Thursday, December 27, 2018

අනුන් වෙනුවෙන් ජීවත් වෙන්න

සංස්කරණය - Thiwanka Wishwanath Jayasekara
අනුන් වෙනුවෙන් ජීවත් වෙන්න
ජීවිතේ හැම තැනකම අපට තියෙන්නෙ පාඩම් ඉගෙන ගන්න. මොහොතින් මොහොත වෙනස් වීම් ඈත් වීම් එක්ක අපඅට ජීවිතේ කියන්නෙ ඉස්කෝලයක්. ඒක ඇතුළෙ අපට මහා පාඩම් ඉගෙන ගන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ පාඩම් ඉගෙන ගන්නැතිව අපට අනාගතය පාස් කරගන්න අපහසුයි. 

අපි ඉපදුණ දවසෙ ඉඳන් නිකමට මතක් කරලා බැලුවොත් අපි ලබාගෙන තියෙන්නෙ අද්දැකීම්. පුද්ගලයො, වස්තු හැමදේම වෙනස් වෙමින් පවතිනවා මේ මොහොතෙදිත්. මේ ගෙවෙන මොහොත අතීතයට එක්වෙද්දි ඒක පාඩමක් වෙන්නෙ ඒ නිසයි. ඒ වෙනස්වීම අපේ අනාගතයට අපූර්වත්වයක් එක් කරාවි. නිසැකවම. 

මේ ජීවිතේට හම්බෙලා තියෙන කිසිම මිනිහෙක් අපේ ජීවිතයට වෙනස්කමක් කරල නෑ කියලා සහතික වෙන්න බෑ. හොඳ හෝ නරක විපර්යාසයක් මඟින් අපේ ජීවිතයට ඒ අය යම් බලපෑමක් කරලා තියෙනවා. ඒක හොඳ හෝ නරක වෙන්නෙ අපේ සිතුම් පැතුම් අනුව. එතන තමයි වැදගත්ම කාරණය ⁣තියෙන්නෙ. අපි හිතං ඉන්නවා නම් අපේ ජීවිතයට එන අය අපට ඕන දේ කරන්න ඕන කියලා ඒක වැරැදි ආකල්පයක්. කවදාවත් වෙන්නැති වැඩක්. එයාලා දැනුවත්ව හෝ නොදැනුවත්ව එයාලා එයාලට ඕන දේම මිසක් අපට ඕන දේ කරන්නෑ. ඒ නිසා ඒ අතීතයේ ගිය අය දිහා වැරැදි විදිහට බලනවනම් ඒක වැරැදියි. 
දැනෙන හැම වේදනාවක්ම අපට මිදීම සඳහා පාඩමක් කියලා දෙනවා. ඒ වේදනාව දැනුණ කාල සීමාවෙ ලබාගත්ත මහා රිදුම් කන්දරාව. ඒ රිදුම් අපිට මිඳෙන්න පාර කපලා දෙනවා. ඒ නිසා අපි⁣මිදෙන්න උත්සාහයක් දරනවා. 
අපට මේ ජීවිතේ කියන ඉස්කෝලෙන් විශ්ව විද්යාලෙකට ඇතුළත් වෙන්න අවස්ථා තුනක් ලැබෙනවා. ඒ තමයි, තමා වෙනුවෙන් ජීවත් වීම, අනුන් වෙනුවෙන් ජීවත් වීම, සම සමව තමාත් අනෙකාත් වෙනුවෙන් ජීවත් වීම. 
මේ අවස්ථා තුනෙන් එකක් පිළිබඳව අවබෝධයෙන් අවබෝධ කරගෙන තෝරාගැනීමක් කරලා ජීවත් වෙන්න පුළුවන්. මෙතනදි අපි තෝරගන්න ඔප්ශන් එක මොකක් වුණත් අපට අනුන් වෙනුවෙන් ජීවත් වෙන්න වෙනවාමයි. අනුන් වෙනුවෙන් කඳුළු සැලීම්, සිත් රිදවා ගැනීම්, වෙහෙස⁣වීම්, සතුටු⁣වීම් හැමදේම කරන්න වෙනවා. ජීවත් වීම සඳහා ආත්මාර්ථය තෝරගත්තත් ඒක එහෙම්මමයි.



හැබැයි, 
අමතක කරන්න එපා අනුන් වෙනුවෙන් ජීවත් වීම සතුටට කාරණාවක් බව... 
❝ Day by day I realize 
Everything u miss about you 
Was never there in the first place 
- the person I fell in love with was a mirage -❞

ගුරුගොඩ සිරිවිමල

Saturday, December 22, 2018

දරුවන් පැවිදි කිරීම හිංසනයක් ද?

