Thursday, December 27, 2018

අනුන් වෙනුවෙන් ජීවත් වෙන්න

සංස්කරණය - Thiwanka Wishwanath Jayasekara
අනුන් වෙනුවෙන් ජීවත් වෙන්න
ජීවිතේ හැම තැනකම අපට තියෙන්නෙ පාඩම් ඉගෙන ගන්න. මොහොතින් මොහොත වෙනස් වීම් ඈත් වීම් එක්ක අපඅට ජීවිතේ කියන්නෙ ඉස්කෝලයක්. ඒක ඇතුළෙ අපට මහා පාඩම් ඉගෙන ගන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ පාඩම් ඉගෙන ගන්නැතිව අපට අනාගතය පාස් කරගන්න අපහසුයි. 

අපි ඉපදුණ දවසෙ ඉඳන් නිකමට මතක් කරලා බැලුවොත් අපි ලබාගෙන තියෙන්නෙ අද්දැකීම්. පුද්ගලයො, වස්තු හැමදේම වෙනස් වෙමින් පවතිනවා මේ මොහොතෙදිත්. මේ ගෙවෙන මොහොත අතීතයට එක්වෙද්දි ඒක පාඩමක් වෙන්නෙ ඒ නිසයි. ඒ වෙනස්වීම අපේ අනාගතයට අපූර්වත්වයක් එක් කරාවි. නිසැකවම. 

මේ ජීවිතේට හම්බෙලා තියෙන කිසිම මිනිහෙක් අපේ ජීවිතයට වෙනස්කමක් කරල නෑ කියලා සහතික වෙන්න බෑ. හොඳ හෝ නරක විපර්යාසයක් මඟින් අපේ ජීවිතයට ඒ අය යම් බලපෑමක් කරලා තියෙනවා. ඒක හොඳ හෝ නරක වෙන්නෙ අපේ සිතුම් පැතුම් අනුව. එතන තමයි වැදගත්ම කාරණය ⁣තියෙන්නෙ. අපි හිතං ඉන්නවා නම් අපේ ජීවිතයට එන අය අපට ඕන දේ කරන්න ඕන කියලා ඒක වැරැදි ආකල්පයක්. කවදාවත් වෙන්නැති වැඩක්. එයාලා දැනුවත්ව හෝ නොදැනුවත්ව එයාලා එයාලට ඕන දේම මිසක් අපට ඕන දේ කරන්නෑ. ඒ නිසා ඒ අතීතයේ ගිය අය දිහා වැරැදි විදිහට බලනවනම් ඒක වැරැදියි. 
දැනෙන හැම වේදනාවක්ම අපට මිදීම සඳහා පාඩමක් කියලා දෙනවා. ඒ වේදනාව දැනුණ කාල සීමාවෙ ලබාගත්ත මහා රිදුම් කන්දරාව. ඒ රිදුම් අපිට මිඳෙන්න පාර කපලා දෙනවා. ඒ නිසා අපි⁣මිදෙන්න උත්සාහයක් දරනවා. 
අපට මේ ජීවිතේ කියන ඉස්කෝලෙන් විශ්ව විද්යාලෙකට ඇතුළත් වෙන්න අවස්ථා තුනක් ලැබෙනවා. ඒ තමයි, තමා වෙනුවෙන් ජීවත් වීම, අනුන් වෙනුවෙන් ජීවත් වීම, සම සමව තමාත් අනෙකාත් වෙනුවෙන් ජීවත් වීම. 
මේ අවස්ථා තුනෙන් එකක් පිළිබඳව අවබෝධයෙන් අවබෝධ කරගෙන තෝරාගැනීමක් කරලා ජීවත් වෙන්න පුළුවන්. මෙතනදි අපි තෝරගන්න ඔප්ශන් එක මොකක් වුණත් අපට අනුන් වෙනුවෙන් ජීවත් වෙන්න වෙනවාමයි. අනුන් වෙනුවෙන් කඳුළු සැලීම්, සිත් රිදවා ගැනීම්, වෙහෙස⁣වීම්, සතුටු⁣වීම් හැමදේම කරන්න වෙනවා. ජීවත් වීම සඳහා ආත්මාර්ථය තෝරගත්තත් ඒක එහෙම්මමයි.



හැබැයි, 
අමතක කරන්න එපා අනුන් වෙනුවෙන් ජීවත් වීම සතුටට කාරණාවක් බව... 
❝ Day by day I realize 
Everything u miss about you 
Was never there in the first place 
- the person I fell in love with was a mirage -❞

ගුරුගොඩ සිරිවිමල

Saturday, December 22, 2018

දරුවන් පැවිදි කිරීම හිංසනයක් ද?

