Friday, June 1, 2018

පාවිච්චි වෙන්න ඕන විදිහ කසාවත දරන අය දැනගත යුතුයි


පාවිච්චි වෙන්න ඕන විදිහ කසාවත දරන අය දැනගත යුතුයි | ගුරුගොඩ සිරිවිමල හිමි
01. කවියෙක් වෙන්න කවි පොතක් රචනා කරන්න අවශ්‍යමද?
ඒක අත්‍යවශ්‍යක් නෙමේ. හැබැයි කවිය සමාජගත කරන එකත් කවියාගෙම වගකීමක් වෙන නිසා පොතක් කිරීමෙන් වරදක් සිද්ධ වෙන්නෙ නෑ.කවියා කියන්නෙ පොත් ලියන කෙනෙක්ට නෙමෙයි.කවි ලියන කෙනෙක්ට.කොටිම්ම කිව්වොත් ජීවිතය එක්ක එන හැඟීම් වලට පණ දෙන කෙනෙක්ට.හැබැයි වෙන කෙනෙක්ට කියවන්නනම් පොතක් හෝ මුද්‍රිත හෝ සයිබර් අවකාශය පාවිච්චි කරන්නම ඕන.
02. ඔබ අනෙක් හැම කවියෙකුගෙම කවි කියවනවාද?
විශේෂයක් කරන්නෙ නෑ. මුහුණු පොතේදි දකින කවි කියවනව. ඒ වගේම ශාස්ත්‍රීය වශයෙන් ලියැවුන කවි පිළිබඳව ලිපි ලේඛන සහ ආධුනික ප්‍රවීණ භේදයකින් තොරව පළවන හැම කවි පොතක්ම වෙලාවක් තියෙන වෙලාවට කියවනව.
ඒ වගේම තමයි ෆේස්බුක් එකේ කවි කියවද්දි මම ප්‍රවර්ග කරගත්ත කිහිප දෙනෙක් ඉන්නව.ඒ අයගේ කවි සර්ච් කරල හරි සතියකට වතාවක් කියවනව.
හැම කවියෙකුගෙම කවි කියවන්න ඕන කියල නීතියක් හෝ රීතියක් නෑනෙ.
03.පද තුන හතරක් ලියල අර්ථවත් ආකාරයකට කවියක් රචනා කර ගත හැකිද?
අනිවාර්යයෙන්ම පුළුවන්. ඕකට හොඳම උදාහරණයක් තියෙනව.මතක විදියට ලියන්නෙ ලක්ෂාන්ත අතුකෝරල කවියා.
"ඔයා
නාගෙන එනකොට
මාව
කිළිටි වෙනව"
මේව කවි නෙමේද? වචන තුන් හාරසීයක් විතර මිඬංගු කරන කවියකට වඩා මේ කවි රහයි.
උපේක්ෂා ඉමාලි තරුණ කිවිඳිය පළකරන සුසුම් නාඳුනන අප දෙදෙන කියන කවිපොතේ තියෙනව
" සීරුම් පහරකි
වම් අතේ කෙළවර
අනුන්ගේ මඟුල් මුද්දකින්
අහම්බෙන් සිදුවුන"
මේවත් කවි ම තමයි.
හයිකු, කෙටි කවි කියල වෙනම කවි කලාවක් පවා තියෙනව.
කෙටියෙන්ම කිව්වොත් " ඔව් , ලියන්න පුළුවන් " කියන උත්තරේ තමයි මට දෙන්න තියෙන්නෙ.
04. කවියො ඇයි ගොඩක් ප්‍රේමය , විරහව , රාගය ගැනම රචනා කරන්නෙ?
කවියෙක්ට මුලින්ම දැනෙන දේ තමයි ඕක. ප්‍රේමය,විරහව, රාගය , මේ දේවල් ගතානුගතිකව බැළුවොත් අවුල් වගේ තමයි. ඔය විශයන් වලදි මම විවිධ ප්‍රවණතා දකිනව. සහ ඔය ගැන විවේචනයක් තියෙනව.