 කුඩා දැරිවියන් දෙපළක් පැවිදි කිරීමත් ඒ දෙපළගේ ගිහි කල ඡායාරූපයකුත් මේ දිනවල මුහුණු පොතේ වැඩි වැඩියෙන් සංසරණය විනි. ඒ මතට විවිධ කැප්ෂන් යොදා තිබූ අතර සමහර ඒවායේ එය ළමා හිංසනයක් බවද සඳහන් කර තිබිනි. බෞද්ධ භික්ෂුවක් ලෙස මේ පිළිබඳව යම් පැහැදිලි කිරීමක් කිරීමට මට සිතේ. මෙය කියවීමේ දී හුදි ජනයාගේ හදවතට ඇටෑක් විය හැකි බවද මතක් කර සිටිමි. ඒ ගැන මා වග නොවෙමි. කුඩා දරුවන් සසුන් ගත කිරීමේදී අවැසි නෛතික ක්‍රියා පටිපාටිය Wasantha Siri Watagodaමහතාගේ වෝල් එකෙන් ඔබට කියවිය හැකිය. එහි දිගු ලියමනක් මේ වෙනුවෙන්ම වෙන් වීම සතුටට කරුණක් බවද සඳහන් කරමි. මම ද පැවිදි වන්නේ අවුරුදු 11 දී ඒ ද කුඩා වියේ දීය. මේ පිළිබඳව ගෙනෙන විවිධ මතිමතාන්තර විවිධයන් විසින් ලියා තිබුන ඒවා මා දිටිමි. "කන්න බොන්න නැති කමට" ,"ගෙදර තියාගන්න බැරි කාලකන්නි", ආදී වචන වලින් කුඩා දරුවන් මහණ කිරීම අර්ථ දැක්වූවන් දක්නට ලැබිනි. අ⁣ප නිවසේ ද අගහිඟකම් අදටත් ඇත. නමුත් මාගේ දැඩි පෙරැත්ත නිසා මා මහණ වූ වා මිස මවගේ පැරැත්ත නිසා මා මහණ වූවා නොවේ. ඇරත් ගෙදර සිටින දරුවකුට ලුණුයි බතුයි හෝ කන්න දී මවක් විසින් ඇති දැඩි නොකෙරේද? එනිසා කන්න බොන්න නැති කමට මහණ කරනවා යන්න ප්‍රලායකි. මිත්‍යාවකි. මම කුඩා කළ මහණ වූ පටන් යහපතක් මිස අයහපත් නොවීය. ඒ පිළිබඳව මාගේ ගුරු දේවයන්ට හිස නමා ආචාර කරන්නේ ගෞරව බහුමානයෙන් යුතුවය. බුද්ධ වචනයට අවනතව පාත්‍රයට වහන කපුටකු එළවාගැනීමට හැකි වියේ පසුවන දරුවකුනම් හේ මහණ කල හැකිය. තවද බුදුන් වහන්සේ විසින් පැවිදි කළ කුඩා දරුවන් ලෙස "සුනීත, සෝපාක, රාහුල " වැන්නන් පෙන්වා දිය හැකිය. මේ අයවලුන්ගෙන් සුනීතත් සෝපාකත් අගහිගකම් ඇති අයය. රාහුල එසේ නොවේ. රාහුල ශාක්‍ය වංශික සිදුහත්ගේ පුතුය. බුදුන් වහන්සේ ළමා අයිතිවාසිකම් කඩ කරාද? යන්න මීළඟ ප්‍රශ්නයයි. නූතන ළමා අයිතිවාසිකම් අතීතයෙන් අපට අනුමාන කළ නොහැකිය. නිරාගමික කිසිවකු විසින් නිවන නෑ කීවද බුදුන් ලඟ තිබූ උසස්ම දායාදය ඒ දරුවන්ට හිමි විනි. එනිසා එය ළමා හිංසනය යැයි කිව නොහැකිය. වර්ථමානයේ කුඩා දරුවන් පැවිදි කිරීම හිංසනයක්ද? යන්න ඊළඟ කරුණයි. වත්මනෙහි කුඩා දරුවන් පැවිදි කිරීම පිළිබඳව මට මෑතක වූ සිද්ධියකින් පැහැදිලි කර හැකිය. මා හදුනන සහෝදර පොඩිනමක් පසුගිය දා අපවත් වීය. ඒ පිළිකාවකින් වසර එකහමාරක් දෙකක් පමණ දුක් විදීමෙන් පසුවය. එහි දී උන්වහන්සේගේ ගුරුදේවයන් හැසිරුණ අයුරු නිසා මා ද ඇතුළුව බොහෝ දෙනා කළකිරීමට ලක් විනි. කුඩා දරුවකු මහණ වූ පසු එම දරුවාගේ මවත් පියාත් විය යුත්තේ ගුරු දේවයන්ය. ගුරු දේවයන් උන්වහන්සේ අත් හැරි පසු උන්වහන්සේට යන කළදසාව කුමක්ද? අවසන මාගේ ලොකුහාමුදුරුවන් උන්වහන්සේ අප විහාරස්ථානයට ගෙනැවිත් අපවත් වන තුරුම අැප උප සත්කාර කලේය. ඉහත කී පොඩිනම ළමා හිංසනයට ලක්විය. මීට අමතරව සිද්ධි බොහෝ ගනනක් ඇතත් ඒවා ලිවීම කෑ පතේ වසුරු කිරීම හා සමාන බැවින් නොලියමි. නොලියාම බැරි දේ පමණක් ලියමි. මා දන්නා තරමින් ළමා හිංසනය නොවන එකම තැන මාවරලේ භද්දිය හිමියන්ගේ ධර්ම නිකේතනය යි. උන්වහන්සේ තම ගෝලබාලයන්ට සලකන්නේ පියෙකු මෙනි. ඒ බව මටසැළ කලේ Sooriyawewa Sumedha තෙරුන්ය. වොශින් මැෂින් එකේ සිවුරු හෝදන එකම විහාරස්ථානය වන්නේ දැනුවත්ව මාවරලේ හිමියන්ගේ ධර්ම නිකේතනය යි. අනික් සැළකුම් ද එසේම ය. දරුවන්ගේ ළමා කාලය කිසිම අයුරකින් අවබාවිත නොවන සේ පැවිදි කොට සාසන චර්යාවෙහි යෙදීම කළ හැකි බවට කදිම නිදසුන වන්නේද එකී විහාරයයි. නමුත් මේ තත්වය හැම තැනම නොමැති වීම දුකට කරුණකි. කුඩා දරුවන් පැවිදි කිරීමෙන් උන්වහන්සේලා හෝ දායකයන් මෙකල සසුනෙන් ලබන නිවනක් නම් නොමැත්තේය. හයක් හතරක් නොදැන මහණ කොට බේත හේත පවා නොමැතිව මේ සසුන ඇතුලේ ජීවිතයත් මරණයත් අතර දරුවන්ට සටන් කිරීමට සිදුවන මොහොතක කාට හෝ වගවිය හැකිද? සසුනේ භාරකාරීත්වය ඇත්තේ හුදෙක් භික්ෂුවට පමණක් නොවේ. උපාසක උපාසිකා සහායද මෙය ගෙන යාමට අවැසිය. ගෞතම සාසනය නැති වෙලා කෙළවී පලයාන් යන අදහසින් මෙය අරුත් නොගැනිය යුතුය. කළ යුත්තේ ජීවත් වීමට වඩාත් සුදුසු වටපිටාවක් මේ තුළ නිර්මාණය කිරීමය. බොහෝ මැටි මෝලුන් පැවිදි කොට අළු ගසා බසා නැගිටින තැන ගෞතම බුද්ධ ශාසනය බවට පත්විය යුතුය. බොහෝ උගත් රටට සසුනට වැඩදායකව ජීවත් වූ භික්ෂූන් බොහෝ දෙනෙක් කන්න බොන්න නැතිව මහණ වී සාසනචර්යාවේ යෙදී ගොඩ නගා ගත් ජීවිතය අපට බැහැර කළ නොහැකිය. ඇරත් දානයට,පාංශුකූලයට සියක් නම බැගින් වඩමවා ගැනීමටනම් සසුන තුළ පිරිසක් සිටිය යුතුව ඇත. ඒ දායකයගේ සුඛ විහරණය ඒ වෙලාවට පමණක් සළසා ගන්නට සිතන බෞද්ධයන්ට ළමා අයිතිවාසිකම් ඒ වෙලාවට නොපෙනීම අරුමයට කරුණක්ද නොවේ. මමඋසස් පෙළ ලියන දිනයට පෙරදා බෝධි පූජා හයක් පමණ තබා ඇත. එදින ගිහි දරුවන් විබාගයට පාඩම් කරද්දී මට පමණක් අන්අයට විබාගයට සෙත් ශාන්තිය පිණිස බෝධි පූජා කිරීමට සිදු වීම අභාග්‍ය සම්පන්න සිද්ධියකි. බොහෝ පොඩිනමලාගේ තත්වයද එසේමය. මෙකළ සසුන තුළ පැවිදි වන ඕනෑම කුඩා දරුවකුට අවැසි රැකවරණය ලබා දීමට හැකි තැන්ද නොමැතිවාම නොවේ. නමුත් බහුතර පංසල් තුළ සිදු වන අකටයුතුකම් අතරින්, අතවරයට ලක්වීම ( පං⁣සලේ සෙල්ලම) රාත්‍රියට ආහාර නොදීම ගුටි බැට බැනුම් අඩු තක්සේරුව. මා දැක ඇති අකටයුතුකම්ය. අතවරයට ලක්වීම් ගැන මට අද්දැකීම් නැතත් එළියෙන් මා ලද තොරතුරු බොහෝ ඇත. උසාවි වල නඩු පවා ඇති භික්ෂූන් ඇත. රාත්‍රී ආහාරනම් අදවන විට බොහෝ තැන්වල ලබා දේ. නමුත් මේ දෙකම ගනං නොගෙන සිටියත් ගුටිබැට, බැනුම් , අඩුතක්සේරුව යන කරුණු කිසිම අයුරකින් බැහැර නොවේ. සසුන තුළ මෙවන් වතාවරණයක් උද්ගතව ඇති මොහොතක කුඩා දරුවන් මහණ කිරීම හිංසනයක් බව එක හෙළා පවසමි. ගුටිබැට හිරිහැරය, බැනුම් හිරිහැරය ලබන බොහෝ කුඩානමලාගේ මානසික තත්වයන් නිසා සිවුර හැර යාමත් සිවුර හළ පසු ඒ අයට අත්වන ජීවන ඉරණම ඉතා ⁣ශෝඛාන්තය. තම බළධාරීත්වය පෙන්වීමට ගෝල බාල ඔළුගෙඩි ටිකක් පෙන්වා ගැනීමට බොහෝ නායක හිමිවරුන්ගේ වියරු ආසාවන් නිසා දුෂ්කර පළාත්වලින් ගෙනැවිත් මහණ කොට ඉන්පසු කුළ කියමින් බනින අවස්ථා අප දැක ඇත. එවැනි අඩුතක්සේරුකරණය තුලින් මානසික පීඩාවන් , ඉගෙනීමටත් අන් කටයුතු වලටත් බාධා වීම ගැන වගකියන නායක හිමිවරුන් නැතිය. මා දන්නා තැනක කුඩා හිමිවරු වෙලාවට දානය වළදන්න ගිය පසු "තොපි වෙලාවට කන්නනම් එනවා" යනුවෙන්ද "පරක්කු වී ගිය විට ඒ නායක හිමියන් " තොපිට වෙලාවට කන්නවත් එන්න බෑ" යනුවෙන් පවසයි. ඒවිට කුඩා හිමිවරුන්ට තියෙන ඔප්ෂන් එක පිළිබඳව මටනම් පැහැදිලි නැත. තවද අම්මම්මෝ නැතිව බැන වදින ඉතාදැඩි පරුෂ වචනයෙන් කුඩා භික්ෂූන්ට බැනවදින ලොකු ස්වාමීන් වහන්සේලා අපමණය. අදින්නට සිවුර, කෑමට ආහාර, අවම පහසුකම්වත් නොමැතිව දිවි ගෙවන කුඩා ස්වාමීන් වහන්සේලා ඇත. සමහර විට අදුනන විහාරස්ථානයන්හි නායක හිමිවරුන්ට මේ පහසුකම් සලසීමට බැරිව නමුත් හැකි තරම් කුඩා භික්ෂූන් වෙනුවෙන් මෙහෙවර කරන නායක හිමිවරු ඇත. උන්වහන්සේලාටද මාගේ ආචාරය පුද කරමි. නමුත් තත්වය මීට වඩා හාත්පසින්ම වෙනස් ඉතා යහපත් ලොකු ස්වාමීන් වහන්සේලාද නැතිවාම නොවේ. මාගේ ලොකුහිමියන්ද ඉතා යහපත් බව
මෙතැනදීම ලියන්නේ කෘතවේදීත්වයෙන් යුතුවය. |