 කුඩා දැරිවියන් දෙපළක් පැවිදි කිරීමත් ඒ දෙපළගේ ගිහි කල ඡායාරූපයකුත් මේ දිනවල මුහුණු පොතේ වැඩි වැඩියෙන් සංසරණය විනි. ඒ මතට විවිධ කැප්ෂන් යොදා තිබූ අතර සමහර ඒවායේ එය ළමා හිංසනයක් බවද සඳහන් කර තිබිනි. බෞද්ධ භික්ෂුවක් ලෙස මේ පිළිබඳව යම් පැහැදිලි කිරීමක් කිරීමට මට සිතේ. මෙය කියවීමේ දී හුදි ජනයාගේ හදවතට ඇටෑක් විය හැකි බවද මතක් කර සිටිමි. ඒ ගැන මා වග නොවෙමි. කුඩා දරුවන් සසුන් ගත කිරීමේදී අවැසි නෛතික ක්‍රියා පටිපාටිය Wasantha Siri Watagodaමහතාගේ වෝල් එකෙන් ඔබට කියවිය හැකිය. එහි දිගු ලියමනක් මේ වෙනුවෙන්ම වෙන් වීම සතුටට කරුණක් බවද සඳහන් කරමි. මම ද පැවිදි වන්නේ අවුරුදු 11 දී ඒ ද කුඩා වියේ දීය. මේ පිළිබඳව ගෙනෙන විවිධ මතිමතාන්තර විවිධයන් විසින් ලියා තිබුන ඒවා මා දිටිමි. "කන්න බොන්න නැති කමට" ,"ගෙදර තියාගන්න බැරි කාලකන්නි", ආදී වචන වලින් කුඩා දරුවන් මහණ කිරීම අර්ථ දැක්වූවන් දක්නට ලැබිනි. අ⁣ප නිවසේ ද අගහිඟකම් අදටත් ඇත. නමුත් මාගේ දැඩි පෙරැත්ත නිසා මා මහණ වූ වා මිස මවගේ පැරැත්ත නිසා මා මහණ වූවා නොවේ. ඇරත් ගෙදර සිටින දරුවකුට ලුණුයි බතුයි හෝ කන්න දී මවක් විසින් ඇති දැඩි නොකෙරේද? එනිසා කන්න බොන්න නැති කමට මහණ කරනවා යන්න ප්‍රලායකි. මිත්‍යාවකි. මම කුඩා කළ මහණ වූ පටන් යහපතක් මිස අයහපත් නොවීය. ඒ පිළිබඳව මාගේ ගුරු දේවයන්ට හිස නමා ආචාර කරන්නේ ගෞරව බහුමානයෙන් යුතුවය. බුද්ධ වචනයට අවනතව පාත්‍රයට වහන කපුටකු එළවාගැනීමට හැකි වියේ පසුවන දරුවකුනම් හේ මහණ කල හැකිය. තවද බුදුන් වහන්සේ විසින් පැවිදි කළ කුඩා දරුවන් ලෙස "සුනීත, සෝපාක, රාහුල " වැන්නන් පෙන්වා දිය හැකිය. මේ අයවලුන්ගෙන් සුනීතත් සෝපාකත් අගහිගකම් ඇති අයය. රාහුල එසේ නොවේ. රාහුල ශාක්‍ය වංශික සිදුහත්ගේ පුතුය. බුදුන් වහන්සේ ළමා අයිතිවාසිකම් කඩ කරාද? යන්න මීළඟ ප්‍රශ්නයයි. නූතන ළමා අයිතිවාසිකම් අතීතයෙන් අපට අනුමාන කළ නොහැකිය. නිරාගමික කිසිවකු විසින් නිවන නෑ කීවද බුදුන් ලඟ තිබූ උසස්ම දායාදය ඒ දරුවන්ට හිමි විනි. එනිසා එය ළමා හිංසනය යැයි කිව නොහැකිය. වර්ථමානයේ කුඩා දරුවන් පැවිදි කිරීම හිංසනයක්ද? යන්න ඊළඟ කරුණයි. වත්මනෙහි කුඩා දරුවන් පැවිදි කිරීම පිළිබඳව මට මෑතක වූ සිද්ධියකින් පැහැදිලි කර හැකිය. මා හදුනන සහෝදර පොඩිනමක් පසුගිය දා අපවත් වීය. ඒ පිළිකාවකින් වසර එකහමාරක් දෙකක් පමණ දුක් විදීමෙන් පසුවය. එහි දී උන්වහන්සේගේ ගුරුදේවයන් හැසිරුණ අයුරු නිසා මා ද ඇතුළුව බොහෝ දෙනා කළකිරීමට ලක් විනි. කුඩා දරුවකු මහණ වූ පසු එම දරුවාගේ මවත් පියාත් විය යුත්තේ ගුරු දේවයන්ය. ගුරු දේවයන් උන්වහන්සේ අත් හැරි පසු උන්වහන්සේට යන කළදසාව කුමක්ද? අවසන මාගේ ලොකුහාමුදුරුවන් උන්වහන්සේ අප විහාරස්ථානයට ගෙනැවිත් අපවත් වන තුරුම අැප උප සත්කාර කලේය. ඉහත කී පොඩිනම ළමා හිංසනයට ලක්විය. මීට අමතරව සිද්ධි බොහෝ ගනනක් ඇතත් ඒවා ලිවීම කෑ පතේ වසුරු කිරීම හා සමාන බැවින් නොලියමි. නොලියාම බැරි දේ පමණක් ලියමි. මා දන්නා තරමින් ළමා හිංසනය නොවන එකම තැන මාවරලේ භද්දිය හිමියන්ගේ ධර්ම නිකේතනය යි. උන්වහන්සේ තම ගෝලබාලයන්ට සලකන්නේ පියෙකු මෙනි. ඒ බව මටසැළ කලේ Sooriyawewa Sumedha තෙරුන්ය. වොශින් මැෂින් එකේ සිවුරු හෝදන එකම විහාරස්ථානය වන්නේ දැනුවත්ව මාවරලේ හිමියන්ගේ ධර්ම නිකේතනය යි. අනික් සැළකුම් ද එසේම ය. දරුවන්ගේ ළමා කාලය කිසිම අයුරකින් අවබාවිත නොවන සේ පැවිදි කොට සාසන චර්යාවෙහි යෙදීම කළ හැකි බවට කදිම නිදසුන වන්නේද එකී විහාරයයි. නමුත් මේ තත්වය හැම තැනම නොමැති වීම දුකට කරුණකි. කුඩා දරුවන් පැවිදි කිරීමෙන් උන්වහන්සේලා හෝ දායකයන් මෙකල සසුනෙන් ලබන නිවනක් නම් නොමැත්තේය. හයක් හතරක් නොදැන මහණ කොට බේත හේත පවා නොමැතිව මේ සසුන ඇතුලේ ජීවිතයත් මරණයත් අතර දරුවන්ට සටන් කිරීමට සිදුවන මොහොතක කාට හෝ වගවිය හැකිද? සසුනේ භාරකාරීත්වය ඇත්තේ හුදෙක් භික්ෂුවට පමණක් නොවේ. උපාසක උපාසිකා සහායද මෙය ගෙන යාමට අවැසිය. ගෞතම සාසනය නැති වෙලා කෙළවී පලයාන් යන අදහසින් මෙය අරුත් නොගැනිය යුතුය. කළ යුත්තේ ජීවත් වීමට වඩාත් සුදුසු වටපිටාවක් මේ තුළ නිර්මාණය කිරීමය. බොහෝ මැටි මෝලුන් පැවිදි කොට අළු ගසා බසා නැගිටින තැන ගෞතම බුද්ධ ශාසනය බවට පත්විය යුතුය. බොහෝ උගත් රටට සසුනට වැඩදායකව ජීවත් වූ භික්ෂූන් බොහෝ දෙනෙක් කන්න බොන්න නැතිව මහණ වී සාසනචර්යාවේ යෙදී ගොඩ නගා ගත් ජීවිතය අපට බැහැර කළ නොහැකිය. ඇරත් දානයට,පාංශුකූලයට සියක් නම බැගින් වඩමවා ගැනීමටනම් සසුන තුළ පිරිසක් සිටිය යුතුව ඇත. ඒ දායකයගේ සුඛ විහරණය ඒ වෙලාවට පමණක් සළසා ගන්නට සිතන බෞද්ධයන්ට ළමා අයිතිවාසිකම් ඒ වෙලාවට නොපෙනීම අරුමයට කරුණක්ද නොවේ. මමඋසස් පෙළ ලියන දිනයට පෙරදා බෝධි පූජා හයක් පමණ තබා ඇත. එදින ගිහි දරුවන් විබාගයට පාඩම් කරද්දී මට පමණක් අන්අයට විබාගයට සෙත් ශාන්තිය පිණිස බෝධි පූජා කිරීමට සිදු වීම අභාග්‍ය සම්පන්න සිද්ධියකි. බොහෝ පොඩිනමලාගේ තත්වයද එසේමය. මෙකළ සසුන තුළ පැවිදි වන ඕනෑම කුඩා දරුවකුට අවැසි රැකවරණය ලබා දීමට හැකි තැන්ද නොමැතිවාම නොවේ. නමුත් බහුතර පංසල් තුළ සිදු වන අකටයුතුකම් අතරින්, අතවරයට ලක්වීම ( පං⁣සලේ සෙල්ලම) රාත්‍රියට ආහාර නොදීම ගුටි බැට බැනුම් අඩු තක්සේරුව. මා දැක ඇති අකටයුතුකම්ය. අතවරයට ලක්වීම් ගැන මට අද්දැකීම් නැතත් එළියෙන් මා ලද තොරතුරු බොහෝ ඇත. උසාවි වල නඩු පවා ඇති භික්ෂූන් ඇත. රාත්‍රී ආහාරනම් අදවන විට බොහෝ තැන්වල ලබා දේ. නමුත් මේ දෙකම ගනං නොගෙන සිටියත් ගුටිබැට, බැනුම් , අඩුතක්සේරුව යන කරුණු කිසිම අයුරකින් බැහැර නොවේ. සසුන තුළ මෙවන් වතාවරණයක් උද්ගතව ඇති මොහොතක කුඩා දරුවන් මහණ කිරීම හිංසනයක් බව එක හෙළා පවසමි. ගුටිබැට හිරිහැරය, බැනුම් හිරිහැරය ලබන බොහෝ කුඩානමලාගේ මානසික තත්වයන් නිසා සිවුර හැර යාමත් සිවුර හළ පසු ඒ අයට අත්වන ජීවන ඉරණම ඉතා ⁣ශෝඛාන්තය. තම බළධාරීත්වය පෙන්වීමට ගෝල බාල ඔළුගෙඩි ටිකක් පෙන්වා ගැනීමට බොහෝ නායක හිමිවරුන්ගේ වියරු ආසාවන් නිසා දුෂ්කර පළාත්වලින් ගෙනැවිත් මහණ කොට ඉන්පසු කුළ කියමින් බනින අවස්ථා අප දැක ඇත. එවැනි අඩුතක්සේරුකරණය තුලින් මානසික පීඩාවන් , ඉගෙනීමටත් අන් කටයුතු වලටත් බාධා වීම ගැන වගකියන නායක හිමිවරුන් නැතිය. මා දන්නා තැනක කුඩා හිමිවරු වෙලාවට දානය වළදන්න ගිය පසු "තොපි වෙලාවට කන්නනම් එනවා" යනුවෙන්ද "පරක්කු වී ගිය විට ඒ නායක හිමියන් " තොපිට වෙලාවට කන්නවත් එන්න බෑ" යනුවෙන් පවසයි. ඒවිට කුඩා හිමිවරුන්ට තියෙන ඔප්ෂන් එක පිළිබඳව මටනම් පැහැදිලි නැත. තවද අම්මම්මෝ නැතිව බැන වදින ඉතාදැඩි පරුෂ වචනයෙන් කුඩා භික්ෂූන්ට බැනවදින ලොකු ස්වාමීන් වහන්සේලා අපමණය. අදින්නට සිවුර, කෑමට ආහාර, අවම පහසුකම්වත් නොමැතිව දිවි ගෙවන කුඩා ස්වාමීන් වහන්සේලා ඇත. සමහර විට අදුනන විහාරස්ථානයන්හි නායක හිමිවරුන්ට මේ පහසුකම් සලසීමට බැරිව නමුත් හැකි තරම් කුඩා භික්ෂූන් වෙනුවෙන් මෙහෙවර කරන නායක හිමිවරු ඇත. උන්වහන්සේලාටද මාගේ ආචාරය පුද කරමි. නමුත් තත්වය මීට වඩා හාත්පසින්ම වෙනස් ඉතා යහපත් ලොකු ස්වාමීන් වහන්සේලාද නැතිවාම නොවේ. මාගේ ලොකුහිමියන්ද ඉතා යහපත් බව
මෙතැනදීම ලියන්නේ කෘතවේදීත්වයෙන් යුතුවය. |


|ගුරුගොඩ සිරිවිමල


 ප:ලි. ඇයි මුස්ලිම්,කතෝලික අයගේ ලමා හිංසනය ගැන ලියන්නැත්තෙ කියල අහන්න එපා. ඒවත් ලියනව.

Wednesday, December 12, 2018

බුද්ධ සාසනේට ලොකුම හානිය කලේ වක්කලී හාමුදුරුවො ද?


සිප වැළඳ ගැනීම්, පේන්ඩ බැරි පිහියෙන් අනින ඒව ලොකු කර කර බලන මාර ධර්මිෂ්ඨ සමාජයක් තියෙන්නෙ කොහේද? ඒ ලංකාවය. 
කුඩා දැරිවියක් බුදු පිළිමයක් සිප වැළඳ ගැනීමේ සිද්ධියක් ඇතුලත් ඡායාරූපයක් fb හි සංසරණය විය. එය ඉතා ආදරණීය ඡායාරූපයක් බව කිව යුතුය. මම ද එය මාගේ කාළරේඛාව මත උඩුගත කරන්නේ යම් වැකියක්ද සහිතවයි. 
ඒ වැකියට සම්පූර්ණයෙන් ඇතුලත් වන්නේ බන්දුල නානායක්කාරවසම් ලියූ නිරෝශා විරාජිනී ගයන " සිනා තොටක් විය" ගීතයේ අන්තරා කොටසකි. එය කොයිතරම් එම ඡායාරූපයට ගැලපෙනවාද යන්න මගේ මනසෙහි අඳුනකි. 

කෙසේ වෙතත් ඒ සඳහා අදහස් පළ කල අයෙකු පවසා තිබුනේ මෙය සාසන විරෝධී බවත් එ් නිසා සාසනය පිරිහීමට පත්වන බවත්ය. 
2500 ය මාර කරගත්ත සමාජයකින් මම මෙවන් දේවල් බලාපොරොත්තු වෙමි. ඒක අවුලක් නැත. වක්කලී හාමුදුරුවො බුදුන්වහන්සේ දෙස බලාගෙන සිටි කළ බුදුන්වහන්සේ වක්කලී හාමුදුරුවන්ට "පක්සා ගාතයට දෙකක් ඇන පල යන්ඩ සාසනේ කන්නැතිව" යනුවෙන් පැවසුවේ නැත. උන්වහන්සේ කීවේ වක්කලී රූපය දෙස බලා ඵලක් නැත. ගොස් විදසුන් වඩා රහත් වන ලෙසයි. 
නමුත් අපි තවමත් දූපත් වාසී ප්‍රබල ගෝත්‍රිකයන් පිරිසකි'යි යන්න දිනෙන් දින උත්කර්ෂයට නගමින් සිටිති. සියල්ල භෞතිකව පෙන්වන්නට උත්සාහ කරණ ලෞකික ලෝකයා ලෝකෝත්තර අයකුට උවද සිය ආදරය පෙන්වන විදිය මේක බව ගෝත්‍රවාසී හුදී ජනයන්ට නොතේරීම දුකකි. 
බටහිර රටවල සිය ආදරය පෙන්වන අයුර මේ විදිහය. ඔවුන් වඩාත්ම කැමති පුද්ගලයා ප්‍රසිද්ධියේ සිප වැළඳ ගැනීම, එසේත් නැතිනම් ඔහුගේ රුව ඇතුලත් ඡායාරූපයක් සිය ඇඳුම ලෙස භාවිත කිරීම, වැඩි වැඩියෙන් දක්නට ලැබේ. 
ලෞකික මිනිස්සු එහෙමය. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියා වැළපි වැළපී හඬ හඬා සිටින සංස්කෘතියට වඩා එ් බටහිර සංස්කෘතිය සමඟ මටනම් පෞද්ගලිකව එකඟ විය හැකිය. පංසිල් නැති අපේ ලංකාවේ තලේබාන් බෞද්ධයන්ද දැනගත යුත්තේ ඒකය " සතුටින් සිනා සී ජීවත් වීමට අපද හුරු විය යුතුය.


තමා තුළ ඇති ගූඪ ගුප්ත වහල්කම තුලින් අනෙකාව මැන, ඒකාට පහර ගැසීමේ හුරුවේ ප්‍රතිඵල අප දිනෙක දැක ගත්තෙමු. ජඹුරේවල නැමති භික්ෂුවක් සපත්තු කඩයකට ගොස් නැංගුරමක ඡායාවක් තිබූ සෙරෙප්පුවකට එරෙහිව හඬ නැඟූ ඒ දැවැන්තමය අවස්ථාව හිරු නාලිකාව මඟින් දිටිමු. විදේශික කාන්තවක් සිය අතෙහි ගසාගෙන සිටි පච්චය ප්‍රශ්න කල ලංකාවාසී බොදු සැඳැහවතුන් හිතා ගෙන සිටින්නේ තමන් මෙන් අනිත් වුන්ද ආගම වෙනුවෙන් සිය අමුඪය පවා කැප කළ යුතු බවයි. ඒත් එහෙම එකක් නැත.
ඒ බෞද්ධයන්ගෙන් මේ ඉල්ලීම පමණක් කර මම නිහඬ වෙමි.
" ලංකාවේ සියළු බුදු පිළිම වහන්සේලා තිබෙන තැන් වලින් ඉවත් කරන්න, ඉඳිකර පහුවදා සිට කුසගින්නේ අව්වට වේලෙන, වැස්සට තෙමෙන බුදු පිළිම වහන්සේලා මක් කරන්නද? 
B.M.I.C.H ඉදිරිපිට ඉදිකර ඇති මහා හිටි පිළිම වහන්සේ ඉවත් කරන්න. කාක්කන්ට බෙටි දාන්ඩ බුදු පිළිම වහන්සේලා කුමට?
සියළු ධාතු තැන්පත් රුවන්මැලි සෑය වැනි මහා චෛත්‍ය රාජයන් කුමටද? සතේ පවා හම්බකරගෙන ඉන් බඩවියත රැක ගෙන බුදු දහම පවා ආර්ථික මාර්ගයක් කරගත් අපේ මාර බෞද්ධයිනි, ඒ චෛත්‍ය වහන්සේලා තව දුරටත් අපට කුමටද? චෛත්‍ය තියෙන්නේ සිය බඩ වියත රැක ගැන්මටද?
සියළු බෝධීන් වහන්සේලා ද ඉවත් කරන්න. මිනිස්සු මුළා කර කීයක් හරි හම්බ කරගන්නා බෝධි මාකට් රටකට අවැසි නැත. "

ඒවා ගැන මෙලෝ තැකීමක් නැති අපේ බෞද්ධයන් ට දැරිවියක් බුදු පිළිමයක් සිප ගැනීම පුදුම විදිහේ රිදුමක් ඇති කරන්නකි.
අනේ සාදූ!!!
|ගුරුගොඩ සිරිවිමල


Tuesday, December 11, 2018

|විනයක් නැති රටක

|Mawbima | Young -යං | පොඩි සාදුගේ ලියමන - Podisaduge liyamanaGurugoda siriwimala සංස්කරණය - Thiwanka Wishwanath Jayasekara
2018.12.11

|
විනයක් නැති රටක
විපරීත සමාජ දේහයකට අවැසි සියළු ඉඩ හසර දැන් දැන් අප ර⁣ට තුළ නිර්මාණය වෙමින් පවතී. අනෙකාව නොහදුන, ජඩ වූත් ඉතා ම්ලේච්ඡ වූත් මිනිස්සුන් නොමිනිස්කම් මිනිස්කම් නොදැන අයපත් සමාජයකට ඇවැසි අඩිතාලම සකසමින් පවතී. 

ළමා මනස ම්ලේච්ඡ තත්වයකට ඇඳ වැටීම මෙහි දරුණුම ඛේදවාචකයයි. මෙහි වගකීම බාරගත යුත්තේ කවුරුන්ද යන්න සාකච්ඡාවට බදුන් කළ යුතුය. 
පූජ්‍ය/පූජක පක්ෂය 
දෙමාපියන්
වැඩිහිටියන්
පාලකයන්
නිර්මාණ කරුවන්
පොදුවේ ⁣ගත් කළ මේ ප්‍රභේද කිරීම සියළු මහජනතාව යනුවෙන් නම් කල හැකිය. මේ නම් කිරීම් සමාජයක ඉදිරිපැවැත්ම සඳහා දැඩි වගකීමක් දරනු ඇත. 
පසුගිය දිනෙක සම වයස්වල ළමුන් දෙපළකගේ මත ගැටුමක් උත්සන්න වූ අවස්ථාවක එක් දරුවකු විසින් අනික් දරුවාට පිහියකින් ඇණ ඝාතනය වන සිද්ධියක සංස්කරණය නොකළ C C T V දර්ශන අපට දැක ගැනීමට හැකියාව ලැබිණ. ඒ ඛේදාන්තය දුටු සමහරකු තම වගකීම පැත්තක දමා එම දරුවන්ට අපහාස කර බැන වැදීමද, සමහරකු දරුවා සාධාරණීය කරණය කරනුද අප දුටුවෙමු. 
නමුත් මේ සිද්ධියෙන් පසු නැවත එවන් සිද්ධියක් නොවනු ඇතැයි අපට කිව හැකිද? 
මෙවන් සිදුවීම් මීට කලින් සිදු වී නැද්ද?
මෙවන් සිදුවීම් වලට කළ යුතු පිළියම් මොනවාද? යන පැනයන්ට අප උත්තර සොයාගෙන නැත. 
විනයන් නැති රටක මෙවන් සිදුවීම් අල්ප නොවනු ඇත. පොඩි දරුවන් අතින් වැඩහිටියන් ඝාතනය වීම, වැඩිහිටියන් ඇතින් පොඩි දරුවන් ඝාතනය වීම, වැඩිහිටියන් අතින් වැඩිහිටියන් ඝාතනය සම වයසේ අය විසින් සම වයසේ අය ඝාතනය වීමේ සිද්ධි ලෝකයේ සුළබය. මේ සියළු සිදුවීම් ඛේදාන්තය. ඒවා වැලැක්විය හැකි කාරණා නොවේ. දරුවකු අතින් දරුවකු ඝාතනය වීම පිළිබඳව පමණක් සංවේදී වීමත්. අන් සිදුවීම් කෙරෙහි අසංවේදී වීමත් තුළින් සමාජයක් යහපත් කළ නොහැකිය. 
විනයවත් සමාජයක් තුළ වුවද මෙවන් සිදුවීම් සිදු වේ. නමුත් සෑම රටකම පාහේ මෙවන් සිදුවීම් වැලැක්වීමට අවැසි ක්‍රියාමාර්ගත් මනෝ විද්‍යාත්මක ක්‍රමත් නෛතිකමය පැතිකඩත් සැකසී ඇත. අප රට තුළ වුවද සිදුවිය විය යුතු විනයමය සංස්කෘතියක් සකස්විය යුතුය. ඒ සඳහා ක්‍රියාත්මක විය යුතු අධිකාරිය ඉහත සඳහන් කළ පරිදිය.
ලංකාව අප සඳහන් කරන පරිද්දෙන් ආගමිකමය රාජ්‍යකි. එබැවින් පූජ්‍ය/පූජක පංතිය විසින් මේ සඳහා මැදහත්ව මැදිහත් විය යුතු වෙති. තම ශාස්තෲවරයා මේ සිදුවීම් පාලනය කිරීම සඳහා පෙන්වා දුන් දේශනාවන් ප්‍රායෝගිකව තම අනුගාමිකයන්ට දේශනා කළ යුත්තේ ශ්‍රාවකයන්ය. නමුත් වැඩිමනක් දහම් පාසල් ගිය අපරාධ කරුවන් සිරගෙදරද ඉන් පිටතද සැරිසරන රටක ආගමිකමය මැදිහත් වීම පරාජිත වී ඇති බව කිව යුතුව. 
විනයක් නොමැති රටක නැවත අලුතින් විනය හදනවානම් ඒ විනය සංස්කෘතියක් කල යුතු බව පොඩි සාදුගේ මතය යි. නමුත් අන් අන් වැරදි දෑ සංස්කෘතිය කරගනිමින් විකාර නටන වැඩිහිටියන් කළාකරුවන්, පාලකයන් ඉන්නා රටක විනය පිළිබඳව හීනයක් හෝ තිබෙන මහජනතාවක් සිටිය හැකිද?
පූජ්‍ය/පූජ්‍යකයන්, පාලකයන්, නිර්මාණ කරුවන්, වැඩිහිටියන්, යාමේදීත් ඊමේදීත් අශිෂ්ඨය, කෑමේදීත් බීමේදීත් අශිඨය, එවන් අවස්ථාවක රටක විනය හැදේවී යනුවෙන් සිහින ලොවක් අප ඉදිරියේ පතල වී ඇත්නම් එය අපගේ අවුලකි.