එකක් තමයි ප්‍රේමය , විරහව , රාගය , කියන විශයන් තුන ගැන කවි ලියන ගොඩක් අය ලියන්නෙ ෆේස්බුක් එකේ. ඕවට සමහර අය කියනව මල් කවි කියලත්. ඒක ලියන අයගේ කැමැත්ත වුනාට ඔතනදි වෙන ලොකුම හානිය තමයි තව කෙනෙක් ඒ කවිය බලාගෙන එයාගෙ අද්දැකීමක් ලියනව.අන්තිමට ඒක අපබ්‍රංසයක් වෙනව.
තව කොටසක් ඔය විශයන් තුනම අදාල කරගෙන කවි ලියනව.ඒව කියවන මිනිස්සු ප්‍රඥාවට පත්වෙනව. ඒ කියන්නෙ ඔය විශයන් තුන ගැන ගැඹුරු අවබෝධයකින් තමයි දෙවනි කොටසෙ අය කවි ලියන්නෙ.
අපිට ගොඩක් වෙලාවට කවි මුණගැහෙන්නෙ ෆේස්බුක් හරහා. ඒ මුණ ගැහෙන්නෙ කවි දහයක්නම් ඒකෙන් අටක් නමයක්ම ප්‍රේමය , විරහව ,රාගය වගේ විෂයන් මුල් කරගෙන ලිව්ව ගැඹුරු කියැවීමක් නැති කවි. ඒ තරමටම ඔය කියන විශය බරපත අපයෝජනයකට ලක් වෙලා තියෙනව.
ඔය විශයන් තුනෙන්ම කවි ලිවීම අවුලක් නෙමෙයි. හැබැයි ඒ ගැනම පතුරු ගහන එකනම් අවුල් .මම ඒකට එකඟ නෑ කියන්නෙ ගතානුගතික තැනක ඉදගෙන නෙමෙයි.වෙනත් කියැවීමක ඉන්න නිසා.සැබෑ කවියෙක්ට ඔය මාතෘකා තුනෙන් එහාට යන්න පුළුවන් වෙන්න ඕන.
05. කසාවත කවි සිස්ටම් එකට බදාවක් නෙවේද?
සැබෑ කසාවතට බාධාවක් නෙමෙයි. ඒත් සමහර උපාසක උපාසිකාවන් හදාගෙන තියෙනවනෙ ෆැන්ටසි ටිකක්. අන්න ඒ ෆැන්ටසි වලටනම් සැබෑම බාධාවක් තමයි කසාවතක් දරාගෙන කවි ලිවීම. යතිවර පරපුර කාව්‍ය සාහිත්‍ය පෝෂණය කෙරුව.එතනම දිගුවක් විදිහට තමයි මමත් අනෙක් හිමිවරුනුත් කවි ලියන්නෙ. එතනදි පාවිච්චි වෙන්න ඕන විදිහ කසාවත දරණ අය දැනගත යුතුයි.
06. මහා සංඝරත්නය ගන්න ආතල් එකත් එක්ක ගෞතමගේ ඔරිජිනල් රීඩින් එකට මොකද වෙන්නෙ?
ආතල් ගන්නව කියන චෝදනාව හැම භික්ෂුවක් කෙරෙහිම තබන්න බෑ.හැබැයි වගකීමෙන් කියනව බහුතර මහා සංඝරත්නය ගන්නෙ ආතල් එකක් තමයි කියල. ඔය කියන බහුතරය විසින් තව කාලයක් ආතල් එක ගත්තොත් ඔරිජිනල් රීඩින් එක නැත්තටම නැති වෙලා බුද්ධාගමත් දේවාගමක් වගේ වෙයි.
Gurugoda Siriwimala | කවි බස | රාවය



2 comments: