයො ඇන්දිලා කියල මම විශ්වාස කරනව.

|ගුරුගොඩ සිරිවිමල

Sunday, December 8, 2019

ගැහැණිය වහළියක නොවේ.


කාන්තාව වනාහී විශ්වයේ ශක්තියයි

මුහුණුපොත "ගැහැණිය" විවිධාකාරයෙන් නැවත නැවතත් උපහාසයට සහ අපහාසයට ලක්වෙන අවස්ථාවක් දක්නට ලැබෙනව. ඒ ලෝක විවාහක රූ රැජිණ තරගයෙන් ලංකාවේ කාන්තාවක් ජයග්‍රහණය කිරීම හේතුවෙන් පළවෙන යම් යම් අදහස් හේතුවෙන්. කොටිම්ම කිව්වොත් මේ වනවිට FB හි උපාසක උපාසිකාවන්ගේ සදාචාරාත්මක පඩුපුල් අසුන උණුවෙමින්, රත්වෙමින්, දියවී යනව. කෙසේවෙතත් ජයග්‍රහණය කළ තැනැත්තියට මම මුලින්ම හදපිරි සුබ පැතුම් එක් කරනව.
Caroline jurie
මම මේක ගැන ලියන්න හිත හිත හිටියෙ මෑතක ඉදලම. නමුත් ඒක යම් යම් හේතු නිසා පහුවුනා. මේ විවාහක රූ රැජිණ සඳහා දක්වන මිනිස් ප්‍රතිචාර මාව ඉක්මන් කරා.
ලෝකෙ ගැහැණිය ගැන මට පෞද්ගලිකව ලබපු අද්දැකීම් නෑ. නමුත් වසරක පමණ ඉදන් මම කරන පර්යේෂණ කටයුත්තක් නිසා ලංකාවේ සෑම ක්ෂේත්‍රයකම ජීවත් වන ගැහැණු මම උවමනාවෙන් ඇසුරු නිසුරු කරනව සහ අදහස් බෙදාගැනීම් කරනව.
ලංකාවෙ ගැහැණු සහ පිරිමි කියන මනුස්ස කොට්ඨාස දෙකේ ඉන්න බහුතර ගැහැණුත් පිරිමිත් තවම ඉන්නෙ පැරණි භාරත සම්ප්‍රදාය විසින් කරපින්නාගත් බමුණු මතය තුළයි. "හැදි මිටේ නුවණ" වගේ සාම්ප්‍රදායික සීමාවන් වලට එළැබිලා කාන්තාව අදවන විට කුස්සිය මුල්ලටම තල්ලු වෙලා.
පැරණි භාරතයේ බමුණු දිට්ඨිය කියන්නෙ කාන්තාව හිංසනයට ලක්වෙන බරපතලම තැනක්. කවුරු හරි ඒක ඒ කාලෙට අනුව හොඳයි කියල කියනවනම් ඒකත් වැරදියි. මොකද අපි බුදුන්වහන්සේ කාන්තාවට ආගමික,චින්තන, සමාජ නිදහස දුන්න කියන එක පිළිගන්නව. එහෙමනම් ඒ කාලෙත් අදත් භාරතීය බමුණු දිට්ඨිය ඉතාම දුර්වල තැනකයි තියෙන්නෙ කියන එකයි මගේ අදහස.
බමුණු දිට්ඨිය ගැන මම වැඩියෙන් කිව්වෙ ලංකාවෙ අද වනවිටත් කාන්තාව සම්බන්ධයෙන් පිරිමිත් ගැහැණුත් දරණ මතයත් බමුණු දිට්ඨියට එහා එකක් නොවීම නිසා. ඒක තව විදිහකට කියනවනම් නූතන ලාංකීය චින්තනයේ කාන්තාව කෙරෙහි ඇති බැල්මත් පැරණි භාරතීය කාන්තා කෙරෙහි වන බමුණු දෘශ්ඨියත් දෙකක් නෙමෙයි එකක්. ඒක කවුරු හරි කියනවනම් නැහැ කියල ඔව්! මමත් කියන්නෙ නැහැ කියල. මොකද කියනවනම් අදවන විට තත්වය පැරණි තත්වයට වඩා බරපතලයි. මෙවර විවාහක රූ රැජිණ සම්බන්ධයෙන් සුබ පැතුමක් එකතු කරපු වෙලාවෙ ඒ සුබ පැතුමට අදහස් එකතු කරපු ෆේස්බුක් සාමාජිකයන් ඒ පළ කරපු අදහස් වලින් ඒ බව තීරණය කරන්න පුලුවන්. පහතින් ඒ කිහිපයක් සඳහන් කරන්නම්.
".... ශ්‍රද්දාව රහිත වේද.. ලැජ්ජාව රහිත වේද... භය රහිත වේද..... එවන් ගැහැණියක් මරණෙන් පසු නිරයේ උපදී....."
"... ලස්සන කියන දේ අද තිබිල හෙට නැති වෙන්න පුලුවන්... ඔය කවුරු කවුරුත් අවුරුදු හැට පනිනකොට රැලි වැටෙනව, කැත වෙනව.. එදාට රඟපු රැඟුම් ඔක්කොම ඉවරයි...."
".... ඔය ඉන්නෙ ලංකාවෙ ලස්සනම ගෑණි නෙමේ විලි භිය නැති උංගෙං ලස්සනම ගෑණි...."
"... මිනිහට දැං බඩු පැකට්. අලුතින් සල්ලිකාරයො පෝලිමෙ එයි.. උං එක්ක රවුං ගහයි.. පවුල් ප්‍රශ්න එයි..... ලමයත් එක්ක මනුස්සයට තනි වෙන්න වෙන්නෙ.. මතකනෙ අහවල් නිලියගෙ මිනිහට වෙච්චි දේ.."
"... සල්ලි තියෙනවනං ඔය ඕනෙ එකියක් නතිං...."
"... ලෝකෙට පේන්න ඇඟ පෙන්නං හිටියට වැඩක් නෑ ගෙදර මිනිහට ලුණු ඇඹුල් දාල සම්බෝලයක් කොටල දෙන්න දන්නෙ නැත්නම්...."
"...මීට වඩා ලස්සන ගෑණු දැකල නැද්ද #&$*......"
"... ලෝකෙට පේන්න ඇඟ විකුනං කන ගෑණියෙක්ට වඩා මම වැඩ ඇරිල එනකං ගමේ කජු ගහ ගාව, රැලි සාය ඇඳං, දැවටි දැවටි ඉන්න මගේ කෙල්ල මට රත්තරන්...."
උපුටාගැනීම - Pandula අයියාගෙන්.
Comment කිහිපයක් 

මේ තමයි බමුණු දෘශ්ඨියෙ යාවත්කාලීන වීම. එහෙම නැත්තං අලුත්ම වර්ෂන් එක තමයි මේ තියෙන්නෙ. ඉතිං ලංකාවෙ මිනිස්නු ඇයි මෙහෙම?
එක වෙලාවකදි කාව්‍යශේකරය ලියන ශ්‍රී රාහුල හිමියන් මෙහෙම ලියනව.
” පිරිමිනුදු පතන
අවසර කල රහස් තැන
මිස නොලැබෙන බැවින
ගැහැණු කවුරුද වරදෙ නොබැ‍ඳෙන..”

මේ කවියෙ ඉතාමත් හොදින් රාහුල හාමුදුරුවෝ බමුණු මතය ඉදිරිපත් කරනව. බමුණු දිට්ඨිය ගැබ් වෙන්නෙ මේ වගේ තැනක බව ඉතා හොදින් තේරුම් ගන්න. අදටත් බමුණු ශ්ලෝක දාස් ගානක් ලංකාව ඇතුලෙ පිරිමි ගැහැණුන්ව උපහාසයට සහ අපහාසයට ලක් කරන්න යොදා ගන්නව. භාරතීය උපදේශ සාහිත්‍ය කෘති අතර හිතෝපදේශය, පංචචන්ත්‍රය, ප්‍රත්‍යශතකය වැනි කෘතිවල ස්ත්‍රියට හිමිකර දී ඇත්තේ එතරම් සුබදායී තත්ත්වයක් නොවේ. බමුණු සමාජය ස්ත්‍රිය දෙස බලා ඇත්තේ චපල ගති පැවතුම් ඇති වහා වරදෙහි බැඳෙන, විශ්වාස නොකොට පහත් අදහස් ඇති තැනැත්තියක් ලෙසය. ඇතැම් විට බමුණන් ස්ත්‍රිය පිළිබඳ දක්වා ඇත්තේ පිළිකුල් සහගත හැඟීමකි. මේ කීපයක් මම උපුටාදක්වන්නම්.
පිතා රක්ෂති කෞමාරේ – භාතා රක්ෂති යෞවනේ
ස්ථවිරේ පුත්‍රා රක්ෂන්ති - ස්ත්‍රී ස්වතන්ත්‍රමර්හති

(ස්ත්‍රිය කුඩා කල පියා යටතේ ද, විවාහයෙන් පසු ස්වාමියා යටතේ ද වයස්ගත වූ කල්හි වැඩිමහල් පුතා යටතේ ද විසිය යුතු ය. ස්වතන්ත්‍රව හෙවත් තමාගේ හිතැඟි පරිදි කටයුතු නොකළ යුතුය.$
ඖදුම්බර භවං පුෂ්පං - ශ්වේත වර්ණාච කාකයෝඞ
මත්ස්‍ය පාදං ජලේ පශ්‍යෙත් – නාරි චිත්තං න විශ්වසේත්
                            (ප්‍රත්‍ය ශතකය 16 වන ශ්ලෝකය)
(දිඹුල් ගසේ මල් ද, සුදු කපුටන් ද, ජලයෙහි ඇති මත්ස්‍ය පිය සටහන් ද, යමෙක් දුටුවේ යැයි කිව හොත් එය පිළිගන්න. එහෙත් ස්ත්‍රයගේ සිත විශ්වාස නොකට යුතු ය.)

දර්ශනං චිත්ත වෛකල්‍යං - ස්පර්ෂණං ධන නාශනං
ශයනං මරණං කුර්යාත් - ස්ත්‍රී ප්‍රත්‍යක්ෂ රාක්ෂසී 
                          (ප්‍රත්‍ය ශතකය 35 වන ශ්ලෝකය)

(ස්ත්‍රිය දැකීමෙන් සිත විකල් වීම ද ස්පර්ශ කිරීමෙන් ධන හානිය ද එක්ව සයනය කිරීමෙන් මරණය ද වන්නේ ය. එබැවින් ස්ත්‍රිය ඇසට පෙනෙන රාක්ෂියකි)
ආත්ම බුද්ධිර් සුඛං දේති – ගුරු බුද්ධිර් විශේෂතෝ
ස්ත්‍රී බුද්ධිර් විනාශාය බහු - බුද්ධීර් මරණං භවේත් 
                            (ප්‍රත්‍ය ශතකය 43 වන ශ්ලෝකය)

(තමාගේ බුද්ධිය මෙහෙයවා කළ දෙයින් සැප ගෙනදෙන්නේ ය. ගුරුවරයාගේ දැනුමෙන් කළ දෙයින් විශේෂයක් වන්නේ ය. ස්ත්‍රියගේ දැනුමෙන් කළ දෙයින් විනාශය ළඟා වන්නේ ය. බොහෝ දෙනාගේ දැනුමෙන් කළ දෙයින් මරණය වන්නේය.)
මේ ඒ බමුණු අදහස් වලින් කිහිපයක්. අන්න ඒ කියන බමුණු අදහස් වලින් තමයි අපේ ලාංකීය ජන මනස ප්‍රබෝධමත් වෙන්නෙ. කිසිදු වගවිභාගයකින් තොරව. සංස්කෘත භාෂාව නිසාම, බමුණො කිව්ව කියන නිසාම අපි මේ අදහස් අදහන්න පුරුදු වෙලා. ඒකෙන් වෙන ලොකුම හානිය ලාංකීය කාන්තාවගේ ජීවිතය අදුරු තැනකට ගාල් වීම.
අපේ ලංකාවේ බොහෝ ස්ත්‍රීවාදීන් යැයි කියාගන්නා ගැහැණු මිනිසුන්ට පවා කාන්තාවිමුක්තිය ගැන අදහසක් නැති බව තමයි මගේ අදහස. කිසියම්ම මොහොතක ගැහැණියක අතින් වරදක් සිදු වූ මොහොතේ පටන් ඇයව හිංසාවට පීඩාවට පත් කරන්න අපි බලාගෙන ඉන්නව වගේම ඒ ගැහැණුන්ට අධිකරණ නියෝගයකින් තොරව මරණීය දණ්ඩණය දෙන්න අපි උත්සාහවන්ත වෙනව. ඉතිං එහෙම රටක විවාහක කාන්තාවක් ගෙදරට වෙලා මිනිහට කන්න උය උයා , වලන් හට්ටි මුට්ටි ටික හෝද හෝද ඉන්නැතිව ජාත්‍යන්තරය නියෝජනය කරල ජයග්‍රහණයක් ලබාගත්තම බලාගෙන ඉන්න ගෑණු පිරිමින්ට ඇස්වල කටු ඇණෙනව වගේ. ඉතිං අරහෙම කතා කියන එක සාධාරණයි. කුස්සියෙ මුල්ලට වෙලා බත ඉදෙනකල් පොල් ටික ගාල හොදි ව්‍යංජන ටිකට අඩුම කුඩුම සකස් කරන ගැහැණු මේ වගේ වැඩ වලට බනින්නෙ වෙන දෙයක් නිසා නෙමේ. හිතේ පිරිච්ච ඊර්ෂ්‍යාව, කුහක කම නිසාම තමයි.
මාසික ඔසප් වේදනාව ලංකාවෙ මිනිස්ස හදුන්වන්නෙ කිළි කියල. ඒ තමයි අපේ ජනමනස ඒකාත්මික වෙන තැන. පෑඩ් එක කඩෙන් ගද්දි කොලේකින් ඔතලගෙදර අරන් එන්න කියන්නෙ මහාචාර්යවරු. ⁣කාන්තාවකගේ ඔසප් වේදනාව ගැන කිසිදු කාරුණික බැල්මක් නැති මේ අය මේ කායික මානසික වේදනාව හෑල්ලුවට ලක්කරන්නෙ තමන්ගෙ බිරිදගෙන් එදාටත් කෑමට වේල උයල දෙනකල් පුටුව රත් කරමින්. රෙදි ටික හෝදල වේලාල අයන් කරල ⁣හෙට දවසෙත් වැඩට යන්න ඇදුම් ටික ලෑස්ති කරල දෙනකල් බලනි හිදිමින්.
සාම්ප්‍රදායික කාන්තාවන් ඉතා හොදින් ගැටළුවක් නැතිව මේක කරගෙන යනව. ඒ අයට තේරෙන්නෙ නැහැ තමන් තමන්ගෙ සැමියා අතින් අපහාසයට උපහාසයට හිංසනයට ලක්වෙන බව.
ඒ වගේම තමයි මේ රටේ පිරිමි හිතන් ඉන්නව තමන්ගෙ බිරිද ලිංගික භාණ්ඩයක් බව. ඒ අය තමයි තමන්ගෙ බිරිද"සයනයේදී වෛශ්‍යාවක විය යුතුයි"කියල හිතන්නෙ. සහ එහෙම නොවුනොත් දික්කසාද වෙන තරමටම ප්‍රශ්නය දුරදිග යන්නෙ. ඒ වගේම ගෑණු බබ්බු හදන මැෂින් කියල හිතාගෙන ගෑණුන්ගෙ කුස මාස නවයෙන් නවයට පුරවන පුරුෂ මූලික සමාජයක් තමයි මේ වෙද්දි බොහෝ විය ග්‍රාමීයව අපිට දක්නට ලැබෙන්නෙ. ඉන්දියාවෙදි මෑතකදි තරුණ වෛද්‍යවරියක් දූෂණයට ලක්කරල පුලුස්සල මරල දාද්දි එතනදි මනුෂ්‍යත්වය වගේම කාන්තාව මේ සමාජ දේහය තුළ සුරක්ෂීතද තියන ප්‍රරශ්නය අපිට ඇතිවෙන්නෙ ඉඹේටම. තවදුරටත් කාන්තාව වනාහී sex toy එකක් නොවන බවත් ඇය ද ඇය ලේ මස් නහර වලින් සුසැදි මනුශ්‍ය වර්ගයේ දායකත්වය උදෙසා පිරිමියා සේම සමතැනක කටයුතු කරන්නියක් බව අප වටහාගත යුතුව පවතින සත්‍යන්ගෙන් එකක්.
කෑම බීම ටික ලගටම ගෙනත්ල, අතහෝදන්න වතුර ටිකත් ටේබල් එකටම ඇරල සැමියා කෑවට පස්සෙ තමන් කන්න ඕනය කියල හිතන බහුතර බමුණු දිට්ඨිකයන් තේරුම් ගත යුතුව ඇත්තේ අන් කිසිවක් නොව. ඔබේ විවාහක බිරිඳ වහලියක් නොවන බවයි.
සිද්ධාර්ථ විසින් තමන්ගෙ ලෝකය ජයගැනීමේ ආධ්‍යාත්මික අරමුණින් ගිහි ගෙයින් පිට වෙන්නෙ ය⁣ශෝදරාව සහ තමන්ගෙ කිරිකරටි රාහුලව තනි කරල. හැබැයි යශෝදරා පිරිණිවන් පාන්න යන මොහොතෙ ගෞතම බුදුන්වහන්සේට එක දෙයක් කියල යනව. "පහාය වො ගමිස්සාමි කතං මේ සරණමත්තනො" තොප හැර යන්නෙමි, මා විසින් තමහට පිහිට කරගන්නා ලදි.!"
මේ යශෝදරාව බුදුන්වහන්සේට අන්තිම මොහොතෙදි කියන්නෙ මොකද්ද? ගැහැණියට තනිව පැවතිය හැකියි! කියන කාරණය. ඔව් අද බොහෝ ගැහැණුන් තමන්ට තනිව ජීවත් විය හැකි වටපිටාව ඉතා හොදින් හදාගෙන තියෙනව.
ඉතිං මෙහෙම ජරාජීර්ණ වුන සමාජයක ලෝක විවාහක රූ රැජින වෙන්න අවශ්‍ය අව්‍යාජ පසුබිම තමන්ගෙ සැමියාගෙන් ලැබෙන්නම ඕන. ඒ සැමියා කරන කැපකිරීම අතිශයින්ම වැදගත් වගේම ඒ විදියට හිතන පුරුෂයො මේ සමාජෙට ගොඩක් වටිනව. ඉතිං තමන්ගෙ බිරිද විවාහක රූ රැජිණක් කරන්න බැරි කමටවත් තමන්ට විවාහක රූ රැජිණ වෙන්න පැරිවුන කමටවත් තවත් කාන්තාවකට අසබ්‍ය අවලං කතා කියක එකෙන් අපි වැලකෙන්න ඕන.
අධ්‍යාපනයේ අයිතිය, ආගමික අයිතිය,ජීවත් වීමේ අයිතිය කියන හැමතැනින්ම කුමන හෝ පීඩාවක් පිරිමියාට වැඩියෙන් ගැහැණියට හිමි වීම ඛේදවාචකයක්. ඒ ඛේදවාචකය රහයි රහයි කියල තව තවත් පීඩාව දෙන පිරිමිත්, ගැහැණුත් ඊට වඩා ඛේදවාචකයක්!
මුහුණු පොතේ ඉන්බොක්ස් හරහා රහස් හමුවීම් වලට ගැහැණුන්ට ඇරයුම් කරන, ඉනුත් නොනැවතී ලස්සනම ගැහැණු ඡායාරූප වලට APE HAMBAMUDA? MA MAGE IMO NOMBER. CHAT PLZ. SeX Me. Plz inbox යනුවෙන් කමෙන්ට් කරන ඉනුත් නොනැවතී ජැකලින් ලාගෙ සිට ඇසිලින්ලාගේ දක්වාම pornhub වල xhemester වල beeg.කොම් වල පමණක්ම නොව යූ ටියුබයේද සර්ච් බාර්වල නමින්ම සර්ච් කරන පිරිමි මහත්වරුණි කැරලයින්ලාගේ සදාචාරය පිළිබදව උවමන් තැබීමට නුඹලාට සදාචාරාත්මක අයිතියක් තිබේද?