අවිනය විනය වී අැති සමාජයකට විනය කොඩි විණයකි
|ගුරුගොඩ සිරිවිමල


Tuesday, December 4, 2018

සිනහවෙන් හෝ කතා වෙන් බෑ මනින්නට මිනිසා

න වණ්ණ රූපෙන නරෝ සුජානෝ

න විස්සසේ ඉස්සරදස්සනේන
සුසඤ්ඤතානං හි වියඤ්ජනේන
අසඤ්ඤතා ලෝකමි මං චරන්ති”
-කෝසල සංයුත්තය -

පැහැයෙන් සටහනින් – මිනිසා නො දතැ හැක්කෙ යැ
මඳ දැක්මෙකින් පමණක් – නො විස්වස්නෙ යැ නො විමසැ
මොනවට දැමුණුවන් – ලකුණෙන් පිටත පෙනෙනා
නොදැමුණුවෝ ද හැසිරෙත් – බෙහෙවින් මෙ සත්ලෙව්හි

- බෞධ ළමයා -
විවිධාකාර මිනිස් වාසයන්ගෙන් ගහන ලෝකය කියන්නෙ අපූර්ව නවාතැන්පලක්. ඒ නවාතැන්පල ඇතුලෙ අපිට ජීවත් වෙන්න අවස්ථාව හිමිවෙලා තියෙනව. මේ අවස්ථාව අපි නිවැරදිව භාවිතයට ගන්නවද කියන එක ප්‍රශ්නාර්ථයක්. 
විනයක් නැති රටක අපි මිනිස්සු මනින්නෙ හරි අමුතු විදියට. හිනාවුනාම ඒ මනුස්සය හොඳ කෙනෙක් විදියට අපි විසින් මැන ගන්නව. ඒ හදුනාගැනීම් වැරදියි කියල බුදුන්වහන්සේ දේශනා කරනව. ඒ විතරක් නෙමෙයි. මිනිහෙක් හදුනාගන්න ක්‍රම හතරකුත් උන්වහන්සේ පෙන්වා දෙනව. මේ ක්‍රමයට මිනිස්සු හදුනගන්න විදිය අමාරුයි. හැබැයි හරි වැදගත්. 
සංවාසෙන ඛො, මහාරාජ, සීලං වෙදිතබ්‌බං
සංවොහාරෙන ඛො, මහාරාජ, සොචෙය්‍යං වෙදිතබ්‌බං.
ආපදාසු ඛො, මහාරාජ, ථාමො වෙදිතබ්‌බො.
සාකච්‌ඡාය ඛො, මහාරාජ, පඤ්‌ඤා වෙදිතබ්‌බා
සීලය
ව්‍යවහාරය
ශක්තිමත් බව
ප්‍රඥාව
කියන මේ හතරෙන් ඕනම මිනිහෙක්ගෙ යහපත්/අයහපත් බව මනින්න පුළුවන්. ඒක ලේසි පහසු දෙයක්නම් නෙමෙයි. 
ඕනම කෙනෙක්ගෙ සීලය මනින්න තියෙන ක්‍රමයක් තමයි එකට වාසය කිරීම. ව්‍යවහාරය මනින්න තියෙන හොඳම ක්‍රමය කතාබහ කිරීම. ශක්තිමත් බව මනින්න තියෙන එකම ක්‍රමය ඔහුට පැමිණෙන විපත් කෙරෙහි මුහුණ දෙන ආකාරය දෙස බලා හිදීම. ප්‍රඥාව මැනීමටනම් ඔහු සමඟ සාකච්ඡා කළ යුතු වෙනව. 
ඒත් අපි මනුස්සයෙකු හදුන ගන්නෙ මෙහෙමද? 
අපි මිනිස්සු හදුනගන්න සාමාන්‍ය ක්‍රම වේදය ඇඳුම. සූට් එක යට කරපු, පොලිෂ් කරපු සපත්තු දාන, ටයි එක පලදින ඕනම කෙනෙක්ට මහත්තය කියනව විතරක් නෙමේ එයා හොඳ කෙනෙක් කියන්නත් අපි පෙළඹෙනව. ඒ වගේම කොණ්ඩය අවුල් කරගත්ත රැවුල් වවාගත්ත චේන් පොටක් දාගත්ත කෙනෙක්ට අපි කියන්නෙ නසරානියෙක් කියල. නමුත් ඇත්තටම සූට් එක යට කරල අදින කෙනා පල් හොරෙක් වෙන්නත් බැරි නෑ. ජාතික අැඳුම ඇඳගත්ත පාර්ලිමේන්තුවෙ ඉන්න හුගක් ඇමතිවරු හොරු කියන එක අද ප්‍රසිද්ධ රහසක්. 
ලංකාවෙ මිනිස්සු මිනිස්සු හඳුනාගන්නා ක්‍රමේවේදයේ තරම අපිට පැහැදිලි වෙන තමයි පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුවෙ බහුතරය නූගත්, අසික්ෂිත, හරිහමන් චරිතයක් නැති මිනිස්සු. හැබැයි එයාල ඔක්කොම සුදු අඳිනව. 
සත්තජටිල සූත්‍රයෙ තියෙන විශේෂ ගාථාවක් මට මතක් වෙනව.

පතිරූපකො මත්‌තිකාකුණ්‌ඩලොව,
ලොහඩ්‌ඪමාසොව සුවණ්‌ණඡන්‌නො
චරන්‌ති ලොකෙ පරිවාරඡන්‌නා
අන්‌තො අසුද්‌ධා බහි සොභමානා
සමහර මැටි භාජන තියෙනව. ඒව රත්‍රං වලිං ආලේප කරපුවම හරි ලස්සනයි. ඇත්ත තනි රත්‍රං වගේ. ඒත් ඇත්තටම තියෙන්නෙ මැටි ගොඩක්. අන්න ඒ මැටි ගොඩ වගේ මිනිස්සු බොහෝවිට හරි ජෙන්ට්ල්මන් ල වෙන්න හදනව. රන් රිදී පලදනව. ඇදුමෙන් බහුශ්‍රැත වෙන්න හදනව. ඇත්ත යථාර්ථය එයාල එහෙම නෑ.

රැවටෙන්න එපා!


|ගුරුගොඩ සිරිවිමල


Tuesday, November 20, 2018

විමසා නොබලන රජ යහපත් නොවේ.

|Mawbima | Young -යං | පොඩි සාදුගේ ලියමන - Podisaduge liyamana| Gurugoda siriwimala
සංස්කරණය - Thiwanka Wishwanath Jayasekara
2018.11. 20
|විමසා නොබලන රජ යහපත් නොවේ

අලසෝ ගිහී කාම භෝගී නසාදු
අසඤ්ඤතො පබ්බජිතෝ නසාදු
රාජා නසාදූ අනිසම්මකාරී
යො පණ්ඩිතො කොදනොතං නසාදු

මේ ජාතක පාලියේ රථලට්ඨ ජාතකයෙ දැක්වෙන ගාථාවක්. මේකෙ තේරුම මෙහෙමයි.
"අලස වූ කාමභෝගී ගිහියා යහපත් නොවේ. අසංවර වූ පැවිද්දා යහපත් නොවේ. විමසා නොබලා ක්‍රියා කරන පාලකයා යහපත් නොවේ. යම් පණ්ඩිතයෙක් කේ‍රා්ධ කෙරේ නම් ඔහුගේ ඒ ක්‍රෝධය කිපෙනසුලු බව යහපත් නොවේ"
ලාංකීය ජනජීවිතය බලාත්මක වෙන්නෙ කොටස් හතරක් ඇතුලෙ. ලංකාව විතරක් කිව්වට ලෝකෙ ඕනම රටක් මේ හතර ඇතුලෙ තමා බ⁣ලාත්මක වෙන්නෙ. 
මහජනතාව
ආගමිකත්වය
රජු
බුද්ධිමතුන්
කියන මේ කොටස් හතර තමයි රටක පැවැත්ම. මේ හතර කොටස ගැන බුදුන්වහන්සේ කරපු විවරණයක් තමයි උඩ දි මම සඳහන් කරපු ගාථාව.
මේ ගාථාව මට මතක් වෙන්නෙ මේ දවස් වල ලංකාවෙ අවිනිශ්චිත දේශපාලනයේ වියරුව දැකල. මම මීට අවුරුදු ගානකට කලිං දහම් පාසලේ ලමයිට මේ ගාථාව කියල දුන්න හැටි මගෙ මතකෙට එනව. මේ ගාථාව ඉගෙන ගත්ත ලමයි මේ රටේ යහපත වෙනුවෙන් කැප වීම ගැන මට පෞද්ගලිකව ගොඩක් සතුටුයි. 
මේ ගාථාව උගන්වද්දි එක ලමයෙක් මගෙන් ප්‍රශ්නයක් ඇහුව. "හාමුදුරුවනේ, මහජනතාව, පූජ්‍ය පක්ෂය, රජතුමා, කියන කොටස් තුන ගොන්නු වෙලා බුද්ධිමත් පිරිස වෙනම හිටියම හරිද? ඒ ඒ මගෙ මූණට හිනාවක් ගේන ප්‍රශ්නයක් ඇහුවේ. හැබැයි විමර්ශනශීලී දරුවෙක්. 
ඇත්තෙන්ම නැහැ. හැමෝම බුද්ධිමත් වෙන්න ඕන. හැබැයි බුද්ධිමත් කියන ප්‍රභේදයට රාමු කරපු මිනිස්සු ටික තමා රටේ සංවර්ධනයට මූලිකව යෝජනා ගේන්නෙත් ක්‍රියාත්මක කරන්නෙත්. උදාරණයක් විදියට ගත්තොත් පාර්ලිමේන්තුවෙ ඉන්න ඕන ඒ වගේ අය. පාර්ලිමේන්තුවෙ එහෙම අය නොහිටියම ඒ පාර්ලිමේන්තුවෙයි ගමේ හන්දියෙයි වෙනසක් නැතිව යනව.
සුකුරුත්තං ආයිත්තම් වගේ ෆැන්ටසි වල ජීවත් වෙන සාමාන්‍ය ජනතාව අලස නොවිය යුතුයි. තමාගේත් රටේත් සංවර්ධනය පිණිස එයාල වෙහෙස විය යුතුයි. සමාජය පසු නොබසින තරමටම රටේ ආර්ථිකය වගේම සදාචාරය සංස්කෘතිය නොපිරිහී පවතින්න ප්‍රධාන හේතුව මහජනතාව කියන මහා සාධකය. 
දෙවනි එක ආගමිකත්වය. රටක ආධ්‍යාත්මික වශයෙන් නියම මිනිහෙක් නිර්මාණය කිරීමේ වගකීම තියෙන්නෙ පූජ්‍ය පූජක පංතියට. එයාල එයාලගෙ වගකීම නිසිවිදියට කරගෙන යද්දි රටේ අභෞතික ප්‍රශ්න ටික විසදෙනව. මනුෂ්‍යත්වය කියන සාධකය මත මිනිස්සු නිවැරදි වෙන්නෙ නිවැරදි ආගමික සංකල්පයන් තුලින්. ආගමික පක්ෂය කෲර වෙද්දි සමාජ ධර්ම නැත්තටම නැති වෙලා යනව. ඒ නිසා පැවිද්දෙකුට අසංවර බව වටින්නෙත් නෑ. 
රජතුමා කියන්නෙ රට ගැන , රට යන දිශානතිය ගැන වැදගත්ම තීරණ ගන්න කෙනා. සියළු මහජනතාවට, ආගමිකත්වයට, රාජ්‍යත්වයට, බුද්ධිමතුන්ට වගකිව යුත්තා වෙන්නෙ රටේ ප්‍රධාන පුරවැසියා. උදාරණයක් විදියට ගත්තොත් රටේ ජනාධිපතිවරයා. රටේ ජනාධිපති වරයා නිවැරදි තීරණ ගන්නෙක් විය යුතුයි. යසලාලක පන්නයේ රජවරු පහළ වෙද්දි රටේ සංවර්ධනය, ජන ජීවිතය අඩාල වෙලා රට නන්නත්තාර වෙලා යනව. හරියට ලංකාවෙ මේ මොහොතෙ තත්වය වගේ. 
බුද්ධිමත් කොටස රටේ සංවර්ධනයට මුල පුරන නව යෝජනා ගෙනෙන වෙනස්ව හිතන පිරිස. ඒ අයගේ හැකියාවන් තෝරගෙන රජතුමා විසින් ඒ අයට සුදුසු ස්ථානයක් ⁣දුන්නම එයාල එයාලගෙ වගකීම කරගෙන යන්න ඒ අය බැඳී ඉන්නව. පාර්ලිමේන්තුව වගේ තැනක බුද්ධිමත් පිරිස වැඩි වුනාම රටක් සංවර්ධනය වෙන්නෙ බලාගෙන ඉන්නැද්දි. ඒ අය වැරදි තීරණ ගත්තම රට දෙකඩ වෙනව. තැනින් තැන නාය යනව. කොටිම්ම කිව්වොත් රටේ බුද්ධිමතුන්ගේ අතේ තමයි මුළු මහත් ජනතාවගේම අනාගතය පාලනය වෙන්නෙ. ඒ පාලනය කෙරෙන අත මහළු, ඉතා දුර්වල, උනාම රටට විශාල කොඩිවිනයක් බවට ඒ අය පත් වෙනව. 