|ගුරුගොඩ සිරිවිමල


 ප:ලි. ඇයි මුස්ලිම්,කතෝලික අයගේ ලමා හිංසනය ගැන ලියන්නැත්තෙ කියල අහන්න එපා. ඒවත් ලියනව.

Wednesday, December 12, 2018

බුද්ධ සාසනේට ලොකුම හානිය කලේ වක්කලී හාමුදුරුවො ද?


සිප වැළඳ ගැනීම්, පේන්ඩ බැරි පිහියෙන් අනින ඒව ලොකු කර කර බලන මාර ධර්මිෂ්ඨ සමාජයක් තියෙන්නෙ කොහේද? ඒ ලංකාවය. 
කුඩා දැරිවියක් බුදු පිළිමයක් සිප වැළඳ ගැනීමේ සිද්ධියක් ඇතුලත් ඡායාරූපයක් fb හි සංසරණය විය. එය ඉතා ආදරණීය ඡායාරූපයක් බව කිව යුතුය. මම ද එය මාගේ කාළරේඛාව මත උඩුගත කරන්නේ යම් වැකියක්ද සහිතවයි. 
ඒ වැකියට සම්පූර්ණයෙන් ඇතුලත් වන්නේ බන්දුල නානායක්කාරවසම් ලියූ නිරෝශා විරාජිනී ගයන " සිනා තොටක් විය" ගීතයේ අන්තරා කොටසකි. එය කොයිතරම් එම ඡායාරූපයට ගැලපෙනවාද යන්න මගේ මනසෙහි අඳුනකි. 

කෙසේ වෙතත් ඒ සඳහා අදහස් පළ කල අයෙකු පවසා තිබුනේ මෙය සාසන විරෝධී බවත් එ් නිසා සාසනය පිරිහීමට පත්වන බවත්ය. 
2500 ය මාර කරගත්ත සමාජයකින් මම මෙවන් දේවල් බලාපොරොත්තු වෙමි. ඒක අවුලක් නැත. වක්කලී හාමුදුරුවො බුදුන්වහන්සේ දෙස බලාගෙන සිටි කළ බුදුන්වහන්සේ වක්කලී හාමුදුරුවන්ට "පක්සා ගාතයට දෙකක් ඇන පල යන්ඩ සාසනේ කන්නැතිව" යනුවෙන් පැවසුවේ නැත. උන්වහන්සේ කීවේ වක්කලී රූපය දෙස බලා ඵලක් නැත. ගොස් විදසුන් වඩා රහත් වන ලෙසයි. 
නමුත් අපි තවමත් දූපත් වාසී ප්‍රබල ගෝත්‍රිකයන් පිරිසකි'යි යන්න දිනෙන් දින උත්කර්ෂයට නගමින් සිටිති. සියල්ල භෞතිකව පෙන්වන්නට උත්සාහ කරණ ලෞකික ලෝකයා ලෝකෝත්තර අයකුට උවද සිය ආදරය පෙන්වන විදිය මේක බව ගෝත්‍රවාසී හුදී ජනයන්ට නොතේරීම දුකකි. 
බටහිර රටවල සිය ආදරය පෙන්වන අයුර මේ විදිහය. ඔවුන් වඩාත්ම කැමති පුද්ගලයා ප්‍රසිද්ධියේ සිප වැළඳ ගැනීම, එසේත් නැතිනම් ඔහුගේ රුව ඇතුලත් ඡායාරූපයක් සිය ඇඳුම ලෙස භාවිත කිරීම, වැඩි වැඩියෙන් දක්නට ලැබේ. 
ලෞකික මිනිස්සු එහෙමය. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියා වැළපි වැළපී හඬ හඬා සිටින සංස්කෘතියට වඩා එ් බටහිර සංස්කෘතිය සමඟ මටනම් පෞද්ගලිකව එකඟ විය හැකිය. පංසිල් නැති අපේ ලංකාවේ තලේබාන් බෞද්ධයන්ද දැනගත යුත්තේ ඒකය " සතුටින් සිනා සී ජීවත් වීමට අපද හුරු විය යුතුය.


තමා තුළ ඇති ගූඪ ගුප්ත වහල්කම තුලින් අනෙකාව මැන, ඒකාට පහර ගැසීමේ හුරුවේ ප්‍රතිඵල අප දිනෙක දැක ගත්තෙමු. ජඹුරේවල නැමති භික්ෂුවක් සපත්තු කඩයකට ගොස් නැංගුරමක ඡායාවක් තිබූ සෙරෙප්පුවකට එරෙහිව හඬ නැඟූ ඒ දැවැන්තමය අවස්ථාව හිරු නාලිකාව මඟින් දිටිමු. විදේශික කාන්තවක් සිය අතෙහි ගසාගෙන සිටි පච්චය ප්‍රශ්න කල ලංකාවාසී බොදු සැඳැහවතුන් හිතා ගෙන සිටින්නේ තමන් මෙන් අනිත් වුන්ද ආගම වෙනුවෙන් සිය අමුඪය පවා කැප කළ යුතු බවයි. ඒත් එහෙම එකක් නැත.
ඒ බෞද්ධයන්ගෙන් මේ ඉල්ලීම පමණක් කර මම නිහඬ වෙමි.
" ලංකාවේ සියළු බුදු පිළිම වහන්සේලා තිබෙන තැන් වලින් ඉවත් කරන්න, ඉඳිකර පහුවදා සිට කුසගින්නේ අව්වට වේලෙන, වැස්සට තෙමෙන බුදු පිළිම වහන්සේලා මක් කරන්නද? 
B.M.I.C.H ඉදිරිපිට ඉදිකර ඇති මහා හිටි පිළිම වහන්සේ ඉවත් කරන්න. කාක්කන්ට බෙටි දාන්ඩ බුදු පිළිම වහන්සේලා කුමට?
සියළු ධාතු තැන්පත් රුවන්මැලි සෑය වැනි මහා චෛත්‍ය රාජයන් කුමටද? සතේ පවා හම්බකරගෙන ඉන් බඩවියත රැක ගෙන බුදු දහම පවා ආර්ථික මාර්ගයක් කරගත් අපේ මාර බෞද්ධයිනි, ඒ චෛත්‍ය වහන්සේලා තව දුරටත් අපට කුමටද? චෛත්‍ය තියෙන්නේ සිය බඩ වියත රැක ගැන්මටද?
සියළු බෝධීන් වහන්සේලා ද ඉවත් කරන්න. මිනිස්සු මුළා කර කීයක් හරි හම්බ කරගන්නා බෝධි මාකට් රටකට අවැසි නැත. "