|ගුරුගොඩ සිරිවිමල

Thursday, September 19, 2019

වාරණය හා සත්‍යය

රැස පුවත්පතෙහි පළ වූවකි. |2019. 09. 17
ශක්තික සත්කුමාර ලියූ “අර්ධ“ කෙටි කතාව සමාජයේ මහත් ආන්දෝලනයකට ලක් විය. එහි නිර්මාණාත්මක රසයන් විවේචනය නොකරමින් දෘශ්ඨි වාදයවත් නොගනිමින් යම් සිවුරු දරාගත් කණ්ඩායමක්(ඔවුන් භික්ෂූන් යැයි පැවසීම වරදකි.) ශක්තිකට එරෙහිව අධිකරණයේ කරුණු ඉදිරිපත් කරමින් මේ මහපෙළොවේ නිර්මාණාත්මකව පැලවිය යුතු දෘෂ්ඨිවාදයක් සහමුළින්ම මුළිණුපුටා දැමීය. ඒ නිර්මාණය මා කියවාගත් පරිදි වත්මන් භික්ෂු පරපුරේ අර්බුධය ගැන යම් ඉගියක් දෙන නිර්මාණයකි. එකී දෘශ්ඨිය මේ මහපොළොවේ පැළවුවා නම් හෙට බිහිවෙන තරුණ භික්ෂූන් ඛේන්දාන්තයකට නොයා ඉන් මිදීමට අවැසි අවකාශය සාදනය වෙනවා යැයි මම විශ්වාස කරමි.
කෙ‍‍සේවුවද පාඨක සිවුරු දරන්නන් කණ්ඩායම මෙකී දෘශ්ඨිය නැමැති සර්පයාගේ නැට්ටෙන් අල්ලාගන්නට විය. ඉන් නිර්මාණයටත් සකළ නිර්මාණකරුවර්න්ටත් සෘජු අසාධාරණයක් විය. එය නැවත කෙසේ නිවැරදි කළ හැකිද යන්න පිළිබදව මට අදහසක් නැත. මන්ද යත් තවදුරටත් පාඨක සමාජයක් ලෙස පාඨකයා ඉල්ලා සිටින්නේ කාකි නිළ ඇදුමෙන් වසා ගත් නෛතික විචාරයක් ම වන නිසාය.
එකී විචාරය ඔවුන්ටම තබා ගන්න යැයි කියමින් ශක්තික නැමැති ලේඛකයා, සැමියා, පියා යන සකල වගකීම් නියෝජනය කරන මේ මහපොළොවේ මිනිසත් කම් පැළකරන්නට උත්සුක වන්නා පිළිබදව යමක් ලියමි.
ඔහු ලියූ කෙටි කතාව ඉතා නීරස එකකි. එය ඔහු විසින් ලියන ලද කෙටිකතා කලිං කියවූ මා වැන්නෙකුට ශක්තික නම් නිර්මාණකාරයාගේ අවසාන සමය දැයි සිතෙන තරමටම අදහස් පහළ විය. අනවශ්‍ය ලෙස රැඩිකල් වීමට ගොස් පොට වරද්දාගත් ලේඛකයෙකු ලෙස මට ඔහුව දැනේ.
මෙහිදී සාකච්ඡාවට බදුන් කෙරෙන්නේ නිර්මාණයේ ඇති හොද නරක නොවන නිසා ඒ පිළිබදව කතා නොකරමි. මේ ලියන්නේ ශක්තික නම් නිර්මාණකාරයාට සිදු වූ අසාධාරණය පිලිබදවය.
මෙතුවක් කල් සාහිත්‍ය නිර්මාණයන්හි විචාරයන් සිදු කළේ ඒ සදහා වෙන් වූ පාඨකයා සහ සාහිත්‍ය උගතුන්ය. එකී සමාජයට පොලිස්, ලෝයර්, හාමුදුරුවරු, පූජකවරු, විවිධ විශයප්‍රාප්ත මහාචාර්ය වරුන්ගේ සිට සමාජයේ සෑම ක්ෂේත්‍රයකම අය උනන්දු විය. එය හිදෙක් සාහිත්‍ය තුළින් පුද්ගල කෝන්තර පිරිමසා ගැනීමට එල්ල කරන ලද අවියක් නොවීය.
පසුකාලීනව (මට මතක දශකයක සීමාව) මෙරට මුල් බැසගත් සෑම ආගමක අන්තවාදී ලක්ෂණත්, සෑම ජාතියකම ජාතිවාදී ස්වභාවයත් ආගමික, සාමාජික, සංස්කෘතික, ආදී සමාජ ක්ෂේත්‍රයන්ගේ ගෙළවට දක්වාම ගිලී තිබෙන බව නොරහසකි. එහි දිගුවක් ලෙස එය සාහිත්‍ය කරා ද පැමිණීම වලක්වාලීමට නොහැකි විය. එයට හේතුවන්නේ මේ අදුරු ආගම්වාදයටත් ජාතිවාදයටත් උඩගෙඩි දෙන පාලකපංතිය විසින් සාහිත්‍ය වන්දිබට්ට සේවයේ යොදවාගැනීමයි. එහි ප්‍රතිපලයක් ලෙස සාහිත්‍ය කරුවා උඩකී සෑම ආකාරයකම අන්තවාදයට නැඹුරු වූ අතර සැබෑ සාහිත්‍ය විකල්ප ධාරාව නමින් එළි බසින්නට විය. එහිදී විකල්ප සාහිත්‍ය කරුවා මිනිස්කම සහ ආදරය ඉල්ලූ අතර එයට ප්‍රතිවිරුද්ධව ආණ්ඩුවටත් ආගම්වාදයටත් ජාතිවාදයටත් කඩේ යන නිර්මාණ සෑම කල්හිම සැබෑසාහිත්‍ය නමින් පෙනී සිටියහ. ඒ අනුව විකල්ප මත දාරීන් නිරාගමික, දේශද්‍රෝහීණ් ලෙස හංවඩු ගැසුනු අතර ජාතිමාමක දේශප්‍රේමීන් ලෙස ආගම්වාදී ලෙය ට ලෙයඉල්ලා සිටින ඇසට ඇසක් ඉල්ලා සිටින වුන් හැදින්වින. පාඨක සමාජයද බෙදී වෙන් වී සිය සාහිත්‍ය වින්දනය කරගෙන ගියහ.
‍මේ තත්වයේ බීත ස්වභාවය වැඩීමට පටන්ගත් අතර එහි ප්‍රතිපලය වූයේ සාහිත්‍ය කරුවාගේ සැබෑ මෙවෙර කරමින් සිටි නිර්මාණකරුවන් කුදලාගෙන ගොස් සිරගත කිරීමය. එකී තත්වයට පත්වෙමින් ශක්තික සත්කුමාර ද පසුගිය දිනෙක නීතිමය ප්‍රශ්නයකට මැදි වී සිරබත් කන්නට ද සිදු විය. එය ඉතා කේදජනක සිදු විමකි. මෙකී අර්ධ නම් කෙටිකතාව යම් අයෙකුට විවේචනය කළ යුතුව තිබුනේ සාහිත්‍ය විචාරයක් ලෙසින්ය. ඒ වෙනුවට පොලිස්සියෙන් හෝ ආගමික වහන්තරා තුළ සිරගත වෙමින් සිටින අන්ධ භක්තික මන්ධ බුද්ධිකයන්ගේ හොද හෝ නරක කීම කෙටි කතාවකට අවශ්‍ය වන්නේම නැත. තම සීමාව ඉක්මවා යමින් බුදුන් වහන්සේට අපහාස වෙනවා යැයි බුදුන් වහන්සේට හොදම අපහාස කලේ සංඝරත්නය යැයි කියා ගන්නා ප්‍රශ්නයක් ඇති කළ චීවර දාරීන්මය. ඔවුන් සිය ශාස්තෘෘන් වදාල දර්මය උල්ලංඝණය කරමින් සාහිත්‍යත්, ආගමත්, දර්ශනත් එකට පටලවාගනිමින් දැනටමත් අච්චරුවක් වී සැදැහැවත් බෞද්ධයාට ද බෞද්ධකම එපා කරවන්නට විය.
මෙහිදී සාහිත්‍ය හුදෙක්ම සාහිත්‍යක් ලෙසින් දැකිය යුතු වීම සිදුවිය යුතුව තිබුනත් එය අවියක් කරගනිමින් මං පොර මානසිකත්වයෙන් බුදුන් වහන්සේට අපහාස වනවා යැයි නඩු දැමීම යුත්ති යුක්තද යන්න පිළිබදව සාකච්ඡා කළ යුතුය. බුදුන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අතරින් “කොපුව තුල සැගවුන පුරුශ නිමිත්ත“ යන්න ශක්තිකගේ කෙටි කතාව තුල ප්‍රශ්න කර ඇත. එය ලේඛකයාගේ භාෂණයේ අයිතියකි. මෙහිදී පළමු වැන්න නම් බුදු දහම යනු කිසිලෙසකින්වත් ප්‍රශ්න කිරීම නොකරන්න යැයි කියූ දහමක් නොවේ යන්නයි. ඒ අනුව ශක්තිකට දහම් පොත පතේ පැනෙන යම් දෙයක් වෙත්නම් ප්‍රශ්න කිරීමේ අයිතිය ඇත. එසේම එය බුද්ධකාලීන සංඝයා විසින්ද සිදු කරන ලද බවට තොරතුරු ලැබේ. දෙවැන්න නම් එවැනි පුරුශ ලක්ෂණ බුදුන්ට ඇත්තෙන්ම තිබුනාද යන්නයි. එය සාහිත්‍යාත්මකව බුදුන් වහන්සේගේ දහම බමුණු සමාජය තුළත් පසුකාලීනව හින්දූන්ට මුහුණ දීම පිණිසත් රැගෙන ආ එකල සාහිත්‍යෙය් පැනෙන්නකි. එය සැබෑ බුදු දහම ලෙස ගැනීම සැබෑ බෞද්ධයෙකුට කළ නොහැකි දෙයකි. භික්ෂුවකටනම් තරම් නොවේමය.
සාහිත්‍යෙය් ඇති එවැනි මිත්‍යා කතාන්දර යථාර්ථවාදීව ප්‍රශ්න කිරීමට ලේඛණයේ යෙදෙන්නකුට අයිතියක් ඇත. එහි දී එය සාහිත්‍යය ප්‍රබන්ධයක් ලෙස පාඨකයා ගෙන මෙහි යථාවාදය විමර්ශනය කරනවා විනා බුදුන්ට අපහාස වී යැයි ආදී ගොන් කතා කීම පාඨකකාර්ය නොවන සේම උගත් පොලිස් මහත්වරුන්ද දත යුතු කරුණකි. සාහිත්‍ය විචාළ යුත්තේ හිර කූඩුවල හෝ පොලිස් ස්ථාන වල නොවේ. ඉන් පිටත වූ ශිෂ්ට පරිසරයේ ය. එහිදි රසඥතාවයකින් යුත් පාඨකයන් පමණක් විචාරය සිදු කළ විට හොදටෝම සෑහේ.
එසේම මෙහිදී වැදගත් වන කරුණක් වන්නේ,
මින් බෞද්ධ හිදී ජනයාගේ හැගීම් වලට හානියක් සිදු වීද යන්නයි. එය කිසිසේත්ම සිදු වී නොමැත යන්නට බෞද්ධ පාඨකයෙක් ලෙස මම ද පෙනී සිටිමි. මගේ හැගීම් වලටනම් අර්ධ නිර්මාණය තුළින් හානියක් නොවීය. තවද ශක්තික විසින් කරන ලද මේ කෙටි කතාව හැර අනෙකුත් කවි සේම කෙටි කතා තුලින්ද කිසියම් පාර්ශවයකට හානියක් නොවූ බව කිව යුතුය. මාගේ පෞද්ගලික විශ්වාසයනම් පවත්නා දැඩි අන්තවාදී මත ස්වරූපයන් නිසා මෙවැනි තත්වයක් නඩු දැමූ චීවරදාරීන් තුල ද තිබෙන්නට ඇත. එය හොදින් පැහැදිලි වන්නේ නඩු දැමීම සදහා ඉවහල් කරගන්නා පනත් කෙටුම්පතය. ඒ පිළිබදව මට වැඩි කියැවීමක් නොමැති නමුත් බරපතල චෝදනාවකට වරදකාරයකු කිරීම සදහා ගෙන්වන පනතකින් කෙටි කතාවක් වැනි කිසිදු ආකාරයක හිංසනයක් නොවන සාහිත්‍යානන්දය ඇති කරවන දෙයකට නඩු පැවරීම ඉතාමත් වැරදිය