දැන් තියෙන්නෙ මේ රටේ ඒ තත්වය. මේක නිවැරදි කරගන්න පුළුවන් වෙන්නෙත් ඉහත කිව්ව කොටස් හතරෙම සමගි සම්පන්න භාවයෙන්ම විතරයි.

|ගුරුගොඩ සිරිවිමල


Sunday, November 18, 2018

මේ අපි ජීවත් විය යුතු රට

කන බත් ඇටෙත් දේශපාලනය ගෑවිලා එතිල හොස්පිට්ල් එකට යන්න වෙන රටක ඉන්න අපිට සමහරු කියනව දේශපාලනය කතා කරන්න එපා කියල. 
ආදරෙන් කියන්නෙ මෙච්චරයි. අපි ඉපදෙද්දි තිබුන රට නෙමේ දැන් තියෙන්නෙ. මේක වෙනස් කරන්න පුළුවන් වෙන්නෙත් අපේ නැගිටීමෙන් විතරයි. මහින්ද ද රනිල් ද කියන එක නෙමේ වැදගත් වෙන්නෙ. මේ රටේ භූමිය ආරක්ෂා කරන නිවැරදි තීරණ ගන්න ජනතාව⁣ ගැන හිතල තීරණ ගන්න පාලනයක් අපිට මේ වෙලාවෙ අවශ්‍යයි. 
තියෙන තත්වය ගැන නම් ගම් දේශපාලනය නැතිව ලිව්වම UNP කාරය කියල බනිනව. ආගමික අන්තවාදය ගැන ලිව්වම JVP කාරය කියල බයිනව. ආගමික පඩංගු වලට හා කියල වැදගෙන ඉන්නවනම් වූ සෝයි. හරි කියුට්. ඉයා මරු රටට අදෙරෙයි. අරකයි මේකයි. හෙන කතන්දර. මේක තමයි ගැලවෙන්න බැරි මූලික ප්‍රශ්නය. 
මහින්ද = පොහොට්ටුව; මෛත්‍රීපාල = අත ; රනිල් = අලිය ; මේ සලකුණු ඔළුවෙ තියාගෙන නන්නත්තාර වෙලා ඉන්න මිනිස්සු අපි අපක්ෂපාතීව ලිව්වම මේකෙ ඇවිල්ල වැලලෙන්ඩ හදනව. අපිවත් වලලන්ඩ හදනව.  මේක ඔළුවෙන් තේරුම් ගන්න තරුණ පිරිසක් දැන් රටේ ඉන්නව. ඒ තරුණ පිරිස නිසා මගෙ හිතේ තවමත් මේ රට ගොඩනගන්න පුළුවන් කියන හීන බලාපොරොත්තුවක් තියෙනව. 
අඳුරට සාප කරද්දි ඒ අඳුරට අපි හුරේ දානව වෙනුවට ඒකට සාප කරන්න එකතු වෙන්න. මේ අඳුර නිවන්න වෙනස්ව හිතන තරුණ බුද්ධිමත් පිරිසකට හැකියාව තියෙනව. ඒ අයට ඉඩ දෙන්න. 
තාමත් බඩ ගැන හිතන, ප්‍රජාතන්ත්‍රවාදය එපා කියන, පෙට්‍රල් ලීටරේ ගැන හිතන ජනතාවක් වෙන්න එපා. මේ රටට නිවැරදි ප්‍රතිපත්ති තියෙනවද? මේ රටට අනාගතය ගැන මොනාද තියෙන යෝජනා? මේ රටේ ඔයාලගෙ දරුවො උපදින්න ඕන, ජීවත් වෙන්න ඕන, මැරෙන්න ඕන. ඒ ටික තේරුම් ගන්න. මේ මොහොතෙ තෙල් ටික අඩු කරාය, අරක අඩු කරාය, අර නිදහස දුන්නය කියල මේ රටේ තියෙන මහා ප්‍රශ්න ටික විසදෙන්නෙ නෑ. එහෙම ඔළුව තියෙන නායකයො ටිකක් ගැන මම පෞද්ගලිකව දෑස දල්වගෙන බලාගෙන ඉන්නව. එහෙම යෝජනා........කියන මහළු මිනිහගෙ තරුණ  ඔළුවෙ තියෙනව. ඒ වගේම තමා ....... කියන මහල්ලගෙ තරුණ හිතේ තියෙනව. මම ඒ දෙන්න වෙනුවෙන් කඩේ යන්නෙ නෑ. හැබැයි ඒ අය ⁣ගැන මගෙ හිතේ ආසාවක් තියෙනව.             
මේ රට අලුත් රටක් විදියට නූතන සමාජය එක්ක හැප්පෙන්න පුළුවන් යෝජනා ටික තියෙන්නෙ ඔය දෙන්න ලග කියල මම දැනුවත් වෙච්ච කොටස් ඇතුලෙ තියෙනව. 
හැමදාම පරාජිත වෙන ආගමික, සංස්කෘතික කාරණා මත පදනම් වෙලා මම පරාද වෙන්න ලෑස්ති නෑ. 
අද එකඟ වෙන්න බැරි යෝජනා වල තියෙන ප්‍රතිඵල අපිට අනාගතයෙදි දකින්න පුළුවන් වෙයි.
❝මේ රට ගැන මට කට පියං ඉදපන් කියන්න එපා. මේක මගෙත් රට.❞                   
*පහත පිංතූරය මමත් ඔයත් ජීවත් වෙන රටේ රට වෙනුවෙන් තීරණය ගන්න 
පාර්ලිමේන්තුවෙ වර්ථමාන තත්වය


|ගුරුගොඩ සිරිවිමල

Thursday, November 15, 2018

ඔබේ සිනාමුව මඬළ

|Mawbima | Young -යං | පොඩි සාදුගේ ලියමන - Podisaduge liyamana| Gurugoda siriwimala ; සංස්කරණය - Wishwanath Jayasekara
2018.10.13
|ඔබේ සිනා මුව මඬළ

සිනහවක් කියන්නෙ මිනිසා කියන වස්තුවෙ නිර්මාණාත්මක බව. හිනාවෙන්න බැරි මිනිස්සු ව්‍යාජයි. එහෙමයි කියල හිනාවෙන හැම කෙනෙක්මත් මාර වෙන්නෑ.
මේ ළගදි පොඩි සාදු සුන්දර අද්දැකීමකට මුහුණ දුන්න. ඒක මුල් කරගෙන තමා මේ ලියමන ලියන්න පෙ⁣ළඹෙන්නෙ. ලොකු කාලයක් තිස්සෙ මගෙ මුහුණු පොතේ හිටිය වැඩිමහල් මිතුරියක් ඇය සමඟ ලොකු සබතාවයක් නොතිබුනත් ඇයගේ නිර්මාණයන් විවිධ අවස්ථාවලදි රසවින්ද. ඒ වගේම ඇයත් මගේ විවිධ ලියමන් රසවින්ද. දවසක් ඇය මට පෞද්ගලිකව පණිවිඩයක් එවනව. " පොඩිහාමුදුරුවො ..... ගමේ නේද? මම ඔව් යනුවෙන් ප්‍රතිපිළිතුරු දුන්න.
මට මතකයි ඔබවහන්සේව.....කුඩා කාලයේ ඉදන් නේද ඔය පිරිවෙනේ ඉන්නෙ...
ඔව් අක්කෙ.. කුඩා කාලයෙ ඉදම්ම තමයි.... අක්කට කොහොමද එච්චර මතකයක්.
මට මතකයි කුඩා කාලෙ ඔබවහන්සේගේ හිනාව.