ඒවා ගැන මෙලෝ තැකීමක් නැති අපේ බෞද්ධයන් ට දැරිවියක් බුදු පිළිමයක් සිප ගැනීම පුදුම විදිහේ රිදුමක් ඇති කරන්නකි.
අනේ සාදූ!!!
|ගුරුගොඩ සිරිවිමල


Tuesday, December 11, 2018

|විනයක් නැති රටක

|Mawbima | Young -යං | පොඩි සාදුගේ ලියමන - Podisaduge liyamanaGurugoda siriwimala සංස්කරණය - Thiwanka Wishwanath Jayasekara
2018.12.11

|
විනයක් නැති රටක
විපරීත සමාජ දේහයකට අවැසි සියළු ඉඩ හසර දැන් දැන් අප ර⁣ට තුළ නිර්මාණය වෙමින් පවතී. අනෙකාව නොහදුන, ජඩ වූත් ඉතා ම්ලේච්ඡ වූත් මිනිස්සුන් නොමිනිස්කම් මිනිස්කම් නොදැන අයපත් සමාජයකට ඇවැසි අඩිතාලම සකසමින් පවතී. 

ළමා මනස ම්ලේච්ඡ තත්වයකට ඇඳ වැටීම මෙහි දරුණුම ඛේදවාචකයයි. මෙහි වගකීම බාරගත යුත්තේ කවුරුන්ද යන්න සාකච්ඡාවට බදුන් කළ යුතුය. 
පූජ්‍ය/පූජක පක්ෂය 
දෙමාපියන්
වැඩිහිටියන්
පාලකයන්
නිර්මාණ කරුවන්
පොදුවේ ⁣ගත් කළ මේ ප්‍රභේද කිරීම සියළු මහජනතාව යනුවෙන් නම් කල හැකිය. මේ නම් කිරීම් සමාජයක ඉදිරිපැවැත්ම සඳහා දැඩි වගකීමක් දරනු ඇත. 
පසුගිය දිනෙක සම වයස්වල ළමුන් දෙපළකගේ මත ගැටුමක් උත්සන්න වූ අවස්ථාවක එක් දරුවකු විසින් අනික් දරුවාට පිහියකින් ඇණ ඝාතනය වන සිද්ධියක සංස්කරණය නොකළ C C T V දර්ශන අපට දැක ගැනීමට හැකියාව ලැබිණ. ඒ ඛේදාන්තය දුටු සමහරකු තම වගකීම පැත්තක දමා එම දරුවන්ට අපහාස කර බැන වැදීමද, සමහරකු දරුවා සාධාරණීය කරණය කරනුද අප දුටුවෙමු. 
නමුත් මේ සිද්ධියෙන් පසු නැවත එවන් සිද්ධියක් නොවනු ඇතැයි අපට කිව හැකිද? 
මෙවන් සිදුවීම් මීට කලින් සිදු වී නැද්ද?
මෙවන් සිදුවීම් වලට කළ යුතු පිළියම් මොනවාද? යන පැනයන්ට අප උත්තර සොයාගෙන නැත. 
විනයන් නැති රටක මෙවන් සිදුවීම් අල්ප නොවනු ඇත. පොඩි දරුවන් අතින් වැඩහිටියන් ඝාතනය වීම, වැඩිහිටියන් ඇතින් පොඩි දරුවන් ඝාතනය වීම, වැඩිහිටියන් අතින් වැඩිහිටියන් ඝාතනය සම වයසේ අය විසින් සම වයසේ අය ඝාතනය වීමේ සිද්ධි ලෝකයේ සුළබය. මේ සියළු සිදුවීම් ඛේදාන්තය. ඒවා වැලැක්විය හැකි කාරණා නොවේ. දරුවකු අතින් දරුවකු ඝාතනය වීම පිළිබඳව පමණක් සංවේදී වීමත්. අන් සිදුවීම් කෙරෙහි අසංවේදී වීමත් තුළින් සමාජයක් යහපත් කළ නොහැකිය. 