අනෙක නම් මෙය සන්නිවේදයනය කර ඇති මාධ්‍යයි එය මුද්‍රිත නොවන මුහුණ පොතවැනි සමාජ මාධ්‍යක සංසරණය කරවූවකි. පසුව එයද නිර්මාණ කරුවා විසින් ම ඉවත් කරගන්නා ලද්දකි. එය නැවත නැවතත් ප්‍රසිද්ධ වූවානම් වූයේ ප්‍රතිපක්ෂිකයා විසින්ම සමාජ මාධ්‍යයට එය නැවත මුදා හැරීම තුලිනි.
මෙවැනි කාරණා තුළින් නිගමන කිහිපයකට එලැබීමට මට හැකියාව ඇත.
01. ශක්තිකට වැටුනු සාහිත්‍යය වාරණය හුදු ආගම්වාදී ස්වරූපයකි.
02. පිරිනිවන් පෑ බුදුන්වහන්සේට හා ශක්තික වැනි චූල මිනිසෙකුට බුදුන්වහන්සේ වැන්නෙකුට අපහාස නොකල හැකි බව.
03. ප්‍රතිපාර්ශවය විසින්ම ඔවුන් ගෙනෙන තර්ක අමු අමුවේම බිද හෙළා ඇති බව‍
|ගුරුගොඩ සිරිවිමල

Monday, September 16, 2019

හැම ඇසුර සැණෙක ම ජීවිතේ ඇත


සුර විමන් පසුකර සසර ලුහුබැඳ
ඇවිත් දුන් පදවිය අගේ
සක්වල දහක් ‍තැන නොමැති අභිමන
නුඹයි මට දුන්නේ දුවේ
මේ කිරුළ මට දුන්නේ දුවේ...

මිනිසත්කමේ සුවඳයි නොනිම්
සෙනෙහසයි සුරකින්නේ බැඳුම්
හෙට මිහිමඬළ යට සැඟවෙනා තෙක්
සිත සතුටමැයි වත්කම උතුම්...//

නෙතු බොඳ කරන කඳුළක තරම්
සිනහවක මිහිරක් වෙද සියුම්
හැම අසුරු සැණෙක ම ජීවිතේ ඇත
ලොව විඳිනු මැන නොඇලී සුවෙන්...//

පද රචනය: ඉරෝමී ආරියරත්න
ගී තනුව, සංගීතය සහ ගායනය: අනුරාධ අබයසිංහ

ලාංකේය ගීත සාහිත්‍යය කෙත සියළු ආකාර වූ අනුභූතීන් තුළින් ගොඩනැංවී ඇති මහරු ඵලදාවකි. විටෙක ප්‍රේමය උත්කර්ශවත් කෙරෙමින් තවත් විටෙක විරහව උත්කර්ශවත් කෙරෙමින් ද තවත් විටෙක ඒ සියලු ගුණාංගයන් සහිතව සංස්කෘතික ගීයෙන් ද උපයුක්තව සිංහල ගීත සාහිත්‍යය පවතී. එය එහි මහගු අස්වැන්න කිසි විටෙකත් මව් ගුණ ගීය, ළමා ගීය, නැලවිලි ගීය, යන අංගයන්ගෙන් වියුක්තව නොපවතී.

අතුඅග මල් කුමාරියන්

බිඟු මිණි දැල් සැලෙන හඬින්
නිදන පුතුගෙ කණට මිහිරි කතා කියනවා
සිහින ලොවේ ළපටි සිහින සිතේ අඳිනවා 


යනුවෙන් සේකර එක් විටෙක දී නන්දා මාලිනි යට ලියන්නේ එකී ළමා ගීත සාහිත්‍යේ උත්තුංගම අවස්ථාවක් සාහිත්‍ය රසයක් සහිතව ජනවිඥාණයට ඔබ්බවමිනි. එයට නන්දා මාලිනියන්ගෙ සුමියුරු ශාන්ත හඩින් මුසු වූ විට අපූර්වත්වයක් දැනෙයි.

රුවන් වළා දුහුල් කඩින් පෙරී ස‍ඳේ රිදී කැළුම්

තුෂාර හාර හා එතී ගලා හැළෙනවා
පුතුගෙ සිඟිති දෙතොල් වලට සිනා ගෙනෙනවා



යනුවෙන් ඇරඹෙන එකී ගීතය සිංහල නැලැවිලි ගීතය තුළ උස්ම ස්ථානයක පිහිටයි. මෙකී ගීත කොට්ඨාශය හුදෙක් නැලවිලි ගීතය නමින් ම නම් කරනවාට වඩා එය වෙනම සාහිත්‍ය රසයක්  සහ දරු පරපුරක සිතුම් පැතුම් කෙළෙසින් අරුත්ගැන්විය යුතුද යන්න ද අපට පෙන්වා දෙන උපදේශාත්මක අංගයක් විය. සමන් චන්ද්‍රනාත් රණසිංහ යන් මාලනී බුලත්සිංහලයන්ට ලියනු ලබන“සදමඩලේ සිට“ වැනි ගීත හුදෙක් නැලවිලි ගීයේ සංලක්ෂණ ඉක්මවා වේග රිද්මය ද අපූරුවට යොදාගනිමින් ජන මන පොබයාලීමට සමත් වෙයි.