හිනා⁣වක් කියන්නෙ තව කෙනෙක් අදුනගන්න වගේම මතකයේ රැදෙන්න තරම්ම හඳුනාගැනීමේ ඒකකයක්. ඒ හරහා මිනිස්සුන්ගෙ හදවතේ සියුම් තැනක ගුලි ගැහිල තැම්පත් වෙලා ඉන්න අපිට පුළුවන්.

වෙළඳ ලෝකයේ හිනාව මාකටින් වැඩක් කියල අපි හැමෝම දන්නව. හිනාව පාදක කරගෙන විවිධ වෙළඳ දැන්වීම් පවා නිර්මාණය වෙන්නෙ මාකටින් වල ප්‍රතිඵලයක් නිසා.
ඒ වගේම තමා හිනාව කියන්නෙ තව කෙනෙක්ගෙ ආත්ම විශ්වාසය හා සතුට වඩවන දෙයක්.
මග්දලේනා යෙහෝවා දෙවියන්ගෙ සාක්ෂි කාරියක්. නාට්සි දේශපාලනික අදහස් ප්‍රතික්ෂේප කරපු නිසා එයාවයි එයාගේ පවුලේ අයවයි ජර්මනියේ රාවන්ස්බෲක් ගාල් කඳවුරේ හිර කළා. අතීතය මතක් කරමින් එයා මෙහෙම කිව්වා. “කඳවුරේ හිටපු හමුදා භටයන් සමහර වෙලාවට කා එක්කවත් කතා කරන්න අපිට ඉඩ දුන්නේ නැහැ. හැබැයි අපි ඇස්වලින් කතා කරපු එක නතර කරන්න එයාලට බැරි වුණා. මගේ අම්මාගෙයි නංගිගෙයි මුහුණේ තිබුණු සිනහව දැක්කාම මගේ ආත්ම විශ්වාසය වැඩි වෙලා හැම දෙයක්ම දරාගන්න මගේ හිතට ලොකු ශක්තියක් ආවා.”
හිනාව කියන්නෙ නිර්වචනයක් දෙන්න බැරි විශාල අරුතක් ගැබ් වෙලා තියෙන දෙයක්.
'හසිතේන'' යනුවෙන් ඉත්ථි බන්ධන හා පුරිස බන්ධන සූත්‍රද්වයයේ දී පෙන්වා දෙන්නේ සිනහව ස්‌ත්‍රී පුරුෂ ආකර්ෂණයේ එක්‌ අංගයක්‌ බවයි.
හිනාවෙන් මිනිස්සු මරන්න බෑ. හැබැයි ජීවත් කරවන්න පුළුවන්. තව කෙනෙකුට හිනාවක් දෙන්න පුළුවන් වෙන්නෙත් මනුස්සයෙකුටම විතරයි. ඔරවගෙන, බිම් බලාගෙන යන අද්භූත මිනිස්සු අතරෙ හිනාවීගෙන සතුට පුරවගෙන ඉන්න මිනිස්සු දකින්න අපි ආස වෙන්න ඕන. ඒක සමහර විට වාසනාවක්. ඒ වගේම තමයි. හිනාවෙන්න බැරි ඔරවගෙන යන මිනිස්සුන්ගෙ මූණු වලට හිනාවක් දීමත් මිනිස්සු වෙන අපේම වගකීමක්.


|ගුරුගොඩ සිරිවිමල


Saturday, November 10, 2018

අපි උපතින්ම දේශපාලන සත්තයෝ

|Mawbima | Young -යං | පොඩි සාදුගේ ලියමන - Podisaduge liyamana| Gurugoda siriwimala  යං ; සංස්කරණය - Wishwanath Jayasekara
2018.10.06
|අපි උපතින්ම දේශපාලන සත්තයො

ලංකාව වැනි රටක ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කිරීම ම විහිළුවක් බව පොඩි සාදුට පසක් විණ. දේශපාලන කෙරුම්කාරයන් තුල පවත්නා ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රශ්න කරන අප පොදු ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදයට එළව එළවා පහර දෙමින් සිටිමු. 
මේ මිනිහෙක් කන බත් ඇටයක පවා දේශපාලනික රතු ලේ ගෑවි ඇති මොහොතකි. ඒ මොහොත දේශපාලනික ව හෝ උපහාසයෙන් යුතුව යම් මාධ්‍යයක ප්‍රචාරය කිරීමේ අයිතිය ප්‍රජාතන්ත්‍රවාදී රටක ලක්ෂණයකි. ලංකාවෙ මං දන්න ඉතිහාසය තුල ප්‍රජාතන්ත්‍රවාදය කියා දෙයක් ස්ථාපිතව තිබුනා ද යන්න ප්‍රශ්නයකි. නමුත් මට මතක ඇති කාලයේ පටන් පෙබරවාරි 04 වෙනිදා
පවත්වන නිදහස් සමරුවේදී නිවේදකවරයා පවසුවේ "ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු..." යනුවෙනි.
කෙසේවතුදු අප තුල පවත්නා දේශපාලනික ගැටුම මතු මතුත් පාරමින් ජනතාව ගොනාට අන්දවන දේශපාලන තත්වයේම දිගුවක් ලෙස මහජනතාව පෙනී සිටීම ලැජ්ජාවට සහ කණගාටුවට කරුණකි. හැම තැනම ඇත්තේ මහින්ද ය, රනිල් ය , මෛත්‍රී ය, එකෙකුටවත් රට ගැන වගේ වගක් නැතිය. හෙට අනිද්දාාට මී වස්සකු පක්ෂ දේශපාලනයට විත් අරක්කු අරික්කාලක් සමග බත් පැකැට්ටුවක් , කිරිපැකට්ටුවක් දෙනවානම් අපේ ජනතාව ඒකාටද "අනේ සෝයි" අප්පච්චි , බත්දුන් පියා යනුවෙන් කෑ ගසනවා නොඅනුමානය. 
වරද ඇත්තේ ජනතාව අතේ නොවේදැයි සිතා බලන්න. 
ලඟකදී වූ දේශපාලනික පෙරලිය උපහාසාත්මකව ගත් මා මාගේ මිතුරියකගෙන් විමසා සිටියේ " අක්කේ ලිප පත්තු වෙනවදෝ " යනුවෙනි. මෙය සීරියස් ගත් හිතවත් අක්කා පෙරලා මෙසේ පැවසීය.
" අපේ ගෙවල් වල හැමදාම ලිප් පත්තු වුනා...හැබැයි , අපේ මහන්සියෙන්" යනුවෙනි. 
කතාව ඇත්තය. අපි අපේ මහන්සියෙන් ලිප් පත්තු කරගන්නවා මිස අනෙකෙකු ඇවිත් අපට ලිප් පත්තු කර දෙන්නේ නැත. වරද අප විසින් මෙය අවබෝධ කර නොගැනීමය. 
ව්‍යවස්ථාවට පටහැනිව ක්‍රියා කරන පාලකයකු සිටින රටක තව තවත් ජනතාව වෙත සර්ව සාධාරණය ඉටු වේවි යැයි හීන මැවීම අපේම දුර්වලතාවයකි. 
ආණ්ඩුව පෙරළු විගස ර⁣ට තොට කැවුම් කිරිබත් ඉඳී තිබුනි. රතිඤ්ඤා ද පත්තු වුනි. නමුත් තවම විසඳුම් නැත. අගමැතිවරු දෙදෙනෙකි. රට කරවන්නේ කවුද යන්න තාමත් නොදනී. කලින් උවද ර⁣ට තුල පාලකයෙක් සිටියාද? රට කෙරුවාද? යන්නනම් පැනයකි. 
කවුම්, කිරිබත් කෑවේද, ඉව්වේද, අපි ය, අපි යනු මහජනතාවය. රතිඤ්ඤා ගිනි කෙළි සංදර්ශන පෑවේද මහජනතාවමය. ඛනිජ තෙල් සංස්ථාවේ වෙඩි තබා ඝාතනය වූයේ ද මහජනතාවගේම නියෝජනයකි.
ඉතිං, 
ප්‍රජාතන්ත්‍රවාදයට කරණ විශාලම හානිය කරන්නේ පාලක පංතිය යැයි තව තවත් නොකියමු. මන්ද යත් වුන් එදා පටන් අද දක්වාම කලේ ප්‍රජාතන්ත්‍රවාදය කඩ කිරීමය. නමුත් පසුගිය දශකයක කාල සීමාව තුල මහජනතාව ද අනෙකාගේ ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල හානි සිදු කරමින් සිටී.
ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ලියන / කතාකරන මහත්වරුන්ගේ අම්මම්මෝ නැතිව බැන වදින්නේ මහජනතාවය , පාලකයන් වෙනුවෙන් පෙනී සිටින්නේ ජනතාවය, නමුත් හෙට උපත ලැබීමට නියමිත බිලින්ඳාගේ පටන් අද මියැදීමට නියමිත මහල්ලා දක්වාම වන මහජනතාව ණය කරුවන් කර ඇත්තේ පාලක පන්තියය.
අප ගල් යුගයේ විසූ වැදි මිනිසුන් පිළිබඳව කියවා ඇත. තම සම්පත් වන ගහ කොළ ආරක්ෂා කරගැන්මටවත් උන් තුළ විඥ්ඥාණයක් තිබුනි. නමුත් කණගාටුවට කරුණ නම් ඒ විඥ්ඥාණයවත් සියවසේ අප තුළ නොමැති වීමයි. අපට විඥ්ඥාණය වන්නේ පක්ෂ මය , පාට මය, පුද්ගලයන් මය, 
හිතවතුනි,
අප ජීවත් වන්නේ
බත් පිඩ කෑ විට පිළිකා සැදෙන , වතුර පොද බිව් විට වකුගඩු රෝගය සැදෙන, වැහි දෙකක් වැටුන පසු අගනුවර යටවෙන, රටකය. 
එහෙත් පළාත් සභාවේ මන්ත්‍රී වරුන්ට ඉඳ ගැන්මට සැප පුටුත් , සුවඳට හිඳීම පිණිස ලක්ෂ ගණනිනුත් වියදම් කරණ රටකය. නමුත් ගම්බඳ ජනතාවට අත්‍යවශ්‍යම වන ජල පහසුකමවත් දීමට අපේ රජයට නොහැකිය. මේ බව පසුගිය දවසක මාධ්‍යට පැමිණි සාමාන්‍ය මිනිසකු පැවසුවේ මෙලෙසිනි. "උන්ට පුක තියා ගන්ඩ ලක්ෂ ගනං පුටු. .... අපිට පුක හෝදන්න වතුර ටිකක් නෑ..." යනුවෙනි. 
නමුත් ලෝකයේ, ආසියාවේ , ආශ්චර්යමත් දෑ අපට ඇත.
අපට අලුතින් ආණ්ඩුවක් අවශ්‍ය වන්නේ ජාතික රූපවාහිණියට ලෝගෝවක් දැමීමටවත් ලක්හඬ නැවත පටන්ගැන්මටවත් අරලිය ගහ මන්දිරයේ බණ දේශනා කිරීමටවත් නොවේ. 
❝ ඔබ අරගල කල යුත්තේ පාලකයා වෙනස් කිරීමට නොව. ජනතාව වෙනස් කිරීමටය. අමන ජනතාවක් පාදඩ පාලකයන්ට එරෙහි වන්නේ නැත.❞
- බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් -

|ගුරුගොඩ සිරිවිමල

Thursday, August 30, 2018

රටාවකට ලියූ ඉලපත් රටා

           " ඔය තණ්හාව අතෑරලා
            වරෙල්ලා
            අපි යමු
            පාර පෙන්වන්නම් මම
            ඇහැකි විදියට
            මනුෂ්‍යත්වය පිරි අපේ ලෝකෙට
            පය තියන්නට ආයෙමත්"
                                               (-ගුරු පඬුර-)

සෑම කවියකටම රටාවක් ඇත. ලෝකයේ යාථාර්ථය කවියකින් දකින්නට ඇහැකිනම් ? එය ඉතා සුන්දරය. හදවතක් සුන්දර වන තරමටම ඒ හදවතින් ගලා එන්නේ මියුරු ලාලසාවක් ගැබ් වන අපූර්ව වදන්ය.ඒ වදන් කවියක් වන්නේම ඒවාට යථාර්ථය කැටි කල විටය.ඒ මගේ හැගීමය. කසුන්සලා කිවිදියගේ "ඉලපත් රටා" කාව්‍ය සංග්‍රහයද ඒ වැන්නකි. ඇයගේ මේ කාව්‍ය සංග්‍රහය පුරාවටම දිවෙන්නේ සුන්දර කවිය.

         ඇයගේ "නොදැක්ම"කවි පංතිය මා අාසාම වර්ගයේ කවි පංතියකි. ඇය මේ සදහා අනුභූතිය කරගන්නේ බසය‍ේ ගමනක් යන අවස්ථාවක සංසිද්ධියකි. එම අද්දැකීම යම් උපකල්පනයක් චිත්ත රූපයන් මවාලමින් රචනා කරන මේ කවිය ක්ෂණිකව ලියැවුන රස කවියකි.

        "වැඩියා බුදු පුතෙක්
         හිරිකඩ වැස්ස යටින්
         උනා මා සළුව
         ඉහළුවා ඉහම උඩින්
         "විලි නැති මේ ගෑණි"
         දෙස් තැබූ එවුන්
         මා සිත නොව
         නිරුවත් ලැම බැළුවේ ඉතිං"
                               (-නොදැක්ම පි;26)
.වායුසමනය කල බසයක නැගී ගමනාන්තයක් සොයා වඩින සඟ නමක් ඉදිරි අසුනේ අසුන්ගෙන සිටී A/C  කවුළු තුලින් වැටෙන දිය ශීරාවන් බිංදු ලෙස සඟ නමගේ මුඬු කල හිසට වැටෙන'යුරු කිවිදියගේ නෙත ගැටේ. එම අවස්ථාව ඇය වැස්සකට උපකල්පනය කරමින් සමාජයේ යම් කතිකාවක් ගොඩ නැගීමට යම් උත්සායක් දරයි.

    "වැඩියා බුදු පුතෙක්
      හිරිකඬ වැස්ස යටින්
     උණා මා සළුව
    ඉහළුවා ඉහට උඩින්."
ඉහත සංසිද්ධිය කවිය සඳහා යොදා ගන්නා සැටි ඉතා අපූරුය. ප්‍රශංසනීය  ය. ඉන් පසු ඇය ඒ සිද්ධිය පිලිබද සමාජයේ යම් කතිවකට ඉඩ හසර ඉචා සරලව ලබා දේ.

 "විලි නැති මේ ගෑණි
  දෙස් තැබූ දෙපස එවුන්
  මා සිත නොව
  නිරුවත් ලැම බැළුවේ ඉතිං"

ඇයට ඉහත සඟ නමගේ හිස රැදුණු දිය බිදු පිසලන්න සිතක් පහල වූවා විය හැක. නමුත් ඇයට ඒසිත පහල වු වනම බැහැර වන්නට බැහැර වන්නට ඇත. මන්ද? සමාජයේ යම් කිසි දෝශ දර්ශනයක් ඒ සම්බන්දව ගොඩ නැගී ඇති බැවිනි.
              අද භික්ෂුවකගේ පා දෙවීම ගැහැනියට තහනම්ය. බමුණු මත බුද්ධාගමට ප්‍රවේශය වී ඇත. මේ කවියේ අපූර්වත්වය ගොඩ නැගෙන්නෙ ඒ නිසාය. යට හංගා ඇති ශ්‍රද්ධාව හා භක්තිය පිලිබදව කතිකාවක් ගොඩනැගුවාට කසුන්සලා කිවිදියට ස්තූති පූර්වක විය යුතුය.
                ඇය ගේ "රැවටීම"කවි පංතියද අපූරුය. එම කවිය තුල රැවටීමකට වඩා දකින්නේ මව් ගුණයයි.

   "තෙහෙට්ටුයි වගේ දෝණිට
    ආපු ගමන් ඇදට වැටිල
    විවර කෙරූ අත් බෑගය
    තුරුළු කරන් කිටි කිටියට
    
    නිදියාපන් සැහැල්ලුවෙන් 
    බෑගය ගත්තේ හොරැහින්
     "Postino2" කාඩ් එකක්
                             (-පි;34)

ඉහත සඳහන් කවිය‍ේ ඇතුලාන්තයටමා ඉතා කැමැතිය. මව්වරුන් දරුවන්ට ආදරය කරන්නේ මහා පුදුමාන්තර ලෙන්ගතුකමකින්ය. විශේෂයෙන්ම දියණියකගේ ලගම මිතුරිය වෙන්න‍ේද අම්මාය. ගමන් මල්ල තුරුළු කරන් නිදන එක අසීරුය. එය අම්මා කෙනෙකුට දරා ගැනීම අපහසුය. මාතෘ සෙනෙහසින් යුතුව ඇය නිදන ඇද වියලේ ඇති බෑගය පසෙකට ගන්නෙද ඒ මව් ගුණය නිසාය. කිවිදිය මේ කවිය තුලින් ගෙනෙන කාරණා දෙකකි. එහි ප්‍රධානම කාරණය රැවටීමය. අනෙක මන් ගුණය ය. එතැනදි කිවිදිය යම් තරමක් සාර්ථකය.
         "නෑ ලැජ්ජා" කවි පංතියද අපූරුය. ඇය එහිදී කියන්නට යන කවිය ගැඹුරු තේමාවකි. නමුත් කිවිදිය එහිදී පරාජ වී ඇති සෙයක් මට හැගේ.
           (පිටු:43.)
"කුලියට ගත්
ඇට මස් ලේ නහර වලින්
හමන දුඟද
සුළගේ මුසු වී හොරැහින්
උමතුවෙන් වගේ 
නර සිත් පිනවා
පටලවයි ගතේ
නෙක සේද වලාවන්
                (-කුලියට නවාතැනක්- පි;42)
ඉතා අපූර්ව කවි පංතියකි කුලියට නවාතැන් පොළක් "
      ප්‍රබුද්ධ කාව්‍ය සංග්‍රහයේදී සේඛර මෙසේ කියයි.

ප්‍රබුද්ධ ,
හිස්ය මේ ජීවිතය බොල්ය
බලව,
රන් දුහුල් සළු 
සුවඳ විලවුන් අතර
නිරුවත්ව පෙනෙන 
කුහකකම"
          (-ප්රබුද්ධ- සේඛර)
සංසාරයේ සැටි අපූරුවට සජ්ජායනය කරන කවියකි. ඉහත කවිය.
  " නවාතැන් පොලෙන්
    හෙට නික්මී යන්නට වෙයි
    සිනිදු සේල උණා
    කසාවත ගත සරසයි
    අඩවන් නෙත් 
    කරුණා බැලුම් හෙලා
    බුදුන් දකින්නට
    පිං කෙත් නුවනින් වපුරයි"

කිවිදියගේ සංසාර දැක්ම හරිම මනරම්ය. කළාව යනු ආන්නදයෙන් ප්‍රඥාව කරා මිනිසා රැගෙන යන්නකි.
    හතලිස් නවය පිටේ එන "නෙත - සිත - ගත" යන කවියේදී ඇය සිත ගැන මෙසේ කියයි.
         " අනුරපුරෙන් ගෙන ආ කළු ගලකින්
          ඔප වූ සදකඩ පහණ නුඹයි
          කැටයම් ලා නෙක සඳ සිය ගනනින්
          කොළඹට ලොල් වූ නුඹේ සිතයි
                          (49;පිට.)

දූරංගමං ඒකචරං
අසරීරං ගුහාසයං 
යෙ චිත්තං සඤ්ඤමෙස්සන්ති
මොක්ඛන්ති මාර බන්ධනා
           (ධම්ම පද චිත්ත වග්ග)
සිතේ සෙලෙවන ගතිය,නෙතක ආශක්ත බව ගතක තද ගතිය. ඇය හරි අපූරුවට කවියක් කරයි.
"යුක්තියේ දෙව්දුව" කවියේදී කිවිඳිය බිරිඳ පිළිබඳව ඉතා අපූරු රූපකයක් ගෙන හැර පායි.

"විලි බියෙන් හිනැහෙන
පොකැට්ටුව දුටුවාම 
ගෙපැළ ලිප්ගල රකින 
ඇගෙ සිරිය මැවුනාද "
(පි : 48)

සතතාභ්‍යාසය තුලින් පමණක්ම අපූර්ව නිර්මාණයක් බිහිකර ගත හැකිය. ඒ බව ඇයගේ දෙවන කාව්‍ය සංග්‍රහය වන " අවසරයි කුහුඹුවනි " හරහා මනාව විෂද කරයි. කවි ලොවෙහි ඉදිරියට යාමට ඇයට ශුභ ප්‍රාර්ථනා කරමි!

|ගුරුගොඩ සිරිවිමල

   


    

Friday, June 22, 2018

මොහොතකට හිත නතර කරපු ආදරණීය ගීයක්



සිනා රැන්දූ හසගනාවිය
අතැර විල්තෙර නික්මෙනා 
බොහෝ කලක් සිට රැදුණු මතකය
හදේ ගැඹුරුම තැන තියා //

කතා කරනා සියුම් හඩටත්

නොමැකෙනා තිතකුත් තියා
රණින් මලා පළන්දලා ඔබ
නොහැරෙනා දුර යන නියා //

සිනා රැන්දූ...


පවුරු බැන්දත් රණින් වෙරළක

සයුරු රළ යළි එයි කියා
වෙරළකට අමතකම වේවිද
සයුරු රළ ඇති නෙක රටා

Artist - pramith ganearachchi
Lyrics - chamal akalanka polwaththage
Music - pramith gabearachchi

මම දැනන් හිටියෙ නෑ චමල් අයිය මෙච්චර ලයාන්විත ලේඛකයෙක් කියල.
මේ ගීතය මුල මැද අග පැහැදිලියි. පද වලට අනුව තනුවත් තනුවට අනුව ගැයුමත් හරිම නිරවුල්. නැවත නැවතත් අහන්න රසිකයන්ගේ හිත පොළඹවනව. චමල් අයියට මං කියන්නෙ තව තවත් මේ වගේ පද රචනා කරන්න කියල.

ප්‍රමිත් අයියගේ මේ ගැයුමත් තනුවත් පද රචනාවට අදාලව ඉතා ගැළපෙන අයුරින් කරල තියෙනව. අනාගතයේ හොඳ සංගීත ගමනක ආරම්භය ඉතා පැහැදිලියි. මේ වගේ තෝරගෙන බේරගෙන සිංදු කරන එකම කොච්චර දෙයක්ද.

මේ ගීතය මගෙ හදවත නිසල කරා. එහෙම මිනිහෙක්ගෙ හිතක් සිංදුවක් හරහා නතර කරන්ක පුළුවන් කියන්නෙ ඒක සංගීතයේ අග්‍රඵලය කියන එකයි මගේ විශ්වාසය.
 චමල්ගෙත් ප්‍රමිත්ගෙත් නිර්මාණයක් රසවින්ද ප්‍රථම අවස්ථාව මේක. ඉතිං දෙන්නටම සුබ පතනව.

ගීතයේ යූ ටියුබ් සැබැඳිය - https://youtu.be/39pgm8r19IM

|ගුරුගොඩ සිරිවිමල

Friday, June 1, 2018

පාවිච්චි වෙන්න ඕන විදිහ කසාවත දරන අය දැනගත යුතුයි


පාවිච්චි වෙන්න ඕන විදිහ කසාවත දරන අය දැනගත යුතුයි | ගුරුගොඩ සිරිවිමල හිමි
01. කවියෙක් වෙන්න කවි පොතක් රචනා කරන්න අවශ්‍යමද?
ඒක අත්‍යවශ්‍යක් නෙමේ. හැබැයි කවිය සමාජගත කරන එකත් කවියාගෙම වගකීමක් වෙන නිසා පොතක් කිරීමෙන් වරදක් සිද්ධ වෙන්නෙ නෑ.කවියා කියන්නෙ පොත් ලියන කෙනෙක්ට නෙමෙයි.කවි ලියන කෙනෙක්ට.කොටිම්ම කිව්වොත් ජීවිතය එක්ක එන හැඟීම් වලට පණ දෙන කෙනෙක්ට.හැබැයි වෙන කෙනෙක්ට කියවන්නනම් පොතක් හෝ මුද්‍රිත හෝ සයිබර් අවකාශය පාවිච්චි කරන්නම ඕන.
02. ඔබ අනෙක් හැම කවියෙකුගෙම කවි කියවනවාද?
විශේෂයක් කරන්නෙ නෑ. මුහුණු පොතේදි දකින කවි කියවනව. ඒ වගේම ශාස්ත්‍රීය වශයෙන් ලියැවුන කවි පිළිබඳව ලිපි ලේඛන සහ ආධුනික ප්‍රවීණ භේදයකින් තොරව පළවන හැම කවි පොතක්ම වෙලාවක් තියෙන වෙලාවට කියවනව.
ඒ වගේම තමයි ෆේස්බුක් එකේ කවි කියවද්දි මම ප්‍රවර්ග කරගත්ත කිහිප දෙනෙක් ඉන්නව.ඒ අයගේ කවි සර්ච් කරල හරි සතියකට වතාවක් කියවනව.
හැම කවියෙකුගෙම කවි කියවන්න ඕන කියල නීතියක් හෝ රීතියක් නෑනෙ.
03.පද තුන හතරක් ලියල අර්ථවත් ආකාරයකට කවියක් රචනා කර ගත හැකිද?
අනිවාර්යයෙන්ම පුළුවන්. ඕකට හොඳම උදාහරණයක් තියෙනව.මතක විදියට ලියන්නෙ ලක්ෂාන්ත අතුකෝරල කවියා.
"ඔයා
නාගෙන එනකොට
මාව
කිළිටි වෙනව"
මේව කවි නෙමේද? වචන තුන් හාරසීයක් විතර මිඬංගු කරන කවියකට වඩා මේ කවි රහයි.
උපේක්ෂා ඉමාලි තරුණ කිවිඳිය පළකරන සුසුම් නාඳුනන අප දෙදෙන කියන කවිපොතේ තියෙනව
" සීරුම් පහරකි
වම් අතේ කෙළවර
අනුන්ගේ මඟුල් මුද්දකින්
අහම්බෙන් සිදුවුන"
මේවත් කවි ම තමයි.
හයිකු, කෙටි කවි කියල වෙනම කවි කලාවක් පවා තියෙනව.
කෙටියෙන්ම කිව්වොත් " ඔව් , ලියන්න පුළුවන් " කියන උත්තරේ තමයි මට දෙන්න තියෙන්නෙ.
04. කවියො ඇයි ගොඩක් ප්‍රේමය , විරහව , රාගය ගැනම රචනා කරන්නෙ?
කවියෙක්ට මුලින්ම දැනෙන දේ තමයි ඕක. ප්‍රේමය,විරහව, රාගය , මේ දේවල් ගතානුගතිකව බැළුවොත් අවුල් වගේ තමයි. ඔය විශයන් වලදි මම විවිධ ප්‍රවණතා දකිනව. සහ ඔය ගැන විවේචනයක් තියෙනව.
එකක් තමයි ප්‍රේමය , විරහව , රාගය , කියන විශයන් තුන ගැන කවි ලියන ගොඩක් අය ලියන්නෙ ෆේස්බුක් එකේ. ඕවට සමහර අය කියනව මල් කවි කියලත්. ඒක ලියන අයගේ කැමැත්ත වුනාට ඔතනදි වෙන ලොකුම හානිය තමයි තව කෙනෙක් ඒ කවිය බලාගෙන එයාගෙ අද්දැකීමක් ලියනව.අන්තිමට ඒක අපබ්‍රංසයක් වෙනව.
තව කොටසක් ඔය විශයන් තුනම අදාල කරගෙන කවි ලියනව.ඒව කියවන මිනිස්සු ප්‍රඥාවට පත්වෙනව. ඒ කියන්නෙ ඔය විශයන් තුන ගැන ගැඹුරු අවබෝධයකින් තමයි දෙවනි කොටසෙ අය කවි ලියන්නෙ.
අපිට ගොඩක් වෙලාවට කවි මුණගැහෙන්නෙ ෆේස්බුක් හරහා. ඒ මුණ ගැහෙන්නෙ කවි දහයක්නම් ඒකෙන් අටක් නමයක්ම ප්‍රේමය , විරහව ,රාගය වගේ විෂයන් මුල් කරගෙන ලිව්ව ගැඹුරු කියැවීමක් නැති කවි. ඒ තරමටම ඔය කියන විශය බරපත අපයෝජනයකට ලක් වෙලා තියෙනව.
ඔය විශයන් තුනෙන්ම කවි ලිවීම අවුලක් නෙමෙයි. හැබැයි ඒ ගැනම පතුරු ගහන එකනම් අවුල් .මම ඒකට එකඟ නෑ කියන්නෙ ගතානුගතික තැනක ඉදගෙන නෙමෙයි.වෙනත් කියැවීමක ඉන්න නිසා.සැබෑ කවියෙක්ට ඔය මාතෘකා තුනෙන් එහාට යන්න පුළුවන් වෙන්න ඕන.
05. කසාවත කවි සිස්ටම් එකට බදාවක් නෙවේද?
සැබෑ කසාවතට බාධාවක් නෙමෙයි. ඒත් සමහර උපාසක උපාසිකාවන් හදාගෙන තියෙනවනෙ ෆැන්ටසි ටිකක්. අන්න ඒ ෆැන්ටසි වලටනම් සැබෑම බාධාවක් තමයි කසාවතක් දරාගෙන කවි ලිවීම. යතිවර පරපුර කාව්‍ය සාහිත්‍ය පෝෂණය කෙරුව.එතනම දිගුවක් විදිහට තමයි මමත් අනෙක් හිමිවරුනුත් කවි ලියන්නෙ. එතනදි පාවිච්චි වෙන්න ඕන විදිහ කසාවත දරණ අය දැනගත යුතුයි.
06. මහා සංඝරත්නය ගන්න ආතල් එකත් එක්ක ගෞතමගේ ඔරිජිනල් රීඩින් එකට මොකද වෙන්නෙ?
ආතල් ගන්නව කියන චෝදනාව හැම භික්ෂුවක් කෙරෙහිම තබන්න බෑ.හැබැයි වගකීමෙන් කියනව බහුතර මහා සංඝරත්නය ගන්නෙ ආතල් එකක් තමයි කියල. ඔය කියන බහුතරය විසින් තව කාලයක් ආතල් එක ගත්තොත් ඔරිජිනල් රීඩින් එක නැත්තටම නැති වෙලා බුද්ධාගමත් දේවාගමක් වගේ වෙයි.
Gurugoda Siriwimala | කවි බස | රාවය