විනයවත් සමාජයක් තුළ වුවද මෙවන් සිදුවීම් සිදු වේ. නමුත් සෑම රටකම පාහේ මෙවන් සිදුවීම් වැලැක්වීමට අවැසි ක්‍රියාමාර්ගත් මනෝ විද්‍යාත්මක ක්‍රමත් නෛතිකමය පැතිකඩත් සැකසී ඇත. අප රට තුළ වුවද සිදුවිය විය යුතු විනයමය සංස්කෘතියක් සකස්විය යුතුය. ඒ සඳහා ක්‍රියාත්මක විය යුතු අධිකාරිය ඉහත සඳහන් කළ පරිදිය.
ලංකාව අප සඳහන් කරන පරිද්දෙන් ආගමිකමය රාජ්‍යකි. එබැවින් පූජ්‍ය/පූජක පංතිය විසින් මේ සඳහා මැදහත්ව මැදිහත් විය යුතු වෙති. තම ශාස්තෲවරයා මේ සිදුවීම් පාලනය කිරීම සඳහා පෙන්වා දුන් දේශනාවන් ප්‍රායෝගිකව තම අනුගාමිකයන්ට දේශනා කළ යුත්තේ ශ්‍රාවකයන්ය. නමුත් වැඩිමනක් දහම් පාසල් ගිය අපරාධ කරුවන් සිරගෙදරද ඉන් පිටතද සැරිසරන රටක ආගමිකමය මැදිහත් වීම පරාජිත වී ඇති බව කිව යුතුව. 
විනයක් නොමැති රටක නැවත අලුතින් විනය හදනවානම් ඒ විනය සංස්කෘතියක් කල යුතු බව පොඩි සාදුගේ මතය යි. නමුත් අන් අන් වැරදි දෑ සංස්කෘතිය කරගනිමින් විකාර නටන වැඩිහිටියන් කළාකරුවන්, පාලකයන් ඉන්නා රටක විනය පිළිබඳව හීනයක් හෝ තිබෙන මහජනතාවක් සිටිය හැකිද?
පූජ්‍ය/පූජ්‍යකයන්, පාලකයන්, නිර්මාණ කරුවන්, වැඩිහිටියන්, යාමේදීත් ඊමේදීත් අශිෂ්ඨය, කෑමේදීත් බීමේදීත් අශිඨය, එවන් අවස්ථාවක රටක විනය හැදේවී යනුවෙන් සිහින ලොවක් අප ඉදිරියේ පතල වී ඇත්නම් එය අපගේ අවුලකි.

අවිනය විනය වී අැති සමාජයකට විනය කොඩි විණයකි
|ගුරුගොඩ සිරිවිමල


Tuesday, December 4, 2018

සිනහවෙන් හෝ කතා වෙන් බෑ මනින්නට මිනිසා

න වණ්ණ රූපෙන නරෝ සුජානෝ

න විස්සසේ ඉස්සරදස්සනේන
සුසඤ්ඤතානං හි වියඤ්ජනේන
අසඤ්ඤතා ලෝකමි මං චරන්ති”
-කෝසල සංයුත්තය -

පැහැයෙන් සටහනින් – මිනිසා නො දතැ හැක්කෙ යැ
මඳ දැක්මෙකින් පමණක් – නො විස්වස්නෙ යැ නො විමසැ
මොනවට දැමුණුවන් – ලකුණෙන් පිටත පෙනෙනා
නොදැමුණුවෝ ද හැසිරෙත් – බෙහෙවින් මෙ සත්ලෙව්හි