සඳමඬලේ සිට තරුමඬලේ සිට දිවැස් හෙළන පුතුනේ
බලාගන්න පුත බලාගන්න පුත ලස්සණ ලක් දෙරණේ ...//

පුරන් කුඹුරු වපුරන්නේ පුතුනේ හෙට උපදින පුතුටයි
කම්හල් නව නිපැයුම් නිම වන්නේ ඒ සුරතල් පුතුටයි ...//

සඳමඬලේ සිට තරැමඬලේ සිට දිවැස් හෙළන පුතුනේ
බලාගන්න පුත බලාගන්න පුත ලස්සණ ලක් දෙරණේ

සාර කෙතේ අස්වනු පීදෙන්නේ පුතුනි ඔබේ නමටයි
නුඹේ පියාගේ දෑත රත්තරන් පුතු ලද දෙව් පිහිටයි ...//

සඳමඬලේ සිට තරුමඬලේ සිට දිවැස් හෙළන පුතුනේ
බලාගන්න පුත බලාගන්න පුත ලස්සණ ලක් දෙරණේ ...//

ගායනය - මාලිනී බුලත්සිංහල
පද - සමන් චන්ද්‍රනාත් වීරසිංහ
තනුව - ෂෙල්ටන් ප්‍රේමරත්න

මෙකී ගීත සාහිත්‍ය මුලින් ලියූ කවි තුළ පදනම් වෙමින් ඇස් මහන්ද හිමියන් ගේ පද්‍ය පංතීන් බොහෝ විට ගී හඩට පෙරළුණේ නන්දා මාලිනියන් අතිනි. මෙවන් වූ පොදු ළමා ගීත සාහිත්‍යය නූතනය වන විට වඩාත් හරවත් තැනකට ගෙන ඒමට “වසන්තා කේ මිහිදුකුල“ වැනි රචිකාවියන්ට හැකියාව ලැබී තිබේ. 

මෙම විමර්ශන ලිපියෙන් ද අප විමසීමට ලක්කරන්නේ ළමා සාහිත්‍යට නව දෘශ්ඨි ආරකින් එක් වූ ගීතයක් පිළිබදවය.  මෙහි පද රචිකාවිය මහාචාර්ය, ඉරෝමි ආරියරත්න වන අතර තනු නිර්මාණයත් ගායනයත් සිදු කරන්නේ අනුරාධ අභයසිංහ විසිනි. 
උඩදී අප උදෘත වශයෙන් කතිකාවට ලක්කළ ගීත ද, අනෙකුත් ළමා ගීත ද බොහෝ විට ලියැවෙන්නේ හුදු රසයත් අරුතත් මුල් කරගනිමිනි. ජාතිකවාදී දෘශ්ඨිකොණයක සිට පද්‍යකරණයේ නියැලුණ ඇස් මහින්ද හිමියන් ලියූ බොහෝ ළමා කවි සහ ගීත තුළ ගැබ් වන්නේ සංස්කෘතික සහ ජාතිකවාදී දෘශ්ඨිකොණයන් ය. නමුත් අප මෙහි දී සාකච්ඡාවට බදුන් කෙරෙණ ගීය එවැන්නක් නොවේ. මේ වනාහී බෞද්ධ දාර්ශනික සිද්ධාන්ත කැටි කොට ගත් ගීයකි. එනිසා එය හුදෙක් ළමා ගීයක්ම යැයි නාමකරණයට ලක්කිරීමට අප අපොහොසත් වේ. 

මෙම ගීතය බෞද්ධ සිද්ධාන්ත වල එන සංකල්පවලින් මූර්තිමත් කොට ඇත.
සුර විමන් පසුකර සසර ලුහුබැඳ

ඇවිත් දුන් පදවිය අගේ
සක්වල දහක් ‍තැන නොමැති අභිමන්
නුඹයි මට දුන්නේ දුවේ
මේ කිරුළ මට දුන්නේ දුවේ...
යනුවෙන් මෙම ගීතය ආරම්භ වෙයි. එහි දී රචිකාවිය අපට පෙන්වා දෙන්නේ දරුවකුගේ උත්පත්ති අවස්ථාවයි. මෙහි දී රචිකාවිය බුදු දහමේ පැනෙන“සංසාරය“පිළිබදව අපට ඉගියක් ලබා දෙන්නේ එම දෘශ්ඨිය තුළින් කිසිවෙකුටත් ගීතය රසවිදීමට බාධාවක් නොපමුණුවමිනි. එනම් මෙම ගීතය සසර විශ්වාස නොකරන භෞතිකවාදියෙකුට වුවද නිදහසේ අසා සුවයක් සහ දාරක පෙමක් ඇති කරගැනීමට හැකිය.
දෙව් ලොව ආදී කොටගෙන සංසාරය පුරාවට විවිධ අත්බැව්හි උපත ලබමින් සසර තුළ ඕනෑම අයකු නිවන තෙක්ම සැරිසරන බව බෞද්ධ මතයයි. සසර නැවත නැවතත් උපදෙමින් චක්‍රයක් බදුව ගමන් ගන්නා සත්වයා සෑම අවස්ථාවකම එක් ස්ථානයක් තුළ රැදෙමින් කෙටි කාළයක් ලැගුම් ගනී. එය එක් ආත්ම භාවයක් ලෙස අප සදහන් කරමු. එකී ආත්ම භාවයේ ලබන කුස තුළ රැදෙමින් එම සත්වයා තවත් සත්වයෙක් යම් පදවියකට උරුමකම් කීමට සුදුස්සකු කරවයි. ඒ මව් සහ පිය පදවියයි. ඕනෑම මවක් හෝ පියෙක් එම පදවිය තුළ පදවිගත කරන්නෙ දරුවෙක්ම ය. දරුවෙකු දරුවා යන පදවිය තුළ පදවිගත කරන්නේ මවත් පියාත් ය. එය ලොව ඇති උතුම්ම පදවිය ලෙස අරුත් ගන්වන්නේ ලෝකයා විසිනි. එයට විශාලතම හේතුව ලෙස පෙන්වා දිය හැක්කේ මවක් දරුවකු කුස දරන සමයේත් ඉන් පසු සමයේ දී මවත් පියාත් යන දෙපළමත් දරුවකු හදන්නටත් වඩන්නටත් ගන්නා වෙහෙසය.
රචිකාවිය පෙන්වා දෙන්නේ එකී මව්පදවිය තමන් වෙත ලබාදුන් තම දියණියට ස්තූති පූර්වක වන බවයි. මව් පදවියට මේ සක්වල තුළ ඇති ස්ථානය සුළු පටුනොවේ. බුදුන්වහන්සේ “මව්ගුණ“ පිළිබදව දක්වා ඇති අදහස් තුළින් එය මනාව ගම්‍ය වේ. මවක් යනු හුදු ගැහැණියක් ම නොවේ. ජීවිතය තුළ ගැහැණියකගේ බරට වැඩි බරක් මවක් විසින් දරයි. එ් වෙනුවෙන් ලෝකයා සෑම විටම කෘතඥතාවයක් මවකට ලබා දෙයි. ඉතා ප්‍රාථමික සමාජයක වුව ද මවකට අති අභිමන් බොහෝ ය. ඒ අභිමානය, සැලකිල්ල ලබාගැනීමට මවකට උදව් වන්නේ දරුවකු ය. ඒ දරුවාට රචිකාවිය ස්තූති පූර්වක වන්නේ එබැවිනි.
දෙවනුව රචිකාවිය විසින් දියණියට ආමණ්ත්‍රණය කරන්නීය. ඉතා සෞම්‍ය වදනින් ඇය සිය දියණියට ආමණ්ත්‍රණය කරමින් කියන්නට තැත් දරන්නේ චින්ත සන්තානයේ හටගන්නා මේ මොහොතේ සතුට පිළිබදවය, සිනහවේ වටිනාකම පිළිබදවය.
මිනිසත්කමේ සුවඳයි නොනිම්
සෙනෙහසයි සුරකින්නේ බැඳුම්
හෙට මිහිමඬළ යට සැඟවෙනා තෙක්
සිත සතුටමැයි වත්කම උතුම්...
මනුෂ්‍යත්වයේ පරිපූණ බව, සුවදවත් බව ඇති කරවන්නේ හදවත තුළ ලෝකයා කෙරෙහි ඇතිවන කරුණාව, මෛත්‍රිය, ලෙන්ගතුකම, වැනි ගුණධර්ම තුළිනි. ඒවා සිය දියණියට හදවත තුළ ඇති කරගන්නා ලෙස උපදේශ සපයමින් මිය යන තෙක්ම සිතේ ඇතිවන සතුට එකම ධනය ලෙස සිතන ලෙස ඉල්ලා සිටියි. ජීවිතය තුළ ගැහැණියක්ව ඉපදීමේ දී ඇති වන සමාජ සැලකිල්ල කෙබදුද? එම සැලකිලි ඉදිරියේ තමන් ගුණයෙන් , නැණින්, පහන් වී අභියෝග වලට මුහුණ දුන්න ද සිත් සන්තානයේ ඇතිවන සතුට කෙමෙන් කෙමෙන් තුරන් ව යාමට මාන බලයි. ඒ සමාජය කෙරෙහි ඇතිවන කළකිරීම නිසා හිතේ ඇතිවන පසුබස්නා ස්වභාවයයි නමුත් මව දියණියට පවසන්නේ ඒ සියල්ලක්ම පැරදවිය හැක්කේ හිතේ සතුටටම පමණක් බවයි. මේ සියල්ලක්ම ඉදිරියේ ඇය ඉල්ලා සිටින්නේ වෙන කුමක්වත් නොවේ. සැබැවින්ම ලෝකයාට ආදරය කරන දුවණියක් වන්න යන ඉල්ලීම නොවේ ද?
නෙතු බොඳ කරන කඳුළක තරම්
සිනහවක මිහිරක් වෙද සියුම්
හැම අසුරු සැණෙක ම ජීවිතේ ඇත
ලොව විඳිනු මැන නොඇලී සුවෙන්
ඇස කදුලින් බොද වන්නට කොයිතරම්වත් හේතු ඇති සමාජ වපසරියක ජීවත්වන අයට සිනාසිසී ජීවත්වන සැටි කියා දෙන්නේ බුදුන්වහන්සේ ය. උන්වහන්සේ දේශනා කරන්නේ හැම මොහොතකම සතුටින් ජීවත්වන ලෙසය,
“අතීතං නානු කපපන්නි,

නප්ප ජප්පමනාගතං
පච්චුප්පන්නේන යාපෙන්ති
පස වණෙණා පසීදති”

නොපැමිණි අනාගතය ගැනත්, ගෙවුනු අතීතය පිලිබදවත් නොසිතන ලෙස පවසන බුදුන්වහන්සේ මේ මොහොතේ ජීවත්වන ලෙස පෙන්වා දෙයි. ඒ අයුරින් රචිකාවිය ද පවසන්නේ “ හැම ඇසුර සැණෙක ම ජීවිතේ ඇත“ යනුවෙනි. උප්පාද, ඨීති, භංග, යන බෞද්ධ දාර්ශනික සිද්ධාන්තයන් හි සෙවනැල්ල මේ රචනාව තුළ අපට පෙනේ. මේ මොහොතක් මොහොතක් පාසා වෙනස් වන අප තුළ ඇති වන තත්වය ඉතාමත් ඛේදජනකය. දුකම පමණක් හිමි ය. ලෞකික සතුට මොහොතක් මොහොතක් පාසා වෙනස් වෙමින් අපට අනුගත නොවමින් පවතියි. නමුත් මේ සෑම මොහොතකම ආත්ම විශ්වාසය තුළින් ලෞකික වූ ජීවිතයේ සැනසීම ලගා කරගත හැකි බවට මව දියණියට කියා දෙයි. මුව හසරැල් නංවමින් ජීවිතයේ දුක්ඛදායක අවස්ථාවන්ට මුහුණ දෙන්න, ලෝකය වෙත නොඇලී සුවයෙන් කල් ගෙවන්න යන මතක් කිරීම ද මව දියණියට සිදුකරයි. 
මොහොතක සන්තුෂ්ඨිය බලාපොරොත්තුවෙන් දියණිවරු සිය පතිවත කෙලෙසාගෙන සියදිවි නසාගනිමින් මුළු මහත් සමාජයම කම්පාවට පත්කරමින් සිටින මොහොතකි මේ සමාජය. එකී සමාජයකට අලුතින් බිහිවන දියණියක් හෙට දවසේ මුහුණ දීමට නියමිත දුක්ඛදායී ඉරණම් වලින් හැකිතාක් ඈත් කරන්නට උත්සාහ දරණ ආදරණීය මවක් සිය දියණියට දෙන ඔවදනයි මේ. මේ ඔවදන ගීතයක් වීමේ දී බෞද්ධ දාර්ශනික පදනමක් මුල් කරගැනීම ඉතා අගනා කාරණාවකි.
සංසාර චාරිකාවේ නිමක් නොමැතිව ගලා යමින් පවතින සත්වයා තමන් වෙතට පැමිණි පසු දරුවෙකු ලෙස ඇයට ලබා දෙන කාරුණික ආරක්ෂාව ඉතා විශ්වීය එකකි. එය කිසියම් දිනෙක මව නොමැතිව තනිව ගමන් කළ හැකි දියණියක් නිර්මාණය කරයි. සමාජය ඉදිරියේ හිංසාවට පත්වන විට ඉන් නොවැටී සිටීමේ දාර්ශනික දිරිය බුද්ධිමත් මවක් විසින් දියණියකට ලබා දීම කෙතරම් ප්‍රශංසනීය වේද. එම දිරිය යම් දිනෙක සංසාරයෙන් එතෙරවන මාර්ගයට ද මග හෙළි පෙහෙළි කර දෙන්නකි. 
මවුවරුන් මතුබුදුවිය යුතුයැයි සාහිත්‍ය තුළ කතිකාවට ලක්වන්නේ මේ දිරිය, මේ ශක්තිය දරුවෙකුට ලබා දීම නිසාමය.

|ගුරුගොඩ සිරිවිමල


පද රචිකාවිය - මහාචාර්ය. ඉරෝමි ආරියරත්න 
තනුව සහ ගායනය - අනුරාධ අබයසිංහ 




Monday, September 2, 2019

කාලයේ මිනිසා

මහාචාර්ය කාලෝ ‍ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වූ බව ඇසී පළමුව කම්පාවට පත්වීමි. දෙවනුව කම්පාවට පත්වීමට හේතුව පිළිබදව සොයා බැලීමි. එතුමාගේ මතක ස්මර‍ණයන් තු‍ළින් හදවතේ යම් කම්පාවක් උපදවා ගැනීමට අපට නියත වශයෙන්ම හැකිය. ඒ ඔහුගේ මරණයෙන් පසුවය. ජීවත්ව බොහෝ මිනිසුන් මියගිය පසුව ද අප අතර ජීවත් වෙයි. එසේ ජීවත්වන ඉතා අඩු මිනිසුන් අතර කාලෝ ෆෝන්සේකා ද ජීවත්වන බව කිව යුතුය. දේශපාලනය, සංස්කෘතිය, ආගම, කලාව යන සෑම ක්ෂේත්‍රයකම පරිනත සහ මැදිහත් නියෝජනයක් කාලෝ තුළින් සිදුවිය.
සියල්ල ඉක්මවූ නිහතමානී ගුණයන්ගෙන් අඩුවක් නොවුනු කාලෝ ආධුනිකයා ද, ප්‍රවීණයා ද ඉවසමින් සිය ජීවන චාරිකාව ගෙවා දැමූයේ අපේ කාලයේ දැවැන්තයෙකු වෙමිනි. සෑම අවස්ථාවකදීම මම ඔහු තුළ ජීවත්වන කලාකරුවාට වඩාත් ආස කලෙමි. එයට ද හේතුවක් වන්නේ බෞතිකවාදය සිය විශය කරගත් මිනිසකු කලාව තුළ දක්වන සමර්ත කම් නිසාවෙන්ය. ඔහු කලාකාමියෙක් සේම කලාකරුවෙකි. ගේය පද රචනය තුළින් විශේෂ සමත්කම් දැක්වූ එතුමා,
වැනි අමරසිරි පීරිස් වැනි ගායන ක්ෂේත්‍රෙය් දැවැන්තයන් හරහා සමාජ ගත කර ඇත. තවද එතුමා විසින් ,
වැනි විද්‍යාත්මක මව්ගුණ ගීත ද අපවෙත දායාද කර ඇත. 

එතුමා ලියූ

වැනි අතීශය බොළද පෙම් ගීත ද අපට දායාද කර ඇත.

තවද එතුමා භෞතිකවාදී විශය ක්ෂේත්‍රයක් නියෝජනය කළ ද බුදු දහමේ සැබෑ හරයන් කිසි විටෙකත් විවේචනය නොකළ අයෙකි. නිවන වැනි දැක්මක් භෞතිකවාදියකු විසින් අපූරුවට සංග්‍රහ කළ අයුරු පහත කවියෙන් දැකිය හැකිය.

“තණ්හාවේ දෝසේ - දුටු බුදුන් වහන්සේ 

විමුක්තිය පතා - තණ්හාව නසා 

නිවන් මග මේ යැයි - පෙන්වා දුන් සේක.

එක්තරා දවසක් - ගෝලයෝ පිරිසක්
ඇසුවෝය හිමිගෙන් - එක්තරා පැණයක්
තණ්හාව හල විගස - සැණෙකින්ම අප දකින
ඔබ කියන ඔය නිවන - කෙබඳුඳැයි කියනු මැන? 
එවිට අප සියලු දෙන - තණ්හාව නසනු ඇත.
බඹ ලොවට පිවිසීම - වාගේද නිවන් සැප? 
ඉර මුදුන් වෙලාවේ - විලක් මැද තනිවෙලා 
කුසීතව පාවෙමින් - සිටින්නා වාගේද? 
නිදි ලොවට මගසොයා - අතරමංවූ අයෙකු
එක් සැණින් නිදිලොවට - පිවිසියා වාගේද?
ඔබ කියන ඔය නිවන - පැහැපත්ද? පියකරුද? 
නො එසේ නම් එය - සිත නැති කය නැති 
කිසිම දෙයක් නැති - දෙයක්ද? ස්වාමීනි
මෙය ඇසූ හිමි සඳ - හෝරා ගණනක් 
ගත කර නිහඬව - පැවසීය මෙසේ
“ඔබ ඇසු පැනයට - පිළිතුරු නැත මට”
එහෙත් එම දිනයේ - සැන්දෑ සමයේ
පැන ඇසු සිය සිසු - පිරිස ගිය පසු 
බෝරුක් සෙවණේ - වැඩ සිටි සමිඳා 
එහි සිටි සෙසු - දන සැම අමතාලා 
දෙසූහ මේ - සුළු කතාව උපමා.

දවසක් මම ගෙයක් දුටිමි 

එය ගින්නට හසුව තිබුණි

රත් පැහැ ගත් ගිනි ජාලා

එහි පියසෙන් උසට නැගුණි
ගේ තුළ මම දනන් දුටිමි
දොර හැර ඔවුනට හඬගා
පිටවෙන්නැයි මම කීවෙමි
එහෙත් එදන සැලුණේ නැත
හදිසි බවක් පෙන්වුවෙ නැත
එක් අයෙකුගෙ රැවුල පවා
පිළිස්සෙද්දි ඔහු ඇසුවේ
ගෙයින් පිටත මීට හොඳද? 
වැසි වසීද? සුළං තදද?
දැවෙන නිවස දමා ගොසින්
ඉන්නගෙයක් තිබෙනවාද?
මෙවැනි ප්‍රශ්න රාශියක්ය.
මම පිළිතුරු නොදී ඔහුට 
නැවතවරක් වුනෙමි නිහඬ
මට සිතුණා මේ දරුවා
නගන ප්‍රශ්න නවත්වන්නෙ
ගින්නෙන් නැසුනාම කියා
සත්තකින්ම ප්‍රිය දරුවෙනි,
යම් මිනිසකු පොළෝතලේ
තැබූ දෙපා දැවෙන තුරා
වෙන තැනකට නොයාවි නම්
ඒ දනහට සරණ වෙන්න
බණක් නැතිය මට කියන්න
එලෙසයි අප හිමි ගෞතම
පිළිතුරු දුන්නේ පෙර කල
කෙසේද? මේ දෙය
කෙසේද? අර දෙය
කුමක් වේද? මා රැස් කළ ගිණුමට
මා සතු අගනා පණ මෙන් රකිනා
අක්කර පනහේ කුමක්ද ඉරණම?
යනුවෙන් පෙරළා අසන දනන්හට
තොපට දෙසන්නට අපට බණක් නැත.“

මේ ද එතුමා විසින් ලියූ මා ඉතාමත් ප්‍රිය කරන දාර්ශනික අර්ථයේ කවියකි. එතුමා බෞද්ධ දර්ශනය සේම බෞද්ධ ආගම පිළිබදව ප්‍රාමාණිකයෙක් වන බව පැවසීමට මීට වඩා උදාහරණ ද අවැසි නැතැයි සිතමි. මහාචාර්ය කාලෝ වනාහී අප අතර ජීවත් වූ සැබෑ බෞද්ධයකු වුව ද එය සම්මුති අර්ථයකින් විමසා බලන්නෙකුට ඔහු නිරාගමිකයෙක් සේ පෙනීම වැලැක්විය නොහැකි කාරණාවකි.
සිය ජීවන ලාලසාව තුළ කැටිකරගත් මානව ප්‍රේමය තුළ හිදිමින් එතුමා සිය රට බැස පවත්නා මිත්‍යාවාදයන්ට දාර්ශනිකව සහ ඉතාමත් ප්‍රායෝගිකව පහර එල්ල කළ අයෙකි. එහි දී තර්කය ට වඩා ඔහු ප්‍රායෝගිකවාදියෙක් ලෙස ක්‍රියා කිරීම අද සිටින බොහෝ නිරාගමිකයන් ටද ආදර්ශ සපයන කරුණකි. එතුමා මිය ගිය විට ද නිවන් සුව නොපතන්න ආදී වචන යොදමින් විවිධ අය මත පළ කරණවා දිටිමි. නිවන් හෝ අන්යමක් පැතීමේ අනෙකාගේ උවමනාව කාලෝ ෆොන්සේකා වැනි නිරාගමිකයන් කිසි විටෙකත් විවේචනය නොකළ අයෙකි. දිනක් එතුමා මට අමතමින් අවසන තෙරුවන් සරණයි යන ආමන්ත්‍රණයෙන් ඇමතුම සමාප්ත කලා සේම දිනක් බන්දුල නානායක්කාරවසම් මහතාගේ ගගක් සේ ඔබ ගලා ඒනම් ගීතය රසාස්වාදය කරමින් මහා සභාවක "බන්දුල නුඹට පින් මෙම ගීතය ලිව්වාට" යනුවෙන් පැවසුවා මට මතකය. එවැනි සම්ප්‍රදායයක් තුළ තම මතය මැදහත් තැනකට රැගෙන ආ නිරාගමික කාලෝගේ මතය අද වන විට ඔහුගේ මතය රැගෙන යන අයවලුන් විසින් ම හාස්‍යට ලක් කිරීමනම් එතරම් සුබවාදී නොවේ. ආචාර්ය නලින්ද සිල්වා වැන්නවුන් සමග වාද විවාද සභා මැද කෙලින් කටින් සිට ඔහු සිය මතය වෙනුවෙන් පරවාදීන්ට වචන වෙඩි උණ්ඩ කර වෙඩි තැබුවා මට මතකය. “ඔබතුමා කියන දේවල ඇත්තත් තියෙනව අලුත් ඒවත් තියෙනව. මට පේන්නෙ ඇත්ත ඒවා අලුත් නෑ අලුත් ඒව ඇත්ත නැ." වැනි යටි අරුත් සහිත වෙඩි උණ්ඩ වැනි වචන එතුමා ඉතා සංයමයෙන් කියා අනෙකාව හැසිරවූ අයුරු අතීශය රමණීය ය.
කාලයේ මිනිසා ලෙසින් එතුමන් විරුදාවලි ලබන්නේ සිය 86 වන ජන්ම දිනයේ ගීතමය උපහාරයක් ලෙසිනි.
ඇගයීමට ලක්විය යුතු අග්‍රගණ්‍ය මිනිසෙකුගේ නික්ම යාමට සුබ පතමි. ඔහුට නිවන් සැප ලැබේවා!


|ගුරුගොඩ සිරිවිමල



Sunday, September 1, 2019

|සංකේත බෞද්ධයෝ | ගුරුගොඩ සිරිවිමල


අනෙකාගේ සංස්කෘතිය, අනෙකාගේ ජාතිය, අනෙකාගේ ආගම ඉවසීමට බැරි උදවියට අලුතින් වැළදී ඇති රෝගය අනෙකාගේ ඇදුම ඉවසීමට බැරි වීමය. හෙටනිද්දා අපේ ගරුතර හිමිනමක් විසින් අන්‍යාගමිකයෙක් වැසිකිලියක සිය අවශ්‍යතාවය ඉටු කරමින් සිටින විට “තොපි කොහොමද එහෙම .....න්නෙ? මේක සිංහල බෞද්ධ රට  “ යනුවෙන් ප්‍රශ්න කර සිටියත් මටනම් පුදුමයක් නැත.
මේ සිදුවීමෙන් දින ගණනාවකට පසු හෝ මෙය ලියන්නට සිතුනේ ඒ වැඩේ හොද යැයි තවමත් වීඩියෝ එක යටින් කමෙන්ට් දමන බුකී හුදී ජනයා බොහෝ නිසාවෙනි.

පසුගිය දිනක 'පිරිමියෙක් නම් පොළවේ ගහනවාය කියමින්  බුදුන්වහන්සේගේ මුහුණට සමාන මුහුණක් සහිත ඔසරියක් ඇදීම නිසා  ත්‍රිකුණාමලය ර්‍පෙද්ශයේ හිමිනමකගේ දැඩි විරෝධය එල්ලවන විට ඇයව අත්තඩංගුවට පත්කරගත් පුවතක් අසන්නට ලැබින.  

සිංහල බෞද්ධයා එන්න එන්නම ගොනාට අදිමින් සිටී. තමා මෙරට මහජාතිය බැවින් සුළු ජාතීන්, ආගමි ඉවසීමේ ගුණය අද සිංහල බෞද්ධයාට නැත. කොයියම් හෝ අමන හිමිනමක් පසු පසින් ගොස් කරන කඩප්පුලි මී හරක් පන්නයේ ක්‍රියාවකට සාදු සාදූ හිසින් යුතුව සම්මාදමේ යන බෞද්ධ මානව සම්පතක් හිමි වීමත් බෞද්ධාගමික නායකයන් රැලක් දායාද වීමත් ඉතාමත් කණගාටු දායී තත්වයකි.

මිනිසා නිරුවත වසා ගැනීම ශිෂ්ටසම්පන්න ක්‍රියාවක් ලෙස ආසියාතික සංස්කෘතියේ පැනෙන්නකි. එකී සංස්කෘතික පරිසරයක ජීවත් වන අප සැවොම ඇදුමකින් සැරසී ගමන් බිමන් යාම, නිවසේ සිටීම යන කොයියම්ම මොහොතකදීත් සළු සහිතව ජීවත් වීමට හුරුව ඇත. එකී පසුබිමක් තුළ මිනිසාට තමන් ඇදිය යුත්තේ මෙසේය, ඇදුම මෙසේ විය යුතුය, යනුවෙන් දහම් දෙසීමට කිනම් හෝ සමාජයකට අයිතියක් නැත. අදින්නේ කුමක් ද? ඇදිය යුත්තේ කෙසේ ද යන්න තීරණය කිරීම මිනිසාගේ අයිතියකි. එහි දී යමෙකු විසින් අදින පළදින ආකාරයට තහංචි පැනවීම අනෙකාගේ නිදහසට අතපෙවීමකි.

තමන් අදින වස්ත්‍රෙය් ඉන්නේ බුදුන්ද? යේසුස් ද? වෙන අයෙක් ද යන්න අදින අය තීරණය කර ඇද ගෙන සිය ගමන බිමන යාම සිදු කළ පසු එයට හූ මිටි තැළීමට හෝ අපහසුතාවයට පත්කිරීමට වෙනෙකෙකුට අයිතියක් නැත.

මෙහිදී පළමු කාරණය නම්  අදාල සිද්ධියේ දී කාන්තාව සැබැවින්ම හැද සිටියේ බුදු රුව සහිත වස්ත්‍රයක් ද යන්න ඉතා වැදගත් වේ. ඒ අනුව බලන කළ සරළවම මටනම් කියන්නට ඇත්තේ “නැත“ යනුවෙනි. ලංකාවේ බුදුන් වහන්සේ, කිරිබත්ගොඩ බුදුන්වහන්සේ , ජපානයේ බුදුන්වහන්සේ, චීනයේ බුදුන්වහන්සේ, විවිධ හැඩ ගනිති. ලංකාවේ බුදු හාමුදුරුවෝ සංකල්පීයව ගොඩ නගාගන්නෙකුට කිරිබත්ගොඩ බුදුන්වහන්සේව පෙනෙන්නේ පණ්ඩකයෙකු ලෙසිනි. කිරිබත්ගොඩ බුදුන්වහන්සේ ෆීල් වෙන්නේ කිරිත්ගොඩ අනුගාමිකයන්ටම පමණි. චීනයේ බුදුන් ෆීල් වෙන්නේ චීනාටය, ජපන් බුදුන් ෆීල් වන්නේ ජපනාටය. මේ අයුරින් සැබෑ බුදුරුවක් අප දැක නැත. බුදුන් වහන්සේ මේ වගේ අයෙක් යනුවෙන් පැවසීමට අපට සාදක නැත. එකී සන්දර්භයක් මැද සැබෑ බුදු රුව ඔය කාන්තාව හැද සිටියා ද යන්න අප කවුරුත්ම දන්නේ නැත. චන්ඩි පාට් දැමූ හාමුදුරුවන්ගේ පංසලේ විහාරයට ගොස් බලාවත් අඩුම තරමේ අදාල හාමුදුරුවෝ කාන්තාවගෙන් සමාව ඇයැදිය යුතුය. එසේ නැතිනම් හාමුදුරුවන් කිනම් නිර්ණායකයක් ඔස්සේ බුදුන්වහන්සේ මේ වගේ කෙනෙකුයැයි කෙසේ උපකල්පනය කලේද යන්න පොලිස්සියට ලිඛිත වාර්තාවක් ලබා දීමටවත් කළ යුතුය. නැතිනම් එය කාන්තාවට සිදුවන බරපතල හිංසාවකි.

දෙවන කාරණය නම්  සැබැවින්ම අදාල සිද්ධියේ දී කාන්තාව හැද සිටියේ බුදුන්ගේ රුව සහිත එකක් වුව ද එයට එරෙහිව කතා කිරීමට මිනිසකුට අයිතියක් නැත. අයෙකු තමා ආදරය කරන, තමන් විශ්වාස කරන යමෙකුගේ සේයාවක් සහිත වස්ත්‍රයක් හො යම් සංකේතයක් හැද පැළද යාමේ විලාසිතාව අපට එන්නේ බටහිර සංස්කෘතිය සමග මුහු වීමත් සමගය. එකී සංස්කෘතියට අවනතව බොහෝ මිනිසුන් තමන් කැමති අයගේ රූප සහිතව ඇදුම් ඇද යනවා අප කොතෙකුත් දැක ඇත. කාර්ල් මාක්ස් , චේ, ජෝන් සීනා, බොබ් මාර්ලේ වැන්නවුන් ගේ රූප සහිතව ඇදුම් හැද යන කොතෙකුත් අයවලුන් අප දැක ඇත.  තමන් සිටින සමාජයේ යම් යම් සිදුවීම් ආගම හා බද්ධ වීම ඉඹේම සිදුවන්නකි. පංසිල් සමාදන් වී ධීවර මිනිසකු තම වෙළදාම සදහා යාම හෝ ධීවර නෞකාවේ යේසුස්වහන්සේගේ හෝ බුදුන් වහන්සේගේ පිළිරුවක් තැබීම එයට සරළ උදාහරණයකි.  සමාජයක් ඉදිරියට යාමේදී එවැනි දෘඪ සංකල්පයකින් තමන් විශ්වාස කරන අයකුට ආදරය කිරීම වරදක් ද නොවේ.

දැන් අපට මතුවන පැනය වන්නේ අදාල සිද්ධියේ දී කාන්තාව එවැනි ඇදුමක් හැද සිටියේ බුදුන් කෙරෙහි වූ අප්‍රමාණ ප්‍රේමයකින් ද යන්නයි. එය එවැනි අදහසකින් නොකළ බව ඇය සිද්ධිය අවස්ථාවෙක් ඉතාමත් පැහැදිලි වෙයි. ඇය දමිළ කාන්තාවකි. ඉන්දියාවෙන් පැමිණි යැයි පැවසෙන මේ කාන්තාව වැඩියමක් නොසිතා මේ ඇදුම හැද යන්නට ඇත. ඉන්දියාවේ ඔවැනි ඇදුම් කොතෙකුත් බාවිතා වේ. මෙය දකුණු ඉන්දියවේ ප්‍රසිද්ධ සාරි මොස්තරයක් බවද සොයා බලන විට තොරතුරු හමුවිය.‍මන්ද යත්  හිංදු ආගමික විශ්වාස මත බුද්ධ යනු දසඅවතාර වලින් එකකි. ඒ අනුව බැලූ විට මේ සැබැවින්ම ඔවුන් විශ්වාස කරන බුද්ධ රූපය ය. එය ද සැබෑ බුදුරුව හෝ නොවේ යන්න කිසිවකුට කිව නොහැකිය. නමුත් මේ ද උඩ කී ශ්‍රද්ධා සංකලනයකින් මිනිසා විසින්ම පනවා ගත් බුද්ධ රූපයකි. කෙසේවුවද ඒ මතපදනම්ව කාන්තාව වැඩියමක් නොසිතා ඇදුම හැද යන්නට ඇත. නමුත් සිදු වූයේ බරපතල අකරතැබ්බයකි.


මේ කෙසේ වුව ද බුදුන්වහන්සේගේ රුව සහිත ඇදුමක් හැදයාමෙන් බුදුන් වහන්සේට වන අපහාසය පිළිබදව මට ඇත්තේ කුකුසකි. පිරිනිවන් පෑ බුදුන් වහන්සේ, බඩට දර මිටියක් බැදගෙන විත් දහස් ග‍නනක් මිනිසුන් මැද කුසට දරුවෙක් දී පැවිදි වූ වා යැයි ජීවමාන බුදුන් වහන්සේ ඉදිරියේම චෝදනා ක‍ල විට එම කාන්තාවට ද මෙත් වැඩුවා විනා “තෝ කොහොමද එහෙම කියන්නෙ මරපියව් මේකිව“ නොකියා මෙත් වැඩූ බුදුන් වහන්සේ වැනි ශාස්තෘවරයෙකුට මෙවන් ඇදුමක් ඇදගත් පමණින් සිදුවන අපහාසය කුමක් ද?

‍මෙම සිදුවීමේ දී ද සුපුරුදු ගොංකමම කරමින් හිමියෝ සිය පරපුරේ ඇදිවත් ගලවා දැමීම පමණක් සිදුකලේය. කාන්තාවක් බැවින් නොගසා සිටීමට අණක් ගුණක් ඇති මෙකී හිමියන් අනික් අතින් පිරිමියෙක්නම් පොළවේ ගසන්නට තරම් අමන තිරිසනෙකි. එහිමියෝ තම ශාස්තෘවරයා ඇගයූ මෙත් වැඩීමේ ගුණය, නිහතමානී ගුණ පසෙක ලා කාන්තාව සමාව අයදින විටද ජංගමයා එහෙ මෙහේ කරමින් අනික්වුන් සමග චන්ඩිකතා කියන්නට පෙළඹෙයි. මෙහිදී මෙය සියළු සංඝයා වෙත දෝශාරෝපණය නොකළ යුතු වුව ද ඉතා මෑත ආසන්න දිනක දී තවත් හිමිනමක් දරුවන් දහම්පාසල් නොඑවූවායැයි කියමින් ගුරුතුමියකට චන්ඩි පාට් දැමූ සිද්ධියක් ද අප දිටිමු. මෙවන් තලේබාන් මහාසංඝරත්නයක් සිටින ලක්සසුන මුලින්ම බේරාගත යුත්තේ අන්‍යාගමික අන්තවාදීන්ගෙන් නොව හාමුදුරුවරුන්ගෙන් ම බව මම පවසා ඇත්තේ එකපාරක් දෙපාරක් නොවේ. මේවාට හූමිටි තළන සිංහල බෞද්ධ සමාජය මෙවන් මීහරක් චීවරදාරීන්ට මල් පුදමින් දන් දෙමින් සිය නිර්වාණගාමී ප්‍රතිපදාව තුළ හික්මීම තුළ මම දකින්නේ ලංකාව බරපතල අනතුරක වැටී ඇති බවය.
‍හෙටනිද්දාට ඇදි වස්ත්‍රය කපු කටිමින් සිටි කුවේණියගේ පරම්පරාවේය, එය බටහිර එවුන්ට අයිති නැත කියා චන්ඩිපාට් දැම්මත් අප සිනාසී නිහඩවෙනවා හැර වෙන කළ හැකි යමක්නම් නැත.

|ගුරුගොඩ සිරිවිමල





අක්ෂර දෝෂ සහිතයි.