- බෞධ ළමයා -
විවිධාකාර මිනිස් වාසයන්ගෙන් ගහන ලෝකය කියන්නෙ අපූර්ව නවාතැන්පලක්. ඒ නවාතැන්පල ඇතුලෙ අපිට ජීවත් වෙන්න අවස්ථාව හිමිවෙලා තියෙනව. මේ අවස්ථාව අපි නිවැරදිව භාවිතයට ගන්නවද කියන එක ප්‍රශ්නාර්ථයක්. 
විනයක් නැති රටක අපි මිනිස්සු මනින්නෙ හරි අමුතු විදියට. හිනාවුනාම ඒ මනුස්සය හොඳ කෙනෙක් විදියට අපි විසින් මැන ගන්නව. ඒ හදුනාගැනීම් වැරදියි කියල බුදුන්වහන්සේ දේශනා කරනව. ඒ විතරක් නෙමෙයි. මිනිහෙක් හදුනාගන්න ක්‍රම හතරකුත් උන්වහන්සේ පෙන්වා දෙනව. මේ ක්‍රමයට මිනිස්සු හදුනගන්න විදිය අමාරුයි. හැබැයි හරි වැදගත්. 
සංවාසෙන ඛො, මහාරාජ, සීලං වෙදිතබ්‌බං
සංවොහාරෙන ඛො, මහාරාජ, සොචෙය්‍යං වෙදිතබ්‌බං.
ආපදාසු ඛො, මහාරාජ, ථාමො වෙදිතබ්‌බො.
සාකච්‌ඡාය ඛො, මහාරාජ, පඤ්‌ඤා වෙදිතබ්‌බා
සීලය
ව්‍යවහාරය
ශක්තිමත් බව
ප්‍රඥාව
කියන මේ හතරෙන් ඕනම මිනිහෙක්ගෙ යහපත්/අයහපත් බව මනින්න පුළුවන්. ඒක ලේසි පහසු දෙයක්නම් නෙමෙයි. 
ඕනම කෙනෙක්ගෙ සීලය මනින්න තියෙන ක්‍රමයක් තමයි එකට වාසය කිරීම. ව්‍යවහාරය මනින්න තියෙන හොඳම ක්‍රමය කතාබහ කිරීම. ශක්තිමත් බව මනින්න තියෙන එකම ක්‍රමය ඔහුට පැමිණෙන විපත් කෙරෙහි මුහුණ දෙන ආකාරය දෙස බලා හිදීම. ප්‍රඥාව මැනීමටනම් ඔහු සමඟ සාකච්ඡා කළ යුතු වෙනව. 
ඒත් අපි මනුස්සයෙකු හදුන ගන්නෙ මෙහෙමද? 
අපි මිනිස්සු හදුනගන්න සාමාන්‍ය ක්‍රම වේදය ඇඳුම. සූට් එක යට කරපු, පොලිෂ් කරපු සපත්තු දාන, ටයි එක පලදින ඕනම කෙනෙක්ට මහත්තය කියනව විතරක් නෙමේ එයා හොඳ කෙනෙක් කියන්නත් අපි පෙළඹෙනව. ඒ වගේම කොණ්ඩය අවුල් කරගත්ත රැවුල් වවාගත්ත චේන් පොටක් දාගත්ත කෙනෙක්ට අපි කියන්නෙ නසරානියෙක් කියල. නමුත් ඇත්තටම සූට් එක යට කරල අදින කෙනා පල් හොරෙක් වෙන්නත් බැරි නෑ. ජාතික අැඳුම ඇඳගත්ත පාර්ලිමේන්තුවෙ ඉන්න හුගක් ඇමතිවරු හොරු කියන එක අද ප්‍රසිද්ධ රහසක්. 
ලංකාවෙ මිනිස්සු මිනිස්සු හඳුනාගන්නා ක්‍රමේවේදයේ තරම අපිට පැහැදිලි වෙන තමයි පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුවෙ බහුතරය නූගත්, අසික්ෂිත, හරිහමන් චරිතයක් නැති මිනිස්සු. හැබැයි එයාල ඔක්කොම සුදු අඳිනව. 
සත්තජටිල සූත්‍රයෙ තියෙන විශේෂ ගාථාවක් මට මතක් වෙනව.

පතිරූපකො මත්‌තිකාකුණ්‌ඩලොව,
ලොහඩ්‌ඪමාසොව සුවණ්‌ණඡන්‌නො
චරන්‌ති ලොකෙ පරිවාරඡන්‌නා
අන්‌තො අසුද්‌ධා බහි සොභමානා
සමහර මැටි භාජන තියෙනව. ඒව රත්‍රං වලිං ආලේප කරපුවම හරි ලස්සනයි. ඇත්ත තනි රත්‍රං වගේ. ඒත් ඇත්තටම තියෙන්නෙ මැටි ගොඩක්. අන්න ඒ මැටි ගොඩ වගේ මිනිස්සු බොහෝවිට හරි ජෙන්ට්ල්මන් ල වෙන්න හදනව. රන් රිදී පලදනව. ඇදුමෙන් බහුශ්‍රැත වෙන්න හදනව. ඇත්ත යථාර්ථය එයාල එහෙම නෑ.

රැවටෙන්න එපා!


|ගුරුගොඩ සිරිවිමල